කොළඹ කොරෝනා ආසාදිතයින් යළි ඉහළට – සුවය ලැබීමේ ප්‍රතිශතය සියයට 87 ක් වෙයි

කොළඹ කොරෝනා ආසාදිතයින් යළි ඉහළට – සුවය ලැබීමේ ප්‍රතිශතය සියයට 87 ක් වෙයි

*********************************************

කොළඹ කොරෝනා ආසාදිතයින් යළි ඉහළට – සුවය ලැබීමේ ප්‍රතිශතය සියයට 87 ක් වෙයි

(14.01.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දින කිහිපයේ ආසාදිතයින්ගේ අඩුවීමක් පෙන්නුම් කළ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (13) යළිත් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වුණා.

මෙරටින් ඊයේ (13) වාර්තා වූ ආසාදිතයින් හයසිය අනූ දෙදෙනා (692) අතරින් 233 ක් වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹින් වාර්තා වන බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

ඉන් ආසාදිතයින් 30 දෙනෙකු දෙමටගොඩින් හඳුනාගෙන තිබූ අතර, බොරැල්ලෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 18 ක්. මරදාන ප්‍රදේශයෙන් 16 ක්, අලුත්කඩේ ප්‍රදේශයෙන් 16 ක්, බ්ලූමැන්ඩල් ප්‍රදේශයෙන් 12 ක්, මට්ටක්කුලියෙන් 11 ක්, වැල්ලම්පිටියෙන් 11 ක් ලෙස තවදුරටත් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් වාර්තා වුණා.

එසේම, ඊයේ (13) දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 119 දෙනෙකු හඳුනාගත් අතර, ඉන් වැඩිම සංඛ්‍යාව වූ තිස් දෙදෙනෙකු (32) වාර්තා වූයේ මීගමුවෙන්.

එසේම, කළුතර දිස්ත්‍රික්කයෙන්ද ඊයේ (13) ආසාදිතයින් 112 දෙනෙකු හඳුනා ගැනුණා.

ඊයේ (13) දිනයේදී මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 34 ක් දෙනෙකුද වාර්තා වුණා.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙරටින් වාර්තා වන ආසාදිතයින් අතරින් සුවය ලබා පිටත්ව යන ප්‍රතිශතය 87% ක් වැනි ඉහළ අගයක පවතින බවයි.

මේ අතර, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන ‘ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රා සෙනෙකා’ එන්නත මෙරටට ලබාගැනීමේ වැඩි හැකියාවක් පවතින බවයි.

දිවයිනට පැමිණෙන එන්නතක් කඩිනමින් ජනතාවට ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

එසේම, කොරෝනා වෛරසයේ විකෘති වූ නව ප්‍රභේදය ආසාදනය වූ බ්‍රිතාන්‍ය ජාතිකයාගෙන් වෛරසය සමාජයට ඇතුළුවීමේ අවදානමක් නොමැති බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කළා.

බස්නාහිර පළාතෙන් පිටව යන ස්ථාන 11 කදී සිදුකෙරෙන ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ තවදුරටත් සිදුකෙරෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ මේ වනවිට කාර්යාල ආශ්‍රිතව සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන්නේද යන්න සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනද සිදුකෙරෙන බවයි.

+++++++++++++++++++

(14.01.2021 – 10:11 +0530 – hirunews.lk/sinhala)

ගතවු පැය 24 ක කාලය තුල මුහුණු ආවරණ නොපැලඳි හා සමාජ දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයන් 28 දෙනෙකු බස්නාහිර පළාතෙන් පිටතදී අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව ඔක්තෝම්බර් 20 වනදා සිට මේ දක්වා කාලය තුල නිරෝධායන නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 2490 ක්.

මේ අතර ජනවාරි 05 වනදා සිට බස්නාහිර පළාත තුල සිදුකළ විශේෂ මෙහෙයුම් වලදී නිරෝධායන නීති කඩ කල බවට හඳුනා ගත් පුද්ගලයන් 137 දෙනෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ෴

බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව 3850 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද (14) දිනයේදී බන්ධනාගාර නේවාසික රැදවියන් දෙදෙනෙකු (2) නව ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමඟ බන්ධනාගාර ආශ්‍රිත මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4274 ක් වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම, බන්ධනාගාර ආශ්‍රිත වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් මහර බන්ධනාගාරයේ ආසාදිතයෙකු (1) ජිවිතක්ෂයට පත්වීමත් සමඟ මියගිය මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8 ක් ලෙස එහි සටහන් වනවා ෴

++++++++++++++++++++

(14.01.2021 – 11:30 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 300 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණ තිබෙනවා.

අද (14) පෙරවරු 08:30 න් අවසන් වූ පැය 24 තුළ මෙම පිරිස ගුවන් ගමන් 10 ක් මගින් මෙරටට පැමිණ ඇති අතර, ඉන් 95 දෙනෙකු දකුණු කොරියාවේ සිට පැමිණ ඇති බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, තවත් ශ්‍රී ලාංකිකයින් 473 දෙනෙකු ඊයේ (13) දිනයේ රැකියා සඳහා විදේශ රටවල් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

එම පිරිස අතුරින් 177 දෙනෙකු බහරේන් බලා පිටත්ව ගොස් ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ ෴

විදෙස් රටවල සිට ශ්‍රී ලාංකිකයන් 800 දෙනෙකු පමණ අද (14) දිවයිනට පැමිණීමට නියමිත බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු පවසන්නේ පැමිණෙන සියලු‍දෙනා යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලටත්, අවශ්‍යතාවය පරිදි හෝටල් වෙතත් නිරෝධායනය කටයුතු සදහා යොමු කිරීමට පියවර ගන්නා බවයි ෴

+++++++++++++++++

(14.01.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

කළුතර නාගොඩ මහ රෝහලේ මෘතශරීරාගාරය සඳහා අමතර ශීතාගාර ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා ප්‍රකාශ කළා.

පවතින කොරෝනා තත්ත්වයත් සමඟ නිවෙස්වලදී සිදුවන මරණ ද රෝහල වෙත යොමු කිරීමත් සමඟ මේ වනවිට රෝහලේ මෘතශරීරාගාරය පත්ව ඇත්තේ ධාරිතාව ඉක්මවා ගිය තත්ත්වයකටයි.

ඒ අනුව අදාළ මෘතශරීරාගාරයේ තැන්පත් කළ හැකිවන්නේ මෘත ශරීර 12 ක් වූවද, මේ වනවිට ඊට වඩා වැඩි සංඛ්‍යාවක් එහි තැන්පත් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නා.

ශීතාගාර පහසුකම් ප්‍රමාණවත් නොවීම හමුවේ ඇතැම් මෘතශරීර නරක්වීමේ හැකියාවක් පවතින බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත්, මෙම ගැටළුවට කඩිනමින් විසඳුමක් ලැබේ යැයි තමන් අපේක්ෂා කරන බවද කළුතර නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා ෴

@@@@@@@@@@@@@@@@@@@@@@@@

(14.01.2021 – 08:58 +0530 – hirunews.lk/sinhala)

ගජමුතු 04 ක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු සහ සැකකාරියක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හම්බන්තොට ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් පිරිස මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ගජමුතු 04 හම්බන්තොට වනජීවි කාර්යාලයට භාර දී තිබෙනවා.

මේ ආකාරයෙන් විවිධ අවස්ථාවන්වලදී ගජමුතු සහ ඒවා බවට පවසමින් වෙනත් ද්‍රව්‍යයන් විවිධ පුද්ගලයින්ට අලෙවි කිරීමේ ජාවාරම් සම්බන්ධයෙන් දිගින් දිගටම පොලිසියට ලැබුණු තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, සොයා ගනු ලැබූ ගජමුතු නියම වටිනාකමින් යුත් ගජමුතුද යන්න මෙතෙක් තහවුරු කර නැහැ ෴

***************************************

(14.01.2021 – 10:52 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුරයේ කලක පටන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට පොලීසිය සමත්ව තිබෙනවා.

මෙම ගණිකා නිවාසය සංචාරක නිකෙතනයක් මුවාවෙන් පවත්වාගෙන ගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ගැනුම්කරුවන් ගේ අවශ්‍යතා අනුව දුරකථන ඇමතුම් හරහා විවිධ මිල ගණන් යටතේ මෙම ජාවාරම සූක්ෂම ලෙස පවත්වාගෙන ගොස් ඇති බවයි වැඩිදුර තොරතුරු අනාවරණ වී ඇත්තේ.

මේ අතර ගණිකා සේවයේ නිරත වූ කාන්තාවන් තිදෙනකු (3) අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 23 සහ 41, 43 යන වයස්වල පසුවන්නන්.

මෙම කාන්තාවන් වවුනියාව, කැබැතිගොල්ලැව,සහ දේවානම්පියතිස්සපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

පොලීසිය සිදු කරන ලද වැඩිදුර පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාවන් අතර වයස අවුරුදු 23 ක කාන්තාව මාස 08 ගැබිනියක් බවයි.

එමෙන්ම සංචාරක නිකෙතයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයේ හිමිකරුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 41 පිරිමි පුද්ගලයෙකු වන සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 02 ක් සහ මිලිග්‍රෑම් 230 ක්ද පොලීස් භාරයට ගෙන ඇති බවයි වාර්තාවන්නේ ෴

***************************************

(14.01.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

කූඩුවක බැඳ සිටි සුනඛයෙකුට වෙඩි තබා ඝාතනය කළ පුවතක් ගල්කිරියාගම හල්මිල්ලෑව ප්‍රදේශයෙන් වාර්තාවනවා.

හල්මිල්ලෑව ප්‍රදේශයේදී කුඩා දරුවන් පිරිසක් විසින් ධාවනය කළ පා පැදියක ගැටීමෙන් අනතුරුව සුනඛයා විසින් දරුවා සපා කා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

එහිදී සුනඛයාගේ හිමිකාරිණිය, දරුවාගේ සුනඛයා සපා කෑ ස්ථානය පිරිසිදු කර පසුව දරුවාගේ නිවසට ගොස් දරුවා මව්පියන් වෙත භාරදී තිබෙනවා.

අනතුරුව දරුවාගේ භාරකරුවන්ට සිදුවීම පහදා සුනඛයාට ජලභීතිකා එන්නත ද එන්නත් කර ඇති බව පවසා අදාළ කාඩ්පත සොයා තබා සුනඛයා කූඩුවට දමා බැඳ තබා ඇති බවයි සඳහන් වන්නේ.

අනතුරුව රාත්‍රී 11:30 ට පමණ සුනඛයාගේ කූඩුව දෙසින් ඇසුණු ශබ්දයක් පිළිබඳව සෝදිසි කිරීමේදී කිසියම් අයෙකු විසින් සුනඛයාට වෙඩි තබන අයුරු දැක තිබෙනවා.

එහිදී අදාළ වෙඩිතැබීම සිදුකල පුද්ගලයා සුනඛයා විසින් සපා කෑ දරුවාගේ පියා බවට තමන් හඳුනාගත් බවයි ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

පසුදින උදෑසන අදාළ දරුවාගේ මව පැමිණ උණ්ඩ සහ සුනඛයාගේ සිරුර රැගෙන යාමට උත්සහ දරා ඇතිබවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් එය නිවෙස් හිමියන්ගේ මැදිහත්වීමෙන් ව්‍යර්ථ වී ඇති අතර ඔවුන් සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

සිදුවීමෙන් අනතුරුව වෙඩිතැබීම සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර මියගිය සුනඛයාගේ හදිසි මරණ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බවද පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

+++++++++++++++

***************************************

(14.01.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ ප්‍රදේශ කිහිපයකට තවදුරටත් වැසි පවතින බවයි.

මේ අතර, ප්‍රධාන ජලාශ 74 න් ජලාශ 28 ක් තවදුරටත් වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා සඳහන් කළා.

මේ අතර, පොළොන්නරුව – මැදිරිගිරිය ප්‍රදේශයේ ගුරුගොඩැල්ල, දිවුල්පිටිය සහ දිවුල්දමන ගම්මානවල කුඹුරු යායන් රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් ගොවීන් පීඩාවට පත්ව තිබෙනවා.

එමෙන්ම, දින කිහිපයක් තිස්සේ පවතින වැසි තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව – සෝමාවතී මාර්ගය ද තවදුරටත් ජලයෙන් යටව පවතිනවා.

වව්නියාව – පාවන්කුලම, මඩුකන්ද, මයිලන්කුලම් යන වැව් වාන් දැමීම නිසා ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ද ජලයෙන් යටවී තිබෙනවා.

***************************************

(14.01.2021 – 13:14 +0530 – hirunews.lk/sinhala)

මහරගම නගර සභාවට අයත් බස් නැවතුම්පොල භූමියේ සහ ඒ අවට පවත්වාගෙන යන අනවසර වෙළඳසැල් ඉවත් කිරීමට යාමේදී නගර සභා සේවකයින් සහ වෙළඳුන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

නගර සභාවේ බැකෝ යන්ත්‍ර, ලොරි රථ හා එහි සේවකයින් යොදවා ඊයේ (13) පස්වරුවේ මෙම වෙළඳසැල් ඉවත් කිරීමට පියවර ගැණුනු අතර, ඒ පිළිබඳව පූර්ව දැනුම්දීමක් සිදුනොකළ බව පවසමින් අනවසර වෙළඳසැල් හිමියන් ඊට විරෝධය පළ කළා.

පසුව තත්ත්වය පාලනය කිරීමට නුගේගොඩ පොලිස් කොට්ඨාශයට අයත්, පොලිස් ස්ථාන 6 කින් නිලධාරින් සහ කැරලි මර්දන ඒකක මෙන්ම ජල ප්‍රහාරයක බවුසර් ද කැඳවා තිබූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

එම ස්ථානයට පැමිණි නුගේගොඩ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක මහතා ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කිරීමෙන් පසු ලැබෙන නියෝග අනුව දෙපාර්ශවයම කටයුතු කළ බවයි.

එහිදී වෙළඳුන් සහ නගර සභා සේවකයින් එම ස්ථානයෙන් ඉවත් වූ අතර පොලීසිය අදාළ ප්‍රදේශයට ඇතුළු වීමට නොහැකි වන පරිදි මාර්ග බාධක ද යොදවනු ලැබුවා.

කෙසේ වෙතත්, අද (14) උදෑසන යළි එම ස්ථානයට පැමිණි වෙළඳුන් මාර්ග බාධක ඉවත් කරමින් එම ස්ථානයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී යළි උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

එහිදී වෙළඳුන් චෝදනා කළේ අනවසර වෙළඳුන් සියලුදෙනාම එම ස්ථානයෙන් ඉවත් නොකර තෝරා ගත් පිරිසකට පමණක් මෙලෙස අසාධාරණයක් සිදුකර ඇති බවයි.

+++++++++++++++

***************************************

(14.01.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

ණය ගෙවිමට ප්‍රමාණයවත් විදේශ විනිමය ආදායමක් ලබා ගැනීමට සැලසුමක් නොමැති ආණ්ඩුව, රාජ්‍ය සම්පත් විකිණිමේ ක්‍රියාවලියක නිරත වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ගලේවෙල ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

***************************************

(14.01.2021 – 13:35 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. සමාගමේ සිදුවූ මුල්‍ය වංචා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන්ට ඇප ලබා නොදෙන ලෙස ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානය ඉල්ලා සිටිනවා.

අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංවිධානයේ නියෝජිතයින් කියා සිටියේ ඔවුනට ඇප ලබාදුනහොත් විමර්ශනවලට බාධා සිදුවන බවයි.

***************************************

(14.01.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාව ලෙස සැලකෙන ‘රැපිඩ් ටයර් කර්මාන්තශාලාව’ හොරණ, වගවත්ත, අපනයන සැකසුම් කලාපයේදී අද (14) විවෘත කිරීමට නියමිතයි.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙරට ටයර් නිෂ්පාදනයේ සුවිශේෂි පෙරළියක් සිදු කරමින් වැඩකටයුතු ආරම්භ කරන මෙම කර්මාන්තශෘලාව අති නවීන යුරෝපීය තාක්ෂණ ක්‍රමවේදයන් ගෙන් සන්නද්ධයි.

අමෙරිකානු ඩොලර් මිලියන 100 ක ආයෝජනයෙන් අක්කර 155 ක භූමි ප්‍රදේශයක පැතිරී ඇති කර්මාන්තශාලාවේ පළමු අදියරේ නිෂ්පාදනයන්ගෙන් 80% ක ප්‍රමාණයක් අපනයනය කෙරෙනවා.

ඉතාලියේ ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන ‘ෆෙරෙන්ටිනෝ’ ටයරය මෙම කර්මාන්තශාලාවේදී නිෂ්පාදනය කිරීමට නියමිතයි.

දැනටමත් පළමු පියවර හරහා සෘජු රැකියා අවස්ථා සිය ගණනක් බිහිකර ඇති අතර ඒ හරහා උත්පාදනය වන වක්‍ර රැකියා අවස්ථා තවත් වැඩි වනවා.

රැපිඩ් ටයර් කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමත් සමඟ මෙරට රබර් කර්මාන්තකරුවන්ට සිය නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබා ගැනීමේ අවස්ථාව ද හිමිවනු ඇති.

කුඩා මෝටර් රථවල සිට අති දැවැන්ත බරවාහන දක්වා වන සියලු කාණ්ඩයේ ටයර් මෙම කර්මාන්තශාලාවේදී නිෂ්පාදනය කිරීමට නියමිතයි.

ඉදිරියේදී මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදන දේශීය වෙළෙඳපොළටත් නිකුත් කිරීමට මෙම ආයෝජකයින් බලාපොරොත්තු වනවා.

මෙම කර්මාන්තශාලාවේ වැඩකටයුතු අද (14) සවස එළැඹෙන සුබ මොහොතින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරතින් ආරම්භ කිරීමට නියමිතයි.

***************************************

(14.01.2021 – 13:42 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන රජය සමයේ සිදු කළ දේශපාලන පළිගැනීම්වලට සාධාරණයක් ඉටු විය යුතු බවට සිවිල් සංවිධාන නියෝජිතයින් මෙන්ම දේශපාලඥයින්ද අදහස් පළකලා.

***************************************

(14.01.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

සිව් මසකින් (4) අස්වනු නෙලිය හැකි බව පවසා ඉබ්බාගමුව ප්‍රදේශයේ ගොවීන් පිරිසකට ලබාදුන් බීජ වී අතර වී වර්ග කිහිපයක් තිබීම නිසා එම ගොවීන් අස්වනු නෙළා ගැනීමට නොහැකිව දුෂ්කරතාවට පත්ව සිටිනවා.

ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිඹුලේවැව යාය, අරගම, ගොඩගම, කුඹුක්වැව ආදී ගම්මානවල ජනතාව සාම්ප්‍රදායිකව සිදුකරන්නේ වී ගොවිතැනයි.

එම ප්‍රදේශයේ ගොවීන් 60 දෙනෙකුට පමණ බතලේගොඩ වී පර්යේෂණ ආයතනයෙන් නිකුත් කළ වී බව හඟවා තඹුත්තේගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බීජ වී තොගයක් ලබා දී තිබෙනවා.

ඒ අනුව වී කිලෝග්‍රෑමයකට රුපියල් 105 ක මුදලක් ගෙවමින් බීජ වී මිලදී ගත් ගොවීන් ඒවා තම කුඹුරුවල වගා කළා.

කෙසේ වෙතත්, තමන් වගා කළ ගොයමේ කොටසක් නියමිත කාලයට පෙර පිදීම හේතුවෙන් ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.

***************************************

(14.01.2021 – 15:15 +0530 – hirunews.lk/sinhala)

වැලිගම පැලෑන ප්‍රදේශයේදී පෞද්ගලික බස් කොන්දොස්තරවරයෙකුට තවත් කොන්දොස්තරවරයෙකු තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබෙනවා.

මාතර සිට කොළඹ දක්වා ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස් රථයක සේවකයෙකු මෙලෙස ඝාතනය කර ඇත්තේ එම බස් රථයේම පැමිණි පෞද්ගලික බස් කොන්දොස්තරවරයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

ඊයේ (13) පස්වරු 03:50 ට පමණ තියුණු ආයුධයකින් ඇනීමෙන් බරපතල තුවාල ලැබූ කොන්දොස්තරවරයා වැලිගම වලාන රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මාතර මහ රෝහලට මාරු කර යැවුණු අතර එහිදී මියගොස් තිබෙනවා.

මාතර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයේම පැමිණ ඇති සැකකරු පැලෑන වටරවුම ප්‍රදේශයේදී කොන්දොස්තරවරයාට තියුණු ආයුධයෙන් ඇන බස් රථයෙන් බැස පළාගොස් ඇතැයි සඳහන්.

බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා අදාළ බස් රථයෙන්ම රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණා.

මෙලෙස මියගොස් ඇත්තේ හක්මණ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙක් වන අතර ඔහු එම බස් රථයේ හිමිකරු බවට ද අනාවරණ වී තිබෙනවා.

ඝාතනයට සම්බන්ධ සැකකරු දෙණිපිටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක්.

සැකකරු අත්අඩංගුවට ගැනීමට වැලිගම පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

පසුගිය 7 වනදා අම්බලන්ගොඩ ප්‍රදේශයේදී ඇතිවූ බව කියන ආරවුලක් දුරදිග යාමෙන් මෙම අපරාධය සිදුව ඇති බවටයි මූලික විමර්ශණවලදී හෙළිවී ඇත්තේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *