ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය

ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය

අදත් (08) කහ කිලෝ 1300 ක් මන්නාරමෙන් හමුවේ

‘පොඩි ලැසී’ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

කොළඹ ගංවතුර පාලනයට නව උමං මාර්ග

ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ට සහන, අයවැයෙන් පසු

මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බව හකීම්, පාස්කු කොමිසමේදී කියයි

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කිසිදු සේවකයෙකු ඉවත් කර නැහැ

ගානියා බැනිස්ටර් සිද්ධියේ විමර්ශන කඩිනම් කරන ලෙස අධිකරණයෙන් දැනුම් දීමක්

ප්‍රධාන අපනයන බෝගයක් වූ රබර් කාර්මාන්තය අර්බුදයක

හිරු පුවතත් සමඟ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට බලධාරීන්ගේ අවධානය

රුපියල් 350 ට සහන එළවළු මල්ලක්

*********************************************

ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය

(08.09.2020 – 15:18 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක් පිළිබඳව රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අද (08) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගෙන ආ යෝජනාවකට මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය හිමිවූ බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ ෴

*********************************************

අදත් (08) කහ කිලෝ 1300 ක් මන්නාරමෙන් හමුවේ

(08.09.2020 – 09:48 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම – ශාන්තිපුරම් ප්‍රදේශයේදී ලොරි රථයකින් කහ කිලෝග්‍රෑම් 1379 ක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒවා ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ රැගෙන ඒමට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

වෙළඳපොළේ කහ හිඟ වීමත් සමඟ ඇතැම් පිරිස් නීතිවිරෝධි අන්දමින් මෙරටට කහ රැගෙන එන අතර, ඒ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය අඛණ්ඩ වැටලීම් සිදු කරනු ලබනවා ෴

*********************************************

‘පොඩි ලැසී’ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

(08.09.2020 – 10:25 +0530 – hirunews.lk/sinhala)

ඉතිහාසයේ ප්‍රථම වරට බන්ධනාගාරය තුළ සිටින රැදවියන් පිරිසක් විසින් එහි ඉහළ නිලධාරීන්ට, ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට මරණ තර්ජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (08) ප්‍රථම වරට අධිකරණයක් හමුවේ කරුණු ඉදිරිපත් කළ බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, සංවිධානාත්මක අපරාධකරුවන් වන ‘ජනිත් මධුශංක ද සිල්වා’ හෙවත් ‘පොඩි ලැසී’ සහ ‘කීර්ති තාරක පෙරේරා විජේසේකර’ හෙවත් ‘කොස්ගොඩ තාරක’ යන අය සිදුකළ මරණ තර්ජන සම්බන්ධයෙන්.

ඒ අනුවයි දැනට බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින සංවිධානාත්මක අපරාධකරුවන් වන ‘පොඩි ලැසී’ මේ මස 25 වන දා අධිකරණය හමුවට ඉදිරිපත් කොට ප්‍රකාශ ලබා ගන්නා ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (08) නියෝග කළේ.

එමෙන්ම, ‘කොස්ගොඩ තාරක’ සම්බන්ධයෙන් ද අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති අතර, එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ ඔහු මේ වන විටත් තම භාරයේ පසුවෙමින් ප්‍රකාශ සටහන් කර ගන්නා බවටයි.

මීට පෙර ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර උපදෙස් ලබාදී තිබුණා.

ඒ අනුව අද (08) එම නඩුව කැදවූ අවස්ථාවේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් ඉදිරිපත් කරන අවස්ථාවේදී අධිකරණය අවට විශේෂ ආරක්ෂාවක් සපයා දෙන ලෙසට ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දුන් බවයි.

එමෙන්ම, ඇතැම් බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාරගතව සිටින මෙම රැදවියන්ට වැදුම් පිදුම් පවා සිදුකරන බව එහිදී නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නා.

ඔවුන් විසින් ලබාදෙන වරප්‍රසාද හමුවේ එසේ සිදුකරනු ලබන බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කළේ.

එමෙන්ම මෙම සංවිධානාත්මක අපරාධකරුවන් ප්‍රකාශ කර ඇත්තේ මෙරට පොලිස් දෙපාර්තමේන්තුවට වඩා තමන් සතුව ආයුධ සහ අනුගාමිකයන් සිටින බවයි.

ඕනෑම අවස්ථාවක පැය දෙකක් (2) ඇතුළත ඕනෑම පුද්ගලයෙකු ඝාතනය කිරීමේ හැකියාව ද තමන් සතුව ඇති බවට සැකකරුවන් ප්‍රකාශ කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

තම ආරක්ෂාවට ලබාදී ඇති පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පවා ඝාතනය කරමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඉතිහාස ගත වීමට සූදානම් බවයි එම අපරාධකරුවන් ප්‍රකාශ කර ඇත්තේ.

එසේ සිදුකිරීමට සහ ප්‍රකාශ නිකුත් කිරීමට ඔවුන්ට ශක්තිය ලැබී ඇත්තේ කෙසේ ද? ඔවුන් පිටුපස සිටින පුද්ගලයන් කවුරුන්ද ? දේශපාලන බලපෑමක් තිබේ ද? යන කරුණු සම්බන්ධයෙන් ද සොයා බලා ඒ පිළිබදව ද කරුණු වාර්තා කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද (08) අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

*********************************************

කොළඹ ගංවතුර පාලනයට නව උමං මාර්ග

(08.09.2020 – 12:49 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ගංවතුර පාලනය සඳහා වසර 225 කට වඩා පැරණි උමං මාර්ග වෙනුවට විකල්ප උමං මාර්ග සකස් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

එහි පළමු අදියර ලෙස ලන්දේසි යුගයේ ඉදිකරන ලද මුතුවැල්ල උමං මාර්ගයට විකල්පයක් ලෙස ඉදිකෙරෙන නව මුතුවැල්ල උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ අගනගර ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියට උපදෙස් ලබාදී ඇත්තේ.

උතුරු කොළඹ ගං වතුර පාලනය කිරීම සඳහා ඉදිකෙරෙන මීටර් 778 ක් දිග මෙම උමං මාර්ගය ආරම්භ වන්නේ අලුත්මාවත – ප්‍රධාන ඇළ අසළින්.

එය අවසන් වන්නේ මෝදර ධීවර වරාය ආසන්නයෙන්.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් වන කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මගින් කොළඹ පවතින වැසි ජලය නිසා ඇති වන ජල ගැලීම් අවම කිරීම සඳහා ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතියේ මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 321 ක් වන අතර, ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 213 ක් ලෝක බැංකුව මගින් සහනදායී ණය පදනම යටතේ ලැබීම විශේෂත්වයක්.

*********************************************

ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

(08.09.2020 – 13:12 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රේමලාල් ජයසේකර මීට සුළු මොහොතකට පෙර කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කෑ කෝ ගැසීම නිසා කිසියම් උණුසුම් තත්ත්වයක් උද්ගත වුනා.

ප්‍රේමලාල් ජයසේකර, මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

මරණ දඬුවම නියම වී අභියාචනයක් ඉදිරිපත් කර සිටින රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දිය හැකි බව, අභියාචනාධිකරණය ඊයේ (07) ප්‍රකාශ කළා.

මේ අනුව අද (08) ඔහු දිවුරුම් දීමට පාර්ලිමේන්තුවට පැමිණි අතර, දිවුරුම් දෙන අවස්ථාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඝෝෂා කරමින් ඊට බාධා කිරීමට උත්සහ කළා.

කෙසේවෙතත් ප්‍රේමලාල් ජයසේකර, මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා ෴

+++++++++++++++++++++

*********************************************

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ට සහන, අයවැයෙන් පසු

(08.09.2020 – 14:24 +0530 – hirunews.lk/sinhala)

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ට පනවා ඇති සියයට 14 ක උපයන ලාභ මත ආදායම් බද්ද සහ සියයට 15 ක රත්‍රං ආනයන බද්ධ ඉවත් කිරීම ලබන අයවැයෙන් පසු සිදුවනු ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ප්‍රකාශ කළා.

ජනාධිපති කාර්යාලයේ ඊයේ (07) පැවති සාකච්ජාවකදී ජනාධිපතිවරයා විසින් අදාල තීරණය ප්‍රකාශයට පත් කළ අතර විශේෂයෙන් එය මෙරට කර්මාන්තකරුවන් ඉලක්ක කර ගනිමින් ලබාදුන් බවයි එම අධිකාරියේ සභාපති අමිත ගමගේ මහතා සඳහන් කළේ.

මෙලෙස බදු සංශෝධනය කිරීමක් රත්‍රං කර්මාන්තකරුවන්ට සහනයක් බවයි සමස්ත ලංකා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික ආර්. බාලසුබ්‍රමනියම් මහතා කියා සිටියේ ෴

*********************************************

මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බව හකීම්, පාස්කු කොමිසමේදී කියයි

(08.09.2020 – 14:35 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජීවත් වන දෙමළ බස කථාකරන මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මුස්ලිම් කෙංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ප්‍රකාශ කළා.

ඒ, පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශණය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (07) සාක්ෂි ලබා දෙමින්.

දිගු කාලයක සිට සිදුකරන එම ඉල්ලීම 2015 ජනාධිපතිවරණය අවසානයේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ඉදිරිපත් කල බවද ඔහු එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු සෛයින්දමර්දුහි නිවසක සිදුවු පිපිරීම් මාලාවෙන් මියගිය සහරාන් හෂීම් සමග හිටපු අමාත්‍ය රවුෆ් හකීම් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයින් සිටි මාධ්‍ය මගින් විකාශය කළ ඡයාරූප සහ වීඩියෝ දර්ශණ පෙළ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම ඊයේ (07) විමර්ශණයට ලක් කර තිබෙනවා.

එහිදි කොමිසම හමුවේ සාක්ෂි දුන් මුස්ලිම් කොංග්‍රසයේ හිටපු නැගෙනහිර පලාත් සභා මන්ත්‍රී සිබ්ලි ෆාරුක් කියා සිටියේ අදාල ඡායාරූප 2015 මහමැතිවරණයෙන් පසු එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම්කිරීමත් සමග ඇතිවු ගැටුමෙන් තුවාල ලැබු සිය පාක්ෂික ගර්භණී කාන්තාවන් බැලීමට මඩකලපුව මහා රෝහලට ගිය අවස්ථාවේ අහම්බෙන් සිදුවු හමුවීමක ඡයාරූප බවයි.

කෙසේ වෙතත්, මොහොමඩ් සියාඩ් නම් කාන්තක්කුඩියේ නාගරික මන්ත්‍රීවරයෙකු ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂී ලබාදෙමින් කියා සිටියේ හිටපු අමාත්‍ය රවුෆ් හකීම් සහ සිබ්ල් ෆාරුක් මඩකලපුව රෝහල වෙත ගියේ තුවාල ලබා සිටි ගර්භනි කාන්තාවක් බැලීමට නොව සෘජුවම සහරාන් හෂීම් ගේ සොහොයුරු රිල්වාන් හෂීම් බැලීමට බවයි.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීම සදහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඊයේ (07) ජනාධිපති කොමිසමට කැඳවා තිබු අතර ඔහු පස්වරු 06:14 පමණ කොමිසම හමුවේ පෙනිසිටියා.

එහිදි ප්‍රශ්ණ ගත සිදුවීම සම්බන්ධයෙන් රවුෆ් හකීම් කොමිසමට සදහන් කලේ 2015 අගෝස්තු මස 21 වැනිදා එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් පිරිනැමිමෙන් පසු උද්යෝගය පත් ඔහුගේ ආධාරකරුවන් කළහකාරි ලෙස හැසිරීම මත සිදුවු ගැටුමෙන් තුවාල සිය පක්ෂයේ ගර්භනි කාන්තාවක් බැලීම සදහා මඩකලපුව රෝහලට ගිය බවයි.

එහිදි අහම්බෙන් තුවාල ලබා සිටි රිල්වාන් හෂීම් දැක ඔහුගේ සුවදුක් විමසීමට කටයුතු කල බවත් එම දර්ශණ පමණක් මාධ්‍ය ඔස්සේ විකාශය වි ඇති බවයි.

අහඹු ලෙස රිල්වාන් හෂීම් සුවදුක් විමසුවද ඔහු සහරාන් හෂීම් ගේ සොහොයුරු බව ප්‍රහාරයට පෙර දැන නොසිටි බවද රවුෆ් හකීම් කොමිසමට සදහන් කර තිබෙනවා.

එහිදි කොමිසම ප්‍රශ්ණ කලේ 2015 වර්ෂයේ මහමැතිවරණයට පෙර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහරාන් හෂීම් සමග යම් ගිවිසුමගත විමක් සිදුවුවාද යන්නයි.

මහමැතිවරණයට ඉදිිරිපත් වු දේශපාලන පක්ෂ විසින් පිලිපැදිය යුතු යැයි සහරාන් හෂීම් විසින් කොන්දේසි මාලාවක් ඉදිරිපත් කර තිබු අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රාදේශීය නියෝජිතයින් මෙන්ම තවත් පක්ෂ කිහිපයක් එම කොන්දේසි වලට එකගත්වය පල කල බවයි හිටපු අමාත්‍ය රවුෆ් හකීම් සදහන් කර සිටියේ.

එම කොන්දේසි වලට එකග විම පිළිබදව තමන් පමණක් නොව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ද සහරාන් හෂීම් සමග ගිවිසුම් ගත වු බවයි පාස්කු ප්‍රහාරය පිළිබද පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේදි එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ප්‍රකාශ කල බව එහිදි ජනාධිපති කොමිසම විමසා සිටියා.

පාස්කු ප්‍රහාරය පිළිබද පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේ සමාජිකයෙකු ලෙස සිටි තමන් හිස්බුල්ලාගේ එම ප්‍රකාශය පිළිබද වැඩි අවධානයක් යොමු නොකලේ නිදහසට කරුණු ඒ මොහොතේ කීමට අවශ්‍ය නොමැති නිසා බවද හිටපු අමාත්‍ය රවුෆ් හකීම් ප්‍රකාශ කර තිබෙනවා.

ජාතික ආරක්ෂක කවුන්සිලයේ සමාජිකයන් ලෙස බුද්ධි අංශ විසින් සිදුකළ දැනුවත් කිරීම් පිළිබද හිටපු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දැන සිටින්නට ඇති නමුත් ඒ පිළිබද නිශ්චිත තොරතුරු අමාත්‍ය මණ්ඩලය දැනුවත් නොකල බවයි රවුෆ් හකීම් වැඩදුරටත් කොමිසම සිදුකල ප්‍රශ්ණ කිරිම්වලදි සදහන් කලේ.

එහිදි කොමිසම ප්‍රශ්ණ කලේ ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වගකිවයුත්තන් කවුරුන්ද යන්නයි.

ඊට පිලිතුරු දෙමින් රවුෆ් හකීම් කියා සිටියේ ප්‍රහාරය රට තුළ අස්ථාවරත්වයක් නිර්මාණය කිරීම සදහා සහරාන් ඇතුළු පිරිස ඉත්තන් කරගනිමින් වෙනත් අදිසි බලවේගයක් මෙහෙය වුවක් බවයි.

එම අදිසි බලවේගය කුමක්ද යන්න පිලිබද පාස්කු කොමිසම විමසීමේ දි ඔහු ප්‍රකාශ කලේ මාධ්‍ය නොමැති අවස්ථාවක ඒ පිළිබද ප්‍රකාශ කල හැකි බවයි.

2015 ජනාධිපතිවරණයෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගෙන් සිදුකල විශේෂ ඉල්ලීමක් පිළිබද කොමිසම හිටපු අමාත්‍ය රවුෆ් හකීම් ගෙන් විමසු අවස්ථවේදි ඔහු කියා සිටියේ අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළට ආසන්න ප්‍රදේශවලින් දෙමළ භාෂාව කථාකරන මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවයි.

තවදුරටත් එම මතයේ සිටින බවද හිටපු අමාත්‍ය රවුෆ් හකීම් කොමිසමට හමුවේ සාක්ෂී ලබාදෙමින් කියා සිටියා.

*********************************************

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කිසිදු සේවකයෙකු ඉවත් කර නැහැ

(08.09.2020 – 14:43 +0530 – hirunews.lk/sinhala)

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කිසිදු සේවකයෙකු සේවයෙන් ඉවත් කිරීමට හෝ වැටුප් අඩු කිරීමට තීරණයක් ගෙන නොමැති බව එහි සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.එම්.වී වන්සේකර මහතා ප්‍රකාශ කළා.

ඔහුගේ අත්සනින් යුතුව ඊයේ (07) එම කාර්යාංශයේ අංශ ප්‍රධානීන් සහ කාර්ය මණ්ඩලය වෙත නිකුත් කර ඇති චක්‍ර ලේඛයක් මේ වනවිට සමාජ මාධ්‍යයේ හුවමාරු වන අතර ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදීයි සාමාන්‍යාධිකාරිවරයා මේ බව කියා සිටියේ.

කොරෝනා වසංගතය හේතුවෙන් කාර්යාංශයේ දෛනික ආදායම පහල ගොස් ඇති අතර ඉදිරියේදී ශාඛා කිහිපයක් තාවකාලිකව වසා දැමීමට නියමිත බව අදාළ ලිපියේ දක්වා තිබෙනවා.

උද්ගතවී ඇති තත්ත්වය සලකා කාර්යාංශයේ කටයුතු යථා තත්ත්වයට පත්වන තුරු ඔක්තොම්බර් මස 01 වනදා සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා කොන්දේසි මත අඩ වැටුප් සහිත නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා කාර්ය මණ්ඩලයේ කැමැත්ත විමසීමට තීරණය කර ඇති බවයි අදාල ලිපියේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.එම්.වී වන්සේකර මහතා කියා සිටියේ මෙය තොරතුරු ලබා ගැනීමට පමණක් නිකුත් කළ චක්‍ර ලේඛයක් පමණක් බවයි ෴

*********************************************

ගානියා බැනිස්ටර් සිද්ධියේ විමර්ශන කඩිනම් කරන ලෙස අධිකරණයෙන් දැනුම් දීමක්

(08.09.2020 – 15:07 +0530 – hirunews.lk/sinhala)

පැහැර ගැනීමට ලක් වූ බව කියන මෙරට ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැනිස්ටර් සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකර එහි ප්‍රගතිය නොවැම්බර් 05 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාක් ලංකා ජයරත්න මෙනවිය අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ සිද්ධියට අදාලව ලබා ගත් පැය 607 ක සී.සී.ටී.වී. දර්ශන රජයේ රස පරීක්ෂක වෙත ලබා දුන් බවයි.

කෙසේ නමුත් ඒවා විශ්ලේෂණය කර වාර්තාවක් ලබාදීමට මාස 10 ක කාලයක් ගතවනු ඇති බවට රජයේ රස පරීක්ෂක සඳහන් කළ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය රජයේ රස පරික්ෂකට නියෝග කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා දුන් සී.සී.ටී.වී. දර්ශන වල සම්පූර්ණ වාර්තාව නොව මෙරට ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැනිස්ටර් පැහැර ගැනීමට ලක් වු බව කියන 2019 නොවැම්බර් 25 වන දින සී.සී.ටී.වී. දර්ශන පමණක් විශේලේෂණය කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

*********************************************

ප්‍රධාන අපනයන බෝගයක් වූ රබර් කාර්මාන්තය අර්බුදයක

(08.09.2020 – 15:34 +0530 – hirunews.lk/sinhala)

රබර් වගාව කලක් තිසේසේ මෙරට ප්‍රධාන අපනයන බෝගයක් ලෙසයි සැලකෙන්නේ. තවමත් විශාල පිරිසකගේ ජිවනෝපාය මාර්ගය වන්නේ රබර් වගාවයි.

නමුත් වාර්තමානය වන විට සිය රබර් කාර්මාන්තය පවත්වා ගැනිමට නොහැකි තත්වයකට මුහුණ පා ඇති බවයි එම කාර්මාන්ත කරුවන් පවසන්නේ

ප්‍රමිතියෙන් ඉහළ සීට් රබර් නිෂ්පාදනය කළත් ඒ සඳහා වෙළඳපොළේ සරිලන විශේෂ මිලක් නොලැබීම ප්‍රධාන ගැටලුවක් බව පෙන්වා දෙන කුඩා රබර් වතු හිමියන් පවසන්නේ රබර් නිෂ්පාදන වියදමද ඉහළ ගොස් ඇති බවයි.

වියදමට සාපේක්ෂව රබර් නිෂ්පාදන මිල ඉහළ ගොස් නොමැතිවීම නිසා මේ වන විට රබර් කර්මාන්තය කඩා වැටීමකට ලක්ව තිබෙනවා.

තමන් මුහුණපා සිටින මෙම අර්බුදකාරි තත්ත්වය පිළිබඳව බලධාරින් දැනුවත් කළද මෙතෙක් ඊට සාධනීය පිළිතුරක් ලැබි නොමැති බවයි ඔවුන් පවසන්නේ.

මෙරට ආර්ථිකයට ප්‍රධාන දායකත්වයක් ලබා දෙන රබර් කාර්මාන්තය සුරක්ෂිත කිරිම අදාල බලධාරින්ගේ වගකිමක් නොවේද..?

රබර් කර්මාන්තකරුවන්ට පවතින ගැටලු විසඳෙනතුරු ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

*********************************************

හිරු පුවතත් සමඟ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට බලධාරීන්ගේ අවධානය

(08.09.2020 – 15:41 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ වායු සමීකරණ යන්ත්‍රයක ඇති වූ ජල කාන්දුවක් හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගින් දැඩි අපහසුතාවයට පත්වූ පුවතක් අප පසුගියදා වාර්තා කිරීමත් සමඟ බලධාරීන්ගේ අවධානය ඒ වෙත යොමුව තිබෙනවා.

එම රෝහලේ අක්ෂි සහ අස්ථි ශල්‍යකර්ම සියල්ල සති 3 ක සිට මුළුමනින්ම නවතාදැමීමට රෝහල් කාර්ය මණ්ඩලයට පසුගිය දිනෙක සිදු වුණා.

ඒ රෝහලේ ශල්‍යාගාරයක වායු සමීකරණ යන්ත්‍රයක ජලය කාන්දුවක් හේතුවෙන්.

මේ හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම රෝහලට පැමිණෙන රෝගීන්ද දැඩි අපහසුතාවයට පත්වුණා.

*********************************************

රුපියල් 350 ට සහන එළවළු මල්ලක්

(08.09.2020 – 16:35 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොල වටිනාකම රුපියල් 700 ක් වන කැරට්, අර්තාපල්, බීට්, තක්කාලි, ලීක්ස් සහ නෝකෝල් යන එළවළු වර්ග හයකින් (6) සමන්විත එළවළු මල්ලක් රුපියල් 350 ක සහන මිලකට ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

සෞභාග්‍යයේ දැක්ම, ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ගොවි ජනතාවට සහ පාරිභෝගිකයින්ට සහන සැළසීමේ වැඩපිළිවෙල යටතේ අතරමැදියන්ගෙන් තොරව ඍජුවම අස්වැන්න මිලදී ගැනීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීම මෙහි අරමුණ බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානය විසින් අස්වනු මිලදී ගෙන පාරිභෝගික ජනතාවට එළවළු අලෙවි කිරීම මේ යටතේ සිදුවනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොටුව දුම්රිය ස්ථානය, මරදාන දුම්රිය ස්ථානය, ඉසුරුපාය, සුහුරුපාය, සෙත්සිරිපාය සහ නුගේගොඩ යන ස්ථානවලදී මෙම සහනදායී එළවළු මල්ල මිලදී ගත හැකි අතර, මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන තුනකද වැඩසටහන ක්‍රියාත්මකයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *