කොරෝනා සමාජගතවී නැතැයි කීම ප්‍රායෝගික නැහැ – රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය කියයි

කොරෝනා සමාජගතවී නැතැයි කීම ප්‍රායෝගික නැහැ – රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය කියයි

*********************************************

කොරෝනා සමාජගතවී නැතැයි කීම ප්‍රායෝගික නැහැ – රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය කියයි

(23.01.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

දෛනිකව සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල වාර්තා අනුව ආසාදිතයන් බවට හඳුනාගන්නා ප්‍රතිශතය සියයට 5.5 ක මට්ටමට පැමිණීම තුළ තවදුරටත් මෙරට තුළ වෛරසය සමාජගතවී නැතැයි ප්‍රකාශ කිරීම ප්‍රායෝගික නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළා.

මේ අතර, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ද පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසය පැතිරයන ආකාරය පිළිබඳ සත්‍ය තොරතුරු සැඟවීමකින් තොරව ප්‍රකාශ කිරීමෙන් මහජනතාවගේ සහයද වෛරසය පාලනය සඳහා ලබාගත හැකි බවයි.

යම් පුද්ගලයෙකුගේ රෝග විනිශ්චය තුළ ඔහු වෛරසය පවතින රටකට හෝ ප්‍රදේශයකට යාමකින් තොරව වෛරසය ආසාදනය වී ඇත්නම් හෝ ආසාදිත පුද්ගලයෙකු සමඟ සම්බන්ධ වීමක් හෝ මූලාශ්‍රය සොයාගත නොහැකි නම් එය වෛරසය සමාජගතවීමක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්නායක අනුව සළකනු ලබනවා.

එමෙන්ම විශාල පිරිසකට වෛරසය ආසාදිත අවස්ථාවක එහි ප්‍රභවය සොයාගත නොහැකි වූ විටද ප්‍රජා සම්ප්‍රේෂණයක් ලෙසයි සැළකෙන්නේ ෴

+++++++++++++++++++++

(23.01.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ 73 වන නිදහස් දින උළෙලට පාසල් සිසුන් සහභාගි කරවාගන්නේද නැද්ද, යන්න පිළිබඳව සෞඛ්‍ය අංශවලින් ලැබෙන උපදෙස් අනුව ක්‍රියා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ජාතික නිදහස් දින පෙළපාලියේ ගමන් කිරීම සඳහා තෝරාගත් බදුල්ල – පස්සර ජාතික පාසලේ ශිෂ්‍ය භටයින් තුන්දෙනෙකුට (3) කොරෝනා ආසාදනය වී ඇති බවට පසුගිය දා වාර්තාවුණා.

ඒ අනුව පසුව සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් අනාවරණ වූයේ එම පාසලේ තවත් සිසු සිසුවියන් හත්දෙනෙකුට (7) ද කොරෝනා ආසාදනය වී ඇති බවටයි.

එමෙන්ම හැටන් – කුඩාගම ප්‍රදේශයේ පාසලක සිසුවෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බවට මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

එවන් පසුබිමක පාසල් සිසුන්ගේ ආරක්ෂාව සහ අනෙකුත් කරුණු සළකා බලමින් නිදහස් දින උත්සවයට මෙන්ම කිසිදු උත්සවයකට පාසල් සිසුන් සහභාගි කරවීම අවදානම් බවටයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ගෙන් විමසීමක් කළ අතර, එහිදී ඔහු සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ගේ උපදෙස් මත පමණක් සිසුන් ජාතික නිදහස් දින උළෙලට සහභාගි කරවන්නේද නැද්ද යන්න පිළිබඳව තීන්දුව ගන්නා බවයි ෴

@@@@@@@@@@@@@@@

(23.01.2021 – 07:48 +0530 – hirunews.lk/sinhala)

පෙබරවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10 ක් සඳහා ස්ථාවර මිලක් පවත්වාගෙන යාමට ඍජු ආනයනයකරුවන් සහ දේශීය නිෂ්පාදකයින් එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඒ, අපනයනකරුවන් සහ දේශීය නිෂ්පාදකයින් අතර වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පැවති සාකච්ඡාවකදියි.

එහිදී සතොස හා සමූපකාර අලෙවිසැල් වෙත ඍජු ආනයනකරුවන් හා නිෂ්පාදනකරුවන්ගෙන් ලබාගන්නා උසස් තත්වයේ ගුණාත්මක භාණ්ඩ ස්ථාවර මිල ගණන් යටතේ පාරිභෝගිකයා වෙත ලබාදීම සඳහාද එහිදී එකඟතාවකට එළඹී තිබෙනවා.

ඉහළ භාණ්ඩ සාධාරණ මිලකට ලබාදීම සඳහා වූ රජයේ අරමුණු ඉටුකරගැනීමට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බවයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.

***************************************

(23.01.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

මෙරට මහත් ආන්දෝලනයකට ලක්වූ විල්පත්තු පරිවාර රක්ෂිත කලාපයේ හෙළිපෙහෙළි කළ ශාඛවල වටිනාකම රුපියල් මිලියන දහසකට (1000) වැඩි බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

ඒ, වනජීවී වන සංරක්ෂණ අමාත්‍යාංශය පත් කළ විශේෂ කමිටුවක් මගින්.

ඒ අනුව මෙම චෝදනාවට වරදකරු ලෙස අධිකරණය මගින් තීන්දු කළ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට අදාළ ඇස්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලිඛිතව දැනුම් දී තිබෙනවා.

‘හිරු සී.අයි.’ ඒ ඔස්සේ මුල්වරට අනාවරණ කළ මෙරට මහත් ආන්දෝලනයට ලක්වූ විල්පත්තු පරිවාර රක්ෂිත කලාපය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තරයේ අක්කර 2,388 ක් හෙළි කොට එහි අනවසර ඉදිකිරීම් සිදුකිරීම හේතුවෙන් විශාල පාරිසරික හානියක් සිදුවූ බවට පරිසර යුක්ති කේන්ද්‍රය මගින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනුකරනු ලැබුවේ 2015 වර්ෂයේදියි.

අදාළ වනාන්තර කලාපය තුළ තවදුරටත් හෙළි කිරීම් සිදුකොට අනවසර ඉදිකිරීම් වැළැක්වීමේ තහනම් නියෝගයක් අදාළ පෙත්සමෙන් ඉල්ලා සිටියා.

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, මධ්‍යම පරිසර අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුලු පාර්ශව කිහිපයක්.

දීර්ඝ කාලයක් තිස්සේ විභාග කෙරුණු මෙම නඩුවේ ඓතිහාසික තීන්දුව අභියාචනාධිකරණය විසින් පසුගිය වසරේ නොවැම්බර් මස 16 වනදා ප්‍රකශයට පත් කළා.

එම තීන්දුවෙන් අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, රක්ෂිත කලාපය හෙළි කරමින් සිදුකළ නැවත පදිංචි කිරීම් නීති විරෝධී බවයි.

එමෙන්ම හෙළිපෙහෙළි කළ වනාන්තර කලාපයේ සිය පෞද්ගලික වියදමින් නැවත වන වගා සිදුකරන ලෙසද පෙත්සම්කරුවන්ට නඩු ගාස්තු ගෙවන ලෙසද අභියාචනාධිකරණය නියෝග කළා.

මෙම නඩු තින්දුවෙන් පසුවයි වන විනාශයේ අලාභය ගණනය කිරීම සඳහා මෙලෙස වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය මගින් කමිටුවක් පත් කරනු ලැබුවේ.

මෙම කමිටු නිර්දේශ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට මෙන්ම නීතිපතිවරයා වෙතද යොමුකර තිබෙනවා.

ඒ, අදාළ නිර්දේශ ප්‍රසිද්ධ කළ හැකිද යන්න පිළිබඳ නීතිඋපදෙස් ලබාගැනීම සඳහා බවයි වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදි කියා සිටියේ.

අධිකරණ තීන්දුව ප්‍රකාරව වන වගාව නැවත සිදුකිරීම සඳහා එම මුදල රජයට ගෙවන ලෙසයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ.

***************************************

අන්තර් ජාල මූල්‍ය වංචාවන් ගැන මහබැංකුවෙන් දැනුවත් කිරීමක්

(23.01.2021 – 08:16 +0530 – hirunews.lk/sinhala)

සමාජ ජාලා, අන්තර්ජාලය පදනම් කරගත් සහ ජංගම දුරකථන යෙදවුම් හරහා විවිධ මූල්‍ය වංචාවන් සිදුවන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස මහ බැංකුව දැනුම් දෙනවා.

ජනතාව ආකර්ශනය කර ගන්නා අන්තර් ජාලය හෝ ජංගම දුරකථන පදනම් කර ගත් පහසු ණය යෝජනා ක්‍රම හරහා මෙම වංචා සිදුවන බවට තොරතුරු වාර්තා වී ඇති බවයි මහබැංකුව නිවේදනයක් කළේ.

එවැනි ණය අයදුම්පත් ඇගයීම් ක්‍රියාවලියේදී, වංචාකරුවන් රහස්‍ය පාරිභෝගික තොරතුරු ලබා ගැනීමට ජනතාව පොළඹන බැවින් ඒ පිළිබදවද අවධානයෙන් සිටින ලෙසටයි ඔවුන් දැනුම් දෙන්නේ ෴

[ සම්පුර්ණ ලිපිය ]

***************************************

(23.01.2021 – 09:29 +0530 – hirunews.lk/sinhala)

14 හැවිරිදි දැරියක් අපහරණය කළ සැකකරුවන් දෙදෙනකු (2) ලබන මස පළමු වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කර තිබෙනවා.

මේ අතර දැරිය සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා එහි වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද විනිසුරුවරයා නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ දැරියගේ මවගේ නැඟණියගේ සැමියා සහ ඔහුගේ සහෝදරයා බවයි ආරච්චිකට්ටුව පොලිසිය සදහන් කළේ.

දැරියගේ මවුපියන් විසින් ආරච්චිකට්ටුව පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි 43 සහ 50 හැවිදිරි වියේ පසුවන්නන් අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴

***************************************

(23.01.2021 – 09:41 +0530 – hirunews.lk/sinhala)

සාලියවැව – නීලබැම්බ ප්‍රදේශයේ නිධානයක් ගොඩදැමීමට උත්සාහ කළ හතර දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (22) අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර භික්ෂූවක ලෙස පෙනී සිටි අයෙකු ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

ඒ අනුව ඔවුන් සියළු දෙනා අද (23) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

(23.01.2021 – 10:47 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ දෙපිරිසක් අතර ගැටුමක් ඇතිකරගන්නා අයුරු දැක්වෙන වීඩියෝවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

බියගම පොලිස් වසමේ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ අවන්හලක් අසලදී මෙම ගැටුම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් ඊයේ (22) මහර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ තවත් සකකරුවෙන් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

පොලිස් නිලධාරීන් ඉදිරියේ මෙම පිරිස ගැටුමක් ඇතිකරගන්නා අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.

***************************************

(23.01.2021 – 11:46 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේදී දීප ව්‍යාප්ත අලි සංගණනයක් පැවැත්වීම සඳහා සැලසුම් කර ඇති බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසනවා.

අවසන් වරට මෙරට දීප ව්‍යාප්ත අලි සංගණනයක් සිදුකරනු ලැබුවේ 2011 වසරේදී වන අතර එහිදී මෙරට සිටින අලි සංඛ්‍යාව 5179 ක් බවට අනාවරණ වුණා.

කෙසේ වෙතත් 2019 වසරේදී දීප ව්‍යාප්ත අලි සංගණනයක් සිදුකිරීමට නියමිතව තිබුණ ද පැවති වැසි තත්ත්වය හේතුවෙන් එය සිදුකිරීමට හැකි වූයේ නැහැ ෴

***************************************

(23.01.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට වසර 04 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් හිමිවීම සම්බන්ධයෙන් සහ පසුගිය ආණ්ඩු සමයේ අධිකරණයට සිදු කෙරුණු බලපෑම් පිළිබඳව මහා සංඝරත්නය සහ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා.

@@@@@@@@@@@@@@

(23.01.2021 – 08:22 +0530 – hirunews.lk/sinhala)

නව ආසාදිතයින් 787 දෙනෙකු ඊයේ (22) වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 56,863 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (22) වාර්තා වූ ආසාදිතයින්ගෙන් 784 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර ටියුනීසියාවේ සිට පැමිණි දෙදෙනෙකු (2) සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු ද කොරෝනා ආසාදිතයින් ලෙස තහවුරු කර ගැනුණා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 7968 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 48,617 ක්.

එමෙන්ම, නව මරණ දෙකක් (2) සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 278 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යායතනයට මාරුකර යැවූ පුද්ගලයෙකු ඊයේ (22) මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොළඹ 8 ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි මෙම පුද්ගලයාගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් නියුමෝනියාවයි.

හෝමාගම පදිංචි 51 හැවිරිදි කාන්තාවක්ද ඊයේ (22) මියගොස් ඇති අතර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ආසාදිතයෙකු බවට හඳුනාගැනීමෙන් අනතුරුව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇය ඊයේ (22) මියගොස් තිබුණා.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, ලේ විෂවීම සහ වකුගඩු අක්‍රියවීම බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

අදින් ආරම්භ වුණු සති අන්තය තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරමින් කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඔහු කියා සිටියේ අද (23) සහ හෙට (24) දෙදින තුළ ද බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි ෴

+++++++++++++++++++

(23.01.2021 – 08:51 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාව නිෂ්පාදනය කළ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා’ හෙවත් ‘කොවිෂිල්ඩ්’ එන්නත මෙරට තුළ හදිසි භාවිතය සදහා රජයේ අනුමැතිය ලබාදී ඇති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළා.

ඒ අනුව මෙරටට එන්නත එවීම සදහා කඩිනමින් කටයුතු කරන බවයි ඉන්දීය රජය දැනුම් දී ඇත්තේ.

එමෙන්ම ‘කොවැක්ස්’ පහසුකම යටතේ ඉන්දියාවෙන් ගෙන්වනු ලබන කොරෝනා එන්නත ජනතාවට ලබාදීම පිළිබඳ පෙරහුරුවක් අද (23) පැවැත්වීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සිදුකළ පැහැදිලි කිරීමකදී කියා සිටියේ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී, පිළියන්දල ප්‍රාදේශීය රෝහලේදී සහ රාගම ශික්ෂණ රෝහලේදී අද (23) ඊට අදාළ පෙරහුරුව සිදුකෙරෙන බවයි.

මේ අතර ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා’ එන්නත සම්බන්ධයෙන් යළි පැහැදිලි කිරීමක් අවශ්‍ය බවට නීතිපති දප්පුල ද ලිවේරා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාට ඊයේ (22) දැනුම් දී තිබුණා.

පෙරේදා දිනයේ එම එන්නතට අනුමැතිය ලබා ගැනීම සඳහා අවශ්‍ය ලේඛන නීතිපතිවරයා වෙත යොමු කළ ද එම කරුණු ප්‍රමාණවත් නොවන බැවින් ඊට අදාළ ගිවිසුම් ලේඛන පිළිබද තවදුරටත් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී ඇති බවයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

+++++++++++++++++++++

(23.01.2021 – 10:24 +0530 – hirunews.lk/sinhala)

පසුගිය පැය 24 ක කාලය තුළ මගීන් 474 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඩුබායි සිට 72 නෙකු, අබුඩාබි සිට 30 දෙනෙකු, සිංගප්පූරුවේ සිට 22 නෙකු සහ දෝහා සිට 103 දෙනෙකු ඒ අනුව දිවයිනට පැමිණි බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, පසුගිය පැය 24 ක කාලසීමාව තුළ මගීන් 570 දෙනෙකු දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා ෴

++++++++++++++++++++++

(23.01.2021 – 11:27 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය කොවිඩ් මර්දන එන්නතේ පළමු තොගය ලෙස එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් ලබන බදාදා මෙරටට ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කළුතර – වළල්ලාවිට ප්‍රදේශයේ පැවති ‘ගම සමඟ පිළිසදරක්’ වැඩසටහනේ තවත් අදියරකට එක්වෙමින්.

එන්නත ලැබුණු පසු ඊට පසු දිනම එන්නත් කිරීමේ කටයුතු ආරම්භ කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියා.

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසි විටක විකිණීමක් හෝ බදුදීමක් සිදු නොකරන බවයි ජනාධිපතිවරයා යළි අවධාරණය කළේ.

++++++++++++++++++++

(23.01.2021 – 12:54 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (22) වාර්තාවූ ආසාදිතයන් 787 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. එම සංඛ්‍යාව 139 ක්.

ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 108 දෙනෙකු වාර්තා වනවා.

කෙසේ වෙතත් මේ දක්වා දෛනිකව වැඩිම ආසාදිතයන් වාර්තාවූ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (22) වාර්තාවී ඇත්තේ ආසාදිතයන් 101 දෙනෙකු පමණයි.

කළුතරින් 66 දෙනෙකු, කුරුණෑගලින් 65 දෙනෙකු, ගාල්ලෙන් 61 දෙනෙකු, මාතලෙන් 45 දෙනෙකු, රත්නපුරින් 39 දෙනෙකු සහ මාතරින් ආසාදිතයින් 23 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඊයේ (22) දිනය තුළ පමණක් පී.සී.ආර්. පරීක්ෂණ 19,285 ක් සිදුකර ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ දෛනිකව වාර්තාවන ආසාදිතයන් ප්‍රමාණය සැළකිල්ලට ගනිමින් යළිත් සංචරණ සීමා පැනවීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි.

මේ අතර රත්නපුර පළාත්බද මහ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ පස්දෙනෙකු ඇතුලු 30 දෙනෙකුට පසුගිය දෙසැම්බර් 28 වනදා සිට මේ දක්වා කාලය තුළ වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මේ වනවිට ඉන් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන්ම තංගල්ල දිසා අධිකරණයේ තෝල්ක මුදලිවරයාට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම අධිකරණය ඊයේ (22) තාවකාලිකව වසා දමා කාර්ය මණ්ඩලයේ හයදෙනෙකු (6) නිරෝධායනය සඳහා යොමු කෙරුණා.

කෙසේ වෙතත් අධිකරණය සඳුදා (25) දිනයේ යළි විවෘත කෙරෙන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

මේ අතර ඉන්දියාවෙන් මෙරටට හිමිවන කොව්ඩ් එන්නත් ගෙන්වීමෙන් අනතුරුව එන්නත්කරණ ක්‍රියාවලිය පවත්වාගෙන යායුතු ආකාරයට සම්බන්ධයෙන් විශේෂ පෙරහුරුවක් අද (23) පෙරවරුවේ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී සිදු කෙරුණා.

මේ අතර කටුනායක ගුවන් තොටුපලෙන් අද (23) උදෑසන 08}30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා මෙහෙයුම් 23 ක් සිදු කොට ඇති අතර ගුවන් මගීන් 1,044 දෙනෙකුට ගමන් පහසුකම් සළසා දී තිබෙනවා.

++++++++++++++++++++++

(23.01.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත බවට තහවුරු වූ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිරෝධායන ක්‍රියාවලිය සඳහා හික්කඩුව ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයකට යොමුකර තිබෙනවා.

ඇයට කොරෝනා ආසාදිත බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (23) දහවල් තහවුරු කළා. සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකදී ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළි වීමෙන් පසුව පී.සී.ආර්. පරීක්ෂණයක් ද සිදුකිරීමෙන් අනතුරුව මෙය තහවුරු වී තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ඊයේ (22) පැවති වැඩසටහනක් සදහා සෞඛ්‍ය අමාත්‍යවරිය අවසන් වරට එක්වූ අතර එම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය අංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.

ඇය පෙරේදා (21) නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවති වැඩසටහනකට ද එක්වුණා.

දැනට ඇමතිවරුන් තුන්දෙනෙකු (3) ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතරදෙනෙකුට (4) කොරෝනා ආසාදනය වී ඇති බවටයි හදුනාගෙන ඇත්තේ.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ප්‍රථමයෙන් කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ අතර, මේ වනවිට ඔහු පූර්ණ සුවය ලබා නිවෙස වෙත ගොස් තිබෙනවා.

එමෙන්ම අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි සිදුකළ පරීක්ෂණවලින් තහවුරු වූයේ.

එමෙන්ම පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ 9 දෙනෙකුටද මේ වනවිට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *