දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය

දිවයිනේ සියලු පාසල් සඳහා දෙවන (2) වාර නිවාඩුව හෙට (05) ඇරඹෙයි

මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල ආරක්ෂක හමුදා සාමාජිකයන්ට දැනුම්දීමක්

රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් නිදහස් කිරීම ගැන විවිධ අදහස්

ශ්‍රී ලංකාවේ විශාලතම විල විනාශවීමේ අවධානමක

කබලෙන් ලිපට වැටුනු ලොකු ලූනු ගොවීන්

රොබෝවරුන් සේවයට යොදාගත් සීදූවේ අවන්හල

20 ගැන සමාජය තුළ දුර්මත ඇති කිරීමේ විපක්ෂයේ උත්සාහයක් අගමැති හෙළි කරයි

දිවුලපිටිය කාන්තාවට වෛසරය වැළඳුණු ආකාරය තවමත් අභිරහසක්

අත් බෑගයක සඟවා සිටි රුපියල් එක් ලක්ෂ අසූදහසක කේරළ ගංජා සමඟ කාන්තාවක් අත්අඩංගුවට

කටුවාපිටියෙන් මතු වූ විරෝධය

ජාවාරම්කරුවන් පිරිසක් මොනරාගල ‘අද දෙරණ’ වාර්තාකරුට පහරදෙයි

‘වෙන්ඩ ජනාධිපති’ගේ ‘ඩීල්’ දේශපාලනය කරළියට ඇවිත් – මහාචාර්ය නලින් ද සිල්වා

20 ගැන අගමැතිතුමාගේ නිවේදනයෙන් කියවෙන්නේ අර්ධ සත්‍යයකි – ජාතික සංවිධාන කියයි

*********************************************

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය

(04.10.2020 – 09:36 +0530 – hirunews.lk/sinhala)

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

ඒ දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හමුවීමත් සමගයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම ප්‍රදේශවලට නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි.

ඇඳිරි නීති කාලය තුල අදාළ ප්‍රදේශවල සියලුම තැනැත්තන් තම නිවෙස්වල රැඳී සිටිය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළා.

එමෙන්ම මෙම කාලය තුළ අදාළ ප්‍රදේශවලට ඇතුලුවීම එම ප්‍රදේශවලින් පිටවීම සහ ප්‍රදේශය හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන් තහනම් වනවා.

දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් කොරෝනා වෛරස් ආසාදිතයෙක් බවට හඳුනා ගැනුණු අතර ඇය මේවන විට අයි.ඩී.එච්. රෝහලට ඇතුලත් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම කාන්තාව උණ රෝගී තත්වයක් හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී රෝගය සුව වී නිවසට යන අවස්ථාවේ සිදු කළ PCR පරීක්ෂණයකිනුයි කොරෝනා ආසාදිතයෙක් බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු පමණ සහ එම කාන්තාව සේවය කළ පෞද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 40 දෙනෙකු පමණ ඔවුන්ගේ නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා.

තවදුරටත් ආශ්‍රිතයන් හඳුනාගනිමින් සිටින අතර එම කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ පරීක්ෂණ සිදු කරමින් පවතින අතර එම ආශ්‍රිතයින් සම්බන්ධයෙන් ලැබෙන පරීක්ෂණ ප්‍රතිඵල මත තවදුරටත් අවශ්‍ය පියවර ගනු ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියාසිටියේ.

මෙම අවස්ථාවේදී ජනතාව වඩාත් සැලකිළිමත්ව සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.

+++++++++++++++

කොවිඩ් 19 ආසාදිත කාන්තාව සේවය කළ ඇඟළුම් කම්හල අයත් සමාගමෙන් නිවේදනයක්

(04.10.2020 – 11:11 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 ආසාදිත කාන්තාවක හමුවූ මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල අයත්වන බ්‍රැන්ඩික්ස් සමූහය ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමඟින් සඳහන් කළේ සිය ආයතනයේ දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර තිබූ අතර, කඩිනම් ප්‍රතිචාර දැක්වීම මගින් මෙම කොවිඩ් ආසාදිත කාන්තාව කළින්ම හඳුනාගැනීමට හැකිවූ බවයි.

ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ අදාළ සෞඛ්‍ය බලධාරින් වෙතින් ඉමහත් සහයක් හිමිවී තිබෙනවා.

ඒ අනුව අදාළ ආසාදිත කාන්තාව ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච්. රෝහල වෙත වහා මාරුකර යැවීමට පියවර ගැනීම තුළින් වෛරසය තවදුරටත් පැතිරීමේ අවදානම අවම කරගැනීමට හැකිවූ බවයි බ්‍රැන්ඩික්ස් ආයතනය සඳහන් කළේ.

අදාළ ක්‍රියාවලිය පුරාම බලධාරීන්ට උපරිම සහය දැක්වීමටත් ඔවුන්ගේ උපදෙස් පැතීමටත් කටයුතු කෙරෙනවා.

වෛරසය පැතිරීම වළක්වාලීම මුළුමනින්ම සහතික කරලීම සඳහා වහා සියලු පියවර ගැනීමට කටයුතු යොදා තිබෙනවා.

ආසාදිත කාන්තාව සේවය කළ කම්හල් පරිශ්‍රය දැඩි විෂබීජානුහරණයට ලක් කිරිමද ඊට ඇතුළත්.

එම කාන්තාව සමඟ සමීපව සම්බන්ධ වූ සේවා ස්ථානයේ තවත් සේවකයන් 40 දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වහා ස්වයං නිරෝධායනයට ලක් කෙරෙන අතර, ඉදිරියේදී පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට පියවර ගැනෙනවා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් ඇතුලු සියලු අංශවලින් ලැබෙන සහයට කෘතඥ වන අතර, සේවකයන්ගේ සහ ඔවුන්ගේ ප්‍රජාවන්හි සුරක්ෂිතතාව උපරිම අන්දමින් පත්වාගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කරන බවයි බ්‍රැන්ඩික්ස් ආයතනය සිය නිවේදනය මගින් අවධාරණය කළේ ෴

+++++++++++++++

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසල්, උපකාරක පංති සහ පිරිවෙන් සතියක් වැසේ

(04.10.2020 – 12:06 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පාසල්, උපකාරක පන්ති සහ පිරිවෙන් අද (04) සිට සතියක කාලයක් වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ, ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිත කාන්තාවක හමුවීමත් සමඟයි ෴

++++++++++++++

දිවයිනේ සියලු පෙර පාසල් ද හෙට (05) සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ලබන 09 වනදා සිට ආරම්භ වීමට නියමිත ව තිබු දෙවන පාසල් වාර නිවාඩුව ද හෙට (05) සිට ක්‍රියාත්මක වන බැවින් ඊට සමගාමීවයි පෙර පාසල් වසා දැමීමට තීරණය කර ඇත්තේ ෴

*********************************************

දිවයිනේ සියලු පාසල් සඳහා දෙවන (2) වාර නිවාඩුව හෙට (05) ඇරඹෙයි

(04.10.2020 – 12:37 +0530 – hirunews.lk/sinhala)

ලබන 09 වනදා ආරම්භ වීමට නියමිත ව තිබු දෙවන පාසල් වාර නිවාඩුව හෙට (05) සිට ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ අනුව දිවයිනේ සියලුම රජයේ පාසල් සඳහා දෙවන වාර නිවාඩුව හෙට (05) සිට ක්‍රියාත්මක වනු ඇති.

දිවයිනේ සියලුම කතෝලික පාසල්ද අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණයට අනුව හෙට (05) සිට දෙවන වාර නිවාඩුව ආරම්භ කරන බව එම පාසල් සංසදය නිවේදනය කළා.

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම උපකාරක පන්ති සහ පිරිවෙන් ද අද (04) සිට සතියක කාලයක් වසා තැබීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කළේ.

මේ අතර ගම්පහ – දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

ඒ, උණ රෝගී තත්ත්වයකට ගම්පහ රෝහලෙන් ප්‍රතිකාර ලබාගත් දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟයි.

ඒ අනුව දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශවලට ඇතුලුවීම සහ පිටවීම සඳහාද දැඩි සංචරණ සීමා පනවනු ලැබුවා.

පසුගිය සැප්තැම්බර් මස 30 වනදා ගම්පහ රෝහලට දිවුලපිටියේ පදිංචි 39 හැවිරිදි මෙම කාන්තාව ඇතුළත් කර ඇත්තේ උණ රෝගී තත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමටයි.

දින කිහිපයකට පසු අදාළ කාන්තාව සුවය ලබා තිබීම හේතුවෙන් රෝහලෙන් පිටත් කර තිබෙනවා.

රට තුළ පවතින නිරෝධායන නීතිරීතින්වලට අදාළව සෑම රෝහලකම රෝගීන්ගේ කොවිඩ් 19 පර්යේෂණ නියැදි ලබාගන්නා අතර, ඒ අනුවයි සැකසහිත රෝග ලක්ෂණ පෙන්නුම් නොකළද මෙම කාන්තාව, පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇත්තේ.

එහිදී අදාළ කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වී තිබෙනවා.

මෙම තහවුරුවීමත් සමග ගම්පහ රෝහල තුළදී ඇයට ප්‍රතිකාර කළ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු වහාම ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.

රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් පතිරණ මහතා ප්‍රකාශ කළේ රෝහල වසා දැමීමේ තීන්දුවක් මේ වනතුරුත් ගෙන නොමැති බවයි.

සේවිකාවකට කොරෝනා ආසාදනය වූ බවට අනාවරණ වීමත් සමඟ ඇය සේවය කළ බ්‍රැන්ඩික්ස් සමූහයට අයත් අදාළ ඇඟලුම් කම්හලේ සේවකයන් 40 දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.

මේ අතර හමුදා බුද්ධි අංශ සහ සෞඛ්‍ය අංශ ඒකාබද්ධව මෙම ඇඟළුම් කම්හල් සේවිකාවට කොරෝනා ආසාදනය වූ මූලාශ්‍රය සොයාගැනීම සඳහා පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කළේ සමාජයෙන් රෝගියෙකු හමුවීමත් සමඟ කොරෝනා වැළැක්වීමට නිර්දේශිත සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් දැඩිව ජනතාව සිහිතබා ගත යුතුව ඇති බවයි.

මෙම සිද්ධියත් සමඟ තවත් තෝරාගත් සියදෙනෙකුට වැඩි දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට බලාපොරොත්තු වන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

+++++++++++++

කැළණිය විශ්ව විද්‍යාලය, යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනය සහ නයිවල උසස් තාක්ෂණ ආයතනය හෙට (05) සිට යළි දැනුම්දෙන තෙක් වසා තැබෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසනවා ෴

*********************************************

මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල ආරක්ෂක හමුදා සාමාජිකයන්ට දැනුම්දීමක්

(04.10.2020 – 13:55 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල සිටින යුද, ගුවන්, නාවික සහ සිවිල් ආරක්ෂක බලකායන්හි රාජකාරි කරන සියලුම නිලධාරීන්ට දැනුම්දෙන තුරු රාජකාරි ස්ථානවලට වාර්තා නොකරන ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කළා.

ගම්පහ සහ මිනුවන්ගොඩ ප්‍රදේශ හැර ගම්පහ දිස්ත්‍රික්කය තුල සිටින අනෙක් ආරක්ෂක අංශ සාමාජිකයන් හෙට 2020-10-05 දින පමණක් රාජකාරීවලට රපෝර්තු නොකරන ලෙසට දන්වා තිබෙනවා.

එමෙන්ම මෙම ප්‍රදේශවල කඳවුරු තුල සිටින නිලධාරීන් කඳවුරු තුලම රඳවා ගන්නා ලෙසටයි වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත්තේ.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කොවිඩ් 19 වසංගතය සමාජගතවීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ ලබාදී ඇති මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කිරීම තවදුරටත් සිදුකළ යුතු බවයි.

මේ අතර, කැළණිය විශ්වවිද්‍යාලය, නයිවල උසස් තාක්ෂණ ආයතනය සහ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ආයතනයද තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම මහර සහ මීගමුව බන්ධනාගාරවලට රැඳවියන් බැලීමට පැමිණීමද තාවකාලිකව අත්හිටුවීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගත්තේ.

එමෙන්ම ගුවන් තොටුපල තුළ පිහිටි පැමිණීමේ සහ පිටවීමේ පර්යන්තයේ ඇති ආලින්දවලටද ගුවන් මගීන් සමඟ පැමිණෙන අමුත්තන්ට පිවිසීම තාවකාලිකව නතර කර තිබෙනවා.

ඒ හා සමගාමීව ගුවන් තොටුපල මහජන ක්‍ෂේත්‍ර මණ්ඩපයද තාවකාලිකව වසා දමා ඇති බවයි ගුවන් තොටුපල කාර්යභාර නිලධාරිවරයා සඳහන් කළේ ෴

+++++++++++++++

හෙට (05) සිට මගී ප්‍රවාහන බස් රථවල සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව

(04.10.2020 – 16:29 +0530 – hirunews.lk/sinhala)

හෙට (05) සිට සියළුම මගී ප්‍රවාහන බස් රථවල සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව ක්‍රියාත්මක කරන බව බස් රථ ප්‍රවාහන සේවා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් මගීන් බස් රථවල ගමන් කළ යුතු අතර, මුව ආවරණ පැළදීම අනිවාර්ය බවයි ඔහු සඳහන් කළේ.

එසේම දුම්රිය ස්ථාන වෙත පිවිසීමේදී ද පෙර දැනුවත් කළ පරිදි අත් සෝදා මුව ආවරණ පැළඳ පැමණිය යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුව ද අවධාරණය කළා ෴

හෙට (05) දිනයේ පැවැත්වෙන රජයේ කාර්යාලවල මහජන දිනය මෙම සතිය තුල නොපැවැත්වෙන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා නිවේදනයක් මඟින් දන්වා සිටිනවා.

මීළඟ සතියේ පැවැත්වීමට නියමිත මහජන දිනය සම්බන්ධව පසුව දැනුම් දෙන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

+++++++++++

අනිවාර්ය මුහුණු ආවරණ, අත් සේදීම සහ උෂ්ණත්ව පරීක්ෂාවන් ඇතුළු දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ හෙට(05) සිට සියලුම දුම්රිය ස්ථානවලදී ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා ෴

+++++++++++

කොරෝනා ආසාදිත කාන්තාව හඳුනා ගැනීමත් සමඟ දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පුද්ගලයින් 430 කට වැඩි පිරිසක් මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුද්ගලයින් 250 කට වැඩි පිරිසකුත්, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුද්ගලයින් 180 කට වැඩි පිරිසක් මෙලෙස ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ.

+++++++++++

එමෙන්ම, හෙට(05) දිනයේදී අදාළ කාන්තාව සේවය කළ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් 1600 කට ද පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර, හෙට (05) දින රජයේ කාර්යාලයන් හි පැවැත්වෙන මහජන දිනය නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම සතිය තුළ මහජන දිනය නොපැවැත්වෙන අතර, මීළඟ සතියේ පැවැත්වීමට නියමිත මහජන දිනය සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා කියා සිටියේ ෴

++++++++++++++

දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාවගේ දියණියටත් කොරෝනා

(04.10.2020 – 17:29 +0530 – hirunews.lk/sinhala)

දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කොරෝනා ආසාදිත ඇඟලුම් සේවිකාවගේ 16 හැවිරිදි දියණියට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ, අද (04) සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදීයි.

ඒ අනුව මේ වන විට හබරාදූව නිරෝධායනය මධ්‍යස්ථානයේ රඳවා සිටින ඇයව කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයෙකු උණ රෝගයෙන් පෙළෙන්නේ නම් වහාම ළඟම පිහිටි රෝහල වෙත ගොස් පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු වන ලෙස වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

++++++++++++++

++++++++++++++

ඇඳිරි නීති බලපත්‍ර අවශ්‍ය මිනුවන්ගොඩ සහ දිවුලපිටිය යන ප්‍රදේශවල පුද්ගලයින්ට,මිනුවන්ගොඩ සහකාර පොලිස් අධිකාරී සී. පීරිස් මහතා ඇමතීමෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකි වනවා.

ඒ පිළිබඳ 071 859 1617 යන දුරකථන අංකය ඔස්සේ වැඩි විස්තර දැන ගැනීමට අවස්ථාව පවතිනවා ෴

++++++++++++++

වහාම ක්‍රියාත්මකවන පරිදි ලංගම සහ පෞද්ගලික බස් රථවල මගීන් ප්‍රවාහනය කළ හැක්කේ ආසාන ප්‍රමාණයට පමණක් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි ෴

*********************************************

රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් නිදහස් කිරීම ගැන විවිධ අදහස්

(04.10.2020 – 14:29 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ පරික්ෂණවලට අදාළව අත්අඩංගුවට ගැණුනු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් නිදහස් කිරීම පිළිබඳව පූජ්‍ය පක්ෂය ඇතුළු දේශපාලනඥයින් අදහස් පළ කළා.

+++++++++++++++

“රිෂාඩ් බදියුදීන් සමඟ ඩීල් නැහැ” – ජනපති කියයි

(04.10.2020 – 15:42 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සමඟ කිසිදු දේශපාලන ‘ඩීල් එකක්’ ඇති කරගෙන නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ නිලධාරීන් අතින් යම් අතපසුවීමක්, අත්වැරැද්දක් සිදුවී ඇත්නම් ඒවා නිවැරදි කිරීමට තමන් කටයුතු කරන බවයි.

එමෙන්ම, පසුගිය කාලයේ සිදුවූ ආකාරයට පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හෝ අත්තනෝමතිකව නිදහස් කිරීමේ බලය දේශපාලනඥයින් අතට පත් කිරීමට තමා සූදානම් නොමැති බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

++++++++++++++++

කාදිනල් හිමි සියලුම කතෝලික මැතිඇමැතිවරුන් කැඳවයි

(04.10.2020 – 16:07 +0530 – lankaleadnews.com)

අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම කතෝලික මැති ඇමැතිවරුන් කැඳවීමට පියවර ගෙන ඇත.

මෙම හමුව ලබන අගහරුවාදා (06) සවස 2 ට කොළඹ අගරදගුරු නිල නිවෙසේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙහිදී පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් දැනට මතුව ඇති තත්ත්වය පිළිබදව කාදිනල් හිමිපාණන් විසින් කතෝලික මැතිඇමැතිවරුන් දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය සතියේ රහස් පොලිසිය විසින් සාක්ෂි නොමැති බව පවසමින් රිෂාඩ් බදුර්දීන්ගේ සොයුරු රියාජ් බදුර්දීන් මාස 5 කට පසුව නිදහස් කිරීම සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් මාධ්‍ය හමුවේ දැඩිව අදහස් පළ කිරීමට පියවර ගෙන තිබිණ.

එහිදී උන්සවහන්සේ කියා සිටියේ සිදුවන ඇතැම් සිදුවීම් දෙස බලන විට ආණ්ඩුව කිසියම් දේශපාලන ඩීල් එකක සිටින බවට සැකයක් මතු වන බවකි ෴

*********************************************

ශ්‍රී ලංකාවේ විශාලතම විල විනාශවීමේ අවධානමක

(04.10.2020 – 14:34 +0530 – hirunews.lk/sinhala)

මෙරට විශාලතම ස්වාභාවික විල වන සේරුවිල විල විනාශවී යාමේ දැඩි අවදානමක් පවතින බව සේරුවිල විල්ගම්වෙහෙර විහාරාධිපති හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ අදහස් පළකළේ සේරුවිල වාරි ගැටලු සාකච්ඡා කිරීම සදහා පැවති සාකච්ඡාවකදීයි.

සේරුවිල පින් බිම පිහිටා ඇත්තේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ.

එමෙන්ම, ‘සේරු-පැමිණි-විල’ සේරුවාවිල ලෙස නම් කළ බව ඉතිහාසයේ කියැවෙනවා.

දුරාතීතයේ රහතන් වහන්සේලා පැන් පහසුව සඳහා මෙම විලට නිබඳව වැඩිය බවත් එසේ ‘සිවුරු-ආ-විල’ පසු කලෙක සේරුවාවිල ලෙස කට වහරට සම්බන්ධ වු බවත් ජන වහරේ පැවැත එන තවත් මතයක්.

13 වැනි සියවෙසහි රචිත ධාතු වංශයට අනුව ගෞතම බුදුරජානන් වහන්සේ තෙවැනි වරට ලංකාවට වැඩිය අවස්ථාවේ, මෙම පුද බිමෙහි චෛත්‍යය පිහිට වු ස්ථානයේ නිරෝධ සමාපත්ති සුවයෙන් සම වැදි සිටි බවත් ඉතිහාසයේ සදහන්වනවා.

සිංහල ධාතු වංශය, පාලි ධාතු වංශය ආදි ඓතිහාසික වංශ කතා ගණනාවක සදහන්වන ආකාරයට ශ්‍රී ලංකාවේ විශාලතම ස්වාභාවික විල ලෙසින් සැලකෙන්නේද සේරුවිල විලයි.

මෙවන් ඓතිහාසික සහ පුජනීය වශයෙන් ඉතා වැදගත් ස්ථානයකට හිමිකම් කියන සේරුවිල වර්තමානය වන විට විනාශ වෙමින් පවතින බවට සේරුවිල විල්ගම්වෙහෙර විහාරධිපති හිමියන් පෙන්වා දුන්නේ ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකදීයි.

මෙහිදී රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සදහන් කළේ සේරුවිල සංරක්ෂණය සදහා කඩිනම් පියවර ගන්නා බවයි.

*********************************************

කබලෙන් ලිපට වැටුනු ලොකු ලූනු ගොවීන්

(04.10.2020 – 14:40 +0530 – hirunews.lk/sinhala)

ඕනෑම ගොවියෙකුගේ සිහිනය සරු අස්වැන්නක්.

නමුත් වන අලින් නිසා එය සිහිනයක්ම පමණක් බවට පත්වූ ගොවියන් පිරිසක් පිළිබඳව අපට බකමූණ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ශ්‍රී ලාංකීය ජනතාවගේ අත්‍යාවශ්‍ය කුළුබඩු පරිභෝජන ආහාර ද්‍රව්‍ය අතර ලොකු ලූනු සඳහා හිමිවන්නේ ප්‍රධාන ස්ථානයක්.

ඒ හේතුවෙන් බකමූණ ජයසිරිපුර ගඟේයාය ප්‍රදේශයේ වගාකරුවන් මෙවර වී වගාවට අමතරව ලොකු ලූනු වගාව කෙරෙහි යොමුවුණේ සරු අස්වැන්නක බලාරොත්තු පෙරදැරිවයි.

නමුත් ඒ සියල්ල සිහිනයක් බවට පත්ව ඇත්තේ වන අලින්ගේ ගම්වැදීම් නිසායි.

සරු අස්වැන්නක් ලබා ගැනීමට නම් ලොකු ලූණු බීජ දින 96 ක් පමණ පොළව අභ්‍යන්තරයේ තැබිය යුතුයි.

නමුත් දින 70 ත් 75 අතර කාලයකින් ලොකු ලූණු ගලවා ඉවත් කරන්නට ගම්වාසින් කටයුතු කරන්නේ වන අලින්ගෙන් සිදුවන හානිය අවම කර ගැනීමේ අපේක්ෂාවෙන්.

මේ හේතුවෙන් ගොවි ජනතාවට සිදුව ඇත්තේ කබලෙන් ලිපට වැටීමටයි.

නිසි කලට වැඩීමක් නොවුණ ලොකු ලූනු ගලවා ඉවත් කිරීම හරහා තම අපේක්ෂා බිඳවැටී ඇති බව ගොවීන් පෙන්වා දෙනවා.

වගාකරුවන් ඉල්ලා සිටින්නේ තම වගාවන් පමණක් නොව ජීවිතද ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අබලන් තත්ත්වයේ ඇති අලිවැට හැකි ඉක්මණින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි.

*********************************************

රොබෝවරුන් සේවයට යොදාගත් සීදූවේ අවන්හල

(04.10.2020 – 14:54 +0530 – hirunews.lk/sinhala)

කුඩා, මහළු ඔබ අප සියලුදෙනාම කෑම වේලක් ගැනීම සඳහා ආපන ශාලාවකට ගොඩ නොවී ඉන්නට නම් විදිහක් නැහැ.

මේ තොරතුරු වෙනස්ම විදිහේ ආපන ශාලාවක් පිළිබඳවයි.

මේ සීදුව ලියනගේ මුල්ලේ තිබෙන කැෆේ රෝබෝ ආපනශාලාවයි.

මෙම ආපනශාලාවේ විශේෂත්වය වන්නේ මුළුතැන්ගෙයි පිසින ලද ආහාරපාන පාරිභෝගිකයින්ට පිළිගන්වන්නේ රෝබෝවරු වීමයි.

මෙම රොබෝවරු මෙලෙස නිර්මාණය වන්නේ වසර තුනක ප්‍රතිඵලයක් ලෙසින්.

අනාගතයේදී මෙරට ආපනශාලා තුළ පමණක් නොව අනෙකුත් සෑම ක්ෂේත්‍රයක් සඳහාම මෙම රෝබෝ ආකෘතිය ලබා දීමටයි ඔවුන්ගේ බලාපොරොත්තුව.

***************************************

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ නුවන් වෙදසිංහට ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා. ඒ, බස්නාහිර පළාත උතුර දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.

එම තනතුරේ මෙතෙක් කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බවයි වාර්තා වන්නේ ෴

***************************************

අසල්වැසි නිවසක පදිංචි 13 හැවිරිදි දැරියක් දූෂණය කළ බව කියන අවිවාහක තරුණයෙකු අද (04) සැකපිට අත්අඩංගුවට ගත් බව මඩොල්සිම පොලීසිය පවසනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 26 ක මඩොල්සිම පොලිස් වසමේ සූරියගොල්ල පහළතැන්න පිටමාරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම දැරිය තම මිත්තණියගේ නිවස වෙත යමින් සිටියදී සැකකරු විසින් ඔහුගේ නිවස තුළට ඇද ගෙන ගොස් දූෂණය කර තිබෙන බවට අනාවරණය වී තිබෙනවා.

දූෂණයට ලක්වූ බව කියන දැරිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීම සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කළ බව සඳහන්.

අදාළ සැකකරු බදුල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මඩොල්සිම පොලීසිය විසින් ක්‍රියාත්මකයි ෴

***************************************

නීතිවිරෝධී ලෙස සතුන්ට ඇටවූ විදුලි රැහැනක ගැටී කාන්තාවන් දෙදෙනෙකු (2) මිය යාම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට දින 4 කට පෙර මෙලෙස විදුලි රැහැනක ගැටී මිය ගොස් තිබුණේ මාවනැල්ල – අඹදෙනිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සහ 67 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක් (2).

පසුව අදාළ පුද්ගලයා විසින් නීතියේ රැහැනින් බේරීම සඳහා මෙම මළ සිරුරු සිද්ධිය වූ ස්ථානයට ආසන්නයේ කැළෑබඳ ප්‍රදේශයක සඟවා තිබෙනවා.

පසුව පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන මළ සිරුරු සොයා ගන්නා අවස්ථාවේ ඒවා නරක් වී තිබූ බවයි හිරු වාර්තාතරු සදහන් කළේ.

මේ අතර, මීගමුව – සෙත්තපාඩුව – කම්මල්තොට මෝයකට අසල මුහුදේ දියනෑමට ගොස් අතුරුදන් වූ තරුණයන් තුන්දෙනාගේ (3) සිරුරු අද (04) පෙරවරුවේ නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.

ඊයේ (03) පස්වරුවේ අතුරුදන් තරුණයන් තුන්දෙනා (3) තවත් සිව් දෙනෙකු (4) සමඟ මුහුදේ දිය නෑමට ගොස් තිබුණා.

මොවුන් 20 ත් 24 ත් අතර වයස්වල පසුවන තලවකැලේ සහ නමුණුකුල ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴

*********************************************

20 ගැන සමාජය තුළ දුර්මත ඇති කිරීමේ විපක්ෂයේ උත්සාහයක් අගමැති හෙළි කරයි

(04.10.2020 – 19:22 +0530 – hirunews.lk/sinhala)

20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් විගනකාධිපතිවරයාගේ බලතල කප්පාදු වන බවට විපක්ෂය විසින් සමාජය තුළ දුර්මත ඇති කිරීමට උත්සාහ කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

20 වන සංශෝධනය තුළින් සිදුකෙරෙන්නේ විගනකාධිපතිවරයා සම්බන්ධ වගන්ති වලට 19 වන සංශෝධනයෙන් ඇති කළ වෙනස්කම් අහෝසි කර ඊට පෙර ව්‍යවස්ථාවේ තිබූ වගන්ති එලෙසම යළි ස්ථාපිත කිරීම පමණක් බවයි නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

විගනකාධිපතිවරයා සම්බන්ධ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන කලාතුරකින් ජනතාවගේ අවධානයට යොමු වීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් දුර්මත ප්‍රචාරය කිරීම විපක්ෂයට පහසු කාර්යයක් වී ඇති බව ද අග්‍රාමාත්‍ය සිය නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.

20 වන සංශෝධනයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයත්, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් විගනකාධිපතිවරයාගේ වපසරියෙන් ඉවත් කරන බව විපක්ෂය ගෙන යන අසත්‍ය ප්‍රචාරයක් බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

1978 ව්‍යවස්ථාවේ ආරම්භයේ සිටම ජනාධිපති ලේකම් කාර්යාලයත්, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් විගනකාධිපතිවරයාගේ වපසරිය තුළ පැවති බව සිය නිවේදනයෙන් පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා, 20 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ද ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය රජයේ දෙපාර්තමේන්තු ලෙස විගනකාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ අඛණ්ඩව පවතින බවයි කියා සිටියේ.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය සඳහන් කර ඇත්තේ යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කළ සංශෝධන කිසිවක් ඇතුළත් කර නොමැති බවයි.

එලෙස ඉදිරිපත් කළ සංශෝධන ත්‍රිත්වයක් පිළිබඳව මේ වනවිට මහජන මතයක්ද ගොඩනැගී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය වෙනුවෙන් එම ලිපිය යොමු කළ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් එස්. විජේසිරි මහතා පෙන්වා දී තිබෙනවා.

*********************************************

දිවුලපිටිය කාන්තාවට වෛසරය වැළඳුණු ආකාරය තවමත් අභිරහසක්

(04.10.2020 – 19:39 +0530 – hirunews.lk/sinhala)

දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කොරෝනා ආසාදිත ඇඟලුම් සේවිකාවගේ 16 හැවිරිදි දියණියට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ, කරාපිටිය ශික්ෂණ රෝහලේ අද (04) සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදීයි.

ඒ අනුව මේ වන විට හබරාදූව නිරෝධායනය මධ්‍යස්ථානයේ රඳවා සිටින ඇයව කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත රැගෙන එන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දිවුලපිටිය – බෝඹුගම්මන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අදාළ ඇඟලුම් සේවිකාවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූයේ ඊයේ (03) දිනයේදියි.

මෙලෙස සමාජය තුළින් කොරෝනා රෝගියෙකු වාර්තා වූයේ මාස දෙකකට (2) පමණ පසුව වීම විශේෂත්වයක්.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ ඇය පසුගිය 28 වන දා රෝගී තත්ත්වයකට ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි.

පසුව ඉකුත් 30 වන දා ශ්වසන අපහසුතාවක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් වී තිබෙනවා.

දින එක හමාරකට (1½) පමණ පසුව ඇගේ රෝගී තත්ත්වය අඩු වීම හේතුවෙන් නිවසට යන අවස්ථාවේදී අහඹු පී.සී.ආර්. පරීක්ෂණයක් ඇයට සිදුකෙරුණා.

එම කාන්තාව කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත්තේ නිවසට පැමිණීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත්, කොළඹ අද (4) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අදාළ කාන්තාවට කොරෝනා ආසාදනය වූ මූලාශ්‍රය මෙතෙක් හඳුනා ගැනීමට නොහැකි වී ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් මෙම කාන්තාවගේ සැමියා කුලී ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කරන අතර, දරුවන් සිව් (4) දෙනාගෙන් දියණියක සහ පිරිමි දරුවෙකු දිවුලපිටිය ප්‍රදේශයේ පාසල් දෙකක (2) අධ්‍යාපනය ලබනවා.

ඔවුන්ගෙන් 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පිරිමි දරුවා කොරෝනා ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු පාසල් යළි විවෘත කළ ද පාසල වෙත ගොස් නොමැති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

අද (04) කොරෝනා වැළදී ඇති බවට තහවුරු වූ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණිය පසුගිය සිකුරාදා දිනයේ ද පාසල් ගොස් ඇති අතර, සෙනසුරාදා දිනයේ උණ, සෙම්ප්‍රතිශ්‍යා රෝග පෙන්නුම් කිරීම හේතුවෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බව ද සඳහන්.

එමෙන්ම, අනෙක් පිරිමි දරුවන් දෙදෙනා (2) ගෙන් එක් අයෙකු රැකියාවක් අපේක්ෂාවෙන් නිවසේ සිටින අතර අනෙක් දරුවා ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා ආයතනයක රැකියාව කරන බවයි වාර්තා වන්නේ.

මොවුන් සමඟ කොරෝනා ආසාදිත කාන්තාවගේ පියා ද නිවසේ ජීවත්ව ඇති බව සඳහන්.

කොරෝනා ආසාදනය වූ කාන්තාව බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයට අයත් ඇඟලුම් කම්හලක වැඩ පරීක්ෂකවරියක් ලෙස සේවය කරන අතර එහි 800 පමණ සේවක පිරිසක් සිටින බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

කෙසේ වෙතත්, එම කාන්තාව ආයතනය මගින් ලබාදෙන ප්‍රවාහන සේවයෙන් දෛනිකව සේවයට පැමිණ ඇති අතර, එම බස් රථයේ සියළු පිරිස් ද මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

එසේම, අදාළ කාන්තාව රෝහල්ගත වූ පසුගිය 30 වන දා දක්වාම රැකියා ස්ථානයට ගොස් ඇති අතර, ඇය සමීපව ඇසුරු කළ පිරිසක් මේ වන විට නිවාඩු ලබා දිවයිනේ විවිධ ප්‍රදේශ වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම කාන්තාවගේ ආශ්‍රිතයන් 600 කට වැඩි පිරිසක් මේ වන විට හඳුනාගෙන ඇති අතර, රෝගය හඳුනා ගත් මුල් අවස්ථාවේ එම කාන්තාව නිශ්චිත තොරතුරු අනාවරණ නොකිරීම හේතුවෙන් ආශ්‍රිතයන් හඳුනා ගැනීම අසීරු වූ බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියා.

මේ අතර, කාන්තාව ප්‍රතිකාර ලැබූ ගම්පහ දිස්ත්‍රික් රෝහලේ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කෙරුණා.

කොරෝනා ආසාදිත කාන්තාව හඳුනා ගැනීමත් සමඟ දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පදිංචි පුද්ගලයින් 430 කට වැඩි පිරිසක් මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

එමෙන්ම, හෙට (05) දිනයේදී අදාළ කාන්තාව සේවය කළ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් 1600 කට ද පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර, මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇන්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ අද (04) පස්වරුව වන විට කොරෝනා රෝගී ලක්ෂණ පෙන්නුම් කළ විසි දෙදෙනෙකු (20) රෝහල් ගත කළ බවයි.

ඉන් 6 දෙනෙකුම දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාව සේවය කරන ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කියා සිටියේ.

මේ අතර, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයෙකු උණ රෝගයෙන් පෙළෙන්නේ නම් වහාම ළඟම පිහිටි රෝහල වෙත ගොස් පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු වන ලෙසයි.

මේ අතර, අද (04) දිනයේ මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 3400 දක්වා ඉහළ ගිය අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 125 දෙනෙකු පමණක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

එමෙන්ම, තවත් කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු අද (04) දිනයේත් සුවය ලබා පිටව යාමත් සමග සුවය ලැබු සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3258 දක්වා ඉහල ගියා.

++++++++++++

සංගීත සංදර්ශන, ප්‍රියසම්භාෂණ උත්සව සඳහා යළි සීමා පැනවෙයි

(04.10.2020 – 20:06 +0530 – hirunews.lk/sinhala)

දිවුලපිටියෙන් කොරෝනා අසාදිත කාන්තාවක් සොයා ගැනීමත් සමග ගම්පහ – දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඇඳිරි නීතිය නොතකමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

පවතින තත්ත්වය යටතේ ලබන 09 වනදා ආරම්භ වීමට නියමිත ව තිබූ දෙවන පාසල් වාර නිවාඩුව හෙට (05) සිට ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමත්‍යාංශය පියවර ගනු ලැබුවා.

එසේම, දිවයිනේ සියලුම කතෝලික පාසල්ද අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණයට අනුව හෙට (05) සිට වසා දැමෙනවා.

එසේම, පාසල් නිවාඩුවට සමගාමීව දිවයිනේ සියලු පෙර පාසල් ද හෙට (05) සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට පියවර ගනු ලැබුවා.

එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම උපකාරක පන්ති සහ පිරිවෙන් ද අද (04) සිට සතියක කාලයක් වසා තැබීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

කැළණිය විශ්වවිද්‍යාලය, නයිවල උසස් තාක්ෂණ ආයතනය සහ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ආයතනය ද තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

පවතින තත්ත්වය සලකමින් කැළණිය විශ්ව විද්‍යාලයේ සියලු සිසුන්ට විශ්ව විද්‍යාලයෙන් හා නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙස දැනුම් දී ඇතැයි එම විශ්ව විද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමය පවසනවා.

කොරෝනා වෛරසය නැවත පැතිරීමේ අවදානමක් උද්ගත වී ඇති මොහොතක සිසුන් නැවත නිවෙස් කරා පිටත් කර යැවීම අවදානම් බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර, මහර සහ මීගමුව බන්ධනාගාරවලට රැඳවියන් බැලීමට පැමිණීම ද තාවකාලිකව අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවා.

එසේම, හෙට (05) දිනයේ රජයේ කාර්යාලයන්හි පැවැත්වෙන මහජන දිනය මේ සතිය තුළ නොපැවත්වෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් වාර්තාවීමත් සමග කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ පිහිටි පැමිණීමේ සහ පිටවීමේ පර්යන්තයේ ඇති ආලින්දවලට ද ගුවන් මගීන් සමඟ පැමිණෙන අමුත්තන්ට පිවිසීම තාවකාලිකව නතර කර තිබෙනවා.

ඒ හා සමගාමීව ගුවන් තොටුපල මහජන ක්‍ෂේත්‍ර මණ්ඩපය ද තාවකාලිකව වසා දමා ඇති බවයි ගුවන් තොටුපල කාර්ය භාර නිලධාරිවරයා සඳහන් කළේ.

පවතින තත්ත්වය සලකා නැවත දැනුම් දෙන තුරු සියලුම මගී ප්‍රවාහන බස්රථ වල ගමන් කිරීමේදි නියමිත ආසන ගණනට අනුව මගීන් රැගෙන යාම සිදුකල යුතු බව බස් රථ ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

එසේම, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට පැමිණෙන මගීන් දැඩි සෞඛ්‍ය මාර්ගොපදේශයන්ට යටත්ව දුම්රිය ස්ථානයට ඇතුළුවීය යුතු බවයි.

හෙට (05) සිට දුම්රියෙන් ගමන් කිරීමේදි මුඛ ආවරණ පැළදීම අනිවාර්ය බවද එම දෙපාර්තමේන්තුව කියා සිටියා.

මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල සිටින ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්ෂක බලකායන්හි සේවය කරන සියලුම නිලධාරීන්ට දැනුම්දෙන තුරු රාජකාරි ස්ථානවලට වාර්තා නොකරන ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කළා.

එමෙන්ම, අදාළ ප්‍රදේශ දෙකෙහි කඳවුරු තුළ සිටින ආරක්ෂක අංශ නිලධාරීන්ට ද ඉන් පිටතට නොයන ලෙසටයි යුද හමුදාව දැනුම් දෙන්නේ.

මිනුවන්ගොඩ සහ දිවුලපිටිය හැර ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවල සේවයෙහි නිරත ආරක්ෂක අංශ නිලධාරින් හෙට (05) දිනයේ පමණක් රාජකාරි සඳහා වාර්තා නොකරන ලෙසටද යුද හමුදා මාධ්‍ය අංශයට සදහන් කලා.

මේ අතර, කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද (04) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එහි ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද සිල්වා මහතා සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා එක්වුණා.

ඊට එක්වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ සංගීත සංදර්ශන, ප්‍රියසම්භාෂණ උත්සව සඳහා යළි සීමා පැනවීමට සිදුවනු ඇති බවයි.

මේ අතර, කොරෝනා අසාදිත කාන්තාව වාර්තා වීමත් සමග බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල අද (04) නිරීක්ෂණ චාර්කාවකට එක්වුණා.

ඒ, ප්‍රදේශයේ පවතින තත්ත්වය පිළිබදව සොයාබැලීම සදහායි.

එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේ කිසියම් පුද්ගලයෙකුට ඇඳිරි නීති බලපත්‍රයක් අවශ්‍ය වන්නේ නම් 071 859 1617 හෝ 071 859 1628 යන දුරකථන අංකවලට ඇමතුමක් ලබාදෙන ලෙසයි ෴

++++++++++++++

කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම උපකාරක පංති හෙට (05) සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටවා තිබෙනවා.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම උපකාරක පංති අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.

මේ අතර හෙටින් (05) ඇරඹෙන පාසල් නිවාඩුවට නැවත දැනුම් දෙන තුරු සියලුම පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්ද ඇතුළත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයයේ සඳහන් ෴

+++++++++++++

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශවල සිටින වරාය සේවකයින්ට නැවත දැනුම් දෙනතුරු රාජකාරියට වාර්තා කිරීමෙන් වළකින ලෙස වරාය අධිකාරිය දන්වා සිටිනවා ෴

+++++++++++++

වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයටත් ඇදිරි නීතිය

(04.10.2020 – 21:01 +0530 – hirunews.lk/sinhala)

නැවත දැනුම් දෙන තුරු වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට වහා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනය පහතින් :

***************************************

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 400 ක් මත්තල ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණ තිබෙනවා ෴

කොළඹ වරායේ නැංගුරම් ලා ඇති නැවක නිරෝධායනය වූ ශ්‍රී ලාංකිකයෙකු ඉන් පලාගොස් තිබෙනවා.

කෙසේ නමුත් ඔහු පයාගල පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනීමෙන් අනතුරුව නිවස තුළම නිරෝධායනයට යොමුකිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

මේ අතර විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මැදපෙරදිග රටවල සේවය කළ ශ්‍රී ලාංකිකයින් 63 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන් 100 ට 50 කට වැඩි සංඛ්‍යාවක් සෞදි අරාබියෙන් වාර්තා වන බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ෴

*********************************************

අත් බෑගයක සඟවා සිටි රුපියල් එක් ලක්ෂ අසූදහසක කේරළ ගංජා සමඟ කාන්තාවක් අත්අඩංගුවට

(04.10.2020 – 22:42 +0530 – hirunews.lk/sinhala)

පොලිස් වෙඩි පහරින් මියගිය සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘රත්මලානේ රොහා’ නැමැත්තාගේ සමීපතමයින් සිව්දෙනෙකු (4) ජීව උණ්ඩ තොගයක්ද සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා.

මේ අතර වාද්දූව, කළුතර සහ බේරුවල ප්‍රදේශවලට කේරළ ගංජා බෙදාහැරි කාන්තාවක් ගංජා තොගයක් සමඟ අද (04) මොරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.

මීගමුව – කොච්චිකඩේ ප්‍රදේශයේදී පොලිසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් මියගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘දේවමුණි හැරල්ඩ් රෝහණ ද සිල්වා’ හෙවත් ‘රත්මලානේ රොහා’ගේ සමීපතමයන් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය රත්මලාන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදියි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර ‘ගොනාකෝවිලේ සුද්දා’ නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාද වන බව පොලිසිය සදහන් කළා.
සැකකරුවන් රත්මලාන සහ මොරටුව ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

ඔවුන් සතුව තිබී ජීව උණ්ඩ 262 ක්ද පොලිස් විශේෂ කාර්ය බලකාය සොයා ගත්තා.

කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයට අනුයුක්ත බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව දෙමටගොඩ මිහිඳුසෙන්පුර මහල් නිවාසය අසළ ත්‍රිරෝද රථයක සූක්ෂමව සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 320 සමඟ එක් සැකකරුවෙක් (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිට මෙම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇති අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ ප්‍රධාන ගෝලයෙකු ලෙස සැලකෙන කැළණිය ප්‍රදේශයේ පදිංචි ‘මනි රවීන්ද්‍ර’ හෙවත් ‘රවී’ නැමැති සැකකරුයි.

සොයාගැණුනු හෙරොයින් වල වටිනාකම රුපියල් ලක්ෂ 30 කට අධික බව පොලිසිය සඳහන් කළා.

මේ අතර ගල්කිස්ස පොලිසියේ කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් සිදු කල මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (2) සමග මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඔවුන් සතුව තිබූ හෙරොයින්, කේරළ ගංජා , මාවා ඇතුලු මත්ද්‍රව්‍ය ද සිය භාරයට ගත් බවයි.

සැකකරුවන් අත්අඩංගුවට පත් වුණේ ගල්කිස්ස , බඩෝවිට, බොරුපන , ලුනාව සහ රත්මලාන යන ප්‍රදේශ වලදී සිදු කල වැටලීම් වලදී බවද පොලිසිය පැවසුවා.

මේ අතර මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ කාන්තාවකගේ අත් බෑගයක් පරික්ෂා කිරීමේදී රුපියල් 1,80,000 ක පමණ වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ එකකට (1) ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

මෙම වැටලීම සිදුකර තිබුණේ මොරටුව පොලිසියේ අපරාධ අංශයේ නිළධාරීන් විසින් මීට පෙර දිනක අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් ලද තොරතුරු මතයි.

අදාල කාන්තාව සන්තකයේ තිබී කේරල ගංජා ජාවාරමෙන් උපයා ගත් රුපියල් 1,30,00 ක මුදලක් සහ සැකකාරියේ ජංගම දුරකතනයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් කාන්තාව වාද්දූව ප්‍රදේශයේ කුළී පදනම මත රැදී සිටිමින් කුළී රථ යොදා ගනිමින් වාද්දූව, කළුතර, අලුත්ගම සහ බේරුවල යන ප්‍රදේශවලට කේරල ගංජා අලෙවි කර ඇති බවට විමර්ශන වලදී අණාවරණ වී තිබෙනවා.

මේ අතර , හුංගම – චේතියගිරි ගම්මානයේ නිවසක දීර්ඝකාලයක් තිස්සේ පවත්වාගෙන ගිය තුවක්කු හා පතොරොම් නිෂ්පාදනය කරන ස්ථානයක් වටලා ගිනි අවියක් සහ තවත් ගිනිඅවි 11 කොටස් සමඟ කම්හල් කරු හුංගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු බෝර 12 වර්ගයේ ගිනි අවි සහ ඒවාට යොදන පතොරොම්ද නිෂ්පාදනය කර ඇති අතර එම ගිනි අවි සහ පතොරම් කිසියම් කණ්ඩායමකට අලෙවි කර ඇද්ද යන්න විමර්ශන ආරම්භ කරන බව පොලීසිය සඳහන් කළා.

පොලිස් නිළධාරීන් නිවස පරීක්ෂාකිරීමට යන අවස්ථාවේ දීද සැකකරු ජීව පතොරොම් නිෂ්පාදනය කරමින් සිට ඇති අතර සැකකරු මීට පෙර ගිනි අවි සහ පතොරොම් නිෂ්පාදනය කිරීමට ගොස් දකුණු අතේ ඇඟිලි කිහිපයක්ද අනතුරට පත් වී ඇති බව පොලීසිය අණාවරණ කරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අඟුණකොලපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

***************************************

04-10-2020

*********************************************

කටුවාපිටියෙන් මතු වූ විරෝධය

(04.10.2020 – 22:16 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරවම නිදහස් කිරීමට එරෙහිව කටුවාපිටිය ප්‍රදේශයේ ජනතාව අද (04) විරෝධතාවක් සංවිධානය තිබුණි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ කටුවාපිටිය දේවස්ථානය අසලදී එම විරෝධතාවය පැවැත්විණි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් ඉකුත් අප්‍රේල් මස 14 වනදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පණතේ විධිවිධාන ප්‍රකාරවය.

එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එදින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ රියාජ් බදියුදීන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවෙකු සමඟ සෘජුවම සම්බන්ධතා පවත්වා ඇති බවට සාක්ෂි පවතින බවය.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි රියාජ් බදියුදීන් පසුගිය 30 වනදා නිදහස් කිරීමේන් පසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ ගැන පැවසුවේ නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔහුව නිදහස් කළ බවය.

මෙම හේතු දැක්වීම් පිළිබඳ අප්‍රසාදය පළ කරමින් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියේ ඔහු නිදහස් කිරීම පිටුපස දේශපාලන ගනුදෙනුවක් ඇතැයි තමන් සැක කරන බවය.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නුවන් වෙදසිංහව බස්නාහිර (උතුර) වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරු කර යවා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති එස්.පී. රණසිංහ මහතාය.

*********************************************

ජාවාරම්කරුවන් පිරිසක් මොනරාගල ‘අද දෙරණ’ වාර්තාකරුට පහරදෙයි

(04.10.2020 – 21:52 +0530 – hirunews.lk/sinhala)

මොනරාගල – කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති කුඹුක්කන් ඔය පාළම යට සිදුවන ඉල්ලම් කැපීමේ ජාවාරමක් වාර්තාකිරීමට එහි ගිය ‘අද දෙරණ’ වාර්තාකරුට කිසියම් පිරිසක් පහර දී තිබේ.

තුවාල ලැබූ වාර්තාකරු මොනරාගල මහ රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී.

මොනරාගල – කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති කුඹුක්කන් ඔය පාළම යට රොන් මඩ ඉවත්කිරීමේ මුවාවෙන්, ඉල්ලම් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන්නේ මාස කිහිපයක සිටය.

පරිසරයට හානි පමුණුවන මෙම ක්‍රියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර පවතින්නේ දැඩි අප්‍රසාදයකි.

එය වාර්තා කිරීමට ‘අද දෙරණ’ මොනරාගල දිස්ත්‍රික් වාර්තාකරු ඉඳුනිල් සිසිර මහතා එම ස්ථානයට යන්නේ ප්‍රදේශවාසීන් කළ ඉල්ලීමක් අනුවය.

කෙසේවෙතත් සිදුවීම වාර්තා කරන අතරතුර එම ස්ථානයට පැමිණෙන පුද්ගලයෙක් ඉඳුනිල්ට යම් බාධා කිරීමක් සිදුකර ඇත.

ඒ අතරවාරයේ ඉඳුනිල්ට පිටුපසින් පැමිණි පුද්ගලයෙක්, ඔහුට පහරදී කැමරා උපකරණවලටද හානි සිදුකර තිබේ.

පහරදීමෙන් තුවාල ලැබූ වාර්තාකරු මොනරාගල මහ රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී.

*********************************************

‘වෙන්ඩ ජනාධිපති’ගේ ‘ඩීල්’ දේශපාලනය කරළියට ඇවිත් – මහාචාර්ය නලින් ද සිල්වා

(04.10.2020 – 21:32 +0530 – lankaleadnews.com)

ජාතික කඳවුරේ ප්‍රශ්න තියෙනවා. අප ඒවා බේරා ගන්නම්. ජාතික කඳවුරේ ඇති ප්‍රධාන ම ප්‍රශ්නය එහි ජාතිකත්වය ඇති හා නැති පුද්ගලයන් යනුවෙන් දෙවර්ගයක් සිටීම. අද ජාතික කඳවුර ‘ජාතිකත්වයක් නොමැති පුද්ගලයකු’ගේ යටතට පත් කර ගැනීමට උත්සාහයක් දැරෙනවා. ඒ පුද්ගලයාගේ නම මා කියන්නේ නැත්තේ මෙහි ලියැවෙන දේ ඔප්පු කරන මෙන් ඔහුගේ හෙංචයියන් අභියෝග කරන නිසා. ඒ ඔප්පු කරන්න මට සාක්‍ෂි ඉදිරිපත් කරන්න බැහැ. බද්‍යුද්දීන් වැන්නන් මා වෙනුවෙන් සාක්‍ෂි දීමට එන්නේ නැහැ. මේ තානාපතිකම නැතිවේය කියා ඔහුගේ නම නොකියා ඉඳීමක් නො වෙයි. දරුවන් කුඩා කළ අවුරුදු දොළහක් රැකියාවක් නැතිව සිටි මට දැන් වයසට ගිය පසු වැටුපක් හරි දීමනාවක් හරි අවශ්‍ය නැහැ. මා සසුනට කැමතියි. මියන්මාරයේ ඉන්නෙ ඒ නිසා. මා කරන්නේ මා කැමති වැඩ. මා කැමති වැඩට ජාතික කඳවුරේ ජාතිකත්වයක් නැති අය අකමැති නම් ඔවුන්ට තීරණයක් ගන්න පුළුවන්. ඔවුන්ගේ තීරණය වැඩක් නැහැ. ජනාධිපතිතුමා තීරණයක් ගන්න කම් මා ඉන්නවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට යම් ජාතිකත්වයක් තියෙනවා. අගමැති මහින්ද රාජපක්‍ෂට පළපුරුද්දෙන් අත්කර ගත් ජාතිකත්වයක් තියෙනවා. චමල් රාජපක්‍ෂටත් සුළු වශයෙන් හරි ජාතිකත්වයක් තියෙනවා. එහෙත් අනෙක් අය ගැන අපට එහෙම කියන්න බැහැ. 2015 දී පැරදුණේ ඔවුන් ජාතිකත්වය අමතක කර වැඩ කළ නිසා. ඔය දක්‍ෂ යැයි කියන පුද්ගලයන්ට එදා පරාජය වළක්වන්න බැරි වුණා. හුදු පක්‍ෂ ව්‍යුහවලින් මැතිවරණ දිනන්න බැහැ. පොදු පෙරමුණට හරි හමන් ව්‍යුහයක්වත් නැහැ. එහෙත් ජනාධිපතිවරණයත් මැතිවරණයත් ජය ගත්තා. ඒ අහවල් පුද්ගලයකු නිසා නො වෙයි. අහවල් පුද්ගලයන්ට 2015 දිනන්න බැරි වුණා. ජනාධිපතිවරණය හා මැතිවරණය දිනුවේ ඡන්දදායකයන් බහුතරයකට ජාතිකත්වයක් අවශ්‍ය වූ නිසා මිස එක එක පුද්ගලයාගේ සංවිධාන ශක්තියක් නිසා නො වෙයි.

ආණ්ඩුවේ ඇතැමුන් කෙක්කෙන් හරි කොක්කෙන් හරි විස්ස සම්මත කර ගන්න හදනවා. සම්මත කර ගන්නවා කියන්නෙ තුනෙන් දෙකක් ගැනීම. මැතිවරණයට නොව ජනාධිපතිවරණයට පෙර සිට ම පත්වන ආණ්ඩුව ගැන මට සැකයක් තිබුණා. ජනාධිපතිවරණය සිංහලයන්ගේ ඡන්දවලින් පමණක් දිනන්න පුළුවන් බව මට පෙනී ගියා. පාස්කු ප්‍රහාරයත් එයට හේතුවක් වුණා. විශේෂයෙන් ම සිංහල කතෝලිකයන් ජාතිකත්වයට නැඹුරු වීමට පාස්කු ප්‍රහාරය හේතු වුණා. එහෙත් මැතිවරණය ජයග්‍රහණය කළත් තුනෙන් දෙකේ බලයක් නොලැබෙන බව මට පෙනී ගියා. එහි දී නැවතත් තුනෙන් දෙක ලබා ගැනීම සඳහා ගණුදෙනු (ඩීල්) දේශපාලනයකට ඇදී යන බව මා තේරුම් ගත්තා. අප ප්‍රවේසම් විය යුතු බව මා එකල ම කියලත් තියෙනවා ලියලත් තියෙනවා.

මැතිවරණයෙන් සියල්ල එකතු වී මන්ත්‍රී ධුර 150 ක් ලැබීමට ප්‍රධාන හේතුව සජිත් – රනිල් අරගලය. එ ජා ප හිතවතුන් යම් පිරිසක් ඡන්දපොළට ගියේ නැහැ. එහි වාසිය නිසයි මන්ත්‍රීධුර 150 ක් ලැබුණෙ. අද කතානායක පත් කර ගැනීමෙන් පසු 150, 149 ට බැහැලා. දැන් ඩීල් දේශපාලනය. මෙච්චර අමාරුවෙන් ඩීල් දාන්නෙ මොකක් සඳහා ද? නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට තරම් මේ පාර්ලිමේන්තුව සුදුසු නැති බව මා ජනාධිපතිවරණයට පෙරත් කියා ඇති. ඒ කෙසේ වෙතත් ඔවුන් නව ව්‍යවස්ථාවක් ගේනවා කියනවා. එසේ නම් එය ගෙනෙන තුරු ඉන්න. විස්ස ගෙන ඒමට මෙතරම් තදියමක් මොකද?

(ජාතිකත්වයක් නොමැති ‘වෙන්ඩ ජනා’ ගෙන් මව්බිම බේරාගනිමු)

විස්සේ අරමුණ වත්මන් ජනාධිපතිට බලතල දීම නොවෙයි. ‘වෙන්ඩ ජනාධිපති’ට බලතල ලබා දීම. කොහොම හරි යම් විරුද්ධතා මැද සංශෝධන කිහිපයක් ගෙන ඒමට ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. නීතිපති ඒ ගැන අධිකරණයට දන්වලා. එහෙත් කාරක සභා අවස්ථාවේ දී ඒ සම්මත කර ගන්නේ කෙසේ ද යන ප්‍රශ්නය තියෙනවා. දහනවය සම්මත කර ගැනීමේ දී කාරක සභා අවස්ථාවේ ගෙන ආ සංශෝධනවලට වුණෙ මොකක් ද කියල දන්න කෙනෙක් නැහැ.

ඒ මොන සංශෝධන කළත් අර ද්විත්ව රටවැසි කතාවට අත තියන්න ‘වෙන්ඩ ජනාධිපති’ ඉඩ දෙන්නෙ නැහැ. ඔය හැම ඩීලයක් ම තමන් සඳහා. බද්‍යුද්දීන්ගේ සොහොයුරා ගැන මානව හිමිකම් අයිතිකාරයො කතා කළා. ඒත් ඔහු නිදහස් වුණෙ ඒක නිසා කියා මා විශ්වාස කරන්නෙ නැහැ. පොලීසිය කිසි දිනෙක මැත ඉතිහාසයේ දේශපාලනඥයන්ගෙන් නිදහස් වුණෙ නැහැ. පූජිත ජයසුන්දරලා කියන්නෙ ඒ කතාව. බද්‍යුද්දීන්ගෙ සහෝදරයා පාස්කු ප්‍රහාරයේ වග කිවයුත්තන් ඇසුරු කළ බව කී පොලිසිය අද කියන්නේ ඔහුට විරුද්ධව සාක්‍ෂි නැහැ කියා. සාක්‍ෂි කියන්නෙ මොනවට ද කියා මට නිච්චියක් නැහැ.

ඡන්දදායකයන් බහුතරයක් මේ ආණ්ඩුව දෙමළ හරි මුස්ලිම් හරි දේශපාලනඥයන් නැතිව ගෙන යෑමට හැකි වන පරිදි පත්කර ගත්තෙත් සිංහල ඡන්දදායකයන්ගෙ ඡන්දයෙන් පමණක් ජනාධිපති පත් කර ගත්තෙත් පුද්ගලික පරමාර්ථ වෙනුවෙන් ඩීල් දේශපාලනය කරන්න නො වෙයි. ‘වෙන්ඩ ජනාධිපති’ගේ අභිප්‍රාය පරාද කරන්න ඕනෙ. ද්විත්ව රටවැසි කතාවෙ තියෙන භයානකකම අධිකරණයෙ දි හෙළිදරවු වුණා. ඇතැම් රටක රටවැසිකම තියෙන අයෙකු ජනාධිපති වුණොත් ඔහුට ලංකාවට පක්‍ෂපාත වෙන්න බැහැ. අපට ඕන එවැනි ‘වෙන්ඩ ජනාධිපති’ කෙනෙක් ද? බද්‍යුද්දීන්ලාගෙ හරි වෙනත් කාගෙ හරි ඡන්දවලින් විස්ස සම්මත කර ගත්තොත් 2015 දි වුණු එක 2025 දිත් වේවි. ‘වෙන්ඩ ජනාධිපති’ තම රටට යාවි.

උපුටා ගැනීම නලින් ද සිල්වා Facebook පිටුව

*********************************************

20 ගැන අගමැතිතුමාගේ නිවේදනයෙන් කියවෙන්නේ අර්ධ සත්‍යයකි – ජාතික සංවිධාන කියයි

(05.10.2020 – 07:10 +0530 – lankaleadnews.com)

20 වැනි සංශෝධනයට අදාළව අග්‍රාමාත්‍යතුමාගේ නමින් නිකුත් කොට ඇති මාධ්‍ය නිවේදනය මඟින් කියවෙන්නේ අර්ධ සත්‍යයක් බව ජාතික සංවිධාන කියයි. ‘ලංකා ලීඩ්’ වෙත අදහස් දක්වන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙසේ සඳහන්කොට ඇත.

“එම මාධ්‍ය නිවේදනය මඟින් පැහැදිළි කිරීමක් සිදුකොට ඇත්තේ විගණකාධිපතිවරයා පත් කිරීම, විගණන කොමිසම සහ විගණනයෙන් ඉවත් කොට ඇති ආයතන ආදිය පිළිබඳ සමාජයේ පැන නැගී ඇති විරෝධය පිළිබඳවය. ඊට අදාළව අප විසින් පවතින ව්‍යවස්ථාව, ආණ්ඩුව විසින් ගැසට් කළ කෙටුම්පත, නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළ යෝජිත සංශෝධන, නීතිඥ සංගමය විසින් නිකුත් කළ නිවේදනය සහ ශ්‍රී ලංකා විගණන සංගමය විසින් නිකුත් කළ නිවේදනය යන ලේඛන 05 ඉතා හොඳින් අධ්‍යනය කරනු ලැබීය.

එහිදී ඉතා පැහැදිළිව පෙනී යන්නේ සමස්ථ ප්‍රශ්ණයට අදාළ වැරදි කිහිපයක් නිවැරදිකොට ඇතත්, මූලික වරදක් වන ‘රජයට අයත් සමාගම් රෙජිස්ටාර් යටතේ ලියාපදිංචි කොට ඇති සමාගම් විගණකාධිපතිවරයාගේ විගණනයෙන් ඉවත් කිරීමේ වරද’ නිවැරදි කිරීමට ආණ්ඩුව සූදානම් නැති බවය. ඒ නිසා ඊට හේතුව ‘එම්.සී.සී. ගිවිසුම’ අත්සන් කිරීමේ උවමනාව බවට වන චෝදනාව බැහැර නොවේ.”

ඒ අනුව,

  1. විගණකාධිපතිවරයා සුදුසුකම් ලත් විගණක නිලධාරියෙකු විය යුතු බවට පළමු වරද නිවැරදි කොට ඇත.
  2. එසේ වුවත් විගණන සේවා කොමිසම අහෝසි කිරීම එසේම පවතී. අගමැතිතුමාගේ ප්‍රකාශය පරිදි එය විගණන නිලධාරීන් පත් කිරීම සඳහා පමණක් වලංගු වන කොමිසමක් බව සත්‍යයකි.
  3. විගණනයෙන් ඉවත් කළ අගමැති කාර්යාලය සහ ජනාධිපති කාර්යාලය නැවත ඇතුල් කිරීමට එකඟ වන බවද සත්‍යයකි.
  4. නමුත් නීතිපතිවරයා විසින් යෝජනාකොට ඇති සංශෝධන වලට රජයට අයත් ව්‍යවස්ථා සහ රජයට පවරාගත් සමාගම් ඇතුල්කොට ඇතත් 50% වැඩි කොටස් රජයට අයත් සමාගම් යන්න තවදුරටත් ඉවත්කොට ඇත. ඊට අදාළ 154(1) සහ 154(2) සංශෝධන එසේම පවතී.
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *