37,825 කට එන්නත් පළමු මාත්‍රාව දී අවසන්

37,825 කට එන්නත් පළමු මාත්‍රාව දී අවසන්

*********************************************

37,825 කට එන්නත් පළමු මාත්‍රාව දී අවසන්

(31.01.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දන කොවිෂීල්ඩ් එන්නත ලබාදීමේ වැඩසටහන අද (31) තුන්වන (3) දිනටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව, අද (31) දිනයේදීත් ප්‍රමුඛතාව මත සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සාමාජිකයින් වෙත එම එන්නත් කිරීමේ වැඩසටහන සිදු කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියේ.

බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 10 කදී එන්නත්කරණ කටයුතු ආරම්භ වූ අතර, ඊයේ (30) පමණක් 32,539 දෙනෙකුට එන්නත ලබාදුන් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

දින 02 කදි එන්නත් ලබාදුන් මුළු සංඛ්‍යාව 37,825 ක්.

පොලිසියේ සාමාජිකයින් සඳහා කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩසටහන අද (31) නාරාහේන්පිට පොලිස් රෝහලේදී ආරම්භ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

මේ අතර තුන්වන (3) දිනටත් මෙරට කොරෝනා ආසාදිතයන් 800 සීමාව ඉක්මවා තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ (30) දිනයේත් කොරෝනා ආසාදිතයන් 848 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 63,293 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

නව ආසාදිතයන්ගෙන් 844 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, බන්ධනාගාර පොකුරේ ආශ්‍රිතයන් හතර දෙනෙකු (4) ද වාර්තාවී තිබෙනවා.

ඒ අනුව දිවුලපිටිය, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරුවල ආසාදිතයන් සංඛ්‍යාව 53,337 ක් දක්වා ඉහළ යනවා.

තවදුරටත් ආසාදිතයන් 6,703 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 56,277 ක්.

තවත් කොරෝනා මරණ 8 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 313 දක්වා ඉහළ ගියා.

කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකු සහ එම ප්‍රදේශයේම පදිංචි 93 හැවිරිදි පුද්ගලයෙකුද මෙලෙස මියගිය අය අතර වනවා.

එමෙන්ම පොකුණුවිට පදිංචි 58 හැවිරිදි කාන්තාවක්, රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මඩවල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක්, වාද්දුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයන් දස කෝටි තිස් එක්ලක්ෂ එක්දහස් එකක් (10,31,01,001) ලෙස සටහන් වනවා.

මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 22,27,652 ක් ලෙසයි.

ගතවූ පැය විසි හතරේ (24) ඇමරිකාවෙන් නව මරණ 2,889 ක් සහ ආසාදිතයන් එක්ලක්ෂ 37,464 ක් වාර්තාවන අතර, බ්‍රිතාන්‍යය, බ්‍රසීලය සහ මෙක්සිකෝවෙන් දහස (1000) ඉක්මවූ මරණ සංඛ්‍යාවක් වාර්තාවනවා ෴

+++++++++++++++++++

(31.01.2021 – 10:24 +0530 – hirunews.lk/sinhala)

පින්නවල, දෙහිවල සහ රිදියගම සත්වෝද්‍යාන හෙට (01) සිට සීමිත කොන්දේසි යටතේ විවෘත කෙරෙන බව වනසම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ප්‍රකාශ කළා.

ඒ, පින්නවල සත්වෝද්‍යානය සහ අලි අනාථාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (30) එක්වෙමින් ෴

@@@@@@@@@@@@@@@

(31.01.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව අද (31) ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිතයි.

මෙම කොමිසම වසර එකහමාරකට (1½) ආසන්න කාලයක් සාක්ෂිකරුවන් 457 දෙනෙකුගෙන් ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි විමසනු ලැබුවා.

2019 වසරේ අප්‍රේල් 21 දින දිවයිනේ දේවස්ථාන 3 ක් ඇතුළු ස්ථාන අටකදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් 260 කට පමණ සිය ජීවිත අහිමි වුණා.

පාස්කු ඉරුදින සිදුවූ මෙම ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශන සඳහා පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් ස්ථාපිත කෙරුණේ 2019 වසරේ සැප්තැම්බර් 20 වැනිදායි.

මෙම කොමිසමේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා කටයුතු කළ අතර, එහි සෙසු සාමාජිකයන් වූයේ අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු සහ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම්වරියක වන මංගලිකා අධිකාරීයි.

කොමිසමේ පළමු අතුරු වාර්තාව 2019 දෙසැම්බර් 20 වනදාත් දෙවන අතුරු වාර්තාව 2020 මාර්තු 02 වනදාත් හිටපු ජනාධිපතිවරයාට සහ වත්මන් ජනාධිපතිවරයාට භාරදුන්නා.

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය 1,588 දෙනෙකුගෙන් ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර, එවක ආරක්ෂක අමාත්‍ය ධුරය දැරූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද ඒ අතරට අයත් ෴

***************************************

(31.01.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘සිංහාරගේ අමල් සමින්ද සිල්වා’ නොහොත් ‘රත්මලානේ අංජු’ගේ සමීපතම ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුනු තොරතුරකට අනුව මොරටුව ලුනාව කලපුව මැටි පාර ප්‍රදේශයේ කළ වැටලීමකදීයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු සතුව තිබී කේරළ ගංජා කිලෝ 7.57 ක් සහ මත්පෙති 7 ක් ද සොයාගෙන තිබෙනවා.

අවුරුදු 28 ක් වන ‘අකලංක’ නම් සැකකරු ලුනාව ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු, මේවන විට විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාදකරුවෙකු වන ‘රත්මලානේ අංජු’ගේ සමීපතම ගෝලයෙකු බවට අනාවරණ කරගෙන ඇත්තේ වැඩිදුරටත් ප්‍රශ්ණ කිරීම්වලදීයි ෴

***************************************

(31.01.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala)

මීටියාගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසලදී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කරන බටපොල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන ‘ශක්ති මධුශංක’ වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය පොලීසිය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව, අදාළ සැකකරුගේ දේශපාලන පසුබිම කුමක් වුවත්, ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසටයි අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ.

ඒ අනුව මෙම සැකකරු සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබාදෙන අයෙකුට මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ද තීරණය කර තිබෙනවා.

එසේම, මොහුට රැකවරණය ලබාදෙන හෝ පහසුකම් සලසන අයට එරෙහිව ද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පොලීසිය වෙත උපදෙස් ලබාදී ඇත්තේ.

පසුගිය 25 වනදා සිදුවූ මෙම සිද්ධියේදී ඝාතනයට ලක්ව තිබුණේ 24 හැවිරිදි තරුණයෙක්.

එය මෙම මන්ත්‍රීවරයාගේ සැලසුමක් මත සිදුකර ඇති බවට මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් 5 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැනට පොලීසිය මඟ හරිමින් සිටින අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 071 859 1481 යන අංකයෙන් මීටියාගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට, 1997 අංකයට හෝ 118 මෙන්ම 119 යන අංක වෙත තොරතුරු ලබාදෙන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴

***************************************

(31.01.2021 – 08:22 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා වරායෙ අධිකාරියේ මෙහෙයුම් කටයුතු අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

1979 අංක 16 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ඊයේ (30) රාත්‍රියේයි.

ඒ අනුව වරාය අධිකාරිය සපයනු ලබන සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස සැළකිල්ලට ගනිමින් ඉදිරි කටයුතු සිදුකළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ කළමනාකාරිත්වය යටතේ ඉදිරියටත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් කොළඹ වරායේ වෘත්තීය සමිති පෙරේදා (29) සිට අකුරට කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවනවා.

එම තත්වය හමුවේයි කොළඹ වරාය අධිකාරියේ කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කර ඇත්තේ.

කෙසේ වෙතත් අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බවයි වෘත්තිය සමිති නියෝජිතයින් සඳහන් කළේ.

වරාය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කිරීමෙන් පසුව එහි කටයුතු සම්බන්ධයෙන් වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතා හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා.

කොරෝනා වසංගත තත්වයත් සමඟ වරාය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට මීට පෙර කටයුතු කළ අතර, ඊයේ (30) නිකුත් කරනු ලැබුවේ ඊට අදාළ ගැසට් නිවේදනය බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඊයේ (30) රාත්‍රියේ ද වරාය වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කළ බව ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම අදාළ වෘත්තිය සමිති අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් සඳහා අවසර ඉල්ලා තිබුණද මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින්නේ සෙමෙන් වැඩ කිරීමේ ක්‍රියාවලියක් බවයි වරාය සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා හිරු ප්‍රවෘත්ති අශය සමඟ අදහස් දක්වමින් සඳහන් කළේ ෴

***************************************

(31.01.2021 – 08:37 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දස වසර තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයින් සිදුකළ පරීක්ෂණවලට අනුව නව බීජ ප්‍රභේද 17 ක් හඳුන්වාදී තිබෙනවා. මෙම ප්‍රභේද අතර වී වර්ග 3 ක් සහ පුහුල් ප්‍රභේදයක්ද ඇතුළත්.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද පළමු පුහුල් ප්‍රභේදය මෙය වනවා.

වී ප්‍රභේද අතර වැඩි අස්වැන්නක් ලබා දෙන සම්බා ප්‍රභේදයක් ද වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එය බීජි-375 ලෙස නම් කර ඇති අතර, අවසන් වරට එලෙස සම්බා ප්‍රභේදයක් එළිදක්වා ඇත්තේ 1999 වසරේදීයි.

මීට අමතරව, බීජී-314 සුදුනාඩු ප්‍රභේදයක් හා ඒ.ටී-313 රතු දිග ඇට සහිත වී ප්‍රභේදයක් ද හඳුන්වා දී තිබෙනවා.

එමෙන්ම, හොරණ – ලයිම් 01 සහ ගන්නෝරුව-එක අඹ වර්ගයක් ද මෙලෙස හඳුන්වාදී ඇති ප්‍රභේද අතරට ඇතුළත්.

ඊට අමතරව, හොරණ – 01 දෙල් ප්‍රභේද දෙකක් (2) ද, රතුලූණු හා රටකජු ප්‍රභේදයක් ද හඳුන්වා දී තිබෙනවා ෴

***************************************

(31.01.2021 – 08:49 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීමේ මුවාවෙන් දැන්වීම් පළ කර අත්තිකාරම් මුදලක් ලබාගෙන වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු වැලිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරු ඊයේ (30) අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී සොරකම් කරන ලද ජාතික හැඳුනුම්පත් 6 ක් ද පොලීසිය භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මෙම වංචාවට ලක් වූ තවත් අය වේ නම් ඒ සම්බන්ධයෙන් 071 859 1753 අංකයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා දැනුවත් කරන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා ෴

(31.01.2021 – 07:42 +0530 – sinhala.adaderana.lk)

විවිධ පුද්ගලයින්ගේ හැඳුනුම්පත් භාවිත කරමින් බැංකු ගිණුම් විවෘත කර, ඒ තුළින් අන්තර්ජාලයෙන් භාණ්ඩ අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අලෙවි කළ භාණ්ඩයේ මුළු වටිනාකමින් කොටසක් අදාළ බැංකු ගිණුම්වලට යොමු කිරීමෙන් අනතුරුව සැකකරු එම මුදල් ලබාගෙන බැංකු ගිණුම් අක්‍රීය කරනු ලබන බව අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් 29 හැවිරිදි නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ඊයේ (30) වැලිගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ ඒ මහතා,

“එක්තරා පුද්ගලයෙකු විසින් අන්තර්ජාලය තුළ විවිධාකාරයේ දැන්වීම් පළකර තිබුණා භාණ්ඩ විකිණීම් සිදුකරන බවට. විශේෂයෙන්ම නූතන සංගීත භාණ්ඩ – ඕගන්, පියානෝ වැනි සංගීත භාණ්ඩ ඒ වගේම ඇපල් පරිගණක සහ අයි පෑඩ් පරිගණක. මේවා විකිණීමට තිබෙන බවත් ඒවා ඉතා ඉක්මනින් විකිණීමට ඉතා අඩුමුදලකට ලබාදෙන බවත් සඳහන් කරමින් මෙම දැන්වීම් පළකර තිබුණා. එමෙන්ම එම දැන්වීම්වලට අන්තර්ජාලය හරහා ප්‍රතිචාර දක්වන පිරිස්වලට වහාම අත්තිකාරම් මුදලක් දමන ලෙසට මෙම පුද්ගලයා විසින් දැනුම් දෙනවා. ගිණුම් අංකයක් ද ලබාදීමක් සිදුකරනවා. එම අත්කිකාරම් මුදල තැන්පත් කළ විගස අදාළ පුද්ගලයා එම ගිණුම අවසන් කර ණය කාඩ් පතකින් මුදල් ලබා ගැනීමක් සිදුකරනවා. මේ ආකාරයට පුද්ගලයින් ගණනාවකට මේ පුද්ගලයා මුදල් වංචා කර තිබුණා. මෙම පුද්ගලයා විසින් දිනකට රුපියල් 10,000 සහ 20,000 ආදී ලෙස අත්අකාරම් මුදල් ලබාගෙන තිබෙනවා. මෙම පුද්ගලයා විසින් ආරම්භ කර ඇති ගිණුම් විවිධ පුද්ගලයන්ගේ හැඳුනුම්පත් සොකරම් කරමින්, විවිධ පුද්ගලයන්ගේ හැඳුනුම්පත්වල අංක භාවිත කරමින් ආරම්භ කර ඇති ගිණුම් බවට අනාවරණය වී තිබෙනවා.”

***************************************

(31.01.2021 – 09:19 +0530 – hirunews.lk/sinhala)

පස්සර – මඩොල්සිම පොලිස් වසමට අයත් ඇකිරිය සහ ඒ අවට ගම්මාන කිහිපයකට අද (31) අලුයම 02:59 ට පමණ සුළු භූ චලනයක් සිදුව තිබෙනවා.

එය රික්ටර් පරිමාණයේ ඒකක දෙකක් (2) ලෙස සටහන් වී ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ.

එම භූ චලනය මහකනදරාව ඇතුලු භූකම්පන මධ්‍යස්ථාන හතරෙහිම සටහන්වී තිබෙනවා. පසුගිය 22 වනදා අලුයමද ඇකිරිය සහ නුවරඑළිය – වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව මෙවැනිම භූ චලනයක් සිදුවූ අතර, එහි ප්‍රබලත්වය දැක්වුණේ රික්ටර් පරිමාණයේ 1.8 ක් ලෙසයි.

අද (31) ඇතිවූ භූ චලනය ද වලපනේ ආශ්‍රිත ප්‍රදේශවලට දැනී තිබෙනවා.

පසුගිය 22 වනදා අදාළ භූ චලනය හටගැනීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් වලපනේ ප්‍රදේශයට ගොස් නිරීක්ෂණයකද නිරතවුණා.

අද (31) ඇතිවූ භූ කම්පනය තත්පර 30 ක පමණ කාලයක් පැවති බවයි ඇකිරිය ගම්වාසීන් ප්‍රකාශ කළේ ෴

***************************************

(31.01.2021 – 09:52 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර තිබෙනවා.

ජනාධිපතිවරයා එම නව කොමිසමට නියෝග කර ඇත්තේ මාස 3 ක් ඇතුළත විමර්ශන සිදුකර අවශ්‍ය නිගමන හා නිර්දේශවලට අනුව දඬුවම් දක්වමින් තමන් වෙත වාර්තාවක් ඉදිරිපත්කරන ලෙසයි.

2015 ජනවාරි 08 වැනිදා සිට යහපාලන රජය සමයේ සිදුවූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කරනු ලැබුවේ පසුගිය වසරේ ජනවාරි මාසයේයි.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුතු කොමිසමට ලැබී තිබූ මුළු පැමිණිලි සංඛ්‍යාව 1971 ක්.

අගතියට පත් පාර්ශ්ව රැසක් කොමිසම හමුවේ සාක්ෂි දුන් අතර යහපාලන රජය සමයේ සිදු වූ දේශපාලන පළිගැනීම් සහ නීතිය අවභාවිත කිරීම සම්බන්ධයෙන් කරුණු රැසක් එහිදී අනාවරණ වුණා.

පිටු 2043 කින් සමන්විත එහි අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවේ පසුගිය දෙසැම්බර් 8 වැනිදායි.

එම වාර්තාවේ ඇතුළත් අවසන් තීරණ සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පසුගියදා කැබිනට් අනුමැතියද හිමිවුණා.

එහි දැක්වෙන පරිදි යහපාලන ආණ්ඩුවේ ‘දූෂණ විරෝධී කමිටුවේ’ සාමාජිකයන් වන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, පාඨලී චම්පික, රාවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, ආර්. සම්බන්ධන්, අනුර කුමාර දිසානායක, ජයම්පති වික්‍රමරත්න, නීතිඥ ජේ.සී. වැලිඅමුණ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ ඇතුළු පුද්ගලයන් 22 නෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දිවුරුම සහ ප්‍රතිපාදන උල්ලංඝණය කරමින් පොදු දේපළ අවභාවිත කර තිබෙනවා.

එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරිම සඳහායි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන්නේ.

එහි සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධම්මික ප්‍රියන්ත සමරකෝන් ජයවර්ධන මහතා සහ සෙසු සාමාජිකයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඛේමා කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය හා අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතා පත්කර තිබෙනවා.

දේශපාලන පළිගැනීම් කොමිසමේ අවසන් වාර්තාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව පිහිටුවාගත් ‘ජාතික විධායක සභාව’ සහ ‘දූෂණ මර්දන කොමිටිය’ නැමැති දේශපාලන සංවිධානයක් විසින් පැමිණිලිකරුවන් ඍජුව හෝ වක්‍රව දේශපාලනමය වශයෙන් පළිගැනීමට ලක්කිරීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, පොලිස් විශේෂ විමර්ශන ඒකකය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදාගෙන ඇති බවයි ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය මඟින් අනාවරණය කර ඇත්තේ.

එහිදී වගඋත්තරකරුවන්

  1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන උල්ලංඝණය කිරීම
  2. බලය අයුතු ලෙස පාවිච්චි කිරීම, මැදිහත්වීම, වංචාකිරීම, දූෂණය, සාපරාධී සාවද්‍ය පරිහරණය, සාපරාධී විශ්වාසය කඩකිරීම හෝ ඥාති සංග්‍රහය
  3. යම් තැනැත්තෙකුගෙන් දේශපාලන වශයෙන් පළිගැනීම
  4. යම් තැනැත්තෙකුගේ පත්වීමකදී, මාරුකිරීමකදී, උසස් කිරීමකදී, සේවය අවසන් කිරීමකදී අක්‍රමිකතාවයක් හෝ යම් ලිඛිත නීතියක් උල්ලංඝණය කිරීම සිදුකර තිබේනම්

වගඋත්තරකරුවන් ඒ සඳහා කොතෙක් වගකිවයුතුද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශනය කර වාර්තා කිරීම නව කොමිසම සතු කාර්යයක්.

අදාළ වාර්තාවට අනුව යම් තැනැත්තෙකු ප්‍රජා අයිතිය අහෝසි කිරීමට යටත් කළ යුතු නම් ඒ බව නිර්දේශ කිරීම සඳහාද ජනාධිපතිවරයා විසින් නව කොමසාරිස්වරුන් තිදෙනා පත්කරන බව එම ගැසට් නිවේදනයෙන් දැක්වෙනවා.

ඒ අනුව මාස 3 ක් ඇතුළත විමර්ශන සිදුකර අවශ්‍ය නිගමන හා නිර්දේශවලට අනුව ලබාදෙන දඬුවම් දක්වමින් අවසන් වාර්තාව හෝ අතුරු වාර්තාව තමන් වෙත ලබාදෙන ලෙසයි ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට නියෝග කර තිබෙන්නේ.

++++++++++++++

යහපාලන රජය සමයේ අධිකරණයට සිදුකළ බලපෑම් සහ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් දේශපාලනඥයින් අදහස් පළ කළා.

***************************************

තනි භාවිත සහ කෙටි කාලීන භාවිතයට ගන්නා ප්ලාස්ටික් මාර්තු 31 සිට තහනම්

(31.01.2021 – 10:32 +0530 – hirunews.lk/sinhala)

ලබන මාර්තු 31 වනදා සිට තනි භාවිත සහ කෙටිකාලීන භාවිතයට ගන්නා ප්ලාස්ටික් අයිතම තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ශුද්ධ පරිමාව මිලිමීටර විස්සට (20) අඩු, ශුද්ධ බර ග්‍රෑම් විස්සට (20) සමාන හෝ ඊට අඩු සැෂේ පැකට්, පිහිණුම් තටාකවල භාවිත කරන සෙල්ලම් බඩු සහ ජල ක්‍රීඩා උපකරණ හැර සුළං වලින් පිරවිය හැකි සෙල්ලම් බඩු, ප්ලාස්ටික් කූර සහිත ‘කොට්න්බඩ්ස්’ භාවිතය එදින සිට තහනම් වනු ඇති.

එසේම ලබන මාර්තු 31 වනදා සිට කෘෂිරසායනික ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා පී.ඊ.ටී. හෝ පී.වී.සී. වර්ගයේ ප්ලාස්ටික් වර්ග භාවිතයට ගැනීම ද තහනම් කර තිබෙනවා.

මෙම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමට නොහැකිවීම නිසා ඇතිවන පාරිසරික ගැටලු අවම කිරීම මීට හේතුව බවයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *