නව යොවුන් දැරියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිකර ගණිකා වෘත්තියේ යොදවන ජාවාරම ඇල්ලූ මෙහෙයුම

නව යොවුන් දැරියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිකර ගණිකා වෘත්තියේ යොදවන ජාවාරම ඇල්ලූ මෙහෙයුම

*********************************************

නව යොවුන් දැරියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිකර ගණිකා වෘත්තියේ යොදවන ජාවාරම ඇල්ලූ මෙහෙයුම

(31.01.2021 – 20:15 +0530 – hirunews.lk/sinhala)

පාසල් දැරියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිකර ඔවුන්ව ගණිකා වෘත්තියේ යෙදවීමේ මහා පරිමාන ජාවාරමක් වැටලීමට මාතර කොට්ඨාශ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ නිලධාරීන් සමත් වුණා.

වයස අවුරුදු 14 ක දැරියක් මත්ද්‍රව්‍ය භාවිතා කරන මෙම දර්ශන වට්ස් ඇප් සමාජ ජාලය හරහා හුවමාරු කිරීමට සංවිධානාත්මක පිරිසක් පසුගිය දිනවල කටයුතු කර තිබුනා.

කිසිඳු දෙමාපියෙකු විශ්වාස නොකරන තරමට බරපතළ මේ සිදුවීමට සම්බන්ධ දැරිය මාතර, වැලිගම ප්‍රදේශයේ පදිංචි පාසල් ශිෂ්‍යාවක් බවයි මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය සිදුකළ විමර්ශනයේදී හෙළිවුයේ.

ඒ අනුව අදාල දැරිය කඩිනමින් පොලිස් භාරයට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ නිවසට පැමිණෙන වැඩිහිටියෙකු විසින් ඇයට මත්ද්‍රව්‍ය ලබාදී ඇති බවයි.

අදාල වැඩිහිටියා වයස අවුරුදු 56 ක පුද්ගලයෙකු වන අතර ඔහු අවස්ථා කිහිපයකදී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගත් අයෙකු බවත් විමර්ශනවලදී හෙළි වුණා.

දැරිය මත්ද්‍රව්‍ය භාවිතා කරන වීඩියෝ දර්ශන පෙන්වා ඇගේ යෙහෙළියන් ද මත්ද්‍රව්‍ය පානයට හුරු කිරීමටයි අදාල පුද්ගලයා සැලසුම් කර ඇත්තේ.

මාතර කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාගේ අධීක්ෂණය මත මේ පිළිබද පරීක්ෂණ ආරම්භ කෙරුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මෙම සිදුවීම හරහා නැවත නැවතත් ඉස්මතුවන්නේ දෙමාපිය අවධානය ගිලිහීයන අවස්ථාවකදී තරුණ දරුවන් මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ අපචාර සඳහා යොමුවීමට ඇති අවදානමේ බරපතළ කමයි.

නව යොවුන් දරුවන් එම අපරාධවල ගොදුරක් නොවී රැක බලා ගැනීමට දෙමාපියන් ලෙස ඔබට ඇත්තේ පැහැර හැරිය නොහැකි වගකීමක් ඇති බවද අප තරයේ සිහිපත් කරනවා.

***************************************

(31.01.2021 – 18:17 +0530 – hirunews.lk/sinhala)

73 වන නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණයවන පරිදි රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඉඩ පහසුකම් සහිත පොදු ස්ථානවල හෝ පෞද්ගලික ඉඩම්වල මී පැළ, කොහොඹ පැළ හා කුඹුක් පැළවලට ප්‍රමුඛතාවය ලබාදෙමින් මෙම වැඩසටහන දියත් කරන ලෙසත් සෑම ගෙවත්තක් තුළම පළතුරු හෝ ආහාරමය වටිනාකමකින් යුක්ත පැළ හෝ ඖෂධ පැළ සිටුවීම සඳහා යොමුවිය යුතු බවටයි රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

සෑම පොදු ස්ථානයකම, සෑම රාජ්‍ය පරිශ්‍රයකම හා සෑම ගෘහයකම පැළයක් රෝපණය කිරීම 73 වන නිදහස් දින උළෙලේදී ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා කටයුතු කරන ලෙසත් සිටුවනු ලබන පැළ භාරව කටයුතු කිරීමට හා පසු අධීක්ෂණ කටයුතු සඳහා එක් අයෙකු බැගින් පත්කරන ලෙස ද ආයතන ප්‍රධානීන්ට දැනුම්දී ඇති බව සඳහන් ෴

***************************************

(31.01.2021 – 19:26 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට එරෙහිව ගාල්ල සහ ත්‍රිකුණාමලය යන වරායවල සේවකයින් ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා.

මේ අතර, මෙම ගැටළුව සම්බන්ධයෙන් හෙට (01) වරාය වෘත්තිය සමිති සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

එම සාකච්ඡාව හෙට (01) උදෑසන අග්‍රාමාත්‍යවරයාගේ විජේරාමේ පිහිටි නිළ නිවසේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත් තංගල්ල කාල්ටන් නිවසේදී අද (31) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ කිසිවිටෙක කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට හෝ බදු දීමට කටයුතු නොකරන බවයි.

වරාය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ඊයේ (30) දිනයේ ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුක්තව ගැසට් නිවේදනයක් නිකුත් කළද අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක වනවා.

වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති සංජය කුමාර වැලිගම මහතා කියා සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදෙන බවට ලියවිල්ලක් ලබාදුනහොත් පමණක් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවන බවයි.

කොළඹ වරායේ සේවකයින් ආරම්භ කර ඇති මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහය පළ කරමින් ත්‍රිකුණාමලය සහ ගාල්ල වරාය සේවකයින් ද මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භක කර තිබෙනවා.

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමට ලබාදීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (31) ගිනිගත්හේන නගරයේදී පැවැත්වුණා.

කෙසේ වෙතත් තංගල්ල කාල්ටන් නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටසක් වෙනත් රටකට ලබාදීමේ කිසිදු සූදානමක් නොමැති බවයි.

++++++++++++++++

(31.01.2021 – 20:32 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව මහා සංඝරත්නය සහ පක්ෂ විපක්ෂ දේශපාලනයින් අදත් මෙලෙස අදහස් පළ කළා.

***************************************

(31.01.2021 – 22:01 +0530 – hirunews.lk/sinhala)

කුරක්කන් ඇට කිලෝවක තොග මිල රුපියල් 400 දක්වා ඉහළ යාම හේතුවෙන් මාතලේ – ලග්ගල කුරක්කන් නිෂ්පාදකයින් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

රුපියල් 200 ත්, 250 ක මිලක පැවති කුරක්කන් කිලෝවක මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි කුරක්කන් ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන නිෂ්පාදකයින් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ෴

***************************************

(31.01.2021 – 22:13 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ සංවර්ධනය සඳහා හවුල්කර ගැනීමට යෝජනා වී ඇති ඉන්දියානු අදානි සමාගමට විරෝධය පළ කරමින් අදත් ඉන්දියාව තුළ විරෝධතා පැවැත් වුණා.

ඉන්දියාවේ ගොවිජනතාව මෙලෙස විරෝධතා දැක්වීමට හේතුව වී ඇත්තේ කෘෂිකර්මාන්තය හා සම්බන්ධ පනත් 03 ක් සංශෝධනයට රජය විසින් අනුමැතිය ලබාදීමයි.

එරට කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් රජය වෙත පැවරී තිබූ වගකීම් සහ ගොවි ජනතාවට ඇති ආරක්ෂාව මෙම නීති සංශෝධනය හරහා ලිහිල්වන බවයි ගොවීන් පවසන්නේ.

එහි වාසිය ලබා ගනිමින් එරට ධනපතී සමාගම් හිමි මුකේෂ් අම්බානි සහ ගෞතම් අදානී කෘෂිකර්මාන්තය හා සම්බන්ධ වෙමින් ගොවීන් සූරාකන බව පවසමිනුයි ඉන්දියාව තුළ උද්ඝෝෂණ මාලාවක් හටගත්තේ.

නවදිල්ලි අගනුවර තුළ අඛණ්ඩව මාස දෙකක (2) සිට පැවති එම උද්ඝෝෂණ අදත් පැවතුණා.

මේ හේතුවෙන් නවදිල්ලි අගනුවර අවට ප්‍රදේශ තුනක අන්තර් ජාල සේවාවන් ද අත්හිටුවා තිබෙනවා.

උද්ඝෝෂණ අතරතුර ට්‍රැක්ටර් යොදා ගනිමින් විරෝධතාව පළ කිරීමට යාමේදී එක් අයෙකු මියගොස් ඇති අතර ආරක්ෂක අංශ නිලධාරියෙකුද රෝහල් ගත කර තිබෙනවා.

උද්ඝෝෂණයේ නිරත ගොවීන් පවසන්නේ තම අරගලය ජයග්‍රහණය කරන තුරු සටන අත් නොහරින බවයි ෴

***************************************

(31.01.2021 – 22:57 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින ආර්ථික අර්බුදය මේ වනවිට ජාතික සම්පත් විකිණීම දක්වා දුරදිග ගොස් ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එම පක්ෂයේ නියෝජිතයින් මේ අදහස් පළ කළේ අද (31) රට පුරා ක්‍රියාත්මක කළ සම්මන්ත්‍රණ මාලාවකට එක්වෙමින්.

***************************************

නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්නේ නැතිනම් පාරතොටේ කියන්නේ නැතිව පිළිගත හැකි ලෙස ලිඛිතව දෙන්න – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

(31.01.2021 – 18:58 +0530 – lankaleadnews.com)

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඊයේ 30 පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කර සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවට යම් පිළිගත හැකි විසදුමක් ඇත්නම් එය ලිඛිතව ලබාදෙන ලෙසත් පාරතොටේ කියන දේවල් නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය පිළිගන්නේ නැති බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසා සිටියේ තමන් වහන්සේටද දුරකථන ඇමතුම් ලබාදෙමින් ආණ්ඩුවේ පාර්ශ්ව යම් යම් ප්‍රකාශ සිදුකරන බවත් එහෙත් ඒවා පිළිගත හැකිවන්නේ මහත්වරුන් ලෙස එම යෝජනා ලිඛිතව ලබා දුනහොත් පමණක් බවත්ය.

මෙම මාධ්‍ය හමුව සදහා මහින්ද ජයසිංහ, දුමින්ද නාගමුව, ජනාධිපති නීතිඥ මයුර ගුණවංශ, නීතිඥ කපිල පෙරේරා ඇතුළු නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ නායකයෝ රැසක්ද එක්ව සිටියහ.

ඒ මාධ්‍ය හමුවේ සම්පූර්ණ වීඩියෝව පහතින් :

***************************************

ඉන්දියාවට කොළඹ වරායට නෑවිදින් වෙන යන්න තැනක් නැහැ – බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල

(01.02.2021 – 06:26 +0530 – lankaleadnews.com)

අමාත්‍යය උදය ගම්මන්පිල මහතාගේ මාධ්‍යය ඒකකය විසින් අමාත්‍යය විමල් වීරවංශ මහතාගේ නිවසේ පැවැති මාධ්‍යය සාකච්ඡාවෙන් පසුව මාධ්‍යය නිවේදනයක් නිකුත් කර තිබේ. එහිදි උදය ගම්මන්පිල මහතා අවධාරණය කරනේ ඉන්දියාවට ශ්‍රී ලංකාවේ කොළඹ වරාය නොමැතිව තම භාන්ඩ ප්‍රති අපනයනය කිරීමට වෙනත් වරායක් නොමැති හෙයින් ඔවුන් ශ්‍රී ලංකාව අත හැර නොයන බවයි.

සම්පූර්ණ මාධ්‍යය නිවේදනය පහතින් :

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිල නිවසේ පැවැති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව පිවිතුරු හෙළ උරුමය නායක බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්.

“කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවටම ලබාදිය යුතුයැයි ප්‍රධාන තර්ක දෙකක් ගෙන ආවා. ඉන් එකක් තමයි ‘අපට මේක හදා ගන්නට සල්ලි නැහැ’ කියන එක. මීටර 1320 ක දිගින් යුතු මෙහි මීටර 440 ක් අප හදා ගත්තේ සමස්තය හැදීමේ ඉලක්කය ඇතුවයි. පසුගිය ආණ්ඩුව මේක නතර කළේ නැත්නම් මේ වන විටත් වරාය අධිකාරියේ අරමුදල්වලින් ම මෙම පර්යන්තය හදලා ඉවරයි. වරාය අධිකාරියට මුදලුත් නැත්නම් ණයක් දෙන්න බැංකුවකුත් නැත්නම් අපි ලෑස්තියි ඒක කොටස් වෙළඳපළට ගෙනල්ලා මේ රටේ දේශප්‍රේමී ජනතාවගේ සල්ලි වලින් අවශ්‍ය අරමුදල් ටික එකතු කරගන්න.

තවත් සමහරෙක් තර්කයක් විදිහට ගේනවා ‘අපේ කොළඹ වරායේ සමස්ත වෙළඳාමෙන් 55% ක් එහෙමත් නැත්නම් ප්‍රති අපනයන වෙළඳාමෙන් තුනෙන් දෙකක් කරන්නේ ඉන්දියාව; ඒ නිසා ඉන්දියාව තරහ වුණොත් අපේ අපනයන වෙළඳපොළ අහිමි වෙයි’ කියලා. ඇත්ත කතන්දරය ඉන්දියාව කොළඹ වරායේ ප්‍රති අපනයන වෙළදාම කරන්නේ ලංකාවට තියෙන ආදරයක් හන්දා නෙවෙයි. ඉන්දියාවේ කිසිදු වරායකට දැවැන්ත නැව් යන්න බැරි ආකාරයෙන් වැලි පිරෙන නිසයි. ඒ නිසා ‘ඉන්දියාව අපිත් එක්ක තරහා වෙලා මේ ප්‍රති අපනයන වෙළඳාම ගෙනයන්න ඉන්දියාවේ වරායක් නෑ’ කියන එක ඉතාම වගකීමෙන් කියනවා.

මේ වන විටත් ඉන්දියාව ඉදිකරමින් පවතින විසින්ජම් වරාය හෝ නිකබෝ වරාය වැලි පිරෙන එකෙන් වලකා ගෙන සාර්ථක වුවහොත් ඔවුන් ප්‍රතිඅපනයන වෙළදාම කොහොමත් රැගෙන යනවා. ඒ හැරුණු කොට නැගෙනහිර පර්යන්තය ලබා නොදුන්නා කියන පදනමින්නම් ඉන්දියාවට කොහොමවත් සිය වෙළඳාම ගෙනියන්නට වෙනත් තැනක් නැහැයි කියන එක අප ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා” ෴

***************************************

(01.02.2021 – 07:31 +0530 – hirunews.lk/sinhala)

පස්සර – මඩොල්සිම – ඇකිරිය සහ ඒ අවට ගම්මාන කිහිපයකට බලපෑ භූ චලනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් එහි පැමිණ තිබෙනවා.

මීට පෙර ද ඒ අවට ප්‍රදේශවල ඇති වූ භූ චලනය සම්බන්ධයෙන් සොයා බැලීමට එම කාර්යාංශයට අයත් නිලධාරීන් පිරිසක් එහි පැමිණි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මඩොල්සිම ඇකිරිය සහ ඒ අවට ගම්මාන කිහිපයක ඊයේ (31) අලුයම රික්ටර් පරිමාණයේ ඒකක 2 ක ආසන්න අගයක් ගත් භූ චලනයක් වාර්තා වී තිබුණා.

පසුගිය 22 වනදා අලුයම ද ඇකිරිය සහ වලපනේ ප්‍රදේශ ආශ්‍රිතව මෙවැනිම භූ චලනයක් සිදුව තිබූ අතර එහි ප්‍රබලත්වය දැක්වුණේ රික්ටර් පරිමාණයේ ඒකක 1.8 ක් ලෙසයි.

කෙසේ වෙතත්, මධ්‍යම කඳුකරයේ ඉදිරියේදීත් භූ කම්පන ඇති වීමේ හැකියාවන් පවතින බවත්, ඒ පිළිබදව ජනතාව අවදානයෙන් පසුවිය යුතු බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා ෴

@@@@@@@@@@@@@@@@@

(31.01.2021 – 19:53 +0530 – hirunews.lk/sinhala)

මිහින්තලේ සිවිල් ආරක්ෂක බලකා මූලස්ථාන කඳවුරේ පසුගිය හයවනදා (06) සිට පැවති ජාතික නිදහස් දින උළෙලේ පෙර පුහුණුවීම්වලට සහභාගි වූ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් අතර සිදුකළ අහඹු පරීක්ෂණ 90 කින් කොරෝනා ආසාදිතයන් 17 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

අනතුරුව සිදුකළ සොයාබැලීමකදී අනාවරණ වී ඇත්තේ පෙර පුහුණුවීම්වලට සහභාගිව සිටි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් අතර උණ, සෙම්ප්‍රතිෂ්‍යාව, කැස්ස වැනි රෝග ලක්ෂණ පැවති බවයි.

ඒ අනුව එම රෝග ලක්ෂණ පෙන්නුම් කළ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් මිහින්තලේ ප්‍රදේශයේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක රැඳවීමට පියවර ගැනීමෙන් අනතුරුව 200 ක පමණ පිරිසක් ලබන හතරවනදා (04) පැවැත්වෙන ජාතික නිදහස් දින උළෙලේ කොළඹ පැවැත්වෙන පෙරහුරුව සඳහා යොමුකර තිබෙනවා.

ඒ, ඔවුන් කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකෙරෙන පරීක්ෂණවලට භාජනය කිරීමකින් තොරවයි.

මෙම තත්වය හමුවේ කොළඹ පැවැත්වෙන ජාතික නිදහස් දින පෙරහුරුවට සහභාගිවන සෙසු පිරිස් ද අවදානමට ලක්ව ඇති බවයි අනුරාධපුර ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පෙන්වා දෙන්නේ.

තවත් කොරෝනා ආසාදිතයින් 486 දෙනෙක් අද (31) දිනයේ හඳුනාගෙන තිබෙනවා.

මෙම ආසාදිතයින් 486 දෙනාත් සමඟ අද (31) දිනයේත් මෙරටින් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව 800 සීමාව ඉක්මවා ගිය අතර අද (31) දිනයේ මේ වනවිට හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 837 ක්.

මේ වනවිට මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 64,130 ක් ලෙසයි ෴

+++++++++++++++++++++

(31.01.2021 – 21:42 +0530 – hirunews.lk/sinhala)

අද (31) දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 03 ක් වාර්තා වනවා.

මෙම මරණ තුනත් (03) සමඟ මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 316 ක් දක්වා ඉහළ ගියා.

අද දිනයේ වාර්තා වන මරණ කොළඹ 08, කඩුවෙල සහ අඟුරුවාතොට යන ප්‍රදේශවලින් වාර්තා වනවා.

+++++++++++++++++++++

(31.01.2021 – 19:26 +0530 – sinhala.adaderana.lk)

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි නාඳුනන පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් කුලියාපිටිය නගරයේ පවත්වාගෙන ගිය ඉරුදින යාච්ඤා මධ්‍යස්ථානයක් නවතා දැමීමට කුලියාපිටිය පොලිස් නිලධාරීන් අද (31) කටයුතු කළේය.

මේ සඳහා කුලියාපිටිය නගර සභාවෙන් කිසිදු අනුමැතියක් ලබාදී නොමැති අතර පොලිස් නිලධාරින් එහි යනවිටත් යාච්ඤා මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කර තිබුණි.

කෙසේ වෙතත් ඊට සහභාගී වූ කිසිවෙකුගේ තොරතුරු සටහන් කරගැනීමක් හෝ සිදුකර තිබුණේ නැහැ.

ඒ අනුව යාච්ඤාව නවතා දමා එය සංවිධාන කළ පිරිස්වලට අවවාද කෙරුණි.

කොවිඩ් දෙවන රැල්ලේ පළමු මරණය වාර්තා වුණේද මෙවැනිම යාච්ඤා මධ්‍යස්ථානයකින් ආරම්භ වූ පොකුරක් ආශ්‍රිතවය.

මේ අතර, කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ මේ දක්වා පුද්ගලයින් 37,825 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඊයේ දිනය තුළ පමණක් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සාමාජිකයින් 32,539 දෙනෙකුට එන්නත්කරණය සිදුකර තිබේ.

කොවිඩ් මර්දන ඉදිරි පෙළ රාජකාරිවල නිරත පොලිස් නිලධාරීන් සඳහා එන්නත ලබාදීමේ කටයුතු අද (31) ආරම්භ වුණේ නාරාහේන්පිට පොලිස් රෝහලේදීය.

එහිදී එන්නත ලබාදීමට පෙර වෛද්‍යවරුන් විසින් ඔවුන්ව දැනුවත් කරනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය උපුල් ගුණසේකර මහතා :

“මේකෙ දැනට වාර්තා වෙන අතුරු ආබාධ හැටියට එන්නේ කට්ටියකට උණ ඇවිල්ලා තියෙනවා. ඇඟපත රුදාව ඇවිල්ලා තියෙනවා. ඒ එක්කම ඒ අයට සමහර වෙලාවට මේ අතේ වේදනාවක්, අත උස්සගන්න බැරිවෙලා තියෙනවා. එහෙම මොනාහරි තියෙනවා නම් වැදගත්ම දේ තමයි ඔයගොල්ලෝ ‘බෙඩ් රෙස්ට්’ කරන්න ඕනේ. සාමාන්‍යයෙන් දවසක් දවස් දෙකක් විතර තියෙන්නේ, තුන්වැනි කාරණය තමයි ඇතිවෙන්න දියර වර්ග පාවිච්චි කරන්න. මතක තියා ගන්න කාටවත් ‘ඉන්ෂුවරන්ස්’ එකක් හම්බවෙන්නේ නෑ මේක විඳගත්තා කියලා. මේක හැදෙන්නේ නැහැ කියලා. නමුත් මේක විඳගත්තට පස්සේ මරණයේ ඉඳගෙන මේ රෝගය වැළදීමේ තියෙන අවදානම අඩුවෙනවා.”

වෛද්‍ය අරවින්ද විජේසේකර මහතා :

“නිරෝධායනය වන කාලය ඇතුළත කවුරුහරි ඉන්නවානම් ඒ අයට ගහන්නේ නෑ. වැක්සින් එකක් මොනාහරි අරගෙන තියෙනවා නම් සති දෙකක් (2) ඇතුළත ඒ අයට ගහන්නත් බැහැ. කොවිඩ්-19 හැදිලා, සුවවෙලා මාසයක් (1) ඇතුළත ඉන්න කෙනෙකුට ගහන්නෙත් නෑ.”

පොලිස් රෝහලේ කාර්ය මණ්ඩලය සහ ඊට අනියුක්ත පොලිස් නිලධාරීන් සඳහා එන්නත ලබාදුන් අතර එම රෝහල මගින් ඉදිරි දින කිහිපය තුළ 660 දෙනෙකුට එන්නත්කරණය සිදුකිරීමට නියමිතය.

එළැඹෙන දෙවැනිදා මහනුවර කුණ්ඩසාලේ පොලිස් රෝහලේ නිලධාරීන් 169 දෙනෙකුට එන්නත්කරණය සිදුකිරීමට නියමිතව තිබේ.

+++++++++++++++++++

(01.02.2021 – 06:52 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ, මැඩෑමුල්ල ප්‍රදේශයේ මනාලියක් කොවිඩි ආසාධිතයෙකු බවට තහවුරු වීමත් සමඟ මනාලයා ඇතුළු එම මංගල උත්සවයකට සහභාගී වූ පවුල් 35 ක පිරිසක් නිවෙස් තුලම නිරෝධායනයට යොමු කළ බව මිනුවන්ගොඩ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

මංගල උත්සවයට අවශ්‍ය දෑ මිලදී ගැනීමට මිනුවන්ගොඩ නගරයේ පිහිටි වෙළඳසැල් වෙත ගිය අවස්ථාවක මනාලියට මෙලෙස වෛරසය ආසාදනය වන්නට ඇති බවටයි සෞඛ්‍යය බලධාරීන් සැක පළකරන්නේ.

මනාලයා ‘රැපිඩ් ඇන්ටිජන්’ පරික්ෂණය සදහා යොමු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බවයි.

කෙසේ වෙතත් ඔහු නිවසේම නිරෝධායනය සදහා යොමු කර ඇති අතර මනාලිය ප්‍රතිකාර සදහා වරකාපොල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නිවෙස්වල නිරෝධායනය සදහා යොමු කර ඇති පවුල් 35 ට අදාළ පිරිස ඉදිරියේදී පී.සී ආර්. පරික්ෂණය සදහා යොමු කිරීමට සූදානම් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *