මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

උපාධිධාරීන් විරෝධතා පා ගමනක

බැසිල් හමුවූ ගණකාධිකාරී සංගමය

දුම්කොළ අඩංගු විට වර්ග විකිණීම, ප්‍රදර්ශනය සහ මහජනතාවට පෙනෙන සේ දුම්වැටි භාවිතය සපුරා තහනම්

පාලම අබලන්වීමෙන් බලපිටිය, මදුවේ ජනතාව දැඩි අසීරුතාවයක

අස්වැන්න සඳහා නිසි මිලක් නොලැබීමෙන් අසරණ වී සිටින ගොරකා වගාකරුවන්

දරුවෙකු අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට නර්තන ගුරුවරයෙකු අත්අඩංගුවට

රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 19 ක් හමුවෙයි

දුම්බීම හේතුවෙන් සුළු මානසික ආබාධ උග්‍ර වෙයි

යෝෂිත – සජීව‌ගෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලයි

බඹර ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයෙකුගේ නාසයෙන් බඹරුන් 11 ක් ඉවත්කෙරේ

මත් කුඩු නොමැතිවීමෙන් බන්ධනාගාර රැඳවියන් තිදෙනෙකු සියදිවි හානි කර ගනී

*********************************************

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

(24.08.2020 – 12:58 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් ග්‍රෑම් 18 යි දශම 01 ක් ළඟ තබාගැනීම හා ජාවාරම් කිරීම යන අධිචෝදනා දෙකට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද (24) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

ඒ, මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතාගේ නියෝගයකට අනුවයි.

පසුගිය 2013 වසරේ ඔක්තෝම්බර් 30 වනදා ග්‍රෑන්ඞ්පාස් කොස්ගස් හන්දියේදී මෙම සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරුණේ 33 හැවිරිදි දෙදරු පියෙකුටයි ෴

*********************************************

උපාධිධාරීන් විරෝධතා පා ගමනක

(24.08.2020 – 12:57 +0530 – hirunews.lk/sinhala)

රැකියා ලබාදීමේදි ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන්ට අභියාචනා කැඳවීමකින් තොරව රැකියා ලබාදෙන ලෙස ඉල්ලා රැකියා විරහිත උපාධිධාරී සංගමය අද (24) විරෝධතා පා ගමනක නිරතවුණා.

කොටුව දුම්රියපල ඉදිරිපිට සිට ජනාධිපති කාර්යාලය ආසන්නයට පැමිණි ඔවුන් අනතුරුව සන්දේශයක්ද භාරදුන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රැකියා විරහිත උපාධිධාරීන් 51,153 දෙනෙකුට රජයේ රැකියා සඳහා අද (24) පත්වීම් ලිපි ලබාදීමට නියමිතව තිබෙනවා. තවත් උපාධිධාරීන් 9,954 දෙනෙකුගේ රැකියා ඉල්ලීම් ප්‍රතික්ෂේප වී ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලට ඔවුන්ගේ නම් යටතේ මුදල් බැරවීම ඇතුලු තවත් කරුණු කිහිපයක් හේතුවෙන්.

කෙසේ වෙතත් තවත් උපාධිධාරීන් දස දහසකට (10,000) රැකියා ලබාදීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවූ අතර, එහිදී මෙම 9,954 දෙනාට මූලිකත්වය ලබාදෙන ලෙසයි ජනාධිපති කාර්යාලය වෙත සන්දේශය භාරදීමට පෙර අදහස් දැක්වූ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥාණානන්ද හිමියන් ඉල්ලා සිටියේ.

එමෙන්ම උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී රැකියා විරහිත උසස් ජාතික ඩිප්ලෝමාධාරීන්ටද සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා උසස් ජාතික ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය අද (24) විරෝධතාවක නිරතවුණා.

ජනාධිපති කාර්යාලය අසළ උද්ඝෝෂණය කිරීම සඳහා වෙන් කර ඇති ස්ථානයේ විරෝධතාවයේ නිරතවීමෙන් අනතුරුව ඔවුන් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි අතර, එහිදි විරෝධතාකරුවන් පිරිසකට සාකච්ඡාවක් ලබාදීමට බලධාරීන් පියවර ගෙන තිබුණා.

මේ අතර කැළණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයද අද (24) දහවල් විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

ඒ, පන්ති තහනමට ලක්ව ඇති සිසුන් 27 දෙනෙකු සහ උපාධි තහනමට ලක්ව ඇති සිසුන් හතරදෙනෙකුට (4) සාධාරණය ඉටු කර දෙන ලෙස ඉල්ලමින්.

සරසවි පරිශ්‍රයේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතිවලට හානි කිරීමේ සිද්ධිය මුල් කරගනිමිනුයි ඔවුන්ට මෙම තහනම පැනවීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගනු ලැබුවේ.

*********************************************

බැසිල් හමුවූ ගණකාධිකාරී සංගමය

(24.08.2020 – 13:18 +0530 – hirunews.lk/sinhala)

නාස්තිය හා දුෂණය වළක්වා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අවශ්‍ය බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යා සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ, අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය සහ ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යා සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අතර පසුගියදා අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණා.

ආයතනයක නායකත්වය වෙනස් වුවත්, වැඩපිළිවෙළ තිරසාරව ඉදිරියට පවත්වාගෙන යන ක්‍රමවේද වෙනසක් ගැන අවධානය යොමුකළ යුතු බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

එහිදී ඔහු ගණධාකාධිකාරී සේවා සංගමයේ නියෝජිතයන්ට ආරාධනා කර ඇත්තේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළට දායක වන ලෙසයි.

මේ අතර, ශ්‍රී ලංකා පරිපාලන සංගමයේ නියෝජිතයන් ද පසුගියදා බැසිල් රාජපක්ෂ මහතා හමුවුණා.

බැසිල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර ඇත්තේ රැකියා උත්පාදනය, ආදායම් වැඩිවීම, අපනයන වැඩිවීමට දිස්ත්‍රිංක් හා ප්‍රාදේශීය සංවර්ධන සැලසුම් සකස් කර එමඟින් ලැබෙන සමාජ ආර්ථික බලපෑම් සොයා බලන ක්‍රමවේදයකට රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය වැඩිදියුණු කළයුතු බවයි.

කෘෂිකර්ම, ධීවර, සංචාරක, ආයෝජන ඇතුළු ක්ෂේත්‍ර රැසක පවතින පරිපාලන ගැටලු විසඳීමේ අවශ්‍යතාව කෙරෙහි ද මෙහිදී අවධානය යොමුවුණා.

පවතින තත්ත්වය හමුවේ අපනයන ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා හඳුනා ගත් ප්‍රධාන ක්ෂේත්‍ර 5 ක් ඔස්සේ විදේශීය ආයෝජන අවස්ථා ලබා ගැනීමට කටයුතු කරන බවත්, ඒ සඳහා දිස්ත්‍රික් මට්ටමින් ආයෝජකයින්ට පහසුකම් සලසන ව්‍යුහවල අවශ්‍යතාවය බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙනවා.

*********************************************

දුම්කොළ අඩංගු විට වර්ග විකිණීම, ප්‍රදර්ශනය සහ මහජනතාවට පෙනෙන සේ දුම්වැටි භාවිතය සපුරා තහනම්

(24.08.2020 – 13:22 +0530 – hirunews.lk/sinhala)

2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරී පණතට අනුව දුම්කොළ අඩංගු විට වර්ග විකිණීම, ප්‍රදර්ශනය කිරීම සහ මහජනතාවට පෙනෙන සේ දුම්වැටි භාවිතය ශ්‍රී ලංකාව තුල සපුරා තහනම් බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරීයේ සභාපති, ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසනවා.

මත්ද්‍රව්‍ය ,දුම්වැටි සහ මධ්‍යසාර නිවාරණය පිණිස නව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමේ පුහුණු වැඩසටහනක දේශනයක් කරමින් ඔහු අද (2020.08.24) මේ බව සදහන් කළා.

දිවයින පුරා විසිරී සිටින සෞඛය ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ වෛද්‍ය නිලධාරීන් වෙනුවෙන් බත්තරමුල්ල හෝටලයකදී පැවැත්වුන පුහුණු වැඩමුළුවේදී ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා අවධාරණය කළේ ඉදිරි කාලයේදී මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් මෙම නීති ප්‍රායෝගිකව තදින් ක්‍රියාත්මක කිරීමට මැදිහත්වීමක් කිරීමට දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය බලාපොරොත්තු වන බවයි.

දුම්බීමට තහනම් ප්‍රදේශ යටතට මේ දක්වා සලකා ඇත්තේ විවෘත නැති පොදු ස්ථානයන්.

පනතේ මේ වගන්තිය යටතේ බොහොමයක් පොදු ස්ථාන ආවරණය නොවන බව පෙනී ගොස් තිබෙනවා.

ඉදිරියේදී මෙම වගන්තිය සියලුම පොදු ස්ථාන ලෙස වෙනස් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් දැනට පවතින පනත අනුව වුවද තවත් අයෙක් පෙළඹවීමක් ඇතිවන පරිදි මහජනතාවට ප්‍රදර්ශනය වන සේ දුම්වැටි භාවිතය දැනට තිබෙන පනත යටතේ වුවද සපුරා තහනම් බව ඔහු සඳහන් කළා.

එසේම දුම්කොළ සහිත බුලත් විට අලෙවි කිරීමද සපුරා තහනම් නමුත් එම නීතිය තවමත් හරිහැටි ක්‍රියාත්මක නොවනවන බව වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා කියා සිටියා.

නමුත් ඉදිරියේදී මේ නීති ප්‍රකාරව දැඩිව කටයුතු කිරීමට තීරණය කර ඇතැයි ඔහු අවධාරණය කළා.

මේ අතර දුම්කොල සහිත බුලත් විට සැපීම ඇතිවන මුඛ පිළිකා නිසා ශ්‍රී ලංකාවේ ශ්‍රම හමුදාවෙන් තිදෙනෙක් (03) දිනකට අහිමිවන බව එනම් මරණයට පත්වන බවද ඔහු අනාවරණ කලා ෴

*********************************************

පාලම අබලන්වීමෙන් බලපිටිය, මදුවේ ජනතාව දැඩි අසීරුතාවයක

(24.08.2020 – 13:41 +0530 – hirunews.lk/sinhala)

බලපිටිය – මාදුගඟ දූපත් රැසකින් සමන්විත වන අතර ඉන් විශාලතම දූපත වන්නේ හෙක්ටයාර 39 ක පමණ වපසරියකින් සමන්විත මාදූව දූපතයි.

මෙම දූපතේ පවුල් 250 ක් පමණ මෙහි පදිංචිව සිටින අතර ලියාපදිංචි ඡන්ද දායකින් සංඛ්‍යාව 482 ක්.

නමුත් වසරින් වසර දූපතේ ජීවත් වන සංඛ්‍යාව අඩුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන්නේ ගමනාගමන කටයුතු දැඩි ලෙස අකර්මන්‍යවීම හේතුවෙන්.

ගොඩබිම සහ දූපත යාකෙරෙන පාලම 1994 වසරේ ඉදි කරන ලද්දක් වුවද එහි නඩත්තු කටයුතු නිසි ලෙස ඉටු නොවීම හේතුවෙන් අද වනවිට ඊට අත්ව ඇති ඉරණමයි මේ.

අවස්ථා කිහිපයකදී ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ ඡන්ද ගුණ්ඩුවක් බවට පත්වූ මෙම පාලමේ නවීකරණ කටයුතු සඳහා ගෙනැවිත් දමා ඇති කොටස් පාලම අසළ අතහැර දමා ඇත්තේ මෙලෙසින්.

හදිසි අවස්ථාවකදී ගැබිණි මාතාවන් මෙන්ම වෙනත් රෝගී තත්ත්වයන්ට පත්වන පිරිස් අබලන් පාලම හේතුවෙන් පත්ව තිබෙන්නේ දැඩි අනාරක්ෂිත තත්ත්වයකටයි.

ප්‍රදේශවාසීන්ගේ දෛනික ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල කරන මෙම පාලමේ පිළිසකර කිරීම් කඩිනමින් ඉටුකර දී මාදූව දූපත ජනතාවගෙන් හුදෙකලාවීම වැළැක්වීමට බලධාරීන් පියවර ගන්නේ කවදාද? ‘රතු මිනිත්තුව’ ඒ පිළිබඳ අවධානයෙන්.

*********************************************

අස්වැන්න සඳහා නිසි මිලක් නොලැබීමෙන් අසරණ වී සිටින ගොරකා වගාකරුවන්

(24.08.2020 – 13:44 +0530 – hirunews.lk/sinhala)

වසර ගණනාවක සිට ගොරකා අස්වැන්න සඳහා නිසි මිලක් නොමැතිවීමෙන් මෙරට ගොරකා වගාකරුවන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටිනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ රජය මැදිහත්වී සිය අස්වැන්න සඳහා නිසි මිලක් ලබා දෙන ලෙසයි.

Garcinia gummi-gutta යන විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන ගොරකා මිනිස් ශරීරයට වැළඳෙන රෝගාබාධ රැසක් සුව කිරීමේ බලයක් ඇති හෙළ ඔසුවක් මෙන්ම මෙරට ආහාර සුරක්ෂිතතාව සඳහා ඈත අතීතයේ සිට යොදා ගන්නා මුළුතැන්ගෙයි නැතුවම බැරි අංගයක්.

නමුත් අද වනවිට සිය අස්වැන්න සඳහා නිසි මිලක් නොලැබීමෙන් මෙරට ගොරකා වගාකරුවන් පත්ව සිටින්නේ දැඩි අසරණ තත්ත්වයකයි.

මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත, මඩවල, නාවුල, ගොහොලංවල, දීවිල්ල, පල්ලේපොළ, රත්තොට, උකුවෙල ආදී ප්‍රදේශ රැසක ප්‍රධාන බෝගයක් ලෙස ගොරකා වගාව සිදු කෙරෙනවා.

මේ දිනවල ගොරකා වගාවේ අස්වැන්න නෙලීම ආරම්භවී ඇතත් සිය මහන්සියේ තරමට ප්‍රතිඵළ නොලැබීමෙන් ගොරකා වගාකරුවන් පත්ව සිටින්නේ දැඩි අසරණ තත්ත්වයකටයි.

වියළි ගොරකා කිලෝග්‍රෑමයක් සකස් කර ගැනීමට අමු ගොරකා කිලෝ ග්‍රෑම් 8 ක ප්‍රමාණයක් අවශ්‍ය වන අතර ඒ සඳහා දැඩි මූල්‍යමය බරපැනක් මෙන්ම ශ්‍රම ශක්තියද අනූනව සැපයීමට අවශ්‍යයි.

එලෙස ලබා ගන්නා ගොරකා අස්වැන්න අඩු මිලට විකිණීමෙන් තමන්ට විශාල අලාභයක් සිදුවන බව පවසන ගොවීන් යටවත්ත සහ දීවිල්ල ප්‍රදේශවල ගොරකා අස්වැන්න නෙළීම අතහැර දමා ඇති අයුරුයි මේ.

සිය ගැටළුව හඳුනාගෙන කඩිනමින් නිසි විසඳුම් ලබා දී ගොරකා වගාවේ අනාගතය සුරක්ෂිත කර දෙන ලෙස ගොවීන් රජයෙන් ඉල්ලා සිටිනවා.

*********************************************

දරුවෙකු අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට නර්තන ගුරුවරයෙකු අත්අඩංගුවට

(24.08.2020 – 15:10 +0530 – hirunews.lk/sinhala)

17 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කළ බස්නාහිර පළාතේ නර්තන ගුරුවරයෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

42 හැවිරිදි මොහු 2019 වසරේ පැවති වෙස් මංගල්‍යයක පුහුණුවීම් අතරතුර මෙම දරුවා ඔහුගේ මෝටර් රථයේ නංවාගෙන ගොස් කිසියම් මත්ද්‍රව්‍යයක් මිශ්‍ර පානයක් බීමට සලස්වා මෙලෙස අපයෝජනයට ලක් කර ඇති බව සඳහන්.

එමෙන්ම, එම සිද්ධියට පෙර සැකකරු තවත් බාල වයස්කාර ළමයින් 3 දෙනෙකු විදෙස් සංචාරයක් සඳහා රැගෙන ගිය අවස්ථාවේදී ද එක් දරුවෙකු අපයෝජනයට ලක් කිරීමට උත්සාහ කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

තවද, සැකකාර නර්තන ගුරුවරයා මීට පෙර බාල වයස්කාර පිරිමි ළමයින් දෙදෙනෙකු යොදවා අන්තර්ජාලය හරහා දැරියක් අපහසුතාවයට පත් කිරීමට ද සම්බන්ධ වී ඇති බව හෙළි වී තිබෙනවා.

මීට පෙර ද පාසල් සිසුන් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පන්නිපිටිය – දෙපානම ප්‍රදේශයේ පදිංචි උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනුණු අතර, ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

එම සැකකරු විසින් එලෙස අපයෝජනයට ලක් කරන අවස්ථාවේ ගත් ඡායාරූප සහ නිර්මාණය කරන ලද වීඩියෝපට 100 කට ආසන්න ප්‍රමාණයක් ද පසුව සොයා ගැනුණා ෴

*********************************************

රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 19 ක් හමුවෙයි

(24.08.2020 – 15:18 +0530 – hirunews.lk/sinhala)

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ ආරක්ෂිතව සඟවා තිබූ ජංගම දුරකථන 19 ක් අද (24) සිදුකළ විශේෂ සෝදිසියකදී සොයාගෙන තිබෙනවා.

බන්ධනාගාර මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළේ නේවාසිකයන් රඳවන අංශයක් අසළ වළක් හාරා ඒ තුළ මෙම ජංගම දුරකථන සඟවා තිබූ බවයි ෴

*********************************************

දුම්බීම හේතුවෙන් සුළු මානසික ආබාධ උග්‍ර වෙයි

(24.08.2020 – 15:51 +0530 – hirunews.lk/sinhala)

දුම්බීම හේතුවෙන් මාරක පිළිකා රෝගවලට අමතරව ප්‍රබල මානසික රෝගයන් ද ඇතිවන බව අනාවරණ වී තිබෙනවා.

මත්ද්‍රව්‍ය, දුම්වැටි සහ මධ්‍යසාර නිවාරණය සඳහා නව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමේ පුහුණු වැඩසටහනක් අමතමින් විශේෂඥ මනෝ වෛද්‍ය අමිල ඉසුරු මහතා මේ බව ප්‍රකාශ කළා.

එසේම පවතින සුළු මානසික රෝග ලක්ෂණ වැඩි කිරීමටද දුම්බීම හේතුවක් වන බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

එමෙන්ම මේ වනවිට දුම්බීම ප්‍රවර්ධනය කරන ප්‍රකාශන පිටු මිලියන 70 ක් මේ වන විටත් දුම්වැටි සමාගම් විසින් සමාජ ගත කර ඇති බවයි එහිදී වැඩිදුරටත් අනාවරණ වුයේ.

මේ අතර ඇමරිකාවේ සම්පූර්ණ දුම්වැටි නිෂ්පාදනයෙන් 50% ක් ම භාවිත කර ඇත්තේ මානසික රෝග සහිත පුද්ගලයන් විසින් බවද නවතම පර්යේෂණ වාර්තා අනාවරණය කර තිබෙනවා.

එම පර්යේෂණ හරහා වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ සුළු මානසික ආබාධවල සිට දරුණු ගණයේ මානසික රෝග ඇතිවීම දක්වාම දුම්බීම හේතු වන බවයි.

දුම්බීමට ඇබ්බැහි වූවන් එම පුරුද්ද නිසා දැඩි කායික හා මානසික අපහසුතා වලින් පෙලෙමින් සිටින බව සිය දරුවන්ට වටහාදීම දෙමාපියන්ගේ වගකීම බවද වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ මනෝ වෛද්‍ය අමිල ඉසුරු මහතා ප්‍රකාශ කලා ෴

*********************************************

යෝෂිත – සජීව‌ගෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලයි

(24.08.2020 – 17:26 +0530 – hirunews.lk/sinhala)

යෝෂිත රාජපක්ෂ මහතා විසින් පරිසරවේදී සජීව චාමිකර මහතා ගෙන් මිලියන 500 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබෙනවා.

ඒ 2020.08.19 වන දින පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සිංහරාජ වනාන්තරය තුළ යොෂිත රාජපක්ෂ මහතාට අයත් හෝටලයක් ඇති බවත්, සිංහරාජය හරහා මාර්ගයක් ඉදි කරනු ලබන්නේ ඊට ළඟාවන මාර්ගයට සම්බන්ධ කිරීමට බවටත් කළ ප්‍රකාශය සම්බන්ධයෙන්.

එම ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව ප්‍රකාශ කරන යෝජිත රාජපක්ෂ මහතා එය පදනම් විරහිත චෝදනාවක් බව ප්‍රකාශ කරමින් සිය නීතිඥයින් මාර්ගයෙන් පරිසරවේදී සජීව චාමිකර මහතා වෙත මෙලෙස එන්තරවාසියක් යවා තිබෙනවා.

එහි සඳහන් කරුණු පහතින් :

  1. මෙම ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවක් නොමැති බව පිළිගනිමින් තමා‌ගෙන් සමාව ගැනීම
  2. මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය හා වෙබ් මාධ්‍යයන්හි මෙම අසත්‍ය පුවත පළ කර ඇත්නම් එය ඉන් ඉවත් කරන ලෙස අදාළ ආයතන හෝ පාර්ශවයන් දැනුම්වත් කිරීම හා අදාළ පුවත ඉවත් කිරීමට කටයුතු කිරීම
  3. අදාළ ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව මාධ්‍ය නිවේදනයක් මඟින් මාධ්‍ය වෙත දැනුම්වත් කිරීම
  4. යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නැවත පදනම් විරහිත චෝදනා සිදු නොකරන බවට ප්‍රකාශ කිරීම
  5. දින 07 ත් ඇතුළත රුපියල් කෝටි 50 ක මුදලක් වන්දි වශයෙන් ලබාදීම

*********************************************

බඹර ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයෙකුගේ නාසයෙන් බඹරුන් 11 ක් ඉවත්කෙරේ

(24.08.2020 – 18:20 +0530 – hirunews.lk/sinhala)

බඹර ප්‍රහාරයකින් පසු රෝහල්ගතකළ පුද්ගලයෙකුගේ නාසයෙන් ඹබරුන් 11 දෙනෙකු ඉවතට ගත් පුවතක් බදුල්ල මහ රෝහලෙන් වර්තාවනවා.

අදාළ පුද්ගලයා අද (24) සවස ගලඋඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙලෙස වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත මාරුකර ඒවා ඇති බවයි වාර්තාවන්නේ.

මෙලෙස බඹර ප්‍රහාරයකට ලක්ව ඇත්තේ වයස අවුරුදු 70 ක පමණ පුද්ගලයෙකු බවයි සඳහන් වන්නේ.

වෛද්‍යවරුන් තිදෙනෙකු (3) හා හෙදියන් හයදෙනෙකු (6) එක්ව පැය දෙකකට (2) ආසන්න කාලයක් ඔහුගේ ශරීරය පුරා තිබු විෂ තුඩ දහස් ගණනක් ඉවත්කිරීමට සමත්ව තිබෙනවා.

ඔහු ගලඋඩ ප්‍රදේශයේ හාතාවාරිය කොළ කැඩීම සදහා කැලෑවකට ගිය අවස්ථාවේදි බඹර වදයක් ඇවිස්සීමෙන් මෙලෙස ප්‍රහාරයකට ලක්ව ඇති බවයි වාර්තාවන්නේ.

*********************************************

මත් කුඩු නොමැතිවීමෙන් බන්ධනාගාර රැඳවියන් තිදෙනෙකු සියදිවි හානි කර ගනී

(24.08.2020 – 19:57 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීමත් සමඟ පසුගිය සතිය තුළ දී රැඳවියන් 3 දෙනෙකු මත්ද්‍රව්‍ය නොමැතිවීම නිසා සිය දිවි හානි කරගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා ප්‍රකාශ කළා.

බන්ධනාගාර මූලස්ථානයේ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ ආරක්ෂිතව සඟවා තිබූ ජංගම දුරකථන 19 ක් ද අද කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සොයා ගත් බවයි.

මේ අතර, කොළඹ බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදවීමට අද (24) සිට ක්‍රියාත්මක බවයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ.

දඹුල්ල, ඉනාමලුව පිහිටි යුද හමුදාවේ 53 වන සේනාංගකයේ 25 වන සංවත්සර උත්සවයට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *