විපක්ෂයේ මහනුවර ප්‍රබල දේශපාලකයාගේ හන්තාන වන විනාශය !

විපක්ෂයේ මහනුවර ප්‍රබල දේශපාලකයාගේ හන්තාන වන විනාශය !

මහනුවර දෙදරීම ගැන සොයන්න, තවත් භූ විද්‍යා කණ්ඩායමක් මහනුවරට

ක්‍රිකට් තරඟ පාවාදීම් ගැන මහින්දානන්ද කියන අලුත්ම කතාව

ජනපති අල්ටයර් ගොඩනැගිලි සංකීර්ණය නිරීක්ෂණ කරයි

යහපාලන රජයේ දේශපාලනඥයෙකුට සම්බන්ධ ගුදමකට රේගුව සීල් තබයි

විදේශ රටවලට පැනගොස් සිටින පාතාල සහ, කුඩු ජාවාරම්කරුවන් 19 දෙනෙකු අල්ලන්න ‘රතු වරෙන්තු’

අගමැති උපදෙස් අනුව කොළඹ කොටස් වෙළදපොළ ඩිජිටල්කරණය වෙයි

අපරාධ කල්ලි සාමාජික ‘සාවන්නා’ අත්අඩංගුවට

විසිවන (20) සංශෝධනයේ කෙටුම්පත නීතිපතිගේ නිරීක්ෂණයට

හිටපු අගමැති රනිල්ට මහින්දානන්දගෙන් චෝදනාවක්

1917 දුරකථන අංකයට අපරාධකරුවන් උපයාගත් වත්කම් ගැන තොරතුරු 671 ක්

පෞද්ගලික උත්සව සඳහා ජනපතිට ඇරයුම් නොකරන්නැයි ඉල්ලීමක්

තීරුබදු රහිතව දිවයිනට ගෙන්වූ රථවාහන කිහිපයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

මත් ජාවාරම්කරුවන්ගේ පර්චස් 900 ක ඉඩම් පොලිස් භාරයට

*********************************************

විපක්ෂයේ මහනුවර ප්‍රබල දේශපාලකයාගේ හන්තාන වන විනාශය !

(01.09.2020 – 09:50 +0530 – hirunews.lk/sinhala)

විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික්ක ප්‍රබල දේශපාලනඥයෙකුගේ මැදිහත්වීම මත, හන්තාන පරිසර සංවේදී කලාපයේ වන විනාශයක් සිදුවන බවට ලැබුණ තොරතුරු මත, අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

එහි සභාපති සිරිපාල අමරසිංහ මහතා සඳහන් කළේ, ඊට අදාළ සියලු වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

වන විනාශය හා පරිසර විනාශයට දායක වන්නන්ට එහෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු අවධාරණය කළා.

*********************************************

මහනුවර දෙදරීම ගැන සොයන්න, තවත් භූ විද්‍යා කණ්ඩායමක් මහනුවරට

(01.09.2020 – 08:37 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ප්‍රදේශ කිහිපයක සිදුවු බවට පැවසෙන අසාමාන්‍ය දෙදරීමේ තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා තවත් කණ්ඩායමක් එම ප්‍රදේශවලට යෙදවීමට භූ විද්‍යා කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් අදාළ ප්‍රදේශවල සංචාරය කර තවදුරටත් ඒ පිළිබදව විමර්ශන සිදුකරනු ඇති.

පසුගිය 29 වන දා රාත්‍රියේ මහනුවර – තලාතුඔය, ගුරුදෙනිය, හාරගම සහ අනුරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට අසාමාන්‍ය දෙදරීම් තත්ත්වයක් හට ගත්තා.

ඒ අනුව භූ විද්‍යා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ අතර, එහි වාර්තාව ඊයේ (31) දිනයේ එම කාර්යාංශයට ලැබී තිබුණා.

ඊට අදාල දත්ත සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි ඒ පිළිබදව වැඩිදුරටත් විමර්ශනය කිරීම සඳහා 6 දෙනෙකුගෙන් යුත් අදාළ කමිටුව එම ප්‍රදේශවලට පිටත් කර යැවීමට තීරණය කර ඇත්තේ.

මීට අමතරව පරිඝනක තාක්ෂණය ඔස්සේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සඳහා තවත් කණ්ඩායමක් ද යෙදවීමට කටයුතු කළ බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සජ්ජන ද සිල්වා මහතා කියා සිටියේ ෴

+++++++++++++++++++++

*********************************************

ක්‍රිකට් තරඟ පාවාදීම් ගැන මහින්දානන්ද කියන අලුත්ම කතාව

(01.09.2020 – 09:35 +0530 – hirunews.lk/sinhala)

2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරඟය පාවා දුන් බවට තමන් කළ ප්‍රකාශය පිළිබදව පැවැත්වූ පරීක්ෂණ කිසියම් පිරිසකගේ මැදිහත්වමෙන් වෙනතකට යොමු කළ බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

ඒ, ‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශය වූ ‘සලකුණ’ දේශපාලන වැඩසටහනට ඊයේ (31) එක්වෙමින්.

*********************************************

ජනපති ‘අල්ටයර්’ ගොඩනැගිලි සංකීර්ණය නිරීක්ෂණ කරයි

(01.09.2020 – 11:12 +0530 – hirunews.lk/sinhala)

බේරවැව ආසන්නයේ අක්කර දෙක හමාරක (2½) භූමි ප්‍රදේශයක ඉදිකෙරෙන ‘අල්ටයර්’ නේවාසික සහ වාණිජ ගොඩනැගිල්ල ඊයේ (31) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.

මෙම ගොඩනැගිල්ල කොළඹ පිහිටි උසම ගොඩනැගිලි අතරින් එකක් ලෙසයි සැලකෙන්නේ.

ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ව්‍යාපෘතියකට අනුව නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ඉදිකෙරෙන මෙම ගොඩනැගිල්ලෙහි ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 250 ක්.

කුළුණු දෙකකින් (2) යුත් මෙම ගොඩනැගිලි සංකීර්ණය මහල් 68 කින් සහ 63 කින් සමන්විතයි.

ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරිම් කටයුතු සියයට 98 ක් පමණ මේ වනවිට අවසන් කර ඇති අතර, ඉතිරි ඉදිකිරීම් කටයුතු ලබන වසරේ ජනවාරි මාසය වනවිට අවසන් කෙරෙනු ඇති.

නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළේ සංචාරක ආකර්ශනයට මෙවැනි ගොඩනැගිලි ඉදිකිරීම් හේතු වන බවයි.

*********************************************

යහපාලන රජයේ දේශපාලනඥයෙකුට සම්බන්ධ ගුදමකට රේගුව සීල් තබයි

(01.09.2020 – 12:37 +0530 – hirunews.lk/sinhala)

සීදුව ප්‍රදේශයේ පිහිටි යහපාලන රජයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකුගේ සබඳතා ඇති ප්‍රකට බන්දිත ගුදමකට රේගු දෙපාර්තමේන්තුව මුද්‍රා තබා තිබෙනවා.

රේගු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක ආනයනික භාණ්ඩ ගබඩා කරන මෙම ගුදම පිහිටුවනු ලැබුවේ 2011 වසරේදීයි.

මෙහි ගුදමේ තැන්පත් කර තිබූ ආනයනය කරන ලද මත්පැන් තොගයක් ප්‍රතිඅපනයන කිරීම සඳහා වත්තල ප්‍රදේශයේ තවත් ගුදමකට රැගෙන යන අතරතුර සිදුවූ ජාවාරමක් අනාවරණ වීමෙන් පසු ඊට මෙලෙස මුද්‍රා තබා ඇති බව රේගු ආරංචි මාර්ග සඳහන් කළා.

රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද මීට සම්බන්ධ වී ඇති අතර, නීතිවිරෝධී ලෙස අදාළ මත්පැන් දේශීය වෙළඳපොළට මුදා හැර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම ජාවාරම දීර්ඝ කාලයක් සිදුකරගෙන ගොස් ඇති බවට ද හෙළි වී තිබෙනවා.

ඒ අනුව පරීක්ෂණ නිම වන තුරු අදාළ බන්දිත ගුදමට මුද්‍රා තැබූ බව රේගුවේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා ෴

*********************************************

විදේශ රටවලට පැනගොස් සිටින පාතාල සහ, කුඩු ජාවාරම්කරුවන් 19 දෙනෙකු අල්ලන්න ‘රතු වරෙන්තු’

(01.09.2020 – 13:20 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගත් මත්කුඩු ජාවාරම්කරුවෙකු මුදා හැරීම සඳහා කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ පානදුර – දකුණ පොලීසියේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙම පොලිස් පරීක්ෂකවරයා අදාළ කාන්තාවට ‘වට්ස්ඇප්’ මාර්ගයෙන් සිය නිරුවත් දර්ශන යොමු කර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

ඊයේ (31) දිනයේදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සබදතා පැවැත්වීමේ චෝදනාවට ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට ද පොලීසිය පියවර ගනු ලැබුවා.

මොහු පසුගිය දා මොරටුව ප්‍රදේශයේ ආපනශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වූ අපරාධ කල්ලි සාමාජිකයින්ගෙන් මුදල් ලබාගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර, දැනට විදේශ රටවලට පැන ගොස් සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 13 දෙනෙකු සහ මත්කුඩු ජාවාරම්කරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ‘රතු වරෙන්තු’ ලබාගෙන තිබෙනවා.

මෙම අපරාධකරුවන් සිදුකර ඇති අපරාධ සම්බන්ධයෙන් අධිකරණ රැසකින් මෙම ‘රතු වරෙන්තු’ ලබාගෙන ඇති අතර, ඒවා ජාත්‍යන්තර පොලීසියට මේ වන විට යොමු කර ඇති බවයි උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ.

මෙලෙස ‘රතු වරෙන්තු’ ලබාගෙන ඇති සංවිධානාත්මක අපරාධකරුවන් අතරට ‘ගමගේ සුරංග’ හෙවත් ‘වැල්ලේ සුරංග’, ‘සුජීව ද සොයිසා’ හෙවත් ‘කොස්ගොඩ සුජී’, ‘සිංහාර අමල් සමින්ද සිල්වා’ හෙවත් ‘කුඩු අංජු’ නැමැත්තන් ද අයත් ෴

+++++++++++++++++++++

*********************************************

අගමැති උපදෙස් අනුව කොළඹ කොටස් වෙළදපොළ ඩිජිටල්කරණය වෙයි

(01.09.2020 – 14:02 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ලබන 17 වන දා සිට කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කටයුතු ඩිජිටල්කරණය කිරීමට නියමිතයි.

කොළඹ කොටස් වෙළදපොළ ඩිජිටල්කරණය කර අවසන් කිරීම දැනුම්දීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නියෝජිතයින් පිරිසක් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ (31) සාකච්ඡාවක් පැවැත්වුණා.

එම කොමිෂන් සභාවේ සභාපති විරාජ් දයාරත්න මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සඳහන් කර ඇත්තේ කොරෝනා වසංගතය හේතුවෙන් දින 52 ක් කොළඹ කොටස් වෙළදපොළේ කටයුතු අඩපණ වූ බවත්, ඩිජිටල්කරණයට ලක්කිරීමෙන් කොටස් වෙළදපොළ නව මුහුණුවරකින් කටයුතු කළ හැකි බවයි ෴

*********************************************

අපරාධ කල්ලි සාමාජික ‘සාවන්නා’ අත්අඩංගුවට

(01.09.2020 – 13:50 +0530 – hirunews.lk/sinhala)

අපරාධ කල්ලි සාමාජික ‘මොහොමඩ් ෂාවුල් හමීඩ්’ හෙවත් ‘සාවන්නා’ හෙරොයින් සමඟ මාලිගාවත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු විවිධ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවන් 403 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මූලස්ථානය පැවසුවේ, ඊට අමතරව දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයකින්ද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

*********************************************

විසිවන (20) සංශෝධනයේ කෙටුම්පත නීතිපතිගේ නිරීක්ෂණයට

(01.09.2020 – 15:08 +0530 – hirunews.lk/sinhala)

යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණය සඳහා යොමුකර තිබෙනවා.

අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එය නීතිපතිවරයා වෙත යොමුකර ඇති අතර, ඒ පිළිබඳව නීතිපතිවරයාගේ නිරීක්ෂණ ඉදිරි දින දෙක තුළදී ලබාදීමට නියමිත බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඒ අනුව, යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේ ද, 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් කර තිබූ ජනපතිවරයාගේ ධුර කාලය වසර 5 ක් ලෙස එලෙසම පවතිනු ඇති.

එමෙන්ම, ජනාධිපති ධුරය දැරීම අවස්ථා දෙකකට (2) සීමා කිරීමට අදාළ කොටස ද එලෙසම පවතිනු ඇති බවටයි වාර්තා වන්නේ.

විසිවන (20) ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පසුගිය කාලසීමාව පුරා දැඩි සංවාදයක් මතුවූ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද පසුගියදා නව පාර්ලිමේන්තු සැසිවාරයේදී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් සඳහන් කළේ නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරන බවයි.

ඒ අනුව, ඊට අදාළ යෝජනාව, නව රජයේ මංගල අමාත්‍ය මණ්ඩල රැස්වීමටද ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ සඳහා ක්‍රියා කිරීමට රජය විසින් කමිටුවක් ද පත් කළේ ඒ අතරතුරයි.

කොළඹ ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකදී ව්‍යවස්ථා සම්පාදන අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේ විසිවන සංශෝධනය අයවැයට පෙර සම්මත කර ගැනීමට ද කටයුතු කරන බවයි.

මේ අතර සූරියවැව ප්‍රදේශයේ අද පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පත හෙට (02) අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ෴

*********************************************

හිටපු අගමැති රනිල්ට මහින්දානන්දගෙන් චෝදනාවක්

(01.09.2020 – 15:14 +0530 – hirunews.lk/sinhala)

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ආර්ථික කමිටුවක් පත් කර ගනිමින් කැබිනට් මණ්ඩලයේ අනුමත වීමකින් තොරව සිදු කළ ඇතැම් ගණුදෙනු හරහා විශාල වංචා සිදු කළ බවට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා චෝදනා කරනවා.

‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශය වන ‘සළකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ තමන් හෙළි කළ 2011 ලෝකකුසලාන ක්‍රිකට් තරගයේදි සිදු වූ බව කියන තරග පාවා දීමේ පරික්ෂණ තවමත් අවසන් වී නොමැති බවයි.

+++++++++++++++++++++

*********************************************

1917 දුරකථන අංකයට අපරාධකරුවන් උපයාගත් වත්කම් ගැන තොරතුරු 671 ක්

(01.09.2020 – 16:17 +0530 – hirunews.lk/sinhala)

අපරාධකරුවන් උපයාගත් වත්කම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා හඳුන්වාදුන් 1917 දුරකථන අංකයට පසුගිය මාසය තුළදී එවැනි තොරතුරු 671 ක් වාර්තාවී තිබෙනවා.

පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඉන් 110 ක් මුදල් විශුද්ධිකරණයට අදාළව වාර්තාවී ඇති බවයි.

ඒ අනුව අදාළ පැමිණිලි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන දියත් කරන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළා ෴

*********************************************

පෞද්ගලික උත්සව සඳහා ජනපතිට ඇරයුම් නොකරන්නැයි ඉල්ලීමක්

(01.09.2020 – 17:16 +0530 – hirunews.lk/sinhala)

උත්සව, ත්‍යාග ප්‍රදාන, විවාහ මංගල්‍යය සහ සාද වැනි අවස්ථාවන්ට සහභාගිවීමට අපේක්ෂා නොකරන බැවින් එවැනි අවස්ථා සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා නොකරන්නැයි සියලුදෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ජනතා යහපත උදෙසා රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ බිම් මට්ටමේ ජනතා ගැටළු විසඳීමට ජනාධිපතිවරයාගේ දෛනික නිල කාර්යයන්වලදී ප්‍රමුඛත්වය ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරයා කෙරෙහි ඇති ගෞරවාදරය සහ ප්‍රසාදය හේතුවෙන් බොහෝදෙනා තම ජීවිතයේ වැදගත් අවස්ථාවන්ට එක්වන ලෙස ජනාධිපතිවරයාට ඇරයුම් කරන බවත්, තමා කෙරෙහි ජනතාව තුළ ඇති එම බැඳීම ජනාධිපතිවරයා මහත් සේ අගය කරන බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

කෙසේ වෙතත් නිල කටයුතුවලින් බැහැර තමාට ලැබෙන සෑම පැයක්ම ජනතාවගේම අභිවෘද්ධිය වෙනුවෙන් කැපකිරීමට ජනාධිපතිවරයා අදිටන් කරගෙන ඇති බැවින් පෞද්ගලික උත්සව සඳහා ජනපතිට ඇරයුම් නොකරන ලෙසයි ජනාධිපති මාධ්‍ය අංශය දැනුම්දෙන්නේ ෴

*********************************************

තීරුබදු රහිතව දිවයිනට ගෙන්වූ රථවාහන කිහිපයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(01.09.2020 – 18:05 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ලෙස තීරුබදු රහිතව මෙරටට ගෙන්වා සකස් කරන ලද ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක්, මෝටර් රථයක් සහ ලොරි රථ දෙකක් සමඟ සැකකරුවෙකු මල්වතුහිරිපිටිය – බුත්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීට ලද තොරතුරක් මත ඊයේ (31) දහවල් සිදුකළ වැටලීමේදී එම වාහනවලට ව්‍යාජ ලෙස සකස් කරන ලද බලපත්‍රද එම නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් 44 හැවිරිදි සැකකරු අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

*********************************************

මත් ජාවාරම්කරුවන්ගේ පර්චස් 900 ක ඉඩම් පොලිස් භාරයට

(01.09.2020 – 19:07 +0530 – hirunews.lk/sinhala)

ගතවූ මාස දෙකක (2) කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් සොයාගත් රුපියල් මිලියන 96 ක බැංකු ගිණුම් තහනම් කිරීමට කටයුතු කළ බව පොලීසිය පවසනවා.

පොලිස් මූලස්ථානයේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගිණුම් 102 ක රුපියල් මිලියන 2,600 ක මුදලක් හුවමාරු වී ඇති බවයි.

එමෙන්ම පර්චස් 900 ක ඉඩම්, සුඛෝපභෝගී මෝටර් රථ 12 ක්, ත්‍රිරෝද රථ හතක් (7) සහ යතුරුපැදි හතක් (7) ද පොලිස් භාරයට ගෙන ඇති බවද ඔහු සඳහන් කළා.

මේ අතර මාලිගාවත්ත ලීමෝල වත්තේදී අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘මොහොමඩ් තාජුඩීන් මොහොමඩ් ෂාවුල් හමීඩ්’ හෙවත් ‘සාවන්නා’ මත්කුඩු සමග පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (01) පෙරවරුවේ ලද තොරතුරක් මත සිදුකළ විශේෂ වැටලීමකදී අත්අඩංගුවට ගත් මොහු ‘අයුබ්කාන්’, ‘දිගා ෆයිසර්’, ‘ආනමාළු ඉමිතියාස්’ වැනි ප්‍රධාන පෙලේ පාතාල කණ්ඩායම්වලට සම්බන්ධ අයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

52 හැවිරිදි මෙම සැකකරු පුද්ගල ඝාතන රැසකට සම්බන්ධ අයෙක්.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 640 ක් තිබී හමුව තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදුකිරීම, පිටකොටුව ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීම, මුදල් කොල්ලකෑම්, ස්වයංක්‍රිය ගිනි අවියක් සහ අත්බෝම්බයක් ළඟ තබාගැනීම යන චෝදනා රැසක් ඔහුට එල්ලවී ඇති බව සඳහන්.

එමෙන්ම අත්අඩංගුවට ගත් මත්කුඩු ජාවාරම්කරුවෙකු මුදා හැරීම සඳහා කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ පානදුර – දකුණ පොලීසියේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කෙරුණා.

මෙම පොලිස් පරීක්ෂකවරයා අදාළ කාන්තාවට ‘වට්ස්ඇප්’ මාර්ගයෙන් සිය නිරුවත් දර්ශන යොමු කර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

ඊයේ (31) දිනයේදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනාවට ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට ද පොලීසිය පියවර ගනු ලැබුවා ෴

+++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *