‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් පසුව දෙවනගල පුදබිම ගැන ඇමති මණ්ඩලයේ අවධානය

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් පසුව දෙවනගල පුදබිම ගැන ඇමති මණ්ඩලයේ අවධානය

කහ කන්ටේනර් 62 ක් රේගුවේ

ඉහළගිය වෙළඳපොලේ පොල් මිල

නිලන්ත ජයවර්ධනගේ දුරකථනය සහ පරිගණකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ගේ නිවෙස්වලට රහසිගත ලිපියක් – ලිපිය එවූ පුද්ගලයෙකුත් නෑ

පසුගිය මහ මැතිවරණයේ ඉඳන් මේ දක්වා දවසට අක්කර 7 බැගින් වනාන්තර විනාශ කරලා – රසික ජයකොඩි

වීසා වංචාවන්ට සම්බන්ධ ශ්‍රී ලන්කන් සේවකයන් සිව්දෙනෙකුගේ (4) වැඩ තහනම්

හෙට (17) රාත්‍රී 8 සිට පැය 12 ක් කොළඹ 01 ට ජල සැපයුම අත්හිටුවයි

පොඩි ඉස්කෝලේ අපුරු සංගීත කාමරේ

නවක වදය හේතුවෙන් පේරාදෙණියේ සිසුන් පිරිසකට නිවාඩු දෙයි

නිරෝගිමත්, විනයගරුක සමාජයක් බිහිකිරීමට ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක්

ජාලිය වික්‍රමසූරියගේ වරෙන්තුව යළි කැඳවන්නැයි ඉල්ලයි

කැළණිතිස්ස යළි සක්‍රිය වෙයි

අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීම් ගැන පැමිණිලි 101 ක්

*********************************************

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් පසුව දෙවනගල පුදබිම ගැන ඇමති මණ්ඩලයේ අවධානය

(16.09.2020 – 20:59 +0530 – hirunews.lk/sinhala)

දෙවනගල පුදබිමට එල්ලවී ඇති අන්තවාදී ආක්‍රමණ කෙරෙහි අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරවීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.

දෙවනගල විහාරයට ඇති තර්ජන පිළිබඳව ‘හිරු සී.අයි.ඒ.’ සිදුකළ අනාවරණවලින් අනතුරුව ඊයේ (15) එම පුදබිමේ සංචාරයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

*********************************************

කහ කන්ටේනර් 62 ක් රේගුවේ

(16.09.2020 – 20:04 +0530 – hirunews.lk/sinhala)

මෙරටට ආනයනය කළ කහ කන්ටේනර් 62 ක් රේගුවේ මේ වනවිට රඳවා තිබෙන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා.

කහ ආනයනය තහනම් කර ඇති නිසා අදාළ තොග යළි ආනයනය කළ සමාගම් වෙත යැවීමට ආනයනකරුවන්ට අවසර ලබාදෙන බවයි රේගුව සඳහන් කළේ.

මෙම කහ තොග වල වටිනාකම රුපියල් මිලියන 760 ක් වන අතර කහ කිලෝග්‍රෑම් 1,023,859 ක් ඒ අතර වනවා.

මේ අතර, නීතිවිරෝධී ලෙස දිවයිනට රැගෙන ආ කහ මෙටි‍්‍රක් ටොන් 30 ක් මේ වනවිට රාජසන්තක කර ඇති බවයි රේගුව ප්‍රකාශ කළේ.

එසේම, පාරිභෝගික සේවා අධිකාරිය නියම කල පාලන මිලට වැඩියෙන් කහ අලෙවි කල වෙළදුන් 140 දෙනෙකු සම්බන්ධයෙන් මේ වනවිට නීතිමය පියවර ගෙන තිබෙනවා.

පාරිභෝගික සේවා අධිකාරිය කහ කිලෝග්‍රෑමයක් සදහා නියමකල පාලන මිල රුපියල් 750 ක් වන අතර එම පාලන මිලට වඩා කහ අලෙවි කරන්නන් සොයා අඛන්ඩව වැටලීම් සිදුකරන බවයි එහි අධ්‍යක්ෂ අසේල බණ්ඩාර කියා සිටියේ ෴

++++++++++++++

(16.09.2020 – 21:23 +0530)

සැකකරුවන් දෙදෙනෙකු සමඟ මන්නාරමට උතුරෙන් වූ මුහුදේ ප්‍රදේශයේදී සහ වන්කාලේ වෙරළ තීරයෙන් නීති විරෝධීව මෙරටට ගෙන ඒමට තැත්කළ වියළි කහ කිලෝ ග්‍රෑම් 818 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

උතුරු මැද නාවික විධානය විසින් මන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කල විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනඑමින් තිබූ ගෝනි මලු 12 ක අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 510 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලද අතර, මන්නාරම වන්කාලේ ප්‍රදේශයේ සිදු කළ තවත් විශේෂ මෙහෙයුමකදී වෙරළ තීරයේ අතහැර දමාගොස් තිබූ ගෝනි මලු 05 ක අසුරන ලද කහ කිලෝග්‍රෑම් 308 ක පමණ ප්‍රමාණයක් ද නාවික හමුදා භාරයට ගැනීමට හැකි වී තිබෙනවා.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 26 ත් 37 ත් අතර වයසේ පසුවන මන්නාරම පල්ලෙමුනේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, අදාල සැකකරුවන් නිරෝධායන කටයුතු සඳහා තලෙයිමන්නාරම මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රාව කොවිඩ් 19 අවදානම් තත්වය යටතේ සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් විෂබීජහරණයට ලක් කරන ලද අතර, එම විෂයන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතයි ෴

*********************************************

ඉහළගිය වෙළඳපොලේ පොල් මිල

(16.09.2020 – 20:07 +0530 – hirunews.lk/sinhala)

වෙළද පොලේ මේ වන විට විශාල ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල රුපියල් 85 ත් 95 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මීට මාස දෙකකට (2) පමණ පෙර පොල් ගෙඩියක මිල පැවතියේ රුපියල් 40 ත් 50 ත් අතරයි.

මෙරට වාර්ෂික පොල් අවශ්‍යතාව පොල් ගෙඩි බිලියන 3.5 ක් වන අතර ගෘහස්ථ පාරිභෝජනයට පොල් ගෙඩි බිලියන 1.8 ක් අවශ්‍ය වනවා.

එමෙන්ම, පොල් තෙල් සදහා පොල් ගෙඩි බිලියන 0.4 ක් සහ අපනයනය කරන ගෙඩි සංඛ්‍යාව බිලියන 1.3 ක්.

පසුගිය වසරේ මෙරට පොල් අස්වැන්න පොල් ගෙඩි බිලියන 2.8 ක් ලෙස වාර්තාවුනා.

ඒ අනුව එම වසරේ පමණක් පොල් ගෙඩි බිලියන 0.7 ක හිගයක් පැවති තිබෙනවා.

මෙම වසරේදි පොල් හිගය තවදුරටත් ඉහල ගොස් තිබෙන අතර වෙළඳපොළේ පොල් සදහා පවතින්නේ ඉහල මිලක්.

පොල් මිල ඉහළ යාමත් සමග පොල් ආශ්‍රීත වෙනත් නිෂ්පාදන සඳහා භාවිත කරණ අමුද්‍රව්‍ය වල මිල ද ඉහල ගොස් තිබෙනවා.

වෙළඳපොළේ ඉහල ගොස් ඇති පොල් සඳහා පාලන මිලක් ගෙන ආ යුතු බවයි පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් සුරීකා අත්තනායක මහත්මිය අප කල විමසිමකදි සදහන් කලේ.

පොල් ගෙඩියක් සඳහා රුපියල් 75 ක මිලක් නියම කළ යුතු බවට වන යෝජනාවක් රජයට ඉදිරිපත් කර ඇති බවද ඇය සදහන් කලා.

*********************************************

නිලන්ත ජයවර්ධනගේ දුරකථනය සහ පරිගණකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

(16.09.2020 – 20:14 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ භාවිතා කළ පෞද්ගලික ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකය වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකරන ලෙස ජනාධිපති කොමිසම එහි ලේකම්වරයාට නියෝග කළා.

ජනාධිපති කොමිසමේ නියෝග මත නිලන්ත ජයවර්ධනගේ ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකය පසුගියදා එම කොමිසමේ පොලිස් ඒකකයට භාරයට ගනු ලැබුවා.

අදාළ උපකරණවල 2019 ජනවාරි මස 01 සිට දෙසැම්බර් 31 දක්වා පණිවිඩ හුවමාරු කරගෙන ඇති ආකාරය පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි එහිදි කොමිසම එහි ලේකම්වරයාට දැනුම් දුන්නේ.

අදාළ උපකරණවල පාස්කු ප්‍රහාරයට අදාළව පටිගත කරන ලද හඬපට හෝ වෙනත් සාක්ෂි ඇත්නම් ඒ පිළිබඳ සති දෙකක් (2) තුළ ජනාධිපති කොමිසමට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද ජනාධිපති කොමිසමේ සභාපතිවරයා නියෝග කළා.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන ‘සහරාන් කල්ලියේ’ න්‍යායාචාර්ය ලෙස සැලකෙන ‘නවුෆර් මවුලවි’ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (16) දෙවන (2) දිනටත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට කැඳවා තිබුණා.

එමෙන්ම, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ද අද (16) පෙරවරු 09:30 ට ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණි අතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ද පාස්කු ජනපති කොමිසම හමුවේ පෙනි සිටිම සදහා අද (16) පස්වරුවේ පැමිණි බවයි එහි සිටින අප වාර්තාකරු කියා සිටියේ.

මේ අතර, පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වුයේ තම රාජකාරි පැහැර හැරීමක් නිසා යැයි පිළිනොගන්නා බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් ප්‍රකාශ කලා.

ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (15) සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ පාස්කු ප්‍රහාරය වළක්වා ගත නොහැකි වුයේ පොලිස්පතිවරයා ප්‍රමුඛ පොලිස් දෙපාර්තමේන්තුව, ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ‘සහරාන් හෂීම්’ අත්අඩංගුවට ගැනීමට අසමත් වූ නිසා බවයි.

කෙසේවෙතත් සිසිර මෙන්ඩිස්ගෙන් හරස් ප්‍රශ්න ඇසීමට ලබාදුන් අවස්ථාවේ ඊට අදාළ බොහෝ පාර්ශ්ව එහි රැදී නොසිටීම ජනපති කොමිසමේ දැඩි අප්‍රසාදයට ලක්වුණා.

*********************************************

ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ගේ නිවෙස්වලට රහසිගත ලිපියක් – ලිපිය එවූ පුද්ගලයෙකුත් නෑ

(15.09.2020 – 11:24 +0530 – truenews.lk)

පසුගිය සතියේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් සියපු දෙනාටම විශේෂ ලිපියක් ලැබී තිබෙනවා.

මෙම විශේෂ ලිපිය සාමාන්‍ය තැපැල් සේවය ඔස්සේ නොව ‘කුරියර්’ සේවාවක් හරහා මන්ත්‍රිවරුන්ගේ නම්වලට ‘කුරියර්’ කර තිබීම විශේෂත්වයක්.

ඒ අනුව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කුරියර් සේවාව මඟින් ලැබුණු මෙම ලිපිය කුමක්ද යන්න සොයා බැලීමේදී ඔවුන්ට දැකගන්නට ලැබුණේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි විය යුත්තේ ඇයිද යන්න සම්බන්ධයෙන් කරුණු විශාල ප්‍රමාණයක් ඊට ඇතුළත් කර තිබූ බවකි.

එම ලිපිය එවා ඇත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් කිසිදු සඳහනක් එහි නොවුණත් නීතිඥවරුන් කණ්ඩායමක් විසින් ඉතා සියුම්ව සකස් කර ඇති නීතිමය ලියවිල්ලක් බව බැලූබැල්මටම දැකගන්නට තිබෙනවා.

එහි සඳහන්ව තිබුණේ මෙවැන්නක් :

අවධානයට,

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවන වෙනස්කම්.

= අග්‍රාමාත්‍යවරයාට වන බලපෑම =

47 වගන්තිය – ඕනෑම අවස්ථාවක කිසිදු හේතුවකින් තොරව අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට ජනාධිපතිට බලය පවරාගෙන තිබීම.
44 වගන්තිය – අග්‍රමාත්‍යවරයාගේ ව්‍යවස්ථානුකූල බලතල සම්පූර්ණයෙන්ම ඉවත් කර එම බලතල ජනාධිපති යටතට පවරාගෙන ඇත. ඒ අනුව ජනාධිපතිට,

  • අමාත්‍යවරු සහ අමාත්‍යාංශ සංඛ්‍යාව තීරණය කළ හැක.
  • විෂය හා කාර්යයන් තීරණය කළ හැක.
  • අමාත්‍යාංශ සඳහා සුදුසු මන්ත්‍රිවරුන් තෝරා පත් කළ හැක.

?? වගන්තිය ජනාධිපතිවරයා යටතේ තබාගත යුතු අමාත්‍යාංශ සංඛ්‍යාව තීරණය කිරීමේ බලය ජනාධිපතිවරයාටම පවරාගෙන ඇත. අග්‍රාමාත්‍යවරයා නාමික අග්‍රාමාත්‍ය තනතුරක් බවට නිතැතින්ම පත්ව තිබේ.

51 වගන්තිය – ව්‍යවස්ථාපිතව තිබූ අග්‍රාමාත්‍යවරයාගේ ලේකම් තනතුර සහ කාර්යාලය අහෝසි කර ඇත.
45 වගන්තිය – කැබිනට් නොවන අමාත්‍යවරුන් පත්කිරීමේ සියලු බලතල ජනාධිපතිවරයාට පවරාගෙන තිබේ.
46 වගන්තිය – නියෝජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීමේ සියලු බලතල ජනාධිපතිවරයාට හිමිවේ.
52 වගන්තිය – අමාත්‍ය මණ්ඩල ලේකම් පත්කිරීමේ බලය ජනාධිපතිට පැවරේ.

= ව්‍යවස්ථාදායකයට වන බලපෑම =

70 වගන්තිය – ජනාධිපතිට පාර්ලිමේන්තුව පාලනය කිරීමට ඉඩ සැලසීම
70 වගන්තිය – පාර්ලිමේන්තුව රැස්වී වසරකින් පසු විසුරුවා හැරීමට ජනාධිපතිට බලය හිමිවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ බලය අවතක්සේරු කිරීම.
85 වගන්තිය – පාර්ලිමේන්තු පනතක් ප්‍රතික්ෂේප වූ විට ජනමත විචාරණයකට යෑමට ජනාධිපතිට බලය හිමිවේ. එමඟින්ද පාර්ලිමේන්තුවේ බලය අවතක්සේරු වේ.
78 වගන්තිය – පනතක් පාර්ලිමේන්තුවට හඳුන්වාදීමේ ගැසට් නිවේදනය සිදුකරන කාලය දින 14 සිට 7 ට අඩු කිරීම.
122 වගන්තිය – හදිසි පනත් පැය 24 කින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නැවැතත් ඉඩ සැලසීම.
156 අ, 170, 156 ආ වගන්ති – යුක්තිය පිළිබඳ ආයතනවලට කරන පත්කිරීම්, රජය මහජනයාට වගකරවීමට ක්‍රියාකරන ආයතන, පාර්ලිමේන්තුවට වගකියනවා වෙනුවට ජනාධිපතිගේ තනි ග්‍රහණය යටතට පත්කිරීම.

41 අ වගන්තිය – පොලිසියේ ස්වාධීනත්වය හා අධිකරණයේ ස්වාධීනත්වය අවතක්සේරු කර ජනාධිපතිගේ තනි ග්‍රහණයට පත්කිරීම.
පාර්ලිමේන්තුවට වගකියනවා වෙනුවට ජනාධිපතිට පමණක් වගකීමට ඉඩ සැලසීම.
ජනාධිපතිවරයා හදිසි නීති පැනවීමේදීද වෙනත් නීති පැනවීමේදීද පාර්ලිමේන්තුවට වගකිව යුතු බව දැක්වෙන 33 අ වගන්තිය ඉවත් කොට තිබේ.

35 යටතේ ජනාධිපති මුක්තියට අදාළ වගන්තිය ඉවත් කොට ජනාධිපතිට එරෙහිව කිසිම නඩු කටයුත්තක් පැවරිය නොහැකි බව දක්වා තිබේ. ඒ අනුව ජනාධිපති කාර්යයක් සඳහා මානව හිමිකම් නඩුවක් පැවරීමේ බලය (19 යටතේ) ඉවත් කර තිබේ.

අගමැති හා විපක්ෂ නායක විසින් පාර්ලිමේන්තු සභාවට පත්කරන මන්ත්‍රිවරු ඉවත් කරන ලෙස එම දෙපළගෙන් ඉල්ලා සිටිය හැකි අතර එම ඉල්ලීම පැහැර හැරියහොත් ජනාධිපතිවරයාට එම පත්කිරීම සිදුකළ හැක.

41 (8) ආ. අනෙකුත් බලපෑම්
41 අ වගන්තිය – ව්‍යවස්ථාදායක සභා අහෝසි කර ඒ වෙනුවට නිරීක්ෂණ පමණක් ලබාදිය හැකි පාර්ලිමේන්තු සභා හඳුන්වාදීම.
53 වගන්තිය – ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් (අමාත්‍යාංශ ලේකම්වරු) රට බෙදීමට අනුබල නොදෙන බවට දිය යුතු ප්‍රතිඥාව ඉවත් කිරීම. බෙදුම්වාදී අදහස් ප්‍රචලිත කරමින් අමාත්‍යාංශ ලේකම් ධුර දැරීමට ඉඩ සැලසීම.

35 වගන්තිය – ජනාධිපතිගේ බලය භාවිතා කිරීමට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය අහෝසි කිරීම. මුක්තිය තවදුරටත් ශක්තිමත් කිරීම. ජනාධිපති ව්‍යවස්ථාව උල්ලංඝනය කළ විට විකල්පයක් නොමැති වීම.

41 අ වගන්තිය – ජනාධිපති විසින් සිදුකරන මැතිවරණ කොමිෂන් සභාවේ පත්කිරීම් නිසා එහි ස්වාධීනත්වය අහිමි වීම.
VII (ආ) පරිච්ඡේදය – විගණන කොමිෂන් සභාව හා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ව්‍යවස්ථාවෙන් ඉවත් කෙරේ.

91 වගන්තිය – ජනාධිපති වීමට හෝ මන්ත්‍රි කෙනෙක් වීමට ද්විත්ව පුරවැසියන්ට අයිතිය හිමිවීම.
85 වගන්තියට අනුව පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ පනතක් හෝ වගන්තියක් නව පනත් කෙටුම්පතක් ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීමට ජනාධිපතිට බලය ලබාදී ඇත.
91 වගන්තිය – මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හා පොලිස් කොමිසමේ සාමාජිකයන් රාජ්‍ය සේවකයන් ලෙස නම් කර ඇත.
92 වගන්තිය – ජනාධිපති අපේක්ෂකයකුගේ අවම වයස් සීමාව අවු. 30 ක් ලෙස සංශෝධනය කර ඇත.
103 වගන්තිය – මැතිවරණ කොමිසමට සාමාජිකයන් 3 දෙනකු ජනාධිපති විසින් පත්කරනු ලැබේ.කොමිසම මඟින් ලබාදෙන මාධ්‍ය උපමාන භාවිතා කිරීම මාධ්‍ය ආයතනයේ කාර්යයක් (අභිමතයක්) වන්නේය.

107 වගන්තිය යටතේ අගවිනිසුරු ඇතුළු ඉහළ අධිකරණවල සෑම විනිසුරුවරයකුම ජනාධිපති විසින් පත්කරනු ඇත.
111 වගන්තිය – අධිකරණ කොමිෂන් සභාවට අගවිනිසුරු හැරුණුකොට අනෙක් විනිසුරු දෙපළ ජනාධිපති විසින් පත්කරනු ලබන අතර ඉවත් කිරීමේ බලතලද ජනාධිපති සතුවේ.
122 වගන්තිය – හදිසි කෙටුම්පත් ගැසට් නොකොට ශ්‍රේෂ්ඨාධිකරණයට යවා පැය 24 කට පසුව සම්මත කිරීමේ බලය නැවත හඳුන්වාදී තිබේ.
154 වගන්තිය – විගණකාධිපති ජනාධිපති විසින් පත්කරනු ලබන්නේය.
155 වගන්තිය – සාමාජිකයන් 7 කින් සමන්විත පොලිස් කොමිසම පත්කිරීම ජනාධිපති විසින් සිදුකරනු ලබයි.
156 වගන්තිය අල්ලස් හෝ දූෂණ කොමිසම ජනාධිපති විසින් පත්කරනු ඇත.
156 ආ වගන්තිය – ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව පිහිටුවීමේ සංයුතිය හා බලතල ජනාධිපතිට පැවරී ඇත.
104 ආ වගන්තිය – ස්වාධීන නොවන මැතිවරණ කොමිසමක් යටතට පෞද්ගලික මාධ්‍ය හසුකිරීම, මාධ්‍ය මර්දනයේ අවදානමක්.
104 උඋ වගන්තිය ඉවත් කර ඇත. ඒ අනුව මැතිවරණ කොමිසමේ නිර්දේශ පිළිනොපදින පුද්ගලයන්ට අපරාධ නඩු පැවරීමේ අයිතිය ඉවත් කිරීම.

කෙසේ වෙතත් සිකුරාදා දිනයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් අතට මෙම ලිපිය ලැබී තිබුණු අතර නමක් ගමක් නොමැතිව කුරියර් සේවාව ඔස්සේ පැමිණි මේ ලිපිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ලොබියේ රැඳී සිටියදී මන්ත්‍රීවරුන් අතර විශාල කසුකුසුවක් ගිය ආකාරයක්ද දැකගන්නට ලැබුණා ෴

*********************************************

පසුගිය මහ මැතිවරණයේ ඉඳන් මේ දක්වා දවසට අක්කර 7 බැගින් වනාන්තර විනාශ කරලා – රසික ජයකොඩි

(16.09.2020 – 12:31 +0530 – lankaleadnews.com)

පසුගිය මහ මැතිවරණයේ සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ වනාන්තර රක්ෂිත ඉඩම් ආසන්න වශයෙන් අක්කර 7 බැගින් දිනකට විනාශ වී ඇතැයි සමගි තරුණ බලවේගයේ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි මහතා ප්‍රකාශ කරයි.

“මේ අනුව ඉකුත් මාසයක කාලය තුළ හොරොව්පතාන ‍රත්මලේ වනාන්තර ඉඩම් අක්කර 150 ක්, ආනවිලුන්දාව රැම්සා තෙත් බිමේ ඉඩම් අක්කර 2 ක්, වනාතවිල්ලුව – එළුවන්කුලම අක්කර 100 ක් සහ කිරින්ද අක්කර 30 කඩොලාන පද්ධතියක් විනාශ වෙලා තියන බවට මේ දක්වා මාධ්‍ය හරහා තොරතුරු වාර්තා වෙලා තියනවා. ඒ කියන්නෙ අගෝස්තු 6 වැනිදා ඉඳන් ගෙවුණු දවස් 41 ක කාලය තුළ වනාන්තර ඉඩම් අක්කර 282 ක් විනාශ වෙලා තියනවා. ඒ කියන්නෙ ආසන්න වශයෙන් දිනකට වනාන්තර ඉඩම් අක්කර 7 ක් මේ රටේ විනාශ වෙනවා. සිංහරාජ වනාන්තරය මැදින් පාරක් හදලා සිදු කරන පරිසර හානිය අයිති වෙන්නෙ නෑ. මේ ශීඝ්‍ර වන සංහාරය අතිශයින් ම අසාමාන්‍ය තත්ත්වයක්. මේ බොහෝ තැන්වල මෙම වනාන්තර විනාශය සිද්ධ වෙන්නෙ දේශපාලනඥයන්ගෙ රැකවරණය සහ අනුදැනුම යටතේ. ඒත් මේ දක්වා මේ කිසිම සිද්ධියකට ඇත්තට ම වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

“පසුගිය ජනාධිපතිවරණය කාලෙදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කතා කළේ පරිසර හිතකාමී සංවර්ධනයක් කරන්න. අඹ පැළයක් හිටවලා තමයි ජනාධිපතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාරය පටන් ගත්තේ. ඒත් දැන් ඒ හැම දෙයක් ම විශාල මාධ්‍ය සංදර්ශනයක් පමණක් වෙලා තියනවා. පරිසර හිතකාමී සංවර්ධනය කෙසේ වෙතත් තියන වනාන්තර ටිකවත් රැකගන්න බැරි අසමත් ආණ්ඩුවක් නිර්මාණය වෙලා තියනවා.”

“දැන් මේ සම්බන්ධයෙන් එක එක අයට බෝලේ පාස් කරලා වැඩක් නෑ. වැරැදි කරලා තියෙන්නෙ කවුරු වුණත් ඒකට එරෙහිව පියවර ගන්න එක ආණ්ඩුවේ වගකීම. මේ වන විනාශය සම්බන්ධයෙන් ‍යුක්තිය ඉටු කිරීම පමා කරනවා කියන්නෙ ම මේක යට ගහන්න ආණ්ඩුව කටයුතු කරනවා කියන එක” යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය ෴

*********************************************

වීසා වංචාවන්ට සම්බන්ධ ශ්‍රී ලන්කන් සේවකයන් සිව්දෙනෙකුගේ (4) වැඩ තහනම්

(16.09.2020 – 22:00 +0530 – hirunews.lk/sinhala)

වීසා වංචාවන්ට සම්බන්ධ සේවකයන් සිව්දෙනෙකුගේ (4) සේවය ශ්‍රී ලංකා ගුවන් සමාගම විසින් මෙම වසරේ ජූලි මාසයේ සිට අත්හිටුවා ඇති බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

එම සේවකයන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පලවන විවිධ වාර්තා සම්බන්ධයෙන් අදහස් පළකරමිනුයි එම සමාගම මේ බව සඳහන් කරන්නේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඔවුන් මේ වනවිට ගුවන් සේවයේ කිසිදු කටයුත්තකට සම්බන්ධ නොවන බවයි.

මේ අතර ඔවුන් සම්බන්ධයෙන් සිදුකෙරෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාළ ආයතන වෙත සිය පූර්ණ සහයෝගය ලබාදෙන බවයි අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් ඔවුන් සඳහන් කර ඇත්තේ ෴

++++++++++++++++++

(17.09.2020 – 07:32 +0530)

ව්‍යාජ වීසා බලපත්‍ර යොදාගනිමින් කැනඩාව බලා යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික පුද්ගලයන් 13 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවේ සිට දෝහා කටාර් වෙත ගොස් අනතුරුව කැනඩාවට යාමට තැත් කර ඇති බවටයි තොරතුරු සඳහන් වන්නේ.

මොවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිිංචිකරුවන් වන බවයි වැඩිදුර තොරතුරු අනාවරණ වී ඇත්තේ ෴

*********************************************

හෙට (17) රාත්‍රී 8 සිට පැය 12 ක් කොළඹ 01 ට ජල සැපයුම අත්හිටුවයි

(16.09.2020 – 22:19 +0530 – hirunews.lk/sinhala)

හෙට (17) රාත්‍රී 8 සිට පැය 12 ක්, කොළඹ 01 ට ජල සැපයුම අත්හිටුවවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

මේ අතර කොළඹ 2, 3, 7, 8, 9, 10 සහ 11 ප්‍රදේශවලට එම කාලය තුලදී අඩු පීඩනයකින් ජලය සැපයෙන බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ ෴

*********************************************

පොඩි ඉස්කෝලේ අපුරු සංගීත කාමරේ

(16.09.2020 – 20:16 +0530 – sinhala.adaderana.lk)

සංගීතය ඉගෙන ගන්න කුඩා කල සිටම ඇතැම් දරුවන් විශේෂ උනන්දුවක් දක්වයි.

මේ පුවත සංගීත භාණ්ඩ නොමැතිව සංගිතය නමැති විශ්ව භාෂාව හදාරන්න උත්සාහ ගන්නා දුෂ්කර පාසලක දරුවන් පිරිසක් පිළිබඳවය.

කාඩ්බෝඩ් මත ස්වර සටහන් කරගත් සිසුන් ඒ හඬ ඔස්සේ සිය ඇඟිලි තුඩු හසුරුවමින් සංගීතය ඉගෙන ගනී.

“අපිට සර්පිනා ගන්න විදිහක් නැහැ. ඒ නිසා අපි මේ වගේ ඒවා හදාගෙන පුරුදු වෙනවා”

“අපිට සංගීත භාණ්ඩ මදි. අපි එත් පසුතැවෙන්නේ නෑ”

එසේ පැවසුවේ ඒ අපූරු සංගීත පන්තියේදී හමු වූ සිසුවෙක් සහ සිසුවියකි.

මෙම සිසුන් සංගීත අංශයෙන් සමස්ත ලංකා තරඟ සඳහා ද සහභාගි වී තිබේ.

සංගීතයට කොපමණ දක්ෂ වුවත් සංගීතය ඉගෙන ගැනීමට කාමරයක්වත් නැති නිසා ගුරු නේවාසිකාගාරය අද ඔවුන්ගේ සංගීත කාමරය බවට පත් වී ඇත.

අඩු පාඩු රැසක් මැද අධ්‍යාපන හදාරන මේ පාසැලේ සිසුන්ට පානීය ජල පහසුකම්, විද්‍යාගාර පහසුකම්, ක්‍රීඩා භාණ්ඩ පමණක් නොව ක්‍රීඩා පිටියක් හෝ නොමැත.

එක ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා පංති පැවැත්වෙන මෙම විදුහලේ සිසුන් 165 දෙනෙකු ඉගෙනුම ලැබුවත් එහි ප්‍රමාණවත් පංතිකාමර පහසුකම් නැත.

මේ සම්බන්ධයෙන් අදහස දැක්වු දෙමව්පියන් පැවසුවේ, දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරමින් සැදු මඩුවක සිසුන් පිරිසක් ඉගෙනීම් කටයුතු සිදු කරන බවය.

තවත් පිරිසක් ගස් යට ඉගෙනීම් කටයුතු සිදුකරන අතර වැසි කාලයට එයත් ඉතා අසීරු කටයුතුත්තකි.

විදුහලේ අඩුපාඩු සම්පූර්ණකර දෙන්නේ නම් එය සිසුන්ට මහත් උපකාරයක් බව දෙමාපියන් පැවසීය.

ඔවුන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ දරුවන්ගේ හැකියාවන් අර ‘කැලේ පිපිලා කැලේට පරවෙලා යන මල්’ බවට පත්වෙන්න, ඉඩ දෙන්න එපා යනුවෙනි.

*********************************************

නවක වදය හේතුවෙන් පේරාදෙණියේ සිසුන් පිරිසකට නිවාඩු දෙයි

(17.09.2020 – 07:34 +0530 – hirunews.lk/sinhala)

නවකවදය සම්බන්ධයෙන් දෙමව්පියන් පිරිසක් ලබාදුන් තොරතුරු අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවන (2) වසර සිසුන්ට නිවාඩු ලබාදීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

එහි උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා පැවසුවේ දෙමව්පියන් ලබාදුන් තොරතුරු සම්බන්ධයෙන් තහවුරු කර ගැනීමක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.

මෙතෙක් විශ්වවිද්‍යාල බලධාරින්ට අදාළ සිද්ධීන් නිරීක්ෂණය නොවුණත් පළමු (1) වසර සිසුන් සිය දෙමාපියන්ට ඒ පිළිබඳ දැනුම්දී ඇති තොරතුරු සම්බන්ධයෙන් පාලනාධිකාරිය අතිශය සංවේදීව කටයුතු කරන බවයි උපකුලපතිවරයා කියා සිටියේ.

බොහෝදුරට නවක සිසුන්ට නවකවදය ලබාදීම දෙවන (2) වසර සිසුන් විසින් සිදුකරන තත්ත්වයන් පවතින නිසා මෙලෙස ඉංජිනේරු පීඨයේ දෙවන (2) වසර සිසුන්ට තාවකාලිකව නිවාඩු ලබාදුන් බව ද උපකුලපතිවරයා හිරු ප්‍රවෘත්ති අංශයට පැවසුවා ෴

*********************************************

නිරෝගිමත්, විනයගරුක සමාජයක් බිහිකිරීමට ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක්

(17.09.2020 – 07:37 +0530 – hirunews.lk/sinhala)

නිරෝගිමත්, විනයගරුක සහ ජනසම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා ඉවහල් වන ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා.

ඒ ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා, යටිතල පහසුකම්, ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ඊයේ (16) පැවති සාකච්ඡාවකදීයි.

ග්‍රාමීය පාසල්වලට ක්‍රීඩා පිටි ඉදිකරදීමෙන් පසු ඒවා නඩත්තු නොකරන තත්ත්වයක් බොහෝ ස්ථානවල දක්නට ලැබෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

සියලු දිස්ත්‍රික්කවල පාසල් ක්‍රීඩා පිටි නඩත්තු කිරීම සඳහා වෙනම ඒකකයක් පිහිටුවන ලෙසයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ.

*********************************************

ජාලිය වික්‍රමසූරියගේ වරෙන්තුව යළි කැඳවන්නැයි ඉල්ලයි

(17.09.2020 – 07:39 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් 132,000 ක් වටිනා මුදල් සාවද්‍ය සාපරාධි පරිහරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇති විවෘත වරෙන්තු නියෝගය ආපසු කැඳවන ලෙස ඔහුගේ නීතිඥයින් ඊයේ (16) අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

කොටුව අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හමුවේ සැකකරුගේ නීතිඥයින් කළ එම ඉල්ලීමට විරුද්ධ නොවන බවයි තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ.

කෙසේ වෙතත්, එම ඉල්ලීම ස්ථිර මහේස්ත්‍රාත්වරයා හමුවේ සිදුකරන ලෙස අවවාද කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය අදාළ නඩුව ලබන 22 වනදා යළි කැඳවීමට ද නියෝග කළා.

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාව සිටියදී තානාපති කාර්යාලයට අවශ්‍ය ගොඩනැගිලි මිලදී ගැනීමකදී එලෙස ලක් රජයට අයත් ඇමරිකානු ඩොලර් 132,000 ක් මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ජාලිය වික්‍රමසූරිය සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ඔහු ඇප මත මුදා හැරුණා.

ඇසක රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට මාසයක කාලයකට අධිකරණයේ අවසරය මත ඔහු විදේශ ගත වූ අතර, මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ නැහැ.

ඒ අනුව, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තුවක්ද නිකුත් කරනු ලැබුවා.

*********************************************

කැළණිතිස්ස යළි සක්‍රිය වෙයි

(17.09.2020 – 07:44 +0530 – hirunews.lk/sinhala)

කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලිබලාගාරයේ ජනන කටයුතු ඉදිරි සති කිහිපය තුළ සක්‍රිය කිරීමට විදුලිබල අමාත්‍යාංශය සූදානම් වනවා.

ඒ අනුව, මෙගාවොට් 165 ක් යළි ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට බලාගාරය අක්‍රියව පවතින අතර දෝෂයට ලක්වූ කොටස් අලුත්වැඩියා කටයුතු සඳහා ඉන්දියාවට යවනු ලැබුවා.

කොරෝනා තත්ත්වය මත ඒවා යළි ගෙන්වා ගැනීමට නොහැකිවී ඇති අතර, ඉන්දීය රජය සමග සාකච්ඡා කර එම යන්ත්‍ර කඩිනමින් ගෙන්වා ගන්නා බවයි විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් සඳහන් කළේ ෴

*********************************************

අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීම් ගැන පැමිණිලි 101 ක්

(17.09.2020 – 08:42 +0530 – hirunews.lk/sinhala)

ලොතරැයි දිනුමකින් විදේශ රටකින් තෑගි මුදල් ලැබී ඇති බවට අන්තර්ජාලය ඔස්සේ රුපියල් මිලියන 61 ක මූල්‍ය වංචාවක් සිදුකිරීමේ සිද්ධි සම්බන්ධයෙන් පැමිණිලි 101 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බව පොලීසිය පවසනවා.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් නයිජීරියානු ජාතිකයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානයේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍ය හා තොරතුරු කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනෙවිරත්න මහතා කියා සිටියේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *