නිරෝධායන නීති ඇතුලත් විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

නිරෝධායන නීති ඇතුලත් විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයට හෙට (17) පැය 12 ක ජල කප්පාදුවක්

රිෂාඩ් ගැන ප්‍රකාශයක් ගන්න CID ය සජිත් ගේ නිවසට

කටුනායක කොරෝනා ආසාදිතයින් ඉහළයාම අවදානම් වෙයි – තත්වය පාලනය කිරීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පෙරට

‘කට්ට ගාමිණී’ ඉන්දීය පාතාල කල්ලි සමඟ සබඳතා පැවැත්වූ බවට තොරතුරු

පාස්කු ප්‍රහාරයෙන් පසු රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට සහය නොදී ඉල්ලා අස්වීම ගැන කබීර් හෂීම්ගෙන් පාස්කු කොමිසමට සාක්ෂි

දූෂණ මර්දන කාර්යාලයේ වියදම් අගමැති කාර්යාලයෙන් ගෙවූ බව හිටපු අගමැති රනිල් පිළිගනී

අනුලා බුලත්සිංහල දේවිය අභාවප්‍රාප්ත වෙයි

විස්ස ගැන විවාදය 21 සහ 22 වැනිදා – හිමිවරුන් 06 නමකගෙන් ජනපතිට ලිපියක්

*********************************************

නිරෝධායන නීති ඇතුලත් විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

(15.10.2020 – 21:59 +0530 – hirunews.lk/sinhala)

නව නිරෝධායන නීති ඇතුළත් විශේෂ ගැසට් පත්‍රය මීට ස්වල්ප මොහොතකට පෙර නිකුක් කළ බව රජයේ මුද්‍රණාලාධිලපතිනිය සඳහන් කළා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට අත්සන් තැබුවේ අද (15) පස්වරුවේයි.

++++++++++++++++

16 October 2020 – 06:48

බ්‍රැන්ඩික්ස් පොකුරේ මූලාශ්‍රය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සිදුකෙරෙන වැඩිදුර පරීක්ෂණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ අද (16) උදෑසන ඇරඹුණු ‘හිරු TV පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින්.

මුලාශ්‍රය සම්බන්ධයෙන් මේ වනවිට සිදුකර ඇති පරීක්ෂණ ස්ථාන කිහිපයක් කෙරෙහි යොමුවී ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ.

යුද හමුදාපතිවරයා සඳහන් කළේ මේ වනවිට අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව විදේශ රටවල සිට පැමිණි අයෙකුගේ ආශ්‍රිතයෙකුගෙන් කොරෝනා වෛරසයේ බ්‍රැන්ඩික්ස් පොකුර ආරම්බ වී ඇති බවට සැකපළකරන බවයි.

ඒ අනුව අදාල තොරතුරු ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් නිශ්චිතව අනාවරණය කෙරෙන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

මේ අතර බුද්ධි අංශ බ්‍රැන්ඩික්ස් පොකුරේ පැතිරීම වැලැක්වීම සඳහා ඉදිරියට ආසාදනය විය හැකි පුද්ගලයන් සොයමින් ඔවුන් ආරක්ෂා කරගැනීමේ ක්‍රියාවලියක නිරතව ඇති බවද එහිදී සඳහන් කළා.

+++++++++++++++++

ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශවල අද (16) උදෑසන අටේ (08:00) සිට රාත්‍රි දහය (10:00) දක්වා ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වෙළඳසැල් විවෘතව තැබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ඇඳිරි නීතිය පැවති එම ප්‍රදේශවල පසුගිය සතියේ දින 03 ක කාලයක් ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වෙළඳසැල් විවෘත කිරීමට පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත්, පැවති තත්ත්වයත් සමඟ යළිත් එය තාවකාලිකව නතර කෙරුණු අතර, ඉන් අනතුරුවයි අද (16) වෙළඳසැල් විවෘත වන්නේ.

මේ අතර, ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 167 දෙනෙකු සහ රථවාහන 40 ක් මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴

+++++++++++++

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය නිසා ලොව පුරා පනවා ඇති සීමාවන් ඉවත් කළද එක්කෝටි දස ලක්ෂය (1,10,00,000) ඉක්මවූ ගැහැණු දරුවන් නැවතත් පාසල් වෙත නොපැමිණෙනු ඇතැයි යුනෙස්කෝ සංවිධානය පවසනවා.

එහි ප්‍රධානී ඕද්‍ර ඇෂොලේ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ කොංගෝ ජන රජයේ චාරිකාවක නිරතවෙමින්.

කොරෝනා වසංගතයත් සමඟ රටවල් රැසක පාසල් වැසීයාමේ තත්ත්වයක් පවතිනවා.

එමෙන්ම ලොව පුරා අධ්‍යාපනයේ අවස්ථා සමාන නොවන නිසා ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනයට ප්‍රමුඛත්වයක් හිමිවන්නේ නැහැ.

මේ තත්ත්වය මත ලොව පුරා එක්කෝටි දස ලක්ෂය ඉක්මවූ ගැහැණු දරුවන්ට අධ්‍යාපනය අහිමිවනු ඇති බව යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළා ෴

***************************************

15 October 2020 – 22:56

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් පසු සහල් මෝල් හිමියෙකු විසින් කුඹුරු ඉඩමකට දහයියා අළු බැහැර කර සිදුකළ පරිසර විනාශය කෙරෙහි රාජ්‍ය නිලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

අදාළ ප්‍රදේශය නිරීක්ෂණය කළ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා ප්‍රකාශ කළේ එම ස්ථානයට දහයියා ඇතුළු අපද්‍රව්‍ය බැහැර කිරීම අද (15) සිට නවතා දැමීමටද පියවර ගත් බවයි.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති මෙම කුඹුරු ඉඩමට මහා පරිමාන සහල් මෝල් හිමියෙකු දහයියා ඇතුළු අපද්‍රව්‍ය බැහැර කරන බව ඊයේ (14) අප හිරු ප්‍රවෘත්ති හරහා හෙළි කළා.

රාත්‍රී කාලයේ මෙම දහයියා ගිනිතැබීමෙන් තවත් දැඩි පීඩාවකට ලක්වන බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

මෙම මහජන පීඩාව ඊයේ (14) අප අනාවරණය කිරීමත් සමග පොලිසිය, ප්‍රදේශීය ලේකම්වරයා, පරිසර අධිකාරියේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් අද (15) එම ස්ථානය නිරීක්ෂණයට පැමිණියා.

මෙම පරිසර විනාශය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පොලොන්නරු දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා මෙලෙස අදහස් පළ කළා.

***************************************

16 October 2020 – 07:23

පොලිස් ස්ථානාධිපතිවරයෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින්ගෙන් ‘ඊසිකෑෂ්’ ක්‍රමයට මුදල් ලබාගත් පුද්ගලයෙකු වීරකැටිය සහ හුංගම පොලිසි එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර – අංකුඹුර ප්‍රදේශයේ පදිංචි සැකකරු කලක් තිස්සේ මෙලෙස ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ලබාගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුගිය 05 වැනිදා වීරකැටිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පෙනී සිටි ඔහු රාජකාරී කටයුත්තක් සඳහා ගමන් කරමින් සිටියදී වාහනය කාර්මික දෝෂයකට ලක්වූ බව පවසමින් එය අළුත්වැඩියා කර ගැනීම සඳහා කඩිනමින් මුදලක් ලබාදෙන ලෙස ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුට දුරකතන ඇමතුම් ලබාදී තිබුණා.

ඒ පිළිබඳව වීරකැටිය නගරයේ ව්‍යාපාරිකයින් විසින් වීරකැටිය පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක කැළුම් සංජීව මහතා දැනුවත් කිරීමෙන් පසු සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරු ඊයේ (15) දිනයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හුංගම, මොණරාගල, රඹුක්කන, කැකිරාව, නොච්චියාගම ඇතුළු ප්‍රදේශ රැසක ව්‍යාපාරිකයින්ගෙන් එම ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස පෙනී සිටිමින් ‘ඊසීකෑෂ්’ ක්‍රමයට මුදල් ලබාගෙන ඇති බව අනාවරණ වී තිබෙනවා.

39 හැවිරිදි සැකකරු පිළිබඳව දිවයිනේ පොලිස් ස්ථාන කිහිපයකටම පැමිණිලි ලැබී තිබුණද ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබුණා.

ඒ අනුව වීරකැටිය සහ හුංගම පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ මැදිහත්වීම මත සැකකරුගේ දුරකතන දත්ත වාර්තා මත මෙම වංචාව අනාවරණය කර ගැනීමට හැකි වී ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු අද (16) දින වලස්මුල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

(16.10.2020 – 08:18 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.

අරලියගහ මන්දිරයේ ඊයේ (15) මෙම හමුව සිදුව ඇති අතර, එහිදී ඉන්දියාව සමඟ සිදුකරන ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

පසුගිය මස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ සමුළුවේ පසු විපරමක් ලෙස මෙම හමුව සිදුවී තිබෙනවා.

***************************************

16 October 2020 – 09:00

කෙසෙල්වත්ත – සයිබු මාවතේදී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් පිළිකාකාරක අඩංගු ‘සම පැහැපත් කිරීමට යොදාගන්නා’ ආලේපන සහිත ඇසුරුම් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (15) සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් (2) එක් අයෙකු පාකිස්ථාන ජාතිකයෙකු බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

පොලිස් භාරයට ගත්, පාකිස්ථානයෙන් ආනයනය කරන ලද සම පැහැපත් කරන ආලේපන සහිත ඇසුරුම් සංඛ්‍යාව අටදහසක් (8000).

එම ආලේපන සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පාරිභෝගික අධිකාරිය වෙත භාරදී තිබෙනවා ෴

***************************************

16 October 2020 – 09:31

වවුනියාව සෙට්ටිකුලම බස් නැවතුම්පොළේදී බස් රථයක් මතට විශාල ගසක් කඩාවැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ කිසිවෙකු සිට නොමැති බවයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ.

එහි නවතා තිබූ ලංගම බස් රථයක් මතටයි මෙලෙස දැවැන්ත පලු ගස කඩා වැටී ඇත්තේ.

පවතින අධික සුළං තත්වය සමග ගස කඩා වැටී ඇති බවටයි සැක පළකරන්නේ.

අනතුර හේතුවෙන් ලංගම බස් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ ෴

*********************************************

මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයට හෙට (17) පැය 12 ක ජල කප්පාදුවක්

(16.10.2020 – 10:41 +0530 – hirunews.lk/sinhala)

මොරටුව ප්‍රධාන ජලපොම්පාගාරයේ නළ මාර්ගයක සිදුකරන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (17) රාත්‍රී අටේ (08:00) සිට පැය 12 ක කාලයක් මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් එම මහ නගර සභා බල ප්‍රදේශයේ පිහිටි සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයට ජල සැපයුම අඛන්ඩව ක්‍රියාත්මක වනු ඇති.

එගොඩඋයන සහ මෝදර ප්‍රදේශවලට අඩුපීඩනයක් යටතේ ජලය සැපයීමට කටයුතු යොදා ඇති බවයි ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ.

මේ අතර අම්බලන්තොට, ගල්වැව, බැල්ලගස්වැව, මානජ්ජාව, පහළ බැරගම, උඩබැරගම, අරවනමුල්ල සහ සමෝදාගම යන ප්‍රදේශවලටද අද (16) උදෑසන 09:00 සිට හෙට (17) උදෑසන 09:00 දක්වා ජල සැපයුම අත්හිටුවා ඇති බව ජලසම්පාදන මණ්ඩලය සඳහන් කළා ෴

***************************************

මහනුවර ලේවැල්ල ධර්මාශෝක මාවතේ පිහිටි රෙදිපිළි අලෙවිසැලක තාවකාලික විදුලි සෝපානයක් කඩාවැටීමෙන් දෙදෙනෙකු (2) මියගොස් ඇතිබව වර්තාවනවා.

*********************************************

රිෂාඩ් ගැන ප්‍රකාශයක් ගන්න CID ය සජිත් ගේ නිවසට

(16.10.2020 – 11:02 +0530 – hirunews.lk/sinhala)

නීතිපතිවරයාගේ නියෝගයට අනුව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කරන රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයා සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් කරුණු විමසීමට නියමිතයි.

ඒ, රිෂාඞ් බදියුදීන් මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කිරීමෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඔහු අතර සිදුවූ බව පැවසෙන දුරකථන සංවාදයක් සම්බන්ධයෙන්.

ඒ අනුව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කොළඹ පිහිටි නිවසට මේ වනවිට වෙත ගොස් ඇති බව සඳහන්.

මේ අතර, තමන්ව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගේ සොහොයුරු රියාජ් බදියුදීන් ගොනු කළ රිට් පෙත්සම මේ මස 20 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (16) නියෝග කළා.

ඒ මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම අද කැඳවු අවස්ථාවේදියි.

පෙත්සම්කාර රියාජ් බදියුදීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ ෆායිස් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ හදිසි අවශ්‍යතාවක් මත ගොනු කර තිබෙන මෙම නඩුව සලකා බැලීම සඳහා කඩිනම් දිනයක් ලබා දෙන ලෙසයි.

එම කරුණු සලකා බැලු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීමට දින නියම කළා.

ඒ බව වගඋත්තරකරුවන් වෙත දැනුම් දෙමින් නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසයි අධිකරණය මෙහිදි නියෝග කළේ.

මේ අතර, රියාජ් බදියුදීන්ගේ අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් සෙත්සරණ ආයතනයේ අධ්‍යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමා විසින්. එම පෙත්සම මගින් පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියාජ් බදියුදීන් නැමැති සැකකරුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෑතකදී මාධ්‍යවලට ප්‍රකාශ කර තිබු බවයි.

එසේ තිබියදී සැකකරු මුදා හැරිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබීම පිළිගත නොහැකි කරුණුක් බවයි අදාළ පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ.

++++++++++++

රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම වැළක්වීමක් සිදුනොකරන ලෙසත් ඔහු සම්බන්ධයෙන් නව පරීක්ෂණයක් සිදුකරන ලෙසත් බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා ෴

***************************************

අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී තනතුරට පත් කර ඇති (අගමැති පුත්) යෝෂිත රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සුබපැතුම් එක් කළා.

එමඟින් සඳහන් කළේ ද්විපාර්ශවික සබඳතා සහ මෑතකදී සිදුවූ චීන රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසකගේ සංචාරය සම්බන්ධයෙන් ඔහු සමඟ සාකච්ඡා කළ බවයි ෴

*********************************************

කටුනායක කොරෝනා ආසාදිතයින් ඉහළයාම අවදානම් වෙයි – තත්වය පාලනය කිරීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පෙරට

(16.10.2020 – 12:32 +0530 – hirunews.lk/sinhala)

කටුනායක නිදහස් වෙළද කළාපය ආශ්‍රිතව කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාම යම් අවදානම් තත්ත්වයක් බවට පත් වී ඇති නමුත් එම තත්ත්වය පාලනය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළා.

මේ අතර ඇඳිරි නීතීය ක්‍රියාත්මක ප්‍රදේශවල වෙළඳ සැල් නැවත විවෘත කිරීමත් සමග ඇතැම් ස්ථාන වල දිගු පෝලිම් දක්නට ලැබුණා.

ඊයේ (15) දිනයේදී තවත් කොවිඩ් 19 ආසාදිතයින් 68 දෙනෙකු වාර්තා වීමත් සමඟ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 1,789 දක්වා ඉහළ ගියා.

ඉන් විසි දෙදෙනෙකු (22) නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් වන අතර, අනෙක් 46 දෙනා ඇඟළුම් කර්මාන්තශාලා සේවක සේවිකාවන්ගේ ආශ්‍රිතයින්.

මේ අතර කටුනායක නිදහස් වෙළද කළාපයෙන් වාර්තා වූ අසාදිතයින් 135 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම විදේශයන් හි සිට පැමිණි පුද්ගලයින්ගෙන් 6 දෙනෙකුටද කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබෙනවා.

මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙක් (3), නාවිකයන් දෙදෙනෙක් (2) සහ මුහුදු ආරක්ෂකයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

කොව්ඩ් 19 අවදානම හේතුවෙන් පිටකොටුව මැනිං වෙළද සංකීර්ණයේ වෙළසසැල් 32 ක් වසා දමා තිබෙනවා.

ඉන් එක් වෙළදසැළක සේවකයෙකුගේ බිරිඳකට කොවිඩ් 19 අසාදිත බැවින් මෙම තීරණය ගෙන ඇති බවටයි එහි පරිපානය සඳහන් කළේ.

මේ අතර වත්තල – හැඳල හන්දිය ප්‍රදේශයේ බත් පැකට් විකිණු වෙළෙන්දෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඔහුගේ බිරිඳ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවක් වන අතර ඇයටද කොවිඩ් 19 ආසාදිත බවට මීට පෙර හඳුනාගෙන තිබෙනවා.

අදාල පුද්ගලයා පසුගිය 3 වැනිදා දක්වා හැදල හන්දිය ප්‍රදේශයේ බත් පැකට් විකුණා ඇති බවට අණාවරණ කරගෙන තිබෙනවා.

ඊට ආසන්න දිනවලදී එම පුද්ගලයාගෙන් බත් පැකට් මිලදී ගත් පුද්ගලයින් සිටීනම් ආසන්නම මහජන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීවරයා හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය නිළධාරීවරයාව දැනුවත් කරන ලෙසට සෞඛ්‍ය බළධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

පොළොන්නරුව රෝහලට පසුගිය 13 වැනිදා ඇතුලත් කළ අරගලංවිල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවගේ පී.සී.ආර් පළමු පරික්ෂණයෙන් අනතුරුව ඇයට කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වී තිබෙනවා.

ඒ හේතුවෙන් අදාල කාන්තාව ප්‍රතිකාර ලැබූ වාට්ටුව හුදෙකළා කර ඇති බව පොළොන්නරුව මහ රෝහලේල අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික සම්පත් මහතා සඳහන් කළා.

මේ අතර, කොළඹ මහ නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ සහකාරවරියකට කොරෝනා ආසාදනය වීමත් සමඟ සේවා ලබාගැනීම සඳහා ජනතාව පැමිණීම සීමා කර තිබෙනවා.

ඒ අනුව කොළඹ මහ නගර සභාවෙන් සේවා ලබා ගැනීම සඳහා භාරදිය යුතු සියලුම අයදුම්පත් නගර සභා ගොඩනැගිල්ල අසල පිහිටි ‘සපිරි පියස’ කවුළුව වෙත භාරදීමට කටයුතු යොදා ඇති බව සඳහන්.

වරිපනම් බදු ගෙවීම් කොළඹ නගරයේ රාජ්‍ය බැංකු ශාඛා හරහා සිදුකළ හැකි බවයි මහ නගර සභාව දැනුම් දෙන්නේ.

මීට අමතරව බදු හා කුලී ගෙවීම් අන්තර්ජාලය හරහා සිදුකරන ලෙසටද එමඟින් දැනුම් දෙනවා.

මේ අතර පවතින වසංගතත තත්ත්වය හමුවේ බන්ධානාගර වල රැදවියන් වෙනුවෙන් ගෙන ඇති පියවර පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා අදහස් පළ කළා.

මිනුවන්ගොඩ පොලිස් වසමේ ග්‍රාමනිළධාරී වසම් 05 ක් මේ වන වටි හුදෙකලා කර ඇති අතර එහි පවුල් 78 ක් නිරෝධායනය සදහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා.

ඒ ගනිහිමුල්ල , පේරලන්ද , හොරම්පැල්ල – උතුර , හොරම්පැල්ල – දකුණ සහ හොරම්පැල්ල යන ග්‍රාමසේවා වසම්.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශවල අද (16) උදෑසන අටේ (08:00) සිට රාත්‍රි දහය (10:00) දක්වා ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වෙළඳසැල් විවෘතව තැබෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

ඒ හිරු ටී.වී බලය වැඩසටහනට එක්වෙමින්.

ඇඳිරි නීතිය පැවති එම ප්‍රදේශවල පසුගිය සතියේ දින 03 ක කාලයක් ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වෙළඳසැල් විවෘත කිරීමට පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත්, පැවති තත්ත්වයත් සමඟ යළිත් එය තාවකාලිකව නතර කෙරුණු අතර, ඉන් අනතුරුවයි අද (16) වෙළඳසැල් විවෘත වන්නේ.

ඒ අනුව වෙළදසැල් විවෘත වූ අද (16) උදෑසන දිගු පෝලිම් දක්නට ලැබුණා.

මේ අතර, ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 167 දෙනෙකු සහ රථවාහන 40 ක් මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙරට මුළු අසාදිතයින් සංඛ්‍යාව 5244 දක්වා අද ඉහළ ගියා.

ඒ අනුව මේ වනවිට කොවිඩ්19 වෛරසය ආසාදනය වී රෝහල් ගතකර ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1851 ක්.

කොවිඩ් 19 අසාදිතව සිට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 3380 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

++++++++++++

බ්‍රැන්ඩික්ස් පොකුරේ තවත් අසාදිතයින් 61 ක් හඳුනා ගෙන තිබෙනවා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 03 දෙනෙකු සහ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 58 දෙනෙකු ඊට ඇතුළත් බවයි.

ඒ අනුව මේ වනවිට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 1,850 දක්වා ඉහළ ගියා.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබු තවත් රෝගින් 05 දෙනෙකු අද (16) පෙරවරුවේ රෝහල් වලින් පිටව යනු ලැබුවා.

ඒ අනුව මේ වනවිට වෛරසය අසාදනය වී සුවය ලැබු මුළු රෝගින් සංඛ්‍යාව 3,385 ක්.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 5305 දෙනෙකු හමුවී ඇති අතර ඉන් 1907 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සිදුවූ මරණ සංඛ්‍යාව 13 ක් ෴

++++++++++++++

(16.10.2020 – 16:40 +0530 – lankacnews.com)

ස්වාධීන රූපවාහිනි ආයතනය (ITN TV) මේ වන විට කිසිවෙකුට ඇතුළුවීමට හා ඉන් පිටවීම අත්හිටුවීමට කටයුතු කර තිබේ.

එම රූපවාහිනී ආයතනයේ සේවය කරන කැමරා ශිල්පියකු කොරෝනා ආසාදිත බව වාර්තා වීමත් සමග මෙම පියවර ගෙන ඇත ෴

(16.10.2020 – 14:55 +0530 – truenews.lk)

කොරෝනා වැළඳුනු බවට සැක කරන ස්වාධින රුපවාහිනියේ මාධ්‍යවේදියෙක් නිසා මාධ්‍යවේදීන් අතර දැඩි කතාබහක් මතුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් රජය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙනවා :

***************************************

16 October 2020 – 12:32

මේ පුත්තලම වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි මයිලන්කුලම ගම්මානයයි.

එක් පසෙකින් විල්පත්තුව අභය භූමියටත් තවත් පසෙකින් තබ්බෝව අභය භූමියටත් මායිම්ව පිහිටා ඇති මෙම ගම්මානයේ පවුල් 500 ට ආසන්න පිරිසක් ස්ථීර පදිංචිව සිටින අතර මොවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය බවට පත්ව ඇත්තේ හේන් ගොවිතැන සහ කුඹුරු ගොවිතැනයි.

මෙම ගොවි ජනපදය ආරම්භක අවදියේ සිට මේ දක්වා මෙහි පදිංචි ගොවි ජනතාව මුහුණපාන උග්‍රතම ගැටළුව බවට පත්ව ඇත්තේ නිරන්තරයෙන් ගම්වදින වන අලි සවස් කාලයේ රංචු වශයෙන් පැමිණ සිය භව භෝග සම්පූර්ණයෙන් විනාශයට ලක් කිරීමයි.

මෙසේ මයිලන්කුලම ගම්මානය වෙත ඇදෙන වන අලි රංචු පසුව තේවනුවර, ප්‍රදීපාගම පාවට්ටා මඩුව ආදි ගම්මාන වලටද සංක්‍රමණය වීම නිරන්තරයෙන් සිදුවන බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

විදුලි අලි වැට අක්‍රිය තත්ත්වයේ පැවතීම හේතුවෙන් වන අලි ගම්වැදීමේ ඉහළ ගොස් ඇති බව ගම්වැසියන් පවසනවා.

මයිලන්කුලම ගම්මානයේ ගම්වැසියන් මුහුණදී ඇති වන අලි ගැටලුව පිළිබදව බලධාරීන්ගේ අවධානය යොමුවන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

*********************************************

‘කට්ට ගාමිණී’ ඉන්දීය පාතාල කල්ලි සමඟ සබඳතා පැවැත්වූ බවට තොරතුරු

(16.10.2020 – 12:39 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ බැංගලෝර් නුවරදී තමිල්නාඩු පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙරට කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කට්ට ගාමිණී’ හෙවත් ‘සුනිල් ගාමිණී ෆොන්සේකා’ ඉන්දියාවේ පාතාල කල්ලි නායකයන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බව අනාවරණ වනවා.

තමිල්නාඩු පොලීසිය මගින් මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ දුරකථන සම්බන්ධතා ඔස්සේ අනාවරණ කරගත් තොරතුරු අනුවයි.

2013 වසරේ තමිල්නාඩුවට පැමිණ ඇති මොහු ව්‍යාජ ඉන්දීය ගමන් බලපත්‍රයක් මෙන්ම ඡන්ද කාඩ්පතක්ද ලබාගෙන ඇති බව සඳහන්.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ ‘කට්ට ගාමිණී’ නැමති මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු රටවල් රැසක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ජාලයකට එක්ව සිටින පුද්ගලයෙකු මෙන්ම ඉන්දියාවේ කුප්‍රකට පාතාල කල්ලි නායක ‘ඩාවුඩ් ඊබ්‍රාහිම්’ සමඟද සබඳතා පවත්වා ඇති බවයි.

මෙරටදී මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් මරණ දඬුවම නියමවී සිටි ඔහු තමිල්නාඩුවේ කාංචිපුරම් හි පුදුපාක්කම් ප්‍රදේශයේ පෞද්ගලික නිවසක වසර ගණනාවක් පදිංචිව සිට ඇති බව ඉන්දිය මාධ්‍ය අනාවරණ කළා.

ඔහු පිළිබඳ විමර්ශන ආරම්භ වීමත් සමග ‘කට්ට ගාමිණී’ බැංගලෝරයට පලාගොස් ඇති අතර එහිදී ඔහු අත්අඩංගුවට ගැනීමට තමිල්නාඩු පොලීසියේ ‘කිව් ශාඛාව’ සමත්වුණා.

52 හැවිරිදි ‘අලහප්පෙරුමගේ සුනිල් ගාමිණී ෆොන්සේකා’ හෙවත් ‘කට්ට ගාමිණී’ මෙරට කුප්‍රකට පාතාල කල්ලියක් වන ‘කිඹුලාඇළේ ගුණා’ගේ කණ්ඩායම සමඟ කටයුතු කර ඇති බව තමිල්නාඩු පොලීසිය අනාවරණ කරගෙන ඇති කරුණක්.

එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟද සබඳතා පවත්වා ඇති අතර ඔවුන් වෙනුවෙන් ආයුධ මෙරටට ගෙන්වීමටද කටයුතු කළ අයෙකු ලෙසයි සැළකෙන්නේ.

දශක ගණනාවක් තිස්සේ ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම කප්පම් ගැනීම සහ මිනීමැරුම් ආදී අපරාධ රැසකට සම්බන්ධවී ඇති බව සඳහන්.

තමිල්නාඩු පොලිසිය මගින් මේ වනවිට ඔහු අධිකරණ නියෝග මත රඳවාගෙන සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

මේ අතර අනුරාධපුර – ගෝමරන්කඩවල – කන්දමලාව ප්‍රදේශයේ ගංජා වැටලීමක් සඳහා ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහරදුන් පුද්ගලයන් හතරදෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (15) පස්වරුවේ ගෝමරන්කඩවල පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් කන්දමලාව ප්‍රදේශයට ගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන ‘සංඛ’ හෙවත් ‘දිනේෂ් චාමර’ නැමති සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහායි.

එහිදී ඔහුගේ නිවසේ සිටි සැකකරුගේ මව සහ පියා ඇතුළු ඥාතීන් පිරිසක් පොලිස් නිලධාරීන්ට පහරදී තිබෙනවා.

ඉන් තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනෙකු (2) ගෝමරන්කඩවල මුලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් ‘සංඛ’ නැමති සැකකරු පලාගොස් ඇති අතර, ඔහුගේ නිවසේ තිබී ගංජා ග්‍රෑම් 51 ක් සොයාගෙන තිබෙනවා. පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි ෴

*********************************************

පාස්කු ප්‍රහාරයෙන් පසු රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට සහය නොදී ඉල්ලා අස්වීම ගැන කබීර් හෂීම්ගෙන් පාස්කු කොමිසමට සාක්ෂි

(16.10.2020 – 12:44 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයෙන් පසු රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට සහය නොදී මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වූයේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා රැකීමේ අපේක්ෂාවකින් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ප්‍රකාශ කළා.

පාස්කු කොමිසමේ ඊයේ (15) සාක්ෂි ලබාදෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම විශ්වාසභංගයේදී රිෂාඩ් බදියුදීන්ට පක්ෂව ඡන්දය භාවිත කළේ නම් සිය ගම්බිම්වලට යාමට පවා නොහැකි බව අවබෝධ කරගෙන ඊට සහය නොදුන් බවයි.

මේ අතර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ද කොමිසම හමුවේ ඊයේ (15) එකොළොස් (11) වෙනි දිනටත් සාක්ෂි ලබාදුන්නා.

එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා පූජිත් ජයසුන්දරගෙන් ප්‍රශ්න කළේ, එම කාලයේ හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකිරීමට වැඩි අවධානයක් දී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවා සාකච්ඡා කළා සේම ඉස්ලාම් අන්තවාදය පිළිබඳ සාකච්ඡා කිරීමට රැස්වීම් කොපමණ ගණනක් පැවැත්වූයේද යන්නයි.

එහිදී පූජිත් ජයසුන්දර සඳහන් කළේ ගණනක් සඳහන් කළ නොහැකියි බවයි.

ඉන් අනතුරුව සභාපති විනිසුරුවරයා, එක් රැස්වීමක් හෝ නොපැවැත්වූවා නොවේදැයි යන්න ප්‍රශ්න කරනු ලැබුවා.

ඊට පිළිතුරු දෙමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර කියා සිටියේ ඒ වනවිට ප්‍රජා පොලිස් ඒකක පිහිටුවා ඊට නිලධාරීන් අනුයුක්ත කර තිබූ බවත්, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම එහි මූලික අරමුණ වූ බවයි.

අප ඒ සම්බන්ධයෙන් ලැබෙන සියලු තොරතුරු ග්‍රාම නිලධාරි මට්ටමින් සාකච්ඡා කළ බව ද හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළා.

සාක්ෂි ලබා දිම අතරතුර යම් හදිසි අසනිප තත්ත්වයකට මුහුණ දිම හේතුවෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරගේ සාක්ෂි විමසිම පසුවට කල් තැබිමට කොමිසම තිරණය කරනු ලැබුවා.

ඉන් අනතුරුව ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට කැඳවා තිබුණේ කබීර් හෂීම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයායි.

2018 වසරේ දෙසැම්බර් මාසයේ 23 සිට 26 දක්වා කාල සීමාව තුළ මාවනැල්ල ප්‍රදේශයේ රන්දිවෙල, දිදුලවත්ත, හිඟු‍ල් ඔය, සහ මිරිස්කුඩු හන්දිය යන ප්‍රදේශවල බුද්ධ ප්‍රතිමාවලට සහරාන්ගේ පිරිස් හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මෙහිදී ඔහුගෙන් ජනාධිපති කොමිසම කරුණු විමසනු ලැබුවා.

එමෙන්ම වනාතවිල්ලු‍වේ පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමේ මෙහෙයුමට තොරතුරු ලබාදී තිබූ කබීර් හෂීම් මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ තස්ලීම් නමැත්තාට සහරාන්ගේ කල්ලියේ අයෙකු විසින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මෙහිදී මන්ත්‍රිවරයාගෙන් විමසා බැලු‍නා.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය එහිදී මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කරනු ලැබුවේ පාස්කු ප්‍රහාරයෙන් පසු ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරු සියලු‍ දෙනා එකවරම ඉල්ලා අස්වීමට හේතුව පැහැදිලි කරන ලෙසයි.

ඊට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් කියා සිටියේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව පවසමින් රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂයෙන් පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන එනු ලැබුවේ තමන් එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ බවයි.

එය රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයක් වන අතර, ඊට පක්ෂව ඡන්දය ලබාදුනහොත් බිම් මට්ටමෙන් ජනතාව හමුවීමේදි ගැටළු රැසකට මුහුණ දිමට සිදු වන බැවින් ඊට ඡන්දය ලබාදීමෙන් වැළකී සිටීමට එවක ආණ්ඩුවේ ඇමතිවරු සාකච්ඡා කළ බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ව සිටි රනිල් වික්‍රමසිංහ සමඟ සාකචිඡා කර රිෂාඩ් බදියුදීන්ට තනතුරු වලින් ඉවත් වන ලෙසට දැනුම් දිය යුතු බව සඳහන් කළත් ඊට රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා අකමැති වු බව ඔහු සාක්ෂි දෙමින් සඳහන් කළා.

ඉන් අනතුරුව අමාත්‍යධූරවලින් ඉවත් විමට ඇමතිවරු එකඟ වු බවයි ඔහු කොමිසම හමුවේ දන්වා සිටියේ. පසුව රිෂාඩ් බදියුදීන්ටත් තනතුරු වලින් ඉවත් වෙන්න සිදු වු බැවින් , ඒ අනුව සියලුම මුස්ලිම් ඇමතිවරු රජයේ තනතුරුවලින් ඉවත් වු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේ.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය ඉන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගෙන් ප්‍රශ්න කර සිටියේ එම අවස්ථාවේදි ඇමති ධූරවලින් ඉවත් විමට ගත් තිරණය රිෂාඩ් බදියුදීන් වෙනුවෙන් ගත් තිරණයක් ද යන්නයි.

“නෑ ඒක වැරදියි. මම අයින් වුණේ රජය වෙනුවෙන්. එයාට ඡන්දය දෙන්න ඕන වුණේ නැහැ මන්ත්‍රීවරුන්ට. එයාව අයින් කරන්න ඕනෙ නිසයි අපිට ඉල්ලා අස්වෙන්න ඕනෙ වුණේ.

ඒක ඔහුට විතරක් වුණානම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ විශ්වාසභංගය විපක්ෂය දිනුවානම් අපේ ආණ්ඩුවත් බිඳ වැටෙනවා. එකයි අපි එහෙම කළේ.

අපිට රිෂාඩ් බදියුදීන්ව රකින්න ඕනේ වුණේ නැහැ.” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සඳහන් කළා.

*********************************************

දූෂණ මර්දන කාර්යාලයේ වියදම් අගමැති කාර්යාලයෙන් ගෙවූ බව හිටපු අගමැති රනිල් පිළිගනී

(16.10.2020 – 12:46 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජය සමයේ ස්ථාපනය කළ නව දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ වියදම් සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් රුපියල් මිලියන 33.7 කට අධික මුදලක් වියදම් කර ඇති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පිළිගත්තා.

ඒ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ සිදු කළ පැමිණිල්ලකට අදාළවයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (15) ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ.

එහිදි කොමිසම සදහන් කළේ එම කාර්යාලයේ නිලධාරීන් 44 දෙනෙකුට වැටුප් සහ දීමනා ලබාදීම සඳහා එම මුදල වැය කර ඇති බවට සාක්ෂි ඉදිරිපත් වී ඇති බවයි. එය එසේ විය හැකි බව ඊට පිළිතුරු දුන් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

දූෂණ මර්දන කමිටු කාර්යාලයේ නීති උපදේශක ලෙස කටයුතු කළ අතිරේක සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේට අදාළ කාලය තුළ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් රුපියල් දෙලක්ෂ හැට දහසකට (2,60,000) අධික මුදලක් ගෙවා ඇති බව ද කොමිසම එහිදී රනිල් වික්‍රමසිංහට දැනුම් දුන් අතර එයද හිටපු අග්‍රාමාත්‍යවරයා පිළිගත්තා.

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ නෛතික භාවය පිළිබඳ ජනාධිපති කොමිසම එහිදී රනිල් වික්‍රමසිංහගෙන් විමසීමක් කළා.

ඊට පිළිතුරු දුන් රනිල් වික්‍රමසිංහ පැවසුවේ කමිටුව පිහිටුවීම නීති විරෝධී නොවන නමුත් කමිටුව ක්‍රියාත්මක වීමේදී නිත්‍යනුකූලව කටයුතු කළ යුතු බවයි.

දුෂණ විරෝධි කමිටුවට නීති උපදෙස් ලබා දීම සදහා පුද්ගලයින් තෝරා ගැනීමේදී එය තමන් සිදු නොකළ බවත් එය නීතිපතිවරයාගේ කර්තව්‍යයක් බවත් රනිල් වික්‍රමසිංහ කියා සිටියා.

ජනාධිපති කොමිසම එහිදී ප්‍රශ්න කළේ ‘අදාළ පත්කිරීම් සිදු කළේ නීතිපතිවරයා ද ?’ යන්නයි. තමන් ඒ පිළිබඳව නොදන්නා බවයි රනිල් වික්‍රමසිංහ ඊට පිළිතුරු ලබා දෙමින් සඳහන් කලේ.

*********************************************

අනුලා බුලත්සිංහල දේවිය අභාවප්‍රාප්ත වෙයි

(16.10.2020 – 13:08 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීන වේදිකා නාට්‍ය සහ සිනමා රංගන ශිල්පිනියක මෙන්ම ගායිකාවකද වන අනුලා බුලත්සිංහල මහත්මිය වයස අවුරුදු 73 ක්ව සිටියදී අභාවප්‍රාප්ත වුණා.

අනුලා බුලත්සිංහල මහත්මිය අද (16) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත වූ බවයි ඇයගේ සැමියා වන ප්‍රවීන නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

කුවේණි සහ මහාසාර නාටකවල රංගනයන්ගෙන් කුසලතා පෙන්වූ අනුලා බුලත්සිංහල මහත්මිය, භවත්‍රා ටෙලිනාට්‍යය, සහ අසන්ධිමිත්තා, නිල්දිය යහන වැනි සිනමා පටවලින්ද ප්‍රේක්ෂකයින් අතරට පිවිසුණා.

දයානන්ද ගුණවර්ධනයන්ගේ මධුර ජවනිකාවෙහි නෙයිනගේ සූදූව රඟමින් ඇය ඉදිරිපත් කළ ගායනය රසිකයන්ගේ මතකයේ නොමැකෙන සටහනක්.

විජේරත්න වරකාගොඩ මහතා සමඟ රඟහල දැන් ඇත අඩඅඳුරේ ගායනය මුලින්ම ඉදිරිපත් කළේද අනුලා බුලත්සිංහල මහත්මියයි.

අභාවප්‍රාප්ත අනුලා බුලත්සිංහල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (17) බොරැල්ල සුසානභූමියේදී සිදුකිරීමට නියමිතයි ෴

+++++++++++

අනුලා බුලත්සිංහල – ආරාධිත අමුත්තෙකු සමඟ (2019.03.22)

++++++++++

දීකිරි දීකිරි …
රඟහල දැන් ඇත … (විජේරත්න වරකාගොඩ සූරීන් සමග)

***************************************

වයස අවුරුදු 15 සිසුවා සමග පැනගිය වයස අවුරුදු 28 එක් දරු වල්ගුරී ගැන මනෝවෛද්‍ය වාර්තාවක්

(16.10.2020 – gossiplankanews.com)

උපකාරක පන්තියකට පැමිණි 15 හැවිරිදි පිරිමි ළමයකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ බව පැවසෙන 28 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරියක වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ඉසුරු නෙන්ති කුමාර මහතා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් තබන ලෙසට නියෝග කළේය. ඇප තැබීමෙන් පසු මනෝ වෛද්‍ය සායනයට ඉදිරිපත් වී වාර්තාවක් ලබාගෙන 2021 ජූනි තුන් වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළේය. ඇප තැබීමට නියම වූයේ එක්දරු මවක් වන උපකාරක පන්ති ගුරුවරියකටය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි වැලිගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරික්ෂක ධර්මවර්ධන මහතා මෙසේ කීය.

පසුගිය හය වැනි දින උපකාරක පන්තියට 15 හැවිරිදි සිසුවා ගොස් තිබෙනවා. සිසුවා ආපසු සවස නිවසට නොපැමිණීම පිළිබඳව මව ගුරුවරියගේ නිවසට ගොස් විමසා තිබෙනවා. එහිදී ගුරුවරියගේ මව තම දියණිය හා සිසුවා ත්‍රිරෝද රථයකින් ගිය බවට දන්වා තිබෙනවා. දින හයකට පසුව උපකාරක පන්ති ගුරුවරිය හා සිසුවා 12 වැනි දින පොලිසියට පැමිණියා.

සිසුවාගෙන් විමසීමේ දී හය වැනි දින රාත්‍රී කොළඹ හෝටලයක නැවතී සිටි බවත් ඊට පසු දින නුවර ප්‍රදේශයට ගොස් හෝටලයක දින තුනක් ගත කළ බවත් එහිදී හෝටල් හිමියා පිටව යන ලෙස දැන්වූ බවත් කියා සිටියා. එවිට උපකාරක පන්ති ගුරුවරියගේ ඥාතියකුගේ නිවසට ඔහු කැඳවා ගෙන ගොස් 12 වැනි දින පැමිණි බවට දන්වා සිටියා. සිසුවා වෛද්‍ය පරික්ෂණ සඳහා රෝහලේ නේවාසිකව සිටිනවා. බාල වයස්කාර සිසුවාට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට සැකකාර උපකාරක පන්ති ගුරුවරිය අත්අඩංගුවට ගත් බව වැඩිදුරටත් පැවසීය ෴

වැලිගම ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරියක වන 28 හැවිරිදි එක්දරු මවක අසල්වාසී නිවසක වයස 15 පිරිමි දරුවෙකු සමග පැනයාම සම්බන්ධ පසුගිය දිනවල ආන්දෝලනාත්මකව වාර්තාවූ සිදුවීමට අදාළ අලුත්ම තොරතුරු මේවනවිට ලැබෙමින් පවතී.

නවතම තොරතුරු අනුව මෙම පිරිමි දරුවා ලිංගික ක්‍රියාකාරකම් සඳහා ගුරුවරිය විසින් රවටාගෙන අපයෝජනයට ලක්කර ඇති බව පොලිසියේදී හෙළිව ඇත.

අසල්වාසී නිවසේ පිරිමි දරුවා ඇතුළු 8 දෙනෙකුට ගුරුවරිය විසින් සිය නිවසේ සිටියදී විවිධ විෂයන් උගන්වමින් සිට ඇති අතර 9 ශ්‍රේණීය ඉංග්‍රීසි විෂය සඳහා මුලින් පැමිණි පිරිමි දරුවා කෙරෙහි කැමැත්තක් ඇති කරගෙන තිබෙන ගුරුවරිය පසුව ඔහුට තවත් විෂයන් සඳහාද පැමිණෙන්නැයි ආරාධනා කර තිබේ. පිරිමි දරුවාගේ මව පවසන්නේ කොරෝනා ආසාදන වාතාවරණය නිසා මේ තාක් දුර ස්ථාන වලට දරුවා ටියුෂන් පන්තිවලට යැවූ නමුත් සෞඛ්‍ය ආරක්ෂාව තකා ඒවා නවතා අසල්වාසී නිවසේ ටියුෂන් පන්තියට දරුවා යොමු කළ බවයි.

මුලින් එක් විෂයකට ගිය දරුවා පන්තිය ගැන වර්ණනා කළ නිසා අනෙක් විෂයන්ටද යවන්නට තීරණය කළ බව පවසන දරුවාගේ මව විෂයන් වැඩි වුවත් සහන ගාස්තුවක් අයකරන බව ගුරුවරිය දැන්වූ නිසා එයට දරුවා උනන්දු කළ බවයි.

මේ ආකාරයට ටියුෂන් නිවසේ දවසේ වැඩි කාලයක් ගතකර ඇති 15 හැවිරිදි පිරිමි දරුවා ටියුෂන් පන්තියක් ඇරී අනෙක් පන්තියක් ආරම්භ වනතුරු කාලයේ ගුරුවරිය සමග සමීප සම්බන්ධයක් ගොඩනගාගෙන ඇති බව පැවසේ. එක්දරු මවක වූ 28 හැවිරිදි ගුරුවරියගේ ස්වාමියා දුර පළාතක සේවය කළ නිසා නිවසට පැමිණ ඇත්තේ අඩුවෙනි. දරුවා බලාගන්නට උදව් කර ඇත්තේ මවයි.

ටියුෂන් පන්ති පැවැත්වෙන වෙනම සකස්කළ ස්ථානයට ගුරුවරියගේ මව හෝ කුඩා දරුවා කලාතුරකින් පැමිණෙන බවත් වාර්තා විය. ටියුෂන් පන්ති අතරවාරයේ ලැබෙන විවේකයේ කාටත් රහසින් ගුරුවරිය හා ගෝලයා අතර ආදර සම්බන්ධයක් වර්ධනය වී ඇත. පොලිසිය ලබාගත් කට උත්තර අනුව මෙය ශාරීරික සම්බන්ධයක් දක්වාදුර දිග ගොස් ඇති අතර අවසානයේ දරුවාද එයට පෙළැඹවීමක් ඇති කරගෙන තිබේ. තම නිවසේ සිටියදී ටියුෂන් පන්තියට උදෙන්ම යාමට දරුවාට අධික උනන්දුවක් තිබීම ගැන දරුවාගේ මවට සැකයක් ඇතිවුවද ‘ඒ ටීච හොඳට කියලා දෙනවා’ කියමින් ඔහු එහියාමට හේතු දැක්වූ බව මව පවසා තිබේ.

පහළොස් හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවා මේ ආකාරයට කාලයක් තිස්සේ ගුරුවරිය විසින් ලිංගික අපයෝජනයට ලක් කර ඇති අතර අවසානයේ ගුරුවරියට සමාජ සාධක නොසලකා දරුවා සමග එකට ජීවත්වීමේ උවමනාවක් පහළවී ඇත. ‘අපි පැනලා යමු’ යයි ඇය දරුවාට යෝජනා කර තිබෙන බවත් දුරදිග සිතන්නට කල්පණාවක් නැති දරුවා එයට එකඟවී ඇති බවත් පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත. අපිට ඉස්සරහට සල්ලි ටිකක් ඕනවෙයි ගෙදර තියන වටින දෙයක් තියේනම් ගේන්නැයිද ගුරුවරිය උපදෙස් දී ඇති අතර දරුවා නිවසේ තිබෙන රත්‍රං බඩු කිහිපයක්ද මේ නිසා සොරාගෙන ළඟ තබාගෙන ඇත.

සිද්ධිය වූ දිනයේ ගමන් මල්ලකට ඇඳුම් පැළඳුම් දමාගෙන දරුවා ටියුෂන් පන්ති එනතුරු ගුරුවරිය සූදානම්ව සිට ඇති අතර දරුවාට රැඳෙන්න කියා ටියුෂන් පන්තියට ආ පිරිස පිටත් කර තිබේ. අනතුරුව ත්‍රීරෝද රථයක් නිවසට ගෙන්වාගෙන දරුවා සමග පළාගොස් තිබේ.

15 හැවිරිදි පිරිමි දරුවා සමග ඔහුගේ නැගණියද එදින ටියුෂන් පන්තියට ගියත් නැගණිය සොයුරා නැතිව යළි පැමිණීම ගැන සැකකළ මව මේ ගැන සෝදිසි කර තිබෙන අතර ටියුෂන් ගුරුවරියගේ නිවසේ අයට මේ ගැන විශේෂත්වයක් නොතිබීමද සැකයට හේතුවී ඇත. දරුවාට ජංගම දුරකථනයක් තිබුණත් ඔහු කිසිදු ඇමතුමකට පිළිතුරු දී නැත. ගුරුවරියද එසේ කර ඇත.

මව අනතුරුව පොලිසියට මේ ගැන පැමිණිලි කළාය.

දින 6 ක් ගතවනතුරුත් දරුවා හෝ ගුරුවරිය ගැන ආරංචියක් ලැබී නැත.

වැලිගම පොලිසිය විසින් දරුවාගේ දුරකථන අංකය පිළිබඳ සිතියම් වාර්තා අධිකරණ අවසරය මත දුරකථන සමාගම මගින් ලබාගත් අතර සංඥා හුවමාරුවන ස්ථාන ගැන විමර්ශනයක් සිදු කිරීමේදී අවස්ථා කිහිපයකදී දුරකථනය ක්‍රියාත්මකවී නැවත වසා දමා ඇති බවත් එම ස්ථාන අතර කොළඹ හා මහනුවරත් අනතුරුව නුවරඑළියත් සටහන් වන බව හඳුනාගෙන ඇත.

සිතියම් වාර්තා ලැබෙන අවස්ථාව වනවිට නුවරඑළියේ එක්තරා හෝටලයක් සලකුණූවී ඇති අතර පොලිසිය එහි ගොස් දරුවා හා ගුරුවරිය පහසුවෙන් අත්අඩංගුවට ගෙන ඇත.

සිය කැමැත්තෙන් පළාගියත් වයස 16 සම්පූර්ණ නොවූ බාලවයස්කාර සිසුවෙකු වූ බැවින් මෙම ගුරුවරිය සිදු කර ඇත්තේ දණ්ඩනීති සංග්‍රහය ප්‍රකාර වරදක් බැවින් මෙම අත්අඩංගුවට පත්කිරීම සිදුව ඇත.

සැකපිට අත්අඩංගුවට ගත් 28 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරියගෙන් ප්‍රශ්න කිරීමේදී පළමුව කොළඹ ප්‍රදේශයේ ලොජ් එකකත් පසුව මහනුවර හා නුවරඑළියේ කුඩා හෝටලවලත් දරුවා සමග නැවතී සිටි බව පිළිගෙන ඇත.

සිසුවාට ලිංගික කටයුතු සඳහා පෙළැඹවීමක් ලෙස ජංගම දුරකථනයේ ඇතුළත් කර තිබූ ඇතැම් අසැබි දර්ශන වීඩියෝද ගුරුවරිය විසින් ටියුෂන් පන්ති අතර කාලයේ නිරන්තරයෙන් පෙන්වූ බවද වාර්තාවී තිබේ. පැනයාමෙන් පසු ඇය විසින් දරුවා ලිංගික ක්‍රියාකාරකම් වලට යොදවාගෙන ඇති බව දරුවා සිදු කළ ප්‍රකාශයන් මගින් පිළිබිඹු වී ඇති අතර එය සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය ඉදිරියේදී කටයුතු කරනු ඇත. අධිකරණ ක්‍රියාමාර්ග සඳහා නම් කර පොලිසිය මේ වනවිට නැවත නිවසට යවා ඇති ගුරුවරිය නිවසට යාමෙන් පසු පවුලේ අයට හා නිවැසියන්ට මුහුණදීමට අපහසු තත්වයක පසුවන බවද වාර්තාවී ඇත.

***************************************

*********************************************

විස්ස ගැන විවාදය 21 සහ 22 වැනිදා – හිමිවරුන් 06 නමකගෙන් ජනපතිට ලිපියක්

(16.10.2020 – 15:17 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ලබන 21 සහ 22 යන දෙදින තුළ විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (16) පැවති පක්ෂ නායක රැස්වීමේදීයි.

ඒ අනුව විවාදය පෙරවරු 10:00 සිට රාත්‍රි 07:30 වනතුරු පැවැත්වෙනු ඇති.

පක්ෂ නායක රැස්වීමේ දින 03 ක කාලයක් ලබාදෙන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ ඉල්ලා සිටි නමුත්, ආණ්ඩු පාර්ශවය ඊට විරෝධය දැක්වූ බවයි රැස්වීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ.

මේ අතර 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් අත්තනෝමතික විධායකයක් සහ දුබල අමාත්‍ය මණ්ඩලයක් නිර්මාණය වන බව පවසමින් පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්, පුජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්, පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු භික්ෂුන්වහන්සේ හය (6) නමකගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබෙනවා.

අදාළ ලිපිය මගින් පෙන්වා දි ඇත්තේ සමස්තයක් ලෙස 20 වන සංශෝධනයෙන් නීතියේ පාලනයක් නොමැති අස්ථාවර රාජ්‍ය යාන්ත්‍රණයක් බිහි විමට බොහෝ ඉඩකඩ පවතින බවයි.

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව කෙරහි ජනතාව තබා ඇති විශ්වාසය පළුදු කිරීමේ කූඨ අරමුණින් යුතුව රට, ජාතිය පාවාදීමට ක්‍රියා කරන කුමන්ත්‍රණකරුවන්ගේ අදිසි හස්තයක් මෙම ක්‍රියාදාමය පිටුපස තිබේදැයි සැකයක් මතුවන බවයි අදාළ ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව ජනතාවගේ අපේක්ෂාවන් යටපත් වන අයුරින් කෙටුම්පතේ ඇතුළත් කර තිබෙන කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර තිබෙනවා.

හදිසි පනත් කෙටුම්පත් ගෙන ඒම සඳහා ප්‍රතිපාදන හඳුන්වාදීම, අමාත්‍ය මණ්ඩලය, නියෝජ්‍ය අමාත්‍යවරුන්, කැබිනට් නොවන අමාත්‍යවරුන් සහ ඔවුන්ගේ ලේකම්වරුන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වැනි උපලේඛනයේ සඳහන්, දේශය තුළ වෙනම රාජ්‍යයක් ඇති නොකරන බවට පොරොන්දු වෙමින් ලබාදිය යුතු ප්‍රතිඥාව, ව්‍යවස්ථාවේ 53 වගන්තිය ඉවත් කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීම සඳහා පනවා ඇති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ බාධකය ඉවත්කිරීම, විගනකාධිපතිවරයාගේ විෂය පථයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති ලේකම්කාර්යාලය සහ රජය විසින් සියයට 50 ක කොටස් දරණ සමාගම් ඉවත් කිරීම මෙන්ම, ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් හා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින්ව පත්කිරීමේ අභිමතානුසාරි බලයක් ජනාධිපති වෙත ලබාදීම එම ලිපිය මගින් දක්වා තිබෙනවා.

එසේම මැතිවරණ කොමිෂන් සභාව විසින් හා නීතිය මඟින් පනවන විධි විධාන උල්ලංඝණය කරන තැනැත්තන්ට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව ඉවත් කිරීම, අමාත්‍යවරුන්ගේ ගණන 30 කට සීමා කිරීමේ වගන්තිය ඉවත් කිරීම යන කරුණු පිළිබඳව ද අදාළ ලිපිය මඟින් විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.

කුමන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයකදී වුවද දැනට රට මුහුණ පා සිටින සැබෑ අර්බුදවලට විසඳුම් ලබාදීමට පියවර ගත යුතු බවයි අදාළ ලිපියෙන් ඉල්ලා ඇත්තේ.

මේ අතර, 20 ට එරෙහි වෘත්තිය සමිති එකමුතුව අද (16) කොටුව දුම්රිය පොල ඉදිරිපිටදි පොස්ටර් ඇලවීමේ ව්‍යාපාරයක නිරත වූ අතර, රටේ පවතින කොරෝනා වෛරස ව්‍යාපතියත් සමඟ පොලිසිය ඔවුන්ට එම ස්ථානයෙන් පිටත්වන ලෙස දැනුම්දීමත් සමඟ උණුසුම් තත්වයක් ඇති වුණා.

කෙසේ වෙතත්, අනතුරුව එම පිරිස විරෝධතාවක නිරත වුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Ranil W. This cunning fox continues to give evasive answers at every commission, including the one previously on the great central bank robbery. He has been central to the criminal actions of the bank robbery and to the dooshana mardana committee, and in each case on questioning him he pretends that either certain actions were done by someone else, or he cannot remember. A man that claims that he has no memory and yet wants to be the PM or the President of the country is nothing but a super crook, corrupt fraud far surpassing any criminal that we can think of. Yet the courts act naively letting him get away with those answers without properly cross examining him. This amounts to corruption by the very committee that has appointed to investiagte corruption. They are not doing their jobs properly.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *