සීදූව පොලිස් බල ප්‍රදේශයටත් පොලිස් ඇඳිරි නීතිය

සීදූව පොලිස් බල ප්‍රදේශයටත් පොලිස් ඇඳිරි නීතිය

මාසයකදී කළුතර සිවලුන් සපාකෑමේ සිද්ධීන් 50 ක්

මන්නා රමේෂ්ගේ කණ්ඩායමට අයත් ටී 56 ගිනි අවියක් සොයාගැනේ

රාගම රෝහලේ කොරෝනා ආසාධිතයින් රඳවා තබන වාට්ටුවේ සිටි රෝගියෙකු පලා ගිහින්

හිටපු පොලිස්පති පූජිත්, දේශපාලන කොමිසමේදී හඬා වැටේ

කොරෝනා වෛරසය වැලදුණු පළමු බ්‍රැන්ඩික්ස් සේවකයා මුලින් හෙළිවූ කාන්තාව නොවේ

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් සේවකයින් 190 දෙනෙකුට කොරෝනා

AL සහ ශිෂ්‍යත්ව විභාග නියමිත දිනට පැවැත්වේ

හිටපු පොලිස් ඇමති නොදන්නා ආරක්ෂක ආයතනයක්

හිරු CIA හෙළිකරගත් උඩවලව වේල්ල ආශ්‍රිත අල්ලස් ගැනීම

ගම්පහ පදිංචි, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවක සේවිකාවන්ට පොලිසියෙන් දැනුම්දීමක්

*********************************************

සීදූව පොලිස් බල ප්‍රදේශයටත් පොලිස් ඇඳිරි නීතිය

(07.10.2020 – 12:39 +0530 – hirunews.lk/sinhala)

වහාම ක්‍රියාත්මක වන පරිදි සීදූව පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, ගනේමුල්ල, කිරිඳිවැල, දොම්පේ, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලෙවෙල සහ යක්කල පොලිස් බල ප්‍රදේශවලට මෙන්ම –

කැළණිය පොලිස් කොට්ඨාසයට අයත් ජාඇළ සහ කඳාන පොලිස් බල ප්‍රදේශවලටද –

දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශවලටද –

සීදූව පොලිස් බල ප්‍රදේශයටද පොලිස් ඇදිරි නීතිය පනවා තිබෙනවා.

*********************************************

මාසයකදී කළුතර සිවලුන් සපාකෑමේ සිද්ධීන් 50 ක්

(07.10.2020 – 12:58 +0530 – hirunews.lk/sinhala)

මාසයක් ඇතුළත කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස පහකින් (5) සිවලුන් සපාකෑමේ සිද්ධින් 50 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මිල්ලනිය, මදුරාවල, ඉංගිරිය, හොරණ සහ වාද්දුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් මෙම සිද්ධීන් වාර්තාවී ඇති බවයි එම අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය, පශු වෛද්‍ය සේවා පිළිබඳ අධ්‍යක්‍ෂ වෛද්‍ය එල්.ඩී. කිත්සිරි මහතා කියා සිටියේ.

මින් සිද්ධීන් 30 ක් සිවලුන් විසින් සුනඛයින්ව සපාකෑම් වන අතර, පුද්ගලයින් 11 දෙනෙකුද එලෙස සපා කනු ලැබ ඇති බව ඔහු කියා සිටියා.

එසේම ගවයින් දෙනෙකුද මෙම කාලය තුළ සිවලුන් විසින් සපා කනු ලැබ ඇති අතර, වාර්තා නොවූ සිද්ධීන්ද තිබිය හැකි බවයි අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේ.

සිවලුන් හරහා ජලභීතිකාව වැළඳීමේ සිද්ධීන් රැසක් පසුගිය කාලයේ අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසවලින් වාර්තාවී ඇති අතර, මිල්ලනිය, මදුරාවල, හොරණ සහ ඉංගිරිය යන ප්‍රදේශවලින් වසරේ මේ දක්වා ජල භීතිකාව වැළඳුනු සිවලුන් 11 දෙනෙකු සහ සුනඛයින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා ෴

*********************************************

මන්නා රමේෂ්ගේ කණ්ඩායමට අයත් ටී 56 ගිනි අවියක් සොයාගැනේ

(07.10.2020 – 13:01 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන මන්නා රමේෂ්ගේ කණ්ඩායමට අයත් බවට සැකකෙරෙන ටි-56 ගිනි අවියක් සහ මැගසිනයක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අවිස්සාවේල්ල – කුඩගම ප්‍රදේශයේ ඊයේ (06) සිදුකළ මෙහෙයුමකදියි. පතල් තොටුපලක සඟවා තිබියදී මෙම ටී 56 ගිනි අවිය සහ මැගසීනය සොයාගෙන ඇත්තේ මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරිම්වලදී ලද තොරතුරුවලට අනුවයි.

මේ අතර හෙරොයින් මිලිග්‍රෑම් 1500 ක් සමඟ කාන්තාවක් ඇතුලු හයදෙනෙකු (6) මාතර – වැලිපිටිය ප්‍රදේශයේදී ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පිරිස අතර, හෙරොයින් මිලදී ගැනීමට පැමිණි හතරදෙනෙකු (4) සහ හෙරොයින් ජාවාරමේ නිරතවූ දෙදෙනෙකුද (2) සිටින බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මාතර – වැලිපිටිය ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, ඔවුන් සතුව තිබී හෙරොයින් මිලදී ගැනීමට රැගෙන ආ රුපියල් 9,500 ක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ලක්ෂ 70 ක් වටිනා කේරළ ගංජා කිලෝ 40 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) පොලීසිය ඊයේ (06) අත්අඩංගුවට ගනු ලැබුවේ මට්ටක්කුලිය ප්‍රදේශයේදියි.

එම ප්‍රදේශයේම පදිංචි සැකකරුවන් 22 සහ 24 වයස්වල පසුවන්නන් වනවා ෴

*********************************************

රාගම රෝහලේ කොරෝනා ආසාධිතයින් රඳවා තබන වාට්ටුවේ සිටි රෝගියෙකු පලා ගිහින්

(07.10.2020 – 13:09 +0530 – hirunews.lk/sinhala)

රාගම රෝහලේ කොරෝනා ආසාධිතයින් රඳවා තබන වාට්ටුවේ සිටි රෝගියෙකු ඊයේ(07) රාත්‍රියේ පලාගොස් ඇති බවට වාර්තා වනවා.

මේ අතර ඇතම් පුද්ගලයින් කොරෝනා රෝගය වසන් කරන බවට තොරතුරු වාර්තා වනවා.

එවන් පසුබිමක බ්‍රැන්ඩික්ස් ආයතනයේ මානව සම්පත් කලමණාකරණ අංශයේ සේවකයෙකු සිය ෆේස්බුක් ගිණුම හරහා ඔහු ගමන් කළ ප්‍රදේශ සහ ආශ්‍රිතයින් කවුරුන්ද යන්න දැනුවත් කර තිබෙනවා.

ඒ අනුවයි බටපොල ප්‍රදේශයේ විහාරස්ථානයක භිකිෂූන් වහන්සේලා දෙනමක් (2) හා ඒ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට ලක්කර ඇත්තේ.

කෙසේ වෙතත් කර්මාන්තශාලාවේ ඇතැම් සේවකයින් තවමත් සැඟව සිටින බවට තොරතුරු වාර්තා වන බවයි යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඳ වෛද්‍ය සුදත් සමරවීර මහතා කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ පසුගිය සැප්තැම්බර් 20 වනදා සිට කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් අතර ශ්වසන ආබාධ පැවති බවට තොරතුරු වාර්තා වූ බවයි.

ඒ හේතුවෙන් වෛරසය වැලදුණු මෙම කාන්තාව අතරමැදි අයෙකු ලෙසයි විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ.

එමෙන්ම බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හල ආශ්‍රිතව නිර්මාණය වූ කොරෝනා පොකුරට අදාළව අනුරාධපුරය, බදුල්ල, ගාල්ල, කුරුණෑගල, මහනුවර, මාතර, පොළොන්නරුව සහ රත්නපුරය යන ප්‍රදේශවලින් ආසාදිතයන් වාර්තා වන බවද ඔහු ප්‍රකාශ කළා.

මේ වනවිට හදුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් තුළ වෛරසයේ සාන්ද්‍රණය අධික බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව සඳහන් කළේ අද (07) උදෑසන ‘හිරු ටීවි’ ඔස්සේ විකාශය වූ ‘පත්තරේ විස්තරය’ වැඩසටහනට එක්වෙමින්.

ඊයේ (06) දිනයේදී පමණක් මෙරටින් හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 739 ක්.

ඉන් 729 ක්ම මිනුවන්ගොඩ ‘බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන්’ වාර්තා වීම විශේෂත්වයක්.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4252 ක් වන අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ පසවනු ආසාදිතයන් සංඛ්‍යාව 973 ක්.

මාස දෙකකට (2) පසු මෙරට සමාජයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වුයේ කර්මාන්තශාලාවේ සේවිකාවකට වෛරසය ආසාදනය වීමත් සමගයි.

ඒ අනුව අද (07) දිනයේදීත් ‘බ්‍රැන්ඩික්ස් පොකුරේ’ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත් රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ මේ වනවිට මෙරට තුල පැතිර යන කොරෝනා වෛයිරසයේ වෙනසක් දක්නට ලැබෙන බවයි.

කොරෝනා රෝගීන් ඉහළ යාමත් සමඟ ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා මීට පෙර වෙන් කළ රෝහල්වලට අමතරව මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ද යොදාගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළා.

ඇය කියා සිටියේ දැනට පවතින තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා අද (07) දිනයේදි විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇති බවයි.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයට තවත් දිස්ත්‍රික්ක හතරකින් (4) අමතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 40 දෙනෙකු යැවීමට හෙට (08) දිනයේදී පියවර ගන්නා බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා කියා සිටියේ ෴

++++++++++++

කොවිඩ් 19 වෛරසය වැළඳී ඇතැයි සැක සහිතව රාගම රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී රෝහලෙන් පැන ගිය පුද්ගලයාව සොයාගෙන තිබේ ෴ (sinhala.adaderana.lk)

*********************************************

හිටපු පොලිස්පති පූජිත්, දේශපාලන කොමිසමේදී හඬා වැටේ

(07.10.2020 – 13:13 +0530 – hirunews.lk/sinhala)

තම වසර 34 ක වෘත්තිය ජීවිතය තුළ කිසිදු අකටයුත්තක් සිදු නොකළ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ හඬා වැටෙමින් ප්‍රකාශ කළා.

ඒ, ඊයේ (06) එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්. එමෙන්ම නාවික හමුදා බුද්ධි අංශයේ කමාන්ඩර් සම්පත් දයානන්ද ඊයේ (06) එම කොමිසම හමුවේ පෙනී සිටි අතර, ඔහු කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යහපාලන ආණ්ඩු සමයේදි මෙරට බුද්ධි අංශ සාමාජිකයින් පාවා දුන් බවයි.

*********************************************

කොරෝනා වෛරසය වැලදුණු පළමු බ්‍රැන්ඩික්ස් සේවකයා මුලින් හෙළිවූ කාන්තාව නොවේ

(07.10.2020 – 13:28 +0530 – hirunews.lk/sinhala)

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඳ වෛද්‍ය සුදත් සමරවීර මහතා කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ පසුගිය සැප්තැම්බර් 20 වනදා සිට කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් අතර ශ්වසන ආබාධ පැවති බවට තොරතුරු වාර්තා වූ බවයි.

ඒ හේතුවෙන් වෛරසය වැලදුණු මෙම කාන්තාව අතරමැදි අයෙකු ලෙසයි විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ.

එමෙන්ම බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හල ආශ්‍රිතව නිර්මාණය වූ කොරෝනා පොකුරට අදාළව අනුරාධපුරය, බදුල්ල, ගාල්ල, කුරුණෑගල, මහනුවර, මාතර, පොළොන්නරුව සහ රත්නපුරය යන ප්‍රදේශවලින් ආසාදිතයන් වාර්තා වන බවද ඔහු ප්‍රකාශ කළා.

+++++++++++

කොවිඩ් 19 වසංගතයට එරෙහිව චීනය නිපදවන ලද එන්නත් කිහිපයක් 3 වන අදියරේ සායනික අත්හදා බැලීම් සිදුකරන බව විදෙස් වාර්තා සඳහන් කළා.

ඒ අනුව ඒවායේ සාර්ථකත්වය මත බෙදාහැරීමේ කටයුතු සඳහා එම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදීමට හැකි වනු ඇති බවයි චීන බලධාරීන් ප්‍රකාශ කළේ.

ඇතැම් එන්නත් බ්‍රසීලය, ඉන්දුනීසියාව සහ බංග්ලාදේශය වැනි රටවල 3 වන අදියරේ සායනික අත්හදා බැලීම් සිදු කරනවා.

එමෙන්ම ඇමරිකාවේ ප්‍රාන්ත 06 ක නැවත වරක් කොරෝනා පැතිර යාමේ අවධානම හේතුවෙන් නීති දැඩි කර තිබෙනවා.

විස්කොන්සිං, නර්බ්‍රස්කා, උතුරු ඩැකෝටා, දකුණු ඩැකෝටා, වයෝමින් සහ මොන්ටානා යන ප්‍රාන්ත වල මෙලෙස කොරෝනා පැතිර යාමේ අවධානම ඉහල ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ගත වූ පැය 24 තුල ඇමරිකාවෙන් නව මරණ 790 ක් සහ ආසාදිතයන් 43,660 දෙනෙකු වාර්තා වුණා.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයන් 3,60,45,050 ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 10,54,607 ක් ලෙසයි.

ගතවූ පැය 24 ඉන්දියාවෙන් නව මරණ 991 ක් සහ නව ආසාදිතයන් 72,106 ක් වාර්තා වී තිබෙනවා ෴

+++++++++++++++

කොවිඩ් 19 වැළක්වීම සඳහා මහජනයා සතු තොරතුරු ලබාදීමට පොලිස්පති පාලක මැදිරියක් හා පොලිස්පති මෙහෙයුම් මැදිරියක් පොලිස් මුලස්ථානයේ ස්ථාපිත කර තිබෙන බව පොලිසිය පවසනවා.

පහත දුරකථන අංක මගින් ඊට තොරතුරු ලබාදිය හැකියි.

එම අංක ඇතුළත් නිවේදනය :

*********************************************

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් සේවකයින් 190 දෙනෙකුට කොරෝනා

(07.10.2020 – 13:50 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් සේවකයින් 190 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව එම ඇඟළුම් කර්මාන්තශාලාව ආශ්‍රිතව වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,022 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මාස 2 කට පසු මෙරට සමාජයෙන් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වූයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවිකාවකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට පසුගිය 3 වැනිදා තහවුරු වීමත් සමඟයි.

ඒ අනුව ඇගේ ආශ්‍රීතයන් සොයා PCR පරීක්ෂණ සිදුකළ අතර ඇගේ 16 හැවිරිදි දියණියට සහ තවත් ඇඟලුම් සේවක සේවිකාවන් 830 කට මේ වන විට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ සමඟ මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 4000 ඉක්මවන අතර ඉන් 832 කුම අයත් වන්නේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාව ආශ්‍රිතව හඳුනාගත් කොවිඩ් පොකුරටයි.

කොවිඩ් 19 ආසාදනය වූ එම කර්මාන්ත ශාලාවේ සේවය කරන කඳාන – උස්වත්ත සහ හපුගොඩ ප්‍රදේශවල කාන්තාවන් දෙදෙනෙකු (2) හා කපුවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු අද (07) අලුයම රෝහල්ගත කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් පසුගිය සති අන්තයේ නිවාඩු ලබා දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් ඇති පසුබිමක යාපනය, අම්පාර, මොණරාගල, මාතලේ, කුරුණෑගල, කෑගල්ල, කටාන, සීදුව, දිවුලපිටිය, මීරිගම, ජා ඇළ සහ මහර යන ප්‍රදේශවලින් ආසාදිතයන් වාර්තා වුණා.

ඒ අනුව අද (07) දිනයේත් ප්‍රදේශ රැසක බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සිදුකළා.

මේ බදුල්ල – මීගහකිවුල සහ ඒ අවට ප්‍රදේශවල පිරිස් PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණු අයුරුයි.

මේ අතර තංගල්ල – දංකැටිය ප්‍රදේශයේ පිරිසක් ද PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට මෙලෙස පියවර ගත්තා.

මේ අතර තවදුරටත් PCR පරීක්ෂණ සිදුකිරීමේ ධාරිතාව වැඩි කළ යුතු බව ‘හිරු පත්තරේ විස්තරේ’ වැඩසහනට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අවධාරණය කළා.

***************************************

බ්‍රිතාන්‍යයෙන් මෙරටට කසළ ගෙන්වීමෙන් සිදුවූ හානියට රුපියල් මිලියන 1,694 ක වන්දි ඉල්ලා ශ්‍රී ලංකාව පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ බාසල් සම්මුතිය යටතේ බාසල් සම්මුති ලේකම් කාර්යාලය වෙත අදාළ පැමිණිල්ල ගොනුකළ බවයි.

2017, 2018 වසරවලදී මෙරටට ගෙන්වා තිබූ කසළ බහලුම් 263 න් 130 ක් පෞද්ගලික සමාගමක් විසින් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ අංගනයක රඳවා තිබූ අතර, ඉතිරිය කොළඹ වරායේ අංගනයක රඳවා තිබුණා.

ඉන් 21 ක් පරීක්ෂණ කටයුතු නිමවීමෙන් පසු පසුගිය මස 27 වනදා එක්සත් රාජධානිය වෙත නැවත යැවීමටයි කටයුතු කරනු ලැබුවේ ෴

*********************************************

AL සහ ශිෂ්‍යත්ව විභාග නියමිත දිනට පැවැත්වේ

(07.10.2020 – 14:22 +0530 – hirunews.lk/sinhala)

AL සහ ශිෂ්‍යත්ව විභාගය දීර්ඝ කල්දැමීමකින් තොරව නියමිත පරිදි පැවැත්වීමට රජය දැනට තීරණය කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා මේ බව ප්‍රකාශ කළා.

මේ අතර නිරෝධායනය වන විභාග අපේක්ෂකයන් සඳහා විශේෂ වැඩපිළිවෙලක් ද සකස් කර ඇති බවයි එහිදී ප්‍රකාශ කළේ.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය (11 ඉරිදා) සහ උසස් පෙළ විභාගය (12 සඳුදා) ආරම්භ වීමට නියමිතයි.

විභාග සඳහා ගම්පහ දිස්ත්‍රික්කය තුළින් වෙනත් දිස්ත්‍රික්කවලට ගමන් කරන සිසුන්ට හා ගම්පහට වෙනත් දිස්ත්‍රික්කවලින් එන සිසුන් පිළිබඳ අවශ්‍ය ප්‍රවාහන ඇතුළු පහසුකම් සපයන බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම අන්තර් ජාලය හරහා තොරතුරු පත්‍රිකාවක් නිකුත් කර දරුවන් ගැන තොරතුරු ගැනීමේ උත්සාහයකද නිරත වන බව අධ්‍යාපන අමාත්‍යංශයේ කොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළා.

++++++++++++++

++++++++++++++

*********************************************

හිටපු පොලිස් ඇමති නොදන්නා ආරක්ෂක ආයතනයක්

(07.10.2020 – 14:23 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධ තොරතුරු විශ්ලේෂණය කර කරුණු ඉදිරිපත් කිරීමට, ‘ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය’ නමින් ආයතනයක් පවතින බව තමා මේ වනතෙක් නොදැන සිටි බව, නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළා.

ඔහු ඊයේ (06) මේ අදහස් පළකළේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබාදෙමින්.

පසුගිය යහපාලන ආණ්ඩුවේ නීතිය හා සාමය පිළිබඳව හිටපු අමාත්‍යවරයකු වන සාගල රත්නායක මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ පළමුවරටයි.

එහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය සාගල රත්නායක මහතාගෙන් විමසා සිටියේ එවකට පැවති නීතිය හා සාමය අමාත්‍යාංශයේ සතිපතා පොලීසිය සමග රැස්වීමක් පැවැත්වූයේද යන්නයි.

සාගල රත්නායක – හිටපු නීතිය හා සාමය අමාත්‍ය :

පැවැත්වුණා, ඒක තිබුණේ සඳුදා. සමහර වෙලාවට සඳුදා අපේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම තිබුණොත් පොලිස් රැස්වීම පැවැත්වීමට හැකියාවක් ලැබුණේ නැහැ.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය :

මෙම අමාත්‍ය ධූරය දැරූ අවුරුදු 2 යි, මාස 3 යි, දින 18 ක කාලය තුළ ඔබ හා පොලීසිය සමග හොඳ සම්බන්ධයක් තිබුණාද රත්නායක මහත්මයා ?

සාගල රත්නායක – හිටපු නීතිය හා සාමය අමාත්‍ය :

ඔව් තිබුණා. නමුත් සමීපව කටයුතු කරන්න බැරි වුණ අවස්ථාත් තිබුණා.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය :

නීතිය හා සාමය අමාත්‍යවරයා වශයෙන් ඔබට රාජ්‍ය බුද්ධි සේවයේ හෝ හමුදා බුද්ධි අංශවල වාර්තා ලැබුණද ?

සාගල රත්නායක – හිටපු නීතිය හා සාමය අමාත්‍ය :

මට හමුදා බුද්ධි අංශවලින් නම් තොරතුරු ලැබුණේ නැහැ. නමුත් ආරක්ෂාවට සම්බන්ධ වැදගත් වාර්තා රාජ්‍ය බුද්ධි සේවය මට නිතරම දුන්නා. එවැනි වාර්තා 407 ක් මට ලැබිලා තියෙනවා.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය :

ඔබ බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම් කීයකට සහභාගී වුණාද ?

සාගල රත්නායක – හිටපු නීතිය හා සාමය අමාත්‍ය :

බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම ගැන නම් මම දැනුවත් නැහැ. නමුත් ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම් 9 කට මට ආරාධනා ලැබිලා තියෙනවා. මම ඒවායෙන් බොහෝමයකට සහභාගී වුණා.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය :

සහරාන් හෂීම් සම්බන්ධයෙන් හා ඔහුව අත්අඩංගුවට ගන්න යනවා කියල ආරක්ෂක කවුන්සිලයේ සාකච්ඡා වුණා ද ?

සාගල රත්නායක – හිටපු නීතිය හා සාමය අමාත්‍ය :

මට මතකයක් නැහැ, එහෙම කතාවුණානම් මට මතක තියෙනවා. එහෙනම් මම අහනවා ඇයි අත්අඩංගුවට ගන්න බැරි, නීතිපතිවරයාගේ උපදෙස් මොනවාද කියලා ?

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය :

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යම් අවස්ථාවක ආරක්ෂක කවුන්සලයේ දී ‘සහරාන්ව වහාම අත්අඩංගුවට ගන්න’ කියලා පොලීසියට නියෝග කළාද ?

සාගල රත්නායක – හිටපු නීතිය හා සාමය අමාත්‍ය :

නැහැ, එහෙම දෙයක් වුණානම් මට මතක තියෙන්න ඕනෙ.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය :

‘ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය’ නම් ආයතනයක් විසින් මෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බුද්ධි අංශ යොමුකරන වාර්තා විශ්ලේෂණය කර තොරතුරු ලබාදෙන බවත්, පවතින අවදානම් තත්ත්වයන් පිළිබඳව දැනුම්වත් කරන බවත් ඔබ හිටපු අමාත්‍යවරයා ලෙස දැනගෙන සිටියාද ?

සාගල රත්නායක – හිටපු නීතිය හා සාමය අමාත්‍ය :

නැහැ ස්වාමීනි. මෙම අවස්ථාවේදී මගෙන් මේ ප්‍රශ්නය අහනකල් මම එහෙම ආයතනයක් තිබෙන බවවත්, එවැනි ක්‍රියාවලියක් සිදුවෙන බවවත් දැන සිටියේ නැහැ.

++++++++++++

*********************************************

හිරු CIA හෙළිකරගත් උඩවලව වේල්ල ආශ්‍රිත අල්ලස් ගැනීම

(07.10.2020 – 14:37 +0530 – hirunews.lk/sinhala)

පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව එල්ල වීමත් සමඟ ආරක්ෂාව තර කර තිබූ උඩවලව වේල්ල ආශ්‍රිත කලාපයේ ආරක්ෂිත තත්ත්වය මේ වන විට මුළුමනින්ම අවදානමට ලක්ව තිබෙනවා.

හිරු CIA කළ ගවේෂණයකදී හෙළිවුණේ මහවැලි ආරක්ෂක නිලධාරීන් මුදල් අල්ලස් ලබාගෙන රාත්‍රි කාලයේදී උඩවලව වේල්ල මතින් කන්ටේනර් ඇතුළු බර වාහන ගමන් කිරීමට අවසර ලබාදෙන බවයි.

අධික බර පැටවූ වාහන වේල්ල මතින් ගමන් කිරීම සඳහා වේල්ලේ ආරක්ෂාවද බරපතල තර්ජනයට ලක්කර තිබෙනවා.

මේ උඩවලව ජලාශය මත ස්ථාපිත කර ඇති උඩවලව වේල්ල ආශ්‍රිත ප්‍රදේශයයි.

මෙම වේල්ල මතින් බර වාහන ගමන් කිරීමට කලකට පෙර අවස්ථාව ලබාදී තිබුණත් පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සමඟ එය නතර කිරීමටයි පියවර ගෙන තිබුණේ.

උඩවලව වේල්ල මතින් දහවල් කාලයේ මේ වන විටත් බර වාහන ගමන් කිරීමට ඉඩ ලබානොදෙන අතර මුදල් අල්ලස් ලබාගෙන රාත්‍රී කාලයේදී කන්ටේනර් ඇතුළු බර වාහනවලට ගමන් කිරීමට ආරක්ෂක අංශ නිලධාරීන් ඉඩ ලබාදෙන බවයි හිරු CIA වෙත තොරතුරු වාර්තා වුණේ.

“දවල්ට යන්න බෑ. රෑට යන්න මේ අය සල්ලි ගන්නවා. ලොරිවලින් රුපියල් 200, 300, 500 ගන්නවා. ලෝඩ් එක වැඩි නම් ඊට වඩා වැඩියෙන් ඉල්ලනවා.”

උඩවලව වේල්ලේ ආරක්ෂාව භාරව පවතින්නේ මහවැලි ආරක්ෂක බලකායටයි.

එම බලකායේ ආරක්ෂක නිලධාරීන් බරවාහන වේල්ල මතින් ගමන් කරවීමට රාත්‍රී කාලයේ හොර රහසේ මුදල් අල්ලස් ලබාගන්නා අයුරු හිරු CIA මෙලෙස නිරීක්ෂණය කළා.

දිනපතා සිදුවන මෙම අල්ලස් ලබා ගන්නා ක්‍රියාවලිය පිළිබඳව අප ආරක්ෂක නිලධාරීන්ගෙන් මෙලෙස ප්‍රශ්න කළා.

“මේ බර වාහනයක්නේ යන්නේ. කොහොමද යන්නේ රෑ බර වාහන ? ඔයගොල්ලෝ සල්ලි අරගෙනනේ යවන්නේ? දවල් වරුවට යවන්නේ නැහැනේ? ඩෑම් එකේ ආරක්ෂාවටනේ යවන්නැත්තේ? ගත්ත සල්ලි පෙන්නන්න. කීයක්ද ගත්තේ? 300 ක්. පිළිගන්නවද වැරැද්ද? ඔව්.”

මෙරට ජාතික ආරක්ෂාවේ දැඩි හිඩසක් පැවති බව පාස්කු ප්‍රහාරය එල්ල වීමෙන් මුළුමහත් ලෝකයටම ඔප්පු වූ කරුණක්.

එවැනි තත්ත්වයක් යටතේ උඩවලව වේල්ලේ ආරක්ෂාව සඳහා යම් නීති ක්‍රියාත්මක කිරීමට බරවාහන ගමන් කිරීම නවතා දැමුවේ නම් මෙලෙස අල්ලස් ලබාගෙන උඩවලව වේල්ලේ ආරක්ෂාව අනතුරේ හෙළීම සුළු කොට තැකිය හැකිද?

අප කළ සොයා බැලීමේදී හෙළි වූ තවත් කරුණක් වූයේ උඩවලව වේල්ල ආශ්‍රිතව ස්ථාපිත කර ඇති CCTV කැමරා පද්ධතියද මේ වන විට අක්‍රීයව පවතින බවයි.

මෙම හෙළි කිරීම් හමුවේ හෝ මෙරට රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව තීන්දු තීරණ ගන්නා බලධාරීන් මේ පිළිබඳව නිසි ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේද?

හිරු CIA මේ පිළිබඳව අවධානයෙන්.

*********************************************

ගම්පහ පදිංචි, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවක සේවිකාවන්ට පොලිසියෙන් දැනුම්දීමක්

(07.10.2020 – 15:07 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ගම්පහ ප්‍රදේශයේ පදිංචි දැනට නිවෙස්වලට හෝ නවාතැන් වෙත පැමිණ සිටින සියලු දෙනා අද (07) පස්වරු හතර (04:00) හෝ ඊට පෙර නම් කළ ස්ථානවලට පැමිණෙන ලෙස පොලිසිය දැනුම් දෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් පිට පදිංචිව සිටින, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවකයන් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත ගොස් තොරතුරු ලබාදෙන ලෙස පොලිසිය දැනුම් දෙනවා.

මෙසේ පැමිණෙන අය නිරෝධායනයට ලක් කිරීමට නියමිත බවත් ඊට පටහැනිව කටයුතු කරන අයට නිරෝධායන ආඥා පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මුලස්ථානය නිවේදනය කළා.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ගම්පහ ප්‍රදේශයේ පදිංචි දැනට නිවෙස්වලට හෝ නවාතැන් වෙත පැමිණ සිටින සියලු දෙනා අද (07) පස්වරු 04:00 හෝ ඊට පෙර පැමිණිය යුතු ස්ථාන පහතින් :

++++++++++++++++

කොවිඩ් 19 වසංගතය පැතිරීයාම පාලනය කිරීමේ අරමුණින් වහාම ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම පළාත තුළ උපකාරක පන්ති පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටවූවීමටට පියවර ගෙන තිබෙනවා.

ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතාගේ උපදෙස් අනුවයි

මේ අතර නැගෙනහිර පළාතේ ද සියළු පෞද්ගලික උපකාරක පන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝග කර තිබෙනවා.

මේ අතර දකුණු පළාතේ ද සියළු පෞද්ගලික උපකාරක පන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට කටයුතු කර තිබෙනවා ෴

++++++++++++++

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන්වූ රෝහලක් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය නම්කර තිබෙනවා.

++++++++++++++++

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන, පොලිස් බල ප්‍රදේශ 12 ක සේවකයන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

(07.10.2020 – 16:42 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන වත්තල, ජාඇල, කඳාන, බියගම, කිරිබත්ගොඩ, සපුගස්කන්ද, පෑලියගොඩ, කැලණිය, කඩවත, මීගහවත්ත, රාගම සහ මහබාගේ ප්‍රදේශවල පදිංචි සේවක සේවිකාවන්ට අද (07) පස්වරු හය (06:00) හෝ ඊට පෙර නම් කළ ස්ථාන වෙත පැමිණෙන ලෙස පොලිසිය දැනුම් දෙනවා.

ඒ අනුව වත්තල පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවන් පල්ලිය පටුමග රථගාල වෙතටත්, කඳානේ පදිංචිකරුවන් කඳාන පොලිසිය ඉදිරිපිටටත්, ජාඇල පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවන් ජාඇල පොලිසිය ඉදිරිපිටටත් පැමිණෙන ලෙසයි දැනුම් දෙන්නේ.

එසේම, බියගම පොලිස් බල ප්‍රදේශයේ පදිංචි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයින් බියගම පොලිසිය ඉදිරිපිටට සහ කිරිබත්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවන්ට කිරිබත්ගොඩ පොලිසිය ඉදිරිපිටටත් පැමිණෙන ලෙස දැනුම් දෙනවා.

මීට අමතරව සපුගස්කන්ද පොලිස් බල ප්‍රදේශයේ පදිංචි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන සේවක සේවිකාවන් සපුගස්කන්ද පොලිසිය ඉදිරිපිටට සහ පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවන් ධර්මදාස ක්‍රීඩාංගනයටත්, කැලණියේ පදිංචිකරුවන් කැලණිය පොලිසිය ඉදිරිපිට රථ ගාලටත්, කඩවත පදිංචිකරුවන් කඩවත අධිවේගී පාලම අසල හිස් ඉඩම වෙතටත් පැමිණෙන ලෙස දැනුම් දෙනවා.

එසේම, මීගහවත්ත පොලිස් බල ප්‍රදේශයේ පදිංචි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් උඩුපිල හන්දිය ගොවිජන සේවා මධ්‍යස්ථානය අසලටත්, රාගම පදිංචිකරුවන් බැසිලිකා ක්‍රීඩාංගනයටත්, මහබාගේ පදිංචිකරුවන් වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලටත් පැමිණෙන ලෙසයි පොලිස් මූලස්ථානය දැනුම් දෙන්නේ.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ඉහත ප්‍රදේශවලට පරිබාහිරව වෙනත් ප්‍රදේශවල පදිංචි හෝ නවාතැන්ගෙන සිටින අය ළඟම පිහිටි පොලිස් ස්ථානයට තම විස්තර ලබාදෙන ලෙසද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් නිවේදනය කළා.

එසේ පැමිණෙන අය සම්බන්ධයෙන් නිරෝධායන කටයුතු සිදුකිරීමට නියමිත අතර, ඊට පටහැනිව කටයුතු කරන අයට නිරෝධායන ආඥා පනත යටතේ ක්‍රියා කෙරෙනවා.

එම ස්ථාන පහතින් :

+++++++++++++

(07.10.2020 – 17:09 +0530 – sinhala.adaderana.lk)

වැලිසර බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවකයෙකු කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හදුනාගෙන තිබේ ෴

+++++++++++++

ඇඟලුම් සේවිකාවන්ට බෙහෙත් කළ ඩොක්ටර්ටත් කොරෝනා

(07.10.2020 – 15:21 +0530 – aruna.lk)

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්ථා වෙයි.

මේ වන විට ආසාදිත වෛද්‍යවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච්. රෝහල් වෙත යැවීමට පියවර ගෙන ඇති බව ගම්පහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා පැවසීය.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙහි සේවිකාවන් කිහිපදෙනෙකුට මෙම වෛද්‍යවරයා ඔහුගේ පෞද්ගලික බෙහෙත් ශාලාවෙන් එම සේවිකාවන්ට ප්‍රතිකාර ලබා දී ඇති බව අනාවරණය වී ඇත ෴

+++++++++++++++

උතුරු මැද සහ ඌව පළාත තුළත් උපකාරක පන්ති පැවැත්වීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

මේ වනවිට බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම, නැගෙනහිර,උතුරු මැද සහ ඌව යන පළාත්වල මෙන්ම යාපනය දිස්ත්‍රික්කයේද උපකාරක පන්ති පැවැත්වීම අත්හිටුවා තිබෙනවා ෴

+++++++++++++++

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයන් 4 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මීට අමතර වැලිසර බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයෙකුට කොරෝනා අසාදනය වී ඇති බවත් කටුනායක ගුවන්තොටුපොලේ පිරිසිදු කිරීමේ සේවකයෙකුට ද කොරෝනා වැළඳී ඇති බවත් යුද හමුදාපතිවරයා තහවුරු කළා ෴

***************************************

ගම්පහ ඒකල ප්‍රදේශයේ සත්ව ආහාර නිශ්පාදනාගාරයක් වටලා රුපියල් ලක්ෂ 50 ක් වටිනා පොළොන්නරුව ප්‍රදේශයෙන් ගෙන්වු පරිභෝජනයට ගතහැකි සහල් ‍ටොන් 100 ක් සහ ලොරි රථ 10 ක් පාරිබෝගික කටයුතු අධිකාරිය විසින් පාරිබෝගික කටයුතු පිළිබද අධිකාරිය භාරයට ගෙන තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *