අම්පාර – ඉඟිනියාගල දී සිව් (4) හැවිරිදි දැරියක් පැහැර ගනී

අම්පාර – ඉඟිනියාගල දී සිව් (4) හැවිරිදි දැරියක් පැහැර ගනී

බාල වයස්කාර දැරියක් අපයෝජන කළ අයෙක් සහ එයට ආධාර අනුබල දුන් මව රක්ෂිත බන්ධනාගාරයට

‘පාදාගොඩ බුසියා’ අත්අඩංගුවට

ගල්කිස්ස මුහුදේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු (2) දියේ ගිලී අතුරුදන්

125 වන දහම් පාසල් දින ජාතික සැමරුම් උත්සවය අගමැති සහභාගීත්වයන් වීරකැටියේ දී

මන්ත්‍රී හරීන් කළ ප්‍රකාශයකට ඇමති විමල්ගෙන් පිළිතුරු

උම්බලකඩ ආනයනය නිසා දේශීය උම්බලකඩ නිශ්පාදනය කඩා වැටී ඇති බවට මැසිවිලි

කහ කුඩුවල, පිළිකා කාරක ඇත්දැයි සොයන්න පරීක්ෂණ

වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල ආරක්ෂාවට අද (24) සිට STF

කුරුණෑගල පුරපති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම හෙට (25) දක්වා කල් යයි

අපරික්ෂාකාරී ලෙස පාර මාරු වූ දැරියක් අනතුරට ලක්වූ ආකාරය ආරක්‍ෂිත කැමරාවක සටහන් වෙයි

ඇහැලියගොඩ නගරයේ කඩ කාමර දෙකක (2) ගින්නක්

දෙවරක්ම සිය දිවි නසා ගන්න තැත් කළ, පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ තරුණයා

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අල්ලන නීති සංශෝධනයට

*********************************************

අම්පාර – ඉඟිනියාගල දී සිව් (4) හැවිරිදි දැරියක් පැහැර ගනී

(23.08.2020 – 19:52 +0530 – hirunews.lk/sinhala)

අම්පාර – ඉඟිනියාගල ධීවර ගම්මානයේ නිවසක රැදී සිටි අවුරුදු 4 ක කුඩා දැරියක් පැහැර ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (22) රාත්‍රී දැරිය තම මව සමග කාමරයේ නිදා සිටියදීයි සැකකරු විසින් මෙලෙස පැහැරගෙන ඇත්තේ. එහිදී මව දැරිය නොමැති බව දැනුම්දීමත් සමඟ ප්‍රදේශවාසීන්, දරුවා සෙවීම ආරම්භ කර තිබුණා.

පසුව පොලිසිය මේ පිළිබදව විමර්ශන සිදුකර ඇති අතර, කුඩා දැරියක් මාර්ගයේ සැක සහිත අයුරින් ගමන් කරන ආකාරය සිවිල් ආරක්ෂක නිලධාරියෙකු දැක ඒ පිළිබදව විමසිලිමත්ව තිබෙනවා.

අනතුරුව තවත් පුද්ගලයෙකු සැකකටයුතු ලෙස දරුවා ආසන්නයේ රැදී සිට ඇති අතර එම අවස්ථාවේදී ඔහු සිවිල් ආරක්ෂක බලකා නිලධාරියාට ප්‍රකාශ කර ඇත්තේ දැරිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී තමන්ට හමුවු බවයි.

ඒ අනුව වහාම දරුවා තම යතුරුපැදිය නංවාගත් සිවිල් ආරක්ෂක බලකා උපනියාමකවරයා දරුවා නිවසට භාරදීම සඳහා තමන්ට සහාය වන ලෙසට ඉල්ලීමක් කර ඇති අතර, මුලින් අකමැත්ත පලකල ද පසුව අදාල සැක කටයුතු පුද්ගලයා ද යතුරුපැදියක නැග තිබෙනවා.

ඒ අනුව දැරිය නිවසට භාරදීමට ගිය අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට ඉඟිනියාගල පොලිසිය කටයුතු කළ අතර, එලෙස අත්අඩංගුවට පත්වුණේ ඉගිනියාගල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක්.

*********************************************

බාල වයස්කාර දැරියක් අපයෝජන කළ අයෙක් සහ එයට ආධාර අනුබල දුන් මව රක්ෂිත බන්ධනාගාරයට

(23.08.2020 – 18:43 +0530 – hirunews.lk/sinhala)

බාල වයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු සහ එම අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් දැරියගේ මව ද රක්ෂිත බන්ධනාගාර කළ පුවතක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සැකකරු සහ දැරියගේ මව ලබන සැප්තැම්බර් 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඉමදුව, කෝඹල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක් සහ ඉමදුව, වල්පල පාර ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තිදරු මවක්.

මෙලෙස අපයෝජනය ලක්ව ඇත්තේ අවුරුදු 15, 10 සහ 06 යන වයස් කාණ්ඩවල පසුවන එකම පවුලේ දැරියන් තිදෙනෙකුගෙන් වැඩිමල් දැරියයි.

අතවරයට ලක්වූ දැරිය සහ ඇයගේ නැගණියන් දෙදෙනාද (2) පරිවාස භාරයේ ළමා නිවාස ගතකිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළ බවයි අප වාර්තාකරු පැවසුවේ ෴

*********************************************

‘පාදාගොඩ බුසියා’ අත්අඩංගුවට

(23.08.2020 – 18:53 +0530 – hirunews.lk/sinhala)

‘මාකඳුරේ මදුෂ්’ගේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘පාදාගොඩ බුසියා’ නැමති පුද්ගලයා හෙරොයින් ග්‍රෑම් 20 ක් සහ ජංගම දුරකථන 04 ක් සමඟ අලුත්ගම – පාදාගොඩ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

එමෙන්ම, අලුත්ගම සිට අධිවේගී මාර්ගයේ මත්කුඩු රැගෙන යන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී තරුණයින් දෙදෙනෙකු (2) හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් වයස අවුරුදු 22 ත්, 24 ත් වන අතර සැකකරුවන් සතුව තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 15 ක් සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර, ගංජා සහ මත්කුඩු අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව ප්‍රදේශයේ පොලීසිය ක්‍රියාත්මක නොවන බවට පවසමින් මැදිරිගිරිය – නව නගරයේ බිසෝපුර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් යාය 4 ප්‍රදේශවාසීන් අද (23) දහවල් විරෝධතාවක නිරත වුණා.

මීට අමතරව හම්බන්තොට – සොමිසෙතගම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී ගිනි අවි දෙකක් (2), ජීව පතොරොම් 13 ක් සහ තවත් ගිනි අවියක කොටස් සමගින් නිවෙසහි හිමිකරු අද (23) අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම, පාතාල කල්ලි වෙඩික්කරුවෙකු ලෙස සැළකෙන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා සහ තවත් තුන්දෙනෙකු (3) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අද (23) අලුයම අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන් ඩුබායි බලා යාම සඳහායි කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ ඇත්තේ.

*********************************************

ගල්කිස්ස මුහුදේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු (2) දියේ ගිලී අතුරුදන්

(23.08.2020 – 20:30 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස මුහුදේ දිය නෑමට ගිය, තරුණයින් 07 දෙනෙකුගෙන් නුවරඑළිය පූඩළුඔය ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු (2) දියේ ගිලී අතුරුදන් වී ඇති බව පොලීසිය පවසනවා ෴

*********************************************

125 වන දහම් පාසල් දින ජාතික සැමරුම් උත්සවය අගමැති සහභාගීත්වයන් වීරකැටියේ දී

(23.08.2020 – 20:38 +0530 – hirunews.lk/sinhala)

125 වන දහම් පාසල් දින ජාතික සැමරුම් උත්සවය වීරකැටිය කසාගල රජමහ විහාරස්ථානයේ දී අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයන් අද (23) පැවැත්වුණා.

එහිදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ දරුවන්ට දහම් පාසල් අධ්‍යාපනය ලබාදීම සඳහා රජයක් ලෙස මැදිහත් වන බවයි.

මේ අතර, සියලුම ජාති, ආගම්වලට සම සේ සලකන අතරතුර බුදු දහමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ස්ථානය ආරක්ෂා කිරීමට කැපවී කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

වයඹ පළාත් සඟ සමුළුවට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

*********************************************

මන්ත්‍රී හරීන් කළ ප්‍රකාශයකට ඇමති විමල්ගෙන් පිළිතුරු

(23.08.2020 – 20:51 +0530 – hirunews.lk/sinhala)

උතුරු හා නැගෙනහිර ජනතාව ජාතිවාදී හා අන්තවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කර ඇති බව මෙවර මැතිවරණ ප්‍රතිඵලයෙන් තහවුරු වන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හෝමාගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.

මේ අතර නව පාර්ලිමේන්තුවේ මංගල සැසියට සහභාගි වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණි ආකාරය විවේචනය කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා මෙහිදී අදහස් පළ කළා.

*********************************************

උම්බලකඩ ආනයනය නිසා දේශීය උම්බලකඩ නිශ්පාදනය කඩා වැටී ඇති බවට මැසිවිලි

(23.08.2020 – 20:59 +0530 – hirunews.lk/sinhala)

විදෙස් රටවලින් ආනයනය කරණු ලබන උම්බලකඩ හේතුවෙන් දේශීය උම්බලකඩ නිශ්පාදනය කඩා වැටී ඇති බව උම්බලකඩ නිශ්පාදකයින් මැසිවිලි නගනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ මේ සඳහා රජය මැදිහත්ව විසඳුමක් ලබා දෙන ලෙසයි.

මෙරට දකුණු මුහුදු තීරයේ කුඩාවැල්ල, කෝට්ටගොඩ, දෙවුන්දර, ගන්දර ප්‍රදේශවාසීන් දේශීය උම්බලකඩ නිෂ්පාදනයට විශාල කොටසක් සපයනවා.

විදේශ රටවලින් මෙරටට උම්බලකඩ ආනයනය කිරීම නිසා දේශීය උම්බලකඩ නිෂ්පාදනය වැඩිවන කාලයන්දීද එම නිෂ්පාදන විකුණාගත නොහැකි වී ඇතැයි උම්බලකඩ නිෂ්පාදකයින් මැසිවිලි නඟනවා.

ඇතැමුන් තොග වශයෙන් උම්බලකඩ මිලදී ගැනීමේදී ණයට උම්බලකඩ මිලදීගෙන මුදල් නොගෙවීම නිසා හා අතරමැදියන්ට හසු වීම නිසා ඔවුන් දැඩි පීඩාවට පත්ව තිබෙනවා.

කෙසේ නමුත් බැංකු ණය පවා ලබාගෙන මෙම ව්‍යාපාර සඳහා ආයෝජනය කළත් එම ණය මුදල් ගෙවීමට පවා නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි ඔවුන් පවසන්නේ.

මේ නිසා උම්බලකඩ නිෂ්පාදකයන් ඉල්ලා සිටින්නේ සහතික මිලක් යටතේ රජය විසින් තම නිෂ්පාදන මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කර දෙන ලෙසයි.

*********************************************

කහ කුඩුවල, පිළිකා කාරක ඇත්දැයි සොයන්න පරීක්ෂණ

(24.08.2020 – 08:25 +0530 – hirunews.lk/sinhala)

වෙළදපොළේ අලෙවියට ඇති කහ කුඩු පරිභෝජනයට නුසුදුසු ලෙස යළි සකසා ඇති බවට අනාවරණ වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි කහ කුඩු සාම්පල ලබාගෙන පරීක්ෂාවට ලක් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පසුගිය දා පියවර ගෙන තිබුණා.

ඒවායේ පරීක්ෂණ වාර්තා මේ වන විට ලැබී ඇති අතර, කහකුඩුවලට හාල්පිටි, පාන් පිටි, කහ පරිප්පු සහ කඩල පරිප්පු මෙන්ම විවිධ වර්ණක යොදා ඇති බවට එමගින් අනාවරණ වී ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ.

කහකුඩුවල පැහැය ලබා ගැනීමට එක් කරන වර්ණකයන් හි හෝ ඊට එක් කරන රසායනික ද්‍රව්‍යවල මිනිස් සිරුරට අහිතකර සංඝටක හෝ පිළිකා කාරක අඩංගු දැයි සොයා බැලීම සම්බන්ධයෙන් ද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අවධානය යොමුව තිබෙනවා.

පරිභෝජනයට නුසුදුසු ලෙස කහ කුඩු යළි සකසා අලෙවි කළ බවට තහවුරු වූ ව්‍යාපාරිකයන්ට එරෙහිව අදාළ මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පැවරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ ෴

*********************************************

වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල ආරක්ෂාවට අද (24) සිට STF

(24.08.2020 – 09:16 +0530 – hirunews.lk/sinhala)

කොළඹ බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අද (24) සිට යෙදවීමට තීරණය වී තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ වැලිකඩ, කොළඹ රිමාන්ඞ් සහ මැගසින් යන බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සඳහා මෙලෙස පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යොදවන බවයි.

මෙහිදී බන්ධනාගාර රැඳවියන් හමුවීමට පැමිණෙන ඔවුන්ගේ ඥාතීන් මෙන්ම භාණ්ඩ පරීක්ෂා කිරීමටද විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මැදිහත්වන බවයි කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ෴

*********************************************

කුරුණෑගල පුරපති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම හෙට (25) දක්වා කල් යයි

(24.08.2020 – 10:20 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස් දෙනෙකු (5) අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වලක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද නැද්ද යන තීන්දුව ප්‍රකාශ කිරීම හෙට (25) දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළා. මෙම තීරණය අද (24) ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව තිබුණේ.

එහෙත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණාගෙන් සමන්විත අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ මෙම තීන්දුව සූදානම් කර ගැනීමට නොහැකි වීම නිසා එය ප්‍රකාශ කිරීම හෙට (25) පෙරවරු 9 ට සිදුකරන බවයි.

එතෙක් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පෙත්සම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක නොකරන ලෙස මීට පෙර අභියාචනාධිකරණය නිකුත් කළ නියෝගය හෙට (25) දක්වා බලපැවැත්වෙන බවද විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළා.

පෙත්සම ඉදිරිපත් කළ කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිස අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේ කඩා ඉවත් කළ බව කියන ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක ස්මාරකයක් වශයෙන් පුරාවිද්‍යා පනත යටතේ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කර නොමැති බවයි.

එම වාතාවරණය මත නීතිපතිවරයාගේ උපදෙස් මත පොලිසිය විසින් තමන්ට එරෙහිව පුරාවිද්‍යා පනත යටතේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා ගැනීමේ ක්‍රියාදාමය නීතිමය වශයෙන් දෝෂ සහිත බවයි ඔවුන් කියා සිටියේ.

එබැවින් තමන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව නීතිමය වශයෙන් බල ශුන්‍ය නියෝගයක් යැයි පෙන්වාදෙන පෙත්සම්කරුවන් එය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද අභියාචනාධිකරයෙන් ඉල්ලා සිටියා.

ඊට අමතරව පෙත්සම් විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වැලැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි ඔවුන් සිය පෙත්සම්වලින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ෴

*********************************************

අපරික්ෂාකාරී ලෙස පාර මාරු වූ දැරියක් අනතුරට ලක්වූ ආකාරය ආරක්‍ෂිත කැමරාවක සටහන් වෙයි

(24.08.2020 – 10:38 +0530 – hirunews.lk/sinhala)

බගවන්තලාව නගරයේදී, අපරික්ෂාකාරී ලෙස මාර්ගය හරහා මරුවීමට උත්සහ කළ පාසල් දැරියක් ත්‍රිරෝද රථයක ගැටී තුවාල ලබා තිබෙනවා.

එම දැරිය ඇගේ මිතුරන් කිහිප දෙනෙකු සමග පැමිණ එකවරම ප්‍රධාන මාර්ගය හරහා යාමට උත්සහ කිරීමේදී බගවන්තලාව තැපැල් කාර්යාලය දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයකයි මෙලෙස ගැටීඇත්තේ.

අනතුරුලෙන් තුවාල ලැබූ පාසල් දැරිය බගවන්තලාව රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

අනතුර සිදුවන ආකාරය අසළ පිහිටි වෙළදසැලක ආරක්‍ෂිත කැමරාවක සටහන්ව තිබුණා.

*********************************************

ඇහැලියගොඩ නගරයේ කඩ කාමර දෙකක (2) ගින්නක්

(24.08.2020 – 11:04 +0530 – hirunews.lk/sinhala)

ඇහැලියගොඩ නගරයේ කඩකාමර දෙකක (2) අද (24) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නැහැ.

මෙලෙස ගිනිගෙන විනාශ වී ඇත්තේ යතුරුපැදි අමතර කොටස් අලෙවි කරන කඩ කාමරයක් සහ සපත්තු මෙන්ම බෑග් අලෙවිකරන ස්ථානයක් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

*********************************************

දෙවරක්ම සිය දිවි නසා ගන්න තැත් කළ, පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ තරුණයා

(24.08.2020 – 11:58 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ (2) ආරක්ෂාව යටතේ හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සිරකරුවෙකු සිය ගෙල කපා ගෙන සිය දිවි හානි කරගැනීමට තැත් කර තිබෙනවා.

එහිදී අසාද්‍ය වූ සැකකරුවා හලාවත මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරීමට කටයුතු කළ බවයි බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ.

ඊයේ (24) පෙරවරුවේ මේ සිදුවීම වී ඇත්තේ හලාවත මහා රෝහලේ 18 වෙනි වාට්ටුවේ වැසිකිලියක් තුළදීයි.

මෙලෙස සියදිවි හානි කර ගැනීමට උත්සහ කර ඇත්තේ මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිය දිවි හානි කර ගැනීමට උත්සහ දරා ඇත්තේ පසුගිය සෙනසුරාදා (22) ගල්මුරුව ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර වස පානය කිරීමෙන් අනතුරුව රෝහල් ගත කළ පුද්ගලයා බව සඳහන්.

අදාල සැකකාර පුද්ගලයා හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව යටතේ හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි බවයි එම නිලධාරීන් කියා සිටියේ.

අනතුරුව ඊයේ (23) පෙරවරුවේ සැකකරු විසින් තමන්ට වැසිකිළි යාමට අවශ්‍ය බව පැවසු බවත් පසුව බන්ධනාගාර නිලධාරීන් මාංචු සහිතව සැකකරු වැසිකිළියට රැගෙන ගිය බව සඳහන්.

එහිදී සැකකරු එකවරම වැසිකිළියේ දොර වසා සිය ගෙල කපා ගෙන තිබෙනවා.

මෙහිදී වහා ක්‍රියාත්මක වූ බන්ධනාගාර නිලධාරීන් වහා සැකකරු හලාවත මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කකිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

හලාවත පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴

*********************************************

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අල්ලන නීති සංශෝධනයට

(24.08.2020 – 12:55 +0530 – hirunews.lk/sinhala)

යුද හමුදා සැරයන්වරයෙකුට අයත් වේයන්ගොඩ – කුඹල්ඔළුව ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී ටී 56 මැගසිනයක්, උණ්ඩ 30 ක්, නිල ඇඳුම් කට්ටල තුනක් සහ කඩුවක් සොයාගෙන තිබෙනවා.

වේයන්ගොඩ පොලිසියට ලද තොරතුරක් මත ඊයේ (23) සිදුකළ වැටලීමකදි මෙම සොයාගැනීම සිදුකර ඇති අතර, නිවසේ හිමිකරු වන අදාළ යුද හමුදා සැරයන්වරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

ඔහු කොහුවල යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන සැරයන්වරයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

හෙරොයින් ග්‍රෑම් 100 ක් සමඟ පෑලියගොඩදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. මහරගම – පතිරගොඩ – වෙළපාරේදීද හෙරොයින් ග්‍රෑම් 27 ක් සමඟ මොහු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (23) පස්වරුවේයි.

40 හැවිරිදි සැකකරු මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එසේම හෙරොයින් සමඟ ඊයේ (23) තවත් පස්දෙනෙකු යාපනයේ කොකුවිල් සහ ඉලවාලි ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

එහිදී සැකකරුවන් ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 67 යි මිලිග්‍රෑම් 519 ක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඔට්ටුමඩම්, මාදගල්, කොකුවිල්, කෝපායි සහ පොම්මාවලි ප්‍රදේශවල පදිංචි අවුරුදු 21 ත් 38 ත් අතර වයස්වල පසුවන්නන්.

ගාල්ල බන්ධනාගාරයට දුම්කොළ පාර්සලයක් සහ ජංගම දුරකථන දෙකක් මෙන්ම චාජරයක් විසිකිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු ගාල්ල පොලීසිය ඊයේ (23) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල – අම්බලන්වත්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි එම පුද්ගලයා, මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් කිහිපවරක්ම බන්ධනාගාර ගතව සිට පැමිණ ඇති අයෙකු බවටයි වාර්තාවන්නේ.

ගාල්ල බන්ධනාගාරයට මෙලෙස විවිධ ද්‍රව්‍ය විසිකිරීමට උත්සාහ කළ කිහිපදෙනෙකු මීට පෙර ද ගාල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණා.

නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැල්ලම්පිටිය මහබුත්ගමුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී කේරළගංජා සහ මාවා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 44 ක් වූ අංගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරු ළඟ තිබී කේරළ ගංජා කිලෝ එකයි ග්‍රෑම් 950 ක් සහ මාවා කිලෝ එකයි ග්‍රෑම් 840 ක් එහිදී පොලිස් භාරයට ගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

එප්පාවල සහ අවට ප්‍රදේශවලට කේරළ ගංජා අලෙවි කරමින් සිටි යුද හමුදා කෝප්‍රල්වරයෙකු සහ තවත් පුද්ගලයෙකු රුපියල් ලක්ෂ තුනකට අධික ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට ගැනීමට එප්පාවල පොලීසිය සමත්වුණා.

එසේම ලද තොරතුරකට අනුව කොටදෙණියාව පොලිසිය විසින් සැකකටයුතු පාර්සලයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී ටී 56 ජීව උණ්ඩ 35 ක් සහ මැගසිනයක් හා මිලිමීටර 9 වර්ගයේ පිස්තෝල සඳහා භාවිත කරන උණ්ඩ 3 ක් හා අත්මාංචු කට්ටලයක් හමුවී තිබෙනවා.

මේ අතර බස්නාහිර පළාතේ පැය 24 ක් තුළ සිදුකළ විශේෂ වැටලීම්වලදී වරෙන්තුකරුවන් 477 දෙනෙකු ඇතුලු 1,141 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පළාතේ පොලිස් ස්ථාන 114 ක නිලධාරීන් යොදවා මෙම වැටලීම් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

එහිදී වරෙන්තුකරුවන් 477 දෙනෙකු, දූෂණ ක්‍රියා සඳහා සම්බන්ධ 465 දෙනෙකු සහ අපරාධ වැරදි සම්බන්ධයෙන් 98 දෙනෙකු මෙන්ම සැකපිට වෙනත් වැරදි සඳහා පුද්ගලයන් 101 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රිමාන්ඞ් සිරකරුවෙකු සිය ගෙළ තියුණු ආයුධයකින් කපාගැනීම හේතුවෙන් අසාධ්‍යව අද (24) පෙරවරුවේ හලාවත මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

මොහු පසුගිය 22 වනදා මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේදී 22 හැවිරිදි තරුණියකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබූ අතර පසුව එම පුද්ගලයා ද වස පානය කර තිබුණා.

ඉන් අනතුරුවයි සැකකරු ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කෙරුණේ.

මේ අතර කොළඹ බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදවීමට අද සිට ක්‍රියාත්මකයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ ඒ අනුව වැලිකඩ, කොළඹ රිමාන්ඞ් සහ මැගසින් යන බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සඳහා මෙලෙස පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදවෙන බවයි.

මෙහිදී බන්ධනාගාර රැඳවියන් හමුවීමට පැමිණෙන ඔවුන්ගේ ඥාතීන් මෙන්ම භාණ්ඩ පරීක්ෂා කිරීමටද විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මැදිහත්වන බවයි කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා, නව වැඩපිළිවෙලක් සකස් කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ බේරුවල ප්‍රදේශයේ ඊයේ (23) පැවති උත්සවයක් අතරතුර මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *