රංජන්, හිරුණිකා සහ නිශාන්ත සිල්වා තුඩු පඬුරු හුවමාරුවක – දේශපාලන කොමිසමේදී හෙළිවේ

රංජන්, හිරුණිකා සහ නිශාන්ත සිල්වා තුඩු පඬුරු හුවමාරුවක – දේශපාලන කොමිසමේදී හෙළිවේ

පවුල් ඒකක සවිබල ගැන්වීමේ වැඩසටහනට ප්‍රතිලාභීන් තෝරා ගැනීම කඩිනම් කෙරේ

අලුත් ව්‍යවස්ථාවකට මහජන අදහස් ලබාගැනීම ඇරඹේ

ගාල්ල ධීවර වරායේ සේවකයෙක් හෘදයාබාදයකින් මියයයි

මෙරට 15 වන කොරෝනා ආසාදිත මරණය වාර්තාවෙයි

‘පොඩි ලැසී’ගේ ටී-56 ගිනි අවියක් සහ රිවෝල්වරයක් මීටියාගොඩින් සොයා ගැනේ

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පිරිස් දළඳා මාලිගාවට ඇතුළත් කර ගැනීම නවතයි

කාති උසාවියෙන් බලවත් අසාධාරණයක් සිදු වූ කාන්තාවකගේ හෙළිදරව්ව

ජීවිත ගණනක් අහිමි කරවූ හෙවෙස්ස ඇල හරහා ඉදිවූ පාලම

සිවල් තර්ජනයට ලක්වූ ගම්වාසීන්ගේ ගැටලු හොයන්න ඇමති රෝහිත එම ප්‍රදේශයට

ධීවර වරාය සඳහා විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ අදම නිකුත් කරන්නැයි සෞඛ්‍ය ඇමතිවරියගෙන් උපදෙස්

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පිරිස 759 දක්වා ඉහළට

*********************************************

රංජන්, හිරුණිකා සහ නිශාන්ත සිල්වා තුඩු පඬුරු හුවමාරුවක – දේශපාලන කොමිසමේදී හෙළිවේ

(24.10.2020 – 12:59 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සමඟ සිදුකළ සංවාදය ඇතුළත් හඬ පටයෙන් එකිනෙකාට උදව් කිරීම වෙනුවෙන් තුටු පඬුරු හුවමාරු කරගෙන ඇති බව පෙනී යන්නේ යැයි දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

ඒ නාවික හමුදා බුද්ධි අංශයේ කමාන්ඩර් සම්පත් දයානන්දගේ පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදීයි.

2009 වසරේදී පුද්ගලයින් දෙදෙනෙකු (2) පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව විමර්ශන කළ සී.අයි.ඩී. නිලධාරින් තමා ඇතුළු බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව අසත්‍ය චෝදනා ගොනූ කර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ බව නාවික හමුදා බුද්ධි අංශයේ කමාන්ඩර් සම්පත් දයානන්ද කොමිසමට පැමිණිලි කර තිබෙනවා.

එම පැමිණිල්ලට අදාළව වගඋත්තරකරුවෙකු ලෙස නම්කර ඇති හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ජනපති කොමිසම හමුවේ ඊයේ (23) පෙනී නොසිටි අතර ඇය වෙනුවෙන් නීතිඥවරයකු කොමිසම හමුවේ පෙනී සිටියා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබා නොදෙන බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කොමිසමට දැනුම් දුන්නා.

කමාන්ඩර් සම්පත් දයානන්ද විසින් කොමිසමට ඉදිරිපත් කර තිබූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ නිශාන්ත සිල්වා අතර ඇති වූ සංවාදයකට අදාල හඬපටයක් කොමිසම හමුවේ වාදනය කෙරුණා.

පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට මීගමුවට ස්ථාන මාරුවක් ලබා දීම සම්බන්ධයෙන් තමන් පසුතැවිලි වන බවත් තම පියාගේ මරණය සම්බන්ධ විමර්ශන කටයුතු වලට නිශාන්ත සිල්වා උදව් කළ බවත් එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා.

යහපාලන රජය සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර ප්‍රමුඛ නිලධාරීන් විමර්ශන වාර්තා හා නඩුගොනු පිළිබඳ දේශපාලනඥයින් සමග දුරකතන සංවාද පැවැත්වීම තුළින් අදාළ නඩු කටයුතු දේශපාලනඥයින්ට අවශ්‍ය ලෙස සිදුකර ඇති බවට හැඟී යන බව හරස් ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් සම්පත් දයානන්ද කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න පැවසුවේ අදාල හඬ පටයේ අන්තර්ගතය අනුව රංජන් රාමනායක, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ නිශාන්ත සිල්වා එකිනෙකාට උදව් කරගැනීම වෙනුවෙන් තුටු පඬුරු හුවමාරු කරගෙන ඇති බව පෙනී යන බවයි.

*********************************************

පවුල් ඒකක සවිබල ගැන්වීමේ වැඩසටහනට ප්‍රතිලාභීන් තෝරා ගැනීම කඩිනම් කෙරේ

(24.10.2020 – 08:15 +0530 – hirunews.lk/sinhala)

ගෘහ ආර්ථිකය හා පෝෂණය වැඩිදියුණු කර පවුල් ඒකක සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහනට අදාළව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහය ඇතිව ප්‍රතිලාභීන් තෝරාගැනීම කඩිනම් කර තිබෙනවා.

ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ (23) දිනයේදී අරලියගහ මන්දිරයේදී පැවැත්වූයේ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

එහිදී ගෙවතු වගාව මෙන්ම සත්ව පාලනය, ජලජ ජීවී වගාව යන ක්‍ෂේත්‍ර ඔස්සේද ගෘහස්ථ ආර්ථිකය නගා සිටුවීමට පියවර ගැනීමට නියමිතයි.

මෙම ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන් ප්‍රතිලාභීන් සඳහා තාක්ෂණික උපදෙස් ලබාදීමද ඊට සමගාමීව සිදු කෙරෙනු ඇති.

ජනතාවගේ ජීවන වියදම පාලනය කරගැනීමට මෙම ජාතික වැඩපිළිවෙල උපකාරී වනු ඇති බවයි කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ සඳහන් කළේ.

රජයේ ආයතන රැසක් එක්ව දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි ෴

*********************************************

අලුත් ව්‍යවස්ථාවකට මහජන අදහස් ලබාගැනීම ඇරඹේ

(24.10.2020 – 08:18 +0530 – hirunews.lk/sinhala)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීම වෙනුවෙන් මහජන අදහස් ලබාගැනීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ලබන නොවැම්බර් මස 30 වනදාට පෙර එම අදහස් ලබාදීමට හැකියාව පවතින බවයි අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. ප්‍රියන්ත මායාදුන්න මහතා සඳහන් කළේ.

ඒ අනුව තම අදහස් ලේකම්, විශේෂඥ කමිටුව, අංක 32, පරිශ්‍ර අංක දෙක, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ හත යන ලිපිනයට ලිපි මගින් යොමු කළ හැකියි.

මීට අමතරව expertscommpublic@yahoo.com යන විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙසයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අධිකරණ අමාත්‍යාංශ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකියි ෴

*********************************************

ගාල්ල ධීවර වරායේ සේවකයෙක් හෘදයාබාදයකින් මියයයි

(24.10.2020 – 10:18 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල ධීවර වරායේ සේවකයෙක් හෘදයාබාදයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල බටදූව ප්‍රදේශය පදිංචිව සිටි 61 හැවිරිදි වියේ පසුවූ අයෙකු බවයි වාර්තාවන්නේ.

අදාළ සේවකයා ඊයේ (23) ගාල්ල ධීවර වරායේ සේවයේ නිරතව සිටියදී ඇතිවූ හෘදයාබාදයක් හේතුවෙන් කඩිනමින් රෝගල්ගතකර තිබෙනවා.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (23) පස්වරුවේ ඔහු මෙලෙස මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මියගොස් ඇති පුද්ගලයාගේ සිරුරෙන් PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබාගෙන ඇති අතර දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි ෴

*********************************************

මෙරට 15 වන කොරෝනා ආසාදිත මරණය වාර්තාවෙයි

(24.10.2020 – 10:38 +0530 – hirunews.lk/sinhala)

මෙරට 15 වන කොරෝනා මරණය අද (24) පෙරවරුවේ වාර්තා වුණා.

ඒ කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 56 හැවිරිදි පුද්ගලයෙකු මියයාමත් සමඟයි.

මෙම පුද්ගලයා හෘද සහ දියවැඩියා රෝගයෙන් පෙලුණු අයෙකු බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය – උණලීය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 7153 දක්වා ඉහළ ගොස් ඇති අතර, සුවය ලැබූ සංඛ්‍යාව 3644 ක්.

ඒ අනුව, ආසාදිතයන් 3495 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

*********************************************

‘පොඩි ලැසී’ගේ ටී-56 ගිනි අවියක් සහ රිවෝල්වරයක් මීටියාගොඩින් සොයා ගැනේ

(24.10.2020 – 11:16 +0530 – hirunews.lk/sinhala)

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ජනිත් මධුෂංක ද සිල්වා’ හෙවත් ‘පොඩි ලැසී’ට අයත් බවට සැකකෙරෙන ටී-56 වර්ගයේ ගිනි අවියක් සහ රිවෝල්වරයක් අම්බලන්ගොඩදී සොයා ගෙන තිබෙනවා.

සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදී හෙළි කළ තොරතුරු වලට අනුව අම්බලන්ගොඩ – මීටියාගොඩ – තෙල්වත්ත පන්සල පාරේ පිහිටි ඥාති නිවසක් අසල සඟවා තිබූ මෙම ගිනි අවි ඊයේ (23) සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

ඒ අනුව, සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී මේ දක්වා ට-56 ගිනි 3 ක්, රිවෝල්වරයක් සහ පිස්තෝල 4 ක් පොලීසිය සොයා ගෙන තිබෙනවා.

එසේම, පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරකට අනුව මාරවිල – කුරුසපල්ලිය ආසන්නයේදී විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මාරවිල පොලීසියට භාරදී තිබෙනවා.

එමෙන්ම, සියඹලාන්ඩුව – හෙරමුල්ල ප්‍රදේශයේදී ද මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් (2) සමඟ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (23) දිනයේදීයි.

මේ අතර, සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘මාකඳුරේ මධුෂ්’ මත්ද්‍රව්‍ය සොයා ගැනීමකට මාළිගාවත්ත – ඇපල්වත්ත ප්‍රදේශයේ ලක්ෂිත සෙවන නිවාස සංකීර්ණය වෙත රැගෙන ගොස් සිටියදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් අඛන්ඩව විමර්ශන ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසනවා ෴

++++++++++++++++++

*********************************************

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පිරිස් දළඳා මාලිගාවට ඇතුළත් කර ගැනීම නවතයි

(24.10.2020 – 12:34 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පුද්ගලයින් මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට ඇතුළත් කර ගැනීම තාවකාලිකව නවතා ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් දියවඩන නිලමේවරයා සඳහන් කළේ ඇඳිරි නීතිය පනවා නොමැති සෙසු ප්‍රදේශවල පුද්ගලයින් ද, දළඳා මාලිගාවට පැමිණීමේදී ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්ය බවයි.

එමෙන්ම, දළඳා මාලිග පරිශ්‍රයට ඇතුළුවීමේදී මුව ආවරණ පැළඳ සිටීම අනිවාර්ය වනවා ෴

+++++++++++

(24.10.2020 – 14:04 +0530 – hirunews.lk/sinhala)

පැතිර යන කොවිඩ්-19 වෛරස තත්ත්වය පදනම් කොරගෙන, ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ විස්තර තහවුරු කර ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත් රැගෙන ඒම අනිවාර්ය කර තිබෙනවා.

එසේම මාළිගා පරිශ්‍රයට ඇතුළත් වීමේදී මුව ආවරණ පළඳා, දෑත් සෝදා, ශරීර උෂ්ණත්වය පරීක්ෂාකිරීමාදී සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිසියාකාරව ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ඇතුළත් කර ගැනීම සිදුකරන බවයි දළදා මාලිගාව නිවේදනය කරන්නේ.

මේ අතර මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශයන්හි වෙසෙන පිරිස් සහ ඒ අයගේ ආශ්‍රිත පිරිස් ශ්‍රී දළදා මාලිගාවට ඇතුළත් කර ගැනීම දැනට නවතා තිබෙනවා.

*********************************************

කාති උසාවියෙන් බලවත් අසාධාරණයක් සිදු වූ කාන්තාවකගේ හෙළිදරව්ව

(24.10.2020 – 13:06 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල කාති උසාවියෙන් තමන්ට බලවත් අසාධාරණයක් සිදු වූ බව පවසමින් කාන්තාවක් මාධ්‍ය වෙත අදහස් දැක්වූවා. ඇය පවසන්නේ මුස්ලිම් කාන්තාවන් හට වෙනම නීතියක් අවශ්‍ය නොවන බවයි.

*********************************************

ජීවිත ගණනක් අහිමි කරවූ හෙවෙස්ස ඇල හරහා ඉදිවූ පාලම

(24.10.2020 – 13:10 +0530 – hirunews.lk/sinhala)

මතුගම, පැලවත්ත සහ බදුරලියට මැදිව පිහිටි මධ්‍ය කන්දහේන හා මහවිට යා කරමින් හෙවෙස්ස ඇල හරහා ඉදි කර ඇති මෙම පාලම වසර 150 කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියනවා.

මහවිට, වෑවැල්ල, බොරලුගොඩ යන ගම්මානවල පවුල් 150 ක පමණ ජනතාවකගේ ප්‍රධාන ගමනාගමනය මෙම කිතුල් ලෑලිවලින් සකසා ඇති පාලම හරහා සිදු කෙරෙන්නේ දැඩි දුෂකරතා මධ්‍යයේයි.

*********************************************

සිවල් තර්ජනයට ලක්වූ ගම්වාසීන්ගේ ගැටලු හොයන්න ඇමති රෝහිත එම ප්‍රදේශයට

(24.10.2020 – 13:16 +0530 – hirunews.lk/sinhala)

හිවලුන්ගේ (නරින්ගේ) තර්ජනයට මුහුණ පා ඇති හොරණ මීවනපලාන ප්‍රදේශවාසීන් පිළිබඳව අප අවස්ථා කිහිපයකදී හිරු ප්‍රවෘත්ති ඔස්සේ පෙන්වා දුන්නා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (24) එම ප්‍රදේශයේ සංචාරය කළා.

හොරණ – කටුහේනවත්ත – මීවනපලාන ප්‍රදේශයට හිවලුන් ගම්වැදීම් හේතුවෙන් පසුගිය මාස කිහිපයක සිට ගම්වාසීන්ගේ දෛනික ජීවිතයට දැඩි තර්ජන එල්ල වී තිබුණා.

පසුගිය 9 වැනිදා මීමනපලාන ගම්මානයේ අවුරුද්දක් වයසැති දැරියක් හිවලෙකුගේ සපා කෑමට ලක්වූ අතර 16 හැවිරිදි පාසල් සිසුවෙකුද හිවලකුගේ සපා කෑමට ලක්වුයේ සිය නිවසේ සිටියදීයි.

මේ අතර හිවල් තර්ජනයට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් ගම්වැදුණු හිවලෙකු ඝාතනය කිරීමටද ගම්වැසියන් කටයුතු කර තිබුණා.

*********************************************

ධීවර වරාය සඳහා විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ අදම නිකුත් කරන්නැයි සෞඛ්‍ය ඇමතිවරියගෙන් උපදෙස්

(24.10.2020 – 13:23 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ධීවර වරාය කටයුතු පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් අද (24) දිනය තුළ නිකුත් කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ අද (24) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති හමුවකදී මෙම උපදෙස් ලබාදී ඇති බවයි.

මේ වනවිට බේරුවල සහ ගාල්ල ධීවර වරාය තුල මාළු කිලෝ 3,50,000 ක් තිබෙන බව ද එම හමුවේදී ධීවර අමාත්‍යාංශ නිලධාරින් සෞඛ්‍ය අමාත්‍යවරියට දන්වා තිබෙනවා.

ඒ අනුව, එම මත්ස්‍ය තොග බෙදා හැරීම සඳහා කඩිනමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරන ලෙසටයි එම අමාත්‍යාංශ බලධාරින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනු ලැබුවේ ෴

*********************************************

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පිරිස 759 දක්වා ඉහළට

(24.10.2020 – 13:25 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ පොලිස් වසම් 49 කට බලපැවැත්වෙන පරිදි මේ වනවිට නිරෝධායනය ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 33 ක, කොළඹ උතුර කොට්ඨාශයේ පොලිස් වසම් 06 ක, කුලියාපිටිය ප්‍රදේශයේ පොලිස් වසම් 05 ක, කළුතර කොට්ඨාශයේ පොලිස් වසම් 03 ක සහ වැල්ලම්පිටිය පොලිස් වසමේ මෙලෙස ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

මීට අමතරව වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගුලවිට – උතුර, ගුලවිට – දකුණ, වෙදවත්ත, මගුරුමස්විල සහ මාකලන්දාව යන ගම්මාන ඊයේ (23) රාත්‍රියේ සිට හුදකලා කිරීමටයි පියවර ගැනුණේ.

මේ වනවිට ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්වූවන්ගේ සංඛ්‍යාව 759 දක්වා ඉහළ ගොස් ඇති අතර, පොලිස් භාරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 110 ක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

අද (24) උදෑසන හයෙන් (06:00) අවසන් වූ ගත වූ පැය 24 තුළ පුද්ගලයින් 71 දෙනෙකු නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබුණා. එම කාලසීමාවේදී පොලිස් භාරයට ගත් රථවාහන සංඛ්‍යාව 17 ක්.

එසේම, නිරෝධායන නීති කඩකරමින් උඩුදුම්බර සහ මැණික්හින්න ප්‍රදේශවල ස්ථාන දෙකක (2) මුදලට සූදු ක්‍රීඩා කළ පුද්ගලයින් 14 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් දස දෙනෙකු (10) තෙල්දෙනිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. අනෙක් සැකකරුවන් 04 දෙනා දඩ පනවා මුදාහැර තිබෙනවා.

මේ අතර, නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පවතින දුම්රිය ස්ථානවල දුම්රිය නතර නොකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඇඳිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශ තුළ අත්‍යවශ්‍ය සේවාවන්වල නිරත සියලු සේවකයින්ට තම රාජකාරී හැඳුනුම්පත භාවිත කර අදාළ කටයුතුවල නිරත විය හැකි බවයි ෴

++++++++++++++

බටලන්ද යුද හමුදා කඳවුරේ යුද හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වෙයි

(24.10.2020 – 13:36 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි බටලන්ද යුද හමුදා කඳවුරේ සේවය කරන යුද හමුදා නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාව ප්‍රකාශ කළා.

ඔහු මාළු මිලදී ගැනීම සඳහා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට ගොස් ඇති අතර, එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවටයි සැලකෙන්නේ ෴

++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *