සමෘද්ධි සහනාධාරය අඩු ආදායම්ලාභීන් බල ගන්වන වැඩසටහනක් බවට පත් කරන්න – ජනපති

සමෘද්ධි සහනාධාරය අඩු ආදායම්ලාභීන් බල ගන්වන වැඩසටහනක් බවට පත් කරන්න – ජනපති

උපාධිධාරීන් 51,000 කට පත්වීම් ලිපි ප්‍රදානය ලබන 2 වන දා

සියළුම ජාලවලින් ඇමතීමට එකම දුරකථන අංකයක්

මත්තල සිදුකර ඇති හානි හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතුයි

2018 ඔක්තෝම්බර් සිට පාස්කු ප්‍රහාරය දක්වා ආරක්ෂක කවුන්සලයට සහභාගි නොවූ පූජිත්

‘පොඩි ලැසී’ගේ මව අත්අඩංගුවට

මත් ජාවාරමෙන් ඉපයූ, කෝටි ගණනක මුදල් හුවමාරු වූ බැංකු ගිණුම් 05 ක් ගැන හෙළිවෙයි

දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීම ගැන සී.අයි.ඩී.යෙනුත් පරීක්ෂණ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද (25) සිට දෙදිනක වැඩමුළුවක්

රාජ්‍ය අමාත්‍යාංශ 35 ක නව ලේකම්වරුන් පත් කෙරේ

ප්ලාස්ටික් සහ ඇළුමිනියම් ආනයනයට සීමා

ජනපති උපදෙසින් වසර 8කට පසු, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම්

*********************************************

සමෘද්ධි සහනාධාරය අඩු ආදායම්ලාභීන් බල ගන්වන වැඩසටහනක් බවට පත් කරන්න – ජනපති

(24.08.2020 – 20:06 +0530 – hirunews.lk/sinhala)

සමෘද්ධි සහනාධාරය රටට බරක් වීමට ඉඩ නොතබා අඩු ආදායම්ලාභී ජනතාව බලගන්වන වැඩසටහනක් බවට පත්කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, සමෘද්ධි, ගෘහ ආර්ථීක, ක්ෂුද්‍ර මුල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබදව ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ජාවකදියි.

සමෘද්ධි ප්‍රතිලාභ සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 50,000ක් වැය කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර, එහිදී ඔහු කියා සිටියේ ගැටළුවක් බවට පත්ව ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය, ණය නියාමන අධිකාරියේ පනතක් හෝ වෙනත් පනතක් මගින් නියාමනයට ලක් කළ යුතු බවයි.

*********************************************

උපාධිධාරීන් 51,000 කට පත්වීම් ලිපි ප්‍රදානය ලබන 2 වන දා

(24.08.2020 – 20:10 +0530 – hirunews.lk/sinhala)

උපාධිධාරීන් 51,135 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ලබන මස 2 වනදා සිදුකිරීමට නියමිත බව රාජ්‍ය සේවා, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

පසුගිය පෙබරවාරි මාසයේ ඊට අදාල අයදුම්පත් කැඳවූ අතර 2019 දෙසැම්බර් 31 වන දින වන විට උපාධිය සම්පූර්ණ කරන ලද අයඳුම්කරුවන් මේ සදහා තෝරාගෙන තිබෙනවා.

මේ අතර, උපාධිධාරින්ට රැකියා ලබාදීමේදි ප්‍රතික්ෂේප වු පිරිසට රැකියා ලබා දීම එළඹෙන දෙවනදා සිදුකරන ලෙස ඉල්ලා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය අද (24) කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට සිට ජනාධිපති කාර්යාලය දක්වා වෙත පා ගමනින් පැමිණ සංදේශයක් භාර දෙනු ලැබුවා.

පසුගිය දා තවත් 10,000 කට රැකියා ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වූ අතර, විවිධ හේතූන් මත උපාධිධාරීන් 9421 දෙනෙකුගේ අයදුම්පත් ප්‍රතික්ෂේප කර ඇති බවයි ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සගමය සදහස් කළේ.

සංදේශය භාරදීමට පැමිණි අවස්ථාවේදී එම සංගමයේ නියෝජිතයින් පිරිසකට ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සමඟ සාකච්ඡාවක් හිමි වුණා.

එමෙන්ම උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී තමන්ට ද රැකියා ලබාදෙන ලෙස ඉල්ලා රැකියා විරහිත උසස් ජාතික ඩිප්ලෝමාධාරීන් පිරිසක් ජනාධිපති කාර්යාලය අසළ උද්ඝෝෂණ සඳහා වෙන් කර ඇති ස්ථානයේ විරෝධතාවක නිරත වුණා.

අනතුරුව ඔවුන්ට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් හිමි වූ අතර එහිදී අදාළ ගැටලුවට සතියක් ඇතුලත විසදුමක් ලබා දෙන බවට ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් ශ්‍රීනාත් ගමගේ මහතා පොරොන්දු වූ බවයි උසස් ජාතික ඩිප්ලෝමාධාරීන්ගේ සංගමයේ සංවිධායක ප්‍රමෝද් ලක්මාල් මහතා කියා සිටියේ ෴

+++++++++++++++++++++

*********************************************

සියළුම ජාලවලින් ඇමතීමට එකම දුරකථන අංකයක්

(24.08.2020 – 20:38 +0530 – hirunews.lk/sinhala)

ජංගම දුරකථන ග්‍රාහකයින්ට එකම අංකයකින් ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ ඇමතුම් ලබා ගැනීමේ පහසුකම සැලසීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගනිමින් සිටිනවා.

ඒ සඳහා මූලික පියවර මේ වන විටත් ගෙන ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

මෙම ක්‍රමවේදය දැනට ඉන්දියාව, මලයාසියාව ආදී රටවල දැනටමත් ක්‍රියාත්මක වන අතර, ජංගම දුරකථන අංකය වෙනස් නොකර, දුරකථන සේවා සපයන්නා තෝරා ගැනීම හෝ වෙනස් කිරීමට මෙමගින් පාරිභෝගිකයින්ට අවස්ථාව සැලසෙනු ඇති ෴

*********************************************

මත්තල සිදුකර ඇති හානි හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතුයි

(24.08.2020 – 21:29 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන රජය සමයේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සිදුකර ඇති හානි හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වගකිව යුත්තන්ට නීතිය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිදුකළ නිරීක්ෂණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

*********************************************

2018 ඔක්තෝම්බර් සිට පාස්කු ප්‍රහාරය දක්වා ආරක්ෂක කවුන්සලයට සහභාගි නොවූ පූජිත්

(24.08.2020 – 21:32 +0530 – hirunews.lk/sinhala)

2018 වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට ජාතික ආරක්ෂක කවුන්සලයට සහභාගි නොවූ පොලිස්පති පූජිත් ජයසුන්දර යළි ඊට සහභාගි වුයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පසුදින බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පවසනවා.

ජනාධිපති කොමිසම හමුවේ 17 දිනටත් සාක්ෂි ලබාදෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ පාස්කු ප්‍රහාරයට පෙර විධිමත්ව ජාතික ආරක්ෂක කවුන්සලය රැස්නොවුවද, ප්‍රහාරයෙන් පසු එය දෛනිකව රැස්වන තත්ත්වයක් උදා වූ බවයි.

*********************************************

‘පොඩි ලැසී’ගේ මව අත්අඩංගුවට

(25.08.2020 – 06:52 +0530 – hirunews.lk/sinhala)

දකුණේ පාතාල කල්ලි නායකයෙකු වන ‘ජනිත් මධුශංක’ හෙවත් ‘පොඩි ලැසී’ නැමැත්තාගේ මව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී ඊයේ (24) දිනයේදී ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.

හෙරොයින් ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය සතුව තිබී රුපියල් 51,000 ක මුදලක් ජංගම දුරකථන 05 ක් සහ බැංකු ගිණුම් පාස්පොතක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

50 හැවිරිදි මව තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර අද (25) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතයි ෴

*********************************************

මත් ජාවාරමෙන් ඉපයූ, කෝටි ගණනක මුදල් හුවමාරු වූ බැංකු ගිණුම් 05 ක් ගැන හෙළිවෙයි

(25.08.2020 – 07:31 +0530 – hirunews.lk/sinhala)

බොරලැස්ගමුව ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරමේ නිරත වූ බවට පසුගිය දා අත්අඩංගුවට ගත් කාන්තාවගේ පෞද්ගලික බැංකු ගිණුම් 05 ක රුපියල් දහ හතර කෝටි විසි එක් ලක්ෂයක (14,21,00,000) මුදලක් සංසරණය වී ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

ඊට අමතරව ඇයට අයත් මෝටර් රථයක් ද පොලිස් භාරයට ගනු ලැබුවා.

එමෙන්ම, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘ප්‍රසාද් රුවන් කුමාර’ හෙවත් ‘කුඩු රොෂාන්’ගේ ගෝලයෙකු ද හෙරොයින් සමඟ ඊයේ (24) වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ ෴

*********************************************

දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීම ගැන සී.අයි.ඩී.යෙනුත් පරීක්ෂණ

(25.08.2020 – 07:38 +0530 – hirunews.lk/sinhala)

සමස්ත දිවයිනටම බලපාන ආකාරයෙන් පසුගිය දා සිදුවූ විදුලිය බිඳ වැටීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද (25) දිනයේදී විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් විශේෂ විමර්ශනයට ලක් කිරීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව හෙට (26) දිනයේදී එය අමාත්‍ය මණ්ඩලයට වාර්තා කරන බවයි විදුලිබල අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

විදුලිය බිඳ වැටීම පිළිබඳව සොයා බැලීමටත් එවැනි තත්ත්වයක් නැවත ඇතිවීමේ ප්‍රවණතාව අවම කිරීමේ ක්‍රියාමාර්ගයන් පිළිබදව හඳුනා ගැනීමටත් කමිටුවක් පත් කෙරුණේ මහාචාර්ය රාහුල අතලගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.

නියෝජිතයින් 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුව සකස් කළ අදාළ වාර්තාව ඊයේ (24) දිනයේදී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත භාර දෙනු ලැබුවා.

කෙරවලපිටියේ සිට විදුලිය බෙදාහරිනු ලබන ග්‍රිඩ් උප පොළක ඇති වු විදුලිය බිද වැටීමක් හේතුවෙන් පසුගිය 17 වනදා පස්වරු 12:30 සිට පැය 08 ක පමණ කාලයක් සමස්ත දිවයිනටම විදුලිය විසන්ධි වුණා.

පසුව නොරොච්චෝලේ බලාගාරය ද අක්‍රිය වූ අතර, එහිදී ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කළේ දින 3 ක කාලයක් පැය බැගින් කොටස් වශයෙන් දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකිරීමටයි.

මේ අතර, ‘හිරු ටී.වී.’ ඔස්සේ ඊයේ විකාශය වූ ‘සලකුණ’ විශේෂ වැඩසටහනේදී ද සංවාදයට ලක්වූයේ දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිද වැටීම පිළිබදවයි.

ඊට එක්වෙමින් අදහස් දැක්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ හදිසි විදුලි බිද වැටීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

එම වැඩසටහනට විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා මහතා එක්ව සිටියා ෴

*********************************************

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද (25) සිට දෙදිනක වැඩමුළුවක්

(25.08.2020 – 07:44 +0530 – hirunews.lk/sinhala)

9 වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ සියළු මන්ත්‍රීවරුන් සඳහා එහි කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුවක් අද (25) පෙරවරුවේ ආරම්භ වනවා.

ඒ, පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර 1 හිදීයි.

මේ අනුව අද (25) සහ හෙට (26) යන දින දෙකෙහිදීම පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා මෙම වැඩමුළුව පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග හා සම්ප්‍රාදයන් පිළිබඳව මෙන්ම පාර්ලිමේන්තු කමිටුවල කටයුතු සිදුවන ආකාරය පිළිබඳව මෙම වැඩමුළුවේදී මන්ත්‍රීවරුන්ට මූලික දැනුමක් ලබාදීමට නියමිතයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගේ මූලිකත්වයෙන් සංවිධාන කෙරෙන මෙම වැඩමුළුවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා හා නියෝජ්‍ය මහලේකම් ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීන් පිරිසක් ද සහභාගි වනවා ෴

++++++++++++++++

ඇමති ධුර නොසලකා බිම් මට්ටමේ ජනතාවට වැඩ කරන්න – අගමැතිගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවදන්

(25.08.2020 – 12:53 +0530 – hirunews.lk/sinhala)

ජනතාවට අවශ්‍ය වන්නේ ඔවුන් බිම් මට්ටමෙන් නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන අතර, ඇමති තානාන්තර නොතකා ජනතාව උදෙසා වැඩකරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියළුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා.

නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා සංවිධාන කර ඇති දෙදින වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට අද (25) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කැබිනට් අමාත්‍යවරයෙකු වුවත්, රාජ්‍ය අමාත්‍යවරයෙකු වුවත්, වඩාත් වැදගත් වන්නේ ජනතාවගේ යහපත උදෙසා වැඩ කිරීම බවයි.

09 වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ සියළු මන්ත්‍රීවරුන් එහි කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා දෙදින වැඩමුළුවක් ලෙස අද (25) පෙරවරු 9 ට පමණ පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක එකෙහි දී මෙය ආරම්භ වුණා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග හා සම්ප්‍රාදයන් පිළිබදව මෙන්ම පාර්ලිමේන්තු කමිටුවල කටයුතු සිදුවන ආකාරය පිළිබදව මෙම වැඩමුළුවේදී මන්ත්‍රීවරුන්ට මූලික දැනුමක් ලබාදෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගේ මූලිකත්වයෙන් සංවිධාන කෙරෙන මෙම වැඩමුළුවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා හා නියෝජ්‍ය මහලේකම් ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීන් පිරිසක් ද සහභාගි වුණා.

එසේම මෙම වැඩමුළුවට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන් ද එක්ව සිටියා.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉතිහාසයේ සිදුවූ වැරදි, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් නිවැරදි වේ යැයි ජනතාව අපේක්ෂා කරන බවයි ෴

*********************************************

රාජ්‍ය අමාත්‍යාංශ 35 ක නව ලේකම්වරුන් පත් කෙරේ

(25.08.2020 – 08:00 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍යාංශ 35 ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබෙනවා.

පසුගිය 19 වනදා රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් අදාළ පත්කිරීම් සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

එම පත්කිරීම් වලට අදාළ ගැසට් නිවේදනය ඊයේ (24) නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය පහතින් :

*********************************************

ප්ලාස්ටික් සහ ඇළුමිනියම් ආනයනයට සීමා

(25.08.2020 – 08:12 +0530 – hirunews.lk/sinhala)

ප්ලාස්ටික් සහ ඇලුමිනියම් භාණ්ඩ පිටරටින්ගෙන්වීම තහනම් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

එමෙන්ම, පරිසරයට අහිතකර භාණ්ඩ සම්බන්ධයෙන් ද සොයා බලා ඒවා ආනයනය ද සීමා කරන බවයි ඔහු ‘හිරු ප්‍රවෘත්ති’ අංශයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

මේ අතර, කාර්යාලවල, රථ වාහනවල මෙන්ම නිවෙස්වල ජලය බීමට ගැනීම සඳහා බහුලව යොදා ගැනෙන්නේ හිස් මධ්‍යසාර වීදුරු බෝතල් බවට සිදුකළ සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

එය අප්‍රසන්න සංස්කෘතියක් වන බැවින් ඊට නව විසදුමක් ලෙස පහසුවෙන් අතේ ගෙන යා හැකි මැටිවලින් සකස් කළ බෝතලයක් හඳුන්වා දීම පිළිබදව ද අවධානය යොමුව ඇති බව සඳහන්.

ඊට අදාළ සාකච්ඡාවක් ඉදිරියේදී වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට ද නියමිතයි ෴

*********************************************

ජනපති උපදෙසින් වසර 8කට පසු, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම්

(25.08.2020 – 08:37 +0530 – hirunews.lk/sinhala)

ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනැගීම සඳහා කෘෂි අස්වනු ඉහළ නැංවීමට කාලය එළඹ ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ සඳහා යෝජනා රැසක් ඉදිරිපත් කළ ජනාධිපතිවරයා කොරෝනා වසංගතය නිසා බිඳ වැටෙමින් පවතින සෙසු රටවල ආර්ථිකයන් නිරීක්ෂණය කොට දේශීය කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද පෙන්වා දෙනවා.

වී හා ධාන්‍ය, කාබනික පොහොර, එළවළු, පළතුරු, මිරිස්, ලූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය සහ බීජ නිෂ්පාදනය මෙන්ම උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලැස්ම පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ඊයේ (24) පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

මෙරට වාර්ෂික අර්තාපල් අස්වැන්න ටොන් 80,000ක්. කෙසේ වෙතත්, පාරිභෝගික අවශ්‍යතාව ටොන් 2,50,000 ක් වන අතර, අර්තාපල් ආනයනය නොකර දේශීයව අවශ්‍යතා සපුරා ගැනීමට ගොවීන් දිරිමත් කළ යුතු බවටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ.

ඉහළ තාක්ෂණය යටතේ දෙමුහුන් බීජ සහ පැළ ගොවීන්ට බෙදා දී ඉලක්කය ජය ගැනීමටත් වෙනත් ආදේශක අල වර්ග, පාරිභෝජනයට දිරි ගැන්වීමෙන් අර්තාපල් ආනයනය සීමා කිරීමට හැකි බවයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා එම සාකච්ඡාවට එක්වෙමින් සදහන් කළේ.

වසර 8 ක කාලයක සිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බදවා ගැනීම් සිදුකර නොමැති බවත්, පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කර ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට ද එහිදී ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *