පාස්කු ප්‍රහාරයට පෙර, සහරාන් ගැන බුද්ධි වාර්තා 347 ක්

පාස්කු ප්‍රහාරයට පෙර, සහරාන් ගැන බුද්ධි වාර්තා 347 ක්

හෙරොයින් කිලෝ 42 ක් සමග ‘අංගොඩ ලොක්කා’ගේ සමීපතමයෙක් අත්අඩංගුවට

පාරම්පරික වගා ඉඩම් අහිමි වූ දඹුල්ලේ ගොවීන්ගේ කඳුළු කතාව

සම්පූර්ණ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතුයි

කුරුණෑගල වාමුල්ලේ පවුල් 700 ක් අසරණ කළ ජල ගැටලුව

NGO, තානාපති නිලධාරීන් පරික්ෂා නොකරන, සෞඛ්‍ය ක්ෂේත්‍රයට තර්ජනයක් වූ වෛද්‍ය පරීක්ෂණය

කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ හොරණ පොලීසියේ නිලධාරියෙකු අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපලේ මහජන ප්‍රේක්ෂක මණ්ඩපය විවෘත කෙරේ

සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයක දිවුරුම් දෙයි

රාජ්‍ය අමාත්‍යාංශවල නව ලේකම්වරු පත්කරයි

අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

මධ්‍යම අධිවේගයේ කඩවත සහ මීරිගම කොටසේ ඉදිකිරීම් ඇරඹේ

පාස්කු කොමිසමේ නිලධාරින් පැය 10 කින් පසු හිටපු ජනපති මෛත්‍රීගේ නිවසින් පිටවෙයි

*********************************************

පාස්කු ප්‍රහාරයට පෙර, සහරාන් ගැන බුද්ධි වාර්තා 347 ක්

(26.08.2020 – 14:09 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙර ඇතිවූ සිද්ධි සම්බන්ධයෙන් වන සාක්ෂි තමා සතුව නොතිබුණේ නම් තමා මේ වනවිට බන්ධනාගාරගතව සිටීමට ඉඩ තිබූ බව, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු මේ අදහස් පළකළා.

මෙහිදී වැඩිදුරටත් සාක්ෂි දෙමින් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා පැවසුවේ, 2015 වසරේ සිට බුද්ධි වාර්තා 347 ක් ඉහළ නිලධාරින්ට යොමුකළත් ඒ කිසිදු අවස්ථාවක අදාළ තොරතුරු සම්බන්ධයෙන් ගත යුතු වැඩිදුර ක්‍රියාමාර්ග පිළිබඳව ඔවුන් තමාව දැනුවත් නොකළ බවයි.

*********************************************

හෙරොයින් කිලෝ 42 ක් සමග ‘අංගොඩ ලොක්කා’ගේ සමීපතමයෙක් අත්අඩංගුවට

(26.08.2020 – 14:04 +0530 – hirunews.lk/sinhala)

‘අංගොඩ ලොක්කා’ගේ සමීපතමයෙකු හෙරොයින් කිලෝ 42 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශයේ අත්අඩංගුවේ පසුවන සැකකරුවෙකුගෙන් ලද තොරතුරු මත සිදුකළ වැටලීමකදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී ටී 56 ගිනි අවි 03 ක්, පිස්තෝල 01 ක්, ටී 56 උන්ඩ 170 ක් ද සොයාගෙන ඇති බවයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ ෴

*********************************************

පාරම්පරික වගා ඉඩම් අහිමි වූ දඹුල්ලේ ගොවීන්ගේ කඳුළු කතාව

(26.08.2020 – 14:26 +0530 – hirunews.lk/sinhala)

පාරම්පරිකව වගාකළ ඉඩම් අහිමි වීමෙන් දැඩි පීඩාවකට පත්ව සිටින ලොකු ලූණු ගොවීන් පිරිසක් පිළිබඳව සීගිරිය හේන්වලයාගම ගම්මානයෙන් අපට වාර්තා වුණා.

ගොවීන් චෝදනා කරන්නේ වන වගා ව්‍යාපෘතියක් මුවාවෙන් අදාළ ඉඩම් දුම්කොළ සමාගමකට බදු දීමේ සූදානමක් පවතින බවයි.

*********************************************

සම්පූර්ණ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතුයි

(26.08.2020 – 14:31 +0530 – hirunews.lk/sinhala)

සම්පූර්ණ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

උණ්වහන්සේ මේ අදහස් පළ කළේ අද (26) පෙරවරුවේ කොළඹ ධර්මායතනයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

*********************************************

කුරුණෑගල වාමුල්ලේ පවුල් 700 ක් අසරණ කළ ජල ගැටලුව

(26.08.2020 – 14:38 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල බමුණකොටුව වාමුල්ල ගම්මානයේ පවුල් 700 ක් පමණ ජීවත්වනවා.

ප්‍රදේශයේ භූ පිහිටීම හේතුවෙන් ජල අවශ්‍යතාව සපුරා ගැනීමට ලිඳක්වත් ඉදිකරගැනීමට අපහසු වීම හේතුවෙන් මේ ජනතාව පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවයකටයි.

ඒ අනුව ප්‍රදේශවාසීන්ගේ ජල අවශ්‍යතාව සපුරා දීමට මීට වසර 10 කට පමණ පෙර ජල ටැංකියක් ඉදිකර තිබෙනවා.

මෙම ජල යෝජනා ක්‍රමය යටතේ ජල ටැංකියට ජලය සැපයෙන ලිඳ පිහිටා ඇත්තේ කිලෝමිටර් 3 ක් පමණ දුරින්.

එලන ලද ජලනල පද්ධතියද මේවනවිට විනාශවි ඇති අතර එහි ඇතැම් කොටස් සොරුන් විසින් ගලවාගෙන ගොස් ඇතැයි ප්‍රදේශවාසීන් මැසිවිලි නඟනවා.

මෙම ව්‍යාපෘතිය අසාර්ථක වීම හේතුවෙන් මිට වසර 5 කට පෙර තවත් ව්‍යාපෘතියක් ආරම්භකලද එයද ජනතා මුදල් කාබාසනියා කිරීමක් පමණක් වුණා.

කුරුණෑගල – බමුණකොටුව – වාමුල්ල ගම්මානයේ ජනතාව මුහුණදෙන පානීය ජල ගැටලුවට තිරසර විසඳුමක් ලබාදීමට බලධාරීන්ට කොතෙක් කල් ගතවනු ඇත්ද?

*********************************************

NGO, තානාපති නිලධාරීන් පරික්ෂා නොකරන, සෞඛ්‍ය ක්ෂේත්‍රයට තර්ජනයක් වූ වෛද්‍ය පරීක්ෂණය

(26.08.2020 – 14:44 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ සෞඛ්‍ය මධ්‍යස්ථානය සමඟ එක්ව ක්‍රියාත්මක කරන සෞඛ්‍ය රක්ෂණ ආවරණයක ලබාදී ඇති ඇතැම් වරප්‍රසාද හේතුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට තර්ජන එල්ලවීමේ තත්ත්වයක් උද්ගතවන බව අපට වාර්තා වුණා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගකිවයුතු බලධාරීන් සඳහන් කරන්නේ මෙම වරප්‍රසාද හේතුවෙන් මෙරට තුළ දැනට පාලන තත්ත්වයේ පවත්වාගෙන යන ඇතැම් රෝග නැවත ව්‍යාප්තවීමේ තත්ත්වයක් මතුවිය හැකි බවයි.

*********************************************

කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ හොරණ පොලීසියේ නිලධාරියෙකු අත්අඩංගුවට

(26.08.2020 – 15:28 +0530 – hirunews.lk/sinhala)

හොරණ පොලීසියට අනුයුක්තව රාජකාරි කරන උප පොලිස් පරික්ෂකවරයෙකු කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හොරණ – ගෝනපොල ප්‍රදේශයේ කාන්තාවක විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව ඉංගිරිය – නම්බපාන ප්‍රදේශයේදීයි.

පැමිණිලිකාරියගේ පුත්‍රයා විසින් හොරණ පොලීසිය වෙත අස්ථානගත වූ යතුරුපැදියක් සම්බන්ධව සිදුකළ පැමිණිල්ලේ පිටපතක් වෙනුවට ලදු පතක් ඇයට ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරදීම වෙනුවෙන් අදාළ පොලිස් නිලධාරියා මෙම ලිංගික අල්ලස ඉල්ලා තිබෙනවා ෴

*********************************************

කටුනායක ගුවන්තොටුපලේ මහජන ප්‍රේක්ෂක මණ්ඩපය විවෘත කෙරේ

(26.08.2020 – 16:00 +0530 – hirunews.lk/sinhala)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල මහජන ප්‍රේක්ෂක මණ්ඩපය අද (26) පෙරවරුවේ නිල වශයෙන් විවෘත කෙරුණා.

ඒ ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා අතින්.

මෙම මණ්ඩපයට ඇතුළු වීම සඳහා නිල ඇඳුමින් සැරසුණු පාසල් සිසුන්ගෙන් ගාස්තු අය නොකරන අතර, සෙසු අමුත්තන්ගෙන් රුපියල් 50 ක ගාස්තුවක් අය කිරීමට නියමිතයි ෴

*********************************************

සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයක දිවුරුම් දෙයි

(26.08.2020 – 16:39 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද එක්ව සිටි බවයි.

*********************************************

රාජ්‍ය අමාත්‍යාංශවල නව ලේකම්වරු පත්කරයි

(26.08.2020 – 17:31 +0530 – hirunews.lk/sinhala)

සියලු ක්ෂේත්‍රවල වැඩ පහළම තැන සිට ආරම්භ කර ඇති නිසා දැන් අවශ්‍ය වන්නේ ජනතාවට කඩිනම් ප්‍රතිඵල අත් කරදීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට ප්‍රකාශ කර තිබෙනවා.

ජනතා අභිවෘද්ධියට සහ රටේ ආර්ථික සංවර්ධනයට ප්‍රමුඛතාව දෙමින් රාජ්‍ය අමාත්‍යාංශ නිර්මාණය කර ඇති බවයි ජනධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඉලක්ක ළගාකර ගැනීමේදී ලේකම්වරුන්ට විශාල වගකීමක් හා කාර්ය භාරයක් පැවරී ඇති බවත් ජනතාව අතරට ගොස් ගැටලු විසඳමින් අභියෝගය ජය ගැනීමට ක්‍රියා කරන්නැයි ජනාධිපතිවරයා මෙහිදී නව රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙනවා.

අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව අද (26) පත්වීම් ලද රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය පහතින් :

01 – ඩී. පී. ජී. කුමාරසිරි මහතා
වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය

02 – එස්. ඩී. ඒ. බී. බොරලැස්ස මහතා
ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

03 – කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා
සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය

04 – එම්. එන්. රණසිංහ මහතා
පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශය

05 – එස්. ටී. කොඩිකාර මහතා
ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය

06 – එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

07 – එච්. කේ. ඩී. ඩබ්ලිව්. එම්. එන්. බී. හපුහින්න මහතා
සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

08 – තිස්ස හේවාවිතාන මහතා
පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍යඅමාත්‍යාංශය

09 – එම්. දේවසුරෙන්ද්‍ර මහතා
ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

10 – එම්. ඒ. බී. වී. බණ්ඩාරනායක මහතා
වේවැල්, පිත්තල, මැටි, ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

11 – එස්. එච්. හරිස්චන්ද්‍ර මහතා
දහම් පාසැල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශය

12 – එස්. අරුමෛනායගම් මහතා
විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශය

13 – එස්. ජී. විජයබන්දු මහතා
ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

14 – එස්. සේනානායක මහතා
පශු සම්පත්, ගොවිපොල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය

15 – ඒ. සේනානායක මහතා
තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

16 – ජී. සී. කරුණාරත්න මහත්මිය
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය

17 – කේ. එච්. ඩී. කේ. සමරකෝන් මහතා
සූර්ය බල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

18 – ඩී. ඩී. මාතරආරච්චි මහතා
ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

19 – මහාචාර්ය රංජිත් දිසානායක මහතා
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය

20 – ඒ. කේ. ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. එන්. කේ.වීරසේකර මහත්මිය
දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය

21 – ආර්. සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය
බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය

22 – කේ. එම්. එස්. ඩී. ජයසේකර මහත්මිය
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල්යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය

23 – ඩබ්ලිව්. බී. පළුගස්වැව මහතා
මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

24 – ඩී. එල්. පී. ආර්. අභයරත්න මහතා
උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලිභෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

25 – කේ. ආර්. උඩුවාවල මහතා
ඖෂධ නිෂ්පාදනය, සෑපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය

26 – ජේ. එම්. තිලකරත්න බණ්ඩා මහතා
සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත භෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

27 – එල්. එල්. ඒ. විජේසිරි මහතා
වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ළූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය

28 – ආර්. එම්. ඒ. රත්නායක මහතා
මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය

29 – ඩී. ඩී. ආරියරත්න මහතා
ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

30 – කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතා
ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

31 – එස්. එම්. ඩී. එල්. ඩී. අල්විස් මහතා
වාහන නියාමනය, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය

32 – ආචාර්ය එම්. උපාලි සේදර මහතා
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

33 – මේජර් ජනරාල් (විශ්‍රාමික) ඩබ්ලිව්. පී. පී. ප්‍රනාන්දු මහතා
වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

34 – ජයන්ත චන්ද්‍රසෝම මහතා
විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන,බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශය

35 – රවීන්ද්‍ර සමරවික්‍රම මහතා
ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

*********************************************

අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

(26.08.2020 – 18:11 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කළ ඉදිරි මාස 4 සදහා වන අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එය හෙට (27) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර, විදුලි බිඳ වැටීම් සම්බන්ධයෙන් වන වාර්තාව ද විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් අද (26) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.

එසේම, සෞඛ්‍ය මාර්ගෝපදේශ සලකා බලා නැවත දැනුම් දෙන තුරු අමුත්තන් සඳහා පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම අත්හිටුවා ඇති බවද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

*********************************************

මධ්‍යම අධිවේගයේ කඩවත සහ මීරිගම කොටසේ ඉදිකිරීම් ඇරඹේ

(26.08.2020 – 18:32 +0530 – hirunews.lk/sinhala)

වසර 5 ක් පුරා වැඩ ආරම්භ නොකර තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මීරිගම දක්වා කිලෝමීටර් 36.54 ක් වන කොටසේ ඉදිකිරීම් අද (26) ආරම්භ කෙරුණා.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සදහන් කළේ එම කටයුතු ආරම්භ කිරීමට අදාළ රුපියල් බිලියන 16.67 ක අත්තිකාරම් මුදල ඊයේ (25) කොන්ත්‍රාත් ආයතනය වෙත ගෙවූ බවයි.

පසුගිය රජය විසින් මෙම කොටසේ ඉදිකිරීම් ප්‍රමාද කිරීම නිසා රුපියල් බිලියන 25 ක පමණ අතිරේක වැයබරක් දැරීමට සිදුව ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

*********************************************

පාස්කු කොමිසමේ නිලධාරින් පැය 10 කින් පසු හිටපු ජනපති මෛත්‍රීගේ නිවසින් පිටවෙයි

(26.08.2020 – 19:24 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකයේ නිලධාරීන් පැය 10 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසින් පිටව ගොස් තිබෙනවා.

ඔහුගේ කොළඹ 07, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසට අද (26) පෙරවරු 09 ට පමණ පැමිණි එම නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භ කළා.

හිටපු ජනාධිපතිවරයාට පාස්කු කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණත්, එම නිලධාරීන්ට සිය නිවසට පැමිණ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස ඔහු ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව පොලිස් ඒකකයේ නිලධාරීන් පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මෙරට පැවති ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සහ බුද්ධි අංශ ක්‍රියාකාරීත්වය පිළිබඳව හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි වාර්තා වන්නේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *