බීමට ජල බිඳක් ඉල්ලන දියමිත්ත ජනතාව

බීමට ජල බිඳක් ඉල්ලන දියමිත්ත ජනතාව

ක්‍රීඩා ඇමති ලෙස ඇති ප්‍රධානතම අභියෝගය ගැන නාමල් රාජපක්ෂ කියයි

ජනපති, මහාසංඝරත්නය බැහැදැක ආශීර්වාද ලබා ගනී

කහ ආනයන තහනම ඉවත් කර නොමැති බව වෙළඳ ඇමති කියයි

හම්බන්තොට නිවසක තිබී, මෙරට නිෂ්පාදිත ගිනි අවි සහ ජීව පතොරම් සොයාගනී

මල්පෝච්චි අළෙවි කරන මුවාවෙන් ගංජා ජාවාරමේ යෙදුණු දෙදෙනෙකු අත්අඩංගුවට

පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු ඇතුළු තුන් (3) දෙනෙකු අත්අඩංගුවට

නාස්තිය හා දූෂණයෙන් තොර කාර්යක්ෂම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අවශ්‍ය බව බැසිල් කියයි

සහරාන් මහනුවර මුරුතළාවේ ඉඩමක් නිරීක්ෂණය කළ හැටි කොමිසමේ දී හෙළි වෙයි

විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයට සරත් වීරසේකරගෙන් ප්‍රතිචාර

*********************************************

බීමට ජල බිඳක් ඉල්ලන දියමිත්ත ජනතාව

(23.08.2020 – 14:18 +0530 – hirunews.lk/sinhala)

ගම්මානයේ නම දියමිත්ත වුවද, බිමට ජල බිඳක් සොයා ගැනීම වෙනුවෙන් ගම්වාසීන්ට දරන්නට සිදුව ඇත්තේ අතිමහත් වෙහෙසක්.

මේ පිළිබඳ සොයා බැලීමට ‘හිරු ප්‍රවෘත්ති’ පසුගියදා දියමිත්ත ගම්මානයේ සංචාරය කළා.

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දියමිත්ත ගම්මානයේ දැනට පවුල් 50 කට ආසන්න ප්‍රමාණයක් ජීවත්වනවා.

පානීය ජලය ලබා ගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැති වීමෙන් ඔවුන් අද (23) පත්ව ඇත්තේ බොහෝ අසරණ තත්ත්වයකටයි.

ප්‍රජාමූල ජල ව්‍යාපෘතියක් මගින් ගමට ජලය රැගෙන තිබුණද එම ජල ව්‍යාපෘතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව ප්‍රදේශවාසීන් පවසනවා.

ගමට පානීය ජලය ලබා ගැනිමට තිබූ එකම ළිඳත් මේවන විට සිඳී ගොස් ඇති නිසා ජල අවශ්‍යතාව සපුරා ගැනීමට මසකට විශාල මුදලක් වැය කිරීමට මේ ජනතාවට සිදුව තිබෙනවා.

එලෙස ගෙවන්නට මුදල් නොමැති ජනතාවට සිදුව ඇත්තේ ගම්මානයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටා ඇති පෞද්ගලික ඉඩමක ඇති වළකින් ජලය ලබා ගැනීමටයි.

දියමිත්ත ජනතාව වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ බීමට ජල බිඳක් පමණයි.

*********************************************

ක්‍රීඩා ඇමති ලෙස ඇති ප්‍රධානතම අභියෝගය ගැන නාමල් රාජපක්ෂ කියයි

(23.08.2020 – 14:24 +0530 – hirunews.lk/sinhala)

ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන්ට ඇති ප්‍රධානතම අභියෝගය ක්‍රීඩා සංගම් සහ ක්‍රීඩකයන් සමගින් එක්ව මෙරට ක්‍රීඩාවේ වැරදුණු තැන් සොයා ගැනීම බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ හම්බන්තොටදී පැවති උත්සවයකින් අනතුරව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

*********************************************

ජනපති, මහාසංඝරත්නය බැහැදැක ආශීර්වාද ලබා ගනී

(23.08.2020 – 14:41 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානය වෙත ගොස් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍යය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් බැහැදැක ආශීර්වාද ලබාගෙන තිබෙනවා.

අනතුරුව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත ගිය ජනාධිපතිවරයා එහි පරිවේණාධිපති කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපුජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන් බැහැදැක සුවදුක් විමසා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහිදි උන්වහන්සේගේ ඉල්ලීම අනුව විද්‍යාලංකාර පිරිවෙනේ ඉදිකෙරෙමින් පවතින ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාව කඩිනමින් නිමකර දෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

එම පිරිවෙනේ වැඩ වාසය කරන සබරගමු විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය අතිපුජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමියන්ද බැහැදුටු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොට්ටාව රුක්මලේ ධර්මවිජයාලෝක විහාරස්ථානයට ඊයේ (22) පස්වරුවේ පැමිණියා.

එහිදි ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහාසංඝ සභාවේ මහානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති අතිපුජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

*********************************************

කහ ආනයන තහනම ඉවත් කර නොමැති බව වෙළඳ ඇමති කියයි

(23.08.2020 – 15:24 +0530 – hirunews.lk/sinhala)

කහ ආනයනය සඳහා තහනම ඉවත් කර ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අපනයන අවශ්‍යතා සඳහා කහ ආනයනය කරන මෙරට ව්‍යාපාරික අපනයනකරුවන් හා සමාගම්, කහ ආනයනය කිරීම සඳහා රජයෙන් පනවන ලද සීමා හේතුවෙන් මුහුණ පා ඇති ගැටළු පිළිබඳව තමා දැනුවත් කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඒ අනුව මෙරට සාමාන්‍ය වෙළදපොළේ අවශ්‍යතා සඳහා නොව අපනයන අවශ්‍යතා සඳහා පමණක් පිටරටින් කහ ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර එහි අනුමැතිය මත ඉදිරි පියවර ගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළා.

*********************************************

හම්බන්තොට නිවසක තිබී, මෙරට නිෂ්පාදිත ගිනි අවි සහ ජීව පතොරම් සොයාගනී

(23.08.2020 – 16:02 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට, සොමිසේතගම ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේදී, එම නිවසේ තිබී ගිනි අවි දෙකක් හා ජීව පතොරම් 13 ක් සොයාගෙන තිබෙනවා.

ඒ, අම්බලන්තොට පොලිස් විශේෂකාර්ය බලකායට ලද තොරතුරකට අනුව අද (23) දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදියි.

සිද්ධිය සම්බන්ධයෙන් නිවෙස් හිමියා අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර තිබෙන්නේ.

අදාළ ගිනි අවි දෙක බෝර 12 හා බෝර 16 පතොරම් දැමිය හැකි සේ මෙරට නිෂ්පාදනය කළ ඒවා බවට හඳුනා ගෙන ඇති අතර ඊට අමතරව තවත් සකස්කරමින් තිබූ ගිනි අවියක කොටස්ද පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු හම්බන්තොට මුලස්ථාන පොලීසිය වෙත භාරදී ඇති අතර පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් පවසන්නේ අත්අඩංගුවට ගත් සැකකරු පාතාල සාමාජිකයන් සමඟ යම් සම්බන්ධතාවයක් පවත්වා තිබේද යන්න සෙවීමට පරීක්ෂණ මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.

*********************************************

මල්පෝච්චි අළෙවි කරන මුවාවෙන් ගංජා ජාවාරමේ යෙදුණු දෙදෙනෙකු අත්අඩංගුවට

(23.08.2020 – 16:23 +0530 – hirunews.lk/sinhala)

කුඩා ලොරි රථයකින් මල්පෝච්චි අළෙවි කරන මුවාවෙන් කේරළ ගංජා ජාවාරමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු (2) අද කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර, අලුත්ගම සහ මතුගම ප්‍රදේශවල මල්පෝච්චි අළෙවි කරන මුවාවෙන් ඔවුන් කේරළ ගංජා අළෙවි කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ග්‍රෑම් 5 සහ 10 යන ලෙස කුඩා පැකට්වලට අසුරා මොවුන් උපකාරක පන්ති යන සිසුන්ට ගංජා අළෙවි කර තිබෙනවා.

ඔවුන් දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර, ලොරි රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා ඔහුගේ වයස අවුරුදු 4 හමාරක පමණ දරුවා ද ලොරි රථයේ තබාගෙන ගොස් ඇති බවට ද විමර්ශනවලදී අනාවරණ වී ඇති බව සඳහන් ෴

*********************************************

පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු ඇතුළු තුන් (3) දෙනෙකු අත්අඩංගුවට

(23.08.2020 – 17:33 +0530 – hirunews.lk/sinhala)

පාතාල කල්ලි නායක ‘කංජිපානි ඉම්රාන්’ගේ සහ ඩුබායි හි රැදී සිටින බවට පැවසෙන ‘ධර්මසිරි’ නැමති පාතාල කල්ලි ක්‍රියාකරුවෙකුගේ ගෝලයින් 3 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් විශේෂ අපරාධ ඒකකය සිදුකළ මෙහෙයුමකදී ‘කංජිපානි ඉම්රාන්’ගේ ගෝලයෙකු අද (23) අත්අඩංගුවට ගත්තේ පේරගස්හන්දිය, යටවත්ත ප්‍රදේශයේ ඔහුගේ නිවසේදියි.

33 හැවිරිදි මෙම සැකකරු ‘කොළඹගේ රෙක්සි කුමාර’ හෙවත් ‘බියගම රෙක්සි’ නමින් හඳුන්වන අයෙක්.

ඔහු ‘කංජිපානි ඉම්රාන්’ට අමතරව අපරාධ කල්ලි සාමාජික ‘කඩුවෙල ගොත අසංක’ගේ ගෝලයෙකු බවට ද අනාවරණ වී තිබෙනවා.

ඔහු සතුව තිබී හෙරොයින් සහ තියුණු ආයුධ 4 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම, රත්මලාන – බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී ‘ධර්මසිරි’ නැමති පාතාල කල්ලි සාමාජිකයාගේ ගෝලයන් දෙදෙනෙකු (2) හෙරොයින් සමඟ අත්අඩංගුවට ගනු ලැබුවේ ද ගල්කිස්ස කොට්ඨාශ විශේෂ යතුරුපැදි ඒකකය මගින් ෴

*********************************************

නාස්තිය හා දූෂණයෙන් තොර කාර්යක්ෂම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අවශ්‍ය බව බැසිල් කියයි

(23.08.2020 – 17:40 +0530 – hirunews.lk/sinhala)

නාස්තිය හා දූෂණය වළක්වා ඉහළ කාර්යක්ෂමතාවකින් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අවශ්‍ය බව ආර්ථික, පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ආයතනයක නායකත්වය වෙනස් වුවත් වැඩපිළිවෙල තිරසාරව ඉදිරියට පවත්වාගෙන යන ක්‍රමවේද වෙනසක් ගැන ද අවධානය යොමු කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය සහ ආර්ථික, පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම ඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ අරලියගහ මන්දිරයේ ඊයේ (22) පැවති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා.

එහිදී ගණකාධිකාරී සේවා සංගමය තම ක්ෂේත්‍රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

*********************************************

සහරාන් මහනුවර මුරුතළාවේ ඉඩමක් නිරීක්ෂණය කළ හැටි කොමිසමේ දී හෙළි වෙයි

(23.08.2020 – 16:27 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමට ඊයේ (22) වැඩම කළේ මහනුවර, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ පර්යේෂණ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමින් වහන්සේය.

උන්වහන්සේ කොමිසමට පැවසුවේ මහනුවර, මුරුතලාව නගරයට ආසන්නව පිහිටි රජයට අයත් ඉඩමක් 2014 වසරේ සැප්තැම්බර් 23 වන දා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබාගෙන එහි නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානය ඉදිකිරීමට 2014 නොවැම්බර් 9 වන දා වැඩ කටයුතු ආරම්භ කළ බවය.

කෙසේවෙතත් මෙම මධ්‍යස්ථානය අවට ඇති ඉඩම් මුස්ලිම් ජනතාවට අයත් බව පැවසූ ධම්මරතන හිමි ඒ අවට තවත් ඉඩම් මුදල් ගෙවා ලබාගෙන විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිදු කළ බවද පැවසූහ.

2016 ජුනි මස දිනකදී ප්‍රදේශයේ තරුණ පිරිසක් සමග තමන් වහන්සේ විහාරස්ථානයේ ධාතූ මන්දිරයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන අවස්ථාවේ දී මුස්ලිම් ජාතිකයින් 5 දෙනෙකු විහාරස්ථානය අසළ තිබූ ඉඩමක් නිරීක්ෂණය කරන ආකාරය තමන් දුටු බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

එම අවස්ථාවේදී විහාරස්ථානයේ සිටි කුඩා හිමිනමක් ජංගම දුරකථනයකින් අදාළ මුස්ලිම් ජාතිකයින් පිරිස ඡායාරූපයට නගා තිබූ අතර එහි තැඹිලි පැහැයට හුරු ඇඳුමක් හැඳ ජටාවකින් සැරසී සිටියේ සහරාන් හෂීම් බව ධම්මරතන හිමියන් කොමිසමට අනාවරණ කළහ.

මද වේලාවකින් සංඝාවාසය අසල දී අදාළ පිරිස සමග සිටි සහරාන් හෂීම් තමන් කාත්තන්කුඩියේ සිට පැමිණි බව සඳහන් කළ බවත් ඔහුට හොඳින් සිංහල කතා කිරීමට හැකියාව තිබුණු බවත් ධම්මරතන හිමි ප්‍රකාශ කළහ.

උන්වහන්සේ ප්‍රකාශ කළේ අදාළ මුස්ලිම් පිරිස නිරීක්ෂණය කළ ‘ඉඩම මිලදී ගැනීමට ඔබවහන්සේ විරුද්ධ වන්නේ දැයි’ එහිදී සහරාන් තමන් වහන්සේගෙන් විමසූ බවය.

ඊට තමන් විරුද්ධ බව ප්‍රකාශ කිරීමත් සමග සහරාන් ප්‍රකාශ කර තිබුණේ කිසිවිටෙක එහි පල්ලියක් ඉදි නොකරන බවත් එම ඉඩමේ “Centre” එකක් එනම් “මධ්‍යස්ථානයක්” ඉදි කරන බවත්ය.

එලෙස ඔවුන් අදාළ ඉඩමේ ඉදි කිරීමට නියමිත වන්නේ සමාජ සේවා මධ්‍යස්ථානයක් යැයි ඒ වන විට තමන් වහන්සේට හැඟී ගිය බවද ධම්මරතන හිමි ප්‍රකාශ කළහ.

එමෙන්ම සහරාන් හෂීම්ට ගම්පොල, අම්බුලුවාව සම්බන්ධයෙන් ද මනා අවබෝධයක් තිබූ බවත් ධම්මරතන හිමි පැවසූහ.

සර්ව ආගමික සුහදත්වයෙන් මෙම ස්ථානයේදීත් කටයුතු කළ යුතු බව පෙන්වා දුන් සහරාන් මෙම යෝජනාවට විරුද්ධ නොවන්නැයි තමන් වහන්සේගෙන් ඉල්ලා සිටි බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

කෙසේවෙතත් ඔවුන් පිටව ගිය පසු සහරාන් ඇතුලු පිරිස නිරීක්ෂණය කළ ඉඩම හිමි මුස්ලිම් ජාතිකයාගෙන් “ඔබ මෙය විකුණනවා දැයි” තමන් වහන්සේ විමසූ විට ඔහු ප්‍රකාශ කර තිබුණේ ඉඩම විකිණීමට තමන්ට කිසිදු අදහසක් නොමැති බවය.

ඉන්පසු නැවත දෙවන වරට සහරාන් 2017 මාර්තු මස දිනකදීත්, තුන්වන වරට 2017 වසරේ අගෝස්තු මාසයේ දීත් නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණ තිබූ බව ධම්මරතන හිමියන් පැවසූහ.

එම අවස්ථාවලදී පැමිණි සහරාන් ක්‍රිස්තියානි සහ බෞද්ධ ආගම්වල සංස්කෘතිකාංග පිළිබඳව සාකච්ඡා කළත් ඔහු සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට චෝදනා කර තිබුණේ මුස්ලිම් ප්‍රජාවට නායකයින් නොමැති බවද පවසමිනි.

එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටියත් මෙරට වතු කම්කරු ජනතාව ඔහුට සහාය නොදුන් බවත් එසේ සහාය දුන්නානම් වතු කම්කරු ජනතාව අද දුක් විඳින්නේ නොමැති බවත් එදින සහරාන් හෂීම් පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ට ප්‍රකාශ කර තිබුණි.

එලෙස සඳහන් කරමින් නෙල්ලිගල විහාරස්ථානයෙන් පිටව ගිය සහරාන් පසුව තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබාදෙමින් නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ හිමියන්ට ප්‍රකාශ කළේ මොනවාද ?

+++++++++++++++++++++

නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථාන, නිර්මාතෘ හිමිනමට ඉස්ලාම් අන්තවාදීන්ගෙන්, ලැබුණු තර්ජනාත්මක ලිපියක් ගැන හෙළිවේ

(23.08.2020 – 19:19 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා මෙරට සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් සති තුනකට පසුව තමන්ට තර්ජනාත්මක ලිපියක් ලැබුණු බව නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පුජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් පවසනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන විශේෂ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් උන් වහන්සේ මේ බව සදහන් කළා.

පාස්කු ඉරිදා මෙරට සිදු වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් සඳහන් කළේ 2014 නොවැම්බර් 09 වනදා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ඉදිකිරීම් ආරම්භ කළ බවයි.

2016 වසරේදී සහරාන් හෂීම් නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානය ඉදිවන භූමිය මිලට ගැනීමට පැමිණි බවත් ඔහු මෙම ස්ථානයේ CENTRE එකක් ඉදිකිරීමට කැමැත්තෙන් පසුවූ අතර, තමන් එයට තදින්ම අකමැත්ත ප්‍රකාශ කළ බවත් සාක්ෂි ලබාදෙමින් උණ්වහන්සේ පවසා සිටියා.

මෙහිදී රජයේ නීතිඥවරිය විමසා සිටියේ 2016 වසරේදී ධාතු මන්දිරය විවෘත කිරීමේ කටයුතු සිදුවන අවස්ථාවේ යම්කිසි දෙයක් සිදුවුනේද යන්නයි.

2016 වසරේ දෙසැම්බර් 16 වනදා එවකට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිද්ධ වුණා.

එම අවස්ථාවට ජනාධිපතිවරයා සහභාගී වන නිසා අවට මාර්ග මෙන්ම ගෙවල්ද පරීක්ෂා කළා.

ඒ අතරතුර මුරුතලාව ගමේ මුස්ලිම් පල්ලිය සෝදිසි කිරීමේදී එහි අරාබි පාසලේ තිබී මගේ වාහනයේ ඡායාරූප දෙකකුත් මගේ ඡායාරූපයකුත් හමුවූ බවට ආරක්ෂක අංශ මාව දැනුවත් කළා.

ඒ අරාබි පාසලේ ගුරුවරු සියලු‍දෙනාම වෙනත් ප්‍රදේශවල අයයි.

එහි ගුරුවරු දෙදෙනෙක් නොච්චියාගම ප්‍රදේශයේ පුපුරණද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පසුව දැනගන්න ලැබුණා.

දෙවෙනි වතාවට සහරාන් 2017 වසරේ මුල් කාර්තුවේ එකම ඇඳුමෙන් සැරසුනු 50 ක පමණ පිරිසක් සමඟ නෙල්ලිගලට ආවා.

එහිදී සහරාන් මාත් එක්ක ශ්‍රී ලංකාවේ බුදු දහම ව්‍යාප්ත වූ හැටි, වෙසක් පොහොය දිනය, පොසොන් උත්සවය, දන්සැල් දීම ආදිය පිලිබඳව කථා කළා.

පුජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ 2017 අගෝස්තු මාසයේදී ද 8 දෙනෙකු සමඟ සහරාන් යළි පැමිණි අතර, ඔහු දැඩි ආගමික මතධාරී ස්වරූපයකින් කතා කළ බවයි.

කොමිසම උන්වහන්සේගෙන් විමසා සිටියේ සහරාන් අවසාන වශයෙන් කතා කළේ කිනම් දිනක ද යන්නයි.

එහිදී උන්වහන්සේ කියා සිටියේ 2019 පෙබරවාරි 23 තමන්ට දුරකථනයෙන් කතා කොට දැඩිව චෝදනා එල්ල කළ බවයි.

‘උඹ ඥානසාර වගේ නෙමෙයි; උඹ කපටි මිනිසෙක්; උඹ තව අවුරුදු 05 ක් හිටියොත් අපේ මිනිස්සුන්ට යන්න එන්න තැනක් නැති වෙන’ බවට ද ප්‍රකාශ කළ බවයි.

කොමිසම වැඩිදුරටත් උන්වහන්සේගෙන් විමසා සිටියේ පාස්කු ප්‍රහාරයේදී සහරාන් හෂීම්ගේ නම දැන ගැනීමට ලැබුණු විගස ඒ පිළිබඳව ඔබ වහන්සේ විමර්ශන නිලධාරීන්ට දැන්වූවාද? ද යන්නයි.

පැය දෙකක් තුනක් යනකොට සමාජ මාධ්‍ය ඔස්සේ සහරාන්ගේ නම යනකොට මම ඉක්මනින්ම නෙල්ලිගලට ගිහින් එහි ශබ්දවාහිනී යන්ත්‍ර උපයෝගී කරගෙන 2000 ක පමණ පිරිසක් නිවෙස් බලා පිටත් කළ බව උන්වහන්සේ කොමිසමට ප්‍රකාශ කළා.

පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සති තුනකින් විතර මට ලිපියක් ලැබුණා.

ඒකෙ තිබුණේ ‘නෙල්ලිගල ප්‍රධාන ස්වාමීන් වහන්සේ, නුඹට කෙරෙන අවසන් නිවේදනයයි’ කියලා.

අදාල ලිපිය 2019 මැයි 14 දින ලැබුණු බව ද පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

අදාළ ලිපිය ලැබුණු විගසම එවක ආරක්ෂක ලේකම්වරයාටත්, පොලිස්පතිවරයාටත්, යුද හමුදාපතිවරයාටත් එම ලිපිය ලබා දුන් බව ද උන්වහන්සේ කියා සිටියා.

කොමිසම එහිදී විමසා සිටියේ ඒ පිළිබදව විමර්ශකයෙකු ඔබ වහන්සේගෙන් කවර හෝ විමසීමක් කළේ ද යන්නයි.

එදා මෙදා තුර කවර අවස්ථාවකවත් තමන් ලබාදුන් ලිපිය පිළිබදව විමසීමට කිසිම කෙනෙක් පැමිණියේ නැහැ.

එහෙත් මම ආරක්ෂාව ඉල්ලූ නිසා මහනුවර පොලීසියෙන් එවකට විමර්ශන නිලධාරියෙකු පැමිණ කොළඹට සටහනක් යවන්න අවශ්‍ය බව පවසා ප්‍රකාශයක් ලබාගෙන ගියා.

ඒ හැර වෙනත් කිසිම කෙනෙක් නොපැමිණි බවයි උන්වහන්සේ කොමිසම හමුවේ සදහන් කළේ.

*********************************************

විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයට සරත් වීරසේකරගෙන් ප්‍රතිචාර

(22.08.2020 – 21:29 +0530 – sinhala.adaderana.lk)

සී.වී. විග්නේෂ්වරන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු ප්‍රථමයෙන් දිවුරුම් දී ඇත්තේ එල්.ටි.ටි.ඊ සාමාජිකයින් මිය ගිය වෙල්ලමුල්ලි වයික්කාල් සොහොන් පිටියේ දී බවට රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද (22) අනාවරණ කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අමතමින් තමිල් මක්කල් තේසිය කූටනි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සි.වි. විග්නේෂ්වරන් මහතා විසින් “දෙමළ භාෂාව, මෙරටේ මුල්ම භාෂාව ලෙස හා නිජ භූමිය කරගත් මුල්ම ජනතාවගේ භාෂාව” ලෙස සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

සි.වි. විග්නේෂ්වරන් සිටින්නේ “රට බෙදීමේ න්‍යාය පත්‍රයේ” බව ද සරත් වීරසේකර මහතා කියා සිටියේය.

මේ අතර විග්නේෂ්වරන්ගේ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීම පිළිබඳව කරුණු සොයා බලා කටයුතු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (22) මහනුවරට පැමිණ මල්වතු, අස්ගිරි මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව පැවසීය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *