2020 සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි 18 සිට 27 දක්වා

2020 සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි 18 සිට 27 දක්වා

බාලිකා විදුහලක් ඉදිරිපිට සිදුවූ කොල්ලය ආරක්ෂිත කැමරාවේ සටහන් වෙයි

‘පොඩි ලැසී’ගේ ප්‍රධානතම ගෝලයෙකු වන කුඩු රංග STF අත්අඩංගුවට

රාජිතට සහ රූමිට අධිචෝදනා

රජයේ විභාග නිසා පාසල් නිවාඩු ලැබෙන හැටි

ද සොයිසා කාන්තා රෝහලේදී මවක් නිවුන් දැරියන් 05 ක් බිහි කරයි

පාර්ලිමේන්තුවේ කෑම වේල 296 ට බසී

කාරක සභා 06 ක සාමාජිකයන් පත් කිරිමට පාර්ලිමේන්තුවේ අනුමැතිය

නව ව්‍යවස්ථාව ගැන බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයෙන් ජනපතිට ලිපියක්

මඟුල් ගෙදර ගිය හිඟුරක්ගොඩ නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ගැන විමර්ශන

CIDයේ බලපෑමක් ගැන දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කොමිසමේදී සිදුකළ හෙළිදරව්ව

ගම් පහකට බලපාන හඳපාන්විල වැවේ අමුණ

‘රතු මිනිත්තුවේ’ අනාවරණයෙන් පසු අලුත්වැඩියාවන මාදූව දූපතේ පාලම

*********************************************

2020 සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි 18 සිට 27 දක්වා

(28.08.2020 – 08:34 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ ජනවාරි 18 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සෞඛ්‍ය නිර්දේශ අනුව මෙම තීරණයට එළඹුනු බවයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලන කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වසරේ දෙසැම්බර් මස නියමිත පරිදි විභාගය පැවැත්වීමට බාධා එල්ලවූ අතර, ඒ සම්බන්ධයෙන් ඊයේ (27) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

එමෙන්ම තුන්වන (3) පාසල් වාරය දෙසැම්බර් 24 වනදායින් අවසන් වන අතර, ලබන වසරේ පළමු පාසල් වාරය ජනවාරි 4 වනදා ආරම්භ කිරීමට නියමිතයි.

*********************************************

බාලිකා විදුහලක් ඉදිරිපිට සිදුවූ කොල්ලය ආරක්ෂිත කැමරාවේ සටහන් වෙයි

(28.08.2020 – 09:50 +0530 – hirunews.lk/sinhala)

යතුරුපැදියකින් පැමිණෙන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලයක් කොල්ල කා පලා යන අයුරු ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා.

ගම්පොළ ශාන්ත ජෝසප් බාලිකා විදුහල අසලදී මෙම කොල්ලකෑම සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙලෙස කොල්ලකෑමට ලක්ව ඇත්තේ එම විද්‍යාලයට දියණිය සමඟ පැමිණි මවකගේ රන් මාලයක්.

අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ කොල්ලකරුවන් සම්බන්ධ පරික්ෂණ පොලිසිය විසින් මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

*********************************************

‘පොඩි ලැසී’ගේ ප්‍රධානතම ගෝලයෙකු වන කුඩු රංග STF අත්අඩංගුවට

(28.08.2020 – 10:25 +0530 – hirunews.lk/sinhala)

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘පොඩි ලැසී’ගේ ප්‍රධානතම ගෝලයෙකු වන ‘කුඩු රංග’, අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය අද (28) පෙරවරුවේ සිදුකළ වැටලීමකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබී ආයුධ රැසක්ද සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ.

එහිදී ටී 56 ගිනි අවියක්, ටී කටස් වර්ගයේ ගිනි අවි දෙකක් (2), අත්මාංචු යුගලයක් සහ ගෑස් බෝම්බ දෙකක් (2) ද සොයාගෙන තිබෙනවා.

මීට අමතරව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩ 100 ක් සහ මිලිමීටර 9 වර්ගයේ පිස්තෝල උණ්ඩ 30 ක් සැකකරු සතුව තිබී සොයාගැනුනා.

සැකකරු මත්ද්‍රව්‍ය බෙදාහැරීම සහ ඝාතන ඇතුලු අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර ගම්පහ – කිරිඳිවැල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ අංශයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ඇලේටඩ් මංජු’ නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී කඩු තුනක් (3) සහ ටී-56 උණ්ඩ 04 ක් සොයාගනු ලැබූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

එමෙන්ම පොලීසිය, විශේෂ කාර්ය බලකාය දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී සිදුකළ වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 125 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් හය (6) දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ඉංගිරිය, ගනේමුල්ල, දෙමටගොඩ, බොරැල්ල සහ ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන්.

එමෙන්ම දඹුල්ල – කණ්ඩලම – වලේකඬේ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 500 ක් සොයාගනු ලැබුවේ සඟවා තිබියදියි.

එහි වෙළඳපොල වටිනාකම රුපියල් ලක්ෂ 50 කට අධික බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මේ අතර මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේදී ගංජා සමඟ නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ නාවික හමුදාවට අයත් වෑන් රථයක්, ඊයේ (27) මෙලෙස පරීක්ෂා කිරීමේදී එහි තිබී ගංජා ග්‍රෑම් 03 ක් පොලිස් භාරයට ගත් බවයි.

*********************************************

රාජිතට සහ රූමිට අධිචෝදනා

(28.08.2020 – 10:39 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අසත්‍ය චෝදනා එල්ල කළේ යැයි චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මොහොමඩ් අසීම්ට අද (28) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී තිබෙනවා.

ඒ, මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේදීයි.

ඉන් අනතුරුව විත්තිකරුවෙකු රුපියල් 10,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා, ඇපකරුවන් දෙදෙනා (2) ගෙන් එක් අයෙකු ළඟම ඥාතියෙකු විය යුතු බවටද නියම කළා.

ඇපකරුවන් මෙම අධිකරණ බල ප්‍රදේශය තුළ පදිංචි බවට තහවුරු කෙරෙන ග්‍රාම සේවා සහතික ඉදිරිපත් කළ යුතු බව පෙන්වා දුන් විනිසුරුවරයා, අපරාධ ක්‍රියාවලට ඔවුන් සම්බන්ධ නොමැති බව තහවුරු කෙරෙන පොලිස් වාර්තා ඉදිරිපත් කළ යුතු බවටයි දැනුම් දුන්නේ.

අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව අධිකරණය හමුවේ ඉල්ලීමක් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා, මෙම නඩුවේ විත්තිකරුවන් මුල් අවස්ථාවේදී අධිකරණය මඟහරිමින් ක්‍රියා කර ඇති හෙයින් ඔවුන් නඩු විභාගය සඳහා නොකඩවා පෙනීසිටීම තහවුරු කරගැනීම සඳහා ඔවුන්ට පොලිසිය වෙත වාර්තා කළ යුතු බවට කොන්දේසියක් පනවන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එවැනි කොන්දේසියක් අවශ්‍ය නොවන බව සඳහන් කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා, විත්තිකරුවන් දෙදෙනාගේ විදේශ ගමන් තහනම් කළ අතර, ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා දැනුවත් කරන ලෙසයි නියෝග කළේ.

මෙම මාධ්‍ය සාකච්ඡාවට බොරු රැවුල් පැළඳගෙන ව්‍යාජ වෙස් ගනිමින් සහභාගි වූ පුද්ගලයින්දෙදෙනා (2) මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබීම විශේෂත්වයක්.

මේ අතර, නොසැලකිලිමත් ලෙස අපරික්ෂාකාරීව රිය පදවා බරපතල අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති, වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ පෙනී සිටියා.

එහිදී විනිසුරුවරයා නියෝග කළේ මීට අදාළ නඩුව ලබන මස 17 වැනිදා දක්වා කල් තැබීමටයි.

*********************************************

රජයේ විභාග නිසා පාසල් නිවාඩු ලැබෙන හැටි

(28.08.2020 – 11:03 +0530 – hirunews.lk/sinhala)

2020 වර්ෂය සඳහා නියමිත පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය 2020 ඔක්තෝම්බර් මස 11 වැනි ඉරිදා දින පැවැත්වීමටත්, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2020 ඔක්තෝබර් 12 වැනි දින සිට 2020 නොවැම්බර් 06 වැනි දින දක්වා පැවැත්වීමටත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, 2020 ඔක්තෝබර් 10 දින සිට 2020 නොවැම්බර් 08 වනදා දක්වා පාසල් නිවාඩු ලබා දෙනු ඇති.

තෙවැනි පාසල් වාරය 2020 නොවැම්බර් 09 වනදායින් ආරම්භ වන අතර, 2020 දෙසැම්බර් 23 වනදා අවසන් වනවා.

2020 වසරේ වාර අවසාන නිවාඩුව දෙසැම්බර් 24 වැනිදා සිට 2021 ජනවාරි 01 දා දක්වා ක්‍රියාත්මකයි.

ඒ අනුව, 2021 වසරේ නව පාසල් වාරය ජනවාරි 04 වැනිදායින් ආරම්භ කිරීමටයි අධ්‍යපන අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.

2020 වර්ෂය සඳහා නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2021-01-18 සිට 2021-01-27 දක්වා පැවැත්වෙනවා.

මෙම කාල පරිච්ඡේදය සියලු පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලෙස ක්‍රියාත්මකයි.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා පමණක් 2021 ජනවාරි 01 දා සිට 2021 ජනවාරි 17 දක්වා අධ්‍යයන නිවාඩු කාලයක් හිමිවනු ඇති.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව නැවත පාසල් ආරම්භ වන්නේ 2021 පෙබරවාරි 01 දින සිටයි.

*********************************************

ද සොයිසා කාන්තා රෝහලේදී මවක් නිවුන් දැරියන් 05 ක් බිහි කරයි

(28.08.2020 – 12:23 +0530 – hirunews.lk/sinhala)

‘ද සොයිසා කාන්තා රෝහලේ’ පස් (5) නිවුන් දරු උපතක් සිදුවී තිබෙනවා.

අද (28) පෙරවරුවේ මෙම පස් නිවුන් දරු උපත සිදුවූ බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ මහත්මිය ප්‍රකාශ කළා.

උපත ලැබූ දරුවන් පස්දෙනාම ගැහැණු දරුවන් වන අතර, ඔවුන් සියලුදෙනා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

දරුවන්ගේ මව 29 හැවිරිදි වියේ පසුවන අතර ගම්පහ – පැපිලියවෙල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

පස් නිවුන් දරු උපත සඳහාවූ සිසේරියන් සැත්කම සිදුකර ඇත්තේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසින් ෴

++++++++++++++

මෑත ඉතිහාසයේ මෙරටින් වාර්තා වූ සිව්වන (4) ‘පස් නිවුන් දරු උපත’ අද (28) පෙරවරුවේ වාර්තා වුණා.

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී එම දරුවන් උපත ලැබුවේ එම රෝහලින් වාර්තා වන පළමු පස් නිවුන් දරු උපත සනිටුහන් කරමින්.

ගම්පහ – පැපිලියවල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි රසාංජලී ජයවර්ධන මහත්මිය මෙම පසු නිවුන් දරුවන්ගේ මවයි.

මෙය ඇගේ ප්‍රථම දරු උපතද වනවා.

වෘත්තියෙන් ගුරුවරියක් වන ඇය සංකූලතා මතුවිය හැකි බැවින් මෙම දරු උපත සඳහා රෝහල්ගත වී තිබුණේ අදින් මසකට පමණ පෙරයි.

ඒ අනුව අද පෙරවරුවේ සිසේරියන් සැත්කමක් මගින් මෙම දරුවන් බිහි කිරීමට ද සොයිසා කාන්තා රෝහලේ මහාචාර්ය ඒකකයේ වෛද්‍යවරුන් සැලසුම් කර තිබුණා.

ඒ අනුව පෙරවරු 10 ත් 11 ත් අතර සිදුකෙරුණු සිසේරියන් සැත්කමේදී විනාඩි 5 ක් වැනි කාලයක් ඇතුළත දරුවන් 5 දෙනාම මෙලොව එළිය දැක තිබෙනවා.

ඔවුන් මේ වන විට රඳවා සිටින්නේ ද සොයිසා කාන්තා රෝහලේ ළඳරු දැඩි සත්කාර ඒකකයේයි.

දියණියන් පස් දෙනෙකුගේ පියෙකු බවට පත් වූ රසාංජලීගේ සැමියා වන එල්.ඒ.පී. ලියනාරච්චි මහතා සිය හැඟීම් මෙලෙස වචනවලට පෙරළුවා.

මෙරට පළමු පස් නිවුන් දරු උපත ලෙස ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ පියෙකුට දාව දරුවන් පස් දෙනෙකු උපත ලැබූ අතර අනතුරුව 2012 වසරේදී පස් නිවුන් දරු උපත් 02 ක් වාර්තා වී තිබුණා.

ඒ අනුව අද උපන් බිළිඳියන් පස් දෙනා සැලකෙන්නේ මෙරටින් වාර්තාවන සිව්වන පස් නිවුන් දරු උපත ලෙසයි.

*********************************************

පාර්ලිමේන්තුවේ කෑම වේල 296 ට බසී

(28.08.2020 – 13:21 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආහාර වේලක වටිනාකම රුපියල් 296 ක් ලෙස දැනට කළ ගණනය කිරීම් වලදී අනාවරණ වී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (28) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ මන්ත්‍රීවරයෙකුගේ ආහාර වේලක වටිනාකම පිළිබඳ පළ වූ වාර්තා සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සිදුකළ විමසීම්වලට ප්‍රතිචාර දක්වමින්. කෙසේ වෙතත් මීට අදාළ නිවැරදි ගණනය කිරීම ඉදිරියේදී දැනුම් දෙන බව ද කථානායකවරයා සඳහන් කළා.

මේ අතර, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපෙළ ආසන පනවා ඇති ආකාරය සහ මරණ දඩුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු රැස්විම් සඳහා පැමිණීමට අවස්ථාවක් හිමි නොවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණා.

මේ අතර, ඉදිරි මාස 04 සඳහා වන අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් වන විවාදය දෙවන දිනටත් මේ වනවිටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

+++++++++++++++++++++++++++++++++++

*********************************************

කාරක සභා 06 ක සාමාජිකයන් පත් කිරිමට පාර්ලිමේන්තුවේ අනුමැතිය

(28.08.2020 – 13:41 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ කාරක සභා 06 ක් සඳහා සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කිරිමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය පළ වී තිබෙනවා.

ඒ අනුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව මන්ත්‍රීවරයන් 17 දෙනෙකුගෙන් සමන්විත වනු ඇති.

එහි නිල බලයෙන් නියෝජ්‍ය කථානායකවරයා සභාපති ධූරයට පත් වන අතර, නියෝජ්‍ය කාරකසභා සභාපතිවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරන තවත් සාමාජිකයන් 15 දෙනෙකුගෙන් එය සමන්විත වනු ඇති.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කථානායකවරයා කටයුතු කරනවා.

නියෝජ්‍ය කථානායකවරයාද, නියෝජ්‍ය කාරකසභා සභාපතිවරයා සහ තේරීම් කාරකසභාව විසින් නම් කරනු ලබන සාමාජිකයන් 09 දෙනෙකුගෙන් ද එය සමන්විත වනවා.

එමෙන්ම 09 වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා ගෘහ්‍ය කාරක සභාව සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විතයි.

එහි සභාපතිවරයා වන්නේ කථානායකවරයායි.

නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා පත්කරනු ලබන ආචාර ධර්ම සහ වරප්‍රසාද පිලිබඳ කාරක සභාව තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරයන් 16 දෙනෙකුගෙන් සමන්විතයි.

එහි සභාපතිවරයා, පළමු රැස්වීමේදී සාමාජික මන්ත්‍රීවරයන් විසින් නම් කරනු ඇති.

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව සාමාජිකයන් 23 දෙනෙකුගෙන් සමන්විත වනු අතර එහි සභාපතිවරයා පත්කර ගැනීමද පළමු රැස්වීමේදී සාමාජික මන්ත්‍රීවරයන් විසින් සිදුකරනු ඇති.

පාර්ලිමේන්තුවේ පසු පෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ විරුද්ධ පාර්ශවයේ ප්‍රධාන සංවිධායකවරයා මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෝ 08 දෙනෙක් සහ විපක්ෂයේ මන්ත්‍රීවරයෝ 08 දෙනෙක් සාමාජිකත්වය දරනවා ෴

*********************************************

නව ව්‍යවස්ථාව ගැන බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයෙන් ජනපතිට ලිපියක්

(28.08.2020 – 13:50 +0530 – hirunews.lk/sinhala)

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිවැරදි කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, වහා ගෙන ආ යුත්තේ නව ව්‍යවස්ථාවක් බවත් පූජ්‍ය දිවියාගහ යසස්සි නායක හිමිපාණන්ගේ සභාපතීත්වයෙන් යුත් සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයට අනුබද්ධ බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය අවධාරණය කරනවා.

ගිහි – පැවිදි දෙපාර්ශ්වයේ 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසකගේ අත්සනින් යුතු ලිපියක් මගින් ඔවුන් මේ බව ජනාධිපතිවරයා වෙත දන්වා තිබෙනවා.

*********************************************

මඟුල් ගෙදර ගිය හිඟුරක්ගොඩ නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ගැන විමර්ශන

(28.08.2020 – 13:55 +0530 – hirunews.lk/sinhala)

හිඟුරක්ගොඩ නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විවාහ මංගල උත්සවයකට සහභාගිවීම හේතුවෙන් රාජකාරීවලට බාධා පැමිණීමේ සිද්ධිය පිළිබඳ සොයා බැලීමට නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට පිටත් කළ බව නිවාස අධිකාරියේ සභාපති රේනුක පෙරේරා මහතා පවසනවා.

අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති ඔස්සේ ඊයේ (27) තොරතුරු අනාවරණ කළා.

*********************************************

CIDයේ බලපෑමක් ගැන දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කොමිසමේදී සිදුකළ හෙළිදරව්ව

(28.08.2020 – 14:06 +0530 – hirunews.lk/sinhala)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බලපෑම මත මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනය කළේ යැයි පවසන ලෙසට තමන්ට CIDය බලපෑම් කළ බව බුද්ධි බලකායේ විශ්‍රාමික කෝප්‍රල් රවීන්ද්‍ර රූපසේන පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින්.

*********************************************

ගම් පහකට බලපාන හඳපාන්විල වැවේ අමුණ

(28.08.2020 – 14:10 +0530 – hirunews.lk/sinhala)

දිඹුලාගල – හඳපාන්විල ජලාශයේ අමුණක් කැඩීයාම හේතුවෙන් ගම්මාන 05 ක පවුල් 800 ක් පමණ දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටිනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ කඩිනමින් හඳපාන්විල ජලාශයේ අමුණ ඉදිකර දී සිය ජීවිතවලට එළියක් ලබා දෙන ලෙසයි.

*********************************************

‘රතු මිනිත්තුවේ’ අනාවරණයෙන් පසු අලුත්වැඩියාවන මාදූව දූපතේ පාලම

(28.08.2020 – 14:14 +0530 – hirunews.lk/sinhala)

බලපිටිය – මාදුගඟ ප්‍රදේශයේ පිහිටි දූපත් සමූහයට අයත් විශාලතම දූපත වන මාදූව දූපතත් ගොඩබිමත් යා කෙරෙන පාලම අබලන් වීම හේතුවෙන් ජනතාව මහත් අසීරුතාවයකට ලක්ව ඇති බව ‘හිරු රතු මිනිත්තුවෙන්’ මීට පෙර අප අනාවරණය කළා.

එම අනාවරණයෙන් පසු මාදූව පාලම අලුත්වැඩියා කිරීම සඳහා බලපිටිය ප්‍රාදේශීය සභාවේ බලධාරීන් ඉදිරිපත් වීම පැසසුමට ලක්විය යුතු කරුණක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *