කළුතර දිස්ත්‍රික්කයේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

කළුතර දිස්ත්‍රික්කයේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

මාකඳුරේ මධුෂ් කළ බව සැළකෙන අපරාධ කිහිපයක්

මහනුවර කඩාවැටුණු ගොඩනැගිල්ල ඉවත් කිරීමට පියවර – වියදම රුපියල් ලක්ෂ 28 ක්

‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව අපිට සතුටු වීමට බැහැ – අමාත්‍ය විමල් වීරවංශ

සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය මුස්ලිම් පාතාලයට සම්බන්ධයි – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

*********************************************

කළුතර දිස්ත්‍රික්කයේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

(20.10.2020 – 22:27 +0530 – sinhala.adaderana.lk)

කළුතර දිස්ත්‍රික්කය තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, රටේ පවතින කොරෝනා තත්ත්වය සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බවය.

ඒ, අනුව කළුතර දිස්ත්‍රික්කය තුළ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2020.10.20 දින සිට 2020.10.29 දින දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

එම කාලසීමාව තුළ කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර සඳහා අලුතින් ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී දඩ මුදලක් අය නොකිරීමට කටයුතු කරන බවද බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා පැවසීය ෴

++++++++++++++

බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියෙක්ට කොරෝනා

(20.10.2020 – 15:25 +0530 – sinhala.adaderana.lk)

බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා වෛරයය වැළඳී ඇතැයි තහවුරු වී තිබේ.

බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ කාර්යාලය පිහිටා ඇත්තේ කොළඹ කොටුව පොලිස් ස්ථානය පිහිටි ගොඩනැගිල්ලේ දෙවැනි මහළේය.

අදාළ නිලධාරියා කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් පසුගියදා පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය කර ඇති අතර පරීක්ෂණ වාර්තාවට අනුව ඔහු ආසාදිතයෙකු බවට තහවුරු වී ඇති බව පොලීසිය පවසයි.

වෛරසය ආසාදිත පොලිස් පරීක්ෂකවරයා නිරෝධායනය කර ඇති අතර ඔහු රෝහල්ගත කිරීමට නියමිත බව සඳහන් වේ.

පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අනෙකුත් නිලධාරීන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිත බව ද පොලීසිය පැවසුවේය ෴

+++++++++++++++

19-10-2020
17-10-2020

*********************************************

මාකඳුරේ මධුෂ් කළ බව සැළකෙන අපරාධ කිහිපයක්

(20.10.2020 – 19:56 +0530 – sinhala.adaderana.lk)

වෙඩි වැදී මියගිය ‘සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත’ හෙවත් ‘මාකඳුරේ මධුෂ්’ ජාත්‍යන්තරයේ සිට මෙරට හෙරෝයින් ජාවාරම මෙහෙයවීම, මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සහ ආධාර අනුබල දීම,අවි පෙන්නා කොල්ලකෑම වැනි අපරාධ බොහෝමයකට සම්බන්ධ මෙරට ඉතිහාසයේ බිහිවූ දරුණුතම පාතාල කල්ලි නායකයෙක් ලෙස සැලකෙයි.

‘මධූෂ්’ අපරාධ කල්ලි නායකයෙකු ලෙස කරලියට පැමිණෙන්නේ 2006 වසරේ ජූනි මස 11 වැනිදා ය.

ඒ, එවකට දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාව සිටි ඩැනී හිත්තැටිය මහතාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියත් සමගය.

එතැන් සිට මනුෂ්‍ය ඝාතන සිද්ධීන් 50 ක් පමණ සම්බන්ධයෙන් සෘජුව සහ වක්‍රව ඔහුට චෝදනා එල්ල වූ අතර 2017 වසරේදී තවත් පාතාල කල්ලි නායකයෙකු වන ‘සමයං’ ඇතුළු පිරිසක් කළුතර බන්ධනාගාර බස් රථයෙන් රැගෙන යමින් සිටියදී වෙඩි තබා ඝාතනය කිරීම ද ‘මාකඳුරේ මධුෂ්’ගේ සැලැස්මක් ලෙස හඳුන්වා දුනි.

එසේම, 2017 වසරේ මැයි මස 09 වැනිදා පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට වෙඩි තැබීමේ සිද්ධියද සැලසුම් කර තිබුණේ ‘මාකඳුරේ මධූෂ්’ විසින් බවයි සැක කෙරෙන්නේ.

ඒ අතර, 2018 මාර්තු 07 වැනිදා අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේදී ‘පණ්ඩිතගේ ශාන්ත කුමාර’ නොහොත් ‘කොස් මල්ලී’ නැමැත්තා ඝාතනය කිරීම සහ හිස කඳින් වෙන් කර කෙසෙල්වත්ත පොලිස් වසමට ගෙනැවිත් දැමීම මෙහෙයවීම ද ‘මධුෂ්’ විසින් සිදුකර ඇති බවට වාර්තා විය.

මෙලෙස අපරාධ රැසකට සම්බන්ධ ‘මාකඳුරේ මධුෂ්’ 2015 ජුනි මස දෙවැනිදා ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් ඩුබායි වෙත පැන ගොස් තිබුණි.

ඉන් පසු ඔහු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට පත්වූයේ එරට තුළ සුඛොපභෝගී මහල් නිවාස සහ දේපළ රැසක් අත්පත් කරගනිමිනි.

++++++++++++++

මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය අනාවරණය කිරීමට මධුෂ් ජංගම දුරකථනයක් ඉල්ලයි

(20.10.2020 – 18:59 +0530 – sinhala.adaderana.lk)

ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ් අද (20) අලුයම සිදු වූ වෙඩි තැබීමකින් ජිවිතක්ෂයට පත් විය.

ඒ, තවත් අපරාධ කල්ලි සමාජිකයින් පිරිසක් සහ පොලීසිය අතර මාළිගාවත්ත නිවාස සංකිර්ණය අසල සිදුවු වෙඩි හුවමාරුවකදිය.

මෙරට මනුෂ්‍ය ඝාතන සහ තවත් අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා එල්ල වි තිබූ ‘සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත’ හෙවත් ‘මාකදුරේ මධූෂ්’ කලක සිට විදෙස් ගතව සැඟව සිටියේය.

2019 වසරේ පෙබරවාරි මාසයේ දි ඩුබායි හි පැවති සාදයක් අතරතුර කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කිරීම සහ සන්තකයේ තබාගැනීම චෝදනා යටතේ ‘මාකඳුරේ මධුෂ්’ ඇතුළු පිරිසක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනි.

පසුව ඩුබායි රාජ්‍යයෙන් මධුෂ් ව 2019 මැයි මස 05 වනදා මෙරටට පිටුවහල් කරනු ලැබීය.

‘වර්ණකුලසූරිය අජිත් අරංග’ යන නමින් ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදාගෙන මෙරටට පැමිණි ‘මධුෂ්’ වෙනත් රටකට පළායාමට සැලසුම් කර තිබියදී කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

වසර 1½ ආසන්න කාලයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කළ ‘මාකඳුරේ මධුෂ්’, පසුගිය 16 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසය භාරයට පත්කෙරුනි.

එහිදී පැය 24 ක් ගතව යාමටත් මත්තෙන් කොටිකාවත්ත ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබූ රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් 10 ක් සොයාගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත් වුවේ ‘මධුෂ්’ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල ප්‍රතිළුලයක් ලෙසය.

මෙහිදී මාකඳුරේ මධුෂ් CCD නිලධාරීන්ට පවසා ඇත්තේ මෙරටට කුඩු ගෙන්වන ජාලයේ ප්‍රධාන පුද්ගලයින් සිව්දෙනෙකු (4) ඇති බවත් එම ජාලය අනාවරණය කිරීම සදහා තමාට ජංගම දුරකථනයක් ලබාදෙන ලෙසය.

ඒ අනුව, පොලිස් නිලධාරින්ගේ දැඩි අධීක්ෂණය යටතේ ‘මධුෂ්’ට ජංගම දුරකථනයක් ලබාදුන් අතර පොලිස් නිලධාරීන් ඉදිරියේ ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට දුරකථන ඇමතුමක් දී තිබුණි.

මෙම තොරතුර අනුව මත්ද්‍රව්‍ය තොගය සඟවා ඇත්තේ මාළිගාවත්ත ‘ලක්සෙත සෙවණ’ නිවාස සංකිර්ණයේ 10 වන මහලේ ‘කංජිපානි ඉම්රාන්’ට අයත් නිවසක බව එහිදී ‘මධුෂ්’ පවසා ඇත.

ඉකුත් මැයි 30 වැනිදා එම නිවසේ රැදී සිටි ‘රවුෆ්’ නැමැති පාතාල කල්ලි සාමාජිකයාට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණි.

කෙසේ වෙතත් මෙම තොරතුර තහවුරු කරගැනීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් 4 දෙනෙක් ඊයේ (19) පස්වරුවේ රහසිගතව අදාළ නිවසට ගොස් පරික්ෂා කර තිබේ.

එම අවස්ථාවේදී නිවසේ කිසිවෙකුත් නොසිටි නිසා පොලිස් නිලධාරින් නිවසේ ජනේලයකින් ඇතුළු වී කළ පරීක්ෂාකිරීමේදී මත්ද්‍රව්‍ය තොගය එහි ගබඩා කර තිබුණි.

ඒ අනුව, ක්‍රියාත්මක වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සහ එහි සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ද ඇතුළු නිලධාරීන් 17 දෙනෙකු අද (20) අලුයම තුනට පමණ මාළිගාවත්ත නිවාස සංකිර්ණය අසලට ගොස් ඇත්තේ ‘මාකදුරේ මධූෂ්’වත් රැගෙනය.

නිවාස සංකීර්ණයේ ප්‍රධාන ගේට්ටු 2 ක අසල නිලධාරීන් පිරිස් රඳවා CCD ස්ථානාධිපතිවරයා, ‘මධුෂ්’වත් රැගෙන තවත් නිලධාරීන් 6 දෙනෙකු සමග පියගැට පෙළෙන් නිවස සංකීර්ණයට ඇතුළු වී තිබුණි.

එහි පළමු මහලට පිවිසෙනවාත් සමගම දෙවැනි මහලේ ගිනි අවි දෙකක් (2) අතැතිව රැඳීසිටි පුද්ගලයින් දෙදෙනෙකු (2) පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තබා තිබේ.

ඉන් එක් වෙඩි පහරක් ‘මාකඳුරේ මධුෂ්’ගේ හිසට වැදී ඇති අතර එහි සිටි තවත් පොලිස් නිලධාරීයෙකුගේ පාදයකට ද වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණි.

එම අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ද සැකකරුවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර එම අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනාත් (2) වෙඩි තබමින් පහළට බැස ඔවුන් පැමිණි යතුරු පැදියෙන්ම පළා යෑමට තැත් කර තිබේ.

එම අවස්ථාවේදී පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකිව සැකකරුවන් දෙදෙනා (2) බිම ඇද වැටී ඇති බව පොලීසිය සදහන් කළේය.

එහිදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් එම ස්ථානයට යෑමට උත්සහ කරද්දී සැකකරුවන් දෙදෙනා (2) ගෙන් එක් අයෙක් පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් ද එල්ල කර තිබේ.

එය පිපිරීමෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ තවත් පොලිස් කොස්තාපල්වරයෙකුට සුළු තුවාල සිදුවිය.

එහිදී සැකකරුවන් දෙදෙනා (2) යතුරු පැදියද අතහැර පළා ගොස් තිබුණු බව පොලිසිය සදහන් කළේය. එම යතුරු පැදිය අසල මාර්ගයේ පෙරළී තිබෙණු දැකිය හැකි විය.

වෙඩික්කරුවන් පැමිණ පසුව අතහැර දමා ගිය යතුරු පැදිය ඔවුන් පසුගියදා සොරකම් කර තිබුණේ වැල්ලවත්ත පොලිස් බල ප්‍රදේශයේදීය.

මේ අතර, වෙඩි වැදුණු ‘මාකඳුරේ මධුෂ්’ව අලුයම 03:17 ට පමණ කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගිය බවත් ඔහු ඒ වනවිටත් මියගොස් සිටි බව වාර්තා විය.

මීට අමතරව, මෙම මෙහෙයුම අතරතුර තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරු දෙදෙනා (2) ද ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

මේ අතර, එම සිද්ධියෙන් පසු මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ 10 වන මහලේ සිදුකළ සෝදිසියේ දි අදාළ නිවසේ සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 22 ක් සොයාගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවිය.

එම මත්ද්‍රව්‍ය තොගය මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීම සදහා මාලිගාවත්ත පොලිස් ස්ථානය වෙත රැගෙනු එනු ලැබීය.

අද (20) පෙරවරුවේ එහි පැමිණි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරංජලා ද සිල්වා මහත්මිය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළාය.

ඉන් අනතුරුව අතිරේක මහෙස්ත්‍රාත්වරිය ‘මධුෂ්’ගේ මළ සිරුර තැන්පත් කර තිබූ අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයට පැමිණියාය.

එම අවස්ථාවට මධුෂ්ගේ පළමු බිරිඳ සහ අනියම් බිරිඳ ද පැමිණ සිටි බව ‘අද දෙරණ’ වාර්තාකරු සදහන් කළේය.

ඉන්පසු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ ‘මාකඳුරේ මධුෂ්’ගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ ට ලබාදෙන ලෙසය.

ඔහුගේ දේහය අද (20) පස්වරුවේ මහරගම පිහිටි පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙනු එනු ලැබීය.

https://www.youtube.com/watch?v=DzLZQhaa9OM#t=5

*********************************************

මහනුවර කඩාවැටුණු ගොඩනැගිල්ල ඉවත් කිරීමට පියවර – වියදම රුපියල් ලක්ෂ 28 ක්

(20.10.2020 – 17:15 +0530 – sinhala.adaderana.lk)

මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේ පිහිටී, පසුගිය සැප්තැම්බර් 20 වනදා ජීවිත 3 ක් අහිමි කරමින් කඩාවැටුණු පස්මහල් ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීම අද (20) ආරම්භ කර තිබේ.

ආපදා කළමනාකර රාජ්‍ය අමාත්‍යාංශය, ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය සහ මහනුවර මහනගර සභාව එක්ව මෙම සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සිදුකරන බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

මේ සඳහා රුපියල් ලක්ෂ 28 ක මුදලක් වැය වන බවත් එම මුදල ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් වැය කර අධිකරණ කටයුතුවලින් පසුව එම මුදල නිවසේ හිමිකරුගෙන් අයකර ගැනීමට කටයුතු කරන බවත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දීක රණවීර මහතා පැවසීය.

පොලිස් ආරක්ෂාව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නිරීක්ෂණය යටතේ මෙම කටයුතු කරන බව අප වාර්තාකරු පැවසීය.

සුන්බුන් ඉවත් කිරීම සඳහා සති 2 ක් වැනි කාලයක් ගතවන බවත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දීක රණවීර මහතා පැවසීය.

එම ගොඩනැගිල්ල සෑදීමට ගෙන ඇති අමුද්‍රව්‍යවල සාම්පල ලබාගැනීමට තිබෙන බැවින් එවැනි කාලයක් ගතවන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේ පිහිටා තිබු මෙම පස්මහල් ගොඩනැගිල්ල ඒ ආසන්නයේ තිබු තවත් නිවසක් වෙතට කඩාවැටීම හෙතුවෙන් එහි සිටි අඹුසැමි යුවළකට සහ ඔවුන්ගේ මාස එකහමාරක් පමණ වයසැති බිළිඳියට දිවි අහිමි විය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මීට පෙර සිදුකළ පරීක්ෂණයේදී තහවුරු වුයේ මෙම ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොරව ඉදිකර ඇති බැවින් එය කඩා වැටී ඇති බවය.

ඒ අනුව, නිවසේ හිමිකරු හිටපු බස්නායක නිළමේවරයෙකු වු අනුර ලෙව්කේ නමැත්තා අත්අඩංගුවට ගැනුණු අතර ඔහුව ඔක්තොම්බර් මස 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරණ ලදි.

***************************************

ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත සම්බන්ධයෙන් නිවේදනයක්

(20.10.2020 – 11:03 +0530 – sinhala.adaderana.lk)

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව සඳහා දින හා වේලාවන් වෙන් කරගත් ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලුම්පත් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර ඇත.

මේ වන විට එක්දින සේවය යටතේ ජාතික හැඳුනුම්පත ලබාගැනීම සඳහා දින හා වේලාවන් වෙන්කරගත් ඉල්ලුම්කරුවන් නොපමාව තම ඉල්ලුම්පත් ග්‍රාම නිලධාරින් වෙත හෝ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පිහිටි හැඳුනුම්පත් අංශය වෙත බාර දිය යුතු බව එම නිවේදනයෙන් දන්වා තිබේ ෴

*********************************************

‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව අපිට සතුටු වීමට බැහැ – අමාත්‍ය විමල් වීරවංශ

(20.10.2020 – 19:54 +0530 – lankaleadnews.com)

‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවත් එම වගන්තිය ඉවත් කර ගැනීමට එක්ව ගත හැකි ක්‍රියාමාර්ග මොනවාදැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමඟ පැවති සාකච්ඡාවේදී කතාබස් කළ බවත් ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අද (20) සවස රාජගිරියේදී ජාතික නිදහස් පෙරමුණේ නායකයන් සහ ශ්‍රී ලංකාවේ කොම්යුනිස්ට් පක්ෂයේ නායකයන් අතර පැවති එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා එසේ පැවසීය.

මෙහිදී ගෝලීය හා කලාපීය දේශපාලන ප්‍රවණතා පිළිබඳව ද සාකච්ඡා වූ බව වීරවංශ මහතා මෙහිදී සඳහන් කළේය.

“යම් ද්විත්ව පුරවැසියකුට ජනාධිපති, අගමැති, ඇමතිවරයෙකු හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මෙරට දේශපාලනයේ සක්‍රිය භූමිකාවක් ඉටු කිරීමට උවමනා නම් වෙනත් රටක් සමඟ තිබෙන බැඳීම්, පක්ෂපාතීභාවය අතහැරිය හැකි විය යුතු බවත් එම බැඳීම් සහ පක්ෂපාතීත්වය ඇතිව ඉහත ධුර දැරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් ජානිපෙ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

දැනට ‘ද්විත්ව පුරවැසි බාධකය’ පවතින්නේ පාර්ලිමේන්තු හෝ වෙනත් මහජන නියෝජිත ධුරයක් දැරීමට වුවත් එය තානාපති ධුර, අමාත්‍ය ලේකම් ධුර, මහ බැංකු අධිපති ධුරය වැනි ධුරවලට ද අදාළ වන සේ පැවතිය යුතු බවත් මෙහිදී වීරවංශ මහතා අවධාරණය කළේය. එය රටට හිතකර දෙයක් මිස අහිතකර දෙයක් නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙහිදී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඩියු ගුණසේකර මහතා සඳහන් කළේ 20 වැනි සංශෝධනය, ඉදිරි අය – වැය හා ගෝලීය හා කලාපීය දේශපාලන ප්‍රවණතා පිළිබඳව මෙරට ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ දෙකක් ලෙස සාකච්ඡාව පැවැත්වූ බව ය. ඉදිරි දින දෙක තුළදී ‘ද්විත්ව පුරවැසිභාවය’ පිළිබඳව 20 වැනි සංශෝධනයේ පවතින වගන්තිය පිළිබඳව ඒකාබද්ධව පියවර ගැනීමට මෙම සාකච්ඡාවේදී එකඟ වූ බව ද ඒ මහතා තහවුරු කළේය.

මෙම සාකච්ඡාව ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් එස්. විජේසිරි, දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස, දේශපාලන මණ්ඩල සභික, ලක්මව දියණියෝ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් එස්. සුදසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

++++++++++++++++

20 වැනි ව්‍යවස්ථා සංශෝධන තුල තිබෙන අහිකර යෝජනා අකුලා ගන්න ඕනෑ – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

19-10-2020

***************************************

මට පෙනෙන වෙනස

(18.10.2020 – 08:22 +0530 – lankaleadnews.com)

යහ පාලන බලවේග සහ වත්මන් ජාතික සංවිධාන අතර අද ඇති වෙනස පිළිබදව කෙටි සටහනක් ‘මට පෙනෙන ලෙස’ යයි නම් කරමින් කර්මාන්තකරු අරුණ කාන්ත බණ්ඩාර මහතා අපවෙත එවා ඇත.

යහ පාලනයට හෝ රාජපක්ෂ පාලනය වෙනුවෙන් කිසිදා පෙනී නොසිටි මට මේ කඳවුරු දෙකේ බලවත් වෙනසක් පෙනේ.

යහ පාලනය රැගෙන ආ පුරවැසි බලය, සාධාරණ සමාජය වැනි බලවේග බැදුම්කර මගඩියේ සිට පටන් ගත් යහපාලන මගෝඩි දෙස බලාසිටියා මිස ක්‍රියාකාරී විරෝධයක් නොදක්වන ලදී. විරුද්ධ වූවා නම් නොකර බැරිකමට බොහෝ ප්‍රමාද වී දියාරු ලෙසය.

ගාමිණී වියන්ගොඩ වැන්නන් ‘නියමිතව තිබූ පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් රාජපක්ෂලාට වාසි වන බව’ එලිපිටම කියන ලදී. ‘කවුරු දිනුවත් මැතිවරණ පැවත්විය යුතු යයි’ කීමට NGO ප්‍රජාතන්ත්‍රවාදීන්ට බැරිවිය. ‘යහපාලන ප්‍රජාතන්ත්‍රවාදීන්’ යනු ඉතා නින්දිත තහනමකට ලක්කොට පසුව 1989 දී ජවිපෙ සමූලඝාතනය කරන විට ඔවුන් 13 වන සංශෝධනයට විරුද්ධ වූ බැවින් මරා දමන තුරු නිහඩව සිට පසුව මහින්ද රාජපක්ෂ සමග බොරුවට ජීනිවා ගොස් කෑ ගැසූ සුනිලා අබේසේකර ඇතුලු කල්ලියේ වර්තමාන දිගුවයි.

රාජපක්ෂ කදවුරේ බලවේග ‘20 වන සංශෝධනය’ සහ ‘ආර්ථික මංකොල්ලය’ යන කරුණුවලට ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාන්විත විරෝධයක් නොපමාව නොපැකිලව එල්ල කරයි. ගුණදාස අමරසේකර , ඇල්ලේ ගුනවංශ හිමි,බෙංගමුවේ නාලක හිමි වැනි එදා ජනතා විමුක්ති පෙරමුණ සමග නොපැකිලව එඩිතරව සිටි චරිත අද වඩාත් අභියෝග කළ නොහැකි නිවැරැදි කරුණු සහගතව 20 වන සංශෝධනයට ප්‍රගතිශීලී කරුණු ද සංකලනය කරමින් ප්‍රමාද නොවී සටනට බැස ඇත.

එක් අයෙක් අතට බලය එක් රැස්වු ජනාධිපති බලයක් ‘සර්’ ට වුවද දීමට විරුද්ධ බව සෘජුව ‘සර්’ටම ප්‍රකාශ කර සිටී. වසන්ත බන්ඩාර වැන්නවුන් 20 වන සංශෝධනයට පමණක් නොව සුපුරුදු ආර්ථික මංකොල්ලයටද නොපැකිලව ක්‍රියාන්විතව එරෙහිව සිටී.

පාර්ශවයන් දෙක සැලකිල්ලට ගත් කල 89 න් පසු ජවිපෙ ඉදිරියට ගෙන ඒමට (සෝභිත හිමි ද සිහිපත් කල යුතුමය) ක්‍රියාන්විතව සිටි ජාතික බලවේග යහපාලන ප්‍රජාතන්ත්‍රවාදීන්ට වඩා අව්‍යාජ සහ නිවැරැදි බවක් ප්‍රකාශ කරන බව මගේ නිරීක්ෂණයයයි.

යහපාලන එන්.ජී.ඕ. ප්‍රජාතන්ත්‍රවාදීන්ට බිම් මට්ටමේ පදනමක් නොමැති මුදල් මත පමණක් රැදෙන පිරිසක් වන නමුත් ජාතික සංවිධාන එසේ නොවේ.

වීරවංශ වැන්නන් ජාතික බලවේග පිරිවරා සිටියත්, ස්ථිරවම ආණ්ඩුව ඔවුන් කියන දේ කිරීමට පැමිණි ආණ්ඩුවක් නොවේ.

අක් මුල් සහිත ජාතික සංවිධානවල භූමිකාව මත ඉදිරි දේශපාලන ගමන් මග තීරණය වන බව පෙනේ.

අරුණ කාන්ත බණ්ඩාර

*********************************************

සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය මුස්ලිම් පාතාලයට සම්බන්ධයි – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

(20.10.2020 – colombotoday.com)

සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය, සාම්ප්‍රධායික මුස්ලිම්වරුන්ට එරෙහිව මුස්ලිම් පාතාලය භාවිතා කරන බව අද (20) පැවැත්වූ මාධ්‍ය හමුවකදී බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කර සිටියා.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සාම්ප්‍රධායික මුස්ලිම්වරුන්ට තිබුණු පල්ලි, භාරකාර මණ්ඩල උලමා සභාව යටතට ලබා ගත්තේ පාතාලේ හයිය භාවිතා කර බවයි උන්වහන්සේ සඳහන් කර සිටියේ.

මේවා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් ලබා දෙන ලෙස ද උන්වහන්සේ මෙහිදී සඳහන් කර සිටියා.

සම්පුර්ණ මාධ්‍ය හමුව :

++++++++++++++++

2017 වසරේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට විමර්ශන නිලධාරීන් බදවා ගැනීමේදී සිදුකරන ලද අක්‍රමිකතාවයක් පිළිබඳව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමි පසුගිය (14) දින පැමිණිල්ලක් ඉදිරිපත් කර සිටියා.

මෙම බඳවා ගැනීම සිදු කිරීමේදී හිටපු අමාත්‍යවරයා පුද්ගලික න්‍යාය පත්‍ර අනුව කටයුතු කර ඇති බවත් සුදුසුකම් සපුරා නොමැති විමර්ශන නිලධාරීන් බඳවා ගෙන ඇති බවට පූජ්‍ය ඥානසාර හිමි චෝදනා කර සිටියා.

මේ පිළිබඳව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටියේ අයුක්ති සහගත ලෙස බලය යොදාගනිමින් නිලධාරීන් බඳවා ගෙන ඇති ද යන්න සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට පිළිගත් විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළ බවයි ෴

***************************************

කුරුඳු අස්සේ යකඩ ඇණ දැමූ නරුමයන්ට දඬුවම් නැද්ද?

(20.10.2020 – 13:10 +0530 – lankadeepa.lk කතුවැකිය)

හන්දි කරන ලද කුරුඳු තුළ අඟල් පහක් දිග යකඩ ඇණ සඟවා බර වැඩිකර කුරුඳු අලෙවි කිරීමේ ජාවාරමක යෙදුණු දෙදෙනකු හක්මන පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. අලෙවි කිරීමට රැගෙනවිත් තිබූ කුරුඳු තොගයේ නියමිත බර කිලෝග්‍රෑම් 14 ක් වන බවත් කුරුඳුවල සඟවා තිබූ යකඩ ඇණවල බර කිලෝ හතරක් (4) බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. කුරුඳු කිලෝග්‍රෑම් 1 ක මිල රුපියල් දෙදහසක් (2000) වන බවත් රුපියල් අට දහසක (8000) මුදලක් වංචනිකව ගැනීමට සැකකරුවන් උත්සාහ දරා ඇති බවත් අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

ව්‍යාපාරයක අරමුණ ලාභ ලැබීමය. ලාභ නොලබන ව්‍යාපාරයක් පවත්වාගෙන යා නොහැකිය. එහෙත් ලාභය ඉපැයිය යුත්තේ දැහැමි ලෙස හා සාධාරණ ලෙස ව්‍යාපාරය මෙහෙයවීමෙනි. අධාර්මික ලෙස හා අසාධාරණ ලෙස ව්‍යාපාර කිරීමෙන් තාවකාලිකව යම් ලාභයක් ලැබිය හැකි වුවද ඒවා ඵල නොදෙන බව ඒකාන්ත සත්‍යයකි. එබඳු වංචනිකයන්ගේ ආධ්‍යාත්මයෙන්ම ඔවුන්ට එරෙහිව නැගෙන චෝදනාවල බරින් හා වේදනාවෙන් පැසවමින් ජීවත්ව සිට මිය යාමට ඔවුන්ට සිදුවේ. කුරුඳු පොතු අස්සේ යකඩ ඇණ සඟවා බර වැඩිකර විකිණීමට ගිය ජාවාරමුන් දෙදෙනා වුවද ඉහත සත්‍ය අපට පසක් කරවයි.

සීනි ගෝනියට වතුර ගසා බර වැඩිකර විකුණන මුදලාලිලා සිටිති. මිරිස් කුඩුවලට ගඩොල් කුඩු මිශ්‍ර කර විකුණන හා ගම්මිරිස්වලට ගස්ලබු ඇට මිශ්‍ර කර විකුණා ලාභ සොයන ජාවාරම්කාරයෝ ද සිටිති. පොල්තෙල්වලට වතුර මිශ්‍ර කරන්නෝ ද සිටිති. පිළුණු එළවළු විසි නොකර එළවළු රොටි, මාළු පාන් සෑදීමට ගැනීම් ආදී වශයෙන් ආහාරපාන සමග ජාවාරම් කරන්නෝ ද සිටිති. මේ දිනවල වැඩියෙන්ම කතාබහට ලක්වන්නේ කහ වෙ​ළඳාමය. කහ හිඟයක් පවතී. එහෙයින්ම කහ ගිනි ගණන්ය. එනිසාම කහවලට පාන්පිටි මිශ්‍ර කර වෙළෙඳපොළට එවන්නෝ ද සිටිති. බොර දියේ මාළු බාන්නා සේ කලදුටුකල වළ ඉහගන්නා අපතයෝ සිටිති.

මෙයට ටික කලකට ඉහත දී වාර්තා වූයේ ගොරකා සමග ටයර් කෑලි මිශ්‍රකර වෙළෙඳපොළට නිකුත් කළ කූඨ ව්‍යාපාරිකයකු සිටිය බවය. ගොරකා සහ ටයර් කෑලි පෙනුමෙන් සමාන බැවින් කෙනකුට ගොරකා සහ ටයර් කෑලි වෙන්කර හඳුනාගැනීම පහසු නැත. මෙබඳු කූඨ ව්‍යාපාර යනු මෙලොවදීම විපාක ලැබෙන මහා පාපකර්ම බව නිසැකය.

තේ ව්‍යාපාරයට ද මෙබඳු ජාවාරම්කරුවන්ගෙන් එල්ලවන තර්ජනය අති විශාලය. අප රටට විදේශ විනිමය ලබාදෙන ප්‍රධානම ආදායම් මාර්ගය වනුයේ තේ ව්‍යාපාරය වේ. එමෙන්ම ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකා සන්නාමය බවට ‘සිලෝන් ටී’ පත්ව තිබේ. විදේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට මෙම සිලෝන් ටී විශාල බලපෑමකි. එහෙත් ජාවාරම්කරුවන් නිසා ශ්‍රී ලංකා තේ දල්ලට තිබූ කීර්ති නාමයට හානිවී තිබේ.

කසළ තේ ජාවාරම ඉතා ජයටම සිදුවන්නකි. බැහැර කළ යුතු වුව ද කසළ තේ මෙම ජාවාරම්කරුවෝ හොඳ තේ සමග මිශ්‍ර කරති. එසේ මිශ්‍ර කරන කසළ තේ රසායනික ද්‍රව්‍ය යොදා වර්ණ ගන්වන බව ද වාර්තා වේ. මෙයින් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ඉස්තරම් තේ සඳහා ජාත්‍යන්තරය තුළ වන පිළිගැනීම බිඳ වැටීමය. එහි තාර්කික අන්තය වන්නේ රටට විශාල වශයෙන් විදේශ විනිමය ලැබෙන මාර්ගයක් ඇහිරී යාමය.

හඬා බසින මහා ගංගාවක් බවට පත්වන්නේ උල්පතකින් නික්මෙන පුංචි දිය බිඳුවකි. ගිනිදැල්ල කුඩා වුවද එය මහා ගිනි ජාලාවක් බවට පත්වන බව වටහා ගැනීම වැදගත්ය. නයි පැටවා සතුව තිබෙන්නේ ද නයි විෂමය. එහෙයින් පරිස්සම් විය යුතුය. ජාවාරමක් කුඩා වුව ද එය සුළුවට ගෙන පහසුවෙන් බැහැර කළ යුතු නොවේ. මහා ජාවාරම් බවට පත්වන්නේ කුඩාවට කරගෙන ආ ජාවාරම් බව ද සිහිකට යුතුය.

මිනිසුන් වෙළෙඳපොළට යන්නේ එය මහා මාෆියා ලෝකයක් යැයි සිතාගෙන නොවේ. ඔවුන් බඩු භාණ්ඩ මිල දී ගන්නේ ද විශ්වාසයෙනි. තමන්ට නරක දෙයක් විකුණන්නට තබා ඇතැයි ජනයා නොසිතති. එහෙයින් වැඩි සොයා බැලීමකින් තොරව බඩු භාණ්ඩ මිල දී ගනිති. එහෙත් දැන් එම තත්ත්වය බෙහෙවින් වෙනස් වී තිබෙන බව ඉතා පැහැදිලිය. පාන් ගෙඩිය මිල දී ගැනීමට පෙර බර කිරා බැලීමට තරමට තත්ත්වය භයානකය.

වෙළෙඳපොළ යනු මුදා නොගත් ප්‍රදේශයක් බවට පත්ව තිබේ. එහි විවිධාකාර ජාවාරම්කාර ත්‍රස්තවාදියෝ බඩ පිනුම් ගසමින් සිටිති. එම ත්‍රස්තවාදියෝ මහජනයා ගල ග්‍රහණයට ගෙන සිටිති. මෙම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මහා මානුෂික මෙහෙයුමක් නොපමාව ආරම්භ කළ යුතුය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *