අංගොඩ ලොක්කා ගැන කොයිම්බතූර් CIDය කියන අලුත්ම කතාව

අංගොඩ ලොක්කා ගැන කොයිම්බතූර් CIDය කියන අලුත්ම කතාව

යාපනය සරසවියෙන් ඇසෙන අලුත්ම නවකවදය ?

පෑලියගොඩදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

කොවිඩ් අඩපණ කළ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරුපැදි

ජනපති ඇතුලු නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධියේ දෙවන සැකකරු ලෙස ‘පොඩි ලැසී’ නම් කරයි

විදේශ ගමන් බලපත්‍ර හා රජයේ රහස්‍ය ලේඛන මුද්‍රණය, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට

පාස්කු ප්‍රහාරය ගැන කතෝලික පල්ලියත් දැන සිටින්නට ඇති – හරීන් ප්‍රනාන්දු

ළමයෙකු ලෙස අර්ථකථනය කරන වයස් සීමාව අවුරුදු 18 දක්වා වැඩිකෙරේ

ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයින් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට මංගල සමරවීර බලපෑම් කරලා – කොමිසමේදී අනාවරණ වෙයි

පාලසෝල හන්දියේ සිට මුක්කුතොඩුවාව දක්වා අබලන් මාර්ගය නිසා පීඩා විඳින ගම්වැසියෝ

වත්මන් නායකත්වය විශ්වාසකර නව ව්‍යවස්ථා ගෙන එම සුදුසු නැහැ – පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

ජලය, විදුලිය, ඉන්න බිමක් නොමැතිව පීඩා විඳින වැලිගේපොල වැසියෝ

වාස් ගුණවර්ධනගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අවසර

*********************************************

අංගොඩ ලොක්කා ගැන කොයිම්බතූර් CIDය කියන අලුත්ම කතාව

(17.09.2020 – 10:54 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් පලාගොස් වෙනත් නමකින් ඉන්දියාවේ වාසය කළ මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘ලසන්ත චන්දන පෙරේරා’ හෙවත් ‘අංගොඩ ලොක්කා’ කොයිම්බතූර්හිදී මියගොස් ඇත්තේ හෘදයාබාධයකින් බව, කොයිම්බතූර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියෙකු උපුටා දක්වමින්, ද හින්දු පුවත්පත වාර්තා කර තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පදනම් කර ගනිමින් ඔහු එම ප්‍රකාශය කළ බවද හින්දු පුවත්පත සඳහන් කර තිබෙනවා.

අදාළ වාර්තාවෙන්, විෂ හෝ වෙනත් සැක සහිත කරුණු සොයා ගැනීමට නොහැකි වූ බවයි ඔහු පවසා ඇත්තේ.

කොයිම්බතූර් හි චෙරන් මා නගර් අසල බාලාජි නගර් හි කුලී නිවසක ‘අංගොඩ ලොක්කා’ සමඟ ජීවත් වූ ‘අමානි තන්ජි’ නම් ශ්‍රී ලාංකික කාන්තාවගේ මූලික ප්‍රකාශයට අනුව ජූලි 3 වන දින රාත්‍රියේ ඔහුට පපුවේ වේදනාවක් ඇති වී තිබෙනවා.

‘අංගොඩ ලොක්කා’ කොයිම්බතූර් හි ජීවත් වූයේ ‘ප්‍රදීප් සිං’ නමැති ව්‍යාජ නාමයෙන් බවද මීට පෙර හෙළි වුනා.

ඔහුගේ මිතුරියන් වන මදුරෙයි හි ‘ඩී. සිවකමසුන්දරි’, සහ ‘තංජි’ ජුලි 5 වන දින පළමු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ලොක්කාගේ දේහය මදුරෙයි වෙත ගෙන ගොස් එහි ආදාහනය කර ඇති බවයි වාර්තා වුනේ.

මෙම සිද්ධිය හා ව්‍යාජ ලියකියවිලි සැකසීම යන චෝදනා මත එම දෙදෙනා ඇතුළු තුන් දෙනෙකු (3) අගෝස්තු 2 වනදා ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා.

ලොක්කාගේ මරණය, ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කිරීම, වැරදිකරුට රැකවරණය සැපයීම, අපරාධ කුමන්ත්‍රණය කිරීම සහ වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම යන චෝදනා ඔවුන්ට එල්ල වුනා.

‘අංගොඩ ලොක්කා’ගේ මරණය සම්බන්ධයෙන් සැක සහිත තැන් නිරාකරණය වූ පසු අනෙක් චෝදනා ගැන පරීක්ෂණ ඉදිරියට යනු ඇති බව හින්දු පුවත්පත තවදුරටත් වාර්තා කර තිබෙනවා.

පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ ලොක්කා සතුව පිස්තෝලයක් තිබූ බවත් ඔහුගේ මරණයෙන් පසු එය මදුරෙයිහි ශ්‍රී ලාංකික ජාතිකයෙකුට භාර දී ඇති බවයි.

එම ශ්‍රී ලාංකික පුද්ගලයා සොයා ගැනීමට පරීක්ෂණ පැවැත්වෙනවා ෴

*********************************************

යාපනය සරසවියෙන් ඇසෙන අලුත්ම නවකවදය ?

(17.09.2020 – 09:10 +0530 – hirunews.lk/sinhala)

යාපනය විශ්වවිද්‍යාලයේ අමුතුම නවක වද සිද්ධියක් පිළිබඳව මේ වනවිට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

එහිදී ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් විශ්ව විද්‍යාලයේ පලමු වසර සිසු සිසුවියන්ට ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙමින් සජීවීව හා ඒවා පටිගත කොට ජංගම දුරකතන ආධාරයෙන් තමන් වෙත එවන ලෙස බලකර සිටින බවයි වාර්තාවන්නේ.

විශ්ව විද්‍යාල කාමරවල හා වැසිකිළි තුල සිට කෙරෙන මෙම ලිංගික ක්‍රියාවන් සමාජ මාධ්‍යන් ඔස්සේ නරඹන ජෙයෂ්ඨ සිසුන් ඒ ඔස්සේ තවත් අශීලාචාර ක්‍රියා සිදු කරණ ලෙසට උපදෙස් දෙන බවද වාර්තාවී තිබෙනවා.

මේ හේතුවෙන් නවක සිසුන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවටයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.

කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ විනය කමිටුවේ සහ පරිපාලන අංශයේ කථිකාචාර්යවරයෙකුගෙන් විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ නවක සිසුන් මෙවැනි නවක වදය දීමේ සිද්ධියක් හෝ සිද්ධීන් පිළිබදව කිසිදු පැමිණිල්ලක් කොට නොමැති බවයි.

කවරෙකුගෙන් හෝ මේ සම්බන්ධව රහසිගතව හෝ පැමිණිල්ලක් ලැබෙන්නේ නම් එය රහසිගතව තබාගෙන පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට හැකි බව කී එම කථිකාචාර්යවරයා මේ වසරේ පෙබරවාරී මාසයේදී යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය මණ්ඩපයේ එවැනි ක්‍රියාවන් ගණනාවක් සිදු වු බව සදහන් කළා.

මේ සම්බන්ධයෙන් පැමිණිලි ලද අවස්ථාවේදී උතුරු පළාත් ආණ්ඩුකාරවරියද ඊට මැදිහත් වී පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව සිසුන් හය (6) දෙනෙකු ඔවුන්ගේ ජංගම දුරකතන සමග අත් අඩංගුවට ගත් බවත් අට (8) දෙනෙකුගේ පන්ති තහනම් කළ බවත් සඳහන් කළා.

කෙසේ වෙතත් පසුගිය පෙබරවාරී මාසයේදී මේ අයුරින් නවක වදයට භාජනය වූ සිසුවකුගේ ජනනේද්‍රයේ ඇතිවූ අසාත්මිකතාවයක් හේතුවෙන් රෝහල් ගත කිරීමට ද පියවර ගෙන තිබෙනවා ෴

+++++++++

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන නවක වදය ලබා දිමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ අද (17) පැවැති කැබිනට් තිරණ දැනුම්දිමේ මාධ්‍ය හමුවේදි අදාළ සිද්ධිය පිළිබඳව මාධ්‍යවේදියෙකු විමසු අවස්ථාවේදියි ෴

*********************************************

පෑලියගොඩදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(17.09.2020 – 09:15 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ – පළමු පටුමග ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 100 යි මිලිග්‍රෑම් 300 ක් සමඟ පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු ඊයේ (16) පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී සැකකරු සතුව රුපියල් ලක්ෂ 3 ක මුදලක්ද සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ඊයේ (16) අත්අඩංගුවට ගත් මෙම සැකකරු 40 හැවිරිදි පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර කිලිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝ 11 ග්‍රෑම් 224 ක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු 43 හැවිරිදි පරන්තන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

+++++++++++++++

නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන ඒමට තැත්කළ වියලි කහ කිලෝ 520 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු (3) නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව අද (17) මන්නාරම මුන්දලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ තවත් එක් විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම කහ තොගය සොයාගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සැකකරුවන් වයස අවුරුදු 22 ත් 55 ත් අතර වයසේ පසුවන පල්ලෙමුණේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අනාවරණ වී ඇත්තේ ෴

++++++++++++++

දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ජෝසා’ නැමැත්තාගේ සමීපතමයෙකු වන ‘සාජි’ නැමැති සැකකරු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

22 හැවිරිදි ඔහු අලුත්ගම – දර්ගා නගරය – කුරුඳුවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු ‘ජෝසා’ නැමැත්තාගේ හෙරොයින් ඊ.සී. කෑෂ් ක්‍රමයට අලෙවි කර ඇති අතර, ඔහු දර්ගා නගරයේම පදිංචිකරුවෙක් ෴

++++++++++++

පාසල් ළමයින් සඳහා මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බේස්ලයින් මාර්ගයේ දෙමටගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පාසලක් ඉදිරිපිට අද (17) පෙරවරුවේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය සහ පොලිසිය එක්ව සිදුකළ වැටලීමකදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී සැකකරු සතුව තිබූ මාවා ග්‍රෑම් 07 යි මිලිග්‍රෑම් 730 ක් පොලිස් භාරයට ගනු ලැබුවා.

21 හැවිරිදි සැකකරු ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

*********************************************

කොවිඩ් අඩපණ කළ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරුපැදි

(17.09.2020 – 09:34 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 අඩපණ කිරීම වෙනුවෙන් විශිෂ්ට කාර්‍යභාරයක් ඉටුකල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් විශේෂ ව්‍යාපෘතියේ මුල්‍ය ප්‍රතිපාදනවලින් යතුරුපැදි ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් විශේෂ ව්‍යාපෘතියේ සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසනවා.

යතුරු පැදි 807 ක් එදින බෙදාදීමට නියමිත අතර ඒ සියලු යතුරුපැදි හිමිවන නිලධාරීන් නියෝජනය කරමින් කැඳවන කණ්ඩායමකට යතුරු පැදි ප්‍රදානය කිරීම නිල වශයෙන් සිදු කරනු ඇති.

අදාල නිලධාරීන්ට සහභාගීවීමට පුද්ගලිකව දන්වන බවයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය, පවසන්නේ.

2020.09.18, සිකුරාදා පෙරවරු 10:30 ට කොළඹ, ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී, ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් යතුරු පැදි ප්‍රදානය කරන අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ අමාත්‍යාංශ නිලධාරීන්ද එක්වීමට නියමිතයි.

මෑත කාලයේ, අදාල නිලධාරීන්ගෙන් කිසිදු අයකිරීමක් නොකොට එකවර ප්‍රදානය කරන විශාලතම යතුරුපැදි තොගයද මෙය වන බව සඳහන් ෴

*********************************************

ජනපති ඇතුලු නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධියේ දෙවන සැකකරු ලෙස ‘පොඩි ලැසී’ නම් කරයි

(17.09.2020 – 10:25 +0530 – hirunews.lk/sinhala)

බූස්ස බන්ධනාගාරයේදී ජනාධිපතිවරයාට සහ රාජ්‍ය නිලධාරීන්ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ජනිත් මධුසංක’ හෙවත් ‘පොඩි ලැසී’ නැමැත්තා මේ මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනුකළ මෝසමක් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල මහතා හමුවේ අද (17) උදෑසන සළකා බැලූනු අවස්ථාවේදියි.

පසුගිය 8 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ ‘කොස්ගොඩ තාරක’ සහ ‘පොඩි ලැසී’ නැමති සැකකරුවන් මෙලෙස ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට මරණ තර්ජන කර ඇති බවයි.

ඒ අනුව ‘පොඩි ලැසී’ නැමැත්තාගෙන් බන්ධනාගාරයට ගොස් ප්‍රකාශයක් ලබාගැනීමට සහ අධිකරණයට ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සිටියා.

ඊට මහේස්ත්‍රාත්වරයා අවසර ලබාදුන් අතර, සැකකරුව මේ මස 25 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි නියෝග කෙරුණේ.

කෙසේ වෙතත් ‘පොඩි ලැසී’ නැමති සැකකරු දැනට බන්ධනාගාර ගතව සිටින චෝදනාවට අදාළ නඩුව බලපිටිය මහාධිකරණයේදී කැඳවීමට නියමිතව තිබුණා.

එහිදී ඔහු ඇප මත නිදහස් වීමට අද (17) දිනයේ ඉඩ තිබූ බැවින් රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් නඩුව කැඳවීමට මෝසමක් ඉදිරිපත් කළ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

ඒ අනුව බලපිටිය මහාධිකරණයේ විභාගවන නඩුවට ඉදිරිපත් කිරීමට පෙර සැකකරුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ඒමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගනු ලැබුවා.

අද (17) උදෑසන සිටම අධිකරණය පිහිටි ගාල්ල – කොටුව අවට ආරක්ෂාව දැඩි කර තිබූ අතර ‘පොඩි ලැසී’ නැමැත්තා බන්ධනාගාරයට රැගෙන එනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යටතේයි.

නඩුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ‘පොඩි ලැසී’ නැමැත්තා තර්ජනය කිරීමේ නඩුවේ දෙවන (2) සැකකරු ලෙස නම් කිරීමට අවසර ලබාදෙන ලෙසයි.

ඊට අවසර ලබාදුන් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල සැකකරුවන් මේ මස 25 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

මහේස්ත්‍රාත්වරයා නියෝගය ප්‍රකාශ කිරීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් රැකවල් මධ්‍යයේ ‘පොඩි ලැසී’ නැමැත්තා බන්ධනාගාර බස් රථයකින් බලපිටිය මහාධිකරණය වෙත රැගෙන යනු ලැබුවා.

මීට අදාළ නඩුව මේ වනවිට මහාධිකරණයේ කැඳවා ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

+++++++++++++++++++++

*********************************************

විදේශ ගමන් බලපත්‍ර හා රජයේ රහස්‍ය ලේඛන මුද්‍රණය, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට

(17.09.2020 – 10:44 +0530 – hirunews.lk/sinhala)

විදේශ ගමන් බලපත්‍ර හා රජයට අවශ්‍ය රහස්‍ය ලේඛන, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් මුද්‍රණය කර සැපයීම සම්බන්ධයෙන් ගෙනා කැබිනට් යෝජනාවට අනුමැතිය හමුව තිබෙනවා.

එමගින් මේ වනවිට එම ලේඛන විදේශීය මුද්‍රණ ආයතන හරහා මුද්‍රණය කරවීම තුලින් රටින් පිටතට ගලා යන විදේශ විනිමය රට තුළ රඳවා ගැනීමට හැකිවනු ඇති බවයි සඳහන් වන්නේ.

මේ අතර කෙළවරපිටියේ මෙගා වොට් 300 ක දෙවන ඒකාබද්ධ ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) විදුලි බලාගාරයක් ඉදි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එම විදුලි බලාගාරය ස්වාධින ව්‍යාපෘතියක් ලෙස පෞද්ගලික ආයෝජනා මගින් BOOT ව්‍යාපෘතික් ලෙස ඉදි කිරීම යෝග්‍ය බව හඳුනා ගෙන ඇති බවයි අද (17) පවතී අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සකච්ඡාවෙදි ප්‍රකාශ කෙරුනේ.

එම තීරණය ඇතුළු අද (17) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත්කෙරුණු කැබිනට් තීරණ පහතින් :

+++++++++++++++++++++

Cabinet Decisions on 16.09.2020
Cabinet Decisions on 16.09.2020

++++++++++++

2021 අයවැය ඔක්තෝබර් මස දෙවන (2) සතියේදී පාර්ලිමේන්තුවට

(17.09.2020 – 12:00 +0530 – hirunews.lk/sinhala)

2021 වසර සඳහා වූ අයවැය විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් මස දෙවන (2) සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අද (17) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේදී ප්‍රකාශ කළා.

ඒ අනුව 2021 වසර සඳහා වන අයවැය සකස් කිරීමේදී ප්‍රමුඛතාව දී ඇති ප්‍රතිපත්තිමය කරුණු පහතින් :

1) සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගැනීමට සඳහා අවශ්‍ය සම්පත් වෙන්කිරීම.

2) අමාත්‍යංශ හා රාජ්‍ය අමාත්‍යංශ වෙත විෂයන් පැවරීමට අදාලව නිකුත් කරන ලද ගැසට් නිවෙදනයේ සඳහන් වන පරිදි අදාළ අරමුණු ඉටු කරගැනීම සඳහා අවශ්‍ය සම්පත් වෙන් කිරීම.

3) සැමට පානීය ජලය ලබාදීම මුළු දිවයිනම ආවරණය වන පරිදි කිලෝමීටර් 100,000 මාර්ග පුනරුත්ථාපන වැඩිදියුණු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම, ජලජ සම්පත් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛතාව ලබාදීම.

4) රාජ්‍ය ආදායම 2021 වසරේදී දළ දේශීය නිෂ්පාදනයෙන් 10.2% ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තුගතකර ඇති බැවින් එම තත්ත්වය යටතේ වියදම් කලමනාකරණ ක්‍රමවේද අනුගමනය කරමින් ව්‍යාපාර කටයුතු සාර්ථක කරගැනීම සඳහන් අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින් රාජ්‍ය ආයෝජන වැඩසටහන් සඳහා සම්පත් වෙන්කිරීම.

5) රජයේ කටයුතු ඩිජිටල්කරණය කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීම.

6) සම්පත් අඩු ප්‍රමාණයක් යොදවමින් වඩාත් ඵලදායී ප්‍රතිඵල අත්කරගැනීමට හැකිවන පරිදි දැනට පවත්නා ක්‍රමවේද සමාලෝචනය කර සරල ක්‍රමවේද වෙත යොමුවීම කෙරෙහි අවධානය යොමුකිරීම.

++++++++++

දේශීයව වගා කළ හැකි හෝ නිෂ්පාදනය කළ හැකි අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය, වෙළඳ භාණ්ඩ සහ මෝටර් වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් ආනයන අපනයන පනත යටතේ ප්‍රකාශයට පත් කිරීම් වලට අදාළ ගැසට් නිවේදන හතරක් (4) පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් විදේශ විනිමය අනුපාතිකයේ ඇති පීඩනය අවම කිරීමේ අරමුණිනුයි මෙලෙස අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සහ මෝටර් වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කරනු ලැබුවේ.

එමෙන්ම සැපයුම්කරුවන් විසින් ලබාදෙන ණය පහසුකම් මත හෝ විදේශ විනිමය වැය නොවන පදනම මත තෝරාගත් භාණ්ඩ ආනයනය සඳහා අවසර ලබාදීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා ෴

*********************************************

පාස්කු ප්‍රහාරය ගැන කතෝලික පල්ලියත් දැන සිටින්නට ඇති – හරීන් ප්‍රනාන්දු

(17.09.2020 – 12:46 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව පෙර දැනුවත් වූ බවට කරුණු අනාවරණය වී ඇති බැවින් කතෝලික පල්ලිය මේ ගැන දැන සිටින්නට ඇතැයි හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසුවා.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පළමු වරට ඊයේ (16) සාක්ෂි ලබා දුන්නා.

පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනයේ තමා බදුල්ලේ සිටි බවත්, ඒ පිළිබඳව දැනුවත් වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට දුරකතනයෙන් අමතා ගුවන් මගින් කොළඹට පැමිණි බවත් සාක්ෂිකරු සඳහන් කළා.

ජනාධිපති කොමිසම :
පාස්කු ප්‍රහාරය එල්ල වූ කාලයේ ඔබේ පියාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සමඟ සබඳතාවක් තිබුණද ?

හරීන් ප්‍රනාන්දු – පාර්ලිමේන්තු මන්ත්‍රී :
ඔහුට වූ මුදල් වංචාවක් ගැන සී.අයි.ඩී.ය සමග සබඳතාවක් තිබුණා.

ජනාධිපති කොමිසම :
අප්‍රේල් 21 වැනිදා ඔබ කොළඹ පැමිණීමෙන් පසු අදාළ පෞද්ගලික රෝහලට ගියාද ?

හරීන් ප්‍රනාන්දු :
අගමැතිවරයා මට කතා කරලා කිව්වා තාත්තා ප්‍රහාරය ගැන දැනුවත් වුණේ කොහොමද කියල අහන්න කියලා. මම ඉන් පසුව දැඩි සත්කාර ඒකකය ගොස් විමසුවාම තාත්තා කිව්වේ, තමුසෙට වඩා මම දන්නවා කියලා. පසුව මම අරලියගහ මන්දිරයට ගියාම ප්‍රහාරය එල්ල වන බවට පොලිස් නිලධාරීන් වෙත යොමුකර තිබූ ලිපිය අග්‍රාමාත්‍යවරයා මට පෙන්නුවා.

මෙහිදී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ පියාගේ ජංගම දුරකතන වාර්තාවේ පිටපත් කොමිසම වෙත ඉදිරිපත් කෙරුණු අතර, එහි ‘නන්දලාල්’ නම් පොලිස් සැරයන්වරයෙකු 2019 අප්‍රේල් 20 වැනිදා රාත්‍රී 08:13 ට තත්පර 356 ක දුරකථන ඇමතුමකින් සම්බන්ධ වී ඇති බව අනාවරණ වුණා.

මෙහිදී ජනාධිපති කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කොමිසමේ අවධානයට යොමු කළේ, පාස්කු ප්‍රහාරයෙන් පසු වනාතවිල්ලුවේදී අත්අඩංගුවට ගත් ‘ආමි මොහිදීන්’ නමැත්තාගේ දුරකථනයේ ද ‘නන්දලාල්’ නම් පොලිස් සැරයන්වරයාගේ දුරකථන අංකය තිබූ බවයි.

මෙහිදී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබද බොහෝ පාර්ශ්ව පෙර දැනුවත්වීමක් පැවති ඇති බවට මේ වනවිට කරුණු අනාවරණය වී ඇති පසුබිමක කතෝලික පල්ලියද මේ ගැන සම්පුර්ණෙන්ම නොදැන සිටි බව තමන් විශ්වාස නොකරන බවයි.

හරීන් ප්‍රනාන්දු :
මෙරට කතෝලික සභාවේ නායකයා සෑම වර්ෂයකම පාස්කු ඉරුදින උදෑසන දිව්‍ය පුජාවක් පවත්වන පසුබිමක, පසුගිය වසරේ පමණක් එය සිදු නොකරන ලද්දේ උන්වහන්සේ ප්‍රහාරය පිළිබද පෙර දැනුවත්ව සිටි නිසාද යන්න පිළිබද විශේෂ විමර්ශනයක් කළ යුතුයි.

ඉන් අනතුරුව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමීල් පෙරේරා මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසූ අතර, සාක්ෂිකරුගේ ඥාති පුත්‍රයෙක් අප්‍රේල් 21 වැනිදා පැවති රග්බි පුහුණුවකට සහභාගී නොවීම සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමේදී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා දැඩි ආවේගශීලීව ඊට ප්‍රතිචාර දැක්වූවා.

එම අවස්ථාවේදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සාක්ෂිකරුට දැඩි ලෙස අවවාද කළා.

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :
ඔබගෙන් යම් ප්‍රශ්නයක් ඇහුවම දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්න. දන්නවා නම් ඊට උත්තර දෙන්න.

ජනාධිපති නීතිඥ ශමීල් පෙරේරා :
අප්‍රේල් 21 වැනිදා රග්බි සංචිතයේ සියලුම සාමාජිකයින් පුහුණුවලට සහභාගී වුණා, මේ දරුවා හැර?

හරීන් ප්‍රනාන්දු :
මම දන්නේ නැහැ (කේන්තියෙන්)

ජනාධිපති නීතිඥ ශමීල් පෙරේරා :
මෙම පුහුණුවීම් අවසන් වීමෙන් පසුව මෙම පිරිස කොච්චිකඩේ පල්ලියට යන්න නේද සූදානම් වෙලා සිටියේ ?

හරීන් ප්‍රනාන්දු :
මම දන්නේ නැහැ, මම කියන්නේ මේ බෝම්බ ප්‍රහාරය ගැන රෝමානු කතෝලික පල්ලිය දැනුවත් කියලා. පළවෙනි වතාවට ප්‍රධානියා පුජාව තිබ්බේ නැහැ.

එහිදී ජනාධිපති නීතිඥ ශමීල් පෙරේරා මහතා සාක්ෂිකරුගෙන් විමසුවේ අගරදගුරු හිමිපාණන් සෑම වර්ෂයකම පාස්කු දේව මෙහෙය පවත්වන්නේ පාස්කු ඉරුදිනට පෙර සෙනසුරාදා දින මධ්‍යම රාත්‍රීයේ බව මම ඔබට යෝජනා කළොත් එය පිළිගන්නවාද යන්නයි.

ඊට ප්‍රතිචාර දක්වමින් තමන් පෙර කළ ප්‍රකාශය පදනම් විරහිතව හුදෙක් මනසට ආ පමණින් සාක්ෂි නොමැතිව කළ ප්‍රකාශයක් බව පිලිගන්නා බව සාක්ෂිකාර හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කළා.

*********************************************

ළමයෙකු ලෙස අර්ථකථනය කරන වයස් සීමාව අවුරුදු 18 දක්වා වැඩිකෙරේ

(17.09.2020 – 12:59 +0530 – hirunews.lk/sinhala)

ළමයෙකු ලෙස අර්ථකථනය කරන වයස් සීමාව අවුරුදු 18 දක්වා වැඩිකිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර, එම වයස් සීමාවට අඩු ළමයෙකු කිසියම් වරදකට හසුවූ අවස්ථාවේදී බන්ධනාගාර ගත නොකර පුනරුත්ථාපනය කිරීමේ කටයුතු සඳහා යොමු කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා.

මේ අතර රාජ්‍ය ආයතන සඳහා විශ්‍රාමික නිලධාරීන් පත් කිරීමේදී චෝදනාවන්ට ලක්වී ඇති කිසිදු නිලධාරියෙකු යොදවා නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළා.

ඒ, ජගත් සංවිධාන නියෝජිතවරියගේ චෝදනාව සම්බන්ධයෙන් යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින්.

*********************************************

ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයින් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට මංගල සමරවීර බලපෑම් කරලා – කොමිසමේදී අනාවරණ වෙයි

(17.09.2020 – 13:03 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයින් හා ආයතන ඇතුළත් අසාදු ලේඛනයේ ඇතැම් නම් ඉවත් කිරීමට හිටපු විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර බලපෑම් කර ඇති බව දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ යළිත් වරක් අනාවරණ වුණා.

ඒ, එම කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන යූ.ඩී. බස්නායක කළ කරුණු දැක්වීමේදීයි.

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ආරක්ෂක ලේකම් ධුරයට පත්වූ යූ.ඩී. බස්නායක ඊයේ (16) පළමුවරට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා.

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් ශම්මි කුමාරරත්න කොමිසමට කළ කරුණු දැක්වීමක් සම්බන්ධයෙන් එහිදී ඔහුගෙන් සාක්ෂි විමසූ අතර, සාක්ෂිකරු කියා සිටියේ ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයින් හා ආයතන ඇතුළත් අසාදු ලේඛනයේ ඇතැම් නම් ඉවත් කීරීමට එවක විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර තම නිලධාරීන්ට බලපෑම් කළ බවයි.

2014 වසරේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරනු ලැබු ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයින් හා ආයතන ඇතුළත් අසාදු ලේඛනයේ පුද්ගලයින් 424 දෙනෙකු සහ ආයතන 16 ක් ඇතුළත්ව තිබු බව ඔහු සඳහන් කළා.

එම ලේඛනය 2015 දී යාවත්කාලීන කිරීමට අවශ්‍ය නොවන බව බුද්ධි අංශ විසින් ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම්දී තිබූ බවත් සාක්ෂිකරු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් එම අසාදු ලේඛනයට ඇතුළත්ව තිබූ සුරේන් සුරේන්ද්‍රන් සහ එම්මෑනුවෙල් පියතුමාගේ නම් ඉවත් කිරීමට මංගල සමරවීර තමාට බලපෑම් කළ බව එවකට ජාතික බුද්ධි ප්‍රධානී තනතුරේ තාවකාලිකව කටයුතු කළ ශම්මි කුමාරරත්න ඔහුට දැනුම් දී ඇතත් ඔහු ඒ පිළිබඳ තැකීමක් කර නැහැ.

ඒ‍්, අසාදු ලේඛනයේ නම් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා මෙන්ම ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය ද අවශ්‍ය බැවිනුයි.

කෙසේ වෙතත් එම අසාදු ලේඛනයෙන් නම් ඉවත් කිරීමට මංගල සමරවීර සිය පුද්ගලික හිතවත්කම් මත කටයුතු කිරීම ගැටලු සහගත බව හිටපු ආරක්ෂක ලේකම් යූ.ඩී බස්නායක ප්‍රකාශ කළා.

මේ අතර චුන්නාගම් පොලීසියට අනියුක්තව සේවය කළ මයුර ඥානලිංගම් නම් නිලධාරියාගේ මව වන ඥානලිංගම් ධනේෂ්වරී දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට කළ පැමිණිල්ලකට අදාලව සාක්ෂි ලබාදීම සඳහා හිටපු ඇමතිණී විජේකලා මහේෂ්වරන් ද අද (17) පෙරවරුවේ ජනාධිපති කොමිසමට පැමිණියා.

*********************************************

පාලසෝල හන්දියේ සිට මුක්කුතොඩුවාව දක්වා අබලන් මාර්ගය නිසා පීඩා විඳින ගම්වැසියෝ

(17.09.2020 – 13:40 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම – මදුරන්කුලිය පාලසෝල හන්දියේ සිට මුක්කුතොඩුවාව අක්කර 100 වත්ත දක්වා දිවෙන මාර්ගය දැඩි ලෙස අබලන් වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් පවුල් 2000 කගේ පමණ ගමනාගමන කටයුතුවලට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.

පාලසෝල ප්‍රදේශයේ බහුතරයක් දෙනාගේ ප්‍රධාන ජීවනෝපාය වී ඇත්තේ කොහු කර්මාන්තය සහ ඒ හා බැඳුණු රැකියාවන්.

නමුත් මාර්ග දුෂ්කරතාවය නිසා ඔවුන්ද දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා.

වැසි දිනවලදී මෙම මාර්ගය වාරි මාර්ගයක් බවට පත්වීම හේතුවෙන් පාසල් ළමුන් පත්වන අපහසුතා සුළු පටු නැහැ.

*********************************************

වත්මන් නායකත්වය විශ්වාසකර නව ව්‍යවස්ථා ගෙන එම සුදුසු නැහැ – පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

(17.09.2020 – 13:46 +0530 – hirunews.lk/sinhala)

වත්මන් නායකත්වය විශ්වාස කර නව ව්‍යවස්ථා ගෙන ඒම සුදුසු නොවන බව දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

‘හිරු ඇත්ත’ සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

“රටේ අනාගත නායකයා කවුරු වේවිද නොදැන පවතින නායකත්වයට ගැලැපෙන ලෙස නව ව්‍යවස්ථා ගෙන ඒම සුදුසු ක්‍රියාවක් නොවෙයි. සිදුවිය යුත්තේ රටට ගැලපෙන ව්‍යවස්ථාවක් සකස්කිරීමයි. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අපිට එකඟ වෙන්න බැහැ. මේවගේ පැලැස්තර වැඩක් නැහැ. අවශ්‍ය වන්නේ නව නව ව්‍යවස්ථාක්” බවද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එසේම ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳව තමන්වහන්සේ බෙහෙවින් කණගාටුවක සිටින බවයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ‘හිරු ඇත්ත’ සමඟ පැවත්වූ සම්පුර්ණ සාකච්ඡාව පහතින් :

*********************************************

ජලය, විදුලිය, ඉන්න බිමක් නොමැතිව පීඩා විඳින වැලිගේපොල වැසියෝ

(17.09.2020 – 13:48 +0530 – hirunews.lk/sinhala)

පිරිසිදු ජලය, විදුලිය පමණක් නොව ජීවත්වීමට අවශ්‍ය බිම්කඩක නෛතිකභාවය පවා අහිමිවූ ගම්වාසීන් පිරිසක් පිළිබඳව අපට බලංගොඩ- වැලිගේපොල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

බලංගොඩ – වැලිගේපොල – ඉත්තගලයාය ගම්මානයේ පවුල් 25 කට අයත් 100 කට වැඩි පිරිසක් ජීවත්වනවා.

නමුත් මෙම ගම්මානයේ ජනාවාස ඇතිවී අවුරුදු 50 කට වැඩි කාලයක් ගතවුවත් විදුලිය, පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම් හා ගමට යාමට හරිහමන් මාර්ගයක් හෝ නොමැතිකමින් ජනතාව පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.

ජීවත්වීමට බිමක් තිබුණද ඒවාටනෛතික හිමිකමක් ඉල්ලා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සබරගමුව පළාත් ආණ්ඩුකාර කාර්යාලයට, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවට මෙන්ම පාර්ලිමේන්තු මහලේකම්වරයාට ඇතුළු වගකිව යුතු බලධාරීන්ට අවස්ථා ගණනාවකදී මේ සම්බන්ධව දැනුම්දි ඇතත් තම ගැටලුවලට විසඳුම් නොලැබුණු බවට ජනතාව මැසිවිල නගනවා.

*********************************************

වාස් ගුණවර්ධනගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අවසර

(17.09.2020 – 16:51 +0530 – hirunews.lk/sinhala)

මරණ දඩුවම් නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන නැමැති සැකකරු ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින්ට අවසර ලබා දෙන ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුනාරත්න මහතා අද (17) නියම කළා.

ඒ, අධිකරණයට අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් ශානි අබේසේකරට එරෙහි නඩුවට අදාළවයි.

අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීමේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණ නියමයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර, ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරික්ෂක මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරික්ෂක නවරත්න ප්‍රේමතිලක යන සැකකරුවන් තිදෙනාව ලබන ඔක්තෝබර් මස 02 වෙනිදා දක්වා තවදුරත් රිමාන්ඩ් බාරයේ තබන ලෙසද නියම කෙරුනා.

අධිකරණයට බාර විමෙන් පසු රිමාන්ඩ් බාරයට පත් මෙම නඩුවේ සිවු (4) වැනි සැකකරු වන එච්.ඩි. නවරත්න ප්‍රේමතිලක යන සැකකරු ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා කොලඹ අපරාධ කොට්ටාශයේ නිලධාරින් වන පොලිස් පරික්ෂක ඩී.ජේ. නිශාන්ත සහ පොලිස් කොස්තාපල් අතපත්තු යන නිලධාරීන්ට අවසර ලබා දෙන ලෙස මහර බන්ධනාගාර අධිකාරිවරයාට ද අධිකරණයෙන් නියම කර තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ටාශයේ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා අධිකරණයෙන් කළ ඉල්ලීම මත අධිකරණයෙන් එම නියෝග ලබා දී තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *