මාළු ඇල්ලුවොත් අත හොඳින් හෝදන්න – වෛද්‍ය සුදත් සමරවීරගෙන් උපදෙස්

මාළු ඇල්ලුවොත් අත හොඳින් හෝදන්න – වෛද්‍ය සුදත් සමරවීරගෙන් උපදෙස්

ගාල්ල ධීවර වරායේ 7 කට කොරෝනා ආසාදනය වෙයි

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම CSN විමර්ශනවලට අදාළ සියලු ලිපි ගොනු CIDයෙන් ඉල්ලයි

*********************************************

මාළු ඇල්ලුවොත් අත හොඳින් හෝදන්න – වෛද්‍ය සුදත් සමරවීරගෙන් උපදෙස්

(23.10.2020 – 14:36 +0530 – truenews.lk)

පෑලියගොඩ මාළු වෙළෙඳපොලෙන් කොරෝනා වාර්තා වීමත් සමග ජනතාව අතර සැකයක් මතුව තිබෙනවා.

එහෙත්, මාළු පාරිභෝජනයෙන් වැළකී සිටීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ ගැන අදහස් දකවමින් පවසා තිබුණා.

ඔහු සඳහන් කරන්නේ මාළු අතපත ගෑමක් හෝ ස්පර්ශ කිරීමක් සිදුවෙනවා නම් ඉන් පසුව අත සේදීම හොඳින් කළ යුතු බවයි.

“කොවිඩ් 19 වෛරසය නොයෙක් පෘෂ්ඨයන් තුළ එක්තරා කාලයක් පවතින්න පුළුවන් කියලා අපි දන්නවා. ඒ පිළිබඳව තොරතුරු හොයාගෙන තිබෙනවා. වූහාන් ප්‍රාන්තයේ ආරම්භයේදී මේ රෝගය ව්‍යාප්ත වුණේ මාළු වෙළඳසැලක් ආශ්‍රිතව. ඒ නිසා අපි තවමත් නිශ්චිතව කියන්න දන්නේ නෑ මාළුන්ගේ පෘෂ්ඨයේ මේ වෛරසය තැවරිලා තිබෙනවානම් ආසාදිතයෙකුගෙන් එය කොයිතරම් දුරකට ව්‍යාප්තවීමට බලපානවද කියලා..”

නමුත් ඒ නිසා මාළු අනුභවයෙන් වැළකී සිටීමේ කිසිම අවශ්‍යතාවක් නෑ. යම්කිසි විදිහකින් මාළු පිරිසිදු කිරීමක්, අතපත ගෑමක් ස්පර්ශ කිරීමක් සිදුවෙනවා නම් ඉන් පසුව අත හොඳට හෝදනවා නම්, මුහුණ ඇල්ලීමෙන් වළකිනවා නම් අපිට පුළුවන් මාළුන්ගේ පෘෂ්ඨය මත කොවිඩ් වෛරසය රැදී තිබෙනවානම් එය තවත් අයෙකුට පැතිරීම වළක්වා ගැනීමට.”

+++++++++++++++++

කොළඹ 79 ක්.. කැලණිය 53 ක්.. කඩුවෙල 06 ක්.. දෙමටගොඩ 15 ක්.. කඩවත 07 ක්.. – මාළු කඩෙන් හමුවූ කොරෝනා රෝගීන්ගේ පදිංචි ස්ථාන මෙන්න

(23.10.2020 – 07:16 +0530 – truenews.lk)

ඊයේ (22) දිනයේදී මෙරටින් වාර්තා වූ නව කොරෝනා වෛරසය අසාදනය වූ සමස්ත ආසාදිතයින් 309 කින් 188 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට සම්බන්ධ වූ පිරිස් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයෙන් වාර්තා වූ ආසාදිතයින් 188 දෙනා ගෙන් 79 දෙනෙකු කොළඹ ප්‍රදේශයෙන් ද, කැලණිය ප්‍රදේශයෙන් 53 ක්, වත්තල ප්‍රදේශයෙන් 09 ක්, කඩුවෙල ප්‍රදේශයෙන් 06 ක්, දෙමටගොඩ ප්‍රදේශයෙන් 15 ක්, කඩවත ප්‍රදේශයෙන් 07 ක්, කිරිබත්ගොඩ 03 ක්, මොරටුව ප්‍රදේශයෙන් 03 ක්, කොටහේන ප්‍රදේශයෙන් 04 ක් සහ වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 09 දෙනෙකු වාර්තා වී ඇත.

ඊට අමතරව වාර්තා වූ අසාදිතයින්ගෙන් කොළඹ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 31 ක් දෙනෙකු වාර්තා වී ඇත. එයින් කොටහේන ප්‍රදේශයෙන් 07 ක්, මුල්ලේරියාව 04 ක්, ග්‍රෑන්ඩ්පාස් 04, බ්ලුමැන්ඩල් හා ප්‍රදේශයෙන් දෙහිවලින් එක් ආසාදිතයෙක් බැගින් වාර්තා වී ඇත.

මිට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40 දෙනෙකු වාර්තා වී ඇත. ගම්පහ ප්‍රදේශයෙන් 08 ක්, වත්තල 02 ක්, රාගම 01 ක්, මිනුවන්ගොඩ 14 ක්, දිවුලපිටිය 05 ක් සහ කටුනායක 10 ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

මිට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 09 ක්, මාතරින් එක් (01) ආසාදිතයෙක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 14 ක්, අනුරාධපුර 02 ක් සහ නිරෝධායන මධ්‍යස්ථාන වලින් ආසාදිතයින් 24 ක් වාර්තා වී ඇත ෴

+++++++++++++++

(23.10.2020 – 11:45 +0530 – hirunews.lk/sinhala)

කොස්ගම, සාලාව රෝහලට ඇතුළත් කෙරුණු කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු අද (23) අලුයම් කාලයේ රෝහලින් පලාගොස් තිබෙනවා.

අලුයම 1 ට පමණ 26 හැවිරිදි අදාළ තරුණයා රෝහල් ගත කර ඇති අතර පෙරවරු 6 ට පමණ පළාගොස් ඇති ඔහු සොයා බුද්ධි අංශ මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අදාළ ආසාදිතයාගේ මව ඇතුළු පවුලේ සාමාජිකයන්ද කොවිඩ් ආසාදිතව සාලාව රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා ෴

***************************************

මුදල් පිළිබඳ කාරක සභාවට බහුතර කැමැත්තෙන් සභාපතිත්වය පත්කළ යුතු බවට වන යෝජනාව බහුතර කැමැත්තෙන් අද (23) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 87 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 17 ක් පමණයි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතීත්වයට යෝජනා කරන ලද සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා වෙනුවට වෙනත් රජයේ මන්ත්‍රීවරයෙකු යෝජනා කිරීමට සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන උත්සාහ කිරීමත් සමඟ අද (23) පාර්ලිමේන්තුව ආරම්භයේදීම උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

මුදල් පිළිබඳ කාරක සභාවට බහුතර කැමැත්තෙන් සභාපතිත්වය පත්කළ යුතු බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටි අතර, විපක්ෂයට ලැබිය යුතු එකම සභාපතීත්වය වන මෙම කාරක සභාවේ සභාපතීත්වය තමන්ට ලබාදෙන ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන ඉල්ලා සිටීම හේතුවෙන් මෙම ගැටළුව උද්ගත වුණා.

ස්ථාවර නියෝග 121.1 විධිවිධාන අනුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා එම කාරක සභාවේ මන්ත්‍රීන් අතරින් කාරක සභාව විසින්ම තෝරාපත් කර ගැනීම සඳහා බහුතර කැමැත්ත විමසීමට කතානායකවරයා ඡන්ද විමසීමක් සිදු කිරීමට තීරණය කරනු ලැබුවා.

+++++++++++++++

තමන් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශධෝන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කරනු ලැබුවේ රට ගැන සිතා බව සමගි ජන බලවේගයේ උප ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ ප්‍රකාශ කළා.

මෙම පනත් කෙටුම්පත තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියේ.

එහිදී සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් හැර එම පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන් සියලු‍ දෙනා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළා.

එම මන්ත්‍රීවරුන් වන්නේ නසීර් අහමඩ්, ෆයිසාල් කාසීම්, එච්.එම්.එම්. හාරීස්, එම්.එස්. තවුෆික් යන අයයි.

මීට අමතරව රිෂාඞ් බදියුදීන් නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන ඉෂාක් රහුමාන්, මනෝ ගනේෂන් නායකත්වය දරණ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ අරවින්ද් කුමාර් සහ මුස්ලිම් ජාතික සන්ධානය නියෝජනය කරන අලි සබ්‍රි රහීම් යන මන්ත්‍රීවරුන් ද පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කිරීම විශේෂත්වයක්.

මේ අතර, ඊයේ (22) පැවති පාර්ලිමේන්තු වාරයෙන් අනතුරුව පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් ද 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම පිලිබදව අදහස් දක්වා සිටියා.

+++++++++++++++

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා ඊයේ (22) පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය භාවිත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට දෙමළ ප්‍රගතිශීලී සන්ධානය පියවර ගෙන තිබෙනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කළේ ඉදිරියේදී දේශපාලන මණ්ඩලය රැස්කර ඔහුව පක්ෂයෙන් ඉවත් කිරීමට ද පියවර ගන්නා බවයි.

එසේම, මන්ත්‍රීවරයා නියෝජනය කරන කඳුරට ජනතා පෙරමුණට ඔහු සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස දැනුම්දීමට ද කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කළා ෴

***************************************

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ මෙරට සංචාරයේදී ඇමරිකාවට ඇතුළුවීමට වළක්වාලමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට පනවා ඇති සංචරණ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.

එහිදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ ඒ පිළිබදව මේ වන විටත් රජය අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

මේ අතර, මයික් පොම්පියෝගේ සංචාරය පිළිබදව පෙර සොයා බැලීමක් සඳහා ඔහුගේ ආරක්ෂක නිලධාරීන් 16 දෙනෙකු මෙරට පැමිණ තිබෙනවා.

පෙරේදා (21) දිනයේ මොවුන් දිවයිනට පැමිණ ඇත්තේ කටාර් ගුවන් සේවයට අයත් කිව්. ආර්. 668 දරණ ගුවන් යානයෙන්.

ලබන 28 වන දා දිවයිනට පැමිණෙන ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ එදිනම ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

එසේම ඔහු විදේශ අමාත්‍යාංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට ද එක්වනු ඇති ෴

*********************************************

ගාල්ල ධීවර වරායේ 7 කට කොරෝනා ආසාදනය වෙයි

(23.10.2020 – 12:59 +0530 – hirunews.lk/sinhala)

මේ අතර බේරුවල වරායේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී කොරෝනා ආසාදිතයන් 20 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට සම්බන්ධවූ පිරිස් හඳුනාගනිමින් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මෙම ආසාදිතයන් සොයාගත් බවයි ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සහ නාගොඩ මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා සඳහන් කළේ.

මෙම ආසාදිතයන් ද ඇතුලුව මේ වනවිට කළුතර දිස්ත්‍රික්කයෙන් පමණක් කොරෝනා ආසාදිතයන් 100 කට වැඩි පිරිසක් වාර්තාවන බව කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය ප්‍රකාශ කළා.

ඉන් 78 දෙනෙකුම වාර්තාවන්නේ බේරුවල සහ කළුතර සෞඛ්‍ය බල ප්‍රදේශ හැර කළුතර දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලින් බව සඳහන්.

ගාල්ල ධීවර වරායේ ධීවරයින් ඇතුළු සේවා සපයන්නන්ගේ මෙතෙක් ලැබුණු පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවලින් 07 දෙනෙකු ආසාදිත බව අද (23) තහවුරු වී ඇතැයි ගාල්ල නාගාරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.

ඊයේ (22) දිනයේ ගාල්ල ධීවර වරායේ ධීවරයින් ඇතුළු සේවා සපයන්නන් 166 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර තිබුණා.

එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් කොළඹ නැව් තටාකාංගන සේවකයාගේ බලපිටිය – කටුවිල ප්‍රදේශයේ පැවති ඥාතියෙකුගේ අවමංගල උත්සවයට සහභාගි වූ 15 දෙනෙකුට කොරෝනා වෛරසය ආසානය වී ඇති බව තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංහාරච්ච් මහතා සඳහන් කළා.

මීට පෙර කොරෝනා ආසාදිතයන් වාර්තාවූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ මතුගම – කොළඹ සුඛෝපභෝගී බස් රථයට සම්බන්ධ කොරෝනා ආසාදිතයන් 34 දෙනෙකු මේ වනවිට මතුගම සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති අතර, ඉන් වැඩි පිරිසක් දැනට හුදකලා කර ඇති ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදයේ පදිංචිකරුවන් බවයි මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් වෙළඳ සංකීර්ණයේ මාළු වෙළඳසැලක හිමිකරුවෙකු කොරෝනා ආසාදිතයෙකු බවට අනාවරණය වීමෙන් පසුව අද (23) සිට එම වෙළඳසැල වසාදැමීමට පියවර ගෙන තිබෙනවා.

වෙළදසැල් හිමිකරුගේ පවුලේ අය සහ වෙළඳසැලේ සේවකයන් පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් මාළු රැගෙනවිත් අලෙවි කිරීම නිසා හැටන් නගරයේ පිහිටි සියලුම මත්ස්‍ය වෙළඳසැල් අද (23) දින වසා දැමීමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ හැටන් පොලිසියේ නිලධාරීන් කටයුතු කළා.

එමෙන්ම තලවකැලේ නගරයේ වෙළඳසැල් කිහිපයක් ද අද (23) දින වසා දමා එහි සේවකයින් ද පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කිරීමට පියවර ගත් බවයි තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා කියා සිටියේ.

වැලිගම නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසය තුළ මාළු ව්‍යාපාරිකයෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

රත්නපුර – මුවගම ප්‍රදේශයෙන්ද කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයන් 35 දෙනෙකු මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් මාළු රැගෙන විත් අලෙවි කරන පුද්ගලයෙකුටයි මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ.

එමෙන්ම අදාළ පුද්ගලයා රත්නපුර මහ නගර සභාවේ පසුගිය දිනක පැවති වෙළඳසැල් ටෙන්ඩර් කැඳවීමේ අවස්ථාවකටද සහභාගි වී ඇති බවට අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව රත්නපුර මහ නගර සභාවේ පිරිසකගේද පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර මාතර – කොටුවේ පිහිටි වෘත්තිය පුහුණු අධිකාරි කාර්යාලයේ ගණකාධිකාරීවරයෙකුටද කොරෝනා ආසාදිත බව අද (23) තහවුරු වුණා.

ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු පොදු ප්‍රවාහන සේවාවලින් දෛනිකව රාජකාරි සඳහා පැමිණ ඇති බවටයි සෞඛ්‍ය අංශ අනාවරණ කරගෙන ඇත්තේ.

ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයන් හඳුනාගැනීම සඳහා දැනටමත් කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.

මෙරට වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (22) වාර්තා වුණා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ ඊයේ (22) දිනයේ පමණක් කොරෝනා ආසාදිතයින් 309 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති බවයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6287 දක්වා ඉහළ ගියා.

මේ අතර ඊයේ (22) දිනයේ මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා වුණා.

අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (22) ජීවිතක්ෂයට පත්වූ කුලියාපිටිය – ඌරුපිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) සිදුකිරීමට නියමිතයි.

ඒ ඇයගේ ඥාතියෙකු පැමිණීමෙන් පසු නිරෝධායන නීතිවලට අනුකූලවයි.

අද (23) උදෑසන 6 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 88 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ පසුගිය 4 වන දා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩකළ 691 දෙනෙකු සහ වාහන 92 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි. නිරෝධායන ඇදිරි නීතිය කඩ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර, අද (23) උදෑසන ‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශය වූ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ අද (23) දිනයේ ලැබෙන පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තා අනුව තවත් ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නේ ද නැද්ද යන්න තීරණය කරන බවයි.

එමෙන්ම කොරෝනා වසංගතය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය මේ වනවිට පැවැත්වෙනවා.

මේ අතර කොස්ගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ කොරෝනා ආසාදිත තරුණයෙකු අද (23) උදෑසන එම රෝහලෙන් පලාගොස් තිබෙනවා.

26 හැවිරිදි අදාළ තරුණයා කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසු රෝහල් ගතකර ඇත්තේ අද (23) අලුයම 01:30 ට පමණ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම තරුණයාගේ පවුලේ සාමාජිකයන් ද කොරෝනා ආසාදනය වී එම රෝහලේ ප්‍රතිකාර ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් පළාගිය කොරෝනා ආසාදිත තරුණයා සොයා පොලීසිය, බුද්ධි අංශ සහ සෞඛ්‍ය අංශ මේ වනවිටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

++++++++++++++

කොස්ගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටියදී පළා ගිය කොරෝනා ආසාදිත තරුණයා බොරැල්ල – සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වන මහලේ නිවසක සිටියදී සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ 26 හැවිරිදි වියේ පසුවන මොහු යළි ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම, ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

මේ අතර, පෑලියගොඩ මාළු වෙළෙදසැලේ පුද්ගලයින් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ පානදුර නගර සභා බලප්‍රදේශයේ පවතින සියළු මත්ස්‍ය අලෙවිසැල් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

එම වෙළදසැල්වල සේවය කරන පුද්ගලයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 100 කගේ පමණ අද (23) දිනයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බවයි පානදුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේ ෴

++++++++++++++++++

කොස්ගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටියදී පළා ගොස් බොරැල්ල ප්‍රදේශයේ නිවසක සැඟව සිටි කොරෝනා ආසාදිත තරුණයා ගමන් කළ මාර්ගය පිළිබඳව මේ වනවිට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

බොරැල්ල – සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වන මහලේ නිවසක සිටියදී 26 හැවිරිදි මෙම තරුණයා අද (23) දහවල් සොයාගත් අතර, පසුව ඔහු ප්‍රතිකාර සඳහා යළි රෝහල් ගත කෙරුණා.

කෙසේ වෙතත් ඔහු අද (23) අලුයම කොස්ගම ප්‍රාදේශීය රෝහලෙන් පිටව කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයට පැමිණ තිබෙනවා.

අනතුරුව දුර ගමන් බසයක නැගී ඔහු ඔරුගොඩවත්ත බලා පැමිණ ඇති අතර ඉන් පසුව පා ගමනින් සිය නිවෙස පිහිටි සේදවත්තට පැමිණ ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

++++++++++++++++++

කොස්ගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටියදී පළා ගිය කොරෝනා ආසාදිත පුද්ගලයා බොරැල්ල – සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වන මහලේ නිවසක සිටියදී අද (23) දහවල් සොයා ගැනුණා.

අද (23) අලුයම් කාලයේ ඔහු කොස්ගම රෝහල වෙත කොළඹ ජාතික රෝහලෙන් මාරුකර ඒවා ඇති අතර අලුයම ඔහු රෝහලෙන් පැනගොස් තිබෙනවා.

රෝහලෙන් පැනගිය අදාළ ආසාදිතයා අද (23) අලුයම, අවිස්සාවේල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ සැරිසරන අයුරු මාර්ගය ආසල තිබූ ආරක්ෂිත කාමරවල සටහන්ව තිබුණා.

26 හැවිරිදි වියේ පසුවන මොහු යළි ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

+++++++++++++++++++

කොරෝනා ආසාදිතයෙකු පැමිණ ඇති බවට වාර්තා වීමත් සමඟ ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ ඊයේ (22) දිනයේ තැපැල් කාර්යාලයේ විදේශ පාර්සල් අංශයට සහ සන්නිවේදන පියසට පැමිණි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට මේ වන විට තහවුරු වී ඇති බවයි.

ඒ අනුව අද (23) උදෑසන තැපැල් කාර්යාලය වසා දමා එම පුද්ගලයාට සේවය සැපයූ එහි සේවකයින් නිරෝධායනට යොමු කර තිබෙනවා ෴

+++++++++++++++++

ගාල්ල ධීවර වරාය පරිශ්‍රය තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඒ, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමත් සමඟ එම වරාය පරිශ්‍රයේද ඇතිවූ අවදානම සැළකිල්ලට ගනිමින්.

ඊයේ (22) දිනයේ ගාල්ල ධීවර වරායේ ධීවරයින් ඇතුළු සේවා සපයන්නන් 166 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර තිබුණා.

මේ අතර අහුන්ගල්ල – කටුවෙල ග්‍රාමසේවා වසමේ අද (23) දිනයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ අතර, ඊට සහය ලබාදීමට මාර්ගයේ ගමනාගමනය සීමා කිරීමටයි අහුන්ගල්ල පොලීසිය පියවර ගනු ලැබුවේ ෴

***************************************

තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී සම්මත වූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඉදිරියේදී කථානායකවරයා විසින් අත්සන් තැබීමට නියමිතයි.

ඉන් අනතුරුව එය මෙරට මූලික නීතිය බවට පත්වනු ඇති.

20 වැනි ආණුඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කොටුම්පත සම්බන්ධයෙන් ඊයේ (22) පැවැති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 156 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 65 ක් පමණයි.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කිරීම මේ වන විට සිදුවන බවයි.

අනතුරුව එය නෛතික ලියවිල්ලක් වශයෙන් ගැසට් පත්‍රයක් ලෙස සැකසෙන අතර කථානායකවරයා අත්සන් තබන්නේ එම ගැසට් පත්‍රයටයි.

*********************************************

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම CSN විමර්ශනවලට අදාළ සියලු ලිපි ගොනු CIDයෙන් ඉල්ලයි

(23.10.2020 – 13:49 +0530 – hirunews.lk/sinhala)

සී.එස්.එන්. නාලිකාවේ විමර්ශනවලට අදාළ සියලු ලිපි ගොනු ඉදිරිපත් කරන්නැයි දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට නියෝග කළා.

ඒ, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා කළ පැමිණිල්ලක් ඊයේ (22) සළකා බැලූ අවස්ථාවේදීයි.

කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනය හෙවත් සී.එස්.එන්. නාලිකාව ආරම්භ කිරීමේදී මූල්‍ය වංචා සහ රජයේ දේපළ භාවිත කර ඇති බවට චෝදනා කරමින් යහපාලන ආණ්ඩු සමයේ දී තමා අත්අඩංගුවට ගෙන දින 45 ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දේශපාලන බලපෑම් මත සිදු වූ බවට යෝෂිත රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසමට පැමිණිලි කර තිබුණා.

ඔහු පැවසුවේ සී.එස්.එන්. නාලිකාව සම්බන්ධයෙන් ඔවුන් තමාගෙන් ප්‍රශ්න කළ නමුත් එම නාලිකාවට තමාගේ කිසිදු සම්බන්ධයක් නොතිබූ බවයි.

තමා අත්අඩංගුවට ගත් දිනයේ රාත්‍රී 7 ට පමණ තමාව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන යද්දී එහි මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ මේ වන විට වැඩ තහනමකට ලක්ව සිටින ධම්මික හේමපාල මහතා ඔහුගේ නිල කාමාරයේ රැදී සිටී බවද යෝෂිත රාජපක්ෂ මහතා සදහන් කළා.

මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එෆ්.සී.අයි.ඩී. නිලධාරින් තමාට එරෙහි චෝදනා මහේස්ත්‍රාත්වරයා හමුවේ කියවූ බවත් එම අවස්ථාවේ නිල මැදිරියේ තිබූ දුරකථනයේ රිසිවරය පිටතින් තබා, එෆ්.සී.අයි.ඩී. නිලධාරින් වෙත හරවා තිබෙන අයුරු තමන් දුටු බවත් යෝෂිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ, පසුව මහේස්ත්‍රාත්වරයා කිසිවෙකුට දුරකතනයෙන් අමතන ආකාරය නිරීක්ෂණය වූ බවයි.

ඒ අනුව අදාළ දිනයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයාගේ නිල දුරකථන ඇමතුම් ඇතුළත් වාර්තාවක්ද ඉදිරි දිනක කැඳවීමට කොමිසම තීරණය කළා.

මේ අතර, සී.එස්.එන්. නාලිකාවේ හිටපු අධ්‍යක්ෂ රොහාන් වැලිවිට මහතා ද ඊයේ (22) කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා.

රාජිත සේනාරත්න හා පාඨලී චම්පික රණවක මහත්වරුන්ගේ මැදිහත් වීමෙන් සී.එස්.එන්. සම්බන්ධව විමර්ශන සහ අත්අඩංගුවට ගැනීමේ සිද්ධීන් සඳහා මාධ්‍ය ප්‍රචාරයක් ලබාදීමේ කටයුතු සිදු වූ බව රොහාන් වැලිවිට මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ තමා ඇතුළු පිරිස සිරගත කර සතියක් ඇතුළත එවකට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ සාගල රත්නායක මහතා අග්‍රාමාත්‍ය කාර්යාල ලිපි ශීර්ෂය යටතේ නිවේදනයක් නිකුත් කරමින් සී.එස්.එන්. කාර්ය මණ්ඩලය බන්ධනාගාරගත කිරීම සාධාරණීකරණය කර තිබූ බවයි.

***************************************

ත්‍රීකුණාමලය මුතූර් ප්‍රදේශයේ නේදනගර් කලපුව අසල පිහිටි කඩොලාන පරිසර පද්ධතිය විනාශ වීමේ පුවතක් අපට වාර්තා වුණා.

ප්‍රදේශවාසීන් පවසන්නේ විවිධ හෙළි පෙහෙළි කිරීම් හා ඉදිකිරීම් හේතුවෙන් මෙම පරිසර පද්ධතිය විනාශ වන බවයි.

මෙරට මුළු බිම් ප්‍රමාණයෙන් කඩොලාන පරිසර පද්ධතියට අයත් වන්නේ 0.23% ක් පමණයි.

සංඛ්‍යා ලේඛන අනුව ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් විනාශ වී ඇති අතර එම බිම් ප්‍රමාණය හෙක්ටයාර 30,000 කට අධිකයි.

ත්‍රීකුණාමලය මුතූර් ප්‍රදේශයේ නේද නගර් කලපුව අසලද කඩොලාන පරිසර පද්ධතිය විනාශ වීමේ අවදානමක් මතුව ඇත්තේ මේ අතරතුරයි.

මීට වසර දෙකකට (2) පමණ පෙර එම ප්‍රදේශයෙන් කඩොලාන කපා ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට කටයුතු කර ඇති බවටයි ගම්වාසීන් චෝදනා කරන්නේ.

මේ ආකාරයෙන් මිනිස් ක්‍රියාකාරකම් හේතුකොටගෙන මෙම පරිසර පද්ධතිය විනාශ වීමට එරෙහිව එයට පියර ගත යුත්තේ අනාගත පරපුරේ පැවැත්ම උදෙසා පරිසරය ආරක්ෂා කිරීම අප සැමගේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වන බැවිනුයි.

***************************************

විවාහයෙන් පසු ජීවිත කාලය පුරා දුක සැප බෙදාගෙන දිවි ගෙවීම අනිවාර්ය කැපකිරීමක්.

නමුත් බිරිඳට සිදු වූ අනතුරකින් පසු සිය පවුල තනිකර දමා ගිය සැමියෙකු පිළිබඳ පුවතක් අපට වාර්තා වුණේ මහව – බලල්ල ප්‍රදේශයෙන්.

මේ තනිව ජීවිතයට මුහුණ දෙන දිලානිගේ කතාවයි.

***************************************

අරන්තලාව භික්ෂු ඝාතනය පිළිබඳ අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙසට නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අදාළ විමර්ශනය සිදුකරන ලෙසටයි උපදෙස් ලබාදී ඇත්තේ.

ඊට අදාළ ප්‍රගති වාර්තාවක් සති දෙකක් (2) ඇතුලත තමන් වෙතට ලබාදෙන ලෙසද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

1987 වර්ෂයේ ජුනි මස 02 වැනිදා අරන්තලාව ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් ස්වාමීන් වහන්සේලා ඇතුලු 34 දෙනෙකු ඝාතනයට ලක්වූ අතර, භික්ෂූන් වහන්සේලා 12 නමක් එහිදී දිවි ගලවා ගෙන තිබුණා ෴

***************************************

පරිසර වාර්තා නොමැතිව කැළණි ගඟ දෙපස ඉදිකර ඇති සියලු කර්මාන්තශාලා සහ ව්‍යාපාරික ආයතනවලට එරෙහිව නඩු පවරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා, මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.

එහිදී කැළණි ගඟ දූෂණය වන අයුරින් අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන ලෙසටයි අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

කඩුවෙල සිට පෑලියගොඩ පාලම දක්වා කැළණි ගඟ දෙපස කර්මාන්තශාලා 7,000 ක් පමණ පවතින අතර, ඉන් 3,000 ක් පමණක් පරිසර වාර්තා ලබාගෙන ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් කණ්ඩායම් 13 ක් යොදවා ඒ පිළිබඳව විමර්ශනයක්ද මේ වනවිට ආරම්භ කර ඇති බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *