පොදු නේවාසිකාගාරවල රැදී සිටින අයට දැනුම්දීමක්

පොදු නේවාසිකාගාරවල රැදී සිටින අයට දැනුම්දීමක්

පොලිසිය අත්අඩංගුවට ගත් තරුණයා මිය යාම ගැන පරීක්ෂණයක් අරඹයි

දේශීය වෛද්‍ය ක්‍රමය ක්‍රියාවට නැංවීමට අවශ්‍ය නෛතික බලය, අපට දෙන්න – කෝවිඩ් වසංගතයේ එන අභියෝගය භාර ගන්න සූදානම්

අරාබි අකුරු හැඩයෙන් ශී‍්‍ර ලංකා සිතියම මුද්‍රණය කළ මිහින්තලේ පොත් ගැන සැහැල්ලුවට ගන්න එපා… නිසි විමර්ශනයක් කරන්න

ගුණරුවන් නිසා නිරුවත් වූ ස්වාධීන තක්කඩි!

උසස් පෙළ විභාගය වංචා කළ සිසුවෙකු ගැන, CIDයට පැමිණිල්ලක්

ජාතික රෝහලේ හෙදියකටත් කොරෝනා – පිළියන්දල පිරිවෙනක හිමිවරු 69 ක් නිරෝධායනයට

‘දූෂණ විරෝධී කමිටුවේ’ මංගල, පාඨලී ඇතුළු පිරිසකට සිතාසි

පාස්කු ප්‍රහාරයේ වගකීම පැවති රජය සාමූහිකව භාර ගත යුතුයි – හිටපු අගමැති රනිල්

*********************************************

පොදු නේවාසිකාගාරවල රැදී සිටින අයට දැනුම්දීමක්

(14.10.2020 – 08:22 +0530 – hirunews.lk/sinhala)

පොදු නේවාසිකාගාරවල රැඳී සිට සේවා කටයුතු සඳහා පැමිණෙන්නේ නම්, එහි සිටින අනෙකුත් පුද්ගලයින් සම්බන්ධයෙන් තම ආයතන ප්‍රධානීන් දැනුවත් කරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කරනවා.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලට එය සහයක් වනු ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, ඊයේ (13) දිනයේදී වාර්තා වූ නව ආසාදිතයන්ගෙන් සියයට 45 ක් පමණ නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවී ඇති බව ද යුද හමුදාපතිවරයා කියා සිටියා.

ඊයේ (13) දිනයේදී මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් නව ආසාදිතයින් 194 දෙනෙකු වාර්තා වී තිබුණා ෴

++++++++++++++++

ශ්‍රී ලංකාවේ වාර්තා වූ මුළු කෝවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබෙනවා.

ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 5038 ක් ලෙසයි.

මේ අතර සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 3328 ක් වන අතර තවමත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 1,697 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ෴

+++++++++++++++

පොලිස් ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 135 ක් බව පොලිසිය පවසනවා.

ඒ අනුව වාහන 37 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ ෴

++++++++++++++

14 October 2020 – 07:36

නව ආසාදිතයන් 145 දෙනෙකු ඊයේ (13) රාත්‍රියේ හඳුනාගැනීමත් සමඟ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 1,591 දක්වා ඉහළ ගියා.

ඊයේ (13) රාත්‍රියේ හඳුනාගත් නව ආසාදිතයන් අතර, 48 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින එම කර්මාන්තශාලාවේ සේවකයින් වන අතර, අනෙක් 97 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එම නව ආසාදිතයන් සමඟ මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව පන්දහස (5000) ඉක්මවා ගියා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,038 දෙනෙකු ලෙස දැක්වෙන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 3,328 ක්.

තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 1,697 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර රුහුණු විශ්වවිද්‍යාලයේ කොරෝනා ආසාදිතයෙකු හමුවූ බවට පළ වන වාර්තා අසත්‍ය බව රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා ප්‍රකාශ කළා.

තම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු හෝ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත්, කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය කිරීමේ කටයුතු තවදුරටත් අඛන්ඩව සිදුවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මිනුවන්ගොඩ කොවිඞ් පොකුර වර්ධනය වීම හේතුවෙන් තවදුරටත් සෞඛ්‍ය ධාරිතාව ඉහළ නැංවිය හැකි බවයි.

රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට නොහැකි වුවහොත් මෙලෙස මෙරට සෞඛ්‍ය ධාරිතාව ඉහළ යා හැකි බව ද එහි සඳහන්.

එමෙන්ම, කොරෝනා වෛරසය වැළඳීමෙන් පසු එය සුවවීම සඳහා ගතවන පශ්චාත් කාලසීමාව තුළදී වැළඳෙන නව රෝගයක් පර්යේෂණ කණ්ඩායමක් සොයාගෙන තිබෙනවා.

එම රෝගය නම් කර ඇත්තේ ‘පෝස්ට් කොවිඩ් 19 ස්නායු රෝග සහලක්ෂණය’ ලෙසයි.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 කට පැනවූ ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 135 දෙනෙකු සහ වාහන 37 ක් මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති බවයි.

එමෙන්ම අද (14) දිනය තුළ සෞඛ්‍ය නීති අඩංගු ගැසට් නිවේදනයක්ද නිකුත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ෴

+++++++++++++++

කොරෝනා ආසාදිතයින්ට ප්‍රමාණවත් පරිදි රෝහල් පහසුකම් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා.

‘හිරු ටී.වී. පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද (14) උදෑසන එක්වෙමින් ඔහු කියා සිටියේ දැනට කොරෝනා ආසාදනයවූවන් සඳහා ප්‍රතිකාර කිරීමට රෝහල් 14 ක් වෙන් කර ඇති අතර ඉදිරියේදී එය තවදුරටත් ඉහළ දැමීමට කටයුතු කරන බවයි.

+++++++++++++++

කොළඹ වැනි නගර ආසන්න ජනාකීර්ණ ප්‍රදේශවල කොවිඩ් 19 ආසාධනය වීමේ ප්‍රවණතාවයක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කරනවා.

ඒ අනුව කොළඹ ප්‍රදේශයේ පමණක් ඊයේ (13) කොවිඩ් ආසාදිතයින් 160 ක් වාර්තා වී ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔහු මේ බව පැවසුවේ ‘හිරු පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින්.

*********************************************

පොලිසිය අත්අඩංගුවට ගත් තරුණයා මිය යාම ගැන පරීක්ෂණයක් අරඹයි

(13.10.2020 – 22:17 +0530 – hirunews.lk/sinhala)

පූගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් තරුණයෙකු හදිසියේ අසනීප වී රෝහල් ගත කිරීමෙන් පසු මියයාම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර, අදාළ තරුණයා මුදල් සොරකමක් සිදු කර ඇති බව පවසමින් අත්අඩංගුවට ගැනීමට පෙර පොලීසිය සහ තවත් පිරිසක් නිවසට පැමිණ පහරදුන් බව ඥාතීන් චෝදනා කළා.

***************************************

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 6 ක් ඔහුගේ නිවෙස් වෙත පිටත් කර යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මන්නාරමේ සහ කොළඹ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවෙස්වලට ඊයේ (13) රාත්‍රියේ පොලිස් කණ්ඩායම් කිහිපයක් ගොස් ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් ඇතුලු සැකකරුවන් තුන්දෙනෙකු (3) වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබුණා.

ඒ අනුව වරෙන්තු නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ (13) ඉල්ලීමක් කළ අතර, එය ප්‍රතික්ෂේප කෙරුණා.

එහිදි මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ පොදු දේපළ පනත යටතේ ගැනෙන චෝදනා සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් අවශ්‍ය නොවන බවයි.

පසුගිය ජනාධිපතිවරණයේදී පුත්තලමේ සිට මන්නාරම දක්වා ශ්‍රී ලංගම බස් රථවලින් අවතැන් ඡන්දදායකයින් ප්‍රවාහනය කිරීම තුළින් මහජන දේපළ සාපරාධී ලෙස අවභාවිතා කිරීම සහ මැතිවරණ නීති උල්ලංගණය කිරීම මොවුන්ට එරෙහිව එල්ල වන චෝදනායි ෴

+++++++++++++

14 October 2020 – 12:54

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 6 ක් යොදවා පරීක්ෂණ සිදුකළ ද හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මේ වන තුරුත් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ බදියුදීන් මන්ත්‍රීවරයාගේ කොළඹ සහ මන්නාරමේ පිහිටි නිවෙස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පරීක්ෂාවට ලක් කළ ද ඔහු එම නිවෙස්වල නොමැති බවයි.

***************************************

කඩුවෙල අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ඊ.එම්. හේමපාල ඒකනායක මහතාගේ කඩුවෙල කොතලාවල විහාර මාවතේ පිහිටි නිවසට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පැමිණි දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මොවුන් දෙදෙනා (2) කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බවයි ඔහු කියා සිටියේ. පෞද්ගලික ආරවුලක් මත මොවුන් මෙම ප්‍රහාරයට පැමිණ ඇති බව ද හෙළිව තිබෙනවා ෴

***************************************

කොළඹ මාර්ග කිහිපයක ස්වයංක්‍රීයව සංඥා පුවරු ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතියක් අද (14) උදෑසන ආරම්භ කෙරුණා.

ඒ අනුව පොලිස් නිලධාරීන් නොමැතිව මාර්ගවල සංඥා පුවරු ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

ගාලු පාර, බේස්ලයින් මාර්ගය, මාළඹේ මංසන්ධිය, කැස්බෑවේ සිට කොහුවල දක්වා කොටස සහ රාජගිරිය ඇතුළු මාර්ග රැසක අද (14) සිට මෙලෙස ස්වයංක්‍රීයව සංඥා පුවරු ක්‍රියාත්මක වනු ඇති ෴

***************************************

ටවර්හෝල් නාට්‍ය හා රංග කලා පාසලේ සිසුන්ගේ වාර්ෂික ශිෂ්‍යත්ව මුදල ඉහළ දැමීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, ටවර්හෝල් රඟහල පදනමේ 296 වන භාරකාර මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (13) පැවති අවස්ථාවේදියි.

මෙහිදී ටවර්හෝල් නාට්‍ය හා රංග කලා පාසලේ සිසුන්ට ලබාදෙන රුපියල් 2000 ක මාසික ශිෂ්‍යත්ව අරමුදල රුපියල් 3000 දක්වා වැඩි කිරිමටයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත්තේ.

එම පාසලේ වාර්ෂිකව විශිෂ්ඨතා දක්වන සිසුන්ට ලබාදෙන රුපියල් 5000 ක මුදල් ත්‍යාගය රුපියල් 10,000 දක්වා ඉහළ දැමීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා ෴

***************************************

*********************************************

දේශීය වෛද්‍ය ක්‍රමය ක්‍රියාවට නැංවීමට අවශ්‍ය නෛතික බලය, අපට දෙන්න – කෝවිඩ් වසංගතයේ එන අභියෝගය භාර ගන්න සූදානම්

(14.10.2020 – 07:39 +0530 – lankaleadnews.com)

කෝවිඩ් වසංගතයේ දෙවන නැගිටීමත් සමග උද්ගතව ඇති තත්වය සැලකිල්ලට ගෙන පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයේ දැනුම සහ අත්දැකීම් ප්‍රයෝජනයට ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඊයේ (13) කොළඹදී කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ දේශීය වෛද්‍ය ක්‍රමය ක්‍රියාවට නැංවීමට අවශ්‍ය නෛතික බලය, ශක්තිය සහ ප්‍රතිපාදන වගකිවයුතු සියලු දෙනා මැදිහත්ව දේශීය වෛද්‍ය අමාත්‍යවරයාට ලබා දිය යුතු බවය.

දැනට දිවයින පුරා විසිරී සිටින 24,000 ක් වන සමස්ථ දේශීය වෛද්‍යවරු කෝවිඩ් වසංගතයේ එන අභියෝගය භාර ගැනීමට සූදානම් බවද ඔහු වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

මෙම මාධ්‍ය හමුවේදී රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් කිහිප දෙනෙකුද අදහස් දැක්වීය.

සම්පූර්ණ වීඩියෝව :

*********************************************

අරාබි අකුරු හැඩයෙන් ශී‍්‍ර ලංකා සිතියම මුද්‍රණය කළ මිහින්තලේ පොත් ගැන සැහැල්ලුවට ගන්න එපා… නිසි විමර්ශනයක් කරන්න

(14.10.2020 – divaina.com)

ශ‍්‍රී ලංකා සිතියම අරාබි අකුරු හැඩයෙන් මුද්‍රණය කළ ආරාබි පාසලක පොත් විශාල ප‍්‍රමාණයක් මිහින්තලය පොලිසියට හමුවීම සම්බන්ධයෙන් හෑල්ලුවට නොගෙන නිසි විමර්ශනයක් සිදුකරනා ලෙසත්, පාස්කු දිනයේ ප‍්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදීත් ඒවාට ක‍්‍රියාත්මක නොවීම නිසා රටේ විශාල පිරිසක් තවමත් දුක්විඳිනා බවත් මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.

මිහින්තලය පොලිසිය පසුගිය 10 වැනිදා මිහින්තලය කුරුන්දන්කුලම ප‍්‍රදේශයෙන් අරාබි බසින් මුද්‍රණය කළ පොත් 150 ක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මීට වඩා පුළුල් වූ විමර්ශනයක් සිදුකළ යුතු බව කියමින් නාහිමියෝ 12 වැනිදා මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව පැවසූහ.

එහිදී නාහිමියෝ මෙසේද පැවසූහ.

පසුගිය 2019 වසරේ අපේ‍්‍රල් මස 21 වැනිදා වෙච්ච ඛේදවාචකය අපි කාටත් මතකයි. ජීවිත තුන්සියයක් විනාශ වුණා. තවත් විශාල පිරිසක් තවමත් ආබාධිතයෝ වෙලා විඳවනවා. පාස්කු දින සහරාන් කියන අන්තවාදියා ඇතුළු අනුගාමිකයන් ලේ පිපාසිතයෙන් ප‍්‍රහාරයක් එල්ල කරනවා කියලා පොලිසිය, බුද්ධි අංශ ඇතුළු සියලුම දෙනා දැනගෙන සිටියා.

දැන් හිටපු ජනාධිපති, අගමැත, ඇමැතිවරු, පොලිස්පති, ආරක්ෂක ලේකම් ඇතුළු සියලුම දෙනා එයාට මෙයාට ‘බෝලය පාස් කරනවා’. ඔය විදියට සහරාන් පොඩි පොඩි දේශන තියමින් තමයි මහා විනාශයට මුල පිරුවේ.

එයාල ‘බෝල පාස් කරයි.’ මේකේ වේදනාව කාටද? මියගිය මිනිස්සුන්ගේ පවුල්වල ජීවත්ව ඉන්න උදවියට. සහරාන්ට අවශ්‍යව තිබුණේ සිංහල කතා කරන මිනිස්සුන් සමූල ඝාතනය කරන්න. සිංහල බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් යන මිනිස්සු පිළිබඳව ඔහුට කිසිම හැඟීමක් තිබුණේ නෑ. ආගම්වල මිනිස්සු මරන්න බෝම්බ පුපුරවන්න කියලා කිසිම තැනක සඳහන් වෙන්නේ නෑ. මම මේ නැවත ආගම් අතර තරහවක් වෛරයක් ඇති කරන්න නෙමෙයි මේ හමුව කැඳවූවේ. මේ පොත් සම්බන්ධයෙන් මුද්‍රණ ආයතනයේ හිමිකරුම තමයි පොලිසියට දන්වලා තියෙන්නේ. ශ‍්‍රී ලංකා සිතියම තුළ කාටවත් ඕනෑ විදියට අරාබි අක්ෂරවලින් තමන්ට ඕනෑ ඕනෑ දේවල් ලියන්න බෑ.

ඒවා අරාබියේ පුළුවන්. අපිට තියෙන්නේ මේ ශ‍්‍රී ලංකාව විතරයි. අපිට මේ රට අහිමි වුණොත් එදාට මුහුදට පනින්න පුළුවන්. මම අරාබි බස දන්නේ නෑ. ඔබතුමාලත් දන්නේ නෑ. පොලිසියත් දන්නේ නෑ. ඒ නිසා මේ පොතේ තියන අකුරක් අකුරක් ගාණේ කියවලා රටට අහිතක් වෙලා තියනවා නම් ඊට නිසි පරීක්ෂණ පවත්වන්න ඕනෑ.

ඕනම අන්තවාදියකුට මේ දිනවල පවතින කොරෝනා වසංගතයට මුවාවෙලා අන්තවාදයේ දෙවන රැල්ල ක‍්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා මේ සුළු සිදුවීම් කියලා හෑල්ලුවට නොගෙන විධිමත් පරීක්ෂණ පවත්වලා රටට අගතිදායී තත්ත්වයක් ඇතිවෙලා තියනවා නම් ඊට අවශ්‍ය පියවර ගන්න කියලා මම ජනාධිපතිතුමා ඇතුළු රජයේ සියලුම දෙනාගෙන් ඉල්ලීමක් කරනවා යැයි නාහිමියෝ පැවසූහ.

මිහින්තලේ – රංග චතූ

++++++++++

‘ලංකාව අරාබියක් කරමු’ සඟරා තොගයක් මුද්‍රණයට අරාබි පාසැලකින් ඇණැවුමක්

(12.10.2020 – 15:39 +0530 – lankaleadnews.com)

‘ලංකාව අරාබියක් කරමු’ සඳහන් සගරා තොගයක් මිහින්තලේ ප්‍රදේශයේ මුද්‍රණාලයක මුද්‍රණය කර ඇත.

මේ ගැන මිහින්තලේ පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත එම සඟරා පොලිස් භාරයට ගෙන තිබේ.

සිදුවීම පිලිබදව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

කහටගස්දිගිලිය කෝන්වැව ප්‍රදේශය අරාබි පාසලකින් මෙම සඟරා මුද්‍රණය කිරීමට භාරදී ඇතැයිද එහි එම විදුහලේ පැවැත්වීමට නියමිත සංවත්සරයට මෙම සඟරා භාවිතයට ගැනීමට සූදානමින් තිබූ බවද පොලිසිය හෙළිකරගෙන තිබේ.

නමුත් මෙම සඟරා පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් පසු එම සැමරුම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට පාසැල තීරණය කර ඇත ෴

*********************************************

ගුණරුවන් නිසා නිරුවත් වූ ස්වාධීන තක්කඩි!

(13.10.2020 – thetruth.lk)

කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය ලලිතසිරි ගුණරුවන් මහතා විසින්, නවතාදමන ලද සැහැලු දුම්රිය ව්‍යාපෘතිය පිළිඹඳව මේ අවුරුද්දේ මාර්තු මාසයේදී පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත කරන ලද පැහැදිළි කිරීමක් මේ දිනවල නැවතත් සයිබර් අවකාශයේ මුදුනතට පැමිණ ඇත.

එම ව්‍යාපෘතිය අත්හැර දමන ලද්දේ එකී විශේෂඥයන්ගේ නිර්දේශ මතය.

එම කරුණු දැක්වීමේ සාරාංශය ගතහොත් කියැවෙන්නේ, JAICA ආයතනයෙන් යෝජනා කරන ලද එම ව්‍යාපෘතිය වෙනුවෙන් ජපානයෙන් සහනදායී පොළියට ලබාගන්නා ණයක් මගින් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සිදුකළද, ව්‍යාපෘති වියදමට එදිරිව එහි ප්‍රතිලාභ සසඳා බලන කල ව්‍යාපෘතිය එතරම් ප්‍රතිඵලදායක් නොවන බවයි. එමෙන්ම ඊට වඩා ලාභදායී සහ ප්‍රතිඵලදායක විකල්ප එතුමා පෙන්වා දෙයි.

කණගාටුවට කරුණ නම් සුවාදීන බුකි ඔස්තාර්ලා විසින් මහාචාර්‍යවරයාගේ කතාවේ “කන්ටේනර් එකක්වත් පටවන්න බැහැ” යන කොටස පමණක් උලුප්පා දක්වමින් ඔහු විසින් මතුකළ සමස්ථය යටපත් කිරීමයි. ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමයේ එක් විමසීමකින් ඇ.ඩො. මිලියන 2500 කට තක්සේරු කළ ව්‍යාපෘතිය ඇ.ඩො. මිලියන 1400 දක්වා අඩුවුණ කතාව, විදෙස් ණය හෝ ආයෝජන ලෙස එන ව්‍යාපෘති වලින් ගසාකන ආකාරය, දේශීය ඉංජිනේරුවන්ට කිසිදු දැනුමක් ලබාගත නොහැකි වීම ආදිය මේ බුකි පඬිවරුන් නොදැක්කා සේ කන්ටේනරයේම එල්ලී සිටිති. එමෙන්ම මේ බුකි ඔස්තාර්ලා විසින් ඉතාමත් අවංක ලෙස සලකන ජපානය විසින් ඇ.ඩො. මිලියන 1400 කින් නිමකළ හැකි ව්‍යාපෘතියට, ඇ.ඩො. මිලියන 2500 ක් තක්සේරු කළේ ඇයිදැයිද වසන් කරති. ඒ අතරම චීනා හොරා යැයි කියන්නටද ඔවුන් අමතක නොකරති. එනමුත් චීනා විසින් මෙය ජපනාගේ තක්සේරුවෙන් හරි අඩක වියදමෙන් කළහැකි යැයි කී බවද ඔවුන් වසං කරති.

යහපාලන පෙරගමන්කරුවෙකු වූ මහාචාර්‍ය ගුණරුවන් යනු හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරයෙක්ද වෙයි. ජනාධිපති විසින් විෂය පිළිඹඳ එවන් ප්‍රවීණයන්ගේ අදහස් විමසා වැඩ කිරීමද බුකි පඬියන්ගේ දෝෂදර්ශණයට ලක්වී ඇත. ඔවුන් බලාපොරොත්තු වන්නේ විෂය විශේෂඥයින්ගෙන් නොමැතිව ඔවුන්ගෙන් උපදෙස් ගන්නයි කියාද කියන්නට දන්නේ නැත.

මේ බොහෝ සුවාදීන පඬියන්ගේ පොදු ලක්ෂණයක් වන්නේ 2019 නොවැම්බරයට පෙර රට මොන නස්පැත්තියක් වුවද, මැරුණාක් මෙන් නිහඬව සිට ආණ්ඩු පෙරළියෙන් පසුව ඉතාමත් සක්‍රීය ලෙස බුකිය තුළ සැරිසැරීමයි. ප්‍රතිවාදීන්ට වහලා, බයියා ලෙස ඇමතීමද, ඔවුන් කරන දේශපාලන කිලිටි සේදීම සහ මඩ ගැසීම හැර අන් සියල්ලක්ම කඩේ යෑමක් ලෙස හුවා දැක්වීම මේ පඬියන්ගේ ස්වරූපයයි. ආණ්ඩුවට කොරෝනා මර්ධනය කරන්නට උපදෙස් දුන්නේද, ආණ්ඩුව විසින් කොරෝනා මර්ධනයෙහිලා ගනු ලබන පියවර ඉතා නිර්ධය ලෙස විවේචනය කරනු ලැබිවේද මේ ස්වාධීන වෙස්ගත් බුකි පඬිවරුය. අවසානයේ කොරෝනා පරදා රටක් ලෙස කෙලින් හිටගන්නට අපට හැකිවුණ අතර, බුකි පඬියන් ටික දිනකට කරළියෙන් අතුරුදහන් වුණා.

කෙසේ හෝ මේ ස්වාධීන පඬියන්ට LRT එකක් ඕනෑමය. ඒකත් ජපානෙන්ම ඕනෑය. චීනෙන් වියදමෙන් හරි අඩකට කරන්නම් යැයි කියූ එක එපාමය. ඇ.ඩො. මිලියන් 1400 ක ව්‍යාපෘතිය කරන්නට ඕනෑ යැයි බුකියේ වැළපෙන ඔවුන් සුවිසල් නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්විය හැකි හම්බන්තොට වරායට එදා කීවේ නැව් නොඑන වරාය කියාය. මත්තල ගුවන් තොටුපොළේ වී ගබඩා කරන විට කසාය බීපු ගොළුවන් සේ සිටියේ ඔවුන්මය. රටට මුදල් ඉපයිය හැකි, සුවිසල් ආර්ථික විභවයක් ඇති ව්‍යාපෘති දෙකක් සුදු අලින් ලෙස නිර්ධය ලෙස විවේචනය කරන්නේද, ගිණි ගණන් ගෙවා, ලෝකයට ණය වී, විනාඩි පහක කාලය ඉතිරියක් සඳහා සැහැල්ලු දුම්රිය මාර්ගයක් තනන්නට කියන්නේත් එකම කටවල් වලින්ය. එයද ඊට වඩා වියදම් අඩු, ප්‍රතිලාභ වැඩි විකල්ප තිබියදීය.

මේ සුවාදීන බුකි පඬියන්ගේ නොවෙනස් ලක්ෂණය නම් ජාතිකවාදී ආණ්ඩු වලින් (මෑත කාලයේදී නම් රාජපක්ෂලා විසින් නායකත්වය දෙන) කරනා ඕනෑම දෙයක් ඉතා නිර්ධය ලෙස විවේචනය කිරීමත්, සජිත් බේබිගේ ගොං කතා, යහපාලකයින්ගේ අමන වැඩ කිසිවක් නොදැක්කා සේත් හිඳීමයි.

එනමුත්, ඉතාමත් සාධණීය කරුණු රැසක් ගෙනහැරපෑ මහාචාර්‍ය ලලිතසිරි ගුණරුවන්ගේ කරුණු දැක්වීමට එරෙහිව බුකියේ වැළපීමෙන් පෙනෙන්නේ ඔවුන්ගේ ආරූඩ කරගත් තක්කඩි සුවාදීනකම තවදුරටත් සඟවාලනු නොහැකි බවයි !!

***************************************

එංගලන්තයෙන් ආනයනය කර තිබූ කසළ කන්ටේනර් අතරින් ඉතිරි කන්ටේනර් 242 ත්, යලි එංගලන්තයට යවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා ෴

*********************************************

උසස් පෙළ විභාගය වංචා කළ සිසුවෙකු ගැන, CIDයට පැමිණිල්ලක්

(14.10.2020 – 12:43 +0530 – hirunews.lk/sinhala)

ස්මාට් වර්ගයේ අත් ඔරලෝසුවක් උපයෝගී කර ගනිමින් ඊයේ (13) පැවති උසස් පෙළ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයමින් සිටි ගම්පහ නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුවෙකු සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මොහු ජීව විද්‍යා පුනරීක්ෂණ පීඩීඑෆ් (pdf) ගොනුවක් ලෙස අදාළ ඔරලෝසුව තුළට ඇතුළත් කර විභාග මධ්‍යස්ථානයට පැමිණ ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිසුවා විභාගය අතරතුර එය පරීක්ෂා කරමින් සිටි අවස්ථාවේදී විභාග පරීක්ෂකවරයෙකු දැක ඒ පිළිබදව ශාලාධිපතිවරයාට පැමිණිලි කර තිබෙනවා.

පසුව ඔහු එම අත්ඔරලෝසුව තමන් භාරයට ගෙන ගම්පහ පොලීසියට භාර දී ඇත්තේ වැඩිදුර විමර්ශන සඳහායි.

කෙසේ වෙතත් පොලීසිය සඳහන් කළේ අද (14) දිනයේ ද අදාළ සිසුවා විභාගයට පෙනී සිටීමට නියමිත බැවින් ඔහු අත්අඩංගුවට නොගත් බවයි.

ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු ඔහුව මුදා හැර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය, පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර, පෙරේදා පැවති ආර්ථික විද්‍යා ප්‍රශ්නපත්‍රය සිය ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කර, බාහිර පාර්ශවයකට යැවූ බොරැල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක සිසුවෙකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළා. මෙම සිසුවා ප්‍රශ්න පත්‍රය තමාට ලැබුණු පසු එය මෙලෙස ඡායාරූපගත කිරීමෙන් පසු බාහිර පාර්ශවයකට යොමු කර ඇති බව සඳහන්.

පසුව එය දුටු විභාග පරීක්ෂකවරයා ජංගම දුරකථනය සිය භාරයට ගෙන ඇති අතර එහිදී දක්නට ලැබී ඇත්තේ අදාළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය සඳහා වන පිළිතුරු ජංගම දුරකථනයට එකිනෙක ලැබෙන ආකාරයයි. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සිසුවාගෙන් ද ප්‍රකාශයක් ලබාගත් බවයි බොරැල්ල පොලීසිය සඳහන් කළේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් මෙම සිද්ධීන් පිළිබදව අදහස් දක්වමින් කියා සිටියේ වාණිජමය පරමාර්ථ මුල් කර ගනිමින් ඇතැමුන් සිසුන් මෙලෙස විභාග වංචාවන් සඳහා යොමු කරවන බවයි. ඒ පිළිබදව බලධාරීන් කඩිනම් අවධානය යොමු කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළා ෴

*********************************************

ජාතික රෝහලේ හෙදියකටත් කොරෝනා – පිළියන්දල පිරිවෙනක හිමිවරු 69 ක් නිරෝධායනයට

(14.10.2020 – 12:46 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ජාතික රෝහලේ හෙදියකට පළමුවරට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවයේ නියුතු මතුගම ප්‍රදේශයේ පදිංචි හෙදියකටයි මෙලෙස රෝගය වැලඳී ඇති බව හෙලිව ඇත්තේ.

ඇය මේ වනවිට කළුතර – නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇයගේ ආශ්‍රිතයන් 12 දෙනෙකුට පමණ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇති බවයි ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එමෙන්ම පිළියන්දල – කහපොළ – සිළුමිණ සෑය පිරිවෙන් විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා 69 ඇතුළු 89 දෙනෙකු එම පිරිවෙන තුලම නිරෝධායනයට ලක් කිරීමට අද පියවර ගත්තා.

ඒ, එම හිමිනමකගේ මවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟයි.

මීට අමතරව ගල්කිස්ස ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයෙකු, පෞද්ගලික සමාගමකට අයත් අවන්හල් ජාලයක බෙන්තොට ශාඛාවට පැමිණීම හේතුවෙන් එම අවහන්හල ඊයේ (13) පස්වරුවේ සිට වසා දමා තිබෙනවා.

එහි සිටි සේවකයින් ද එම අවන්හල තුළම නිරෝධායනය කිරීමටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇත්තේ.

මේ අතර පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ලබාදීමේ තදබදය අද (14) දිනය වනවිට අවසන් වනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා.

දිවයින පුරා විවිධ ප්‍රදේශවල සිදුකළ පී.සී.ආර්. සාම්පල තුන්දහසක් (3000) පමණ පරීක්ෂාවට ලක් නොකර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

දැනට දිවයින පුරා පී.සී.ආර්. පරීක්ෂණ 3,42,343 ක් සිදු කර ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඊයේ (13) දිනයේදී පමණක් පීසීආර් පරීක්ෂණ 6190 ක් සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් දැනට පවතින පී.සී.ආර්. සාම්පල් ධාරිතාවය වැඩිවීම හේතුවෙන් මෙලෙස ප්‍රතිඵල පමා වීමක් සිදුව ඇති අතර එය අද (14) දිනයේදී බොහෝ දුරට මඟ හැරෙනු ඇති බවයි ‘හිරු ටීවි’ ඔස්සේ අද (14) උදෑසන විකාශය වූ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ.

ඊයේ (13) නව කොරෝනා ආසාදිතයන් 194 දෙනෙකු මෙරටින් වාර්තා වී තිබෙනවා. ඔවුන් සියළු දෙනා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවය කරන සේවකයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්. මේ වනවිට මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ කොරෝනා පොකුර 1591 ක් වන අතර ඉන් පුද්ගලයින් 1036 ක් එහි ඇඟළුම් කම්හල් සේවකයින් බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. සෙසු පුද්ගලයින් 555 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් වනවා.

පසුගිය ඔක්තොම්බර් මස 05 වනදා සිට 11 වන දා දක්වා ගත වූ දින 6 ක් තුළ රෝගීන් 1186 දෙනෙකු වාර්තා වී ඇති අතර ඊට පසු දිනයේ වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 121 ක්.

එමෙන්ම පසුගිය 13 වන දින රෝගීන් 90 දෙනෙකු සහ ඊයේ (13) දිනයේදි තවත් රෝගීන් 194 දෙනෙකු වාර්තා වී තිබුණා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5038 ක් වන අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 1697 ක්.

දැනට කොරෝනා ආසාදිතයන්ගෙන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලින්. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවලින් ද මේ වනවිට කොරෝනා රෝගීන් වාර්තා වන බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

*********************************************

‘දූෂණ විරෝධී කමිටුවේ’ මංගල, පාඨලී ඇතුළු පිරිසකට සිතාසි

(14.10.2020 – 12:50 +0530 – hirunews.lk/sinhala)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, මලික් සමරවික්‍රම සහ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ ඇතුළු දූෂණ විරෝධී කමිටු සාමාජිකයන්ට දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනපති කොමිසම නොතීසි නිකුත් කළා.

ඒ, හිටපු සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි කොමිසමට කල පැමිණිල්ලක් ඊයේ (13) විභාගයට ගත් අවස්ථාවේදීයි.

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන සමයේදී ‘ඉසුරුමත් නිවාස’ වැඩසටහන යටතේ සහන ලබා දීම සහ දිවිනැගුම දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමේදී ස්වෙච්ඡාවෙන් ඉවත්වූ සේවකයින්ට වන්දි සහ පාරිතෝෂික දීමනා ලබා දීමේ සිද්ධීන් වලට අදාළව තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දේශපාලනිකව පළිගැනීමේ අරමුණින් සිදු කර ඇති බවට ඔහු කොමිසමට පැමිණිලි කර තිබුණා.

කොමිසම හමුවේ කරුණු දක්වමින් ඔහු පැවසුවේ කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල දුරකථන ඇමතුමකින් පසුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ භූමියට පැමිණ සති දෙකක (2) කාලයක් තමාව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තැබීමට කටයුතු කළ බවයි.

එම අවස්ථාවේදී තමාගේ නීතිඥවරු කොතෙක් කරුණු ඉදිරිපත් කළ ද ඇප ලබාදීමට කටයුතු නොකළ බව බන්දුල තිලකසිරි වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම තමා දැරූ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය ස්ථීර පත්වීමක් වුවත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ අත්සනින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකින් එම පත්වීම අහෝසි කළ බව පැමිණිලිකරු කොමිසම හමුවේ කියා සිටියා.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, මලික් සමරවික්‍රම, අතිරේක සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ ඇතුලු‍ දූෂණ විරෝධී කමිටු සාමාජිකයන්ට ලබන 16 වනදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි නොතීසි නිකුත් කෙරුණේ.

*********************************************

පාස්කු ප්‍රහාරයේ වගකීම පැවති රජය සාමූහිකව භාර ගත යුතුයි – හිටපු අගමැති රනිල්

(14.10.2020 – 12:58 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට මෙරට ආරක්ෂක තත්ත්වය බිඳ වැටී තිබූ බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පිළිගත්තා.

දෙවන (2) දිනට ඊයේ (13) එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු කියා සිටියේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පැවති ආණ්ඩුව සාමූහිකව වගකීම භාරගත යුතුව තිබූ බවයි.

මේ අතර පාස්කු ප්‍රහාරය එල්ල වන බව හොඳින්ම දැනගෙන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදෙස්ගත වූ බවට තමන් විශ්වාස කරන්නේ යැයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඊයේ (13) මෙම කොමිසම හමුවේ 09 වන දිනටත් සාක්ෂි ලබා දෙමින් කියා සිටියා.

සාක්ෂි ලබාදෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ තමන්ව ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම් සඳහා 2018 ඔක්තෝබර් මාසයේ සිට පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාව දක්වා නොකැඳවූ බවයි.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය කර සිටියේ ඔබේ පාර්ශවය හා හිටපු ජනාධිපතිගේ පාර්ශවය අතර මතගැටුම් තිබූ බව දැන් රහසක් නොවේ යන්නයි.

එලෙස මත ගැටීම් නොතිබුණු බවත් එවැනි ගැටුම් ඇති වූයේ රැකියා ලබාදෙන අවස්ථාවලදී බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

එසේ නොමැතිව ප්‍රතිපත්ති සහ පක්ෂ පදනම් කර ගනිමින් ගැටුම් නොතිබුණු බවද ඔහු ප්‍රකාශ කළා.

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය මෙහිදී හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් තවදුරටත් ප්‍රශ්න කර සිටියේ 2015 සිට 2018 දක්වා සෑම ආරක්ෂක කවුන්සලයකටම සහභාගී වූයේද යන්නයි.

ඊට පිළිතුරු ලබාදුන් හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ සෑම රැස්වීමකටම සහභාගි නොවූ බවයි. ඇතැම් අවස්ථාවල තමා විදෙස්ගතව සිටි බවත් ඇතැම් රැස්වීම්වලට සහභාගි වීමට දැනුම් දෙන්නේ පැය 24 කට හෝ පැය 48 කට පෙර බවත් ඔහු මෙහිදී කියා සිටියා.

මෙම රැස්වීම් වලදී ඉස්ලාම් අන්තවාදය ගැන කතාවූයේද යන්න රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය මෙහිදී ප්‍රශ්ණ කළා. ඊට පිළිතුරු ලබා දුන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ඉස්ලාම් වගේම අනෙකුත් අන්තවාද ගැනත් කතා කළ බවයි.

එහෙත් මධ්‍යස්ථ සම්ප්‍රදායික මුස්ලිම්වරු නැතිකරන්න අන්තවාදී අදහස් මුස්ලිම් සමාජයේ මතු වී තිබූ බවද ඔහු මෙහිදී සඳහන් කළා.

***************************************

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු අඩු කිරීමට රජය ගත් පියවර හේතුවෙන් ඇතිවූ මිල පහල යාම නිසා තම ලූණු අස්වනු පාඩු විදිමින් අලෙවි කීරීමට සිදුවී ඇතැයි පොළොන්නරුව – බටුහේන ප්‍රදේශයේ ගොවීන් පවසනවා.

ආර්ථික දුෂ්කරතා රැසක් මධ්‍යයේ මෙලෙස ලූණු වගාකල තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.

***************************************

මෙරට සත්ව පාලන ක්ෂේත්‍රයේ විප්ලවීය සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නට පල්ලෙකැලේ අශ්ව අභිජනන මධ්‍යස්ථානය සමත්ව තිබෙනවා.

ඒ මෙරටදී පළමු වරට කෘතිම සිංචනයෙන් තත්ත්වයෙන් උසස් අශ්ව පෝතකයෙකුට උපත ලබා දෙමින්.

වික්ටෝරියා ජලාශය මායිම් කරගත් මේ දර්ශනීය භූමිභාගය පිහිටා තිබෙන්නේ මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේයි.

එය මෙරට ප්‍රමුඛතම අශ්ව අභිජනන මධ්‍යස්ථානයක්.

යුදහමුදා රයිෆල් බලකා මූලස්ථානය තුල මෙම අභිජනන මධ්‍යස්ථානය පවත්වාගෙන යන්නේ හිටපු පශු සම්පත් විශේෂඥයෙකු වන පාලිත සමරකෝන් මහතායි.

***************************************

තම ජීවිත අවදානම නොතකමින් කැඩුණු පාලමකින් සිය ගමනාගමන කටයුතුවල යෙදෙන ගම්වැසියන් පිරිසක් පිළිබඳව අපට වාර්තා වුණේ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්.

අද ‘රතු මිනිත්තුව’ දිග හැරෙන්නේ ඒ පිළිබඳවයි.

මේ නිවිතිගල මැතිවරණ බල ප්‍රදේශයට අයත් ඇලපාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයයි.

ඇලපාත සහ නිරිඇල්ල ගම් යා කරමින් වාහන ගමන් කළ හැකි මෙම කොන්ක්‍රීට් පාලම ඉදිකර ඇත්තේ 2013 වර්ෂයේයි.

නිරිඇල්ල, වටවල, දිගන, අලිගාල, පිටපැල සහ කරවිට යන ගම්මානවල පවුල් 300 කට අධික ජනතාවක් තම දෛනික කටයුතු සඳහා ගමන් කරනු ලබන්නේ මෙම පාලම හරහායි.

2020 මැයි මස 19 වන දින ගැලූ ගංවතුර හේතුවෙන් මෙම කොන්ක්‍රීට් පාලම සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා.

ගම්වැසියන් චෝදනා කරන්නේ ගම් 6 ක ජනතාව එක්ව දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් ලිඛිතව සහ වාචිකව මේ සම්බන්ධයෙන් දැනුවත් කළ ද මෙතෙක් කිසිදු බලධාරියෙකු ඒ සම්බන්ධයෙන් විසඳුම් ලබා නොදුන් බවයි.

කැඩී ගිය පාලම වෙනුවට ගම්වැසියන් දැනට භාවිත කරන්නේ 1954 දී ඉදිකරන ලද අතහැර දමා ඇති දිරා ගිය පැරණි මෙම පාලමයි.

ඔවුන් පවසන්නේ රත්නපුර රෝහලට කිලෝමීටර් 8 කින් පැමිණීමට තිබූ ගමන් මාර්ගය මේ හේතුවෙන් කිලෝමීටර් 18 ක් දුර ගෙවා යාමට සිදුව ඇති බවයි.

මෙම ගම්මාන ආශ්‍රීත බොහෝදෙනෙකු තේ වගාව, රබර් වගාව, පතල් කර්මාන්තයේ නියැලෙන අතර ඇතැම් පුද්ගලයින් කම්කරුවන් සහ කුලීකරුවන් ලෙස සිය රැකියාවල නිරත වන්නේ බොහෝ දුෂ්කරතා මධ්‍යයේයි.

ගම්වැසියන් පවසන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 17 න් වැඩිම ගංවතුර අවදානමකට ලක්වන්නේ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වන අතර ඒ හේතුවෙන් නිරිඇල්ල ගඟ නිරන්තරයෙන් ජලගැලීම්වලට ලක්වන බැවින් දිරාපත්ව ඇති මෙම පාලම භාවිතය ඉතා අවදානම් බවයි.

කැඩුණු පාලමක් නිසා අහිංසක ජීවිතයක් වියැකී යන්නට මත්තෙන් ගම්වැසියන්ගේ මෙම ඉල්ලීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු කර ඊට නිසි විසඳුමක් ලබාදෙන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

‘නිව් ඩයමන්ඩ්’ නෞකාවේ කපිතාන්වරයා කොළඹ මහාධිකරණයේදී වරද පිළිගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් රුපියල් මිලියන 200 ක වන්දියක් ඉල්ලා ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය කියා සිටියේ.

වරද පිළිගැනීම හේතුවෙන් කොළඹ මහාධිකරණය ඔහුට රුපියල් මිලියන 12 ක දඩයක්ද නියම කර තිබෙනවා ෴

+++++++++++

අධිකරණය හමුවේ වරද පිළිගත් නිව් ඩයමන්ඞ් නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන් තිරෝස් හිල්යාස්ට කොළඹ මහාධිකරණය අද (14) රුපියල් මිලියන 12 ක දඩයක් නියම කරනු ලැබුවා.

ඒ අනුව අදාළ මුදල අද (14) දිනයේම ගෙවා දැමූ බවයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිපුණ විමලසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

නිව් ඩයමන්ඩ් නෞකාවේ හටගත් ගින්න මැඬපැවැත්වීමට ක්‍රියා නොකිරීම සහ සමුද්‍ර දූෂණය සිදුකිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් කපිතාන්වරයාට එරෙහිව පසුගියදා මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකළා.

ඒ අනුව විත්ති පාර්ශවය ගොනුකළ මෝසමකට අනුව මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා හමුවේ අද (14) නඩුව කැඳවූ අවස්ථාවේදී තමන් අදාළ චෝදනාවන්ට වරදකරු බව පිළිගන්නා බවයි කපිතාන්වරයා සඳහන් කළේ.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙන්වා දුන්නේ නෞකාවේ ධාවන කටයුතු සඳහා වෙන්කර තිබූ ඉන්ධනවලින් මෙටිරික් ටොන් 400 සිට 480 දක්වා තෙල් ප්‍රමාණයක් මුහුදට කාන්දු වී ඇති බවයි.

එම තෙල් පැල්ලම ඉවත්ව යෑම සඳහා අවම වශයෙන් වසර 10 ක් හෝ 15 ක් ගතවනු ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.

මෙම කාන්දුව සිදුවූ කලාපය ආසන්නයේ කැස්බෑවුන් 18 දෙනෙකු පමණ අසීරුතාවයට පත්ව සිටින ආකාරය එහි ගොස් පරීක්ෂණ සිදුකළ නාරා ආයතනයේ විශේෂඥයින් හඳුනාගෙන තිබූ බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, ඉකුත් දිනවල මියගිය කැස්බෑවුන් ගල්කිස්ස සහ හලාවත මුහුදු තීරයන්ට ගොඩ ගසා තිබූ බවට මාධ්‍ය මගින් වාර්තා කර තිබූ බවද සිහිපත් කළා.

ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් බැවින් විත්තිකාර කපිතාන්වරයාගේ නොසැලකිල්ල නිසා ශ්‍රී ලංකා රාජ්‍යය වින්දිතයෙකු බවට පත්වී ඇති බව පෙන්වා දුන් ඔහු නීතිය මගින් නියම කළ හැකි රුපියල් මිලියන 20 ක දඩයට අමතරව ඇමරිකානු ඩොලර් මිලියන 200 ක වන්දියක් ගෙවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි මහාධිකරණයෙන් ඉල්ලා සිටියේ.

කෙසේ වෙතත්, කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙහිදී සඳහන් කළේ ශ්‍රී ලංකා රජයට සිදුවූ හානි වෙනුවෙන් රුපියල් මිලියන 442 ක මුදලක් ගෙවීමට පියවර ගෙන ඇති බවයි.

එසේ තිබියදී කපිතාන්වරයා පදනම් කරගනිමින් නඩු පැවරීම අනුමත නොකරන බව සඳහන් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *