නීතිපති දෙපාර්තමේන්තුවේ තුසිත් මුදලිගේ ට යහපාලන සමයේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් දීමනා ගෙවලා

නීතිපති දෙපාර්තමේන්තුවේ තුසිත් මුදලිගේ ට යහපාලන සමයේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් දීමනා ගෙවලා

විද්‍යාපීඨ අයදුම්පත්වල වැරදි නිවැරදි කිරීමට දින හතරක (4) සහන කාලයක්

පොල් තෙල් ‘පල්’ කරන පාම් තෙල් මාෆියාව රටම ලෙඩ කිරීමට පෙර

ශ්‍රී ලංකාවේ සියළුම ජාත්‍යන්තර ගුවන් තොටුපලවල් නොවැම්බර් 15 දක්වා වසා තැබේ!

පොඩි ලැසී ඔක්තෝම්බර් 9 වනදා දක්වා රිමාන්ඩ් – තර්ජනය නොකළ බව විත්ති කූඩුවේදී හඬා වැටෙමින් කියයි

වගා ළිඳෙන් ගොඩගත් තුන්පත් රෑන

19 වන සංශෝධනය හරහා ව්‍යස්ථාමය ව්‍යවසනයක් නිර්මාණය වූවා

අන්තර්ජාලය ඔස්සේ කරගෙන ගිය ගණිකා ජාවාරමක් මහරගමින් වටලයි

*********************************************

නීතිපති දෙපාර්තමේන්තුවේ තුසිත් මුදලිගේ ට යහපාලන සමයේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් දීමනා ගෙවලා

(25.09.2020 – 08:30 +0530 – hirunews.lk/sinhala)

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු යහපාලන රජයේ දූෂණ විරෝධී කමිටුවේ සියලු සාමාජිකයන්ට ‘දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව’ හමුවේ ඔක්තෝබර් 8 වැනිදා පෙනී සිටින ලෙස අද සිතාසි නිකුත් කෙරුණා.

ඒ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ මහතා කළ පැමිණිල්ලක් විභාගයට ගනිමින්.

සාවද්‍ය මුදල් පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය යන අසත්‍ය චෝදනා යටතේ දූෂණ විරෝධී කමිටුවේ නිර්දේශ මත ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරීම මගින් දේශපාලන පළි ගැනීමක් සිදු වූ බවට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ කළ පැමිණිල්ලකට අදාළව ඔහු අද (25) එම කොමිසම හමුවේ පෙනී සිටියා.

කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් ඔහු සඳහන් කළේ, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් සංදේශයක් හරහා ‘දූෂණ විරෝධී කමිටුව’ පිහිටු වූ නමුත් අග්‍රාමාත්‍ය ලේකම්වරයා ක්‍රියාත්මක කර ඇත්තේ ‘දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයක්’ බවයි.

එනම් එකිනෙකට වෙනස් නම් කිහිපයක් එකම කාර්යාලයක් සඳහා භාවිත කර ඇති බව ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

කොමිසමේ විනිසුරුවරුන් පැවසුවේ කැබිනට් මණ්ඩලය මගින් අනුමැතිය ලබාගෙන ඇත්තේ එක් කාර්යාලයකට වුවත් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත්තේ ඇත්තේ වෙනත් කාර්යාලයක් බවයි.

දූෂණ විරෝධී කමිටු කාර්යාලයේ වියදම් පියවීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා වී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් බවත් ඒ සඳහා වෙන් කර තිබූ මුදල රුපියල් මිලියන 7.5 ක් බවත් කුඩාබාලගේ මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

එහෙත් එම කාර්යාලයේ නීති උපදේශකවරයා වශයෙන් ක්‍රියා කළ එවක රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥයෙකු ලෙස කටයුතු කළ වත්මන් නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු වන තුසිත් මුදලිගේ මහතාට දීමනා ගෙවා ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාල වැය ශීර්ෂයෙන් බවද කොමිසම හමුවේ අනාවරණය වුණා.

අදාළ දීමනා ගෙවා ඇත්තේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ හිටපු ලේකම්වරයා නිකුත් කළ වවුචරයක් මගින් බවයි කුඩාබාලගේ මහතා කොමිසමට පෙන්වා දුන්නේ.

පියදාස කුඩාබාලගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එහිදී කොමිසම හමුවේ සඳහන් කළේ, 2015 ඔක්තෝබර් මාසේ 29 වැනිදා අදාළ වැටුප් සහ දීමනා ගෙවන්න කියලා දූෂණ විරෝධී කමිටුවේ අධ්‍යක්ෂවරයා සහ ලේකම් ආනන්ද විජේපාල මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයට ලිපියක් යවා තිබෙනවා.

එම ලිපියෙන් කියනවා තුසිත් මුදලිගේ ගේ වැටුපෙන් 50% ක මුදලක් ඔහුට ගෙවන්න කියලා.

තුසිත් මුදලිගේ මහතාට දීමනා ගෙවීමට අදාළව අනුමැතිය ලබාදුන් ලේඛනද, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කොමිසම හමුවට ඉදිරිපත් කළා.

එමෙන්ම අධිකරණ කොමිෂන් සභාවේ අනුමැතිය මත නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කාලසීමාවෙන් පසුව දූෂණ විරෝධී කමිටුවේ කටයුතු කිරීමටද තුසිත් මුදලිගේ මහතාට අවසර ලැබී තිබූ බවද පියදාස කුඩාබාලගේ මහතා අද (25) අනාවරණ කළා.

එම පැමිණිල්ලට අදාළව කරුණු සලකා බැලූ කොමිසමේ සභාපති විනිසුරුවරයා දූෂණ විරෝධී කමිටුවේ සමාජිකයින් ලෙස කටයුතු කල හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක, මංගල සමරවීර, රවුෆ් හකීම් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක සහ එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් ඇතුළු දූෂණ විරෝධි කමිටුවේ සාමාජිකයින්ට ලබන 8 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කළා.

මීට අමතරව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාටද එදිනම කොමිසම හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කෙරුණා.

*********************************************

විද්‍යාපීඨ අයදුම්පත්වල වැරදි නිවැරදි කිරීමට දින හතරක (4) සහන කාලයක්

(25.09.2020 – 09:16 +0530 – hirunews.lk/sinhala)

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ඇතුළත්වීම සඳහා අයදුම්පත් යොමු කිරීමේදී සිදුවූ වැරදි හෝ ප්‍රමාද දෝෂ නිවැරදි කිරීම සඳහා දින හතරක (4) සහන කාලයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (26) සිට මේ මස 30 වනදා දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ( https://moe.gov.lk/ ) වෙත හෝ

https://moe.gov.lk/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b7%93/?lang=si වෙබ් අඩවිය වෙත හෝ

https://info.moe.gov.lk/ වෙබ් අඩවිය වෙත හෝ පිවිස තම උසස් පෙළ විභාග අංකය ඇතුළත් කර තම අයදුම්පතෙහි අදාළ සංශෝධන සිදුකළ හැකියි.

මෙම වසරේ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා ඇතුළත්වීම සඳහා අයදුම්පත් යොමු කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබුවේ ෴

*********************************************

පොල් තෙල් ‘පල්’ කරන පාම් තෙල් මාෆියාව රටම ලෙඩ කිරීමට පෙර

(25.09.2020 – 09:02 +0530 – lankaleadnews.com)

“ජනාධිපති මාමේ අපට පොල්තෙල් කියා පාම් තෙල් කවන්න ඉඩ දෙන්න එපා. අපට ලොකු වුණාම පිළිකා හැදෙයි”

මේ වෛද්‍යවරයකුගේ පාසල් වයසේ දියණියක විසින් ජනපතිතුමන් වෙත යවන ලද ලිපියක සඳහන්ව තිබූ වැකි දෙකකි.

මෙම සංවාදය ඉතියෝපියාවේ හෝ සෝමාලියාවේ මිනිසුන් හෝ දරුවන් අතර සිදුවූවා නම් අපට හිත හදාගත හැක. නිදහස් අධ්‍යාපනයෙන් උගත් නිලධාරීන් අතිරික්ත වශයෙන් පවා සිටින මහා රාජ්‍ය ආයතන පද්ධතියක් මෙන්ම විද්වත් සංවිධාන රාශියක් තිබෙන රටක මහජනයාට වංචා කරමින් සහ මහජන සෞඛ්‍ය අනතුරේ හෙළමින් ආනයනික පොල්තෙල් සහ පාම් තෙල් මිශ්‍ර කොට විකිණීමේ මහා ජාවාරම නිදහසේ කරගෙන යාමට සුළු පිරිසකට ඉඩ ලබා දී ඇත. විවිධ මට්ටම්වලදී සිදු කරන මහජන සෞඛ්‍යයට අහිතකර මෙම ආහාර බාල කිරීමේ ජාවාරම ආහාර පනත සහ පාරිභෝගික අධිකාරී පනත යටතේ මෙන්ම පොල් සංවර්ධන අධිකාරී පනත යටතේ නිතිවිරෝධී වේ. ඊට අමතරව පොල් සංවර්ධන මණ්ඩලයේ මූලික වගකීම අනුවද මෙම ජාවාරම වැළැක්වීම සඳහා අවශ්‍ය මූලික පියවර ගැනීමට එම ආයතනය බැඳී සිටියි.

ශ්‍රී ලංකාවේ ප්‍රමිති ආයතනයේ යම් නිලධාරීන් ආනයනික කිරිපිටිවල ගුණාත්මක භාවය පිරික්සීම සඳහා නවසීලන්තයට ගොස් අදාළ කර්මාන්තශාලා පවා පරික්ෂා කළ බවට වාර්තා පළ වුවත් ලංකාවේදී කිරිපිටිවල පාම් තෙල් ඇද්ද පරික්ෂා කිරීම සඳහා යොදා ගන්නේ ගල් යුගයේ පරීක්ෂණ කිහිපයකි. ඒවා මගින් 40% දක්වා පාම් තෙල් මිශ්‍ර කළ කිරි පිටි හඳුනාගත නොහැක. එනම් ඊට වැඩියෙන් මිශ්‍ර කළහොත් පමණක් එම පරීක්ෂණවල ප්‍රතිඵල ධනාත්මක වේ. නමුත් පොල්තෙල් වලට පාම් තෙල් මිශ්‍ර කොට තිබේ නම් ඉතා සරල පරීක්ෂණයක් මගින් බාලකරන ලද තෙල් හඳුනාගත හැක. එම පරීක්ෂණ පොල් සංවර්ධන අධිකාරිය මගින් සිදු කළ හැකි වුවත් රටේ ජනතාවගේ සෞඛ්‍යයට බලපාන ඉතා බරපතළ නීතිවිරෝධී ආනයන ජාවාරමක් එළිදරව් කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හෝ ශ්‍රී ලංකා රේගුව මැදහත් වන බවක් වාර්තා නොවේ.

මෑත කාලීනව ආනයනික පොල්තෙල් සඳහා පනවා තිබූ කි.ග්‍රෑම් එකකට රු. 295 ක් වූ විශේෂ ආනයන බද්ද රු. 125 දක්වා රු. 170 කින් අඩු කිරීම නිසා දැන් පාම් තෙල් මිශ්‍ර කළ පොල්තෙල් ආනයනය කිරීමේ වැඩි ඉඩක් ඇත. විශේෂයෙන්ම මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ පාම් තෙල්වල මිල 40% කින් පමණ පහත වැටීම නිසා එය ඉතා ලාභදායි ව්‍යාපාරයක් බවට පත්වේ. මේ වන විට පසුගිය මාර්තු මාසයෙන් පසුව එසේ අඩු කළ බදු යටතේ රට තුළට පොල්තෙල් කි.ග්‍රෑ. මිලියන 15 කට වැඩි ප්‍රමාණයක් ආනයනය කොට ඇති බව රේගු ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත. නමුත් එම පොල්තෙල්වලට පාම් තෙල් මිශ්‍ර කර තිබේද යන්න ඉහත සඳහන් ආයතන විසින් පරීක්ෂාවට ලක් කරන්නේ නැත. එසේ බාල කළ පොල්තෙල් ඉතා අඩු මිලට සාමාන්‍ය සිල්ලර වෙළෙඳපොළට නිකුත් කිරීම නිසා ගුණාත්මක පොල්තෙල් නිෂ්පාදනය කරන දේශීය පොල්තෙල් මෝල් එකින් එක වැසී යමින් ඇත. ඒ අතර එසේ බාල කළ පොල්තෙල් උසස් පොල්තෙල් බවට ප්‍රචාරය කරමින් ගුණාත්මක පොල්තෙල්වලට වඩා ඉහළ මිලකට සුපිරි අලෙවිසල්වල අලෙවි කිරීම මගින් මෙම ජාවාරම්කරුවෝ දෙයාකාරයකට ලාභ උපයති.

ඊට අමතරව පාම් තෙල් සඳහා පනවා තිබූ රු. 300 ක් වූ විශේෂ බද්ද 2020/05/21 දින අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් කි.ග්‍රෑම් 1 කට රු. 350 ක් දක්වා වැඩි කරනු ලැබීය. නමුත් මෙම ජාවාරම්කරුවන් අතළොස්සක්, විශේෂයෙන්ම මහා පරිමාණයෙන් පාම් තෙල් ආනයනය කරන විදේශීය සහ දේශීය සමාගම් දෙකක (2) බලපෑම් නිසා වැඩි කරන ලද පාම් තෙල් බද්ද නැවත වටයකින් 26.06.2020 නිවේදනය මගින් පිරිපහදු කළ තෙල් සඳහා බද්ද රු 275 ක් සහ පිරිපහදු නොකළ තෙල් සඳහා බද්ද රු 250 දක්වා අඩුකරන ලදී. එසේ බදු අඩු කිරීම සාධාරණීයකරණය කරනු ලැබුවේ ආනයන සීමා කිරීමේ මුවාවෙනි. නමුත් එසේ ආනයනයට සීමා පැනවූවද වටිනාකම් එකතුකොට අපනයනය කිරීමේ මුවාවෙන් රේගුවේ ‘බොන්ඩඩ් ගුදම්’ හරහා මේ තෙල් රට තුළට ආනයනය කිරීමේ නව ක්‍රමවේදයක් එම ජාවාරම්කරුවන් සහ ඔවුන්ට සහාය දෙන නිලධාරීන් විසින් හඳුන්වාදෙන ලදී. ශ්‍රී ලංකාවට පාම් තෙල් මෙ.ටො 240,000 ක් පමණ ආනයනය කරන අතර පොල්තෙල් සහ පාම් තෙල් බදු අඩු කිරීම නිසා මෙම මහා පරිමාණ ජාවාරම්කරුවන්ට ලැබෙන අමතර ලාභය රු. මිලියන 20,000 ක් බවට ගණනය කළ හැක. එසේ නම් ඔවුනට බොහෝ අය මිලදීගත හැකි බව තේරුම් ගැනීම අමාරු නැත.

ඒ ආකාරයට කූට වෙළෙඳපළ වුවමනාවන් අනුව මහජනයාට හොරෙන් තීරණය වන ආනයන බදු හෝ බදු නොවන බාධක පැනවීමේ ප්‍රතිපත්තිය නිසා මහජන සෞඛ්‍ය ප්‍රශ්නය වඩාත් බරපතළ වේ. මේද අම්ල සංයුතිය අනුව පොල්තෙල් පරිභෝජනයට වඩා පාම් තෙල් පරිභෝජනය ශරීරයට අහිතකර බව පැහැදිලි කරුණකි. එහෙත් පිරිපහදු නොකළ පාම් තෙල්වල අඩංගු ඉතා ඉහළ නිදහස් මේද අම්ල ප්‍රතිශතය නිසා ඒවා ඉතා භයානක පිළිකාකාරක ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස මැලේසියාවේ ප්‍රමිතීන් අනුව පිරිපහදු කළ පාම් තෙල්වල අඩංගු නිදහස් මේද අම්ල ප්‍රතිශතය 5% ක් වුවද අප රටට ආනයනය කරන පිරිපහදු නොකළ පාම් තෙල්වල එම ප්‍රතිශතය 20% තරම් ඉහළ අගයක් ගන්නා බව එළිදරව් වී ඇත. පසුගිය දිනවල එසේ ආනයනය කළ පිරිපහදු නොකළ පාම් තෙල් තොගයක් අධිකරණ නියෝගයක් මත පරික්ෂා කිරීමේදී ඒ බව එළිදරව් විය. අප රටේ බදු ප්‍රතිපත්තිය අනුව පිරිපහදු නොකළ පාම් තෙල්වලට පනවනු ලබන බද්ද පිරිපහදු කළ ඒවාට වඩා අඩු මට්ටමක පවතින නිසා පිරිපහදු නොකළ තෙල් ආනයනය දිරිමත් වේ. ඊට අමතරව ලෝක වෙළෙඳපළ තුළ පිරිපහදු නොකළ තෙල් මිල සෑම විටම පිරිපහදු කළ තෙල්වලට වඩා අඩු වීම නිසාද එය තවදුරටත් දිරිමත් වේ. නමුත් අප රටේ මැලේසියාව මෙන් උසස් ප්‍රමිතිගත පිරිපහදු ක්‍රියාවලියක් සිදුවන්නේ නැත. පාම් තෙල් ආනයනය කරන සමාගම් පිරිපහදුව නමින් සිදු කරන්නේ කුඩා පාවෙන අංශු ඉවත් කිරීම, විරංජනය හෙවත් පාට වෙනස් කිරීම සහ දුර්ගන්ධය නැති කිරීම පමණි. ආර්.ඩී.බී. නමින් හැඳින්වෙන එම ක්‍රියාවලිය තුළ නිදහස් මේද අම්ල ප්‍රමාණය අඩු කිරීමක් සිදු වන්නේ නැත. ඒ අනුව ඒ මගින් මහා බදු වංචාවක් හෝ අවභාවිතයක් සිදුවනවාට අමතරව රටේ සිටින මහා නිලධාරීන්ගේ සහ විද්වතුන්ගේ සුජාතභාවය සහ ගරුත්වයද අභියෝගයට ලක් වේ.

මෙම නින්දා සහගත ජාවාරම සහ දුප්පත් ආර්ථික සහ වෙළෙඳපළ ක්‍රියාවලිය නිවැරදි කිරීම සඳහා බහු විධ උපායමාර්ගික ප්‍රවේශයක් අවශ්‍යවේ. ඊට අදාළ දාර්ශනික පදනම විය යුත්තේ පාරිභෝගිකයා ආරක්ෂා කරන අතර දේශීය නිෂ්පාදන පද්ධතියද ශක්තිමත් කිරීම යන ද්විත්ව ප්‍රවේශය මැනවින් සුසංයෝජනය කිරීමය. ඒ අනුව පළමුවෙන්ම දේශීය පොල් නිෂ්පාදන ආර්ථික ශක්තිමත් කිරීම සඳහා පාරිභෝගිකයාට පිළිගත හැකි මට්ටමට සහ ඔවුන්ගේ දැනුම්වත් එකඟතාව මත බදු පැනවීම මගින් පාම් තෙල් ආනයනය අධෛර්යමත් කිරීම ඉතා වැදගත් වේ. එහිදී ආනයනය තහනම් කිරීම හෝ සීමා කිරීම අවශ්‍ය වන්නේ නැත. ඒ අනුව දේශීය පොල්තෙල් මිලට වඩා ආනයනික පාම් තෙල් මිල අඩුතරමින් 10% කින් ඉහළ මට්ටමක පවතින ලෙස බදු පැනවිය හැක. ඊට අමතරව පිරිපහදු නොකළ තෙල් ආනයන සිමා කිරීම සඳහා බදු සහන නොදී සිටීම හෝ ඉහළ බදු පැනවීමට අමතරව ප්‍රමිති නිර්ණායක යොදා ගනිමින් බදු නොවන බාධක පැනවීමද සිදුකළ යුතුය. එම පියවර වෙළෙඳපළ තුළ ප්‍රතිඵලදායක වන්නේ තවත් සාධක දෙකක් මතය. පළමුවැන්න යම් කාලයකට හෝ පොල්තෙල් සහ පාම් තෙල් සඳහා මිල සූත්‍ර හඳුන්වා දීමය. දෙවැන්න පොල්තෙල්වලට පාම් තෙල් මිශ්‍ර කිරීම නීතියට අනුව බරපතළ දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කිරීමටය.

ඊට අමතරව දිර්ඝ කාලීනව පොල් වගාව සංවර්ධනය කිරීම මගින් වගා කරුවන්ගේ ආදායම් මට්ටම අඩු නොවන ලෙස මිල අඩු කිරීම සඳහා පියවර ගත යුතුය. දැනට ගෙඩි මිලියන 3000 පමණ මට්ටමේ පවතින ජාතික නිෂ්පාදනය, ඵල සැපයුම වැඩි කිරීම මගින් පමණක් 50% කින් වැඩි කළ හැකි බව වගාකරුවෝ පවසති. එසේම අප රටේ පොල් නිෂ්පාදනයෙන් 60% කට වැඩි ප්‍රමාණයක් ගෙඩි ලෙස පරිභෝජනයට ගන්නා බැවින් අධ්‍යාපනික සහ ප්‍රචාරක ක්‍රමවේද හරහා පොල් කිරි උපරිමයෙන් ලබාගත හැකි ක්‍රමවේද සහ පොල්කිරි භාවිතය අඩු කිරීම සඳහා පියවර ගැනීම මගින් වෙළෙඳපළට ලැබෙන පොල් ගෙඩි ප්‍රමාණය වැඩි කළ හැකිය. ඊට අමතරව වටිනාකම් එකතු කිරීමෙන් තොරව එනම් පොල් ගෙඩි ලෙස අපනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීම මගින්ද කර්මාන්තයට අවශ්‍ය පොල් ගෙඩි සැපයුම ඉහළ දැමිය හැක. පොල් වගාකරුවන්ට සාධාරණ මිලක් දීර්ඝකාලීනව ලැබෙන බව සහතික වේ නම් වගාව දියුණු කිරීම සඳහා රජය මගින් විශාල මැදිහත්වීමත් අවශ්‍ය වන්නේ නැත. පොල්වගාකරුවන් එම වගකීම ස්වේච්ඡාවෙන් ඉටු කරනු ඇත. එසේම පොල් වතුවල කුරුඳු වැනි යටි වගාවන් හා කිරි ගොවිතැන රජය විසින් දිරිමත් කිරීම මගින් වගාකරුවන්ගේ ආදායම් මට්ටම ඉහළ දැමීමට ක්‍රියා කරන්නේනම් කර්මාන්තයට සාධාරණය ඉටු වන ලෙස පොල් ගෙඩි මිල පහත මට්ටමකට ගෙන ඒමේ හැකියාව ඇත. එහිදී තවත් අතුරු ක්‍රියාමාර්ග දෙකක් මහජනයාගේ දැනුම්වත්භාවය සහිතව ක්‍රියාත්මක කිරීමට සිදු වේ. පළමුවැන්න කර්මාන්තයට අදාළ සහ මහජන සෞඛ්‍යයට අදාළ හේතු මත පාම් තෙල් ආනයනය බදු සහ බදු නොවන බාධක මගින් දීර්ඝකාලීනව අධෛර්යමත් කිරීමය. දෙවැන්න දේශීය පොල් නිෂ්පාදනය ඉහළ මට්ටමකට ගෙන එන තෙක් අවශ්‍යතාව මත දේශීය පොල්තෙල් කර්මාන්තයට අගතියක් නොවන ලෙස පාම් තෙල් මිශ්‍ර නොකළ පිරිසුදු පොල්තෙල් ආනයනය සඳහා කොන්දේසිවලට යටත්ව ඉඩ ලබා දීමය. එහිදී මූලික කොන්දේසි දෙකක් සැපිරීම ඉතා වැදගත්වේ. පළමුවැන්න ආනයනික පොල්තෙල් මිල දේශීය පොල්තෙල් මිලට වඩා 10% කින් ඉහළ මට්ටමක පවතින ලෙස ආනයන බදු නීර්ණය කිරීමය. දෙවැන්න ඒ සඳහා ආනයන බලපත්‍ර සහ කෝටා ක්‍රමයක් හඳුන්වාදීම මගින් ප්‍රමාණාත්මක සීමාවන් නිශ්චිත ලෙස පැනවීමය.

පොල් ගස ආශ්‍රිතව අපනයන නිෂ්පාදන 37 ක් වැනි අති විශාල ප්‍රමාණයක් ඇත. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කප්රුකකි. ඒවා සියල්ල දිරිමත් කිරීම මගින් අපනයන ආදායම් වැඩි කිරීම සහ පොල් ආශ්‍රිත දේශීය කර්මාන්ත පද්ධතිය දියුණු කිරීම සඳහා ඉහත සඳහන් කළ මහා පින්තූරය තේරුම් ගනිමින් සහ විනිවිද භාවයෙන් යුතුව මෙන්ම මහජන සංවාදයක් සහිතව ප්‍රතිපත්තිමය තීන්දු ගත යුතුය. එවිට ජාවාරම්කරුවන් සහ ආර්ථික ඝාතක නිලධාරීන් අතළොස්සකට ස්වභාව ධර්මය විසින් අපට දායාද කළ කප්රුක සමග බැඳුණු ආර්ථික සහ ජීවන ක්‍රමය විනාශ කිරීමට ඉඩ ලැබෙන්නේ නැත.

අවසාන වශයෙන් විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ රබර් වෙනුවට ‘කටු පොල්’ හෙවත් පාම් වගාව දිරිමත් කිරීමේ නාමයෙන් පොල් වගාව සහ පොල් කර්මාන්තය අවතක්සේරු කිරීමට කටයුතු කරන පිරිස මට්ටු කිරීම තරම් ජාවාරම්කාර ආනයනකරුවන් මට්ටු කිරීම පහසු නැති බවය. ජනාධිපතුමා විසින් දේශීය කටු පොල් වගාව දැනට පවතින ප්‍රමාණයට වඩා පුළුල් කිරීමට ඉඩ නොදීම ඉතා වැදගත් උපාය මාර්ගික තීන්දුවකි. එය පාරිසරික හේතු මත පමණක් නොව පොල් ආර්ථිකය වර්ධනය කිරීම සඳහා පමණක් නොව රටේ ආහාර සුරක්ෂිතතාව රැකගැනීම සඳහාද පූර්ව කොන්දේසියක් ලෙස ඉතා වැදගත්වේ. විද්වතුන් යැයි කියා ගන්නා විවිධ පාර්ශ්ව අක්කරයකට ලබා ගත හැකි තෙල් ප්‍රමාණය ගැන අංක ගණිතමය සූත්‍ර ඉදිරිපත් කරමින් කටුපොල් වගාව සහ පාම් තෙල් කර්මාන්තය ප්‍රචලිත කිරීමට උත්සාහ කළත් තෙල් හැර වෙනත් කිසිදු ප්‍රයෝජනයක් නැති කටු පොල් වගාව කිසිසේත්ම පොල් වගාවට විකල්පයක් නොවේ. එම නිසා ජනාධිපතිතුමා විසින් කටු පොල් වගාකරුවන්ට ලබා දුන් සෘජු පිළිතුර පාම් තෙල් ආනයනකරුවන්ටද ලබා දෙන්නේනම් ආර්ථිකයේ ප්‍රබල පැතිකඩක් වෙනස් කළ හැකි බවට කිසිදු සැකයක් නැත.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

*********************************************

ශ්‍රී ලංකාවේ සියළුම ජාත්‍යන්තර ගුවන් තොටුපලවල් නොවැම්බර් 15 දක්වා වසා තැබේ!

(25.09.2020 – 05:14 +0530 – lankaleadnews.com)

ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා විසින් නිකුත් කළ නිවේදනයකට අනුව ශ්‍රී ලංකාවේ සියළුම ජාත්‍යයන්තර ගුවන් තොටුපලවල් එළඹෙන නොවැම්බර් මස 15 වන දින දක්වා වසා තැබීමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ. සිවිල් ගුවන් සේවා අධිකාරිවරයාගේ මින් පෙර පැවැති නිවේදනයට අනුව ගුවන් තොටුපල ඔක්තෝබර් මස පළමුවන දා දක්වා පමණක් වසා තැබීමට නියමිතව තිබුණි.

කෙසේ වුවද නැවත මව්බිමට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් රැගෙන එන ගුවන් යානා, තාක්ෂණික හේතු මත පැමිණෙන ගුවන් යානා, ඉන්ධන සපයා ගැනීම පිණිස පැමිණෙන ගුවන් යානා සහ කාර්ය මණ්ඩලය විවේක ගැන්වීම පිණිස පැමිණෙන ගුවන් යානා වලට මෙම තහනම බල නොපැවැත්වේ.

එහෙත් මෙම සියළුම ගුවන් යානා ශ්‍රී ලංකාව තුළට පැමිණීමේදි එහි සිටින කාර්ය මණ්ඩලය සහ අනෙකුත් මගීන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය අධ්‍යයක්ෂක ජනරාල් වරයා නිකුත් කර ඇති කෝවිඩ් 19 වෛරසය පාලනය පිණිස නිර්දේශිත සියළුම නිර්ණායක පිළිපැදිය යුතු වේ.

අප මේ සම්බන්ධයෙන් වසංගත රෝග නිවාරණ විශේෂඥයකුගෙන් කළ විමසීමේදී පවසා සිටියේ සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා ගනු ලැබූ මෙම තීරණය ඉතාමත් කාලෝචිත බවයි

අසල්වැසි ඉන්දියාව තුළ කෝවිඩ් 19 වෛරසය වසංගතය බරපතල ලෙස පැතිරී යන තත්වයක් තුළ ශ්‍රී ලංකාවේ ජාත්‍යයන්තර ගුවන් තොටුපලවල් විවෘත කර තැබීම නැවත වටයකින් කෝවිඩ් 19 වෛරසය වසංගතය මෙරටට ඇතුළු වීමට ඉඩ සැලසීමක් බව ඔහු සඳහන් කර සිටියේය. යාපනය, කටුනායක, මත්තල සහ රත්මලාන යන ගුවන් තොටුපල වලට සිවිල් ගුවන් සේවා අධිකාරිවරයාගේ මෙම නියෝග බල පැවැත්වේ ෴

*********************************************

පොඩි ලැසී ඔක්තෝම්බර් 9 වනදා දක්වා රිමාන්ඩ් – තර්ජනය නොකළ බව විත්ති කූඩුවේදී හඬා වැටෙමින් කියයි

(25.09.2020 – 09:28 +0530 – hirunews.lk/sinhala)

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ජනිත් මධුසංක’ හෙවත් ‘පොඩි ලැසී’ ලබන මස 09 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔහු අද (25) නැවතත්, ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු අද (25) අධිකරණයට රැගෙන එනු ලැබුවේ බන්ධනාගාර, පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව මධ්‍යයේයි.

බූස්ස බන්ධනාගාරයේදී ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කළ කරුණු දැක්වීමට අදාළ, නඩු විභාගය සඳහා ඔහු අද (25) පෙරවරුවේ ගාල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කෙරුණා.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බූස්ස බන්ධනාගාරය වෙත ගොස් ‘පොඩි ලැසී’ගෙන් ලබාගත් ප්‍රකාශවල සාරාංශය ඇතුළත් වැඩිදුර වාර්තාවක් අද (25) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

තමන් එවැනි තර්ජනයක් නොකළ බවත්, තමන්ට සිදුවන අපහසුතාවන් පිළිබඳ පමණක් පැවසූ බවටත් සැකකරු ප්‍රකාශ ලබාදෙමින් සඳහන් කළ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කියා සිටියා.

ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින ‘පොඩි ලැසී’ වෙනුවෙන් නීතීඥ සහයක් ඇත්දැයි විමසා සිටි අතර, ප්‍රකාශයක් ලබාදීමට අවසර ලබාදෙන ලෙස එහිදී ‘පොඩි ලැසී’ අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එහෙත් ඊට අවසර හිමි නොවූ බවයි අප අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

කෙසේ වෙතත් එහිදී කඳුළු පිරි දෙනෙතින් ‘පොඩි ලැසී’ සංවේදී වූ බවයි හිරු අධිකරණ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනුකළ මෝසමක් අනුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පසුගිය 17 වනදා කැඳවූ නඩුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ ‘පොඩි ලැසී’ මරණ තර්ජනය කිරීමේ නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කිරීමට අවසර ලබාදෙන ලෙසයි.

ඒ අනුව ඊට අවසර ලබාදුන් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා සැකකරු අද (25) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

*********************************************

වගා ළිඳෙන් ගොඩගත් තුන්පත් රෑන

(25.09.2020 – 10:58 +0530 – hirunews.lk/sinhala)

දිඹුලාගල, කළු කැලේ ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි වන අලි තිදෙනෙකු ඊයේ (24) රාත්‍රියේ ගොඩගැනීමට වෙහෙරගල වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සමත්ව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ වගා ළිඳෙන් ගොඩගත් මෙම සතුන් වස්ගමුව ජාතික වනෝද්‍යානයට පලවා හැරීමට කටයුතු කළ බවයි.

වෙහෙරගල වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විසින් එක්ව කළ මෙම මෙහෙයුමට පැය තුනක පමණ කාලයක් ගතව තිබෙනවා.

*********************************************

19 වන සංශෝධනය හරහා ව්‍යස්ථාමය ව්‍යවසනයක් නිර්මාණය වූවා

(25.09.2020 – 12:02 +0530 – hirunews.lk/sinhala)

19 වන සංශෝධනය හරහා ව්‍යවස්ථාමය ආරවුලක් නිර්මාණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) රාත්‍රී ‘හිරු TV’ ඔස්සේ විකාශය වූ ‘බලය’ දේශපාලන වැඩසටහනට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ මෙය ව්‍යවස්ථාමය ව්‍යවසනයක් බවයි.

+++++++++++++++++++++

*********************************************

අන්තර්ජාලය ඔස්සේ කරගෙන ගිය ගණිකා ජාවාරමක් මහරගමින් වටලයි

(25.09.2020 – 12:13 +0530 – hirunews.lk/sinhala)

මහරහම ප්‍රදේශයේදී පවත්වාගෙන ගිය ගණිකා ජාවාරමක්, නුගේගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (24) වටලා තිබෙනවා.

අන්තර්ජාලය මඟින් පුද්ගලයන් සම්බන්ධ කරගනිමින් මෙම ගණිකා ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

වැටලීමේදී කාන්තාවන් සිව්දෙනෙක් (4) සහ එහි කළමනාකරු වශයෙන් කටයුතු කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (25) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *