සතියක් තුළ බස්නාහිර පළාතේ වැටලීම් වලින් සැකකරුවන් 3409 ක් අත්අඩංගුවට
තඹුත්තේගමදී කැබ් රථයක් දුම්රියක ගැටී 7 දෙනෙකුට තුවාල
පෙම්වතියගේ ගෙල කපා මරා දමා පෙම්වතා වස පානය කර රෝහලේ
වයඹ පළාත් ඇල ව්‍යාපෘතිය කඩිනම් කරන්න – අගමැතිගෙන් උපදෙස්
අහුංගල්ලේදී 12 හැවිරිදි දරුවෙක් ලොරියකට යටවේ
යාල වනෝද්‍යානයේ මැණික් ගඟේ ජිප් රථ පැදවූ සිදුවීම ගැන විමර්ශනයක්
බන්ධනාගාරයේ සිටින දරුවන් 46 ක් ගැන රජයේ අවධානය
මූල්‍ය ආයතන ගැන පාරිභෝගිකයින්ගේ දුක කියන්න දු.ක. අංකයක්
නව කතානායක මහ නාහිමිවරුන් බැහැදකී
අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඩලන්න ජගත් සංවිධානය ශ්‍රී ලංකාව සමඟ එක්වෙයි
*********************************************
සතියක් තුළ බස්නාහිර පළාතේ වැටලීම් වලින් සැකකරුවන් 3409 ක් අත්අඩංගුවට
(22.08.2020 – 19:45 +0530 – hirunews.lk/sinhala)
ගත වූ සතියක කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකල විශේෂ වැටලීම් 3324 කදී සැකකරුවන් 3409 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘කැලුම් ඉන්දික’ හෙවත් ‘කැවුමා’ නමැත්තාගේ සමීපතමයෙකු අද (22) හෙරොයින් සමග අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සමත් වුණා.
එසේම, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘යකා සම්පත්’ නමැත්තා ද බත්තරමුල්ල – සුභූතිපුරදී පොලීසිය අද (22) අත්අඩංගුවට ගත්තා.
කළුතර – ඇලමෝදර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 400 ක් සමග කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත් අතර, ඉන් එක් සැකකරුවෙකු ‘කැවුමා’ නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ සමීපතමයෙකු බවට අනාවරණ වී තිබෙනවා.
මොහු පන්නිපිටිය – ඇරැව්වල ප්‍රදේශයේ සිදුවූ රුපියල් බිලියන 5 ක පමණ වටිනාකමකින් යුත් දියමන්ති හා මැණික් කොල්ලයේ ප්‍රධාන සැකකරුවෙකු වන ‘අමරතුංගලාගේ දොන් මංජු’ හෙවත් ‘දියගම මංජු’ නමැත්තා බවටයි හඳුනාගෙන ඇත්තේ.
පාතාල කල්ලි සාමාජික ‘මාකඳුරේ මධූෂ්’ගේ ප්‍රධාන ගෝලයෙකුගේ සගයෙකු වන ‘කැලුම් ඉන්දික’ හෙවත් ‘කැවුමා’ පන්නිපිටිය – ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකෑ දියමන්තිය ද සමග පසුගිය වසරේ මාර්තු මස 5 වනදා පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.
එසේම, සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ‘ආනන්ද සිල්වා’ හෙවත්, ‘යකා සම්පත්’ අද (22) පොලිස් අත්අඩංගුවට පත්වුණේ බත්තරමුල්ල – සුභූතිපුරදීයි.
රිවෝල්වරයක්, හෙරොයින් ග්‍රෑම් 4 ක්, කඩු දෙකක් (2) සහ මන්නා පිහියක් මෙන්ම, ව්‍යාජ වාහන අංක තහඩු දෙකක් (2) ද ඔහු ළඟ තිබී සොයා ගැනුණා.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ වාහන මංකොල්ල සහ කප්පම් ගැනීම් ඇතුළු සිද්ධීන් කිහිපයකට ඔහු අවශ්‍යව සිටි බවයි.
මේ අතර, කේරළ ගංජා කිලෝග්‍රෑම් 18 යි ග්‍රෑම් 345 ක් සමග සැකකරුවෙකු තලෙයිමන්නාරම – කට්ටරායන් ප්‍රදේශයේදී යාපනය විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
එමෙන්ම, මට්ටක්කුලිය – මහවත්ත ප්‍රදේශයේදී සැක කටයුතු මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී ගංජා කිලෝග්‍රෑම් 10 කට වැඩි ප්‍රමාණයක් සමග මට්ටක්කුලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා.
තණමල්විල – කිතුල්කොටේ ප්‍රදේශයේදී ද ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ හම්බන්තොට විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මතයි.
මේ අතර, සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පොලිස් ප්‍රජා ඒකක හරහා බුද්ධි තොරතුරු ලබා ගැනීමේ ජාලයක් ක්‍රියාත්මක කරන බව නුගේගොඩ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායක මහතා ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ පොලිස් ආරක්ෂක කමිටු සාමාජිකයන් ඇගයීම සඳහා අද (22) පැවති උත්සවයකට කොළඹදී එක්වෙමින්.
+++++++++++++++++++++
(23.08.2020 – 00:01 +0530 – hirunews.lk/sinhala)
‘අංගොඩ ලොක්කා’ නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු වන ‘චමින්ද සඳමාල් එදිරිසූරිය’ හෙවත් ‘චමියා’ ගම්පහ ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් මියගොස් තිබෙනවා.
ඒ සැකකරු පොලිස් නිලධාරීන් වෙත වෙඩි තබා පළා යාමට උත්සාහ කළ අවස්ථාවේ පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් ෴
+++++++++++++++++++++
*********************************************
තඹුත්තේගමදී කැබ් රථයක් දුම්රියක ගැටී 7 දෙනෙකුට තුවාල
(22.08.2020 – 15:02 +0530 – hirunews.lk/sinhala)
තඹුත්තේගම – පාදෙණිය මාර්ගයේ – පයින්ඩිකුලම දුම්රිය හරස් මාර්ගයේදී කැබ් රථයක් දුම්රියේ ගැටී අද (22) අලුයම සිදුවූ අනතුරකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලැබුවා.
තුවාල ලැබූ කැබ් රථයේ ගමන් ගත් පුද්ගලයින් තඹුත්තේගම සහ තලාව රෝහල් වෙත ඇතුළත් කෙරුණා.
පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හතර දෙනෙකු (4) අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
*********************************************
පෙම්වතියගේ ගෙල කපා මරා දමා පෙම්වතා වස පානය කර රෝහලේ
(22.08.2020 – 16:39 +0530 – hirunews.lk/sinhala)
ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇතිවු ආරවුලක් මුල් කරගනිමින් තරුණයෙකු විසින් තම පෙම්වතියගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කර තිබෙනවා.
සැකකරු ද වස පානය කර ලඳු කැලෑවක වැටී සිටියදී ප්‍රදේශවාසීන් විසින් හලාවත මහරෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මාදම්පේ දුම්මලසුරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි කොහු ආශ්‍රීත කර්මාන්ත ශාලාවක සේවය කළ ගිණුම් ලිපිකාරිණියක්.
ඝාතනයට ලක්වු තරුණිය හා ඝාතනය සිදුකල සැකකාර තරුණයා අතර කලක් තිස්සේ පැවති ‘ප්‍රේම සම්බන්ධතාවය’ට තරුණියගේ පාර්ශවයෙන් විරෝධතාවය එල්ල වී තිබෙනවා.
එවන් පසුබිමක තරුණිය ‘ප්‍රේම සබදතාවය’ නවතා දැමීම මුල්කරගෙන කෝප වු සැකකාර තරුණයා මෙලෙස ඇය ඝාතනය සිදුකර ඇති බව සඳහන්.
ඝාතනයට ලක්වු තරුණිය, සිය මාමා සමග ඔහුගේ යතුරු පැදියෙන් සේවයට ගමන් කරමින් සිටියදීයි මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ.
බරපතල තුවාල ලැබූ තරුණිය හලාවත මහ රෝහලට ඇතුලත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව සඳහන්.
සැකකරු ද දුම්මලසුරිය ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර වෘත්තියෙන් හකුරු නිෂ්පාදනයේ නිරත වන පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් හලාවත වැඩ බලන මහේස්ත්‍රාත්වරයා විසින් මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදුකල අතර රෝහල් ගත කර ඇති සැකකරුට පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රථිකාර ලබා දෙන ලෙස නියෝග කර තිබෙනවා.
මාදම්පේ පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ ෴
*********************************************
වයඹ පළාත් ඇල ව්‍යාපෘතිය කඩිනම් කරන්න – අගමැතිගෙන් උපදෙස්
(22.08.2020 – 17:50 +0530 – hirunews.lk/sinhala)
යල මහ කන්න දෙකම වගා කළ හැකි පරිදි වයඹ පළාත් ඇල ව්‍යාපෘතිය කඩිනම් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ කුරුණෑගල මොරගොල්ලාගම, සියඹලන්ගමුව වැව් තාවුල්ලේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) පැවති උත්සවයකදීයී.
එහිදී යෝජිත වයඹ පළාත් ඇල ව්‍යාපෘතියට අදාළ ව්‍යාපෘති වාර්තාව, ව්‍යාපෘති අධ්‍යක්ෂක ඉංජිනේරුවරයා විසින් අග්‍රාමාත්‍ය වරයාට පිළිගන්වනු ලැබුවා.
ඒ අනුව වයඹ පළාත් ඇල ව්‍යාපෘතිය ඔස්සේ ප්‍රදේශයේ කුඩා වැව් 350 ක් සහ මහ වැව් 8 ක් පෝෂණය කිරීමට නියමිතව ඇති අතර, හක්වටුණා ජලාශය යටතේ හෙක්ටයාර් 2500 ක්, මී ඔය ජලාධාර පද්ධතියේ හෙක්ටයාර් 3500 ක් ඇතුළුව මුළු ගොවිබිම් හෙක්ටයාර් 12,500 ක් අස්වැද්දීමට නියමිතයි.
ඊට සමගාමීව සියඹලන්ගමුව සපිරි ධීවර සමිතියේ ජනතාව අග්‍රාමාත්‍යවරයාට යෝජනාවලියක්ද එම අවස්ථාවේදී ඉදිරිපත් කළා.
2014 වසරේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය පසුගිය රජය සමයේ නතර කර තිබු බව සඳහන්.
මෙම ව්‍යාපෘතිය තුළින් මෙතෙක් මහ කන්නයට පමණක් සීමා වී තිබූ වගා කටයුතු යල මහ කන්න දෙකම වගා කළ හැකි පරිදි ජලය බෙදා හැරීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියා.
ඒ ඔස්සේ පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දීමෙන් වකුගඩු ගැටලුවට පිළියමක් ලැබීම, නව රැකියා උත්පාදනය හා අලි-මිනිස් ගැටුම අවම කිරීම ඇතුළු ව්‍යාපෘති වාසි රැසක් මෙම ව්‍යාපෘතියේ අන්තර්ගතව තිබෙනවා.
+++++++++++++++++++++
මේ අතර, සමාජ – ආර්ථික බලපෑම් සොයා බලන ක්‍රමවේදයකට රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය වැඩිදියුණු කළ යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.
ඒ පරිපාලන සේවා සංගමය සමග අරලියගහ මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡාවකදීයි.
එහිදී මහජන මුදල් වියදම් කර සකස් කරන ඡන්ද හිමි නාමලේඛනය පොදු දේපලක් ලෙස පරිහරණය කිරීමේ වැදගත්කම හා එහි ඇති නීතිමය ගැටලු පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා.
එමෙන්ම, කෘෂිකර්මය, ධීවර, සංචාරක, අපනයන ප්‍රවර්ධන, දේශීය හා විදේශීය ආයෝජකයින්ගේ ප්‍රාග්ධන යෙදවුම් සහ ඉඩම් කඩිනමින් ලබාදීම මෙන්ම ක්ෂේත්‍ර ගණනාවක පවතින පරිපාලනම ගැටලු විසඳීමේ අවශ්‍යතාවය කෙරෙහි ද අවධානය යොමුවූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ෴
+++++++++++++++++++++
*********************************************
අහුංගල්ලේදී 12 හැවිරිදි දරුවෙක් ලොරියකට යටවේ
(22.08.2020 – 20:01 +0530 – hirunews.lk/sinhala)
අහුංගල්ල – වැලිකන්ද ප්‍රදේශයේ නිවසක සිය ඥාති සොහොයුරා පණ ගැන්වූ ලොරි රථයකට යටවී 12 හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට පත්වීමේ පුවතක්ද අද පස්වරුවේ වාර්තා වුණා.
නිවස අසල යතුර සහිතව නවතා තිබූ ලොරි රථය 15 හැවිරිදි ඥාති සොහොයුරෙකු විසින් පණ ගන්වා ඇති අතර එහිදී ලොරි රථය එක්වරම ඉදිරියට ධාවනය වී ඇති බවයි පොලීසිය පැවසුවේ.
එම අවස්ථාවේදී පාපැදියකින් පැමිණි 12 හැවිරිදි දරුවා අදාළ ලොරි රථයට යටවී තිබෙනවා. බරපතල තුවාල ලැබූ ඔහු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලීසයි වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර, අවමංගල්‍ය උත්සව දෙකකට (2) සහභාගි වී ආපසු එමින් සිටි කණ්ඩායම් දෙකක් (2) අලව්ව සහ රාවණාඇල්ල ප්‍රදේශවලදී අද (22) පෙරවරුවේ අනතුරුවලට ලක්වීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
අද (22) අලුයම 04:05 ට පමණ කොළඹ – කුරුණෑගල මාර්ගයේ අලව්ව – වළකුඹුර ප්‍රදේශයේදී එක් රිය අනතුරක් සිදුවූ අතර, එහිදී පුද්ගලයින් පස්දෙනෙකු (5) ජීවිතක්ෂයට පත්වුණේ ටිපර් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්.
සිද්ධියෙන් මෝටර් රථයේ ගමන් ගත් සියලු දෙනාම මියගිය බවයි පොලීසිය සඳහන් කළේ.
ඔවුන් වරකාපොල ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී යළි කුරුණෑගල බලා පැමිණෙමින් සිටියදියි මෙම අනතුරට මුහුණ දී තිබුණේ.
මියගිය පිරිස මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන පෞද්ගලික සමාගමක සේවය කරන පිරිසක්.
මියගිය පුද්ගලයින් අවුරුදු 22 ත් 29 ත් අතර, පසුවන කොච්චිකට්ටුව – නෙලුම්දෙණිය – වැලිමඩ සහ ඉබ්බාගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
මේ අතර, ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ප්‍රදේශයේදී වෑන් රථයක් අඩි 150 ක පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් අනතුරක් සිදුව තිබුණේ ද අද (22) පෙරවරු 6 ට පමණයි.
වෑන් රථයේ රියදුරා ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු ගමන් කර ඇති අතර, බරපතල තුවාල ලැබූ 5 දෙනෙකු අනතුරෙන් තුවාල ලබා සිරිගල, බදුල්ල, වැල්ලවාය සහ දෙමෝදර යන රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.
එහිදී වෑන් රථයේ සිරවී සිටි රියදුරු බේරා ගැනීමට පොලීසිය ඇතුළු ප්‍රදේශවාසීන්ට පැය 3 ක පමණ දැඩි පරිශ්‍රමයක් දැරීමටයි සිදුවුණේ.
ඔහුව කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගත් නමුත්, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවී නැහැ.
එසේම, බරපතල තුවාල ලබා දෙමෝදර රෝහලට ඇතුළත් කළ පුද්ගලයින් දෙදෙනකු (2) ද මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
මෙලෙස ජිවිතක්ෂයට පත්වුණේ බදුල්ල විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරිවරුන් දෙදෙනෙකු (2) සහ රියදුරෙකු (1) වන අතර, ඔවුන් හම්බන්තොට ප්‍රදේශයේ අවමංගල්‍යයකට සහභාගි වී ආපසු එමින් සිටියදී මෙම අනතුරට මුහුණදී තිබුණා.
මියගිය පිරිස පස්සර – බදුල්ල සහ ගාල්ල ප්‍රදේශවල පදිංචි 57, 47 සහ 50 හැවිරිදි වියේ පසුවන්නන්. රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය සැක කරනවා.
මේ අතර, තඹුත්තේගම – පාදෙණිය මාර්ගයේ – පයිංඩිකුලම දුම්රිය හරස් මාර්ගයේදී තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව බලා පැමිණි දුම්රියේ, කැබ් රථයක් ගැටී අද අලුයම සිදුවූ තවත් අනතුරකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කැබ් රථයේ ගමන් ගත් තුවාල ලැබූ පුද්ගලයින් තඹුත්තේගම සහ තලාව රෝහල් වෙත ඇතුළත් කෙරුණු අතර, ඔවුන් සියලුදෙනා මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ එකම පවුලේ පියා, මව සහ දියණියක් ඇතුළු 7 දෙනෙක්.
*********************************************
යාල වනෝද්‍යානයේ මැණික් ගඟේ ජිප් රථ පැදවූ සිදුවීම ගැන විමර්ශනයක්
(22.08.2020 – 20:33 +0530 – hirunews.lk/sinhala)
යාල ජාතික වනෝද්‍යානය තුළින් ගලා බසිනා මැණික් ගඟ දිගේ ජිප් රථ ධාවනය කළ දර්ශන පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
වන සතුන්ගේ පිපාසය සංසිඳුවා ගැනීමට ඇති දියබිඳ අපවිත්‍ර කළ එම ක්‍රියාදාමය සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන බවයි යාල ජාතික උද්‍යානයේ පාලනාධිකාරිය සඳහන් කළේ.
කාන්තාවක විසින් පෙරේදා යාල ජාතික වනෝද්‍යානයේ කොස්ගස්මංකඩ ප්‍රදේශයේ සිදුවූ බව කියන මෙම සිදුවීම රූගතකොට සමාජ මාධ්‍ය වෙත යොමුකර තිබුණා.
අදාල ෆේස්බුක් සටහනේ දැක්වුණේ යාල – බ්ලොක් 2 ක කොටසේ සිට ජිප් රථ දෙකකින් මෙම පිරිස පැමිණ ඇති බවයි.
ඉන් පසු ගඟ හරහා ඔවුන් ජිප් රථ ධාවනය කරන අයුරු ද අදාළ වීඩයෝවේ දැක්වෙනවා.
එම දර්ශන ඇතුළත් ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ අදාළ වාහන සමග සංචාරක මග පෙන්වන්නෙකු ද සිටි අතර ඔහු එම අවස්ථාවේ බීමතින් හැසිරුණු බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ලැබී නැතත්, ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකරන බව යාල ජාතික වනෝද්‍යානය භාර උසස් නිලධාරියෙකු සඳහන් කළා ෴
*********************************************
බන්ධනාගාරයේ සිටින දරුවන් 46 ක් ගැන රජයේ අවධානය
(22.08.2020 – 20:54 +0530 – hirunews.lk/sinhala)
මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිරගතව සිටින මව්වරුන් පිරිසකගේ දරුවන් 46 දෙනෙකුට මේ වනවිට දිවයිනේ විවිධ බන්ධනාගාරවල තුළ රැදී සිටීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයා, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට දුරකතනයෙන් උපදෙස් ලබාදී ඇත්තේ එම දරුවන්ට නිදහස ලබාදීමට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන ලෙසයි.
ගැබිණියන් වශයෙන් සිටින අතරතුරදී හා අලුත උපන් දරුවන් සිටින අතරතුරදී බන්ධනාගාරගත වූ මව්වරුන්ගේ වයස අවුරුදු පහට (5) ට අඩු මෙම දරුවන් 46 දෙනා අධිකරණ නියෝග මත මෙලෙස රඳවා ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.
එම දරුවන්ට නිදහස ලබාදීමට අදාළ නෛතිකමය පසුබිම හා ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් ඉදිරියේදී රාජ්‍ය ඇමතිවරිය විසින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට නියමිතයි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා ප්‍රකාශ කර ඇත්තේ එම මව්වරුන්ගෙන් බහුතරයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින අය බවයි ෴
*********************************************
මූල්‍ය ආයතන ගැන පාරිභෝගිකයින්ගේ දුක කියන්න දු.ක. අංකයක්
(22.08.2020 – 20:59 +0530 – hirunews.lk/sinhala)
මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන මූල්‍ය සේවා ආයතන පිළිබඳව පාරිභෝගික පැමිණිලි මෙන්ම දුක් ගැනවිලි පිළිබඳ අවධානය යොමු කෙරෙන මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව මේ වනවිට ක්‍රියාත්මක බව මහ බැංකුව නිවේදනය කළා.
අදාළ ආයතනවලට සම්බන්ධ විමසීම් සහ පැමිණිලි 011 247 7966 යන දුරකතන අංකයට හෝ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01 යන ලිපිනයට ජනතාවට ඊට අදාළ තොරතුරු දැනුම්දිය හැකියි.
මූල්‍ය සේවා භාවිත කරන්නන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම ඇතුළු අරමුණු කිහිපයක් මුල්කරගෙන මෙම ඒකකය පිහිටවනු ලැබුවා ෴
*********************************************
නව කතානායක මහ නාහිමිවරුන් බැහැදකී
(22.08.2020 – 21:25 +0530 – hirunews.lk/sinhala)
9 වන පාර්ලිමේන්තුවේ මංගල සැසියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් පාර්ලිමේන්තුවේ දි කළ ප්‍රකාශය පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාව ගැන සොයා බලන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතරු දෙමින්.
අභිනව කතානායක ධුරයට පත් මහින්ද යාපා අබේවර්ධන මහතා අද (22) පස්වරුවේ මල්වතු විහාරයට පැමිණ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.
අනතුරුව අභිනව කාතානායකවරයා පැමිණියේ අස්ගිරිවිහාරයටයි.
එහිදී ඔහු අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.
මේ අතර පාර්ලිමේන්තුමන්ත්රී සී.වී. විග්නේශ්වරන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තවත් දේශපාලනඥයින් අදහස් පළකළා.
+++++++++++++++++++++
*********************************************
අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඩලන්න ජගත් සංවිධානය ශ්‍රී ලංකාව සමඟ එක්වෙයි
(23.08.2020 – 08:04 +0530 – hirunews.lk/sinhala)
සමුද්‍රීය මත්ද්‍රව්‍ය ජාවාරම, සංවිධානාත්මක අපරාධ සහ ත්‍රස්තවාදය මැඩලීමට අදාළ කටයුතු වලදී ශ්‍රී ලංකාවට සහය වීමට සූදානම් බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලය ප්‍රකාශ කරනවා.
එහි නිලධාරින් ඊයේ (22) නීතිපති දප්පුල ද ලිවේරා මහතා හමුවූ අතර, එහිදී මේ බව ප්‍රකාශ කර තිබුණා.
යුරෝපා සංගමය සහ ජර්මනියේ ඊට අදාළව මූල්‍යාධාර සැපයීමට සූදානම් බව ද සඳහන්.
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ මෙරට කලාපීය නියෝජිත ට්රොයෙල්ස් වෙස්ටර් මෙම හමුවෙන් පසුව ට්විටර් සටහනක් තබා තිබූ අතර, එහි සඳහන් වුණේ අදාළ කරුණු සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා සමග ඵලදායී සාකච්ඡාවක් පැවති බවයි.
*********************************************
ශ්‍රී ලංකාවේ 12 වන කොරෝනා මරණය වාර්තා වෙයි
(23.08.2020 – 06:28 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකාවේ 12 වන කොරෝනා මරණයද වාර්තාවී තිබෙනවා.
ඉන්දියාවේ සිට පැමිණි 47 හැවිරිදි කාන්තාවක් කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ මියගිය බවයි අයි.ඩී.එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
ඇය පිළිකා රෝගයකින් මෙන්ම අධික රුධිර පීඩනයෙන් සහ දියවැඩියාවෙන්ද පෙලුනු තැනැත්තියක බව සඳහන්.
මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2947 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ චෙන්නායි සිට පැමිණි දෙදෙනෙක් (2), කුවේට් සිට පැමිණි දෙදෙනෙක් (2), එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඇමරිකාවේ සිට පැමිණි දෙදෙනෙක් (2), ඊයේ (22) දිනයේදී ආසාදිතයන් ලෙස වාර්තා වීමත් සමගයි.
ඔවුන් විදෙස් ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
ඊයේ (22) දිනයේදී ද කොරෝනා ආසාදිතයින් 9 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබුණා.
ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2,798 ක් වාර්තා වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 137 ක්.
මේ අතර, කොරෝනා වසංගතය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කෙන්යාව සහ කටාර් රාජ්‍යවල රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 376 දෙනෙකු අද (23) අලුයම දිවයිනට පැමිණියා.
ඔවුන් කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලවලින් දිවයිනට පැමිණි අතර, පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා පිටත් කර යැවීමට පියවර ගෙන තිබෙනවා.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මේ වනවිට පුද්ගලයින් 7000 ක් යුද හමුදාවට අයත් මධ්‍යස්ථානවල නිරෝධායනට ලක්වෙමින් සිටින බවයි.
*********************************************
විදුලිය බිඳ වැටීම ගැන වාර්තාව හෙට (24)
(23.08.2020 – 07:51 +0530 – hirunews.lk/sinhala)
පසුගිය සඳුදා රට පුරා සිදුවූ විදුලිය බිඳ වැටීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව හෙට (24) විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත භාරදීමට නියමිත බව එම කමිටුවේ ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළා.
මීට පෙර විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ අත්වැරදීමක් හේතුවෙන් මෙම විදුලිය බිඳ වැටීම සිදුවූ බවයි.
අදාළ කමිටුව, ඊයේ (22) බත්තරමුල්ල – පැලවත්තේ පිහිටි ලංකා විදුලිබල මණ්ඩල පද්ධති පාලන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවුණා.
එහිදී කමිටු නිලධාරීන් එම මධ්‍යස්ථානයේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව සොයාබැලීමක නිරතවූ බවයි වාර්තාවන්නේ.
මේ අතර, අකුරැස්ස ප්‍රදේශයේ ඊයේ (22) පැවති ජන හමුවකට එක්වෙමින් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාවෙහි මෙයට වගකිව යුත්තේ අමාත්‍යාංශය ලෙස සඳහන් වුවහොත්, තමන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴