පාසල් දරුවන්ට කිරි වෙනුවට කැඳ

පාසල් දරුවන්ට කිරි වෙනුවට කැඳ

වැලිකඩ පොලිසියේ සැරයන්වරයෙකු හෙරොයින් සමග අම්පාරේදී අත්අඩංගුවට

හෙරොයින් ජාවාරමට අත්අඩංගුවට ගත් මහර බන්ධනාගාර නියාමක ඇතුලු 4 දෙනා දින 7 ක් රඳවාගෙන ප්‍රශ්ණ කෙරේ

නිරෝධායනය අවසන් කර නිවසට පැමිණි ගැබිණි කාන්තාවකට කොරෝනා

වාහන තදබදය අවම කිරීමට කොම්පඤ්ඤවීථියට ගුවන් පාලම් 03 ක්

සිංහරාජය ආශ්‍රිත මාර්ගය ගැන ජනපතිගේ අවධානය

දූනගහ දී පොලිස් අණ නොතකා වෙඩි කෑ වෑන් රථයක රියදුරු ජාතික රෝහලේ

අතුරු සම්මත ගිණුමට අදාළ විවාදයේ පළමු දිනය අදයි

19 නිවැරදි කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ – බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය

‘කුඩු සුරංග’ අත්අඩංගුවට

*********************************************

පාසල් දරුවන්ට කිරි වෙනුවට කැඳ

(27.08.2020 – 17:21 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සමඟ විශේෂ සාකච්ඡාවක් ගොවිජන මන්දිරයේදී අද(27) පැවැත්වූ අතර එහිදී සාකච්ඡාවට බඳුන් වී ඇත්තේ පාසල් දරුවන්ට කිරි වීදුරුව වෙනුවට පාරම්පරික සහල් කැඳ වීදුරුවක් ලබා දීම සම්බන්ධයෙන්.

රටේ කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම සහ පාසල් ළමුන්ගේ පෝෂණ ඌනතාවයට පිළියමක් ලෙස මෙම වැඩසටහන රජයේ වෛද්‍ය නිලධාරි සංගමය විසින් ඉදිරිපත් කළා.

වත්මන් පාසල් දරු දැරියන් අතර මන්ද පෝෂණය, අධිපෝෂණය වැනි පෝෂණ ඌනතාවයන් පවතින අතර තවද අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝනොවන රෝග ව්‍යාප්තිය ද පාසල් දරුවන් අතර ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවතීම ගැටළුවක්.

මෙම ගැටළු වලට පිළියමක් ලෙස වස විසෙන් තොර පාරම්පරික දේශීය සහල් වලින් කැඳ වීදුරුවක් ලබා දීම වඩාත් වැදගත් බව මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් පෙන්වා දී තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙම යෝජනාවට එකඟතාවය පළ කල අතර මෙම වැඩසටහනේ ශක්‍යතා අධ්‍යනයක් කිරීම සඳහා කමිටුවක් පත්කරන ලදී.

මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී විය ෴

*********************************************

වැලිකඩ පොලිසියේ සැරයන්වරයෙකු හෙරොයින් සමග අම්පාරේදී අත්අඩංගුවට

(27.08.2020 – 17:47 +0530 – hirunews.lk/sinhala)

අම්පාර – හිඟුරාන කම්හල් ප්‍රදේශයේදී වැලිකඩ පොලීසියට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙකු ද හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දමන පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 9 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 400 ක් සොයා ගැණුනා.

රැඳවුම් නියෝග මත තවදුරටත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.

මීට අමතරව, වත්තල – ලයිසියම් හන්දිය ආසන්නයේදී රුපියල් එක්කෝටි විසිහය ලක්ෂයක් (1,26,00,000) පමණ වටිනා කේරල ගංජා කිලෝග්‍රෑම් 60 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එහි මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සිදුකළ මෙම වැටලීමේදී එම කේරල ගංජා තොගය ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් ලොරි රථයක් සහ යතුරුපැදියක්ද සොයාගෙන තිබෙනවා.

සැකකරු කේරල ගංජා ඉන්දියාවේ සිට මෙරටට බෝට්ටු මගින් රැගෙනවිත් ජාවාරමේ නිරත වන අයෙකු බවට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴

*********************************************

හෙරොයින් ජාවාරමට අත්අඩංගුවට ගත් මහර බන්ධනාගාර නියාමක ඇතුලු 4 දෙනා දින 7 ක් රඳවාගෙන ප්‍රශ්ණ කෙරේ

(27.08.2020 – 18:06 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් ජාවාරම් සම්බන්ධ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින මහර බන්ධනාගාරයේ නියාමකවරයා සහ ගුවන් හමුදා සිවිල් සේවකයා ඇතුළු සැකකරුවන් 4 දෙනා දින 7 ක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරයායි වේයන්ගොඩ පොලිසියට මෙලෙස අවසර ලබාදී ඇත්තේ.

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් වේයන්ගොඩ අවට පදිංචිකරුවන්.

හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන රගරා නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරුගේ සහ අධිකරණය මගින් ඇප නියමකර ඇති හෙරොයින් ජාවාරම් සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් සහ දුරකථන තොරතුරු පරීක්ෂා කිරීමේදී අනාවරණ වූ කරුණු අනුවයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 15 ක්, යතුරුපැදි දෙකක් (2), රුපියල් 5000 කට වැඩි මුදල්, බැංකු පොත් 15 ක්, ඒ.ටී.එම්. කාඩ් 13 ක්, ජංගම දුරකථන සහ විදුලි තරාදියක් ද පොලිසිය සොයාගෙන තිබුනා ෴

*********************************************

නිරෝධායනය අවසන් කර නිවසට පැමිණි ගැබිණි කාන්තාවකට කොරෝනා

(27.08.2020 – 19:13 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි සිට මෙරටට පැමිණ නිරෝධායන කටයුතු අවසන් කර නිවසට පැමිණි ගැබිණි කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

හලාවත මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කේ.පී. මල්ලවාරච්චි මහතා ප්‍රකාශ කළේ 29 හැවිරිදි මෙම කාන්තාව බංගදෙණිය – කොට්ටපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් වන බවයි.

ඇය හලාවත මහරෝහලේ කොරෝනා ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

අදාල කාන්තාවගේ ආශ්‍රිතයන් 15 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ස්වයං නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට පියවර ගෙන ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දිනූෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළා.

පසුගිය ජුලි මස 31 වනදා ඩුබායි සිට මෙරටට පැමිණ ඇති මෙම කාන්තාව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවසට පැමිණ ඇත්තේ පසුගිය අගෝස්තු 15 වනදායි.

මෙම කාන්තාවගේ මව, නැගණිය සහ තවත් අයෙකු ඇය බැලීම සඳහා පසුගියදා ඇයගේ නිවසට පැමිණ ඇති අතර, ඇයගේ සුවදුක් විමසීම සඳහා ප්‍රදේශයේ කන්‍යා සොහොයුරියන් දෙදෙනෙකු (2) ද පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් තවදුරටත් ජනතාව සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය කිරීමට සැලකිලිමත් විය යුතු බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පෙන්වා දෙනවා.

මේ අතර, මාලදිවයිනේ සහ ඕස්ට්‍රේලියාවේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 186 දෙනෙකු අද (27) දහවල් කටුනායක සහ මත්තල ගුවන්තොටුපල වෙත පැමිණ තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 11 දෙනෙකු අද (27) දිනයේදීත් සුවය ලබා නිවෙස් වෙත පිටව ගියා.

ඒ අනුව, සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2830 ක්. එමෙන්ම අද (27) දිනයේදීත් විදෙස් ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ද 2985 දක්වා ඉහළ ගියා ෴

*********************************************

වාහන තදබදය අවම කිරීමට කොම්පඤ්ඤවීථියට ගුවන් පාලම් 03 ක්

(27.08.2020 – 19:27 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිලියම් ලෙස කොම්පඤ්ඤවීදියේ ගුවන් පාලම් 3 ක් ඉදිකරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසල දිනපතා දැඩි මාර්ග තදබදයක් පවතින බවයි.

එමෙන්ම, දිනකට 109 වතාවක් එහි දුම්රිය ආරක්ෂිත ගේට්ටුව වැසීම සිදුවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව, මාර්ග තදබදය අවම කිරිම සඳහා මීටර් 420 ක දිගින් යුත් ගුවන් පාලම් දෙකක් (2), උත්තරානන්ද මාවත හරහා සහ ජස්ටිස් අක්බාර් මාවත හරහා ඉදිකිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම, බාල දක්ෂ මාවත හරහා ද ගුවන් පාලමක් ඉදිවන අතර, එම ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 6 ක පමණ පිරිවැයක් දැරීමට සිදුවන බවයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළේ ෴

*********************************************

සිංහරාජය ආශ්‍රිත මාර්ගය ගැන ජනපතිගේ අවධානය

(27.08.2020 – 19:32 +0530 – hirunews.lk/sinhala)

සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව ඉදිකෙරෙමින් පවතින බවට පැවසෙන මාර්ගය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද (27) කොළඹදී එක්වෙමින් සඳහන් කළේ ජනාධිපතිවරයා එම ප්‍රදේශයට ගොස් එහි තත්ත්වය නිරීක්ෂණය කිරීමේ අභිලාෂයෙන් ද සිටින බවයි.

*********************************************

දූනගහ දී පොලිස් අණ නොතකා වෙඩි කෑ වෑන් රථයක රියදුරු ජාතික රෝහලේ

(27.08.2020 – 19:45 +0530 – hirunews.lk/sinhala)

දිවුලපිටිය – දූනගහ හන්දිය ප්‍රදේශයේ පිහිටි මාර්ග බාධකයේදී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසිය වෙඩි තබා තිබූ අතර වෑන් රථය පලාගොස් තිබුණා.

කෙසේ වෙතත්, කොළඹ ජාතික රෝහලට වෙඩි වැදී තුවාල සිදුව ඇතුළත් වුණු පුද්ගලයෙකු සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී ඔහු අදාළ වෑන් රථයේ රියදුරු බවට පසුව අනාවරණ වූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා ෴

*********************************************

අතුරු සම්මත ගිණුමට අදාළ විවාදයේ පළමු දිනය අදයි

(27.08.2020 – 20:04 +0530 – hirunews.lk/sinhala)

රුපියල් බිලියන 987 ක පුනරාවර්තන වියදම් සහ රුපියල් බිලියන 334 ක ප්‍රාග්ධන වියදම් ඇතුළත් ඉදිරි මාස 4 සඳහා වන අතුරු සම්මත ගිණුමට අදාළ විවාදයේ පළමු දිනය අද (27) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි.

විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, හේෂා විතානගේ, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි යන මහත්වරුද අදහස් දක්වා සිටියා.

*********************************************

19 නිවැරදි කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ – බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය

(27.08.2020 – 20:06 +0530 – hirunews.lk/sinhala)

19 වන සංශෝධනය පමණක් නිවැරදි කිරීම ප්‍රමාණවත් නොවන අතර, අනෙකුත් සංශෝධන ද කඩිනමින් සිදුකළ යුතු බව බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දන්වා සිටිනවා.

ඒ 20 වන සංශෝධනයට පෙර දූරදර්ශීව සිතා බලන්න යන මැයෙන් ලිපියක් යොමුකරමින්.

වර්තමාන ව්‍යවස්ථාවෙන් රට තුළ නිර්මාණය වී ඇති ව්‍යාකූල තත්ත්වය නොපමාව නිවැරදි කළ යුතු බව එහි සඳහන් වන අතර, පවතින තත්ත්වය යටතේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම දුරු කර ගත නොහැකි අනතුරක් බව ද එහි දැක්වෙනවා.

මෙම ලිපියට බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය නියෝජනය කරන පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිමියන් ඇතුළු හිමිවරුන් සහ සංවිධාන මෙන්ම, එහි සාමාජික සාමාජිකාවන් 30 දෙනෙකු අත්සන් කර තිබුණා ෴

*********************************************

‘කුඩු සුරංග’ අත්අඩංගුවට

(27.08.2020 – 20:33 +0530 – hirunews.lk/sinhala)

අපරාධ රැසකට සම්බන්ධ ‘කුඩු සුරංග’ නැමැත්තා හෙරොයින් සමඟ හික්කඩුව – තිරානගම ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 100 ක්ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මොහු හික්කඩුව සංචාරක පුරවරයේ හෙරොයින් ජාවාරමේ නිරත වී ඇති බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම, ඉන්දියාවේදී මියගිය බවට සැක කෙරෙන ‘අංගොඩ ලොක්කා’ගේ සමීපතමයෙකු රුපියල් කෝටි 3 ක් පමණ වටිනා මත්කුඩු තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී කොළඹ අපරාධ කොට්ඨාශය මගින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, ඔරුගොඩවත්ත – විදුලි සංඥා පුවරු ආසන්නයේදියි.

පසුගිය 23 වැනිදා රටින් පලායෑමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් ‘අංගොඩ ලොක්කා’ගේ ගෝලයින් ඇතුළු සිව් (4) දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් ලද තොරතුරුවලට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ.

පසුගිය දින කිහිපය තුළම දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී හෙරොයින්, අයිස් සහ කේරළ ගංජා ඇතුළු තවත් මත්ද්‍රව්‍ය රැසක් සොයා ගත්තා. ඊට අදාළව සැකකරුවන් රැසක්ද මේ වනවිටත් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, ඇතැම් පුද්ගලයින් රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා.

මේ අතර වීරකැටිය හින්බුන්න ප්‍රදේශයේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඊයේ (26) සිදුකළ වැටලීමකදී ටී 56 ගිනි අවියක්, පතොරම් 30 ක් සහ මැගසිනයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 1.610 ක්ද සොයාගනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

පසුව වළස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරු සැප්තැම්බර් 3 වනදා දක්වා රඳවා තබාගැනීමේ නියෝග ලබාගෙන තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *