20 ට පක්ෂ වන බව ජනපති හමුවෙන් පසු පොහොට්ටුවේ හවුල්කාර පක්ෂ කියයි

20 ට පක්ෂ වන බව ජනපති හමුවෙන් පසු පොහොට්ටුවේ හවුල්කාර පක්ෂ කියයි

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සේවකයන් දෙදෙනකුට (2) කොරෝනා

පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ, බුද්ධි නිලධාරීන්ට යොමු කර නොමැති බව හෙලිවේ

අද (22) සවස හයේ (06:00) සිට කොටහේන ප්‍රදේශයට ඇඳිරි නීතිය

19න් දුමින්ද සිරකළ හැටි විමල් හෙළිකරයි

උසස් පෙළ විභාගයේ, සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා ඉල්ලුම් කර ඇති විභාග අපේක්ෂකයිට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6000 ඉක්මවයි

*********************************************

20 ට පක්ෂ වන බව ජනපති හමුවෙන් පසු පොහොට්ටුවේ හවුල්කාර පක්ෂ කියයි

(22.10.2020 – 11:52 +0530 – hirunews.lk/sinhala)

ද්විත්ව පුරවැසිභාවයට විරුද්ධ වුවත් අද (22) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමේදී එය සම්මත කර ගැනීම සඳහා ඡන්දය ලබාදීමට තීරණය කළ බව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන හවුල්කාර පක්ෂ පවසනවා.

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂවල නායකයින් සහ ජනාධිපතිවරයා අතර ඊයේ (21) ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වූයේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීම සඳහායි.

මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, වාසුදේව නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, විජේදාස රාජපක්ෂ, වීරසුමන වීරසිංහ සහ අසංක නවරත්න යන මහත්වරු ඇතුලු පිරිස එක්ව සිටියා.

මේ අතර, විපක්ෂය ද ව්‍යවස්ථා සංශෝධනයට අද (22) දිනයේ සංශෝධන ඉදිරිපත් කරන බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

***************************************

බ්‍රිතාන්‍යය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය තවදුරටත් ත්‍රස්ත සංවිධානයක් නොවන බවට එරට අධිකරණයක් මගින් නියෝගයක් ලබාදී තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධාන සම්බන්ධයෙන් සිදුකෙරෙන අභියාචනා කොමිසම අධිකරණයට කරනු ලැබූ කරුණු දැක්වීමට අනුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ත්‍රිපුද්ගල කොමිසමක් පත් කෙරුණු අතර එම කොමිසම සිය කරුණු දැක්වීම මගින් ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍යය තුළ තවදුරටත් එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

පසුගිය වසර 10 තුළ එල්.ටී.ටී.ඊ.ය කිසිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් සිදුකර නොමැති බැවින් එම සංවිධානය තහනම් කිරීමෙන් සියලු‍ ද්‍රවිඩ ජනතාවගේ දේශපාලන ක්‍රියාකාරකම් කඩාකප්පල් වී ඇති බවට අභියාචනයක් ලැබී තිබුණා.

අදාළ අභියාචනය ගොනු කරනු ලැබුවේ දෙමළ ඊලාම් සංක්‍රාන්තික රාජ්‍ය නම් සංවිධානයක් විසිනුයි.

කෙසේ වෙතත්, මේ පිළිබඳව බ්‍රිතාන්‍ය රජයෙන් නිල නිවේදනයක් මෙතෙක් නිකුත් කර නැහැ.

***************************************

ගත වූ පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 209 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් අනූ දෙදෙනෙකු (92) අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරොයින් ග්‍රෑම් 84 කට අධික ප්‍රමාණයක් සමඟයි.

එමෙන්ම, 33 දෙනෙකු ගංජා ග්‍රෑම් 107 කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත්තා.

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 13 ක් බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ ෴

***************************************

කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, වැල්ලම්පිටිය සහ ග්‍රෑන්ඞ්පාස් යන පොලිස් බල ප්‍රදේශවලට පනවා ඇති ඇඳිරි නීතිය සඳුදා (26) උදෑසන 5 දක්වා ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මේ අතර, කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු අපනයන ලේඛන සහතික කිරීම සඳහා එම අංශයට පැමිණෙන අපනයනකරුවන් ඇතුළු අමුත්තන් සඳහා සේවා සැපයීමක් සිදුනොවන බවයි විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

මාතර සහ යාපනයේ පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල ද නැවත දැනුම් දෙන තුරු වසා තැබෙනු ඇති ෴

***************************************

පෑලියගොඩ මත්ස්‍ය වෙළදසැලෙන් මාළු මිලදී ගැනීම සඳහා ගිය බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිළධාරීන් 4 දෙනෙකු ද නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

මේ අතර, පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළ පරිශ්‍රයේ ඊයේ (21) දිනයේ පී.සී.ආර්. පරීක්ෂණ 1186 ක් පමණ සිදුකර ඇති අතර, පුද්ගලයන් 500 කට වැඩි පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

කෙසේ වෙතත්, මතස්‍ය වෙළඳසැලෙන් මාළු රැගෙන යාම සඳහා වෙළඳපොළට පැමිණි පුද්ගලයන්ට නිවෙස්වල ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා ෴

***************************************

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් දැඩි සෞඛ්‍යරාක්ෂිත ක්‍රමවේද යටතේ අද (22) පෙරවරු 11:10 ට පමණ පාර්ලිමේන්තුව වෙත රැගෙන එනු ලැබුවේ බන්ධනාගාර බස් රථයකින්.

සෞඛ්‍යාරක්ෂිත ඇඳුමකින් සැරසී සිටි මන්ත්‍රීවරයාගේ ශරීර උෂ්ණත්වය මැන බැලීමෙන් අනතුරුවයි පාර්ලිමේන්තුව තුළට රැගෙන එනු ලැබුවේ.

මන්ත්‍රීවරයාට අසුන් ගැනීම සඳහා විපක්ෂයේ 4 වන පේළියේ විශේෂ අසුනක් ද වෙන් කර ඇති බව පාර්ලිමේන්තුවේ සිටින හිරු වාර්තාකරු සදහන් කළා.

මේ අතර ගාල්ල ප්‍රදේශයේ කොරෝනා රෝගියෙකු වාර්තා වූ අවමංගල්‍ය උත්සවයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල සහභාගිවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

***************************************

(22.10.2020 – 12:09 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම්ගේ බිරිඳ, එම ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමට පැමිණෙයි

+++++++++++++

සහරාන් හෂීම්ගේ බිරිඳ සහ තවත් 05 දෙනෙකු නොවැම්බර් 04 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මේ අතර සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා සාදියා අද (22) පළමුවරට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශණ කෙරෙන ජනාධිපති කොමිසම වෙත කැඳවාගෙනවිත් තිබුණා.

සයින්දමර්දු පිපිරීමෙන් පසු අත්අඩංගුවට පත් වු ඇය මේ වනවිට රැදවුම් නියෝග මත පසුවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේයි.

එහෙත් ඇය එහිදී සාක්ෂි ලබා දීමක් සිදු නොකළ අතර පසුව ඇයව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගොස් තිබුණා.

*********************************************

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සේවකයන් දෙදෙනකුට (2) කොරෝනා

(22.10.2020 – 12:50 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපළෙන් කොරෝනා ආසාදිතයින් 49 දෙනෙකු වාර්තා වීමත් සමඟ කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, වැල්ලම්පිටිය සහ ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා.

එය ලබන සඳුදා (26) අලුයම දක්වා ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළදපළ පරිශ්‍රයේ ඊයේ දිනයේ පී.සී.ආර්. පරීක්ෂණ 1186 ක් පමණ සිදුකර ඇති අතර, පුද්ගලයන් 500 කට වැඩි පිරිසක් මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත්, මාළු රැගෙන යාම සඳහා වෙළඳපොළට පැමිණි පුද්ගලයන්ට නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදී ඇත්තේ.

මේ අතර, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් මාළු මිලදී ගැනීම සඳහා ගිය බම්බලපිටිය පොලිසියේ නිළධාරීන් 4 දෙනෙකු ද නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළින් හඳුනා ගත් කොරෝනා ආසාදිතයන් වැඩි පිරිසක් අද (22) ඇඳිරි නීතිය පැනවූ මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, වැල්ලම්පිටිය සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි හෙළිවී ඇත්තේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයටම ඊයේ (21) රාත්‍රි 10 ට පැනවූ ඇඳිරි නීතිය ලබන සඳුදා (26) අලුයම 5 දක්වා ක්‍රියාත්මකයි.

එමෙන්ම, කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අගලවත්ත, ගොරක්ගොඩ, බේරගම, දාපිලිගොඩ සහ කැකුලන්දර – උතුර යන ග්‍රාම නිලධාරී වසම් සහ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෙල්ලන ග්‍රාම නිලධාරී වසම මේ වන විට හුදෙකලා කර තිබෙනවා.

මේ අතර, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ආශ්‍රිතව වාර්තා වූ ආසාදිතයින්ගෙන් 186 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු ආසාදිත කාන්තාව වාර්තා වී දින 20 ක් ඇතුළත මොවුන් මෙලෙස සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බවයි.

මේ වන විට කොරෝනා ආසාදිතයන් දිවයිනේ දිස්ත්‍රික්ක 13 කින් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා කියා සිටියේ.

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්තශාලා 15 කින් අද (22) දිනය වන විට වාර්තා වන කොරෝනා ආසාදිත සංඛ්‍යාව 331 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ඊයේ (21) දිනයේ නව ආසාදිතයන් 17 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

මේ අතර, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සේවකයන් දෙදෙනකුට (2) ද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ කොළඹ වරායේ භාණ්ඩ නිෂ්කාශන කටයුතු සීමා කිරීමට පියවර ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා කියා සිටියා.

එමෙන්ම, පෑලියගොඩ – බුළුගහ හන්දිය ප්‍රදේශයේ පිහිටා ඇති මෙරට ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ පෞද්ගලික ආයතනයක සේවකයෙකුට ද වෛරසය ආසාදනය වී තිබෙනවා.

කුලියාපිටිය ප්‍රදේශයෙන් තවත් ආසාදිතයන් 14 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මේ වන විට එම ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 44 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උත්පල සංකල්ප සඳහන් කළා.

එමෙන්ම, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ද රෝගීන් 23 දෙනෙකු වාර්තා වී ඇති බවයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පද්මකුමාර වික්‍රමසිංහ මහතා කියා සිටියේ.

මේ අතර, කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු අපනයන ලේඛන සහතික කිරීම සඳහා එම අංශයට පැමිණෙන අපනයනකරුවන් ඇතුළු අමුත්තන් සඳහා සේවා සැපයීමක් සිදුනොවන බවයි විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. මාතර සහ යාපනයේ පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල ද නැවත දැනුම් දෙන තුරු වසා තැබෙනු ඇති.

මේ අතර, නඩු කටයුතු අවසන් කර පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේදී එකම ජල බෝතලයෙන් ජලය පානය කළ පානදුර – දකුණ පොලීසියේ පොලිස් සැරයන්වරයෙකු සහ සිවිල් ආරක්ෂක බලකා නිලධාරිනියකට නිරෝධායනය නීති යටතේ නඩු පැවරීමට පානදුර මහේස්ත්‍රාත්වරයා ඊයේ (21) කටයුතු කළා.

ගත වූ පැය 24 රේ ඇඳිරි නීතිය කඩ කළ 83 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 596 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහන 76 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි ෴

++++++++++++++++

කොවිඩ් 19 වෛරසයට එරෙහිව රුසියාව විසින් නිෂ්පාදිත ‘ස්පූන්ටික් වී’ නම් වූ එන්නත ලබන මාසයේ මුල සිට ආසාදිතයින්ට ලබාදීම ආරම්භ කරන බව රුසියාව පවසනවා.

ඒ අනුව ප්‍රථමයෙන් වෛද්‍යවරුන්ට සහ ගුරුවරුන්ට මෙය ලබාදීමට නියමිතයි.

පසුගිය අගෝස්තු මාසයේදී මෙම එන්නත සඳහා රුසියානු රජය විසින් අනුමැතියි ලබා දී තිබුණා.

මෙලෙස වෛරසයට එරෙහිව පළමු එන්නත තම රට විසින් නිෂ්පාදනය කිරීම ආඩම්බරයට කරුණක් බවයි රුසියානු රජය පවසන්නේ ෴

+++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 50 දෙනකු වාර්තා වී තිබෙනවා.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් 22 ක්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ 06 දෙනෙකු සහ ආශ්‍රිතයන් 22 ක් මේ අතර වන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ ෴

*********************************************

පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ, බුද්ධි නිලධාරීන්ට යොමු කර නොමැති බව හෙලිවේ

(22.10.2020 – 13:48 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන විදෙස් බුද්ධි තොරතුරු එවකට සිටි රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, රාජ්‍ය බුද්ධි සේවයේ කිසිදු නිලධාරියෙකුට යොමු කර නොතිබූ බවට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී හෙළිවුණා.

ඒ හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන කොමිසම හමුවේ ඊයේ (21) සාක්ෂි ලබාදුන් අවස්ථාවේදියි.

මේ අතර පාස්කු ප්‍රහාරයේ මහමොළකරු වන සහරාන් හෂීම්ගේ බිරිඳ අබ්දුල් කාදර් ෆාතිමා සාදියා අද (22) පළමු වරට පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා.

සයින්දමරදු හි පිපිරීමෙන් පසු අත්අඩංගුවට පත්වූ ඇය මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ රැඳවුම් භාරයේ පසුවනවා.

***************************************

කුරුණෑගල – රිදීගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට මගින් පාලනය ජල පොම්පාගාරය සැපයෙන ජලය පානයකිරීමට තබා වෙනත් කිසිදු අවශ්‍යතාවක් සඳහා යොදාගත නොහැකි බවට වර්තවනවා.

කොස්පොතු ඔය හරස් කර ක්‍රියාත්මක බුළුවල පානීය ජල යෝජනා ක්‍රමයට අයත් මෙම පොම්පගාරය මගින් ගම්මාන 25 ක පවුල් 500 ක පමණ පිරිසකට ජලය සැපයෙනවා.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ, පරගහදෙනිය උප නගරය, මාවතගම කර්මාන්පුරය, මාවතගම රෝහල ආදි ස්ථානවලින් බැහැර කෙරෙන අපජලයද මෙම කොස්පොතු ඔයට එක්වන බව්වයි.

***************************************

පැල්පත් නිවාස 3000 ක් වෙනුවට අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත හැටන් ප්‍රදේශයේ නව නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳ පැවති සාකච්ඡාවකදීයි.

***************************************

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට 1927 ක්‍ෂණික දුරකථන ඇමතුම් අංකය ඔස්සේ උපදේශන සේවා ලබාගත හැකි බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙළගෙදර මහතා සඳහන් කළේ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් සඳහා සිදුකරන ප්‍රතිකාර, පුනරුත්ථාපන හා උපදේශන සේවාවන්වලට බාධාවන් එල්ලවී ඇති බවයි.

එම තත්ත්වය සැලකිල්ලට ගෙන දුරස්ථ ප්‍රවේශය අනුගමනය කරමින් උපදේශන සේවාවන් සැපයීමට 1927 ක්‍ෂණික ඇමතුම් අංකය ඔස්සේ පහසුකම් සළසා දීමට පියවර ගත් බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ ෴

***************************************

පසුගිය කාලසීමාවේ දැඩි කථාබහට ලක්වූ හලාවත – ආනවිළුන්දාව රැම්සා තෙත් බිම් කුරුළු අභයභූමියේ අක්කර එකහමාරක (1½) පමණ භූමි ප්‍රමාණයක්, යළි එලිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදා සෙබලෙකු ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (21) ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) සැකකරු මුදා හැරීමට මෙහිදී නියෝග කෙරුණා.

මෙලෙස එලිපෙහෙලි කර තිබුණේ ආනවිලුන්දාව – පිංකට්ටිය ප්‍රදේශයේ වැවට යාබද පුරන් කුඹුරක්. එහි තිබූ කුඹුක්, බෙලි සහ සියඹලා ඇතුලු ශාඛ වර්ග රැසක් කපා දමා ඒවාට ගිනි තබා විනාශ කර තිබූ අතර සැකකරු ඊයේ (21) අත්අඩංගුවට ගනු ලැබුවේ ආනවිලුන්දාව වනජීවි කාර්යාලයට ලද තොරතුරකට අනුවයි ෴

*********************************************

අද (22) සවස හයේ (06:00) සිට කොටහේන ප්‍රදේශයට ඇඳිරි නීතිය

(22.10.2020 – 15:30 +0530 – hirunews.lk/sinhala)

අද (22) පස්වරු 6 සිට කොටහේන පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

*********************************************

19න් දුමින්ද සිරකළ හැටි විමල් හෙළිකරයි

(22.10.2020 – 19:04 +0530 – hirunews.lk/sinhala)

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම අද (22) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ තිබෙනවා.

ඊයේ (21) ආරම්භ වූ පනත් කෙටුම්පතට අදාළ විවාදය දෙවන (2) දිනටත් මේ වනවිට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අතර, අමාත්‍ය විමල් වීරවංශ මහතා විවාදයට එක්වෙමින් සඳහන් කළේ පසුගිය ආණ්ඩුව, 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට පවා හානි කළ බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම පවා නියම කළේ යහපාලන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසින් සිදුකළ බලපෑම් මත බව ඔහු කියා සිටියා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික කොඩිය සභා ගැබට රැගෙනවිත් වෙස්මුහුණක් පැළඳ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කළා.

+++++++++++++++++

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු පක්ෂව ඡන්දය භාවිත කළහොත් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

ඇතැම් මාධ්‍ය වාර්තාවලින් කියවුණේ අද (22) පැවැත්වෙන ඡන්ද විමසීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඊට පක්ෂව ඡන්දය භාවිත කරනු ඇති බවයි.

මේ අතර, ද්විත්ව පුරවැසිභාවයට විරුද්ධ වුවද 20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන දේශපාලන පක්ෂ ප්‍රකාශ කළා.

ඊයේ (21) රාත්‍රියේ එම පක්ෂවල නායකයන්, ජනාධිපතිවරයාද මුණගැසුණු අතර අද ඔවුන් කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා ෴

***************************************

අනිද්දා (24) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය සේවයේ දීප ව්‍යාප්ත සේවා සඳහා වූ කාර්යක්ෂමතා කඩඉම් විභාගය නැවත දැනුම් දෙන තුරු කල් දමා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ අතර, පවතින තත්ත්වයත් සමඟ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය ඇතුළු අනෙකුත් ප්‍රදේශවල පැන නැගී ඇති සේවක ගැටළු පිළිබදව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවෙන් ආරම්භ වූ මෙම කොරෝනා වෛරස් ව්‍යාප්තිය කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ද පැතිර යාම නිසා කර්මාන්තශාලා 04 ක් තාවකාලිකව වසා දමා ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ ෴

++++++++++++++++++

පසුගිය සතිය තුළ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට යම් අයෙකු පැමිණියේනම් වහාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී පී.සී.ආර්. පරීක්ෂණයකට යොමුවන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා ෴

++++++++++++++++

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අද (22) දිනයේදී යළි පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා.

ඒ අනුව ආර්ථික මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 100 දෙනෙකු අහඹු ලෙස තෝරාගෙන පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, කොරෝනා වෛරසය වැළැක්වීම සඳහා ගෙන ඇති පියවරක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද (22) සිට එළඹෙන 29 වන දා දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය සඳහන් කළේ මෙම කාලය තුළ කල් ඉකුත් වන ආදායම් බලපත්‍ර නැවත ලබා ගැනීමේදී ලබන මස 15 වන දා දක්වා දඩ මුදල් අය නොකරන බවයි ෴

++++++++++++++++

කෝවිඩ් ආසාදනය වී මියගිය මෙරට ආසාදිතයින්ගේ සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි කාන්තාවක්.

***************************************

පැහැර ගැනීමට ලක්වූ බවට පැවසූ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරීනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඇයට මෙලෙස චෝදනා එල්ලවී ඇති බවයි.

පසුගිය වසරේ නොවැම්බර් මස 25 වනදා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරීනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් කුරුඳුවත්ත ප්‍රදේශයේදී සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පස්දෙනෙකු (5) විසින් පැහැරගෙන ගිය බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනු ලැබුවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින්.

පැහැරගෙන ගොස් ලිංගික අතවර කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරික්ෂකවරයෙකු වන නිශාන්ත සිල්වාට වීසා ලබාදීම පිළිබඳව ප්‍රශ්න කර පසුව මුදාහැරි බවයි පැමිණිල්ලෙන් දක්වා තිබුණේ.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගානියා බැනිස්ටර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අතර, එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥවරයා දැනුම්දී තිබුණේ මෙම පැහැරගෙන යාමේ සිද්ධිය ගොතන ලද කථාවක් බවට තහවුරු වී ඇති බවයි ෴

***************************************

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැයකට පමණ පසු පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු කොමිසමට අද (22) පැමිණ සිටියේ 05 වන දිනටයි.

එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා අද (22) සාක්ෂි ලබාදිමක් සිදු නොකළ අතර වැඩිදුර සාක්ෂි විමසීම මේ මස 24 වනදාට කල් ගිය බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (22) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී 20 වන ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැත්වෙන ජන්ද විමසීමේදී ජන්දය ලබා දෙන්නේ දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කළා.

කෙසේ වෙතත් ඔහු ඊට පිළිතුරු නොදී කොමිෂන් සභාව තුළට ගිය බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ ෴

*********************************************

උසස් පෙළ විභාගයේ, සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා ඉල්ලුම් කර ඇති විභාග අපේක්ෂකයිට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

(22.10.2020 – 18:11 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ විභාගයට අදාළව සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා ඉල්ලුම් කර ඇති විභාග අපේක්ෂකයින් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව මීට පෙර වර්ෂයක පවත්වන ලද උසස් පෙළ විභාගයකදී එම විෂයට පෙනී සිට ලකණු 30 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්නම් නැවත වරක් එම ප්‍රශ්න පත්‍රය සඳහා පෙනී සිටීම අත්‍යාවශ්‍ය නොවන බවයි එමගින් දක්වා තිබුණේ.

ඒ අනුව මීළඟ විශ්වවිද්‍යාල ප්‍රවේශ අවශ්‍යතාවය සඳහා එම ලකුණු ලබාගැනීම ප්‍රමාණවත් වන බව ද විභාග දෙපාර්තමේන්තුව කියා සිටියා ෴

*********************************************

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6000 ඉක්මවයි

(22.10.2020 – 19:17 +0530 – hirunews.lk/sinhala)

මෙරට 14 වන කොරෝනා මරණය අද (22) පස්වරුවේ වාර්තා වුණා.

ඒ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

මේ අතර මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (22) 6000 ඉක්මවා ගියා.

ඒ, අද (22) දිනයේත් තවත් ආසාදිතයන් 50 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.

අද (22) වාර්තා වූ ආසාදිතයන්ගෙන් 22 නෙකු කටුනායක වෙළඳ කලාපයේ කර්මාන්තශාලා දෙකක (2) කාර්ය මණ්ඩල සාමාජිකයින් වන අතර තවත් 6 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළදසැලට සම්බන්ධ පිරිසක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

සෙසු විසි දෙදෙනා (22) ආශ්‍රිතයන් බව ද සඳහන්.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 6028 ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2454ක්.

කොරෝනා ආසාදනය වී සිටි තවත් 60 දෙනෙකු අද (22) සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සමස්ත සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3561 දක්වා ඉහළ ගියා.

මේ අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි අද (22) පස්වරු 6 සිට කොටහේන පොලිස් බල ප්‍රදේශයට ද පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා.

ඒ, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපළෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් මෙම ප්‍රදේශයේ පදිංචිකරුවන් වීමත් සමඟයි.

මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, වැල්ලම්පිටිය සහ ග්‍රෑන්ඞ්පාස් යන පොලිස් බල ප්‍රදේශවලට අද (22) උදෑසන පොලිස් ඇඳිරි නීතිය පැනවූ අතර, එය ලබන සඳුදා (26) අලුයම 5 දක්වා ක්‍රියාත්මකයි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉල්ලා සිටියේ පසුගිය සතිය තුළ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට යම් අයෙකු පැමිණියේ නම් වහාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී පී.සී.ආර්. පරීක්ෂණයකට යොමුවන ලෙසයි.

කොරෝනා ආසාදිතයන් 49 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ වසා දැමුණු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට ඊයේ (21) පෙරවරුවේ පැමිණ සිටි පුද්ගලයින් 800 කට වැඩි පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර තවත් 800 ක පමණ පිරිසක් ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

ඔවුන් ඊයේ (21) රාත්‍රියේ යුද හමුදා ආරක්ෂාව මධ්‍යයේ නිරෝධායනය මධ්‍යස්ථාන වෙත රැගෙන ගියා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළේ සිට ජංගම ලොරි රථයකින් දෙහිවල – දුම්රියපොළ පාරේ පොදු වෙළද සංකීර්ණයට මාළු රැගෙනවිත් අලෙවි කරන පුද්ගලයෙකුට කොරෝනා ආසාදිත බව අද (22) තහවුරු වුණා.

ඒ අනුව එම පුද්ගලයා සමඟ ලොරි රථයේ ගමන් ගත් රත්මලාන – බඩෝවිට ප්‍රදේශයේ 5 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කළ අතර, නැවත දැනුම් දෙනතුරු දෙහිවල – දුම්රියපොළ පාරේ පොදු වෙළද සංකීර්ණය වසා දැමීමටයි දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කළේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙන් ඊයේ (21) මසුන් රැගෙන ගිය කහවත්ත – මාදම්පේ මත්ස්‍ය වෙළදපොළේ 3 දෙනෙකු ද නිවාස නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

එමෙන්ම, පෑලියගොඩ – බුළුගහ හන්දිය ප්‍රදේශයේ පිහිටා ඇති මෙරට ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ පෞද්ගලික ආයතනයක සේවකයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව අද (22) අනාවරණ වුණා.

මාතර, උද්‍යාන පාරේ වෛද්‍යවරියකට කොරෝනා ආසාදනය වී ඇති බව අද (22) තහවුරු වුණා.

ඒ, අදාළ වෛද්‍යවරියගේ මතුගම ප්‍රදේශයේ පදිංචි කොරෝනා ආසාදිත සොහොයුරිය පසුගිය 10 වන දා එම නිවසේ පැවති දානමය පිංකමක් සඳහා පැමිණ තිබීම නිසා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදියි.

එම වෛද්‍යවරියගේ ස්වාමි පුරුෂයා ද වෛද්‍යවරයෙකු වන අතර, ඔවුන් විසින් පවත්වාගෙන යනු ලබන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවිකාවක් ඇතුළු ආශ්‍රිතයන් 07 දෙනෙකු මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

කොළඹ නැව් තටාකාංගණයෙන් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව ද අද (22) පස්වරුව වන විට 34 දක්වා ඉහළ ගියේ තවත් ආසාදිතයන් සිව් දෙනෙකු (4) හඳුනා ගැනීමත් සමඟයි.

එම ආයතනයේ පී.සී.ආර්. පරීක්ෂණ 700 ක ප්‍රතිඵල මේ වන විට ලැබී ඇති අතර, තවත් 800 ක ප්‍රතිඵල ලැබීමට නියමිත බවයි කොළඹ නැව් තටාකාංගණයේ ප්‍රධාන වාණිජ නිලධාරී බෙනී ෆර්නෑන්ඩු මහතා සඳහන් කළේ.

මේ අතර, කොළඹ වරායේ නව බහාලුම් දොරටුවේ රාජකාරීයේ නිරත රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකුට (2) කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයන් 25 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළා.

මෙම තත්ත්වයත් සමඟ රේගු මූලස්ථානයට සේවාදායකයන්ගේ පැමිණීම සීමා කළ බවයි ඔහු කියා සිටියේ.

කුලියාපිටිය ප්‍රදේශයෙන් තවත් ආසාදිතයන් 14 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ එම ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 44 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උත්පල සංකල්ප සඳහන් කළා.

එමෙන්ම, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ද රෝගීන් 23 දෙනෙකු වාර්තා වී ඇති බවයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුමාර වික්‍රමසිංහ මහතා කියා සිටියේ.

මේ අතර, යුද හමුදා මූලස්ථානයේ ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩායම කොළඹට ඇතුළු වන රථ වාහනවල ගමන් කරන පුද්ගලයින්ගේ අහඹු ලෙස උෂ්ණත්වය මැනීමේ වැඩසටහනක් රාජගිරිය ප්‍රදේශයේදී ක්‍රියාත්මක කළා.

නියමිත ප්‍රමාණයට වැඩි උෂ්ණත්වයක් පෙන්නුම් කළ පුද්ගලයන් ගිලන් රථයකින් යුද හමුදා රෝහල වෙත ඇතුළත් කිරීමටයි එහිදී පියවර ගත්තේ.

මේ වන විට කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්තශාලා 28 ක සේවකයන් 358 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළා.

පවතින තත්ත්වයත් සමඟ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය ඇතුළු අනෙකුත් ප්‍රදේශවල පැන නැගී ඇති සේවක ගැටළු පිළිබදව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවෙන් ආරම්භ වූ මෙම කොරෝනා වෛරස් ව්‍යාප්තිය කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ද පැතිර යාම නිසා කර්මාන්තශාලා 4 ක් තාවකාලිකව වසා දමා ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

මේ අතර, උසස් පෙළ විභාගයට අදාළව සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා ඉල්ලුම් කර ඇති විභාග අපේක්ෂකයින් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මීට පෙර වර්ෂයක පවත්වන ලද උසස් පෙළ විභාගයකදී එම විෂයට පෙනී සිට ලකණු 30 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්නම් නැවත වරක් එම ප්‍රශ්න පත්‍රය සඳහා පෙනී සිටීම අත්‍යාවශ්‍ය නොවන බවයි එමගින් දක්වා තිබුණේ.

ඒ අනුව මීළඟ විශ්වවිද්‍යාල ප්‍රවේශ අවශ්‍යතාවය සඳහා එම ලකුණු ලබාගැනීම ප්‍රමාණවත් වන බව ද විභාග දෙපාර්තමේන්තුව කියා සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *