2020 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය ඇරඹේ

2020 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය ඇරඹේ

රජයෙන් යතුරුපැදි ලබාගත් රාජ්‍ය සේවකයින්ට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

තවමත් දුම්රියට දෛනිකව මිලියන ගණනක ආදායම් අඩුවක්

ආනයනික අර්තාපල් බදු ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

අධි ආරක්ෂිත කලාපයේ ඩ්‍රෝන කැමරාවක් පියාසර කරවූ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

‘වැල්ලේ සාරංග’ ඇතුළු 4 ක් ඩුබායි යාමට සූදානමින් සිටියදී ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

ගොරකා වලට සාධාරණ මිලක් ඉල්ලන ගොවීන්

කැකිරාවේ මහා පරිමාණ වැලි ජාවාරමක් වටලයි

මුතූර්හි වනාන්තර භූමි වනසා ඉඩම් ඇල්ලීමේ ජාවාරමක් ‘හිරු සී.අයි.ඒ.’ හෙළිදරව්වෙන් පසු නීතියේ රැහැනට

මෙරට පී.සී.ආර්. පරීක්ෂණ දෙලක්ෂය ඉක්මවයි – 31,000 කගේ නිරෝධායනය අවසන් – සුවය ලැබූ සංඛ්‍යාව 2805 දක්වා ඉහළට

තංගල්ල මුහුදේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට

උමා ඔයේ ඉදි කිරීම් නිසා පීඩාවට පත්වූ බදුල්ලේ ජනතාව

*********************************************

2020 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය ඇරඹේ

(23.08.2020 – 08:19 +0530 – hirunews.lk/sinhala)

2020 ඡන්ද හිමි නාමලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරින් දැනුවත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

ඒ අනුව, ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීවරයාගෙන් විමසීමේ හැකියාව පවතිනවා.

2020 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධනයට අදාළව ඊට අදාළ ඡන්ද හිමියන් ගණන් ගැනීමේ ආකෘති පත්‍රය ග්‍රාම නිලධාරින් හරහා නිවෙස් වෙත බෙදා දීමට නියමිතයි.

2019 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව, මෙරට ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ 63,885 ක් ෴

[ Voter Registration Details from the Election Commission of Sri Lanka ]

*********************************************

රජයෙන් යතුරුපැදි ලබාගත් රාජ්‍ය සේවකයින්ට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

(23.08.2020 – 08:15 +0530 – hirunews.lk/sinhala)

2015 ට පෙර රජයේ සහනාධාර යටතේ යතුරුපැදි ලබා ගත් රාජ්‍ය සේවකයින්ට එම යතුරුපැදි තම නමට ලියාපදිංචි කිරීමට අවස්ථාව ලබා දී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

ඊට අදාළ ලියාපදිංචි කිරීමේ කටයුතු දිවයින පුරා පවත්වන ජංගම සේවා හරහා සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකෝන් ප්‍රකාශ කළේ ෴

*********************************************

තවමත් දුම්රියට දෛනිකව මිලියන ගණනක ආදායම් අඩුවක්

(23.08.2020 – 08:21 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග පහළ වැටී තිබූ දුම්රිය දෙපාර්තමේන්තුවේ දෛනික ආදායම මේ වනවිට ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

දෛනිකව වැඩි ආදායමක් දුර ගමන් සේවා මගීන්ගෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන අතර, පසුගිය කාලසීමාවේ පහත වැටී තිබූ දුර ගමන් සේවා මගීන්ගේ පැමිණීම මේ වනවිට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවයි ඔහු කියා සිටියේ.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට පෙර කාල වකවානුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ දෛනික ආදායම රුපියල් මිලියන 16 ත් 18 ත් අතර අගයක පැවති බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළා.

කෙසේ වෙතත්, කොරෝනා වෛරස තත්ත්වයත් සමග එම ආදායම මුල් කාලසීමාවේදී රුපියල් මිලියන 5 දක්වා පහත වැටී තිබුණ ද මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුවේ දෛනික ආදායම රුපියල් මිලියන 6 ත් 8 ත් අතර අගයක පවතින බව ඔහු කියා සිටියා ෴

*********************************************

ආනයනික අර්තාපල් බදු ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

(23.08.2020 – 08:38 +0530 – hirunews.lk/sinhala)

ආනයනික අර්තාපල් සඳහා බදු ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති එම නිවේදනයට අනුව අර්තාපල් කිලෝවක් සඳහා ආනයනික බදු රුපියල් 50 සිට 55 දක්වා ඉහළ නංවා තිබෙනවා.

විශේෂ වෙළඳ භාණ්ඩ යටතේ සිදුකර ඇති එම බදු ඉහළ නැංවීම මාස හතරක (4) කාලයක් සඳහා ක්‍රියාත්මකයි.

දේශීය අර්තාපල් ගොවීන්ට ඉහළ මිලක් ලබාදීම සහතික කිරීම මෙලෙස ආනයනික අර්තාපල් බදු ඉහළ නැංවීමට හේතුවයි ෴

*********************************************

අධි ආරක්ෂිත කලාපයේ ඩ්‍රෝන කැමරාවක් පියාසර කරවූ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

(23.08.2020 – 09:15 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටිය ප්‍රදේශයේ අධිආරක්ෂිත කලාපය තුළ ඩ්‍රෝන යානයක් පියාසර කරවූ චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ඔහු පසුව කොල්ලුපිටිය පොලීසිය වෙත භාරදි ඇති බව සඳහන්.

පොලීසිය සඳහන් කළේ මෙම 40 හැවිරිදි චීන ජාතිකයා අද (23) දිනයේ රාජ්‍ය බුද්ධි අංශය වෙත භාරදීමට නියමිත බවයි ෴

File Photo ?

*********************************************

‘වැල්ලේ සාරංග’ ඇතුළු 4 ක් ඩුබායි යාමට සූදානමින් සිටියදී ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

(23.08.2020 – 09:25 +0530 – hirunews.lk/sinhala)

පාතාල කල්ලි වෙඩික්කරුවෙකු ලෙස සැළකෙන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා සහ තවත් තුන්දෙනෙකු (3) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ඩුබායි බලා යාම සඳහායි කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබුණේ.

‘වැල්ලේ සාරංග’ නැමති වෙඩික්කරු මෙරටට කේරළ ගංජා රැගෙන ඒමේ ප්‍රධාන ජාවාරම්කරුවෙකු ද වනවා.

ඔහුත් සමඟ අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයින් තුන්දෙනා (3) ගෙන් එක් අයෙකුද විදේශයන්හි සිට මෙරටට කේරළ ගංජා රැගෙන ඒමේ ප්‍රධාන ජාවාරම්කරුවෙකු වන අතර, ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනෙක් පුද්ගලයින් දෙදෙනා (2) ගෙන් එක් අයෙකු ද ‘අංගොඩ ලොක්කා’ගේ ගෝලයෙකු වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී රුපියල් ලක්ෂ 49 කට අධික මුදලක්ද සොයාගෙන තිබෙනවා.

අනෙක් සැකකරු ද වැල්ලම්පිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, හංවැල්ල ප්‍රදේශයේ රජයේ බැංකුවක සිදුවූ කොල්ලයට මොහු සම්බන්ධ බවටයි මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇත්තේ.

එම පුද්ගලයාද ‘අංගොඩ ලොක්කා’ගේ ගෝලයෙකු බව සඳහන්.

මේ අතර ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූ ‘අංගොඩ ලොක්කා’ගේ ප්‍රධාන පෙලේ වෙඩික්කරුවෙකු වන ‘චමින්ද සඳමාල් එදිරිසූරිය’ නොහොත් ‘චමියා’, අපරාධ රැසකට සම්බන්ධ වී ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඊයේ (22) මොහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ගම්පහ ප්‍රදේශයේදී පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් මියගිය අතර, එහිදී පොලිස් නිලධාරියෙකුද තුවාල ලබා රෝහල් ගතකළා.

ඔහු 2015 වසරේදී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී හිටපු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජීවිතක්ෂයට පත් ‘සමයං’ නැමැත්තාට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වනවා.

එමෙන්ම 2017 වසරේදි කළුතර බන්ධනාගාරයේ රැඳවියන් ප්‍රවාහනය කරමින් සිටින අවස්ථාවේ බස් රථ දෙකකට (2) වෙඩි තබා පාතාල කල්ලි සාමාජික ‘සමයං’ ඇතුලු සිව්දෙනෙකු (4) හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු (2) ඝාතනය කිරීමේ සිද්ධියටද මොහු සම්බන්ධ බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

මේ අතර, කළුතර දිස්ත්‍රික් විශේෂ අපරාධ විමර්ශන අංශයක් පිහිටුවීමට අවශ්‍ය භූමිය නිරීක්ෂණය කිරීම සඳහා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (23) එම ප්‍රදේශයේ සංචාරයක නිරතවුණා.

මේ අතර කොල්ලුපිටිය ප්‍රදේශයේ අධිආරක්ෂිත කලාපය තුළ ඩ්‍රෝන යානයක් පියාසර කරවූ චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ඔහු පසුව කොල්ලුපිටිය පොලීසිය වෙත භාරදි ඇති බව සඳහන්.

පොලීසිය සඳහන් කළේ මෙම 40 හැවිරිදි චීන ජාතිකයා අද (23) දිනයේ රාජ්‍ය බුද්ධි අංශය වෙත භාරදීමට නියමිත බවයි ෴

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=mNx1e67xeiA#t=5

*********************************************

ගොරකා වලට සාධාරණ මිලක් ඉල්ලන ගොවීන්

(23.08.2020 – 10:35 +0530 – hirunews.lk/sinhala)

තම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබා දෙන්නැයි මාතලේ දිස්ත්‍රික්කයේ ගොරකා වගාකරුවන් රජයෙන් ඉල්ලීමක් කරනවා.

මේ වන විටත් මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගොරකා වගාවන් බහුලව පවතිනවා.

නමුත් මේ දිනවල ගොරකා අස්වැන්න නෙළීම ආරම්භ කර ඇතත් තමන්ට ඒ සඳහා නිසි මිලක් නොලැබීම හේතුවෙන් අස්වැන්න නෙලීම අත්හැර දැමීමට සිදුව ඇති බවටයි ගොවීන් පවසන්නේ.

ගොරකා කිලෝවක් සඳහා තමන්ට ලැබෙන තොග මිල රුපියල් 100 ත් 150 අතර මිලක් බව ගොවීන් පෙන්වා දෙනවා.

වියළි ගොරකා කිලෝවක් ලබා ගැනීම සඳහා අමු ගොරකා කිලෝ අටකට (8) වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වන අතර ඒ සඳහා විශාල නිෂ්පාදන පිරිවැයක් දැරීමට ඔවුන්ට සිදුව තිබෙනවා.

මේ වෙනුවෙන් මැදිහත් වී ගොරකා සඳහා සාධාරණ මිලක් ලබා දෙන ලෙසටයි එම ගොවීන් රජයෙන් ඉල්ලා සිටින්නේ.

*********************************************

කැකිරාවේ මහා පරිමාණ වැලි ජාවාරමක් වටලයි

(23.08.2020 – 11:23 +0530 – hirunews.lk/sinhala)

කැකිරාව දඹුලු ඔය ආශ්‍රිතව මහපරිමාණ වැලි ජාවාරමක් පවත්වාගෙන ගිය පුද්ගලයන් හතර (4) දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඊයේ (22) සවස යුධ හමුදාව සහ වනජීවී නිලධාරීන් විසින් සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදීයී.

වැලි ප්‍රවාහණයට යොදාගත් ට්‍රැක්ටර් රථ 4 ක් ද, වැලි ගොඩ දැමීමට යොදාගත් උපකරණ තොගයක්ද එහිදී අත්අඩංගුවට ගත් බව සඳහන්.

වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් දඹුලු ඔයෙන් අනවසරයෙන් ගොඩදැමූ වැලි ප්‍රවාහනය කිරීමට සූදානමින් සිට තිබෙනවා.

අත්අඩංගුවටගත් සැකකරුවන් බැදුම්කර මත මුදා හැරීමට වනජීවී නිලධාරීන් පියවර ගෙන ඇති අතර සැකකරැවන් කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

+++++++++++++++++++++

*********************************************

මුතූර්හි වනාන්තර භූමි වනසා ඉඩම් ඇල්ලීමේ ජාවාරමක් ‘හිරු සී.අයි.ඒ.’ හෙළිදරව්වෙන් පසු නීතියේ රැහැනට

(23.08.2020 – 12:24 +0530 – hirunews.lk/sinhala)

ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ මුතූර්හි වනාන්තර භූමි වනසමින් ඉඩම් ඇල්ලීමේ ජාවාරමක් නීතියේ රැහැනට කොටුකරදීමට ‘හිරු සී.අයි.ඒ.’ සමත් වුණා.

ඒ පිළිබදවයි අද (23) අනාවරණය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ත්‍රීකුනාමලය – මුතූර් – ඉලකන්දයි ප්‍රදේශයේ වන කලාපයක් වනසා දැමීමක් ගැන ‘හිරු සී.අයි.ඒ.’ තොරතුරු අනාවරණය කර ගත්තා.

*********************************************

මෙරට පී.සී.ආර්. පරීක්ෂණ දෙලක්ෂය ඉක්මවයි – 31,000 කගේ නිරෝධායනය අවසන් – සුවය ලැබූ සංඛ්‍යාව 2805 දක්වා ඉහළට

(23.08.2020 – 12:49 +0530 – hirunews.lk/sinhala)

අද (23) දිනයේදී කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2,805 ක් වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 130 ක්.

මේ අතර ශ්‍රී ලංකාවේ 12 වන කොරෝනා මරණය ඊයේ (22) මැදියම් රැයේ වාර්තාවූයේ අයි.ඩි.එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන්.

ඉන්දියාවේ සිට පැමිණි 47 හැවිරිදි කාන්තාවක් කොවිඩ් 19 වෛරසය හේතුවෙන් එලෙස මියගිය බවයි එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

ඇය පිළිකා රෝගයකින් මෙන්ම අධික රුධිර පීඩනයෙන් සහ දියවැඩියාවෙන්ද පෙලුනු තැනැත්තියක්.

පසුගිය විසිවනදා (20 දා) ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ඇය ඉරණවිල කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට අයි.ඩී.එච්. රෝහලට මාරුකර එවා තිබෙනවා.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියයාමට අවසන් වශයෙන් හේතුවී ඇත්තේ හෘදයාබාධයක් බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කළුවැව මහතා සඳහන් කළේ.

මෙලෙස ශ්‍රී ලංකාවෙන් කොරෝනා මරණයක් වාර්තාවූයේ දින 83 කට පසුවයි.

මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2947 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ චෙන්නායි සිට පැමිණි දෙදෙනෙක්, කුවේට් සිට පැමිණි දෙදෙනෙක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඇමරිකාවේ සිට පැමිණි දෙදෙනෙක්, ඊයේ (22) දිනයේදී ආසාදිතයන් ලෙස වාර්තා වීමත් සමගයි.

ඔවුන් විදෙස් ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

මේ අතර, නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 161 දෙනෙකු අද (23) දිනයේ සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව 31,173 දෙනෙකු මේ වනවිට සිය නිවෙස් බලා පිටත්ව ගොස් අවසන්.

මේ වනවිට මධ්‍යස්ථාන 52 ක් තුළ තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් සංඛ්‍යාව 7,304 ක්.

මේ අතර ඊයේ (22) දිනය තුළ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ 1,710 ක් සමඟ මෙරට තුළ සිදුකර ඇති සමස්ත පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 2,02,907 ක් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

එමෙන්ම කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතව සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොරෝනා මර්දන කමිටුව සමඟ පැවති සාකච්ඡාවේදී තීරණය කර ඇති බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වාගැනීමෙන් අනතුරුව ගුවන් තොටුපල විවෘත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බවයි.

කොරෝනා වසංගතය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කෙන්යාව සහ කටාර් රාජ්‍යවල රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 376 දෙනෙකුද අද (23) අලුයම දිවයිනට පැමිණියා.

ඔවුන් කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලවලින් දිවයිනට පැමිණි අතර, පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා පිටත් කර යැවීමට පියවර ගෙන තිබෙනවා.

අද (23) උදෑසනින් අවසන්වූ පැය 24 තුළ තවත් කොරෝනා ආසාදිතයන් 69,239 ක් වාර්තාවීමත් සමඟ ඉන්දියාවේ සමස්ත ආසාදිත සංඛ්‍යාව මේ වනවිට තිස් ලක්ෂය (30,00,000) ඉක්මවා තිබෙනවා.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඊයේ (22) සිට මරණ 912 ක් වාර්තාවීමත් සමඟ එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 56,706 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

*********************************************

තංගල්ල මුහුදේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට

(23.08.2020 – 13:34 +0530 – hirunews.lk/sinhala)

තංගල්ල මුහුදේ රළ පහරට හසුව ගසාගෙන තරුණයෙක් දියේ ගිලී ඊයේ (22) ජීවිතක්ෂයට පත්වුණා.

ඔහු මෙම අනතුරට මුහුණ පා ඇත්තේ මිතුරන් පිරිසක් සමග දිය නෑමට ගිය අවස්ථාවේදීයි.

බෙලිඅත්තේ පදිංචි හත් (7) දෙනෙකුගෙන් යුත් මිතුරන් කණ්ඩායමක් තංගල්ල ගොයම්බොක්ක මුහුදු ප්‍රදේශයේ දිය නෑමට පැමිණ තිබුණේ ඊයේ (22) පස්වරුවේයි.

එහිදී කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු (2) රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.

දිවි බේරාගත් තරුණයා තංගල්ල මූලික රෝහල වෙත ඇතුලත් කෙරුණා.

අතුරුදන් වූ තරුණයාගේ මළ සිරුර පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් විසින් සොයා ගනු ලැබුවේ අද (23) පෙරවරුවේයි.

මියගිය තරුණයා මාතර කාර්මික විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන 21 හැවිරිදි වියේ පසුවන්නෙක්.

හදිසි මරණ පරීක්ෂකවරයාගේ පරික්ෂාවෙන් පසු දේහය තංගල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන යනු ලැබුවා.

*********************************************

උමා ඔයේ ඉදි කිරීම් නිසා පීඩාවට පත්වූ බදුල්ලේ ජනතාව

(23.08.2020 – 14:09 +0530 – hirunews.lk/sinhala)

උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ වන්නේ වෙල්ලස්සේ වෙසෙන ගොවි ජනතාවගේ ජීවන ගමනේ නව පරිච්ඡේදයක බලාපොරොත්තු අරඹමින්.

නමුත් ව්‍යාපෘතියේ භූගත කැනීම් සහ වේලි ඉදි කිරීම ඇතුළු සංවර්ධන කටයුතු හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07 ක ජනතාව මේ වන විට දැඩි පීඩාවට පත්ව සිටිනවා.

ඒ ව්‍යාපෘතිය ආරම්භයට පෙරාතුව ඉතා සශ්‍රීක ප්‍රදේශයක්ව පැවති තම ගම් බිම් අද වන විට දැඩි ලෙස හානියට පත්ව තිබීම හේතුවෙන්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *