මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවට හේතුව හෙළිවෙයි

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවට හේතුව හෙළිවෙයි

*********************************************

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවට හේතුව හෙළිවෙයි

(10.12.2020 – 19:28 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවට හේතුව රිමාන්ඩ් බන්ධනාගාරය තුළ කොවිඩ් ආසාදිතයන් සිටින බවට දැන ගන්නට ලැබීම සහ එහි දැඩි තදබදය ඇතුළු කරුණු බව ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ පංච පුද්ගල කමිටු අතුරු වාර්තාවේ දැක්වෙනවා.

මේ දක්වා ඉදිරිපත් වූ සාක්ෂි හා සිදුකළ නිරීක්ෂණ මෙන්ම ඒ සඳහා නිර්දේශද ඇතුළත් මෙම වාර්තාවේ දැක්වෙන්නේ තදබදය අවම කිරීම සඳහා රැඳවියන් ඇප මත නිවෙස් වෙත යාම කඩිනම් කරවීමට පියවර ගත යුතු බවයි.

පසුගිය නොවැම්බර් 29 වැනිදා ඇති වූ මෙම ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් අදාළ කමිටුව පත් කරනු ලැබුවේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි විසින්.

පසුගිය දා භාර දුන් කමිටුවේ අතුරු වාර්තාව ඊයේ (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

කමිටුව ලබාගත් සාක්ෂිවලට අනුව ගැටුම හටගෙන ඇත්තේ පසුගිය 29 වන දා පස්වරු 03:30 ට පමණ එම්-2 වාට්ටුව අසළ ආහාර බෙදමින් සිටින අවස්ථාවකදීයි.

එම අවස්ථාවේ එම්-2 වාට්ටුවේ දොර විවෘතව තිබූ නිසා එහි සිටි රැදවියන් පිරිසක් ඉදිරියට පැමිණ අසළ ඇති එල්-වාට්ටුව දෙසට ‘ලොක් ඩවුන්’ යැයි පවසමින් ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ රැඳවියන් කෑම වතුර වගේ යැයි පවසා මැසිවිලි නගා ඇති අතර සමීර, ටානියා යන දෙදෙනා අගුලු‍ දමා තිබූ එල්-වාට්ටුවේ ඉබි යතුරු කඩා දමා තිබෙනවා.

එල්-වාට්ටුව කොවිඩ්-19 හේතුවෙන් වසා දමා කිසිවෙකුටත් පිටතට නොයන ලෙස දැනුම් දී තිබූ වාට්ටුවක් වුවත් එහි රැඳවියන්ද එම අවස්ථාවේ පිටතට පැමිණ ඇති බවයි පංච පුද්ගල කමිටු වාර්තාවේ දැක්වෙන්නේ.

අනතුරුව ඔවුන් අනෙක් වාට්ටුවලද දොරගුලු‍ කඩා රැඳවියන් පිටතට ගෙන උද්ඝෝෂණයක් ආරම්භ කර ඇති බව කමිටු වාර්තාවේ සඳහන්.

මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 2782 කු සිටි අතර ඉන් 2148 දෙනෙකු රිමාන්ඩ් රැඳවියන් බවට අනාවරණ වී තිබෙනවා.

උද්ඝෝෂණයේ නිරත වූ රැඳවියන්ගේ ප්‍රධාන ඉල්ලීම් වී ඇත්තේ –

  1. ඇප ලබා දී තිබූ රැඳවියන් තවදුරටත් රිමාන්ඞ් බන්ධනාගාරය තුළ නොතබා නිවෙස්වලට යැවීම
  2. සියලු‍ම රැඳවියන්ට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම.
  3. කොවිඩ් රෝගීන් මහර බන්ධනාගාරයෙන් ඉවත් කිරීම සහ
  4. අනුභව කළ හැකි අන්දමට සුදුසු ආහාර ලබාදීමයි

රැඳවියන්ගේ මෙම ඉල්ලීම් ලබාදීමට සූදානම් කරන බවට දැන්වීමට ප්‍රධාන ජේලර් ඇතුළු නිලධාරීන් පියවර ගත්තද පිරිස හූ හඬ නඟමින් ගඩොල්, ගල් කැබලි, නිලධාරීන් දෙසට විසි කරමින් ගේට්ටුව දෙසට පැමිණ ඇති බව කමිටුව අනාවරණ කර ගෙන තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ පසුපසට ගිය නිලධාරීන් බන්ධනාගාරයේ ආරක්ෂාව තර කිරීමට සහ අමතර ආරක්ෂාව සදහා විපක්ෂ කාර්ය බලකාය පොලිසිය හා ගිනි නිවීමේ හමුදාවද කැඳවා තිබෙනවා.

රැඳවියන් බිය ගැන්වීම සඳහා කඳුළු ගෑස් සහ අහසට වෙඩි තබා රබර් බුලට්වලින් සහ පසුව ජීව උණ්ඩ භාවිත කර කලහකාරී තත්ත්වය මර්දනය කිරීමට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

පළමු අවස්ථාවේදී එක් රැඳවියෙකුගේ උරහිසට වෙඩි වැදී තුවාල වී ඇති අතර පිරිස දෙපසට විසිර ගොස් ඇති බව කමිටුව අනාවරණය කරගත් සාක්ෂිවල සදහන්.

එදින රාත්‍රී 7 ත් 9 ත් අතර බන්ධනාගාර රෝහලේ තිබූ ‘ඩල්සිෆ්‍රෑම්’ (Dulsifram) නම් බෙහෙතක් සහ තවත් විවිධ පෙතිවර්ග රැඳවියන් අතර බෙදා ගනිමින් රිසි සේ පානය කළ ඔවුන් කලහකාරී ලෙස හැසිරී ඇති අතර ‘බොසා’ නැමති අනවර්ථ නාමයෙන් හඳුන්වන තැනැත්තා සහ ලහිරු නැමැත්තෙකුගේ කණ්ඩායම් මෙම ගැටුමට මැදිව තිබෙනවා.

මෙහිදී පිරිසකට කැපුම්, තැලු‍ම් තුවාල සිදුව ඇති අතර වරින්වර බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තැබීමද සිදුකර ඇති නමුත් පිටතින් කැඳවන ආරක්ෂක අංශ වෙඩි තැබීමක් සිදුකර නොමැති බවයි කමිටුව අතුරු වාර්තාවේ දැක්වෙන්නේ.

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීම සදහා රජයේ ප්‍රධාන තක්සේරු නිලධාරියා අද (10) එම පරිශ්‍රයට පැමිණියා.

මහර බන්ධනාගාර සිද්ධියෙන් මිය ගිය 11 දෙනාගේ සිරුරු අතරින් දෙකක් (2) විද්වත් කමිටුව යටතේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීම සදහා රාගම රෝහලේ සිට අද (10) අයි.ඩී.එච්. රෝහල වෙත රැගෙන යනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ගැටුමේදී මිය ගිය මෙතෙක් හඳුනා නොගත් රැදවියන් 4 දෙනාගේ අනන්‍යතාව ද මේ වන විට තහවුරු වී ඇති බවයි ෴

***************************************

(10.12.2020 – 19:39 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා, සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සභාපති ලෙස පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා ෴

***************************************

(10.12.2020 – 19:51 +0530 – hirunews.lk/sinhala)

වසංගත වැනි හදිසි තත්වයන්ට මුහුණදීම සඳහා ගත හැකි හොඳම විසඳුම දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මුදල් අමාත්‍යවරයා ලෙස ලබන වසරේ අයවැයට අදාළ පිළිතුරු කථාවට අද (10) පාර්ලිමේන්තුවේදී එක්වෙමින්.

අයවැය විවාදයේ අවසන් දිනය වූ අද (10) විවාදයට ගැනුනේ මුදල් අමාත්‍යාංශය ඇතුලු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂයි ෴

***************************************

රත්ගම වැඩ විසූ නෙදර්ලන්ත හිමියන්ගේ අපවත්වීම ඝාතනයක් ?

(10.12.2020 – 20:28 +0530 – sinhala.adaderana.lk)

රත්ගම වැඩ විසූ නෙදර්ලන්ත හිමියන්ගේ අපවත්වීම ඝාතනයක් බවට සැක කෙරේ.

රත්ගම පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩවිසූ නෙදර්ලන්ත ස්වාමීන්වහන්සේගේ අභිරහස් අපවත්වීම පිළිබඳව විමර්ශන කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

පොලිසිය සැක පළ කරන්නේ කිසිවකු විසින් හිමියන් ඝාතනය කර සිරුර දියේ ගිල්වා දමන්නට උත්සාහ කර ඇති බවය.

රත්ගම කටුදම්පේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩවිසූ පූජ්‍ය නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන් එහි වැඩම කර ඇත්තේ ඇත්තේ මීට වසර 11 කට පමණ පෙරය.

35 වසරක පැවිදි දිවියකට හිමිකම් කී උන්වහන්සේ මියන්මාරය සහ තායිලන්තය වැනි රටවල මීට පෙර වැඩවාසය කර තිබුසේක.

පිණ්ඩපාතයෙන් යැපෙමින් ආරණ්‍ය සේනාසනය තුළ භාවනානුයෝගීව වැඩවිසූ උන්වහන්සේ හැට හැවිරිදි (60) වියේ පසුවූහ.

ආරණ්‍ය සේනාසනයට අයත් ඔරුවකින් රත්ගම කලපුව හරහා උන්වහන්සේ පිණ්ඩපාතය සඳහා ගොඩබිමට වැඩම කිරීම ප්‍රදේශවාසීන්ට සුලබ දසුනකි.

නමුත් පසුගිය 05 වැනිදා පස්වරුවේ සිට හිමිනම පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නොතිබුණි.

උන්වහන්සේ පිණ්ඩපාතයේ වඩින ඔරුව රත්ගම කලපුවේ පාවෙමින් තිබිය්‍දී සොයාගෙන තිබුණේ ඒ අතරතුරය.

පසුව සිදුකළ සොයාබැලීමේදී ස්වාමීන් වහන්සේගේ මෘත දේහය රත්ගම කලපුවේ පාවෙමින් තිබියදී පසුගිය 8 වැනිදා පස්වරුවේ සොයාගැනිණි.

උන්වහන්සේගේ දෙපා වයරයකින් ගැටගසා ඊට කොන්ක්‍රීට් කැබැල්ලක් ද ගැටගසා තිබූණි.

ඒ අනුව හිමිනම කවුරුන් විසින් හෝ ඝාතනය කර අනතුරුව සිරුර දියේ ගිල්වා දැමීමට උත්සාහදරා ඇති බවට පොලීසිය සැක පළකරයි.

දේහය සොයාගත් ස්ථානයට පැමිණි ගාල්ල මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා මේ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (09) පෙරවරුවේ සිදුකළේය.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේදී අද (10) සිදුකෙරුණු අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරේ කොටස් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කිරීමට එහිදී තීරණය වී තිබේ.‍

මේ අතර සිද්ධිය පිළිබඳ විමර්ශන කඩිනම් කරන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබුණි ෴

===============================================

(10.12.2020 – 19:32 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මහ නගර සභාවේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 265 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ප්‍රකාශ කළා.

කොළඹ අද (10) පැවති උත්සවයකට එක්වෙමින් ඇය කියා සිටියේ මහනගර සභා සීමාව තුළ මරණ 76 ක් මේ වන විට වාර්තා වී ඇති බවයි ෴

+++++++++++++++++++++++

(10.12.2020 – 19:53 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත 23 හැවිරිදි මවක් නිවුන් පිරිමි දරුවන් දෙදෙනෙකු (2) බිහිකිරීමේ පුවතක් මුල්ලේරියාව රෝහලෙන් වාර්තාවනවා.

කෙසේ වෙතත් මෙම බිළිඳුන් දෙදෙනාට (2) වෛරසය ආසාදනය වී නොමැති අතර, ඔවුන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

මේ අතර, පසුගියදා රිජ්වේ ආර්යා ළමා රෝහලේදී කොරෝනා නිසා හටගත් ලේ විෂවීමක්, බහු ඉන්ද්‍රිය අක්‍රියවීම සහ නියුමෝනියා තත්වයක් හේතුවෙන් මියගිය දින විස්සක් (20) වයසැති බිළිදාගේ අවසන් කටයුතු සිදුකළ ආකාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පළවී තිබුණා.

අප මේ සම්බන්ධයෙන් බිළිඳාගේ මවගෙන් විමසීමක් කළද ඇය ඊට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටියා.

කෙසේ වෙතත් දෙමව්පියන්ගේ සහභාගීත්වයෙන් තොරව බිළිදාගේ දේහය පිළිබද අවසන් කටයුතු සිදුකළ බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++

(10.12.2020 – 19:56 +0530 – hirunews.lk/sinhala)

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කොරෝනා ආසාදිත පුද්ගලයෙකු කෙළ ගැසීමේ සිද්ධියක් මුල් කරගෙන බණ්ඩාරගම – අටළුගම ප්‍රදේශයේ තාවකාලිකව නතර කර තිබූ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමේ කටයුතු අදත් (10) හමුදා සහ පොලිස් ආරක්ෂාව යටතේ සිදු කෙරුණා.

කෙසේ වෙතත් අටළුගම – මාරාව ග්‍රාම නිලධාරී වසමේ පුද්ගලයින් 400 කට අද (10) පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබුණද ඒ සඳහා සහභාගිවී තිබුණේ පුද්ගලයින් විසි දෙදෙනෙකු (22) පමණයි.

මේ අතර, කොරෝනා වසංගත ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් හුදකලා කෙරුණු ඔරුගොඩවත්ත – සාතම්මාවත්ත ප්‍රදේශයේ ජනතාව අද (10) ඔරුගොඩවත්ත – පරණ අවිස්සාවේල්ල මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතවුණා. ඒ, තමන්ට සහන ලබාදෙන ලෙස ඉල්ලමින් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 169 දෙනෙක් අද (10) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව අද (10) දිනයේ මේ වනවිට හඳුනාගත් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 469 ක් ෴

කොවිඩ් හේතුවෙන් රෝහල් ගතවන රජයේ සේවකයින්ට අග්‍රහාර රක්ෂණාවරණය මඟින් දිනකට රුපියල් තුන්දහස (3000) බැගින් දින 10 ක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

කොවිඩ් ආසාදනය වී මියයන රජයේ සේවකයින්ට එම රක්ෂණාවරණය යටතේ රුපියල් ලක්ෂ 07 ක වන්දියක් ගෙවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා ෴

***************************************

කොරෝනා ඖෂධය අවසන් පරීක්‍ෂණයේ.. සමත් නම් දින 03 කින් රෝගීන්ට දෙනවා.. කාලි අම්මාගෙන් ලැබුණාට කමක් නෑ.. සාර්ථක නම් පිලිගන්න වෙනවා..

(09.12.2020 – 12:02 +0530 – lankacnews.com)

මෙරට ණය බර ප්‍රතිශතාත්මකව අඩු කිරීමට හැකි පරිදි දළ දේශීය නිෂ්පාදිතය වැඩි කිරීම රට හමුවේ ඇති බරපතළ අභියෝගයක් බවත් එවැනි අභියෝගයක් ජයගත හැකි ව්‍යවසායකයන් පිරිසක් බිහි කිරීම ‘උපාධිධාරි ව්‍යවසායක උදානයේ’ අරමුණ බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කළ විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහිවූ උපාධිධාරීන් ව්‍යවසායකයන් 146 දෙනකුට මූල්‍යමය ප්‍රතිපාදන ප්‍රදානය කිරීමේ ‘උපාධිධාරී ව්‍යවසායක උදානය’ වැඩසටහනට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය :

“ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් ව්‍යවසායකයන් බිහි කිරීම පිණිස ගෙන යනු ලබන වැඩපිළිවෙළේ තවත් අදියරක් මෙලෙස අද සනිටුහන් වෙනවා. උපාධිධාරීන් රජයේ රැකියා ඉල්ලා පෙළපාලි යන අවස්ථාවක, ඔවුන් ලබා ඇති උපාධිය විශේෂිතව සලකා බැලීමකින් තොරව රජයේ සේවයට එකතු කර ගැනීමට තීරණය කර ඇති මොහොතක මෙරට උපාධිධාරීන් තුළින් ව්‍යවසායකත්වය ගොඩනැගීමට මෙවැනි වැඩපිළිවෙළක් දියත් කර තැබීම ඉතා වැදගත්.

රටේ ආර්ථිකය සවිබලගන්වන්නන්

උපාධිධාරියෙකු තමන්ට රැකියාවක් සොයා යනවාට වඩා රැකියාලාභීන් පිරිසක් බිහි කරන අයකු විය යුතුයි. ලෝකයේ බොහෝ රටවල් දියුණු වුනේ රැකියා සොයා ගිය මිනිසුන් නිසා නොවෙයි, රැකියා උත්පාදනය කරනු ලබන පිරිස් ඒ රටවල වැඩි වැඩියෙන් බිහි වූ නිසයි. තවත් පිරිසකට රැකියා අවස්ථාවක් ලබාදී ඔවුන්ගේ පවුල්වලට රැකවරණය සැපයිය හැකි පුද්ගලයන්ට තමයි රටේ ආර්ථිකය සවිමත් කළ හැක්කේ. එවන් පුද්ගලයන් වැඩි වැඩියෙන් බිහි කිරීම රජයේ වගකීමක්. මා මෙම ආයතනයේ සභාපති ධුරයට අනුෂ්ක ගුණසිංහ මහතා පත් කරනු ලැබුවේත් ඉතා කෙටි වයසකින් ඉහත කී ආකාරයේ මෙරට සාර්ථක ව්‍යවසායකයෙකු ලෙස කටයුතු කිරීමට ඔහු සමත්ව සිටි ආකාරය දුටු නිසයි.

සමාජයේ පුරෝගාමින් බවට පත්වන්න

මෙයට ඉහත දී අදහස් දැක්වූ අප අමාත්‍යාංශ ලේකම්තුමන් පෙන්වා දුන් පරිදි සමෘද්ධි දීමනාව වැඩි කිරීමෙන් හෝ වෙනත් සුබසාධන අවස්ථා වැඩි කිරීමෙන් හෝ රට හමුවේ වන අභියෝගයන් ජයගැනීමට නොහැකියි. අප කණගාටුවෙන් වුවත් පිළිගත යුතුයි ‘අපේ රටේ ණය බර දළ දේශීය නිෂ්පාදිතයෙන් 90% කටත් වඩා වැඩියි’ කියා. මේ අභියෝගය ජයගත හැක්කේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය වැඩි කිරීමෙන් පමණයි. දළ දේශීය නිෂ්පාදිතයේ අගය වැඩි කළ හැක්කේ රජයේ සේවයට රිංගා ගන්නා අයකුට නොවෙයි. එය කළ හැක්කේ ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන්, ගොවි ජනතාව ආදී පිරිස් වලටයි. ඒ නිසා මේ මොහොතේ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන් බලගැන්වීම රජයේ පැහැර හැරිය නොහැකි යුතුකමක් වගේම වගකීමක්. උසස් පෙළ සමත් වන පිරිස් අතර විශ්වවිද්‍යාල දූ පුතුන් වන ඔබ සැම ඉදිරිගාමීව සිටින පිරිසක්. ඔබ සැමට හැකි විය යුතුයි සමාජයේ පුරෝගාමින් බවට පත්වීමට. විවිධ ක්ෂේත්‍ර තුළින් ඉදිරියට ගොස් රටට ජයග්‍රහණ රැගෙන ඒමට සමත් විය යුතුයි.

කොරෝනා බෙහෙත

අපේ රටේ යම් වෙනසක් කිරීමට අලුතින් සිතන පුද්ගලයකුට ලබා දෙන උත්තේජනයට වඩා වැඩියි ඔහු එහෙම හිතන එක වැලැක්වීමට ඇති කරනු ලබන පීඩනය. නිදසුනක් ලෙස කොරෝනාවලට යම් බෙහෙතක් සොයා ගත් බව වාර්තා වන මහත්මයා පත්ව ඇති තත්වය පෙන්වා දිය හැකියි. එම බෙහෙත සායනික පරීක්ෂණ කිහිපයකින් හොඳ බෙහෙතක් බව සනාථ වී තිබෙනවා. තවදුරටත් ඒ පිළිබඳව පර්යේෂණ සිදු කෙරෙමින් පවතිනවා. ඒ බෙහෙත ගැනයි සොයා බැලිය යුත්තේ. නමුත් දැන් ඇතැම් අය සියලු වැඩ නතර කර ඒ බෙහෙත හදපු කෙනා පිළිබඳව සොයනවා. ඔහු ආයුර්වේද වෛද්‍යවරයෙක්ද, ඔහුට සහතික තිබෙනවාද, ඔහු කපුවෙක්ද කියා සොයා බලනවා. මේ අය එදා සිටියා නම් ලෝවාමහාපාය හදපු කෙනාගෙ ‘උපාධි සහතිකය’ ඉල්ලා සිටීවි. දැනුම කියන්නේ මිනිසුන් අතරින් උපදින දෙයක්. අද අප නොදන්නා දෙයක් හෙට ඉතා සාමාන්‍ය මිනිසකු අතින් උපදින්න පුළුවන්. එදා සර් අයිසැක් නිව්ටන් ඇපල් ගසක් යට නොසිටියා නම් අප අදත් ගුරුත්වාකර්ෂණ බලය කියා දෙයක් නොදැන සිටීමට තිබුණා. එදා ඔහු කළ ශ්‍රේෂ්ඨ සොයා ගැනීම ඔහු ලබාගත් සහතික ඉල්ලමින් නොසලකා සිටියා නම් එය කොතරම් වැරදිද? නූතන විද්‍යාවට හසුනොවන දැනුම් පද්ධති ලෝකය පුරා බොහෝමයක් තිබිය හැකියි.

දැන් රජරට විශ්වවිද්‍යාලය තුළ සිදු කෙරෙන පර්යේෂණවලින් සනාථ වූ පසු තව දින 3 කින් එම බෙහෙත කොරෝනා රෝගීන් සඳහා ලබා දිය හැකි වේවි. එමඟින් රෝගීන් සුවපත් වෙනවා නම් එම බෙහෙත ඔහුට කීවේ ‘කාලි මෑණියන්ද?’ යන්න අප ගැටලුවක් කරගත යුතු නැහැ. බෙහෙතින් රෝගය සුව වෙනවා නම් එම වට්ටෝරුව ඔහුට ලැබුණ විදිහ ගැන ඔහු පවසන දෙය අපට පිළිගැනීමට සිදු වේවි. එය අපට නොතේරුණා කියා ප්‍රතික්ෂේප කළ නොහැකියි.

චීනයෙන් ගත හැකි ආදර්ශයක්

ඒ වගේම විශ්වවිද්‍යාල ව්‍යවසායක දූ පුතුනි, ඔබ ඉදිරියේ පවතින්නේ තවමත් හරිහැටි හඳුනා නොගත් ලෝකයක්. නොදන්නා දේවල්, මෙතෙක් සොයා නොගත් දේවල් ඔස්සේ සිත මෙහෙයවමින් කටයුතු කළහොත් ඔබට සාර්ථක ව්‍යවසායකයෙකු වීමට මාර්ග රැසක් පෙන්වාවි. මීට වසර 10 කට පමණ පෙර චීනයේ තරුණයකුට ඇති වූ ලස්සන අදහසක්, අද බිලියන ගණනින් ලාභ උපයන ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා. මහා ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවූ පාපැදි කුලියට ලබා දීම එම ලස්සන අදහසයි. ඒ වගේ ඔබත් ‘බැහැ’ කියා නොසිතා නිවැරදි සිතුවිලි සහිතව පෙරට එන්න. එයයි ඔබේ ජයග්‍රහණයේ මාවත. ඒ සඳහා රජය ලෙස අපි ලබාදිය හැකි සියලු සහයෝගය ලබා දෙනවා.”

මෙම අවස්ථාවේදී කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා, ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද අදහස දැක්වූහ. අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් චමින්ද පතිරාජ යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය

***************************************

උලමා සංවිධානයෙන් පාස්කු කොමිසමට වටලප්පන්

(11.12.2020 – 09:45 +0530 – lankaleadnews.com)

සමස්ත ලංකා ජයමියතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි දීමට ඊයේ (10 වැනිදා) පැමිණි මොහොතේ සැකකටයුතු පාර්සල් කිහිපයක් කොමිෂන් සභාව ඇතුළට රැගෙන ගොස් ඇති අතර ඒ පිළිබඳ සොයා බැලීමේදී ඒවා වටලප්පන් අඩංගු පාර්සල් බව තහවුරු වී තිබේ.

සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති කොමිසම හමුවේ ඊයේ (10 වැනිදා) සාක්ෂි දීමට පැමිණ සභාවට ඇතුළු වන අවස්ථාවේ මාධ්‍යවේදීහු නිරීක්ෂණය කර ඇත්තේ බාහිරින් ආවරණය කරන ලද කිසිවක් සභාව ඇතුළට රැගෙන යන ආකාරයයි.

මාධ්‍යවේදීහු මේ සම්බන්ධයෙන් කොමිසම් සභාව ඉදිරිපිට සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන්ගෙන් විමසීම් කළ විට ඔවුන් පවසා ඇත්තේ එම පාර්සල් පරීක්ෂාවට ලක් කළ බවත් ඒවායෙහි වටලප්පන් තිබෙන බව නිරීක්ෂණය කළ බවයි. ඒවා කුමකට රැගෙන යන්නේ දැයි විමසූ විට ‘කොමිසම් සභාවේ නිලධාරීන්ට දීමට රැගෙන යන බව’ පැවසූ බව පොලිස් නිළධාරින් පවසා සිටියහ.

එහිදී පොලිස් නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ වෙනත් දිනවලදීද කොමිසම් සභා අභ්‍යන්තරයේ රජයේ නීතිඥ මණ්ඩලය ආහාර රැගෙන යන බැවින් මෙම පාර්සලය රැගෙන යාම සම්බන්ධයෙන්ද විරුද්ධ නොවූ අතර කොමිසම් සභාවේ සේවකයකුද පැමිණ එම පාර්සල් අභ්‍යන්තරයට ගෙන යාමට සහාය වූ බවයි.

මාධ්‍යවේදීන්ට නිරීක්ෂණය වූයේ ඔවුන් ප්‍රශ්න කිරීමෙන් මොහොතකට පසු අදාළ පාර්සල් ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපතිවරයා පැමිණි මෝටර් රථයට යළි දමාගන්නා ආකාරයයි. ජනාධිපති කොමිසමේ සභාව මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කර නැත.

මීට පෙර අවස්ථාවකදී සමස්ත ලංකා ජයමියතුල් උලමා සංවිධානයේ වැඩබලන ලේකම්වරයකු ජංගම දුරකථනයකින් රහසිගතව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ලබාදුන් සාක්ෂිය පටිගත කරමින් සිටියදී හසුවුණි ෴

= පාස්කු කොමිසමට උලමාගේ වටලප්පන් =
මිනිස් ජීවිත 265කට අධික සංඛ්‍යාවක් බිලිගත් අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමක් සිදු කළ සමූල ඝාතන සම්බන්ධයෙන් නෛතික කටයුතු සිදු කෙරෙන මේ කොමිසමට ඉස්ලාම් වියතුන්ගේ සංවිධානයේ සභාපතිවරයා මෙලෙස වටලප්පන් රැගෙන ඒම ප්‍රශ්න සහගත තත්ත්වයක් මතු කෙරිණි. (colombotoday.com)

***************************************

සීනි ආනයන බද්ද අඩු කිරීමෙන් රජයට මාස දෙකට රු. බිලියන 10 ක්‌ අහිමියි

(11.12.2020 – divaina.com)

සීනි කිලෝවක් ආනයනය සඳහා තිබූ රුපියල් 50 බද්ද ශත 25 දක්වා අඩු කිරීම තුළින් රජයට මාස දෙකක් (2) ඇතුළත රුපියල් බිලියන 10 ක පමණ බද්දක් අහිමිව ඇතැයි මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා (ජාජබ) පාර්ලිමේන්තුවේදී ඊයේ (10 දා) පැවසීය.

මෙලෙස බදු අඩු කිරීම තුළින් ජනතාවට රුපියල් 85 ක් වැනි පාලන මිලට සීනි මිලදී ගැනීමට නොහැකි වූවා සේම රජයට විශාල බදු මුදලක්ද අහිමි වූ බව කී හෙතෙම මෙම බදු අඩු කිරීම තුළ ජාවාරම්කාර කුප‍්‍රකට කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයට යායුතු විශාල ධනයක් හොර පාරවල් ඔස්සේ තම නිවෙස් වෙත හරවා ගෙන ඇතැයිද සඳහන් කළේය.

සීනි බදු අඩු කිරීමේ යෝජනාව ජනාධිපතිවරයා වෙත කර ඇත්තේ ‘වියත් මග’ට සම්බන්ධ ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු බවත්, එහිදී ඇමැතිවරුන් අමාත්‍යාංශ උසස් නිලධාරීන් රූකඩ බවට පත්වූ බවත් මුදල් අමාත්‍යාංශයේ අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී මන්තී‍්‍රවරයා කීය.

මේ වන විට තව තවත් සීනි තොග ශත 25 බද්දට මෙරටට රැගෙන එමින් තිබෙන බවත්, කහ, වාහන, සුවඳ විලවුන් ඇතුළු භාණ්ඩ ගණනාවක්ම ආනයනය නවතා ඇති මේ මොහොතේ සීනිවල පමණක් බදු විශාල වශයෙන් අඩු කර මෙරටට ගෙන්වන්නේ කාගේ වුවමනාවටදැයි ආණ්ඩුව වහාම පැහැදිලි කළ යුතු බවත් එය මහා පරිමාණ ගනුදෙනුවක් බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

මෙරටට වසර 30 කින් සීනි තොග සහිත නැවක් නොපැමිණියද පසුගිය නොවැම්බර් 02 වැනිදා මෙටි‍්‍රක් ටොන් 26,000 ක් සහිත සීනි නැවක් ගෙන්වූ පුද්ගලික ව්‍යාපාරිකයා මේ වන විට තවත් සීනි මෙටි‍්‍රන් ටොන් 37,000 ක් ගෙන්වා ඇති අතර ලබන 12 දා තවත් සීනි මෙටි‍්‍රක් ටොන් 22,500 ක් ගෙන්වන බවත් මේ වන විට තවත් සීනි තොග මෙටි‍්‍රක් ටොන් 13,500 ක් ඉන්දියාවෙන් නැවකට පටවන අතර ආසන්න වශයෙන් මේ වන විට ශත 25 බද්දට ඔහු සීනි මෙටි‍්‍රක් ටොන් 73,000 ක් ගෙන්වා ඇති බවත් අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය ෴

මෙහිදී ඇතිවූ මෙම අර්බුදය සහ මෙම කූට ජාවාරම පිටුපස සිටි පුද්ගලයා අන් කවරකුවත් නොව ස.තො.ස. සභාපති නුෂාඩ් පෙරේරා යි. ඔහු ‘වියත් මග’ කවයේ සිටින පුද්ගලයෙකු වන අතර වෙළඳ ඇමති පවා අභිබවමින් ජනාධිපති ලඟට යෑමේ බළයක් සතු පුද්ගලයෙකි.

අවසානයේ ජනතාවට රු. 85/= ට සීනිත් නැත. රජයට ලැබිය යුතු බිලියන 10 ක බදු මුදළත් නැත. කූට ජාවාරමේ අවසාන ප්‍රතිඵලය එම බිලියන 10 නුෂාඩ් පෙරේරාගේ සහ සජාජ් මවුසීන්ගේ සාක්කුවලට යෑම පමණි.

ඒ අන් කිසිවක් නිසා නොව ‘වියත් මග’ වෙනුවෙන් වියදම් කිරීම සහ රැස්වීම් පැවැත්වීමට ෂැංග්‍රිලා හෝටලය ලබා දීම වැනි කරුණු වෙනුවෙන් දොළ පිදේනි දීම සඳහාය.

– පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක

***************************************

කොරෝනා නසන රාවණ වෙද පරපුරේ ඖෂධය සාර්ථකයි.. දැනටමත් ප‍්‍රභූන්ගේ භාවිතයේ.. ලංකාවටම නොමිලේ දෙන්න සූදානම්..

(11.12.2020 – 13:20 +0530 – lankacnews.com)

කොරෝනා වෛරසය මැඬලීම සඳහා ඖෂධයක් නිර්මාණය කර ඇතැයි රිටිගල දේවේන්ද්‍ර වෙද මහතා සඳහන් කරයි.

රාවණ පරපුරේ සිට පැවත එන රන් සන්නසකින් එළිදක්වන ලද මෙම ඖෂධයක් වසර අවුරුදු 9500 ක් පමණ පැරණි යයිද ඔහු සදහන් කරයි.

දැනටමත් ප්‍රභූන් ඇතුළු කිහිප දෙනෙකුට මෙම ඖෂධය ලබාදෙන බවත් ඉතා සාර්ථකව එය ක්‍රියාත්මක වන බවත් ඔහු පැවසීය.

ඉදිරියේදී මෙම ඖෂධය මුළු ලක්වාසීන්ටම නොමිලේ ලබා දීමට සූදානම් බවත් ඒ සම්බන්ධයෙන් දැනටමත් ඇමති සිසිර ජයකොඩි මහතා සමගින් සාකච්චා කරමින් සිටින බවත් ඔහු කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී :

***************************************

ඉස්ලාම් ආගමික අන්තවාදී මන්ත්‍රීවරුන්ගේ පීඩනයට අගමැති යටවෙයි! නිලධාරින්ට බැනුම්!

(11.12.2020 – 10:35 +0530 – lankaleadnews.com)

කොවිඩ්-19 ආසාදනය නිසා මිය යන ඉස්ලාම් ආගමික බැතිමතුන්ගේ මල සිරුරු ආදාහනය කිරීමට එරෙහිව විරෝධතා පළකරන මන්ත්‍රීවරුන් සහ සෞඛ්‍යය බලධාරින් ඊයේ දින (10) අගමැති කාර්යාලයට කැඳවා පැවැත්වූ රැස්වීමේදී ප්‍රශ්නය කඩිනමින් විසඳීමට ක්‍රියා නොකිරීම පිළිබඳව අගමැතිවරයා විසින් සෞඛ්‍යය අංශ නිළධාරීන්ට තදින් දොස් පැවරූ බව වාර්තාවේ.

ඒ අතර මුස්ලිම් ජනතාවගේ මළ සිරුරු භුමදානය කිරීමට අවසර නොදෙන්නේ නම් දැඩි මහජන විරෝධතා පවත්වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් ප්‍රකාශ කළ බවද වාර්තාවේ.

ඒ පිළිබඳව අදහස් දක්වන ප්‍රසිද්ධ වෛද්‍යයවරයෙකු ‘ලංකා ලීඩ්’ වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර සිටියේ දේශපාලන උවමනාවන් මත විද්‍යාත්මක සත්‍යය වෙනස් කිරීමට උත්සහා කිරීම බරපතල නරක පූර්වාදර්ශයක් බවයි. පුද්ගල අයිතිය පොදු මහජන යහපතට යටත්ව සලකා බැලිය යුතු බවද ඔහු සඳහන් කළේය ෴

***************************************

නෙදර්ලන්ත හිමිනම අපවත් වීම පිටුපස ඇති කතාව මෙන්න…

(11.12.2020 – mawbima.lk)

නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ජානකී වරුෂා හැන්නදි මහත්මිය වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරේ කොටස් වෛද්‍ය පර්යේෂණායතනය වෙත යවා වාර්තාව ලැබුණ පසු මරණයට හේතුව ප්‍රකාශ කරන බව පවසා ඊයේ (10 දා) සවස විවෘත තීන්දුවක් ප්‍රකාශ කළාය.

පෙරේදා (9 දා) උදෑසන ගාල්ල, මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කරාපිටිය රෝහලට රැගෙන යෑමට නියෝග කළේය.

ඒ අනුව, දේහය කරාපිටිය රෝහලට ගෙනැවිත් පළමුවෙන්ම පී.සී.ආර්. පරීක්ෂණය කරන ලද අතර එහිදී අනාවරණය වී ඇත්තේ එම හිමියන්ට කොරෝනා ආසාදනය වී නොමැති බවය. පසුව පශ්චාත් මරණ පරීක්‍ෂණය කරන ලදී.

ඉකුත් 8 වන දා උන්වහන්සේගේ දේහය ගාල්ල කරාපිටිය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබුණත් පශ්චාත් මරණ පරීක්ෂණය කිරීමට නොහැකිව තිබිණි. ඒ, උන්වහන්සේගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නෙදර්ලන්ත තානාපති කාර්යාලයෙන් අනුමැතියක් ලබා නොතිබීමය.

උන්වහන්සේගේ දේහය සොයා ගැනීමෙන් පසු ගාල්ල පොලිස් බලධාරීන් මේ සම්බන්ධයෙන් ලිඛිත වාර්තාවක් මෙරට පිහිටි නෙදර්ලන්ත තානාපති කාර්යාලයට දන්වා යවා තිබිණි.

එම ලිඛිත වාර්තාව මෙරට තානාපති කාර්යාලය විසින් නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත යවා තිබිණි. එරට සිටින උන්වහන්සේගේ පාර්ශ්වයෙන් කරුණු කාරණා විමසීමෙන් පසු ඔවුන්ගේ කැමැත්ත පරිදි උන්වහන්සේගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුමැතිය ලබාදීමට නෙදර්ලන්ත තානාපති කාර්යාලය තීරණය කළ බව ඊයේ (10) ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දන්වන ලදී.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන කණ්ඩායම්වලට වැදගත් තොරතුරු රාශියක් ලැබී ඇතත් විමර්ශනවලට හානියක් සිදුවන බැවින් එම තොරතුරු සම්බන්ධයෙන් කිසිවක් හෙළි කර නොහැකි බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.

කෙසේ වෙතත්, අපවත් වූ ජිනරතන ස්වාමීන්වහන්සේ සිල්වත් හිමිනමක් බව ප්‍රදේශවාසීහු කියති. තනිවම ඔරුව පැදගෙන පිණ්ඩපාතයේ වැඩ තමන්ගේ කුටියට ගොස් ධර්ම කටයුතුවල යෙදීම උන්වහන්සේගේ සාමාන්‍ය ක්‍රියාදාමය බව ඔවුහු කියති.

භාවනානුයෝගීව වැඩ විසීම නිසා අවට පරිසරයෙන් එන ශබ්ද, කෑකෝ ගැසීම්වලට උන්වහන්සේ තරයේ විරුද්ධ වී ඇත. කලපුවේ මාළු ඇල්ලීම හා සංචාරකයන් ශබ්ද සහිත බෝට්ටුවලින් එහා මෙහා ගෙන යෑම ගැන උන්වහන්සේ සිට ඇත්තේ දැඩි කනස්සල්ලෙනි.

මෙවැනි විරුද්ධවීමක් උන්වහන්සේගේ අපවත් වීමට බලපෑවේදැයි සොයා බලන බව පොලිස් විමර්ශකයෝ කියති.

සිද්ධිය පිළිබද පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමක් මෙම හිමියන් වැඩ සිටි කුටියේ තිබී ජංගම දුරකතන දෙකක්, මෙමරි කාඩ්පත් 11 ක්, හඬ පටිගත කිරීමේ යන්ත්‍ර දෙකක් (2) හා විදේශ ගමන් බලපත්‍රය සොයා ගත් බව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විකුම් ගිනිගේ මහතා පැවසීය.

එයට අමතරව එම ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින භික්ෂූන් වහන්සේලා කිහිප නමකගෙන් ද, ආවතේවකරුවකුගෙන් ද, ආරණ්‍ය භූමියේ ඉදිකිරීම් කරන ලද පෙදරේරුවකුගෙන් ද, දායක සභාවේ කිහිපදෙනකුගෙන් ඇතුළු විසිදෙදෙනකු (22) ගෙන් ප්‍රකාශ ලබාගත් බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසීය.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් සිල්වා, ගාලු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ සහ ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විකුම් ගිනිගේ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි රත්ගම පොලිසිය සමග ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ ෴

***************************************

(10.12.2020 – 20:42 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

***************************************

(10.12.2020 – 21:35 +0530 – hirunews.lk/sinhala)

‘හිරු සී.අයි.ඒ.’ ලබාදුන් තොරතුරු අනුව සෝමාවතී ජාතික උද්‍යානයේ ගව ගාල් පවත්වාගෙන යන්නන් සිදුකරන දඩ මස් ජාවාරමක් වැටලීමට වනජීවී නිලධාරීන් සමත් වුණා.

අද (10) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබදවයි.

***************************************

(11.12.2020 – 08:45 +0530 – hirunews.lk/sinhala)

අලි මිනිස් ගැටුම් හේතුවෙන් ලොව වැඩිම වනඅලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම මෙම තත්ත්වය හේතුවෙන් ලොව වැඩිම මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ දෙවන ස්ථානයයි.

එහි පළමු ස්ථානයේ ඉන්දියාව පසුවනවා.

අලි – මිනිස් ගැටුම් සම්බන්ධව වසර ගණනාවක පර්යේෂණාත්මක අත්දැකීම් සහිත විද්වතෙකු වන ආචාර්ය පෘථිවි රාජ් ප්‍රනාන්දුයි රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී මෙම කරුණු අනාවරණ කර ඇත්තේ.

වසරකට සාමාන්‍යයෙන් වනඅලි 272 ක් පමණ අලි – මිනිස් ගැටුම හේතුවෙන් මිය යන නමුත් පසුගිය වසර තුළ දී අලි 407 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එමෙන්ම වන අලි පහර දීමෙන් සාමාන්‍යයෙන් වසරකට පුද්ගලයන් 85 දෙනෙකු මිය යන නමුත් පසුගිය වසරේ මිනිස් ජීවිත 122 ක් වන අලි පහරදීමෙන් අහිමිව ඇති බවද මෙම කාරක සභාවේදී අනාවරණය වුණා.

මේ සඳහා කඩිනම් පියවර සාකච්ජා කර සති 3 ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙසයි රාජ්‍ය ගිණුම් කාරක සභා සභාපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ ෴

තිස්ස – මාතර ප්‍රධාන මාර්ගයේ හම්බන්තොට – කටුවැව ප්‍රදේශයේදී ජීප් රථයක ගැටී වන අලි පැටවෙකු මිය ගොස් තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ඊයේ (10) රාත්‍රියේ එම මාර්ගය හරහා මාරු වෙමින් සිටි අලි රංචුවක සිටි පැටවෙක්. පසුගිය 04 වන දා ද මීට ආසන්න ප්‍රදේශයකදී ටිපර් රථයක ගැටී අලි පැටවෙකු මේ ආකාරයෙන්ම මිය ගොස් තිබුණා.

වනජීවි නිලධාරීන් පවසන්නේ හම්බන්තොට වරායට අයත් භූමියේ ඉතිරිව ඇති කැළෑ ප්‍රදේශයක මෙම වන අලි රංචුව ජීවත්ව සිටින බවයි ෴

***************************************

(11.12.2020 – 08:49 +0530 – hirunews.lk/sinhala)

2021 වසර මඟින් ඉදිරිපත් කර ඇති යෝජනා රැසක් අයවැය සම්මත වූ අවස්ථාවේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඒ අනුව රාජ්‍ය සේවකයන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, තරුණ තරුණියන්, කිරි ගොවීන්, සිසු දරු දැරියන් වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනා මෙලෙස වහාම ක්‍රියාත්මක බවයි.

අයවැය තුන්වන වර කියවීම හෙවත් අවසන් ඡන්ද විමසීමේදී තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වුණා. අයවැයට පක්ෂව ජන්ද 151 ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ජන්ද 54 ක් පමණයි.

මුදල් අමාත්‍යාංශය තවදුරටත් නිවේදනය කළේ රජයේ සේවකයන් සඳහා රාජ්‍ය බැංකු හරහා ලබාදෙන නිවාස ණය හා දේපළ ණය සඳහා ඔවුන්ගෙන් අය කරනු ලබන උපරිම පොලී අනුපාතය සියයට 7 දක්වා අඩු කිරීම දැන් සිට ක්‍රියාත්මක බවයි.

ඒ අනුව දැනට ලබාගෙන ඇති හා ලබා ගැනීමට නියමිත නිවාස හා දේපළ ණය සඳහා රජයේ සේවකයන්ගෙන් අය කරනු ලබන පොලී ප්‍රතිශතය පළමු රුපියල් ලක්ෂ 5 සඳහා සියයට 3 ක් දක්වාත් රුපියල් ලක්ෂ 10 සිට ලක්ෂ 30 දක්වා වන කාණ්ඩය සඳහා සියයට 7 දක්වාත් අඩු කෙරෙනු ඇති.

වෛරසය ආසාදිතව රජයේ රෝහලක ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයෙකු සඳහා දිනකට රුපියල් 3000 බැගින් දින 10 ක් සඳහා අග්‍රහාර රක්ෂණ අරමුදල මගින් ප්‍රතිලාභ හිමි වන අතර, එමගින් ජීවිත අහිමි වීමක් සිදුවහොත් රුපියල් ලක්ෂ 7 ක උපරිමයක් පිරිනැමීමට නියමිතයි.

තරුණ ව්‍යවසායකයන්ට නව ව්‍යාපාර ආරම්භ කිරීමට යෝජිත තුරුණු දිරිය මූල්‍ය පහසුකම් ද වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක වනවා.

එමෙන්ම, දේශීය දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම හා දියර කිරි පරිභෝජනය වැඩි කිරීම සඳහා ‘කිරි ශක්ති’ ණය යෝජනා ක්‍රමය ද ක්‍රියාත්මකයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගා සිටුවීම සඳහා යෝජිත ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය ද අයවැය සම්මත මොහොතේ සිට ක්‍රියාත්මක වන අතර පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂු සහ ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාවහන් තිළිණපත් ලබාදීමේ වැඩසටහන ද මේ අනුව වහාම ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.

මේ අතර අයවැය සම්මත වීමෙන් පසු සාම්ප්‍රදායික ලෙස කථානායක නිළ නිවසේ පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහය ඊයේ (10) රාත්‍රියේ පැවැත්වුණා.

කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පෞද්ගලික හෝටලයක රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පවත්වා තිබෙනවා ෴

===========================================

(10.12.2020 – 20:47 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 169 දෙනෙක් අද (10) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ඒ අනුව අද (10) දිනයේ මේ වනවිට හඳුනාගත් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 469 ක් ෴

++++++++++++++++++++

(10.12.2020 – 20:58 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් හේතුවෙන් රෝහල් ගතවන රජයේ සේවකයින්ට අග්‍රහාර රක්ෂණාවරණය මඟින් දිනකට රුපියල් තුන්දහස (3000) බැගින් දින 10 ක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

කොවිඩ් ආසාදනය වී මියයන රජයේ සේවකයින්ට එම රක්ෂණාවරණය යටතේ රුපියල් ලක්ෂ 07 ක වන්දියක් ගෙවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

++++++++++++++++++++

(10.12.2020 – 21:28 +0530 – hirunews.lk/sinhala)

අද (10) දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 02 ක් වාර්තා වනවා.

මෙම මරණ දෙකත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත මරණ ගණන 146 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද (10) දිනයේ වාර්තා වූ මරණ කොළඹ 02 සහ වැලිගම යන ප්‍රදේශවලින් වාර්තා වනවා.

ඔවුන් 66 සහ 54 හැවිරිදි කාන්තාවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදන කළේ ෴

++++++++++++++++++++++

(10.12.2020 – 22:14 +0530 – hirunews.lk/sinhala)

විදේශයන් හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් 69 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව සිදුකළ පරීක්ෂණ වලදී අද (10) තහවුරු කරගෙන තිබෙනවා.

ඒ අනුව අද (10) දිනයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 538 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *