කඩාවැටුණු මහනුවර පස්මහල් ගොඩනැගිල්ලට සිරවී සිටියදී මුදාගත් බිලිඳා ජීවිතක්ෂයට

කඩාවැටුණු මහනුවර පස්මහල් ගොඩනැගිල්ලට සිරවී සිටියදී මුදාගත් බිලිඳා ජීවිතක්ෂයට

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් සතු සිම්කාඩ් හතක් (7) සහ ජංගම දුරකථනයක් සොයාගැනේ

‘පාර්ක් ඇන්ඩ් ඩ‍්‍රයිව්’ ලබන සතියේ සිට

ජීවිත තර්ජන ඇති බව හේමසිරි ප්‍රනාන්දු පාස්කු කොමිසමට කියයි

වත්මන් ආණ්ඩුවේ පිරිස් මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරනු ඇති බවට විශ්වාසකරනවා

අබලන් වූ දේදුගල, වහරකගම මාර්ගය නිසා පීඩාවට පත්ව සිටින ජනතාව

වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් ආබාධිත තත්ත්වයට පත්වූ දැරිය

අධිකරණ ඇමති රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක

හරීන්ගේ ප්‍රකාශයට කාදිනල් හිමිපාණන් ඇතුළ සහයක රදගුරුතුමන්ලාගේ විරෝධය

හලාවතට අහසින් වැටුණු මාළු දැල

කුඩා සහ මධ්‍ය පරිමාණ ක්ෂේත්‍ර ආර්ථිකයේ කොදු නාරටියයි – අගමැති කියයි

හිටපු ජනපති මෛත්‍රිගෙන් හේමසිරිට පිළිතුරු

හෙරොයින් ජාවාරම් ජාලයක තොරතුරු අනාවරණය වෙයි

*********************************************

කඩාවැටුණු මහනුවර පස්මහල් ගොඩනැගිල්ලට සිරවී සිටියදී මුදාගත් බිලිඳා ජීවිතක්ෂයට

(20.09.2020 – 09:39 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – බූවැලිකඩ ප්‍රදේශයේ පිහිටි පස්මහල් ගොඩනැගිල්ලක් ගිලාබැසීමකට ලක්වී තිබෙනවා. එය, අසළ වූ නිවසක් මතට පතිත වීම හේතුවෙන් ඊට විශාල හානියක් සිදුව ඇති බව සඳහන්.

මහනුවර – බූවැලිකඩ ප්‍රදේශයේ පිහිටි පස් (5) මහල් ගොඩනැගිල්ල ගිලාබැසීමකට ලක්වීමෙන් සුන්බුන් අතර සිරවී සිටියදී බේරාගත් මාස එකහමාරක් (1½) වයසැති බිළිදා මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සුන්බුන් අතර සිරවී සිටි දෙදෙනෙකු (2) නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිවූ බවයි.

එමෙන්ම තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) තවමත් සුන්බුනු අතර සිරවී සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ඊට යුද හමුදාවද එක්ව සිටිනවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

(Photos from truenews.lk)

+++++++++++++++++++++

+++++++++++++++++++++

මහනුවර කඩා වැටුණු ගොඩනැගිල්ලට යටවූ මවගේ සහ පියාගේ මළසිරුරු හමුවෙයි

(20.09.2020 – 14:50 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් (5) ගොඩනැගිල්ලක් ගිලා බැස ඊට යටවී අතුරුදන්ව සිටි යුවලගේ සිරුරු මේ වනවිට සොයා ගෙන තිබෙනවා.

ඔවුන්ගේ සිරුරු මහනුවර රෝහල වෙත යොමුකළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මෙම යුවලගේ මාස එකහමාරක් (1½) වයසැති බිළිඳා අද (20) දහවල් ගොඩනැගිල්ලට යටවී මියගොස් සිටියදී සොයා ගෙන තිබුණා.

එමෙන්ම, සුන්බුන් අතර සිරවී සිටි 60 හැවිරිදි සහ 25 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු බේරා ගැණුනේ මහනුවර මහ නගර සභාව, පොලීසිය සහ යුද හමුදාවද ඒකාබද්ධව සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවයි ෴

ගොඩනැගිල්ල කඩාවැටීමෙන් පසු එම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පැමිණියා.

ගොඩනැගිල්ල කඩාවැටීමට හේතුව සොයාබැලීම සඳහා මේ වනවිටත් මූලික පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

මහනුවර ගොඩනැගිල්ල ගිලා බසින බව දැන දැනම හිමිකරු පිටවෙයි

(20.09.2020 – 19:18 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – බූවැලිකඩ ප්‍රදේශයේදී පස්මහල් ගොඩනැගිල්ලක් ගිලා බැස අසල පිහිටි හෝටලයක් සහ නිවසක් මත කඩා වැටීමෙන් මියගිය කුඩා බිළිඳාගේ මව සහ පියාගේ සිරුරු ද අද (20) පස්වරුවේ සොයා ගැණුනා.

ඒ යුද හමුදාව, පොලීසිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් ඇතුළු පිරිස එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුවයි.

අද (20) අලුයම 5 ට පමණ මෙම පස් (5) මහල් ගොඩනැගිල්ල ගිලා බැසීමකට ලක්වී ඊට පහළින් පිහිටි තවත් නිවසක් සහ හෝටලයක් මතට ද කඩා වැටී තිබුණා.

ඒ අනුව ගොඩනැගිල්ල කඩා වැටී ඊට යටවීමෙන් හෝටලයේ සිටි බිළිදෙකු ඇතුළු පස් (5) දෙනෙකු මුදා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කළේ අද (20) අලුයම් කාලයේ සිටයි.

එහිදී මෙහෙයුම් කණ්ඩායම විසින් සුන්බුන් තුල සිරවී සිටි 60 හැවිරිදි සහ 25 හැවිරිදි ඥාති කාන්තාවන් දෙදෙනෙකු (2) බේරා ගැණුනා.

කෙසේ වෙතත්, උදෑසන 08:30 ට පමණ සුන්බුන් තුළ සිරවී සිට මාස එකහමාරක් (1½) පමණ වන බිළිඳාගේ සිරුර සොයා ගැණුනේ ඉන් අනතුරුවයි.

පසුව බිළිඳාගේ දෙමව්පියන් සොයා මෙහෙයුම් ආරම්භ කළ අතර, ඔවුන්ගේ සිරුරු ද අද (20) පස්වරුවේ සොයා ගැණුනා.

35 හැවිරිදි චමිල ප්‍රසාද් සහ 32 හැවිරිදි අචලා ඒකනායක මෙලෙස මියගොස් සිටි අතර මොවුන් දෙදෙනා (2) පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී විවාහ වී තිබෙනවා.

මහනුවර නගරයේ සිට කිලෝමීටර් දෙකක් (2) පමණ දුරින් පිහිටා ඇති බූවැලිකඩ ප්‍රදේශයේ සංඝමිත්තා මාවතේ පිහිටි මෙම ගොඩනැගිල්ල සහිත ප්‍රදේශය අද (20) පස්වරුවේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරින්ගේ ද නිරීක්ෂණයට ලක්වුණා.

එහිදී අදහස් දැක්වූ භූ විද්‍යාඥ සමන්ත කුමාර බෝගහපිටිය සඳහන් කළේ අදාළ ගොඩනැගිල්ල අස්ථාවර භූමියක ඉදි කර ඇති බවයි.

එමෙන්ම, ඒ ආසන්නයේ තවත් නිවාස 3 ක පදිංචිව සිටි පිරිසකට ඉන් ඉවත් වීමට දැනුම් දී ඇති බව ද ඔහු කියා සිටියා.

මේ අතර, අදාළ ගොඩනැගිල්ලෙහි හිමිකරු ඇතුළු ඥාතීන් අද (20) අලුයම 3 ත් 4 ත් අතර කාලය තුලදී කිසිවෙකුටත් නොදන්වා එම ගොඩනැගිල්ලෙන් ඉවත් වී ඇති බව ද තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඒ පිළිබඳව පොලීසිය හෙට (21) අධිකරණයට කරුණු වාර්තා කිරීමට ද නියමිතයි.

මෙම පිරිස ගොඩනැගිල්ල ගිලා බසින බවට කිසියම් තොරතුරක් දැන ඉවත් වූයේ නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද මහනුවර පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

*********************************************

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් සතු සිම්කාඩ් හතක් (7) සහ ජංගම දුරකථනයක් සොයාගැනේ

(20.09.2020 – 10:26 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ බන්ධනාගාරයේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී රැඳවියන් සතුව තිබූ සිම්කාඩ්පත් හතක් (7) සහ ජංගම දුරකථනයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබෙනවා.

ඒ අතුරින් සිම් කාඩ්පත් පහක් (5) සොයාගෙන ඇත්තේ කළුතර බන්ධනාගාරයේ සිට රැගෙන එන ලද රැඳවියෙකු පරීක්ෂා කිරීමේදී ඔහුගේ ගමන් මල්ලේ තිබූ පාවහන් යුගලක ඉතා සූක්ෂම ලෙස සඟවා තිබියදියි.

තවත් රැඳවියෙකුගේ ඇඳුමේ සඟවාගෙන සිටි සිම්පතක් සහ සිරුරේ සඟවාගෙන සිටි ජංගම දුරකථනයක්ද ඒ අතර පවතින බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ෴

++++++++++++++++

වැලිකඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය හෙරොයින් ජාවාරමක් වටලා පුද්ගලයන් 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 25 ක්, මුදලින් රුපියල් 48,000 ක්, ලැප්ටොප් සහ බැංකු පොත් කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

+++++++++++++++

ව්‍යාජ ඔප්පු සකසා ඉඩම් විකිණීමේ ජාවාරමක නිරතවූ කල්ලියක සැකකරුවන් තුන්දෙනෙකු (3) දංකොටුව ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හලාවත විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ මෙහෙයවීමෙන් අද (20) අලුයම සිදුකළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් කළක සිට මෙම ඉඩම් ජාවාරම සිදුකර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

මොවුන් විසින් ව්‍යාජ ඔප්පු සකසා විකිණූ ඉඩම් පහක් පිළිබඳව තොරතුරු වාර්තාවී ඇති අතර, මුන්දලම ප්‍රදේශයේ එවැනි එක් ඉඩමක් ඔවුන් විකුණා ඇත්තේ හිමිකරුගේ ජාතික හැඳුනුම්පත ව්‍යාජ ලෙස සකසා ඊට අදාළව ඔප්පුවක් සකස් කිරීමෙන්.

අවසන්වරට ඔවුන් එලෙස ව්‍යාජ ලෙස ඉඩමක් විකුණා ඇත්තේ රුපියල් ලක්ෂ 20 කටයි.

සැකකරුවන් අවුරුදු 45 – 50 වයස් සීමාවන්හි පසුවන අය වන අතර, ව්‍යාජ ඔප්පු සැකසිය හැකි ඉඩම් සොයාදුන් තැරැව්කරුද ඒ අතර වනවා. ඔවුන් අද (20) දිනයේ මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි ෴

++++++++++++++++

වැල්ලවාය – මහආර ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස පරිසරය විනාශ කරමින් මහා පරිමාණයේ වැලි ජාවාරමක් සිදුවන බවට ප්‍රදේශවාසීන් පවසනවා.

ඔවුන් චෝදනා කරන්නේ ප්‍රදේශයේ ප්‍රබල ව්‍යාපාරිකයෙකු මීට සම්බන්ධ වී ඇති අතර, ඔහු විසින් ප්‍රදේශවාසීන් බියවද්දා මෙම ජාවාරම සිදුකරන බවයි.

මේ හේතුවෙන් ලුණුගම්වෙහෙර ජලාශය පෝෂණය වන කිරිදිඔය ගඟ රක්ෂිතය ද විනාශ වෙමින් පවතින බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ ෴

++++++++++++++

සැඟව සිටිමින් රත්නපුර ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ නිරත ‘කුඩු තුෂාර’ නමැත්තාගේ ප්‍රධාන ගෝලයා හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 11 යි මිලිග්‍රෑම් 180 ක් සහ රුපියල් 55,250 ක මුදලක් සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේ.

මීට පෙර හෙරොයින් සමඟ රත්නපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ‘පොල්ලෙල්ලා’ නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලට අනුවයි ‘කුඩු තුෂාර’ගේ මෙම ගෝලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු 28 හැවිරිදි වියේ පසුවන්නෙකු බවයි පොලීසිය සදහන් කළේ ෴

+++++++++++++++

නීති විරෝධිව ගවයින් ප්‍රවාහනය කළ පුද්ගලයින් හතර (4) දෙනෙකු කහටගස්දිගිලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කහටගස්දිගිලිය පොලීසියට ලද තොරතුරක් මත ඊයේ(19) සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි.

අදාළ සැකකරුවන්, බලපත්‍ර නොමැතිව පදවිය සහ ඊතල් වැටුණුවැව ප්‍රදේශ වලින් ගවයින් 13 දෙනෙකු ලොරි රථ දෙකකින් කහටගස්දිගිලිය තුරුක්කුරාගම ගවඝාතකාගාරයට ප්‍රවාහනය කරමින්සිටිය දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

මොවුන්, පදවිය සහ කිරිඉබ්බෑව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කහටගස්දිගිලිය පොලීසිය විසින් ක්‍රියාත්මකයි ෴

++++++++++++++

තංගල්ල – බෙලිඅත්ත – පලපොත ප්‍රදේශයේ අද සිදුකළ විශේෂ මෙහෙයුමකදී ගිනි අවි දෙකක් (2), ටී-56 ගිනි අවි සඳහා යොදන පතොරම් 31 ක් සහ තියුණු ආයුධයක් සමඟින් 25 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුවයි සැකකරුගේ නිවස පිටුපස සඟවා තිබියදී මෙම ගිනි අවි සහ පතොරම් සොයා ගෙන ඇත්තේ ෴

++++++++++++++

බාලවයස්කාර දරුවන් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සඳහා පොළඹවන ලද 18 හැවිරිදි තරුණියක් දඹුල්ල පොලීසිය අද (18) සැක පිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ‘සුලෝචනා’ හෙවත් ‘සුච්චි’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම තරුණිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඇය පදිංචිව සිටි නිවසෙහි සිදුකළ පරීක්ෂාවකදී හෙරොයින් මිලිග්‍රෑම් 820 ක් ද සොයා ගෙන තිබෙනවා.

වයස අවුරුදු 15 ත් 18 ත් අතර වියේ පසුවන තරුණයින් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා පොළඹවා ඇති බවටයි දැනට සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ.

එලෙස මත්ද්‍රව්‍ය වලට පොළඹවූ තරුණයින් පිළිබඳව ද පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴

++++++++++++++++

වවුනියාව, පුලියන්කුලම, මදියාමඩු ප්‍රදේශයේ ළිඳක තිබී මෝටාර් උණ්ඩ තොගයක් වවුනියාව පුලියන්කුලම පොලීසිය විසින් අද (20) සොයාගෙන තිබෙනවා.

ඒ ඉඩම් අයිතිකරුවෙකු සිය ළිඳ පවිත්‍ර කිරීමේදී අදාළ මෝටාර් උණ්ඩ දැක සිදුකළ දැනුම් දිමකට අනුවයි.

එහිදී මෝටාර් උණ්ඩ අටක් (8) ගොඩගත් බවත් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ මෝටාර් උණ්ඩ නිශ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් වෙත ලබාදුන් බවත් පොලීසිය වැඩිදුරටත් කියා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා ෴

*********************************************

‘පාර්ක් ඇන්ඩ් ඩ‍්‍රයිව්’ ලබන සතියේ සිට

(20.09.2020 – 10:31 +0530 – hirunews.lk/sinhala)

මාකුඹුර, මහරගම ඇතුළු ස්ථාන කිහිපයක් මූලික කර ගනිමින් ලබන සතියේ සිට ‘පාර්ක් ඇන්ඩ් ඩ‍්‍රයිව්’ වැඩසටහන ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළා.

මෙම වැඩසටහන යටතේ මෝටර් රථයෙන් පැමිණ එය දුම්රිය හෝ බස් නැවතුමක් අසල ගාල් කර පොදු ප්‍රවාහන සේවාවක් උපයෝගි කර ගනිමින් රාජකාරි සඳහා පැමිණිය හැකියි.

කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කර වේගසීමා ඉවත් කර දුම්රිය නියමිත වේලාවට ගමන් කරවීමට කටයුතු කරන බවයි.

මේ අතර හෙටින් (21) ආරම්භ වන සතියේ, මංතීරු නීතිය මුළු කොළඹ දිස්ත්‍රික්කයම ආවරණය වන අයුරින් සිදුකිරීමට මේ වනවිට අවධානය යොමුව තිබෙනවා.

බස්නාහිර පළාත් රථවාහන සහ නාගරික රථ වාහන කොට්ඨාශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතා කියා සිටියේ පසුගිය සතියේ මංතීරු නීතිය ක්‍රියාත්මක වූ කොළඹ අවට ප්‍රදේශ කිහිපය හැකිතාක් තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බවයි.

කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් පසුගිය සතියේ මංතීරු නීතිය ක්‍රියාත්මක වුණා.

ඒ අනුව, කොළඹ අවට ප්‍රධාන මාර්ග කිහිපයක මෙය ක්‍රියාත්මක වූ අතර, පළමුවන මංතීරුවෙහි බස් රථ පමණක් ධාවනය කිරීමටයි මීට පෙර කටයුතු කළේ.

පසුව, එලෙස බස් රථ පමණක් ධාවනය වූ මංතීරුවේ බස් රථවලට අමතරව යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ද ධාවනය කරවීමට ඉඩ පහසුකම් සැලසූ අතර, ඊට සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම මාර්ග තදබදයට මුහුණපෑ බොහෝ පිරිස් විරෝධය ද පළ කළා.

කෙසේ වෙතත්, ඊයේ (19) සහ අද (20) දිනයේ මංතීරු නීතිය ක්‍රියාත්මක නොවූ අතර යළි හෙට (21) සිට මංතීරු නීතිය පෙර පරිදිම කොළඹ අවට ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වනවා.

ඒ අනුව, මංතීරු 4 ක් හෝ 3 ක් පවතින මාර්ගවල පළමුවන (1) මංතීරුවෙහි බස් රථ, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ගමන් කළ යුතු අතර දෙවන (2) මංතීරුවෙහි ද සැහැල්ලු වාහනවලට අමතරව ත්‍රිරෝද රථවලට මෙන්ම යතුරුපැදිවලට ද ගමන් කිරීමට හැකියාව පවතිනවා.

කෙසේ වෙතත්, අනෙකුත් සියලු වාහන තුන්වන (3) මංතීරුව භාවිත කළ යුතු අතර ත්‍රිරෝද රථ, බස් රථ හෝ යතුරුපැදිවලට තුන්වන (3) මංතීරුව භාවිත කිරීමට හැකියාවක් නැහැ.

මේ අතර, හෙටින් (21) ආරම්භ වන සතියේ ක්‍රියාත්මක මංතීරු නීතිය කඩ කරන පුද්ගලයින්ට දඩ මුදල් අය කිරීම සිදුනොවන බවයි පොලීසිය සඳහන් කළේ.

එලෙස මංතීරු නීතිය කඩ කරන පුද්ගලයින්ට උපදෙස් ලබා දීම සඳහා ලබන ඉරිදා වෙනම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ද පොලීසිය කියා සිටියා.

කෙසේ වෙතත්, හෙටින් (21) ආරම්භ වන සතියෙන් පසුව පැමිණෙන සතියේ සිට මංතීරු නීතිය කඩ කරන පුද්ගලයින්ගෙන් රුපියල් 2000 ක දඩ මුදලක් අය කිරීමටයි මේ වනවිට කටයුතු සූදානම් කර ඇත්තේ.

එමෙන්ම, මෙම මංතීරු නීතිය ක්‍රමානුකූලව කොළඹ නගරයෙන් පිටත නගරවලට ද රැගෙන යාමට කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇති බවයි බස්නාහිර පළාත් රථවාහන සහ නාගරික රථ වාහන කොට්ඨාශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතා කියා සිටියේ.

එමෙන්ම, මාර්ග ආශ්‍රිතව සිදුවන අනතුරු සැලකිල්ලට ගෙන දුර ගමන් සේවා බස් රථ සඳහා ද වම් මංතීරුව පමණක් භාවිත කිරීමට අවශ්‍ය නීති සකස් කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා ෴

++++++++++++

++++++++++++++

වාහන ආනයනය අත්හිටුවීම සහ දේශීය වෙළඳපොලේ වාහන සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවීම හේතුවෙන් යළිත් රථ වාහන මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කළේ මෝටර් රථ ඇතුළු අනෙකුත් වාහන වල මිල ගණන් රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වා මිලකින් ඉහළ ගොස් ඇති බවයි ෴

*********************************************

ජීවිත තර්ජන ඇති බව හේමසිරි ප්‍රනාන්දු පාස්කු කොමිසමට කියයි

(20.09.2020 – 13:08 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපතිවරයාත්, තමාත් විරසක කිරීමට කටයුතු කළ දේශපාලනඥයින්ගෙන් තමාගේ ජීවිතයට තර්ජන පවතින බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අනාවරණ කළා.

ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් පිළිබඳ තොරතුරු ලැබී තිබීයදීත් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම කෙරෙහි මුස්ලිම් දේශපාලනඥයින්ගේ බලපෑම් තිබෙන්නට ඇතැයි තමා විශ්වාස කරන බවයි.

මෙහිදී සාක්ෂි මෙහෙයවූ රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හේමසිරි ප්‍රනාන්දු ගෙන් ප්‍රශ්න කළේ වවුනියාව පොලිස් නිලධාරීන්ගේ ඝාතනය, මාවනැල්ල බුදු පිළිම කැඩීම, වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම ඇතුලු කාරණා රැසක් අනාවරණ වෙද්දී භයානක සිද්ධියක් සිදුවේයැයි නොසිතුණේද යන්නයි.

ඊට පිළිතුරු දුන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සඳහන් කළේ එය වැටහුණු නමුත් නැගෙනහිර දේශපාලන ක්‍රියාවලියේ හැසිරීම ගැන මෙන්ම ඔවුන් රජයට කොතරම් අවශ්‍යද යන්න සැළකිල්ලට ගනිද්දී එයට කළහැකි දෙයක් නොවන බවයි.

මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් ප්‍රශ්න කළේ ජාතික ආරක්ෂාවට වඩා වෙනත් කරුණක් වැදගත්ද යන්නයි.

ඊට ප්‍රතිචාර දැක්වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කියා සිටියේ මෙරට පවතින මැතිවරණ ක්‍රමය අනුව සුළු ජාතිකයන්ට රජයට බලපෑම් කිරීමේ හැකියාවක් තිබුණු බවයි.

නැගෙනහිර ප්‍රදේශයේ දේශපාලඥයන් හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් පොලීසියට පවා සිය රාජකාරි කිරීමේදි විවිධ බාධා එල්ලවූ බව හේමසිරි ප්‍රනාන්දු, පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේදී වැඩිදුරටත් අනාවරණ කළා.

*********************************************

වත්මන් ආණ්ඩුවේ පිරිස් මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරනු ඇති බවට විශ්වාසකරනවා

(20.09.2020 – 13:50 +0530 – hirunews.lk/sinhala)

විපක්ෂයේ සිටියදී පළාත් සභා ඡන්දය පවත්වන්නැයි උද්ඝෝෂණය කළ වත්මන් ආණ්ඩුවේ පිරිස් මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

එමෙන්ම පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින්ද අදහස් පළ කළා.

***************************************

*********************************************

අබලන් වූ දේදුගල, වහරකගම මාර්ගය නිසා පීඩාවට පත්ව සිටින ජනතාව

(20.09.2020 – 14:40 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දේදුගල, වහරකගම මාර්ගය අබලන් වීම හේතුවෙන් එහි ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා.

තේ දල්ලෙන්​ සහ එදිනෙදා කුලී වැඩකින් සිය ජීවිකාව සරි කර ගන්නා පවුල් 100 කට ආසන්න පිරිසක් මෙම මාර්ගය හරහා සිය ගමනාගමන කටයුතු සපුරා ගන්නවා.

නමුත් මාර්ගයේ ඇති දුෂ්කරතාව නිසාම ගම්වාසීන් පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි.

*********************************************

වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් ආබාධිත තත්ත්වයට පත්වූ දැරිය

(20.09.2020 – 14:44 +0530 – hirunews.lk/sinhala)

නීරෝගීමත් දරුවෙකු ලෙසින් මෙලොව එළිය දුටුවද වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් දෙපයින් සිට ගැනීමට නොහැකි තත්ත්වයට පත්වූ දියණියක් පිළිබඳ අලුත්ගම ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

*********************************************

අධිකරණ ඇමති රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක

(20.09.2020 – 15:21 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ සියලුම අංශ නිරීක්ෂණය කළ ඔහු රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, ඒ පිලිබඳව පවතින ගැටලු සම්බන්ධයෙන් ද අවධානය යොමුකර ඇති බව සඳහන්.

පරීක්ෂක වාර්තා ලබාදීමේදී අවශ්‍ය මානව හා භෞතික සම්පත් තවදුරටත් ලබාදීමට අධිකරණය අමාත්‍යාංශය කටයුතු කරන බවයි එහිදී අමාත්‍ය අලී සබ්රි කියා සිටියේ.

අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%83+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29

*********************************************

හරීන්ගේ ප්‍රකාශයට කාදිනල් හිමිපාණන් ඇතුළ සහයක රදගුරුතුමන්ලාගේ විරෝධය

(20.09.2020 – 16:05 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේදී පසුගියදා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා සහ සමස්ත පූජක සංසදය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා වන අති උතුම් මැක්ස්වල් සිල්වා, අති උතුම් ඇන්තනි ජයකොඩි සහ අති උතුම් පී. ඇන්ටන් රංජිත් යන රදගුරුතුමන්ලාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව කියා සිටියේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව පෙර දැනුවත් වූ බවට කරුණු අනාවරණය වී ඇති බැවින් කතෝලික පල්ලියද මේ ගැන දැන සිටින්නට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පසුගිය 17 වනදා පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළා.

+++++++++++++++++++++

*********************************************

හලාවතට අහසින් වැටුණු මාළු දැල

(20.09.2020 – 18:41 +0530 – hirunews.lk/sinhala)

හලාවත අදාහානාගාරය පිහිටි භූමියට අද (20) පෙරවරුවේ අහසේ පාවෙමින් පැමිණි මාළු දැලක් වැටී ඇති බව හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර ප්‍රකාශ කළා.

තද වර්ෂාවක් හලාවත ප්‍රදේශයට ඇඳහැලෙමින් තිබූ අවස්ථාවේ අහසේ පාවෙමින් තිබූ මාළු දැලක් අදාහානාගාරය පිහිටි භූමියට වැටෙන අයුරු එම ප්‍රදේශයේ කීපදෙනෙකු දැක තිබෙනවා .

අඩි 250 ක් පමණ දිගකින් යුත් කිලෝග්‍රෑම් 300 ක් පමණ බරැති දැලකුයි මෙලෙස වැටී ඇත්තේ.

මේ සිදුවීම ඇසින් දුටු පුද්ගලයෙකු කියා සිටියේ එම දැල හලාවත මුහුදු ප්‍රදේශයේ සිට ඉහළ අහසේ පාවෙමින් පැමිණ එකවර ආදාහානාගාරය දෙසට වැටුණු බවයි.

*********************************************

කුඩා සහ මධ්‍ය පරිමාණ ක්ෂේත්‍ර ආර්ථිකයේ කොදු නාරටියයි – අගමැති කියයි

(20.09.2020 – 19:00 +0530 – hirunews.lk/sinhala)

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය රටේ ආර්ථිකයේ කොඳු නාරටිය වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හම්බන්තොට – මාගම්රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ අද (20) පැවති කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණයට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

***************************************

*********************************************

හිටපු ජනපති මෛත්‍රිගෙන් හේමසිරිට පිළිතුරු

(20.09.2020 – 19:02 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපතිවරයා තමා හා විරසක කිරීමට කටයුතු කළ දේශපාලනඥයින්ගෙන් තමාගේ ජීවිතයට තර්ජන ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂ හමුවේ සිව්වැනි (4) දිනට ඊයේ (19) සාක්ෂි ලබාදෙමින්.

මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු තමා සම්බන්ධයෙන් කරනු ලැබූ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවත් එය අසත්‍ය ද්වේෂ සහගත ලෙස ඉදිරිපත් කර ඇති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (20) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කොමිසම හමුවේ ඊයේ (19) කියා සිටියේ පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් පිළිබඳ තොරතුරු තිබියදීත් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම කෙරෙහි මුස්ලිම් දේශපාලනඥයින්ගේ බලපෑම් තිබෙන්නට ඇති බවට තමා විශ්වාස කරන බවයි.

මේ අතර, හිටපු අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු පසුගිය දිනවල පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවේදී තමන් පිළිබඳව සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර තිබුණා.

එම නිවේදනය පහතින් :

*********************************************

හෙරොයින් ජාවාරම් ජාලයක තොරතුරු අනාවරණය වෙයි

(20.09.2020 – 19:51 +0530 – hirunews.lk/sinhala)

කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සිදුකළ හෙරොයින් ජාවාරම් ජාලයක තොරතුරු අනාවරණය කර ගැනීමට වැලිකඩ පොලිසියේ නිලධාරීන් සමත් වුණා.

මේ අතර හෙරොයින් ජාවාරම්කරුවෙකු වන ‘මොහොමඩ් ෆාරුක්’ හෙවත් ‘බැරල් රංජි’ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පොලිසිය අද (20) අත්අඩංගුවට ගත්තා.

ජාවාරමට සම්බන්ධ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකුද විවිධ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැලිකඩ පොලීසියට ලද තොරතුරක් මත හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි කෑගල්ලේ පදිංචිකරුවෙක් රාජගිරියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් මත ඔහුට හෙරොයින් ලබාදුන් මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සිව් (4) දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10 ක්, රුපියල් 48,000 ක්, ලැප්ටොප් පරිගණක 3 ක් හා ජංගම දුරකථන 4 ක් පොලිස් භාරයට ගැණුනා.

මෙම ජාවාරමට සම්බන්ධ කාන්තාවක්ද රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 12 ක් හා රුපියල් 28,000 ක මුදල් සමගින්.

මේ අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත අද (20) උදෑසන 6 සිට පස්වරු 6 දක්වා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කෙරුණා.

එහිදී හෙරොයින් ජාවාරම්කරුවෙකු වන ‘මොහොමඩ් ෆාරුක්’ හෙවත් ‘බැරල් රංජි’ හෙරොයින් ග්‍රෑම් 12 ක් සමඟ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් කොළඹ – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට අමතරව සැකකරු සන්තකයේ තිබී ජංගම දුරකථන 9 ක්ද පොලිස් භාරයට ගත්තා.

ඔහුගෙන් ලද තොරතුරු මත ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන්ම කාන්තාවක්ද හෙරොයින් ග්‍රෑම් 5 ක් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

මෙම පුද්ගලයින්ගෙන් හෙරොයින් ලබාගැනීමට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු (3) ද පොලිසිය අත්අඩංගුවට ගත්තා.

මේ අතර රත්නපුර ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ නිරත වන ‘කුඩු තුෂාර’ නැමැත්තාගේ ප්‍රධාන ගෝලයා හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 11 යි මිලි ග්‍රෑම් 180 ක් සහ රුපියල් 55,250 ක මුදලක්ද පොලිස් භාරයට ගැනුණා.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මීට පෙර හෙරොයින් සමඟ රත්නපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ‘පොල්ලෙල්ලා’ නමැත්තාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් හෙළි වූ තොරතුරු මතයි.

මේ අතර, ‘ආවා’ කල්ලියෙන් වෙන්වූ ‘ධනූ රොක්’ නමැති කල්ලියේ නායකයා ඇතුළු සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය මානිප්පායි ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් අසළ සැකකටයුතු ලෙස රැඳී සිටියදීයි.

අත්අඩංගුවට ගත් ‘ධනු රොක්’ කල්ලියේ නායකයාට මිනිසුන් බියවැද්දීම සම්බන්ධයෙන් නඩු කිහිපයක් අධිකරණයේ විභාග වන අතර, අදාළ සැකකරුවන් මානිප්පායි පොලීසියට භාරදී තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත කල්පිටිය ප්‍රදේශයේදී කොකේන් ග්‍රෑම් 480 ක් සමගින් වයස අවුරුදු 25 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා.

මේ අතර දඹුල්ල පොලිසියට ලද තොරතුරක් මත දඹුල්ල නව පාදෙණිය ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් සමඟ තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ සෙල්වදොරේ සුලෝචනා හෙවත් ‘සුච්චි’ නම් අදාළ තරුණිය ප්‍රදේශයේ තරුණයින් අතර මත්ද්‍රව්‍ය ප්‍රචලිත කර ඔවුන් විවිධ අපචාර ක්‍රියාවල පොළඹවන බවයි.

මේ අතර අත්බෝම්බයක්, ජීව උණ්ඩ 6 ක්, හිස් පතොරම් කොපු කිහිපයක්, කඩු හා මන්නාපිහි සහ යුද හමුදා නිල ඇඳුම් ඇතුළු ආරක්ෂක අංශ භාවිත කරන භාණ්ඩ කිහිපයක් සමඟින් 56 හැවිරිදි විශ්‍රාමික යුද හමුදා සෙබළෙක් අනුරාධපුර පොලිසිය අත්අඩංගුවට ගත්තේ තිසාවැව – පන්ඩුලගම ප්‍රදේශයේදීයි.

මොරටුව කටුබැද්ද ජුබිලි පාරේ මල්වත්ත ප්‍රදේශයේ නිවසක දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය අලෙවිකරන මධ්‍යස්ථානයක් වැටලීමට ගල්කිස්ස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සමත් වුණා.

එහි විශේෂත්වය වන්නේ මෙම ස්ථානයේදීම මත්ද්‍රව්‍ය භාවිත කිරීමට අවස්ථාව සලසා දී තිබීමයි.

අදාල වැටලීමේදී සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්රෑම් 45 ක්, මත් පෙති 70 ක් හා ජංගම දුරකතන 8 ක් පොලිස් භාරයට ගැණුනා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *