ගම්මාන රැසක වැව් කිහිපයක් අවහිර කරමින් ඉදිකළ අලි වැට

ගම්මාන රැසක වැව් කිහිපයක් අවහිර කරමින් ඉදිකළ අලි වැට

*********************************************

ගම්මාන රැසක වැව් කිහිපයක් අවහිර කරමින් ඉදිකළ අලි වැට

(27.01.2021 – 14:24 +0530 – hirunews.lk/sinhala)

‘හිරු රතු මිනිත්තුව’ට වාර්තා වූ අයුරින් මයිලන්කුලම, ප්‍රදීපාගම, තේවනුවර, අම්බලම පාර ඇතුළු ගම්මාන රැසක් සින්නක්කරයට ගත් වන අලින් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාකරණය සදහා අප එහි පැමිණෙන විට වේලාව සටහන්ව තිබුණේ උදෑසන 11:30 ලෙසින්.

වසර ගණනාවක් තිස්සේ වන අලින්ගෙන් පීඩාවට පත් මේ ජනතාව වෙනුවෙන් ඉදි කර තිබූ පැරණි විදුලි වැට ස්ථාපනය කර තිබුණේ ගම්මානයට කිලෝ මීටර් දෙකක් (2) පමණ දුරකින්.

නමුත් නව විදුලි වැට ස්ථාපනය කිරීමත් සමඟ ගැටළුවට පිලිතුරු වෙනුවට මේ ජනතාවගේ ගැටළුව දෙගුණ තෙගුණ වී තිබෙනවා.

දෛනික කටයුතුවලට දැඩි තර්ජනයක් වෙමින්, රැයක් දවාලක් නොමැතිව ගම්වදින මේ වන අලින් ගම්වැසියන්ගේ ජීවිතවලටද තර්ජනයක් බවට පත්ව අවසන්.

අලි-මිනිස් අයිතිවාසිකම් සුරකිනු වස් නව විදුලි වැට ඉදි කර ඇත්තේ ගම්වැසියන්ගේ ප්‍රයෝජනය සදහා ඇති වැව් කිහිපයක්ම අලි වැට මගින් අවහිර වන අයුරින් බවටයි ගම්වැසියන් පවසන්නේ.

ජීවන අරගලය සමඟ පොර බඳින මේ ගම්වැසියන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම ජීවිත රැකගැනීම වෙනුවෙන් මෙම ගැටළුව සඳහා නිසි විසඳුම් ලබා දෙන ලෙසයි.

මේ අලි මිනිස් ගැටළුව තවත් ජීවිතයක අවසානයක් දක්වා දුරදිග නොගොස් ඒ වෙනුවෙන් නිසි විසඳුම් ලබා දෙන තෙක් ‘හිරු රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

(27.01.2021 – 15:45 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට මෙරටට රථ වාහන ආනයනය නතර කර තිබීමත් සමග භාවිතයේ පවතින රථවාහනවල මිල ගණන් අධික ලෙස ඉහළගොස් තිබෙනවා.

ඒ අනුව බොහෝදෙනෙකු තුළ නැවත රථවාහන මෙරටට ගෙන්වීම පිළිබඳව කතාබහක් ඇතිව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ මහතා ගෙන් විමසීමක් සිදුකළා.

එහිදී ඔහු පලකළ අදහස් පහතින් :

***************************************

(27.01.2021 – 15:56 +0530 – hirunews.lk/sinhala)

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ඊ.ටී.අයි. සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන 4 දෙනා අධිකරණයට යොමුකළ අපේක්ෂිත ඇප අයදුම්පත් ඉල්ලා අස්කරගෙන තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඔවුන් මෙම ඇප අයදුම්පත්‍රය ඉදිරිපත් කර තිබුණා.

හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ඒ අනුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් එම අයදුම්පත් හතර (4) අද (27) නිෂ්ප්‍රභ කළ බවයි.

ඊ.ටී.අයි. සමාගමේ සිදුව ඇති මුල්‍ය වංචාවන්ට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මොවුන් සිව්දෙනා (4) ඇප මත මුදා හැරුණේ පසුගිය 15 වනදායි ෴

***************************************

(27.01.2021 – 16:46 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම මාන්තේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් කේරළ ගංජා කිලෝ 31 ක තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

උතුරු මැද නාවික විධානය මගිනුයි ඊයේ (26) මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ.

එහිදී මාන්තේ වෙරළ තීරයට ආසන්නයේ කටු පඳුරු සහිත ස්ථානයක ගෝනි උරයක බහා සගවා තිබූ පාර්සල් 14 ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 31 ක් සොයා ගැණුනා.

එහි වටිනාකම රුපියල් මිලියන 11 කට ආසන්න වන බවටයි විශ්වාස කෙරෙන්නේ.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් නාවික හමුදාව භාරයට ගත් මෙම කේරළ ගංජා තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වංකාලේ පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා ෴

***************************************

(27.01.2021 – 16:58 +0530 – hirunews.lk/sinhala)

මාර්තු 10 වනදා අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු පිරිසකට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අභියාචනාධිකරණය අද (27) නොතීසි නිකුත් කළා.

ඒ දිස්ත්‍රික් කෝටා ක්‍රමය සහ නව – පැරණි විෂය නිර්දේශවලට ලද වර්ගීකරණය මත පදනම්ව විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කිරිමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමකට අදාළවයි.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි සිසුවියක් විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා.

2019 වසරේ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් පෙනී සිට වෛද්‍ය පීඨයට ඇතුළුවීමට සිටි තමන්ට මෙම නව ක්‍රමවේදය මගින් අසාධාරණයක් සිදුවී ඇති බවටයි ඇය පෙත්සමින් පෙන්වා දී ඇත්තේ ෴

***************************************

(27.01.2021 – 17:03 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා කොළඹ කිංස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් මුබාරක් නමැති සැකකරුගේ බිරිඳ වන අයේෂා සිද්ධිකා මොහොමඩ් වසීම් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු (4) ලබන මස 10 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව අද (27) කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ති ලියනගේ හමුවේ විභාගයට ගැණුනු අවස්ථාවේදීයි.

එහිදී සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඔවුන් නිරීක්ෂණය කර නියෝගය ලබාදීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කර තිබුණා.

එසේම, සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කෙරෙන නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වල සටහන් සහ සාක්ෂි සම්පිණ්ඩන වාර්තා ලබන 24 වනදාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා ෴

***************************************

(27.01.2021 – 17:38 +0530 – hirunews.lk/sinhala)

හබරාදුව ප්‍රදේශයේ පදිංචි දාසය (16) හැවිරිදි පාසල් සිසුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් ග්‍රාම සේවකවරයෙකු හබරාදුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්තව සේවය කල 37 හැවිරිදි සැකකරු ගණිත විෂය සම්බන්ධයෙන් උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

2018 වසරේ සිට සිසුවා මෙම පුද්ගලයාගේ උපකාර පන්ති සඳහා සහභාගී වී ඇති අතර එතැන් සිට අවුරුදු දෙකක (2) කාලයක් මොහු විසින් සිසුවා බිය ගන්වා බරපතල ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

දිගින් දිගටම සිදු වන මෙම ලිංගික අපයෝජනය නතර නොවීම හේතුවෙන් දරුවා විසින් මේ පිළිබඳ හබරාදුව පොලිසියට දැනුම් දී ඇතැයි සඳහන්.

පසුව සිදු කළ පරීක්ෂණවලදී සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අදාළ සිසුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴

***************************************

(27.01.2021 – 19:57 +0530 – hirunews.lk/sinhala)

පානදුර – පල්ලිමුල්ල ප්‍රදේශයේදී පසුගිය සඳුඳා (25) පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ තොරතුරු රැසක් මේ වනවිට පොලීසිය අනාවරණ කර ගෙන තිබෙනවා.

මෙම වෙඩි තැබීමට හේතුව මුදල් ආරවුලක් බවට හෙළිව ඇති අතර, මියගිය 32 හැවිරිදි පුද්ගලයා කලක සිට සිය බෝට්ටුවෙන් පානදුර ප්‍රදේශයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බව ද අනාවරණ වී ඇතැයි පොලීසිය ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් ඇති වූ මුදල් ආරවුලක ප්‍රතිඵලයක් ලෙස ඝාතනය සිදුව ඇති අතර, සිද්ධියට සම්බන්ධ යතුරුපැදියේ පැමිණි වෙඩික්කරු සහ යතුරුපැදිය පදවා ගෙන පැමිණි පුද්ගලයා සොයා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.

මේ වනවිට මියගිය පුද්ගලයා ගමන් ගත් ත්‍රිරෝද රථයේ සිටි අයෙකු ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

***************************************

(27.01.2021 – 20:03 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වන ගිවිසුම පිළිබඳ යෝජනාව ලබන සඳුදා (01) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් නොකරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

අද (27) පෙරවරුවේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීමට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් අවසන් තීරණයක් තවමත් ආණ්ඩුව ගෙන නොමැති බවයි.

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් වන ගිවිසුමට අදාළ යෝජනාව ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ නම්, අයිතිය වරාය අධිකාරියට සියයට 51 ක් නොව, සියයට සියයක් (100%) ලෙස තිබිය යුතු බවටයි වරාය වෘත්තීය සමිති තීරණය කර තිබුණේ.

ඊට අදාළ යෝජනා ද අමාත්‍ය මණ්ඩල අනු කමිටුව වෙත ලබාදීමට පසුගියදා වෘත්තීය සමිති තීරණය කළේ.

එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් නොකරන්නේ නම්, අනිද්දා (29) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමටයි නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික සභාව තීරණය කරනු ලැබුවේ.

අද (27) පෙරවරුවේ ලංකා ගුරු සේවා සංගමය ද නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට සෙත්සිරිපාය දක්වා පාගමනින් පැමිණියා.

***************************************

(27.01.2021 – 20:06 +0530 – hirunews.lk/sinhala)

යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිත කලාපය කඩිනමින් ගැසට් කරන ලෙස ඉල්ලා වලව වම් ඉවුර ගොවි ව්‍යාපාරය ඇතුළු ගොවි සංවිධාන කිහිපයක් එක්ව සූරියවැව – වල්සපුගල ප්‍රදේශයේ ආරම්භ කර ඇති අඛන්ඩ සත්‍යග්‍රහයට අදට (27) දින 10 ක් ගතවනවා.

අද (27) ඔවුන්ට සහය දක්වමින් ප්‍රදේශයේ තවත් ගොවි සංවිධාන කිහිපයක් සත්‍යග්‍රහයට එකතු වුණා.

මේ අතර, වැලි ජාවාරම්කරුවන් දිගින් දිගටම සිදුකරන පරිසර විනාශයන්ට විරෝධය පළ කරමින් මාදම්පේ – සුදුවැල්ල ශ්‍රී සමයවර්ධනාරාම විහාරස්ථානය ඉදිරිපිට ප්‍රදේශවාසීන් විසින් ආරම්භ කළ උපවාසය අද (27) පස්වරුවේ අවසන් කෙරුණා.

ඒ ඔවුන්ට විසඳුමක් ලබාදෙන බවට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලබාදුන් පොරොන්දුවකට අනුවයි.

කෙසේ වෙතත්, අද (27) පෙරවරුවේ සත්‍යග්‍රහයේ නිරත පිරිසට සහය දක්වමින් ප්‍රදේශවාසීන් පිරිසක් මාදම්පේ කුරුණෑගල ප්‍රධාන මාර්ගය සුදුවැල්ල මංසන්ධියෙන් අවහිර කරමින් විරෝධතාවක ද නිරත වුණා.

පසුව ඔවුන් පාගමනින් මාදම්පේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ එහිදී ද යළි විරෝධතාවයේ නිරත වූ අතර එම අවස්ථාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජිතයන් සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

***************************************

(27.01.2021 – 20:19 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත සම්බන්ධයෙන් සොයා බැලීම පත් කල පංච පුද්ගල ජනාධිපති පරීක්ෂන කොමිෂන් සභාවේ වැඩ කටයතු අද (27) පස්වරුවේ නිල වශයෙන් අවසන් කෙරුණා.

මේ වන විට සාක්ෂිකරුවන් 457 කගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

අවසන් වරට කොමිසම හමුවේ ඊයේ (26) සාක්ෂි දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර පැවසුවේ පාස්කු ප්‍රහාරය පසුපස යම් අදෘශ්‍යමාන බලවේගයක් ක්‍රියාත්මකව තිබූ බව තමන්ට හැඟෙන බවයි.

පාස්කු ප්‍රහාරය සිදුවූ සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂව සිටි ශානි අබේසේකර ඊයේ (26) දෙවන දිනටත් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ ඔහු ප්‍රතිකාර ලබමින් සිටින කොළඹ ජාතික රෝහලේ 42 වන වාට්ටුවේ සිටයි.

***************************************

(27.01.2021 – 20:38 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට අසන්ත ද මෙල් මහතා තීරණය කර තිබෙනවා.

‘හිරු ස්පෝර්ට්ස්’ වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම තීරණයට එළඹුණු බවයි.

පසුගිය සතියේදී අසන්ත ද මෙල් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ධුරයෙන් ඉවත්වීමට ද තීරණය කළා.

අවස්ථා කිහිපයකදී තේරීම් කමිටු සභාපතිධූරය දෑරු ඔහු 2018 වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරයට පත් වන්නේ 2019 එක්දින ලෝක කුසලානයට මාස 6 ක් පමණක් ඉතිරිව තිබියදී.

එතැන් සිට වසර දෙකක (2) තේරීම් කමිටු සභාපතිධූරයෙන් අනතුරුව නැවත වරක් අසන්ත ද මෙල් තේරීම් කමිටු සභාපති ලෙස පත් කරමින් ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කළේ පසුගිය දෙසැම්බර් මාසයේදී.

අසන්තා ද මෙල්ගේ තේරීම් කමිටු සභාපතිත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 16 කට සහභාගි වූ අතර ඉන් තරග 7 ක් පරාජය වෙද්දී තරග 4 ක් ජය ගත්තා.

එම කාළය තුළදී එක්දින තරග 24 න් තරග 10 ක් පමණක් ජය ගනිද්දී පන්දුවාර 20 තරග 18 න් ජය ගත්තේ තරග 4 ක් පමණයි.

කෙසේ වෙතත්, දකුණු අප්‍රිකා සහ එංගලන්ත ටෙස්ට් තරගාවලිය පරාජයත් සමගින් අසන්ත ද මෙල් ඇතුළු තේරීම් කමිටුවට දැඩි විවේචනය එල්ල වුණා.

එවැනි වට පිටවක් තුළයි අසන්ත ද මෙල් මහතා තේරීම් කමිටුවෙන් අද (27) ඉල්ලා අස්වීමට තීරණය කළේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට තමන් මේ මොහොතේදී සුදානමක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ මාතරදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර ක්‍රිකට් ඇතුළු සියලු ක්‍රීඩාවන්ට ගෙවීම් සිදුකිරීමේදී දක්ෂතා මත ගෙවීමේ ක්‍රියාවලිය ඉදිරියේදී ක්‍රියාවට නංවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද (27) පැවති උත්සවයකට එක්වෙමින්.

***************************************

(27.01.2021 – 22:36 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි පළමු වැනිදා (01) සිට ක්‍රියාත්මක වන පරිදි වතු කම්කරුවන්ට රුපියල් 1000 ක වැටුප් වැඩිවීම ලබා නොදෙන්නේ නම් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළැඹෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අනතුරු අඟවනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

වැවිලි අංශයේ සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම සඳහා අයවැය මගින් යෝජනා කෙරුණා.

කෙසේ වෙතත් දැනට වතු හාම්පුතුන් එකඟ වී ඇත්තේ රුපියල් 920 ක දෛනික වැටුපකට පමණයි.

ඒ අනුව පඩි පාලක සභා මගින් වැවිලි අංශයේ සේවක වැටුප ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් මණ්ඩලයේදී තීරණය කෙරුණා.

කෙසේ වෙතත් වැවිලි ප්‍රජාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන වඩිවේල් සුරේෂ් මහතා අද (27) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කළේ ජනවාරි මස සිට රුපියල් දහසේ (1000) දෛනික වැටුප හිමිවිය යුතු බවයි.

මේ අතර, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස (1000) දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ බණ්ඩාරගම නගරයේ විරෝධතාවක නිරත වුණා.

***************************************

(28.01.2021 – 06:18 +0530 – hirunews.lk/sinhala)

දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (28) යෙදී තිබෙනවා.

වසරේ පළමු පුර පසළොස්වක පොහොය වන දුරුතු පොහොය ලක්වාසී සියලු දෙනාට වැදගත් වන්නේ බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය අද (28) වැනි දිනක සිදුවීම හේතුකොට ගෙනයි.

අද වන් දිනයක සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වැසි ජනයා කෙරෙහි අනුකම්පාවෙන් කේෂධාතු මිටක් දන්දුන් අතර එම කේෂධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බව ඉතිහාසයේ සඳහන්.

බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කරන ලද්දේ ද දුරුතු පොහොය දිනකයි ෴

***************************************

(28.01.2021 – 06:30 +0530 – hirunews.lk/sinhala)

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දෙනුවර මැණිකේ දුම්රිය ධාවනය නැවත දැනුම්දෙන තුරු නතර කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට තිබූ අංක 1001 දරණ දෙනුවර දුම්රිය මැණිකේ දුම්රිය හෙට (28) සිට නවතා දැමීමටයි කටයුතු යොදා ඇත්තේ.

එසේම බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ අංක 1001 දරණ දෙනුවර දුම්රිය මැණිකේ දුම්රිය අනිද්දා (29) සිට නවතා දැමීමට කටයුතු යොදා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

@@@@@@@@@@@@@@@@

(27.01.2021 – 15:54 +0530 – hirunews.lk/sinhala)

වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා ස්වයං නිරෝධායනයට යොමුවී තිබෙනවා.

ඒ ඔහු කොරෝනා වෛරසය ආසාදනය වූ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ සමීප ආශ්‍රිතයෙකු වීම හේතුවෙන්.

පසුගිය 24 වනදා වලපනේ ප්‍රදේශයේ පැවති උත්සවයකට අමාත්‍ය සී.බී. රත්නායක මහතා සහ රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා පැමිණ සිටියා.

මීට පෙර තලවකැලේ ළිඳුල නගර සභාවේ පැවති උත්සවයකදී කොවිඩ් ආසාදිත ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සමීප ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් ද අමාත්‍ය සී.බී. රත්නායක මහතා ස්වයං නිරෝධායනයට යොමුව සිටියා.

කෙසේවෙතත් එහිදී සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවලින් අමාත්‍යවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වුණා ෴

++++++++++++++++++++++

(27.01.2021 – 17:47 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1520 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භයෙන් පසු දිනකදී සුවය ලබා රෝහල්වලින් පිටව ගිය වැඩිම සංඛ්‍යාව ලෙසටයි මෙය සටහන් වන්නේ.

මෙරට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 52,566 ක්.

ශ්‍රී ලංකාවෙන් මේවනවිට ආසාදිතයන් 59,922 ක් හමුවී ඇති අතර ඉන් 7068 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙරටින් වාර්තාවූ මරණ සංඛ්‍යාව 288 ක් ෴

+++++++++++++++++++++

(27.01.2021 – 18:51 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 311 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 60,233 ක් ලෙසටයි.

මෙරටින් හමුවී ඇති කොරෝනා ආසාදිතයන්ගෙන් 1520 දෛනකු අද සුවය ලබා නිවෙස් වෙත පිටව ගිය අතර සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 52,566 ක්.

මෙරට දිනකදී සුවය ලබා නිවෙස් වෙත පිටව ගිය වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ ද අද (27) දිනයේදීයි.

මේ අතර, කොරෝනා ආසාදිතයින් සඳහා වෙන්කර ඇති රෝහල් ඇඳන් සංඛ්‍යාවේ හිඟයක් නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද (27) තහවුරු වීමත් සමඟ වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා ස්වයං නිරෝධායනයට යොමු වුණා.

ඒ, ඔහු අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාගේ සමීපතම ආශ්‍රිතයෙක් වීම හේතුවෙන්.

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ කොරෝනා ආසාදිත මැතිඇමතිවරුන්ගේ සංඛ්‍යාව 07 දක්වා ඉහළ ගියා.

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පසුගිය ඉරිදා මහනුවර පාතදුම්බර දොරගමුව ප්‍රදේශයේ පැවති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සම්මේලනයක් සදහා එක්වී සිටියා. එදිනම නුවරඑළිය වලපනේ පැවති කෘෂි උපකරණ බෙදාදීමේ වැඩසටහනකටද රාජ්‍ය අමාත්‍යවරයා සහභාගී වී තිබෙනවා.

එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරයා කොළඹ පිහිටි සිය අමාත්‍යංශයේදී ඊයේ (26) ප්‍රවෘත්ති සාකච්ඡාවකටද එක්වුණා.

මේ අතර, කොරෝනා ආසාදිත පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාගේ ආශ්‍රිතයන් ලෙසින් හඳුනා ගැනුණු ස්වයං නිරෝධායනයට යොමු වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේට සහ චමින්ද විජේසිරිට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

++++++++++++++++++++

(27.01.2021 – 19:41 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දනය සඳහා වන පළමු එන්නත් තොගය හෙට (28) මෙරටට ලැබෙන අතර, අනිද්දා (29) දිනයේ සිට එන්නත්කරණ කටයුතු සිදුකරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කළා.

මේ අතර, ලක් රජයේ ඉල්ලීම මත චීනයේ නිෂ්පාදිත කොරෝනා වෛරස් එන්නත් මාත්‍රා තුන් ලක්ෂයක් (3,00,000) ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට ද කටයුතු කරන බව කොළඹ – චීන තානාපති කාර්යාලය අද (27) නිවේදනය කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා කියා සිටියේ හෙට (28) ඉන්දියාවෙන් ලැබෙන එන්නත් තොගය පෙරවරු 11 ට ජනාධිපතිවරයා විසින් කටුනායක ගුවන්තොටුපලේදී භාර ගැනීමට නියමිත බවයි.

එසේම, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කොළඹ අද (27) පැවති තවත් මාධ්‍ය හමුවකදී, අනිද්දා (28) සිට එන්නත්කරණ කටයුතු බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 6 කින් ආරම්භ කරන බව කියා සිටියා.

මේ අතර, චීනය නිපදවූ එන්නත් තොගය ලබන මස මැද භාගයේ ලබාදීමට හැකිවනු ඇති බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කළේ.

මෙහිදී පිරිනමනු ලබන්නේ චීනයේ ජාතික ඖෂධ සමූහය සිනොෆාර්ම් විසින් නිෂ්පාදිත කොරෝනා වෛරස් එන්නත බවත්, එමගින් රටවල් කිහිපයකදීම සියයට 79 ත් – සියයට 86 ත් අතර ශක්‍යතාවක් පෙන්නුම් කර ඇති බවත්, චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මෙම එන්නත මගින් දරුණු කොරෝනා වෛරස් රෝගී තත්ත්වයන් මුළුමනින්ම වලක්වන බවයි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.

එම එන්නත මේ වනවිටත් එක්සත් අරාබි එමීරය, සර්බියාව, ඊජිප්තුව, බහරේනය, ජොර්දානය, ඉරාකය සහ පාකිස්ථානය යන රටවල ජනතාවට ලබා දී තිබෙනවා.

ඊයේ (26) දිනය වනවිට එලෙස එන්නත් කර ඇති චීන සිනොවැක් කොරෝනා එන්නත් සංඛ්‍යාව මිලියන 20 කට අධිකයි.

මෙම එන්නත ෆයිසර් හෝ මොඩර්නා එන්නත් මෙන්, අධි ශීත තත්ත්වයක පවත්වා ගැනීම අවශ්‍ය නොවන අතර, සෙල්සියස් අංශක 2 ත් 8 ත් අතර සාමාන්‍ය ගෘහස්ථ ශීතකරණ උෂ්ණත්වයේ ගබඩා කළ හැකියි.

++++++++++++++++++++

(27.01.2021 – 21:40 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ දෙකක් (2) වාර්තාවීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 290 දක්වා ඉහළ ගියා.

මියගොස් ඇත්තේ 43 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 74 හැවිරිදි කාන්තාවක්.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයා කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙසට හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (27) මියගොස් තිබෙනවා.

මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියාව සහ සංකූල වූ හෘද රෝගයක්.

ගෝනපොල ප්‍රදේශයේ පදිංචි කාන්තාව හොරණ මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඊයේ (26) මියගොස් තිබෙනවා.

ඇයගේ මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියාව වකුගඩු ආසාදනය සහ උග්‍ර වූ සෙලියුලයිටිස් රෝගයයි.

මේ අතර ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 431 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 60,694 ක් ලෙසටයි.

ඉන් ආසාදිතයන් 7838 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා. සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 52,566 ක්.

අද (27) දිනයේ මේ දක්වා මෙරටින් ආසාදිතයන් 742 ක් වාර්තා වුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *