දිනෙන් දින පරිහානියට යන කූරගල පුරා විද්‍යා පූජා භූමිය

දිනෙන් දින පරිහානියට යන කූරගල පුරා විද්‍යා පූජා භූමිය

බස්නාහිර පොලිස් නිලධාරීන් 43 කුත් ආසාදිතයින් වෙයි

ඇඳිරි නීතිය පවතින කාල සීමාවේ බස්නාහිර පළාතේ විවෘතව ඇති ඉන්ධන පිරිවුම්හල් පිළිබඳ තොරතුරු

කඨින චීවර පිංකම් සඳහා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් උපදෙස් මාලාවක්

කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟළුම් කර්මාන්තශාලාවක සේවිකාවකට ද කොරෝනා – සමස්ත ආසාදිතයින්ගෙන් 04 ක් දැඩි සත්කාර ඒකකවල

රට පුරා හමුවූ කොවිඩ් ආසාදිතයෝ

*********************************************

දිනෙන් දින පරිහානියට යන කූරගල පුරා විද්‍යා පූජා භූමිය

(30.10.2020 – 13:17 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික කූරගල රජමහා විහාරස්ථ පුරාවිද්‍යා පූණ්‍ය භූමිය දෙවන පෑතිස් රජසමයේදී මහා රහතුන් වැඩසිටි පුරාවිද්‍යා භෂ්මාවශේෂ, සෙල් ලිපි, නටඹුන් සහ ලෙන් 14 කින් සමන්විත බෞද්ධ උරුමයක්.

මෙහි වටද්දර ලෙන් ගුහාවේ භික්ෂූන් වහන්සේ සිවුනමක් වස් වසන අතර උණ්වහන්සේ මෙම පුණ්‍ය භූමිය රැක ගැනීම සඳහා දරන්නේ අපමණ වෙහෙසක්.

ස්වාමීන් වහන්සේට වැඩ විසීමට තරම් සුදුසු පරිසරයක් නොමැති මෙම ලෙන වැසි දිනවලදී තෙමෙන අතර ගල්ලෙන ඉදිරිපිට තාවකාලික ලෑලි පියස්සද මේ වන විට අබලන් වී තිබෙනවා.

පින්නෙන් ආරක්ෂාවීම සඳහා මෙම ස්වාමීන්වහන්සේ විසින් ලෙන ඉදිරිපිට ඉටි රෙදිවලින් ආවරණය කරගෙන ඇති අතර බිම අතුරාගත් පැදුරු මත ශීතලේ සැතපී රාත්‍රිය ගතකිරීමට කූරගල භික්ෂූන් වහන්සේලාට සිදුව තිබෙනවා.

*********************************************

බස්නාහිර පොලිස් නිලධාරීන් 43 කුත් ආසාදිතයින් වෙයි

(30.10.2020 – 12:42 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 43 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ තවත් 893 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළ රඳවා සිටින බවයි.

මේ අතර කොළඹ අපරාධ කොට්ඨාශයේ තවත් පොලිස් නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව එම කොට්ඨාශයෙන් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදනය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 16 දක්වා ඉහළ යනු ඇති.

මීට අමතරව තවත් 5 දෙනෙකු ඊයේ (29) දිනයේදී සැක සහිත රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

කොළඹ අපරාධ කොට්ඨාශයේ කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ නිලධාරියෙකු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ සේවයේ නියුතු වී ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.

එම නිලධාරියා කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම් කටයුතු පැවැත්වෙන ශාලාවට ද පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් එම කොමිසමේ වැඩ කටයුතු මෙන්ම ඊට ආසන්නයේ ක්‍රියාත්මක වන දේශපාලන පළි ගැනීම් පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසමේ ද වැඩ කටයුතු තාවකාලිකව නතර කර ඇති බවයි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පොලිස් ඒකකයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ අතර, කොරෝනා ආසාදනය වී ඇති තම සැමියා රෝහල් ගතකිරීමට සෞඛ්‍ය බලධාරීන් නොපැමිණි බවට කාන්තාවක් චෝදනා කරනවා.

කඩුවෙල – ඉහළ බෝමිරිය – කිරිපට්ටිය ප්‍රදේශයේ පදිංචි ඇය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මසුන් මිලදී ගැනීම සඳහා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට ගිය තම සැමියාට කොරෝනා ආසාදනයවී ඇති බවට පසුගියදා තහවුරු වී ඇති බවයි.

ඔහුව මෙතෙක් රෝහල් ගතකිරීමට කිසිවෙකු නොපැමිණීම නිසා තම සැමියාට නිවසේ ඇති ත්‍රිරෝද රථයේ රාත්‍රී කාලය ගත කිරීමට සිදුව ඇති බවද ඇය කියා සිටියා.

+++++++++++++++

(30.10.2020 – 12:44 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර සමඟ ඇතිවූ නව කොරෝනා රැල්ල සම්බන්ධයෙන් සිදුකළ විද්‍යාත්මක පරීක්ෂණයේ ප්‍රතිඵල මෙම සතියේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂිකා මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය සඳහන් කළා.

මෙම වෛරසයේ විශේෂතා මෙන්ම එහි ව්‍යාප්තියට අදාළ කරුණුද මේ වනවිට රසායනාගාර තුළ විමර්ශනයට ලක්වන බවයි ඇය කියා සිටියේ ෴

++++++++++++++++

(30.10.2020 – 14:35 +0530 – hirunews.lk/sinhala)

අද (30) දිනයේදී කොරෝනා ආසාදිතයින් 140 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සමස්ත සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 4282 දක්වා ඉහළ ගියා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ තවත් පුද්ගලයින් 5490 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

දැනට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9791 ක් ෴

+++++++++++++++++

(30.10.2020 – 16:31 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල මහනගර සභා බල ප්‍රදේශයට අයත් සීමාව තුළ කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

විල්ගොඩ, විල්ගොඩවත්ත, උඩවල්පොළ, ඉඳුල්ගොඩකන්ද යන ප්‍රදේශවලින් මෙම කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇති බවයි කුරුණෑගල මහනගර සභා බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.

මේ හේතුවෙන් අද (31) දහවල් සිට විල්ගොඩ ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබෙනවා.

මේ අතර, තලවකැළේ – පූඩළුඔය, වටගොඩ සහ කොත්මලේ යන ප්‍රදේශවලින් කොරෝනා ආසාදනය වූ රෝගීන් කිහිප දෙනෙකු හමුවීමත් සමඟ පූඩළුඔය නගරයට පුද්ගලයින්ට පැමිණීම සීමා කර තිබෙනවා.

හිරු වාර්තාකරු සඳහන් කළේ පූඩළුඔය නගරයේ වෙළඳසැල් කිහිපයක් ද වසා දමා ඇති බවයි.

මීට අමතරව පූඩළුඔය නගරය සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කිරීමට ද අද (31) දහවල් කටයුතු කර තිබෙනවා.

***************************************

(30.10.2020 – 12:46 +0530 – hirunews.lk/sinhala)

හික්කඩුව – හෙට්ටිගොඩ ප්‍රදේශයේ සඟවා තිබියදී හමුවූ අවි ආයුධ සහ පතොරම් ‘රත්ගම විදුර’ නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාට අයත් ඒවා බවට අනාවරණ වී තිබෙනවා.

අවිආයුධ සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී මේ බව හෙළිවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පොලිස් විශේෂ කාර්ය බලකායට ඊයේ (29) ලද තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී ටී පනස් හය වර්ගයේ ගිනි අවියක් (1), විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බ දෙකක් (2), මෙරට නිෂ්පාදිත ගිනි අවියක් (1) සහ ටී 56 ගිනි අවි සඳහා යොදන පතොරම් 993 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු 42 හැවිරිදි වවුලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ෴

***************************************

(30.10.2020 – 13:08 +0530 – hirunews.lk/sinhala)

2021 වර්ෂය සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල් මණ්ඩලයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 3,400 ක මුදලක් අනුමත කිරිමට රජය තීරණය කර තිබෙනවා.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පැවති සාකච්ඡාවකදීයි.

මේ අතර දඹාන ආදී වාසීන්ට අයත්, එක්සත් රාජධානියේ එඩින්බර්ග් සරසවි කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ ආදිවාසී ජනතාවගේ හිස්කබල් නැවත ආදීවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ට භාරදීම එම සරසවියේ පැවති උත්සවයකදී පසුගියදා සිදුවුණා.

අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ, පුරාවිද්‍යා වටිනාකමින් යුත්, ආදිවාසී ජනයාට අයත් යැයි පැවසෙන මෙම අස්ථි තැන්පත් කිරීම සඳහා කෞතුකාගාරයක් ඉදිකිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මුදල් වෙන් කිරීමටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී උපදෙස් දුන් බවයි.

***************************************

(30.10.2020 – 13:12 +0530 – hirunews.lk/sinhala)

වැඩ තහනමකට ලක්ව සිටින කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ නිල දුරකථන ඇමතුම් පිළිබඳ වාර්තාවක් ලබා දෙන්නැයි දේශපාලන පළිගැනීම පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව එහි පොලිස් ඒකකයට ඊයේ (29)නියෝග කළා.

ඒ, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා කළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදී.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ක්‍රියාත්මක දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු ඒ ආසන්නයේ පිහිටි පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ සේවයේ නියුතු වීම හේතුවෙන්.

ඒ අනුව පාස්කු කොමිසමේද වැඩකටයුතු අත්හිටුවීමටයි තීරණය කර ඇත්තේ.

***************************************

(30.10.2020 – 13:29 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මෙරටට පැමිණීමත් MCC ගිවිසුමත් අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා.

මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවට පැමිණියේ නිකමට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව සැඟවී කිසිවක් සිදුනොකරන බව ප්‍රකාශ කළේ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා විසින්.

කැමරා ඉදිරියේ ගිවිසුම් අත්සන් නොකරන බව පවසමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ ඉදිරියේදී එම ගිවිසුම අත්සන් කෙරෙන බවයි.

මීට පෙර පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන් මයික් පොම්පියෝ නියෝග නොදුන්නේ වත්මන් ආණ්ඩුවේ කොන්ද පණ ඇති නිසා බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළා.

වත්මන් ආණ්ඩුව බොරුවෙන් ජනතාව මුලා කිරීම සිදු නොකළ යුතු බව සමගි ජන බලවේගයේ බන්දුලාල් බණ්ඩාරිගොඩ ප්‍රකාශ කළා.

*********************************************

ඇඳිරි නීතිය පවතින කාල සීමාවේ බස්නාහිර පළාතේ විවෘතව ඇති ඉන්ධන පිරිවුම්හල් පිළිබඳ තොරතුරු

(30.10.2020 – 15:26 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීති සමයේ විශේෂ සේවාවන් සඳහා බස්නාහිර පළාත තුළ විවෘත කර තැබෙන ඉන්ධන හල් පිළිබඳව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්ධන පිරවුම්හල් 62 ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්ධන පිරවුම්හල් 68 ක් සහ කළුතර දිස්ත්‍රිකයේ ඉන්ධන පිරවුම්හල් 27 ක් විවෘතව තබනු ඇති.

• ඒ අනුව එලෙස විවෘතව තැබෙන ඉන්ධන පිරවුම් හල් පිළිබඳ තොරතුරු :
[ මෙතැනින් ]

***************************************

(30.10.2020 – 16:05 +0530 – hirunews.lk/sinhala)

එංගලන්තයේ සිට මෙරටට එවා තිබූ කසළ බහලුම් 20 ක් හෙට (31) යළි නැව් ගත කෙරෙනවා.

2017 වසරේදී එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට කසළ බහලුම් 242 ක් ගෙන්වා තිබූ අතර, එවැනි කසල බහාලුම් 21 ක් යළි එරටට යැවීමටයි රේගු දෙපාර්තමේන්තුව මීට පෙර කටයුතු කරනු ලැබුවේ.

අනතුරුව මේ සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය මෙම සියළු බහාලුම් යළි එංගලන්තය වෙත යවන ලෙස නියෝග කළා.

ඒ අනුව හෙට (31) දිනයේ තවත් බහාලුම් 20 ක් එංගලන්තයට යැවීමට කටයුතු කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ.

***************************************

(30.10.2020 – 17:19 +0530 – hirunews.lk/sinhala)

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස සැරසුනු පුද්ගලයින් තුන්දෙනෙකු (3) අඹන්පොල – කැත්තපහුව ප්‍රදේශයේ නිවසක් කොල්ල කා තිබෙනවා.

මොවුන් පෙරේදා (28) රාත්‍රියේ අදාළ නිවසට පැමිණ සඳහන් කර ඇත්තේ නිවැසියන් මාරවිල ප්‍රදේශයේ සංචරණය කළ බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඒ අනුව ඔවුන්ව පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කළ යුතු බව සඳහන් කර ඇති කොල්ලකරුවන් නිවැසියන්ට මත්වීමට ඖෂධ වර්ගයක් ලබාදී නිවස කොල්ලකා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි මහව පොලීසිය සඳහන් කළේ ෴

***************************************

(30.10.2020 – 17:44 +0530 – hirunews.lk/sinhala)

ආසාදිතයින් 11 දෙනෙකු හමුවීමත් සමඟ නිරෝධායනයට ලක් කර ඇති හැටන් – අලුත්ගම ප්‍රදේශයේ නිවාස කිහිපයක් අසළ ප්‍රධාන මාර්ගයේ අනවසර වෙළදාමක් ඉවත් කිරීමට ගිය හැටන් – දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.එස්. මැදවල මහතාට එම නගර සභාවේ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු බාධා කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පොලීසියට පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් එළවළු අලෙවි කරන බවට ලද පැමිණිල්ලක් මත එය ඉවත් කිරිමට ගිය අවස්ථාවේදී මන්ත්‍රීවරයා මෙලෙස තමාට තර්ජනය කරමින් රාජකාරියට බාධා කළ බවයි ෴

*********************************************

කඨින චීවර පිංකම් සඳහා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් උපදෙස් මාලාවක්

(30.10.2020 – 18:14 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත කඨින චීවර පිංකම් සෞඛ්‍ය උපදෙස්වලට අනුව පැවැත්වීම අත්‍යවශ්‍ය බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර මූලික සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම, කඨින චීවරය සකස් කිරීමට නියමිත වස්ත්‍රය තැන්පත් කර ඇති ස්ථානයේ සිට කෙටිම දුරකින් විහාරස්ථානය වෙත වැඩම කරවීම, කඨින චීවරය සඝ සතුකොට පූජා කිරීමේදී භික්ෂූන් වහන්සේලා පස්නමක් සහභාගිකරවා ගැනීම සහ ඊට සහභාගිවිය යුතු ගිහි පිරිස 30 කට සීමා කිරීමට කටයුතු කළ යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනය පහතින් :

++++++++++++++

(30.10.2020 – 20:24 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය කඨින මහෝත්සවයේ කඨින චීවරය සැකසීම සඳහා පුරාණ චාරිත්‍රානුකූලව නූල් පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෑතින් අද (30) සිදු කෙරුණා.

රාජ්‍ය කඨින මහෝත්සවය හා පඬු පෙවීමේ මහා මංගල්‍යය ලබන 07 සහ 08 දෙදින ඓතිහාසික සෝමාවතී පුදබිමේ දී පැවැත්වීමට බතික්, අත්යන්ත්‍ර හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

මැදිරිගිරිය, බිසෝපුර ගම්වැසියන් විසින් මෙම නූල් භාවිත කරමින්, අත්යන්ත්‍ර යොදා ගනිමින් කඨින චීවරය සැකසීම හෙට (31) සිට ආරම්භ කරනු ලබනවා.

පුරා සතියක් වියනු ලබන තනි පොට සිවුර ලබන 07 වැනිදා මහා පෙරහරින් සෝමාවතී පුදබිමට වැඩම කෙරෙන අතර සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන්ගේ අනුශාසනා පරිදි රාජ්‍ය කඨින මහෝත්සවයේදී චීවරය සාංඝික කර පසුදින දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් පඬු පොවනු ලබනවා.

මේ වසරේ සිට රාජ්‍ය කඨින මහෝත්සවය වාර්ෂිකව පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ ෴

*********************************************

කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟළුම් කර්මාන්තශාලාවක සේවිකාවකට ද කොරෝනා – සමස්ත ආසාදිතයින්ගෙන් 04 ක් දැඩි සත්කාර ඒකකවල

(30.10.2020 – 19:27 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල මහනගර සභාවේ කම්කරුවන් හයදෙනෙකුට (6) සහ මත්ස්‍ය වෙළඳසැල් පවත්වාගෙන ගිය දෙදෙනෙකුට (2) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ ප්‍රදේශ 3 කට සංචරණ සීමා පනවා තිබෙනවා.

කුරුණෑගල මහනගර සභා බල සීමාවට අයත් විල්ගොඩ, අම්මාන්කෝවිල සහ ගල්වල යන ප්‍රදේශ වලට මෙලෙස සංචරණ සීමා පනවා ඇති බවයි කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

පවතින තත්ත්වය මත කුරුණෑගල නගරයේ වෙළඳසැල් ද වසා දමා ඇති අතර, නගරය මේ වන විට පාළු ස්වභාවයක් ගෙන ඇති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු පුෂ්පකුමාර ජයරත්න මහතා සඳහන් කළේ.

මේ අතර, කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවිකාවකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමඟ ඇගේ ආශ්‍රිතයන් 125 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.

ඊට ඇඟළුම් සේවිකාව රත්ගම සිට කොග්ගල ඇඟළුම් කම්හල දක්වා ගමන් කළ බස් රථයේ රියදුරු ද වනවා.

අදාළ සේවිකාව පසුගිය දිනක ඇතිවූ රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා තවත් සේවිකාවක් සමඟ ගාල්ල මහ මෝදර රෝහලට පැමිණ ඇති අතර, එහිදියි ඔවුන් දෙදෙනා අහඹු පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇත්තේ.

ඒවායේ වාර්තා ඊයේ (29) පස්වරුවේ ලැබී තිබූ අතර, එමගින් එක් සේවිකාවක් කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු කර ගැනුණා.

ආයෝජන මණ්ඩලය නිවේදනය කළේ පසුගිය 08 වන දා සිට 28 වන දා දක්වා කාලය තුළ ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කර්මාන්තශාලා තුළ පමණක් පී.සී.ආර්. පරීක්ෂණ 26,500 කට වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බවයි.

එහිදී ආසාදිතයින් 423 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් 411 දෙනෙකු කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයෙන් හඳුනාගෙන ඇති බව ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වුණා.

ගාල්ල – තෙලිකඩ – හොරගම්පිටිය ප්‍රදේශයේ පදිංචි විෂබීජනාශක අලෙවි කිරීමේ නිරතවූ අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග ඔහුගේ ආශ්‍රිතයන් 21 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබෙනවා.

ඒ අතර භික්ෂූන් වහන්සේ සිව් (4) නමක්ද වන බවයි පොලීසිය සඳහන් කළේ.

ආසාදිත පුද්ගලයා අලුත්ගම ප්‍රදේශයට ගොස් මත්ස්‍ය ව්‍යාපාරිකයන්ට අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක්ද සිදුකර ඇති අතර, එහිදී ඔහුට වෛරසය ආසාදනය වන්නට ඇති බවටයි සැක කරන්නේ.

මොහු සේවය කළ ආයතනය අක්මීමන – පින්නදූව ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් ඇති අතර, එහි හිමිකරු සහ සේවකයින් තුන්දෙනෙකුද (3) මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මේ අතර, ගාල්ල – ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් තවත් කොරෝනා ආසාදිතයන් හතරදෙනෙකු (4) හඳුනාගෙන ඇති අතර, ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් මාළු මිලදී ගත් අය බවට හෙළි වුණා.

කොරෝනා මර්දන කටයුතු සිදුකළ කොළඹ මහනගර සභාවේ ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුට (2) ද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණේ ඔවුන්ට ඇතිවූ රෝග ලක්ෂණ මත සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදියි.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව මේ වන විට 16 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 43 දෙනෙකු ආසාදිතයින් බවට පත්ව ඇති බවයි.

කඩුවෙල – නවගමුව – වෑක්කවත්ත පාරේ පෞද්ගලික ආයතනයක සේවකයින් 80 දෙනෙකු එම ස්ථානයේම නිරෝධායනයට යොමු කෙරුණේ එම ආයතනයේ 29 දෙනෙකුට කොරෝනා වැලදී ඇති බවට තහවුරු වීම හේතුවෙන්.

මේ අතර කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්ද අද (30) නව ආසාදිතයන් අටදෙනෙකු (8) වාර්තාවීමත් සමඟ එම ප්‍රදේශයෙන් වාර්තාවන මුලු ආසාදිත සංඛ්‍යාව 72 දක්වා ඉහළ ගියා.

අද (30) වාර්තාවූ නව ආසාදිතයන් අටදෙනා (8) අතර දෙදෙනෙකු (2) පොලිස් නිලධාරීන් වන අතර, එම එක් නිලධාරියෙකුගේ බිරිඳ කුලියාපිටිය මූලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කරන අයෙකු බවයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උත්පල සංකල්ප සඳහන් කළේ.

මේ හේතුවෙන් කුලියාපිටිය මූලස්ථාන පොලීසියේ සියලුදෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණ අද (30) සිදුකළා.

එමෙන්ම තලවකැළේ – පූඩළුඔය, වටගොඩ සහ කොත්මලේ යන ප්‍රදේශවලින් කොරෝනා ආසාදනය වූ රෝගීන් කිහිප දෙනෙකු හමුවීමත් සමඟ පූඩළුඔය නගරයට පුද්ගලයින්ට පැමිණීම මේ වන විට සීමා කර තිබෙනවා.

මේ අතර, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සැරයන්වරයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ සැරයන්වරයා පසුගිය 24 වන දායින් පසු සේවයට පැමිණ නොමැති බවයි.

නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු එම ප්‍රදේශයේදී පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇති අතර, එමගින් ඔහු ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමඟ රිමාන්ඞ් බන්ධනාගාරය තුළ ඔහු සමඟ රාජකාරී කළ තවත් පුද්ගලයෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

අද (30) දිනයේදීත් කොරෝනා ආසාදිතයින් 140 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සමස්ත සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 4282 දක්වා ඉහළ ගියා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ තවත් පුද්ගලයින් 5490 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

දැනට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9791 ක්.

කෙසේ වෙතත්, කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ලැබීමේ ප්‍රමාදයක් තවදුරටත් දක්නට ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියා.

එමෙන්ම, කොරෝනා ආසාදිත රෝගීන් රෝහල් ගත කිරීමේ යම් ප්‍රමාදයක් පවතින බවට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තොරතුරු වාර්තාවීම සම්බන්ධයෙන් අද (30) පස්වරුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ගෙන් ප්‍රශ්න කළා.

එහිදී රෝගීන් කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය පැහැදිළි කළ ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ 1999 ක්‍ෂණික ඇමතුම් අංකයට එවැනි ගැටළු සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ මේ මොහොත වනවිට දිවයින පුරා දැඩි සත්කාර ඒකකවල ඇදන් 630 කට වැඩි ප්‍රමාණයක ඉඩකඩ පවතින බවයි.

දැඩි සත්කාර ඒකකවල දැනට ප්‍රතිකාර ලබන්නේ රෝගීන් හතරදෙනෙකු (4) පමණක් බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.

+++++++++++++++++++

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 314 දෙනෙකු අද (30) හඳුනාගෙන තිබෙනවා.

එම ආසාදිතයින් 314 දෙනා හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් දසදහස (10,000) ඉක්මවා ගියා.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10,105 ක්.

අද (30) වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 314 අතර, නිරෝධායන මධ්‍යස්ථානවලින් 55 ක් සහ ආශ්‍රිතයන් 259 ක් වාර්තා වූ බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කළේ ෴

+++++++++++++++++++

(30.10.2020 – 21:57 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 319 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ නිරෝධායනයේ සිටි 83 ක් සහ ආශ්‍රිතයින් 236 ක් ඒ අතර වන බවයි.

මෙම ආසාදිතයින් 319 දෙනා සමඟ අද (30) දවසේ මේ වනවිට හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 633 ක්.

මේ අතර අද (30) දිනය තුල මෙරට කොවිඩ් 19 ආසාදිතයින් ගණන 10,000 සීමාව ඉක්මවා ගියා ෴

++++++++++++++++++

PCR ප්‍රතිඵල 20,000 ක් ප්‍රමාදයි – රජයේ වෛද්‍යවරු අනතුරු අඟවති

(30.10.2020 – 21:53 +0530 – sinhala.adaderana.lk)

සතියකට කලින් ගත් PCR පරික්ෂණවල වාර්තා තවමත් නිතුත්වී නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන වෛද්‍ය හරිත අලුත්ගේ මහතා :

“මේ මොහොතේදී රෝගීන් නැහැයි කියලා කිලිනොච්චියයි, මුලතිව් යන දිස්ත්‍රික්ක දෙක අතහැරදාලා එතන ආවේක්ෂණ කටයුතු නතරකළ හොත් ඊළඟ පොකුර මුලතිව්වලින් පටන්ගන්න පුළුවන්. ඊළඟ පොකුර කිලිනොච්චියෙන් පටන්ගන්න පුළුවන්. ඒ නිසා අපිට ඒකාකාරීව මේ අවදානය යොමුකිරීම වැදගත් වෙනවා.

සතියකට පෙර ගත්තු සාම්පලවල ප්‍රතිඵල තවමත් ඇවිත් නැහැ. මේක ඉතාමත් අවාසනාවන්ත කණගාටුදායක තත්ත්වයක්. සාමාන්‍යයෙන් 100 ක් බැලුවොත් 2.5 ක් 3 ක් වගේ ප්‍රමාණයක් “පොසිටිව්“ වෙනවා. එතකොට මේ 20,000 තුළ අපි උපකල්පනය කළහොත් ඒ ගණන, මේ 20,000 යේ ප්‍රතිඵල අඩුමගානේ තව 500 ක්, 600 ක් වත් ‘පොසිටිව්’ වෙන්න ඕනේ.

මේක අද නතරවෙන ප්‍රශ්නයක් නෙමෙයි. සමහර ප්‍රදේශවල සමාජ නියැඳිවලට තැනක් දිලා නැහැ. ඒ වාර්තාව කරුණාකරලා කැඳවන්න ජනාධිපතිතුමනි. එතකොට තමයි ඔබතුමාට තේරෙන්නේ මේ සම්බන්ධයෙන් වගකිවයුතු අය කොහොමද වැඩකරලා තියෙන්නේ කියලා.

වයඹ පළාත තුළ කුරුණෑගල දිසිත්‍රික්කයේ තියෙන අවදානමත් එක්ක සමාජ නියැඳි කිසිවක් සිදුවෙන්නේ නැහැ. දවසකට කුරුණෑගල දිස්ත්‍රික්කයටම ලැබෙන්නේ PCR කරන්න අදාළ උපකරණ කට්ටල 50 ක විතර ප්‍රමාණයක්. ඒ 50 යෙන් කොහොමද සමාජ නියැඳි කරන්නේ.

මාතර අය අපිට කථා කළා. මාතර මේ වෙනකොට ගත්ත සාම්පල 3000 ක ප්‍රතිඵල ලැබෙන්න තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ දවස් 5 කට 6 කට ගත්ත සාම්පල තවම ලැබිලා නැහැ. මරණ අපේ ඉස්සරහා ඇවිත් ගොඩ ගැහෙනතුරු ඉන්නේ නැතුව වහාම කරණාකරලා ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා මේ ඇති අවදානම ජනතාවට කියන්න” ෴

***************************************

(30.10.2020 – 22:52 +0530 – hirunews.lk/sinhala)

කරුවලගස්වැව, රජවිගම විහාරස්ථානයේ අද (30) පස්වරුවේ පැවති බෝධි පූජා පිංකමක් අතරතුර ඇතෙකු කඩාවැදී සිදුකළ පහර දීමකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ සිව් (4) හැවිරිදි වියේ පසු වූ පිරිමි දරුවෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

වප් පොහෝ දිනය වෙනුවෙන් විහාරස්ථානයේ සංවිධානය කර තිබූ බෝධි පූජා පිංකම සඳහා අදාල දරුවා සිය මව සමඟින් සහභාගී වී ඇති අතර පිංකම අතර තුර විහාරස්ථානයට ඇතෙකු කඩා වැදී ඇති බවයි කරුවලගස්වැව පොලිසිය පැවසුවේ.

එම අවස්ථාවේ කලබලයට පත්වූ පිරිස දිවගොස් ඇති අතර එහිදී මවගෙන් මිදුනු දරුවාට බෝමළුව ආසලදී ඇතා පහර දී තිබෙනවා.

පසුව ගම්වාසින් විසින් මහත් පරිශ්‍රමයක් දරා ඇතා පලවා හැර ඇති අතර ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා සිටි දරුවා ආණමඩුව මුලික රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බවයි වාර්තා වන්නේ ෴

***************************************

(30.10.2020 – 22:57 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් උවදුරට රටේ සියලු ජනතාව සහෝදරත්වයෙන් එක්ව මුහුණ දිය යුතු බවත් ඒ වෙනුවෙන් සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති උපදෙස් නිසි පරිදි අනුගමනය කරන ලෙසත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ලක්වාසී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

උන්වහන්සේ මේ බව සදහන් කළේ රට තුළ පවතින කොවිඩ් උවදුර සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

*********************************************

රට පුරා හමුවූ කොවිඩ් ආසාදිතයෝ

(30.10.2020 – 21:25 +0530 – sinhala.adaderana.lk)

කරන්දෙණිය ප්‍රදේශයේ මාළු වෙළෙඳාමේ නිරතව සිටි වෙළෙඳුන් සිව්දෙනෙකුට (4) කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟින් ඔවුන්ව දඹුල්ල සහ හම්බන්තොට රෝහල්වලට ඇතුළත් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබූහ.

තෙල්දෙණිය කන්දකරල්ලියද්ද, උඩිස්පත්තුව සහ දිගන රජවැල්ලේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකුට (3) වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනට යොමුකිරීමට තෙල්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළේය.

මේ අතර ආනමඩුව කොට්ටුච්චිය ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගීවූ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ.

අදාළ අවමංගල්‍ය උත්සවයට සම්බන්ධ වූ එම ප්‍රදේශයේ විහාරස්ථාන දෙකක හිමිවරුන් ස්වයං නිරෝධායනට යොමුකර තාවකාලිකව එම විහාරස්ථාන දෙක වසා දැමීමට ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරනු ලැබීය.

කොග්ගල බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ සේවය කළ සේවිකාවකට කොවිඩ් ආසාදනය වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ පවසති.

එමෙන්ම රත්නපුර බටුගෙදර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට වාර්තාවීමත් සමඟ අදාළ කාන්තාව සමඟ ඇයගේ දින 4 ක් වයසැති බිළිඳා ද අයි.ඩී.එච්. රෝහල වෙත ඇතුළත් කිරීමට ඊයේ කටයුතු කර තිබුණි.

කොවිඩ් ආසාදිත අදාළ කාන්තාවගේ සැමියා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙක් වන අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් 39 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති අතර කාන්තාව ගමන් කර තිබු වෙළෙඳසැල් ඇතුළු බැංකු කිහිපයක් වසාදැමීමට ඊයේ (30) කටයුතුකර තිබේ.

මේ අතර බෙලිඅත්ත ගලගම ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට ඊයේ (30) තහවුරුවීමත් සමග අදාළ පුද්ගලයා හම්බන්තොට රෝහලට ඇතුළත්කර ඔහුගේ ආශ්‍රීතයින් වන තවත් පවුල් 5 ක පුද්ගලයින් ස්වයං නිරෝධායනයට යොමුකර තිබුණි.

මේ අතර කොවිඩ් රෝගීන් 102 දෙනෙකු ප්‍රතිකාර ලබන ත්‍රිකුණාමලය ඊච්චලම්පත්තු රෝහලේ ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම හේතුවෙන් රෝගීන් මහත් දුෂ්කරතාවකට පත්ව තිබේ.

කඩුවෙල නවගමුව වෑක්කවත්ත පාරේ පිහිටි ලෝහාශ්‍රිත කම්හලක සේවය කළ පුද්ගලයින් 29 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.

කුරුණෑගල නගර සභා බල ප්‍රදේශය තුළ පදිංචි පුද්ගලයින් 8 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.

ඒ අතරින් සිව්දෙනෙකු (4) නගර සභාවේ සේවය කරන අය වන අතර තවත් දෙදෙනෙකු (2) කුරුණෑගල මාළු වෙළෙඳපොළේ සේවකයින්ය.

ඔවුන්ගේ ආශ්‍රිතයින් දෙදෙනෙකුද (2) ආසාදිතයින් ලෙස හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කළහ.

කුරුණෑගල මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි තවත් පුද්ගලයින් 8 දෙනෙකුද අහඹු පී.සී.ආර්. පරීක්ෂණ මගින් ආසාදිතයින් ලෙස හඳුනාගැනුණි.

එමෙන්ම කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් තවත් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගත් බව ප්‍රදේශභාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උත්පල ගුණසේකර මහතා සඳහන් කළේය.

ඒ අතරින් දෙදෙනෙකු කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානවල සේවය කරන පොලිස් නිලධාරීන් වේ.

ඒ අතරින් එක් අයෙකුගේ බිරිඳ කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ රාජකාරි කිරීම හේතුවෙන් එම පොලිසියේ නිලධාරීන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙන අතර වාර්තා ලැබීමට නියමිතය.

මේ අතර මීගමුව පිටිපන මහලෙල්ලම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 48 දෙනෙකු හමුවී ඇතැයි මීගමුව මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

ඔවුන් අතරින් බහුතරය මීගමුවේ ධීවරයින් වන අතර සෙසු පිරිස පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ වෙත පැමිණ වෙළෙඳාම්වලට සම්බන්ධ වූ අය බව වාර්තා වේ.

කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු වෛරසය ආසාදිතයින් බව හඳුනාගැනුණේ ඉකුත් 24 වැනිදා සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුවය.

මීට අමතරව කළුතර ජාවත්ත ප්‍රදේශයෙන් ආසාදිතයින් තිදෙනෙකු, වස්කඩුව ප්‍රදේශයෙන් ආසාදිතයින් දෙදෙනෙකු (2) සහ කලුතර උතුර ප්‍රදේශයෙන් ආසාදිතයින් තිදෙනෙකු (3) ලෙස තවත් ආසාදිතයින් 8 දෙනෙකු අද (30) පස්වරුවේ වාර්තා වුණි.

මොවුන් සියලුදෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොලට සම්බන්ධ අය වන අතර ඉන් එක් අයෙකු පවත්වාගෙන ගිය කාය වර්ධන මධ්‍යස්ථානයක් වසාදැමීමටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළේය.

++++++++++++++++++

නීති කැඩූ විවාහ මංගල උත්සවය

(30.10.2020 – 20:29 +0530 – sinhala.adaderana.lk)

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කරමින් කොළඹ නගරයේ ප්‍රසිද්ධ හෝටලයක ප්‍රභූවරයෙකුගේ විවාහ මංගල උත්සවයක් පැවැත්වෙන බවට අද (30) සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරක් ප්‍රචාරය විය.

එම පුවත ප්‍රචාරය වීමත් සමග ඒ පිළිබඳ සොයා බැලීමට පොලිස් කණ්ඩායමක් අද (30) එම හෝටලයට පැමිණියේය.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරුණු මෙම විවාහ උත්සවය පිළිබඳ චෝදනා එල්ල වන පාර්ලිමේන්තු මන්ත්‍රි වී. රාධාක්‍රිෂ්ණන් මහතාගේ පුත් තිවහරන් රාධාක්‍රිෂ්ණන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සඳහන් කර තිබුණේ එම විවාහ උත්සවයට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා :

“කොල්ලුපිටිය පොලිස් වසමේ පිහිටා ඇති තරු පංතියේ හෝටලයක අද (30) දින විවාහ මංගල උත්සවයක් පැවැත්වෙන බවට කොල්ලුපිටිය පොලිස් ස්ථානයට තොරතුරක් ලැබුණා. ඒ තොරතුර අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරික්ෂාකිරීමේදී නිරෝධායන රීතිවලට පටහැනිව විවාහ මංගල උත්සවයක් පවත්වන ආකාරයක් නිරීක්ෂණය වී ති‍බෙනවා. ඒ සම්බන්ධව විශේෂ විමර්ශනයක් ආරම්භකරලා තියෙනවා. මේ සඳහා 35 දෙනෙකු පමණ සහභාගී වී ඇති බවට වාර්තා වෙනවා.

විශේෂයෙන්ම අපි ඊයේත් (29) පෙරේදා (28) දිනයේත් දැනුම්දුන්නා බස්නාහිර පළාත තුළ කිසිම ආකාරයක විවාහ මංගල උත්සව, මහජනයා රැස්වන උත්සව නොපැවැත්විය යුතු බවට. නමුත් එසේ සඳහන් කර තිබියදීත්, මේ ආකාරයට සෞඛ්‍ය අංශවල ඒ වාගේම පොලීසියේ උපදෙස් නොතකා විවහා මංගල උත්සව පැවැත්වීම ඉතාම කණගාටුදායක තත්ත්වයක් වගේම නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කිරීමක්.

කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ මූලිකත්වයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ විශේෂ නියෝගයක් පිට පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙම විවහා උත්සව සංවිධානය කරමින් කටයුතු කළ පුද්ගලයින්ටත් ඒ වාගේම ඊට සහභාගී වූ අයටත් එමෙන්ම එම හෝටලයේ කළමණාකාරීත්වයටත් එරෙහිව නිරෝධායන රීතින් යටතේ ඉදිරියේදී අපි කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *