පෙත්සම් විභාගය අවසන් වන තෙක් කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීම අත්හිටුවයි

පෙත්සම් විභාගය අවසන් වන තෙක් කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීම අත්හිටුවයි

හම්බන්තොට වරායට, පාවෙන එල්.එන්.ජී. පර්යන්තයක්

‘කුඩු රොෂාන්’ගේ ගෝලයෙකු වැල්ලම්පිටියේදී අල්ලයි

හෙරොයින් කිලෝවක් සමඟ අත්අඩංගුවට ගත් කොළොන්නාව නගර සභා වැඩ පරීක්ෂක රිමාන්ඩ්

කොළඹ කොටුව අධි ආරක්ෂිත කලාපයට බෝට්ටු දෙකකින් (2) පැමිණි, විදේශිකයෙකු ඇතුළු 13 ක් නාවික හමුදා භාරයට

නෙලුම් කුලුනේ රාජකාරියට එන දියසෙන්

බුද්ධි අංශ හිටපු ලොක්කා 18 වන දිනටත් පාස්කු කොමිසමේ සාක්ෂි දෙයි

ආණ්ඩු මාරුව සිදුවූ පමණින් විද්වතුන්ගේත් ඡන්ද දායකයාගේත් වගකීම අවසන් වන්නේ නැහැ! – අමාත්‍යය විමල් වීරවංශ

තම අත කැඩූ පුතාව උසාවි යවන්න එපා යයි මව පොලිසියේ හඬා වැටේ

ශ‍්‍රීලනිපයට දෙන තනතුරු සියල්ල දී අවසන්.. මෛත‍්‍රීට තනතුරක් දෙන්න පොරොන්දුවක් නෑ.. – ආණ්ඩුව කියයි..

සියලු විශේෂිත සෞඛ්‍ය පණිවුඩ සමාජ මාධ්‍ය ඔස්සේ

අධිවේගී මඟේ අනතුරකින් ලොරි රියදුරකු මරුට

*********************************************

පෙත්සම් විභාගය අවසන් වන තෙක් කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීම අත්හිටුවයි

(25.08.2020 – 10:25 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු 05 දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇති වරෙන්තුව පෙත්සම් විභාගය අවසන් වන තුරු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (25) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ, එම පෙත්සම අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා ගෙන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (25) කැදවූ අවස්ථාවේදීයි.

එහිදී අභියාචනාධිකරණය විසින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරනු ලැබුවා.

එමෙන්ම, සැකකරුවන්ට නීතිඥවරුන් සමඟ හෙට (26) දිනයේදී කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කර ඇති අතර, ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමෙන් වළකින ලෙසටද එම අධිකරණයේ මහේස්ත්‍රාවරයාට විනිසුරු මඩුල්ල නියෝග කළා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරුවරයා විවෘත අධිකරණයේ කියා සිටියේ පෙත්සම්කරුවන්ට එල්ල කර තිබෙන චෝදනා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 සහ 118-1 වගන්ති ප්‍රකාරව වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය පැවරී තිබෙන වරදවල් බවයි.

එසේ තිබියදී ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කළේ ඇයි ද යන ප්‍රශ්නය අධිකරණය හමුවේ මතු වී තිබෙන බවත් ඒ පිළිබදව සම්පූර්ණ විභාගයක් කිරීමට සිදුවන බවත් සභාපති විනිසුරුවරයා එහිදී වැඩිදුරටත් සදහන් කළා.

කෙසේ වෙතත්, මෙම නියෝගය තුළින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණය කෙරෙන පොලිසියට හෝ ඊට සහය වන මහේස්ත්‍රාත්වරයාගේ විමර්ශණ කටයුතු වලට කිසිදු බාධාවක් නොමැති බව ද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම්දුන්නා.

අනතුරුව මෙම පෙත්සම සැප්තැම්බර් මස 14 වන දා කැදවන ලෙසටයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ.

මීට පෙර පෙත්සම ඉදිරිපත් කරමින් කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිස අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේ කඩා ඉවත් කළ බව කියන ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක ස්මාරකයක් වශයෙන් පුරාවිද්‍යා පනත යටතේ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කර නොමැති බවයි.

එම වාතාවරණය මත නීතිපතිවරයාගේ උපදෙස් මත පොලිසිය විසින් තමන්ට එරෙහිව පුරාවිද්‍යා පනත යටතේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා ගැනීමේ ක්‍රියාදාමය නීතිමය වශයෙන් දෝෂ සහිත බවයි ඔවුන් කියා සිටියේ.

එබැවින් තමන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව නීතිමය වශයෙන් බල ශුන්‍ය නියෝගයක් යැයි පෙන්වාදෙන පෙත්සම්කරුවන් එය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද අභියාචනාධිකරයෙන් ඉල්ලා සිටියා.

ඊට අමතරව පෙත්සම් විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වැලැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි ඔවුන් සිය පෙත්සම්වලින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ෴

*********************************************

හම්බන්තොට වරායට, පාවෙන එල්.එන්.ජී. පර්යන්තයක්

(25.08.2020 – 08:59 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට වරාය ආශ්‍රිතව එල්.එන්.ජී. හෙවත් ද්‍රව ස්වභාවික වායු පාවෙන ගබඩා පර්යන්තයක් සැකසීම සඳහා ආයෝජන මණ්ඩලය, ‘පර්ල් එනර්ජි’ නැමති ජාත්‍යන්තර සමාගම සමඟ ගිවිසුමකට එළඹී තිබෙනවා.

ඇමරිකානු ඩොලර් මිලියන 97.2 ක ආයෝජනයක් වන මෙම ව්‍යාපෘතිය සඳහා සෞදි අරාබියේ ආයෝජකයෙකු මුදල් යොදවා ඇති බව සඳහන්.

මෙහි ඉදිකෙරෙන පාවෙන එල්.එන්.ජී. පර්යන්තයේ වාර්ෂිකව ස්වභාවික වායු ටොන් මිලියනයක් ගබඩා කළ හැකියි.

එම ස්වභාවික වායු, කුඩා යාත්‍රා යොදා ගනිමින් මාලදිවයින සහ අනෙකුත් දකුණු ආසියානු රටවලට අපනයනය කිරීමට සැලසුම් කර ඇති බවයි ආයෝජන මණ්ඩලය ප්‍රකාශ කළේ ෴

*********************************************

‘කුඩු රොෂාන්’ගේ ගෝලයෙකු වැල්ලම්පිටියේදී අල්ලයි

(25.08.2020 – 12:48 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘ප්‍රසාද් රුවන් කුමාර’ හෙවත් ‘කුඩු රොෂාන්’ගේ ගෝලයෙකු හෙරොයින් සමඟ ඊයේ (24) වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 600 ක් ද සොයා ගැනුණා.

එසේම, හෙරොයින් ජාවාරමේ නිරත වී සිටි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 04 දෙනෙකු හෙරොයින් සමඟ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 111 යි මිලිග්‍රෑම් 360 ක්.

ත්‍රිරෝද රථ දෙකක් (2), ජංගම දුරකථන සහ තරාදියක් මෙන්ම රුපියල් ලක්ෂ එක හමාරක් (1½) ද එහිදී සිය භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අලුත්ගම – පාදාගොඩ – පිංහේන ප්‍රදේශයේ රාජකාරී කටයුතුවල නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දැක කලබලයට පත්වූ පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2.4 ක් සොයාගෙන තිබෙනවා.

එම සැකකරු වැලිපිටිය කදවුරට ගෙනවිත් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ පුද්ගලයා හෙරොයින් ජාවාරමට සම්බන්ධ බවටයි.

සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

මේ අතර බොරලැස්ගමුව ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරමේ නිරත වූ බවට පසුගිය දා අත්අඩංගුවට ගත් කාන්තාවගේ පෞද්ගලික බැංකු ගිණුම් 05 ක රුපියල් දහ හතර කෝටි විසි එක් ලක්ෂයක (14,21,00,000) මුදලක් සංසරණය වී ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

ඊට අමතරව ඇයට අයත් මෝටර් රථයක් ද පොලිස් භාරයට ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

දකුණේ පාතාල කල්ලි නායකයෙකු වන ‘ජනිත් මධුශංක ද සිල්වා’ හෙවත් ‘පොඩි ලැසී’ගේ මව ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී ඊයේ (24) ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.

හෙරොයින් ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති ඇය සතුව තිබී රුපියල් 51,000 ක මුදලක් මෙන්ම ජංගම දුරකථන 5 ක් සහ බැංකු පාස්පොතක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

50 හැවිරිදි ඇය හික්කඩුව – තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මේ අතර, කොළඹ බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සඳහා යෙදවූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අද (25) සිට රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබුවා.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මෙන්ම ප්‍රධාන පෙලේ හෙරොයින් ජාවාරම් කරුවෙකු වන පොඩිලැසී නැමැති සැකකරුගේ මව හෙට (26) දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.

ඒ සැකකාරිය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

50 හැවිරිදි වියේ පසුවන එම සැකකාර කාන්තාව පන්නිපිටිය ,මායා මාවතේ තුන්වන පටුමගේ නිවසක සැගවී සිටි දී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මෙන්ම ප්‍රධාන පෙලේ හෙරොයින් ජාවාරම් කරුවෙකු වන පොඩිලැසී නැමැති සැකකරු හෙරොයින් ජාවාරම් කිරිමෙන් උපයාගත් මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා සම්බන්ධයෙනුයි.

පෑලියගොඩ දිසා අපරාධ විමර්ශන කොට්ටාශයයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ ෴

*********************************************

හෙරොයින් කිලෝවක් සමඟ අත්අඩංගුවට ගත් කොළොන්නාව නගර සභා වැඩ පරීක්ෂක රිමාන්ඩ්

(25.08.2020 – 13:17 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් කිලෝග්‍රෑම් එකකට වැඩි ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් කොළොන්නාව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයා ලබන සැප්තැම්බර් 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට අද (25) ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

50 හැවිරිදි එම පුද්ගලයා පිළිබද අනාවරණ වූයේ පාදුක්ක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් ලද තොරතුරු අනුවයි.

ඒ අනුව කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි හෙරොයින් ජාවාරමේ නිරත සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 10 ක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලීසිය ඔහුට හෙරොයින් ලබාදෙන පුද්ගලයා සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ නගර සභා වැඩ පරීක්ෂකවරයා හෙරොයින් ජාවාරමේ නිරතව ඇති බවටයි.

පසුව සිදුකළ පරීක්ෂාවකදී කොළොන්නාව නගරයේ වෙළඳසැලක සඟවා තිබියදී හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 100 ක් සොයා ගැනුණා ෴

*********************************************

කොළඹ කොටුව අධි ආරක්ෂිත කලාපයට බෝට්ටු දෙකකින් (2) පැමිණි, විදේශිකයෙකු ඇතුළු 13 ක් නාවික හමුදා භාරයට

(25.08.2020 – 12:58 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටුව අධි ආරක්ෂක මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ විදේශිකයෙකු ඇතුළු 13 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (24) පස්වරුවේ යාත්‍රා දෙකකින් (2) ගමන් කරමින් සිටියදී මොවුන් තම භාරයට ගත් බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සදහන් කළේ.

පසුව කොළඹ වරාය පොලීසියට භාරදුන් මෙම පිරිස තරයේ අවවාද කර මුදා හැරීමට පොලීසිය කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ.

මොවුන් අතර කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක කාර්ය මණ්ඩලයේ පිරිසක් ද සිටින බව සඳහන්.

ඔවුන් ඡායාරූප ගැනීම සදහා මෙලෙස මුහුදු ගොස් ඇති බව ප්‍රශ්න කිරීම් වලදී හෙළිවී තිබෙනවා ෴

*********************************************

නෙලුම් කුලුනේ රාජකාරියට එන දියසෙන්

(25.08.2020 – 13:59 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකේය සන්නිවේදන ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් කොළඹ නගරයේ ඉදි කළ ‘නෙලුම් කුළුන’ නම් දරා ඇත්තේ දකුණු ආසියාවේ විශාලතම සම්ප්‍රේෂණ කුළුණ ලෙසින්.

එසේම දකුණු ආසියාවේ පළමු මානව රූපී රොබෝ යන්ත්‍රය නිපදවමින් ලාංකීය ඉතිහාසයේ තවත් පරිචයක් සනිටුවහන් කිරීමට අපේ රටේම තරුණ තරුණියන් පිරිසකට හැකියාව ලැබී තිබෙනවා.

නෙලුම් කුලුනේ කාර්යන් සදහා ඉදිරියේදී සක්‍රිය දායකත්වයක් ලබාදීමට බලාපොරොත්තු වන දියසෙන් පිළිබඳ සටහනක් මේ.

*********************************************

බුද්ධි අංශ හිටපු ලොක්කා 18 වන දිනටත් පාස්කු කොමිසමේ සාක්ෂි දෙයි

(25.08.2020 – 14:07 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලදි තමන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව ආරක්ෂා කරන බවට ඇතැමුන් චෝදනා කළද, තමා විසින් කිසිවෙකු ආරක්ෂා නොකරන බව රාජ්‍ය බුද්ධි සේවය සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන පවසනවා.

ඒ ඔහු විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනුවත් නොකිරීම පිළිබඳව ජනාධිපති කොමිසම ප්‍රශ්න කළ අවස්ථාවේදි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත නිලන්ත ජයවර්ධන සාක්ෂි ලබා දුන්නේ ඊයේ 17 වන දිනටයි.

නිලන්ත ජයවර්ධන සාක්ෂි ලබාදීමට අද 18 වන දිනටත් අද (25) ජනාධිපති කොමිසම හමුවට පැමිණි අතර ඔහු මේ වනවිටත් කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් සිටිනවා.

***************************************

ශ්‍රී ලාංකික සංස්කෘතියේ විශේෂ අංගයක් වන බෙර කර්මාන්තයව අභාවයට යමින් බවතින බවට පාරම්පරික බෙර කර්මාන්ත කරුවන් පවසනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ මෙරට සංස්කෘතිකාංග රැක ගනිමින් දිවි සරිකර ගන්නා මෙරට කර්මාන්ත කරුවන් වෙනුවෙන් රජයේ අවධානය යොමු කරන ලෙසයි ෴

***************************************

වන අලි පහර දීමකින් මහියංගනය ඔරුබැදිවැව ප්‍රදේශයේ නිවාස රැසකට හානි වී තිබෙනවා. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ වන අලි ගැටලුව ගැන බලධාරීන් දැනුවත් කළත් මෙතෙක් නිසි විසඳුමක් ලබා දී නොමැති බවයි ෴

*********************************************

ආණ්ඩු මාරුව සිදුවූ පමණින් විද්වතුන්ගේත් ඡන්ද දායකයාගේත් වගකීම අවසන් වන්නේ නැහැ! – අමාත්‍යය විමල් වීරවංශ

(25.08.2020 – 05:39 +0530 – lankaleadnews.com)

අතුරුගිරිය තිළිණ උත්සව ශාලාවේ දී ඊයේ (24) දේශප්‍රේමී විද්වත් සංසදය විසින් සංවිධානය කරනු ලැබූ අමාත්‍යය විමල් වීරවංශ මහතාට සුබ පැතීමේ සහ සංසදයේ මාසික සභාවාරය පැවැත්වීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යය විමල් වීරවංශ මහතා පවසා සිටියේ විද්වතුන්, සාමාන්‍යය ඡන්ද දායකයන් සහ දේශපාලඥයන් වන අප මැදිහත්වී පැරණි, රටට හතුරු ආණ්ඩුව පලවා හැර නව ආණ්ඩුවක් පිහිටුවා ගත් පමණින් සියල්ල අවසන් වන බව සිතා කටයුතු කිරීම නොකළ යුතු බවයි. උත්සව අවස්ථාව දේශප්‍රේමී විද්වත් සංසදයේ කැඳවුම්කරු නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය විසින් සංවිධානය කර තිබූ අතර ජනාධිපති නීතිඥ මයුර ගුණවංශ, ජේෂ්ඨ නීතීඥ කල්‍යානන්ද තිරාණගම සහ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර යන මහත්වරු සහභාගි විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යය විමල් වීරවංශ මහතා :

“මෑත ඉතිහාසයේ බුද්ධිමතුන් වෙනදාට සාපේක්ෂව සමාජ දේශපාලන කටයුතු වලදී සැලකිය යුතු මට්ටමේ අවතීර්ණ වීමක් දක්නට ලැබෙනවා. මෙම අවතීර්ණ වීම වඩාත් හිතකර වන්නේ ඔවුන් රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන පාර්ශවයට පක්ෂපාතිව මෙම ප්‍රවනතාවය මෙහෙයවීමට කටයුතු කළොත් පමණයි. මා එසේ පවසන්නේ රටට හතුරු පාර්ශවයන්ට නැඹුරුතාවයක් පක්ෂපාතිත්වයක් දක්වන විද්වතුන් ඕනෑ තරම් දේශපාලන ක්ෂෙත්‍රයේ සිටින නිසයි. ඒ නිසා විද්වතුන්ගේ දේශපාලන මැදිහත්වීම රටට හිතකර දිශානතියට පෙරලා ගැනීම විද්වතුන්ගේම අත්හළ නොහැකි වගකීමක් කියා මා සිතනවා. එය අපි කාගේත් වැඩකොටසක් සහ වගකීමක් බවත් මා එකහෙලා පිළිගන්නවා. ඒ වගේම අතීතයට සාපේක්ෂව විද්වතුන් සමාජ දේශපාලන ක්ෂේත්‍රයන් වලදී දැන් කරණු ලබන සාධනීය මැදිහත්වීම සතුටට කාරණයක්. අපේ හිතවත් කල්‍යානන්ද තිරාණගම මහතා පැවසුවා වගේ අපි ආණ්ඩු මාරුවක් කරගත් පමණින් සියල්ල හොඳින් සිදුවී අවසන් යැයි සෑහීමකට පත් විය යුතු නැහැ. අපි දන්නවා ඕනෑම බලවේගයක් ඇතුළේ අතුරු බලවේග කියා කොටසක් තියෙන බව. රටට හිතැති බලවේග ඇතුළට රිංගා ගත් ඇතැම් සතුරු බලවේග බොහොම සූක්ෂම විදියට වෙස් වලාගෙන සිටිනවා. ඒ වෙස් මුහුණු ගැලවෙන විට සමහර විට සිදුවිය යුතු බොහෝ දේ අවසන් වී තිබීමටත් ඉඩ තිබෙනවා. ඒ අනුව අපි හිතන්න සුදුසු නැහැ අපේ කඳවුරු අතරෙත් එසේ වෙස් මුහුණු බැඳගත් සතුරු බලවේග නැතැයි කියා. එසේ විශ්වාස කරනවා නම් එහි තේරුම ‘බටහිර රටවල දේශපාලනය පිළිබඳ අපට අවබෝධයක් නැහැ’ කියන එකයි.

ඒ වගේම ‘කලාපීය බලවතාගේ දේශපාලනය පිළිබඳ අපට අවබෝධයක් නැහැ’ කියන එකයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනෙන අවස්ථාවේදී තමයි බොහෝ දෙනාගේ වෙස් මුහුණු ගැලවී යාමට නියමිතව තිබෙන්නේ. අපේ කඳවුර ඇතුළේ ‘මාතෘභූමියට හිතවත් කවුද? මාතෘභූමියට ද්‍රෝහීන් වන්නේ කවුද?’ යන්න උරගා බැලෙන අවස්ථාවන් ඉදිරියේදී නිර්මාණය වීමට නියමිතයි. ඒ උරගා බැලෙන අවස්ථා වලදි අපි කාටවත් ඔළුව හංගා ගෙන සිටීමට ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදි අපි එකිනෙකා පරීක්ෂාවට ලක් වෙනවා. එසේ පරීක්ෂාවට ලක් කිරීම වඩාත් සාධනීයයි. පරීක්ෂාවට ලක් කෙරෙන අවස්ථාවන් කරා අවතීර්ණ වීමෙන් පමණයි ලබා තිබෙන ජයග්‍රහණයන් ස්ථාවර වන්නේ හෝ ඊටත් වඩා ගුණාත්මක තලයකට ජයග්‍රහණය පෙළගස්වා ගත හැකිවන්නේ. ඒ අනුව මා විශ්වාස කරනවා විද්වත් ප්‍රජාව හැටියට මතවාදී තලයේ විශාල වැඩ කොටසක් කිරීමට සිදු වෙන බව.

අමෙරිකාවත් සමඟ ‘එම් සී සී ගිවිසුම’ අත්සන් කරද්දී මුලින්ම දේශපාලඥයන් හැටියට අපි එයට මැදිහත් වූවා. දෙවනුව විද්වත් ප්‍රජාව හැටියට විද්වතුන් මැදිහත් වූවා. පසුව ආගමික ප්‍රජාව මැදිහත් වූවා. එම හැම අංශයකම මැදිහත් වීමේ ප්‍රතිඵලයක් ලෙස ගිවිසුම අත්සන් කිරීමට තිබුණු අවසාන සතියේ බොහොම ආගමානුකූල ජීවිතයක් ගත කළ ස්වාමීන් වහන්සේ නමකට උපවාසයක් කිරීමට පවා සිදුවන තත්වයකට කරුණු පෙළ ගැසුනේ. එම සියළු ක්‍රියාදාමයන්ගේ ප්‍රතිඵල වලින් අපට ‘එම් සී සී ගිවිසුම’ අත්සන් කිරීම නවත්වා ගැනීමට හැකිවුනා.

ඒ අනුව අපට නිගමනයකට පැමිණිය හැකියි විද්වත් ප්‍රජාව, ආගමික ප්‍රජාව වගේම සියළුම දේශප්‍රේමී ජනයාගේ සක්‍රිය මැදිහත් වීමෙන් පමණයි අපේ ආණ්ඩුවෙන් වුවත් අඩුපාඩුවක් වෙනවා නම් වලක්වා ගත හැකි වන්නේ. අපේ ආණ්ඩුවට තුනෙන් දෙකක ජනවරමක් ලැබී තිබෙන්නේ තරමක් නිවැරදි පැත්තට යන්න නොවෙයි; වඩාම – එහෙමත් නැතිනම් හොඳම නිවැරදි දේ කිරීමටයි. තුනෙන් දෙකේ ජනවරමේ අර්ථය එයයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කාර්යේදීත් අපේ ජනයාගේ අභිලාශය වන්නේ ටිකක් නිවැරැදි දේ නොවෙයි; හරියටම නිවැරැදි දේ අඩංගු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කර බලාත්මක කර ගැනීමයි. ඒ නිවැරැදිම නිවැරැදි දිශාවට ආණ්ඩුව රැගෙන යාමට විද්වතුන් වන ඔබලාටත් දේශපාලකයන් වන අපටත් තව බොහෝ වැඩ කිරීමට ඉතුරු වී තිබෙනවා. අපි ඔබ තමුන්නාන්සේලා ඒ වෙනුවෙන් කැපවෙන තරමට පමණයි අපේ රටේ ජනයාට වඩාත්ම නිවැරැදි දේ ලැබෙන්නේ. එසේ කැප නොවුනහොත් තරමක් නිවැරැදි හෙවත් තරමක් වැරදි තැනකින් මේ ගමන නතර වේවි. තරමක් වැරැදි කියන තැනක නැවැත්වීමට කටයුතු කිරීමට අප ඉඩ දිය යුතු නැහැ. ඒ වෙනුවට නිවැරැදිම නිවැරැදි හෝ වඩාත් නිවැරැදි තත්වයකට ලක් කර ගැනීමට අප කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් නිස්සරණධ්‍යාශයෙන් කැපවෙමු! රටටත් ජාතියටත් ජයග්‍රහණ ගෙන ඒමට කැපවෙමු! ඔබ සැමට ස්තුතියි!

+++++++++++

*********************************************

තම අත කැඩූ පුතාව උසාවි යවන්න එපා යයි මව පොලිසියේ හඬා වැටේ

(25.08.2020 – 14:44 +0530 – lankaleadnews.com)

හැරමිටි වාරුවෙන් යමින් සිටි 72 හැවිරිදි මවට පොල්ලකින් ගසා අතක් කැඩී යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන තෙක් පොලිස් සිර මැදිරියේ රඳවා සිටි පුතාගේ සුව දුක් විමසීමට එම මව අම්පාර රෝහලේ සිට ඊයේ (24) පෙරවරුවේ උහන පොලිසියට පැමිණි බව පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

පුතා කඩා දැමූ අතට ප්ලාස්ටරයක් ද දමාගෙන අත උරහිසේ රැඳවූ පටියකින් එල්ලා ගෙන අමාරුවෙන් පොලිසියට පැමිණි මව තමාට පහර දුන් පුතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නැයි හැඬූ කඳුළෙන් යුතුව ඉල්ලා සිටි බවද එම නිලධාරියා කීය.

අම්පාර රෝහලේ දින 03 ක පමණ කාලයක් නේවාසිකව වෛද්‍ය ප්‍රතිකාර ලැබූ මෙම 72 හැවිරිදි මවගේ කැඩී ගොස් තිබුණු අතට ප්ලාස්ටර් දමා සකස් කිරීමෙන් පසුව ඊයේ (24) රෝහලෙන් ටිකට් කපා ඇත.

ප්ලාස්ටර් දමා තිබූ අත ද එල්ලා ගෙන වේදනාවද දරාගෙන හැරමිටි වාරුවෙන් මෙම වයෝවෘද්ධ මාතාව එදිනම උහන පොලිස් ස්ථානයට පැමිණ පොලිස් සිර මැදිරියේ රඳවා සිටින පුතා බැලීමට පොලිස් නිලධාරීන්ගේ අවසර ඉල්ලා ඇති අතර අවසර ලැබීමෙන් පසුව මව හැරමිටි වාරුවෙන් පොලිස් සිර මැදිරිය ළඟට ගොස් එහි යකඩ කූරු අල්ලාගෙන හඬාවැටුණු ආකාරය ඉතා දුක්මුසු දසුනක් වූ බව එම අවස්ථාව දුටු පොලිස් නිලධාරීහු පැවසූහ.

පසුව උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතා හමු වූ එම මව තමාගේ පුතා නිදහස් කර දෙන්නැයි ඔහුගෙන් ඉල්ලා ඇත.

“බීගෙන ඇවිත් ගහලා මගේ අතක් කැඩුව. ඒක ඇත්ත. ඒත් මම පුතා එක්ක තරහක් නැහැ. එදා වගේම මගේ රත්තරන් පුතාට ආදරෙයි. රට ජාතිය වෙනුවෙන් සටන් කරන්න ගිහින් බෝම්බයකට අහු වෙලා කකුලකුත් නැතුව ඉන්න ආබාධිත දරුවා. අනේ මගේ රත්තරන් පුතා උසාවි යවන්න එපා. මට එයාව නිදහස් කරලා දෙන්න” යැයි කියමින් වයෝවෘද්ධ මාතාව පොලිස් ස්ථානාධිපති කරුණාරත්න මහතා හමුවේ පිංසෙන්ඩු වී තිබේ.

පහර දී බරපතළ තුවාල සිදු කිරීමක් නිසා පුතා මුදාහැරීමට නීතියෙන් හැකියාවක් නොමැති බව පොලිස් ස්ථානාධිපතිවරයා මවට කරුණු පැහැදිලි කර දී ඇත.

සැකකරු අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඊයේ (24) ඉදිරිපත් කිරීමෙන් පසුව එහි අතිරේක මහේස්ත්‍රාත් සී.ජේ. හංසදේව සමරදිවාකර මහතා ඔහු ලබන මස 07 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කළ බව ද පොලිසිය පවසයි.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණේ යුද හමුදාවේ විශ්‍රාමික සාජන් මේජර්වරයෙකි.

කොටින් අටවා තිබූ බෝම්බයකට 2006 වසරේ අසුවීමෙන් දණ හිසෙන් පහළ එක් පාදයක් අහිමි වීම නිසා ඔහු කෘත්‍රීම පාදයක් පැළඳ සිටින බව පොලිසිය කියයි.

අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු රැගෙන ගිය අවස්ථාවේ මෙම 72 හැවිරිදි මව ද හැරමිටි වාරුවෙන් එහි පැමිණ බන්ධනාගාරය වෙත පුතා රැගෙන යන තෙක් එහි රැඳී සිටි බව පොලිසිය කීය ෴

*********************************************

ශ‍්‍රීලනිපයට දෙන තනතුරු සියල්ල දී අවසන්.. මෛත‍්‍රීට තනතුරක් දෙන්න පොරොන්දුවක් නෑ.. – ආණ්ඩුව කියයි..

(25.08.2020 – 15:50 +0530 – lankacnews.com)

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට තනතුරක් ලබාදෙන බව කිසිවෙකු පවසා නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදෙන තනතුරු මෙ වනවිට ලබා දී අවසන් බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

වත්තල ප්‍රදේශයේ පැවැති ඊයේ (24) රැස්වීමකින් පසු මාධ්‍යවේදීන් මතු කල ප්‍රශ්න හමුවේ පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

ඇමතිවරයා මෙහිදී අවධාරණය කලේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රට ගැන සිතා ගෙන ආ සංශෝධනයක් නොවන බවයි. එක රටක් එක නීතියක් යන සංකල්පය මත රටට ගැලපෙන ව්‍යවස්ථාවක් සැකසීම නව රජයේ අරමුණ බවද ඇමතිවරයා කීවේය.

මෙහීදී මාධ්‍යවේදීන් ඇමතිවරයාට යොමුකළ ප්‍රශ්න හා පිළිතුරු මෙසෙයි :

ප්‍රශ්නය – ඔබතුමාට දීලා තියෙන අමාත්‍යාංශයේ කිසිම වැඩක් කරන්න බැහැ කියලා ඔබතුමා නොසතුටින් කියන්නේ ඇත්තද ?

පිළිතුර – එක පට්ටපල් බොරුවක්. මට දීල තියෙන අමාත්‍යාංශය මේ රටට ලොකු වැඩක් කරන්න පුළුවන් අමාත්‍යාංශයක්. මගේ අමාත්‍යංශය යටතට ගුවන්සේවා සත්වෝද්‍යාන හා උද්භිද උද්‍යාන වගේ විෂයනුත් එකතුවෙලා තියෙනවා. දේශීය හා විදේශීය සංචාරක කර්මාන්තය නංවාලීම තමයි මෙහි මූලික ඉලක්කය. මම ඉතා සතුටින් මට දීපු වගකීම ඉටුකරමින් තිබෙනවා.

ප්‍රශ්නය – ඇමතිකම් ලබා දෙද්දී වෙනම විධියකටනේ දීලා තියෙන්නේ. සමහර ඇමතිකම් කියවගන්නත් අමාරුයි.

පිළිතුර – ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල අනුව තමයි මේ අමාත්‍යාංශ වලට විෂය පථයක් වෙන් කරලා තියෙන්නේ. පිටරට හෙම්බිරිස්සාවක් හැදුනොත් අපිට උණ සන්නිපාතය හැදෙන තත්වයක් තමයි මේ රටේ තිබුණේ. ඒක තමයි ආර්ථිකයේ ඇත්ත තත්වය. අද ඒ තත්වය වෙනස් කරලා රටේ දේශීය නිෂ්පාදනයට මුල් තැන දෙන ආර්ථික ක්‍රමයක් රට තුළ ගොඩනැගෙමින් යනවා. මේක අද හෙට දවසින් දෙකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දීර්ඝකාලීන වැඩපිළිවෙලක්. අපි මේ රටේ ආර්ථිකය ගොඩනගන්න කෙටි කාලීන, මධ්‍යකාලීන හා දීර්ඝකාලීන සැලසුම් සකස් කරලා තිබෙනවා. පහුගිය මැතිවරණයේදී ජනාධිපතිතුමා දිස්ත්‍රික්කය පුරා ගියා. එතනදී කජු ව්‍යාපාරය, මැටි කර්මාන්තය නංවන්න කියන එක තමයි ජනතාවගේ ඉල්ලීම වුණේ. සමහරු මේවා විහිළුවට දකිනවා. පිටරටවල් වලට කොන්ද නමාගෙන ඉන්න පිටරට වලින් යැපෙන උදවිය මේ වැඩපිළිවෙල විහිළුවට ලක් කලත් රටේ දේශිය නිෂ්පාදනයට උනන්දු අයට මේක සුවිශේෂයි.

ප්‍රශ්නය – ආණ්ඩුව 19 සංශෝධනය අහෝසි කරන්න හදන්නේ ඇයි?

පිළිතුර – මේ රටේ සියලු ජන කොටස්වලට සංහිදියාවෙන් ජීවත් විය හැකි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ඕනෑ. පහුගිය යහපාලන ආණ්ඩුව හැදුවේ අන්තවාදී දැඩි දේශපාලන පක්ෂ වල වුවමනාවට අනුව සැකසුනු ව්‍යවස්ථා කෙටුම්පතක්. අපි ඒකට විරුද්ධ වුණා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ රට ගැන හිතලා ගෙනාපු සංශෝධනයක් නෙමේ. ඒ නිසා එය වෙනස් කරලා එක රටක් එක නීතියක් යන සංකල්පය මත රටට ගැලපෙන ව්‍යවස්ථාවක් හදන එක තමයි අපේ අරමුණ. 19 අනිවාර්යෙන්ම අහෝසි කරනවා. රටට අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. ඒක අපි ජනතාවට දුන් පෙරොන්දුවක්. ඒක අපි කරනවා.

ප්‍රශ්නය – විපක්ෂයේ සහය ලැබෙයිද ?

පිළිතුර – විපක්ෂය කැමති වෙන්නේ නෑ. විපක්ෂය බහුතර අන්තවාදී වුණු පක්ෂ නියෝජිතයන්. ඒ නිසා ඔවුන් කිසිසේත් 19 අහෝසි කරනවාට කැමැති වෙන්නේ නෑ. විපක්ෂය මේකට විරුද්ධ වුනොත් ඊළඟ මැතිවරණයේදී මේ පාර ඉගෙනගන්න පාඩමට වඩා ලොකු පාඩමක් ජනතාව උගන්නාවී.

ප්‍රශ්නය – විපක්ෂය කියන්නේ 19 අහෝසියත් එක්ක රටේ ඒකාධිපති පාලනයකට නතුවෙන බවයි.

පිළිතුර – විපක්ෂය හැමදාම කළේ ඒකාධිපති බිල්ලෙක් මවන එකනේ. මේ විධිහට රටට වැඩක් කරන්න බෑ. අවුරුදු 4½ යහපාලන මොනවද කළේ. රටට වැඩක් කළාද? යහපාලන ආණ්ඩුව යටතේ රට එකතැන පල් වුණා. රටක වැඩක් කරගන්න දේශපාලන ස්ථාවරයක් තියෙන්න ඕනේ. එතකොට තමයි රටට ආයෝජකයෝ එන්නේ. ඔය ඒකාධිපති කතාව 2015 දීත් කිව්වා කියලා පත් කරගත්ත යහපාලන ආණ්ඩුවෙන් වැඩක් වුනාද? වැඩක් වුණේ මහින්ද මහත්තයාගේ කාලයේ. දැන් රටට වැඩක් වෙන්නේ මේ කාලේ.

ප්‍රශ්නය – විග්නේෂ්වරන්ගේ ප්‍රකාශය ගැන ඔබ මොකද කියන්නේ?

පිළිතුර – විග්නේෂ්වරන්ලා පාර්ලිමේන්තු එන්නෙම ජාතිවාද අවුස්සගෙන. ඒ අය තාමත් කරන්නේ ජාතිවාදය අවුස්සන එක. පාර්ලිමේන්තුවේ මංගල සැසියේදී නවක මන්ත්‍රිවරයෙකුගේ කතාවට බාධා නොකිරීම සම්ප්‍රදායක්. නමුත් අපි නිල වශයෙන් ඊළග පාර්ලිමේන්තු රැස්වීමේදී විග්නේෂ්වරන්ගේ කතාවට විරෝධය පළ කරනවා. පරාජය කළ යුත්තේ විග්නේෂ්වරන්ගේ මතයයි. ඒකට අපි ලෑස්තියි.

ප්‍රශ්නය – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දෙන්න යන තනතුර මොකක්ද?

පිළිතුර – කවුද කිව්වේ තනතුරක් දෙනවා කියලා

ප්‍රශ්නය – ඇයි 19 වෙනස් කරන්න හදන්නේ ඒකට කියලා කියන්නේ.

පිළිතුර – කවුද කියන්නේ මෛත්‍රීට තනතුරක් දෙන බවක් කවුරුත් කියලත් නෑ. එහෙම දෙන්න ලෑස්තියකුත් නෑ. පක්ෂ වලට දෙන්න ඕන තනතුරු ටික දුන්නා. ඒවා දැන් දීලා ඉවරයි. මහින්ද මහත්තයා සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් විධිහට පහුගිය කාලේ හිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නම් කරපු අයට තනතුරු දීලා ඉවරයි. ඒ නිසා ඒක ගැටළුවක් නෙමෙයි.

– ප්‍රදීප් අනුර කුමාර

*********************************************

සියලු විශේෂිත සෞඛ්‍ය පණිවුඩ සමාජ මාධ්‍ය ඔස්සේ

(25.08.2020 – 17:44 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සියලු විශේෂිත වැඩසටහන් හා විශේෂිත ව්‍යාපාර වල සෞඛ්‍ය පණිවුඩ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත කිරීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් නව වැඩපිළිවෙලක් සකසන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පවසනවා.

ෆේස්බුක් ආයතනයේ පුහුණු අංශයේ නිලධාරින්ගේ සහායද සහිතව තෝරාගත් සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අද (2020.08.25) ආරම්භ කළ පුහුණු වැඩසටහනක සමාරම්භක දේශනය කරමින් විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා ඒ බව සඳහන් කළා.

සමාජ මාධ්‍ය අතිශයින් ප්‍රචලිත වී තිබන අතර, කොවිඩ් -19 නිසා සමාජයම අඩපණව තිබුනු පසුගිය කාල සීමාවේ පවා සෞඛ්‍ය පණිවුඩ ජනතාව වෙත සමීප කරවීමටද සමාජ මාධ්‍ය යොදා ගැනීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයට හැකි වුනා.

මේ සියල්ලේම ප්‍රතිඵල ලෙස අතිවිශාල සංඛ්‍යාවක් වෙත පණිවුඩ ගෙන යාමට කාර්‍යාංශයට හැකි වුනා.

ඊට හේතුව සමාජ මාධ්‍ය හැසිරෙන ආකාරය පිලිබදව නිසි දැනුමක් ලබාදීමත්, එහි තාක්ෂණය මෙන්ම සමාජ අලෙවිකරණය, ආදී කරුණු පිලිබඳ දැනුවත්බව ලබාදීමත්, සමාජ මාධ්‍යය පරිහරණය කිරීමේදී දැන ගත යුතු තාක්ෂණික කරුණු පිළිබදවත් දැනුවත් කිරීමට තීරණය කළේ දැනට සමාජ මාධ්‍ය සම්බන්ධ ඇති ගැටලු විසඳා දීමේ අරමුණින් බවද අධ්‍යක්ෂවරයා කියා සිටියා.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති විශේෂිත වැඩසටහන් හා විශේෂිත ව්‍යාපාර වල නිලධාරීන්, ෆේස්බුක් ආයතනයේ නිලධාරීන් ඇතුළුව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා ෴

*********************************************

අධිවේගී මඟේ අනතුරකින් ලොරි රියදුරකු මරුට

(25.08.2020 – 17:51 +0530 – lankadeepa.lk)

මාළු පටවාගෙන අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙමින් තිබූ ලොරියක් කිලෝ මීටර් 9.5 බණ්ඩාරගම බද්දේගොඩ ප්‍රදේශයේ දී නවතා තිබූ ටිපර් රථයක ගැටීමෙන් ලොරි රියදුරු මියගිය බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ දෙවිනුවර විසුම්පාය නිවසේ පදිංචිව සිටි නිහාල් රත්නායක 55 හැවිරිදි පුද්ගලයෙකි.

මාළු රැගෙන ගාල්ල දෙස සිට ලොරි රථය අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දෙසට පැමිණෙමින් තිබියදී බණ්ඩාරගම බද්දේගොඩ පාලම ආසන්නයේ මාර්ගයේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් නඩත්තු කටයුතු සිදු කරමින් සිට ඇතැයි පොලිසිය කියයි.

කාපට් ඇතිරීම සඳහා යොදා ගන්නා වාහන මෙන්ම කාපට් රැගෙන ආ ටිපර් රථය ද දකුණු මං තීරුවේ නවතා ඒ සඳහා අවශ්‍ය සියලුම ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් කොළඹ දිසාවට ගමන් ගන්නා වාහන වලට වමේ මං තීරුව වෙන්කර ඔවුන් නඩත්තු කටයුතු කරමින් සිට ඇතැයි පොලිසිය කියයි.

කොළඹ දෙසට ධාවනය වූ මාලු ලොරිය නවතා තිබු ටිපර් රථයේ පිටුපස ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසීය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 2

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *