ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ජනපති හමුවෙයි

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ජනපති හමුවෙයි

තාවකාලිකව වැසුණු මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් යළි බස් ධාවනය ඇරඹේ

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ සුල මුල ගැන හමුදාපතිගෙන් අනාවරණයක්

හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට ලබන සඳුදා (02) අලුයම 05:00 දක්වා බස්නාහිර පළාතට ඇඳිරි නීතිය

යුද හමුදා බුද්ධි නිලධාරීන් 995 ක් ගැන CID යේ නිරාවරණය නිසා සිදුවූ දේ ?

ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධව වැඩිදුර විස්තරය

බ්‍රැන්ඩික්ස් පොකුරේ ව්‍යාප්තියේ දුර්වලවීමක්

*********************************************

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ජනපති හමුවෙයි

(28.10.2020 – 09:47 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) පෙරවරුවේ හමුවී තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

මීට සුළු මොහොතකට පෙර මෙම හමුව සිදුව ඇති අතර, සාකච්ඡා මේ වනවිටත් ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ නිල සංචාරයක් සඳහා ඊයේ (27) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ජනාධිපති කාර්යාලයේ අද (28) පැවති සාකච්ඡාවේදී දෙරට අතර, ආර්ථික සහයෝගිතාව පිළිබඳව අදහස් හුවමාරු වූ බව කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කළා.

එමගින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ විනිවිදභාවයකින් යුතුව වෙළඳ කටයුතු සහ ආයෝජන පවත්වාගෙන යාම පදනම්ව එම ආර්ථික සහයෝගිතාව ක්‍රියාත්මක වනු ඇති බවයි.

කොවිඩ් 19 ගෝලීය වසංගතයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී අදහස් හුවමාරු වූ බව සඳහන්.

එමෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස උදෙසා පවතින පොදු කැපවීම් සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කළ බව ද, එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

+++++++++++++++

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ද්විපාර්ශවීය සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

+++++++++++++++++

වෙනස් දැක්මක් ඇති චීනය මෙන් නොව, සංවර්ධනය හා වැඩි, එක්සත් ජනපද ආයෝජන සහිත ස්වෛරී සහ ස්වාධීන ශ්‍රී ලංකාවක් අපේක්ෂා කරන බව, ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කියයි ෴

+++++++++++++++++

වෙළඳ සහ ආර්ථික සබඳතා විනිවිදභාවයෙන් පවත්වා ගැනීමට ඇමරිකානු රාජ්‍ය ලේකම් සහතික වේ

(28.10.2020 – 13:00 +0530 – hirunews.lk/sinhala)

දෙදින නිල සංචාරයක නිරත වන අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අද (28) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා.

ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී දෙරට අතර, ආර්ථික සහයෝගිතාව පිළිබඳව අදහස් හුවමාරු වූ බව කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කළා.

එමගින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ විනිවිදභාවයකින් යුතුව වෙළඳ කටයුතු සහ ආයෝජන පවත්වාගෙන යාම පදනම්ව එම ආර්ථික සහයෝගිතාව ක්‍රියාත්මක වනු ඇති බවයි.

කොවිඩ් 19 ගෝලීය වසංගතයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී අදහස් හුවමාරු වූ බව සඳහන්.

එමෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස උදෙසා පවතින පොදු කැපවීම් සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කළ බව ද, එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

අමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් බෝයින් 757 දරන ගුවන් යානයෙන් ඊයේ (27) රාත්‍රි 07:45 ට පමණ කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ දිවයිනට පැමිණියා.

ඔහු පිළිගැනීම සඳහා මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස්, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ ශක්තිමත් ස්වෛරී ශ්‍රී ලංකාවක් සමඟ හවුල්කාරීත්වයක් සඳහා අමෙරිකාවේ කැපවීම අවධාරණය කිරීම රාජ්‍ය ලේකම්වරයාගේ මෙම සංචාරයේ අරමුණ බවයි.

මේ අතර, දිවයිනට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද අද (28) හමුවුණේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදීයි.

විදේශ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විශේෂ මාධ්‍ය හමුවකට එක්වුණා.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පාස්කු ප්‍රහාරයට ලක්වූ කොච්චිකඩේ දේවස්ථානය නිරීක්ෂණය කිරීමට ද නියමිතයි.

පසුව සංචාරය නිමා කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මාලදිවයින බලා පිටත්ව යනවා.

මයික් පොම්පියෝ, මෙරට සංචාරයක නිරත වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයේ ඉහළතම නිලධාරියායි.

+++++++++++++++++

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය පනවා ඇති සංචාර තහනම යලි ඇගයීමකට ලක් කරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අද (28) උදෑසන ජනාධිපති කාර්යාලයේදී විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ අදාළ තහනම ඇමරිකානු නීතිමය ක්‍රියාවලියේ කොටසක් බවයි.

එය සත්‍ය ලෙස සහ නීත්‍යානුකූලව නිවැරදි ද යන්න සහතික කරලීමට එය යළි ඇගයීමට ලක් කරන බව ඔහු ප්‍රකාශ කළේ මාධ්‍ය වෙතින් නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අද (28) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මුණ ගැසුණු අතර ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ආරක්ෂක සහයෝගිතාව වර්ධනය කරලීම පිලිබඳව ද සාකච්ඡා කළා ෴

++++++++++++++++

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණිම සම්බන්ධයෙන් චීනය විරෝධය පළ කරන්නේ ඇයිදැයි මෙරට පාලකයන් විසින් කරුණු පැහැදිලි කල යුතු බව සමගි ජන බලවේගය පවසනවා.

අද (28) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මේ බව සදහන් කළා.

++++++++++++++++

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඇතුළු දූත පිරිස නිල සංචාරය නිමා කරමින් අද (28) දහවල් කටුනායක ගුවන්තොටුපලෙන් නික්මුණා.

ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ දහවල් 01:06 ට එම විශේෂ ගුවන් යානය මාලදිවයින බලා පිටත්ව ගිය බවයි.

ඇමරිකා එක්සත් ජනපදයට අයත් බෝයිං-757 වර්ගයේ විශේෂ ගුවන් යානයකින් ඊයේ (27) රාත්‍රි 07:35 ට ඔහු දිවයිනට පැමිණි අතර එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මුණ ගැසී ද්වීපාර්ශවීය සාකච්ඡා පවත්වනු ලැබුවා ෴

+++++++++++++++++

යුද්ධය අවසන් කිරීමෙන් පසු රටේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය උදව් කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ණය උගුලක සිරවූයේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ට අවධාරණය කර තිබෙනවා.

ඒ අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඔහු හමුවූ අවස්ථාවේදීයි.

ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ අඛන්ඩ සහයෝගයෙන් ක්‍රියා කිරීමට සූදානම් බව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා, ජනාධිපතිවරයා සමඟ ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

දෙරට අතර, දැනටමත් පවත්නා ශක්තිමත් ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම තම රටේ අරමුණ බව ද රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා ෴

*********************************************

තාවකාලිකව වැසුණු මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් යළි බස් ධාවනය ඇරඹේ

(28.10.2020 – 12:53 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම පොලිස් බල ප්‍රදේශයට ඊයේ (27) රාත්‍රියේ ඇදිරි නීතිය පැනවීමත් සමඟ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමුණා.

මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගමන් කිරීමට පැමිණි මගීන් අපහසුතාවයට පත්වූ අතර එහිදී මගියෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර උණුසුම් සංවාදයක් ඇතිවුණා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගමනාගමන අධිකාරියේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා ගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළ අතර, එහිදී ඔහු කියා සිටියේ මේ වනවිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගමන් ගන්නා බස් ධාවනය යළි ආරම්භ කර ඇති බවයි.

මේ අතර, දැනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කයේ නව ආසාදිතයන් වාර්තා නොවන ඇතැම් ප්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමේ හැකියාව පවතින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

අද (28) උදෑසන ‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශනය වූ පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මේ අතර, අද (28) උදෑසන 6 න් අවසන් වූ කාලසීමාව තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට භාණ්ඩ මිලදී ගැනීම සඳහා දැනටමත් දින දෙක (2) බැගින් වෙන් කර ඇති බවයි.

*********************************************

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ සුල මුල ගැන හමුදාපතිගෙන් අනාවරණයක්

(28.10.2020 – 12:56 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වීමට යුක්රේන ගුවන් කණ්ඩායමක සබඳතාවක් ඇති බවට බුද්ධි අංශ මේ වනවිට සියයට 80 ක් පමණ අනාවරණ කරගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ අතර, ඊයේ (27) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 457 දෙනෙකු අලුතින් හඳුනාගත් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඒ අනුව, මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත පොකුරුවලින් මේ වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 5396 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ‘හිරු පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද (28) එක්වෙමින් මිනුවන්ගොඩ – බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර නිර්මාණය වීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ බුද්ධි අංශ වාර්තාව පිළිබඳව පැහැදිලි කළා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ රෝග ව්‍යාප්තිය තවමත් පොකුරු මට්ටමක පවතින අතර, රෝගීන් වාර්තා වීම පාලනයට ජනතාවගේ දායකත්වය ද අවශ්‍ය බවයි.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 8,870 ක් ලෙසයි. මියගිය රෝගීන් සංඛ්‍යාව 19 ක්.

ඊයේ (27) දිනයේ රෝගීන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඒ අතරින් 19 හැවිරිදි තරුණයා උපතින්ම රෝගාබාධ වලින් පෙලුණු පුද්ගලයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, කළුබෝවිල ශික්ෂණ රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පියාට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ ඔහු සහ එම වෛද්‍යවරයා සමඟ පසුගියදා ශල්‍යකර්මයකට එක්වූ තවත් විශේෂඥ වෛද්‍යවරියක නිරෝධානයට යොමුකර ඇති බව රෝහල් පොලීසිය සඳහන් කළා.

එසේම, බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරින් 15 දෙනෙකුට මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

බස්නාහිර පළාත භාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නිවේදනය කළේ ඒ අනුව, නිරෝධායන මධ්‍යස්ථාන වෙත පොලිස් නිලධාරින් 96 දෙනෙකු යොමුකර ඇති අතර, 708 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි.

එසේම, වෙරළබඩ පොලීසියේ නිලධාරින් දෙදෙනෙකු (2) සහ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ තවත් නිලධාරියෙකුට කොරෝනා වෛරසය වැලදී ඇතැයි ද පොලීසිය සඳහන් කළා.

මේ අතර, මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් ඇතුළු 23 දෙනෙකුට මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ආරච්චිකට්ටුව, පෙරියකරුක්කුපනේ ප්‍රදේශයේ තවත් කෙරෝනා ආසාදිතයින් 4 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

කොත්මලේ, පූඩළුඔය වතුයායකින් ද තවත් ආසාදිතයෙකු හමුවී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදඟන් කළේ.

ආගරපතනේ වතු යායකින් ද තවත් ආසාදිතයෙකු හඳුනාගෙන තිබෙනවා.

එසේම, කටුනායක ආයෝජන කලාපයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 404 දක්වා ඉහළ ගියා.

*********************************************

හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට ලබන සඳුදා (02) අලුයම 05:00 දක්වා බස්නාහිර පළාතට ඇඳිරි නීතිය

(28.10.2020 – 13:18 +0530 – hirunews.lk/sinhala)

හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට ලබන සඳුදා (02) අලුයම 05:00 දක්වා බස්නාහිර පළාතටම නිරෝධායනය ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ දැනට නිරෝධායනය ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලට සඳුදා (02) දිනයෙන් පසුව ද අඛන්ඩව නිරෝධායනය ඇඳිරි නීතිය අඛන්ඩව ක්‍රියාත්මක බවයි.

මේ අතර, නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක සියලු ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් සහ ඔසුසැල් හෙට (29) පෙරවරු 08:00 සිට රාත්‍රි 10:00 දක්වා විවෘතව තැබීමට අවසර ලබාදෙන බව ද යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළා.

*********************************************

යුද හමුදා බුද්ධි නිලධාරීන් 995 ක් ගැන CID යේ නිරාවරණය නිසා සිදුවූ දේ ?

(28.10.2020 – 14:02 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් 995 දෙනෙකු නිරාවරණය කිරීම ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් වූ බව දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වුණා.

ඒ යුධ හමුදා බුද්ධි බලකායේ විශ්‍රාමික නිලධාරී ප්‍රේමානන්ද උදාගම කළ පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදීයි.

2016/6/21 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ තමන් එවක සහකාර පොලිස් අධිකාරී සිසිර තිසේරා විසින් සිය කාමරයට රැගෙන ගොස් නිශාන්ත සිල්වා සමඟ විවිධ කරුණු අසමින් ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ බව ප්‍රේමානන්ද උදාගම සාක්ෂි ලබාදෙමින් කියා සිටියා.

ඔහු සඳහන් කළේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ රියදුරු පැහැරගැනීමේ චෝදනාවට තමන්ව මුලින්ම අත්අඩංගුවට ගත් බවයි.

ප්‍රශ්නකිරීම්වලදී ලසන්ත වික්‍රමතුංග, උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් වැනි මාධ්‍යවේදීන්ට පහරදීම සහ ඝාතනය කිරීම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත බුද්ධි අංශ යොදවා කළ බවට ප්‍රකාශ කරන්නැයි පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා බලපෑම් කළ බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළා.

සාක්ෂිකරු පැවසුවේ එම සිද්ධීන්ට තමන්ව කෙසේ හෝ සම්බන්ධ කිරීමට විවිධ උපක්‍රම නිශාන්ත සිල්වා ප්‍රමුඛ සී.අයි.ඩී. නිලධාරීන් යෙදූ බවයි.

තමා අවුරුදු විසි හතක් (27) පුරා යුද හමුදා බුද්ධි රාජකාරි කරන නිලධාරියෙකු වුවද සී.අයි.ඩී. නිලධාරීන් ඒ පිළිබඳ කිසිඳු තැකීමකින් තොරව තමන් ප්‍රමුඛ යුද හමුදා බුද්ධි නිලධාරීන් මාධ්‍ය ඔස්සේ සමාජයට නිරාවරණය කිරීමෙන් තමන් මහත් අපහසුතාවට පත් වූ බව ඔහු වැඩිදුරටත් කොමිසමට කියා සිටියා.

ඔහු කොමිසම හමුවේ පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් බුද්ධි අංශ නිලධාරීන් 995 දෙනෙකු සාමාජයට නිරාවරණය කළ බවයි.

මෙම පැමිණිල්ලට අදාළව වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති CID පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා, සහකාර පොලිස් අධිකාරී සිසිර තිසේරා, උපාලි තෙන්නකෝන් සහ මල්කාන්ති තෙන්නකෝන් යන අයට ලබන 29 දින කොමිසම හමුවේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කෙරුණා.

*********************************************

ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධව වැඩිදුර විස්තරය

(28.10.2020 – 15:01 +0530 – hirunews.lk/sinhala)

හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට ලබන සඳුදා (02) අලුයම 5 දක්වා බස්නාහිර පළාතටම නිරෝධායනය ඇඳිරි නීතිය පැනවීමට රජය අද (28) තීරණය කළා.

කෙසේ වෙතත් දැනට නිරෝධායනය ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලට ලබන සඳුදා (02) දිනයෙන් පසුව ද නිරෝධායනය ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර, නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක සියලු ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් සහ ඔසුසැල් හෙට (29) පෙරවරු 8 සිට රාත්‍රි 10 දක්වා විවෘතව තැබීමට අවසර ලබා දී තිබෙනවා.

ලබන සඳුදා (නොවැම්බර් 02) දිනයෙන් පසු, මීට පෙර නිවේදනය කළ පරිදි එක් එක් දිස්ත්‍රික්කයන් හි ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ වල ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් සහ ඖෂධ අලෙවිසැල් සතියට දින දෙකක් (2) විවෘතව කිරීමට කටයුතු කරනු ඇති.

++++++++++++++++

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 32 ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදයන වී සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 4075 ක් ලෙසයි.

මේ වනවිට මෙරට කොරෝනා ආසාදනය වූ සංඛ්‍යාව 8870 ක් ෴

++++++++++++++++++

කොරෝනා වසංගතය හමුවේ රුපියල් ලක්ෂ 22 ක වටිනාකමකින් යුතු සෞඛ්‍යාරක්ෂිත උපකරණ පරිත්‍යාගයක් අද (28) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදුකෙරුණා.

‘කුසගින්නෙන් පෙලෙන ජාත්‍යන්තරයට කොරියා ආධාර’ සංවිධානය විසින් අදාළ පරිත්‍යාගය සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත මෙලෙස පිරිනැමූ බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පරිහරණය සඳහා ආරක්ෂිත ඇඳුම් කට්ටල 1008 ක්, ආරක්ෂිත ගොගල්ස් 480 ක් හා ආරක්ෂිත අත් ආවරණ කට්ටල 200 ක් එම පරිත්‍යාග අතර වනවා ෴

++++++++++++++

වෙනත් ප්‍රදේශ වල ජනතාවට අවදානමක් ඇතිවිය හැකි බැවින් බස්නාහිර පළාතේ සිටින පුද්ගලයින් ඉන් පිටතට නොයන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කරනවා ෴

++++++++++++++++

සෞඛ්‍ය ආරක්ෂණ හේතූන් මත බස්නාහිර පළාත තුල නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ ද මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලු දරුවන්ගේ විභාග කටයුතු සඳහා එම තත්ත්වය බාධාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසනවා.

සියලු සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල සහයෝගයෙන් දරුවන්ගේ විභාග කටයුතු අවසන් වන තෙක් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් විභාගයට පෙනී සිටින්නට උපරිම සහාය ලබාදෙන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

සෞඛ්‍ය ආරක්ෂණ හේතූන් මත බස්නාහිර පළාත තුල නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ ද මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලු දරුවන්ගේ විභාග කටයුතු සඳහා එම තත්ත්වය බාධාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසනවා.

සියලු සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල සහයෝගයෙන් දරුවන්ගේ විභාග කටයුතු අවසන් වන තෙක් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් විභාගයට පෙනී සිටින්නට උපරිම සහාය ලබාදෙන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

විභාග කටයුතු සඳහා යොදා ඇති ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයත්, දුම්රිය දෙපාර්තුමේනතුවත් ප්‍රවාහන කටයුතු බධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට එකග වී ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර සිටිනවා ෴

+++++++++++++++++

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූ ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරියෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව කියා සිටියේ කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත ලබා දුන් උපදෙස් වලට අනුවයි.

+++++++++++++++

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 211 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

නිරෝධායනය වෙමින් සිටින 09 දෙනෙක් සහ ආශ්‍රිතයින් 202 ක් ඒ අතර වන බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ ෴

***************************************

ජාවාරම් කිරීම සඳහා හෙරොයින් ග්‍රෑම් 10 ක් ළග තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් සිව්දරු (4) මවක් වන කාන්තාවකගෙන් දින 03 ක රැඳවුම් නියෝග යටතේ වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (28) පොලීසියට අවසර ලබාදී තිබෙනවා.

ගාල්ල – මහමෝදර ප්‍රදේශයේ පදිංචි අදාළ කාන්තාව, පොලීසිය ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබුණේ මහමෝදර පාසල් වත්තේදීයි.

ඇගේ සැමියා ද මේ වනවිට හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා ෴

***************************************

තලවකැලේ – ලිඳුල නගර සභාවේ සභාපති අනගිපුර අශෝක සේපාල වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් තාවකාලිකව ඉවත් කර තිබෙනවා.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ බලය අයුතු ලෙස පරිහරණය ඇතුළු ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා සලකා බලා මෙම තීරණය ගත් බවයි.

අදාළ චෝදනා සම්බන්ධයෙන් විශ්‍රාමලත් විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය යටතේ විමර්ශනයක් ද සිදුකෙරෙන අතර, ආණ්ඩුකාරවරයා පැවසුවේ එහි වාර්තාව මාස 03 ක් ඇතුළත තමන් වෙත ලැබීමට නියමිත බවයි.

එතෙක් තලවකැලේ ලිඳුල නගර සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස එහි උප සභාපති ලෙච්චුමන් භාරගිදාසන් මහතා පත් කර තිබෙනවා ෴

***************************************

මුතුරාජවෙල තෙත් බිමට අබලි ද්‍රව්‍ය බැහැර කරන ටිපර් රථ ඇතුළු කිරීම වහාම තහනම් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කර තිබෙනවා.

එලෙස ටිපර් රථ තවදුරටත් මුතුරාජවෙලට පැමිණෙන්නේ නම් නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ද එහිදී නියෝග කෙරුණා.

මුතුරාජවෙල තෙත් බිමේ නීතිවිරෝධී ගොඩකිරීම් සිදුකරනු ලබන්නේ බැහැරින් ගෙන එන කොන්ක්‍රීට් කැබලි, පරණ ටයර් හා නිවාස කඩා ඉවත් කරන ද්‍රව්‍ය කුලියට බැහැර කරන ටිපර් රථ මගින් බවටයි සනාථ වී ඇත්තේ ෴

*********************************************

බ්‍රැන්ඩික්ස් පොකුරේ ව්‍යාප්තියේ දුර්වලවීමක්

(28.10.2020 – 19:11 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ ව්‍යාප්තියේ දුර්වලවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ මෙම පොකුර ආශ්‍රිතව දෛනිකව වාර්තා වන අසාදිතයින්ගේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ රසායනාගාර අංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ්‍ය වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා ප්‍රකාශ කළේ ඊයේ (27) සිදුකළ 8000 ක් වු පී.සී.ආර්. පරික්ෂණ වලින් 500 දෙනෙකුගේ ප්‍රතිඵල මේ වනවිට ලැබී ඇති බවයි.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 8,870 ක් ලෙසයි.

මියගිය රෝගීන් සංඛ්‍යාව 19 ක්.

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් 32 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (28) නිවෙස් බලා පිටත්ව ගියා.

ඒ අනුව, මෙරටදී කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ මුළු සංඛ්‍යාව 4075 දක්වා ඉහළ යනවා.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත පොකුරුවලින් මේ වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 5396 ක්.

එමෙන්ම, කෑගල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 8 දෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙනවා.

ඔවුන් සියලුදෙනාම මාළු වෙළෙදාමේ නිරත වන අය බවයි කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

බේරුවල ප්‍රදේශයේ සිදුකළ පී.සී.ආර්. පරික්ෂණ 801 කින් අසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *