දෙවන වරටත් කොමිසමට පැමිණි ඊ.ටී.අයි. අධ්‍යක්ෂකවරු

දෙවන වරටත් කොමිසමට පැමිණි ඊ.ටී.අයි. අධ්‍යක්ෂකවරු

රාවණා ඇල්ල අසළ තවත් දරුණු අනතුරක්, දෙදෙනෙකු (2) මරුට

අම්බලන්ගොඩදී වෙඩි වැදුණු පුද්ගලයා මරුට

රජයේ රැකියා වැඩසටහන සඳහා තෝරා නොගත් උපාධිධාරීන්ට දැනුම්දීමක්

ළමා අපචාර විභාග කිරීම සඳහා අවශ්‍යවුවහොත් වෙනම අධිකරණයක් – අධිකරණ අමාත්‍ය අලි සබ්රි

වී වලින් ඵලදාව ගත නොහැකිව අසරණ වූ පොළොන්නරුවේ ගොවීන්

ආපදාවට ලක්වූ ආපදා ගොඩනැගිල්ල

අලව්වේ සහ ඇල්ලේ මාරක රිය අනතුරු – අටදෙනෙකු (8) ජීවිතක්ෂයට

කෝප් සහ කෝපා කාරක සභාවලට සාමාජිකයන් පත් කිරීම ලබන සතියේ

හදිසි විදුලිය බිඳවැටීම ගැන සොයන කමිටුව පැලවත්තේ පද්ධති පාලන මධ්‍යස්ථානයට

ගතවූ සතියක කාලය තුළ බස්නාහිර පළාතේ විශේෂ වැටලීම් 3324 ක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරයා හඬා වැටෙමින් පාස්කු කොමිසමේ දුන් සාක්ෂි

*********************************************

දෙවන වරටත් කොමිසමට පැමිණි ඊ.ටී.අයි. අධ්‍යක්ෂකවරු

(22.08.2020 – 12:21 +0530 – hirunews.lk/sinhala)

ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, නාලක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන ඊ.ටී.අයි. අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් ඇතුළු තවත් ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු (4) ඊයේ (21) කොමිසම හමුවේ පෙනී සිටියා.

කොමිසම හමුවේ අනාවරණ වූයේ එම ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවටයි.

කොමිසම ආරම්භයේදීම එහි සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේ, එදිරිසිංහ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අරුලානන්දන් මහතාගේ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව බවත් කිසියම් සාක්ෂිකරුවෙකුට කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට බලපෑම් කිරීමට නීතිමය බලයක් කොමිසමට නොමැති නිසා ජීවක, අසංක, නාලක සහ දීපා එදිරිසිංහ යන ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිව් දෙනාගෙන් (4) සාක්ෂි විමසීමෙන් වැළකී සිටීමට කොමිසම තීරණය කළ බවයි.

ඉන් අනතුරුව සාක්ෂි ලබාදීමට පැමිණි ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු, නාලක එදිරිසිංහ රුපියල් මිලියන 50 ක් ඉල්ලූ අවස්ථාවේදී තමන් එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පහර දෙන බවට තර්ජනය කළ බව සඳහන් කළා.

ඔහු සඳහන් කළේ තවත් අවස්ථාවකදී නාලක එදිරිසිංහ ඉල්ලා සිටි රුපියල් මිලියන 200 ක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා තමන්ට මැර ප්‍රහාරයකට පවා ලක්වීමට සිදු වූ බවයි.

ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයෙන් එල්ල වූ මෙවැනි තර්ජන හේතුවෙන් තමන් සේවයෙන් ඉවත් වීමට තීරණය කළ බව සාක්ෂිකරු කොමිසම හමුවේ පැවසුවා.

ඉන් අනතුරුව සාක්ෂි ලබාදීමට පැමිණි තවත් ඊ.ටී.අයි. අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු පෙන්වා දුන්නේ, ඊ.ඒ.පී. බ්‍රෝඩ්කාස්ටින් ආයතනයේ මුදල් පිළිබඳව කළ විමර්ශනයකදී, එහි ආදායම වක්‍රාකාරයකින් එදිරිසිංහ පවුලේ සාමාජිකයින්ම පරිහරණය කර ඇතැයි අනාවරණ වූ බවයි.

සෝමා එදිරිසිංහ මහත්මියට රුපියල් මිලියන 35 ක නව මෝටර් රථයක් ලබාගැනීම සඳහා මිලියන 15 ක් අවශ්‍ය වූ අවස්ථාවක, අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව එය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තමාට ඊ.ටී.අයි. අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත්වීමට සිදු වූ බවද සාක්ෂිකරු කොමිසමට පැවසුවා.

ජීවක එදිරිසිංහ ඇතුලු පිරිසක් තම නිවසට පැමිණ ඊ.ටී.අයි. ආයතනයෙන් ඉවත්වන ලෙස දැන්වූ අවස්ථාවේදී, මහ බැංකුවේ අනුමැතිය ඊට අවශ්‍ය බව ඔවුන්ට පැවසූ බව සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළා.

එදින මහ බැංකු නිවාඩු දිනයක් වුවද, එදින පස්වරුවේම තමන්ට එම අනුමැතිය ඇතුළත් ලිපිය ලැබුණු බව සාක්ෂිකරු වැඩිදුරටත් පැවසුවා.

සාක්ෂිකරු පෙන්වා දුන්නේ, ඊ.ටී.අයි. ආයතනය සතු දේපළ රැසක් මිළදීගෙන ඇත්තේ මහ බැංකුවට අනාවරණ නොකළ ගිණුමකින් බවයි.

අදාළ ගිණුමෙන් මුදල් වියදම් කළ ආකාරය තමන් නොදන්නා නමුත් බොහෝ මුදල් වියදම් කර තිබුණේ ආදායම් බදු නිලධාරීන්ට අල්ලස් දීම සඳහා බවද සාක්ෂිකරු පැවසුවා.

මෙහිදී ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ, මේ සියලු කරුණුවලට මහ බැංකුවද වගකිව යුතු බවට තමන්ට හැඟෙන්නේ නැද්ද යන්න පිළිබඳවයි.

එවිට සාක්ෂිකරු පැවසුවේ, මෙම කරුණු පිළිබඳව මහ බැංකුව දැනුවත් බව තමන්ට වැටහුණු බවයි.

අදාළ කරුණු මහ බැංකුව දන්නා බවට ජීවක එදිරිසිංහ විටෙක තමන් සමග පැවසූ බව ද සාක්ෂිකරු කොමිසමට කියා සිටියා.

සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ ඊ.ඒ.පී. බ්‍රෝඩ්කාස්ටින් ආයතනයේ සිදු වූ මූල්‍ය වංචාවක් පිළිබඳව සොයන අවස්ථාවකදී තමන්ට ජීවිත තර්ජනද එල්ල වූ බවයි.

එමෙන්ම අවුරුදු 5 ක පමණ බදු මුදල් ගෙවීම පිළිබඳව ගනුදෙනු නිවැරදිව සකස් කර නොතිබූ බවද තමන්ට දැකගන්නට ලැබුණු බව සාක්ෂිකරු සඳහන් කළා.

එමෙන්ම තම තැන්පත්කරුවන් ආදායම් බදුවලින් නිදහස් වීම සඳහා ඊ.ටී.අයි. ආයතනය මහ බැංකුවට අනාවරණ නොකළ ගිණුමෙන් මුදල් තැන්පත් කරන බවත් රජයේ විගණකාධිපතිවරයාද මෙහි මුදල් තැන්පත් කර තිබූ බව තමන්ට දැනගැනීමට හැකි වූ බවත් සාක්ෂිකරු පැවසුවා.

*********************************************

රාවණා ඇල්ල අසළ තවත් දරුණු අනතුරක්, දෙදෙනෙකු (2) මරුට

(22.08.2020 – 08:57 +0530 – hirunews.lk/sinhala)

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ වෑන් රථයක් පෙරළීමෙන් දෙදෙනෙකු මරුට

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු (2) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (22) උදෑසන සිදුවූ මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූවන් බදුල්ල මහ රෝහලට සහ වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=UhCht6x3sWw#t=6

*********************************************

අම්බලන්ගොඩදී වෙඩි වැදුණු පුද්ගලයා මරුට

(22.08.2020 – 10.12 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්ගොඩ – පැරට් මංසන්ධියේ අද (22) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ උදෑසන 08:50 ට පමණ යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි අම්බලන්ගොඩ – කුලීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

*********************************************

රජයේ රැකියා වැඩසටහන සඳහා තෝරා නොගත් උපාධිධාරීන්ට දැනුම්දීමක්

(22.08.2020 – 10:23 +0530 – hirunews.lk/sinhala)

රැකියා විරහිත උපධිධාරීන්, ඩිප්ලෝමාධාරීන්, රැකියා ගත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් සපුරා ඇති එහෙත් අභ්‍යාසලාභී පුහුණුව සඳහා සුදුසුකම් නොලැබූ, අයදුම්කරුවනට ඒ සඳහා අභියචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා.

ඒ අනුව ප්‍රතික්ෂේප වීමේ හේතුව ලෙස සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය තිබීම හා රැකියාවක නිරතවීම ලෙස සඳහන් සඳහන් අයදුම්කරුවන්ට මෙලෙස අභියාචනා ඉදිරිපත් කිරීමට අවසථාව හිමි වන බවයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සදහන් කළේ.

එම අයදුම්කරුවන් සැප්තැම්බර් මස 15 දිනට පෙර රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නිළ වෙබ් අඩවිය වන www.pubad.gov.lk හි සදහන් දැන්වීම අනුව අයදුම් කළ යුතු වනවා.

එම අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා වැඩිදුරත් කියා සිටියේ සුදුසුකම් ලැබූ අයදුම් කරුවන් පුහුණුව සදහා කැඳවීමට අපේක්ෂා කරන බවයි ෴

[ අභියාචනා ඉදිරිපත් කිරීම – රැකියා විරහිත (2020-08-22) (වෙනත්) ] (pdf file)

*********************************************

ළමා අපචාර විභාග කිරීම සඳහා අවශ්‍යවුවහොත් වෙනම අධිකරණයක් – අධිකරණ අමාත්‍ය අලි සබ්රි

(22.08.2020 – 12:14 +0530 – hirunews.lk/sinhala)

ළමා අපචාර විභාග කිරීම සඳහා අවශ්‍යවුවහොත් වෙනම අධිකරණයක් පිහිටුවීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළකළේ කොළඹදී පැවති උත්සවයකදී.

ළමා අපචාර වැළැක්වීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මෙම උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

*********************************************

වී වලින් ඵලදාව ගත නොහැකිව අසරණ වූ පොළොන්නරුවේ ගොවීන්

(22.08.2020 – 12:28 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්ම නිලධාරීන්ගේ උපදෙස් මත වගා කළ වී වලින් ඵලදාව ගත නොහැකිව අසරණ වූ ගොවීන් පිරිසක් පිළිබඳව පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ, තමන් පත්ව සිටින අපහසුතාව සළකා කිසියම් සහනයක් සලසන ලෙසටයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය, හිඟුරක්ගොඩ, දියබෙදුම ආදී ප්‍රදේශ රැසක ගොවීන්ගේ කුඹුරු පසුගිය දෙසැම්බර් කාලයේදී ඇතිවූ ජල ගැලීම් හේතුවෙන් පාළුවීමත් සමග මෙවර කන්නයේ වගා කිරීම සඳහා කෘෂි නිලධාරීන් නව වී ප්‍රභේදයක් හඳුන්වා දී තිබෙනවා.

ගොවීන් පවසන්නේ, මෙම වී ප්‍රභේදය මගින් කොවිඩ් 19 රෝගීන් වෙනුවෙන් විශේෂ කැඳ වර්ගයක් පිලියෙල කරගත හැකි වීම ඇතුළු විශේෂතා රැසක් පිළිබඳව කෘෂි නිලධාරීන් තමන්ව දැනුම්වත් කළ බවයි.

කෘෂි නිලධාරීන්ගේ දැනුම්වත් කිරීම හමුවේ මෙම ගොවීන් මෙවර කන්නය වගා කර ඇත්තේ කාබනික පොහොර ද යොදාගෙනයි.

මෙම තත්ත්වය හමුවේ මේ වනවිට ගොවීන්ට සිදුව ඇත්තේ දැඩි පරිශ්‍රමයක් දරා වගා කළ තම ගොයම ගිනි තැබීමටයි.

*********************************************

ආපදාවට ලක්වූ ආපදා ගොඩනැගිල්ල

(22.08.2020 – 12:32 +0530 – hirunews.lk/sinhala)

අගලවත්ත ප්‍රදේශයේ ජනතාව මුහුණපාන ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා 2010 ඉදි කළ ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සහ ශ්‍රවනාගාරය සහිත ගොඩනැගිල්ලයි මේ.

එකල කොරියානු රජයේ ආධාර යටතේ රුපියල් ලක්ෂ 900 ක වියදමින් අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් ලෙසින් මෙය ඉදි කර තිබෙනවා.

නමුත් කාලය ගෙවීයත්ම ගොඩනැල්ලි ආශ්‍රිතව ඇතිවූ වෙනස්වීම් හමුවේ මෙය භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්වනනේ 2016 වසරේදීයි.

ඒ අනුව මොරටුව විශ්ව විද්‍යාලය මගින් අදාළ ගොඩනැල්ලේ, ඉදිකිරීම් හා ව්‍යුහාත්මක පරීක්ෂණයක් සිදු කර ඇති අතර ඔවුන් නිර්දේශ කර ඇත්තේ ගොඩනැගිල්ල භාවිතයට ගත නොහැකි බවටයි.

ඉතා විශාල මුදල් වැය කර අගලවත්ත නගරයේ හදවත බඳුවූ ස්ථානයේ ඉදි කර ඇති මේ ගොඩනැගිල්ල අද වන විට ප්‍රදේශයේ ජනතාවට පාරාවළල්ලක් වී අවසන්.

ඉතා විශාල පිරිසක් මෙම ගොඩනැල්ල ආශ්‍රිතව දිනපතා ගැවසෙන හෙයින් අද වන විට එහි ජීවිත අවදානමක් පවා නිර්මණය කර තිබෙනවා.

නමුත් ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමද අද වන විට ගැටළුවක් බවට පත්ව තිබෙන්නේ ඒ සඳහාද ඉතා විශාල මුදලක් වැය කරන්නට සිදුව ඇති නිසායි.

නිසි ප්‍රමිතියකින් තොරව ඉදි කල මෙම ගොඩනැගිල්ල මෙම ස්ථානයෙන් ඉවත්වන තුරු බලධාරීන් නිදා සිටින්නේ ජීවිත හානි සිදුකරමින් මෙය කඩා වැටෙන තෙක්ද..?

මෙම ගොඩනැලිල්ල සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබාදීම සඳහා අදාළ බලධාරීන්ගේ නෙත යොමුවන තුරු රතු මිනිත්තුව අවධානයෙන්.

*********************************************

අලව්වේ සහ ඇල්ලේ මාරක රිය අනතුරු – අටදෙනෙකු (8) ජීවිතක්ෂයට

(22.08.2020 – 12:37 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ දෙකක (2) අද (22) පෙරවරුවේ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් අටදෙනෙකු (8) ජීවිතක්ෂයට පත්වුණා.

අද (22) අලුයම 04:05 ට පමණ කොළඹ – කුරුණෑගල මාර්ගයේ අලව්ව – වළකුඹුර ප්‍රදේශයේදී එක් රිය අනතුරක් සිදුවූ අතර, එහිදී පුද්ගලයින් පස්දෙනෙකු (5) ජීවිතක්ෂයට පත්වුණේ ටිපර් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්.

සිද්ධියෙන් මෝටර් රථයේ ගමන් ගත් සියලුදෙනාම මියගිය බවයි පොලීසිය සඳහන් කළේ.

ඔවුන් වරකාපොල ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී නැවත කුරුණෑගල බලා පැමිණෙමින් සිටියදියි අනතුරට මුහුණ දී ඇත්තේ.

මියගිය පස්දෙනා (5) පෞද්ගලික ඉදිකිරීම් සමාගමක සේවය කරන්නන් වන අතර, මෝටර් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව ලෙස සැළකෙනවා.

මේ අතර ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් තවත් රිය අනතුරක් අද (22) උදෑසන සිදුවුණා.

එහිදී පුද්ගලයින් තුන්දෙනෙකු (3) ජීවිතක්ෂයට පත්වී තවත් තුන්දෙනෙකු (3) තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

ගාල්ල ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී බදුල්ල බලා ගමන් කරමින් සිටි පිරිසක් රැගත් අදාළ වෑන් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථය තුළ පුද්ගලයින් හයදෙනෙකු (6) සිට ඇති අතර, එම ස්ථානයේදීම පුද්ගලයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ තුන්දෙනෙකු (3) බදුල්ල මහ රෝහලට සහ වැල්ලවාය රෝහලට ඇතුළත් කර තිබුණා.

අනෙක් පුද්ගලයා වෑන් රථය තුළ සිරවී සිටි අතර, ඔහු මුදාගැනීම සඳහා පොලීසිය සහ ප්‍රදේශවාසීන් කටයුතු කළද, එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය සඳහන් කළේ.

+++++++++++++++++++++

*********************************************

කෝප් සහ කෝපා කාරක සභාවලට සාමාජිකයන් පත් කිරීම ලබන සතියේ

(22.08.2020 – 12:41 +0530 – hirunews.lk/sinhala)

09 වන පාර්ලිමේන්තුවේ කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාව සහ කෝපා හෙවත් රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා සඳහා සාමාජිකයින් පත් කිරිම ලබන සතියේ සිදු කිරිමට නියමිතයි.

ඒ අනුව බොහෝ දුරට එම කටයුතු මීළගට පාර්ලිමේන්තුව රැස්වන ලබන බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා සිදු කරනු ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම මෙම කමිටු දෙකට මෙන්ම පාර්ලිමේන්තුවේ විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා සඳහා නියෝජිතයින් පත් කිරිමට ද සියලු පක්ෂ වලින් නාමයෝජනා කැඳවා තිබෙනවා.

ඒ ඊයේ (21) රැස්වු පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව එළඹි තිරණයකට අනුවයි.

කෙසේවෙතත්, කෝප් සහ කෝපා යන කමිටු දෙකේහිම සභාපතිත්වය විපක්ෂයට ලබා දෙන ලෙස මේවන විට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබෙනවා.

එම ඉල්ලිම ඊයේ (21) රැස් වු පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල විසින් නැවත ඉදිරිපත් කර තිබුණා.

අටවන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති කටයුතු කළ අතර කෝපා කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතායි.

මේ අතර විසිවන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කෙටුම්පත සකස් කිරීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි විසින් සිදු කරන බවයි රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

අදාළ කෙටුම්පත සකස් කිරීමෙන් අනතුරුව එය, අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල යන මහත්වරු ඇතුලු පිරිස නියෝජනය කරන කමිටුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන් පසුව ඒ පිළිබඳ නිර්දේශ අදාළ කමිටුව මගින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඉදිරි ක්‍රියාමාර්ගවලට එළඹෙනු ඇති.

*********************************************

හදිසි විදුලිය බිඳවැටීම ගැන සොයන කමිටුව පැලවත්තේ පද්ධති පාලන මධ්‍යස්ථානයට

(22.08.2020 – 12:45 +0530 – hirunews.lk/sinhala)

රට පුරා සිදුවූ හදිසි විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුව, අද (22) බත්තරමුල්ල – පැලවත්තේ පිහිටි ලංකා විදුලිබල මණ්ඩල පද්ධති පාලන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවුණා.

එහිදී කමිටු නිලධාරීන් එම මධ්‍යස්ථානයේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව සොයාබැලීමක නිරතවූ බවයි වාර්තාවන්නේ.

මෙම කමිටුව සකස් කරන වාර්තාව අනිද්දා (24) විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත භාරදීමට කටයුතු කරන බව එම කමිටුවේ සාමාජිකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

කෙරවලපිටිය ග්‍රිඞ් උපපොළේ ඇති වූ දෝෂයට අදාළව ක්‍රියාත්මක කළ විදුලිය විසන්ධි කිරීම ඊයේ සිට නතර කෙරුණු අතර, මේ වනවිට විදුලිබල පද්ධතිය ස්ථාවර මට්ටමක පවතින බවයි විදුලි ඉංජිනේරුවරුන් කියා සිටියේ ෴

*********************************************

ගතවූ සතියක කාලය තුළ බස්නාහිර පළාතේ විශේෂ වැටලීම් 3324 ක්

(22.08.2020 – 12:58 +0530 – hirunews.lk/sinhala)

ගතවූ සතියක කාලය තුළදී බස්නාහිර පළාතේ තුළ සිදුකළ විශේෂ වැටලීම් 3324 කදී සැකකරුවන් 3409 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

මේ අතර, අද (22) උදෑසන අම්බලන්ගොඩ පැරට් මංසන්ධියේ සිදුවූ වෙඩි තැබීමකින් 49 හැවිරිදි තිදරු පියෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අම්බලන්ගොඩ පැරට් මංසන්ධියේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණා.

අද (22) උදෑසන 08:55 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, පොලීසිය සඳහන් කළේ සැකකරුවන් සම්බන්ධයෙන් CCTV දර්ශන උපයෝගී කරගනිමින් විමර්ශන සිදුකරන බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ රැසක් සම්බන්ධයෙන් ‘වේයන්ගොඩ හැට්ටයා’ හෙවත් ‘වන්නිආරච්චි කංකානම්ලාගේ ප්‍රියන්ත රණවීර’ ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඔහු පසුගිය 15 වැනිදා මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, මේ දක්වා රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබුවා.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් බවට සැකකෙරෙන රුපියල් 98 ලක්ෂයක චෙක්පත් සහ හෙරොයින් ග්‍රෑම් 5 ක් සොයාගෙන තිබෙනවා.

අදාළ සැකකරු 41 හැවිරිදි වේයන්ගොඩ හීන්කෙන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මීරිගම නගරය තුළ ගරාජයක සඟවා තිබියදී ගල්කටස් වර්ගයේ ගිනි දෙකක් (2), විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක් (1), යුද හමුදා නිල ඇඳුම් කට්ටලයක් (1), ව්‍යාජ වාහන අංක තහඩු දෙකක් (2), විවිධ වර්ගයේ ආයුධ සඳහා භාවිත කරන පතරොම්, පොලිස් නිල ඇඳුම් සඳහා භාවිත කරන රෙදි සහ අත්මාංචුවක් සමග සැකකරුවෙක් පසුගියදා අත්අඩංගුවට පත්වුණා.

ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය මීට පෙර අවසර ලබාදුන් අතර, අදාළ ප්‍රශ්න කිරීම්වලදී විදෙස් රටක නිෂ්පාදිත කුඩා අත්බෝම්බයක් සොයා ගැනීමටද මීරිගම පොලීසියට හැකිවුණා.

මේ අතර, ගල්කිස්සේ සිට මට්ටක්කුලිය දක්වා ප්‍රවාහනය කරමින් සිටි ගංජා කිලෝ 10 යි ග්‍රෑම් 800 ක් සමග 28 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (21) රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස් මහවත්ත හන්දිය ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී.

ගංජා ප්‍රවාහනය කළ මෝටර් රථයක්ද මට්ටක්කුලිය පොලිසිය භාරයට ගෙන ඇති අතර, සැකකරු අද (22) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වලාන දූෂණ මර්දන ඒකකය ගාල්ල හියාරේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනෙක් (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 66 ක් සහ 44 ක් වන හියාරේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, එම ස්ථානයේ තිබී ගෝඩා මිලිලීටර් 3,23,000 ක්, නීතිවිරෝධී මත්පැන් මිලිලීටර් 28,500 ක් සහ විකිණීමට සූදානම් කර තිබූ මත්පැන් බෝතල් 38 ක් දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් වසර 20 ක පමණ සිට මෙම මත්පැන් ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට අනාවරණවී තිබෙනවා.

මේ අතර, කළුතර – පීනියාවල – ගල්දෙණිඇල්ල ප්‍රදේශයේ නිවසක් බිඳ මුදල් සොරාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ගල්දෙණිඇල්ල ප්‍රදේශයේ ගොවිපොළක සඟවා තිබූ වායු රයිෆලයක් සහ හක්කපටස් සොයාගැනීමට පීනියාවල පොලීසියට හැකිවුණා.

විමර්ශන අතරතුරදී සැකකරු පොලීසියට පහරදී පලායාමටද උත්සාහ කර තිබෙන අතර, සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

*********************************************

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරයා හඬා වැටෙමින් පාස්කු කොමිසමේ දුන් සාක්ෂි

(22.08.2020 – 13:10 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරට පෙර දින සහ ප්‍රහාරය එල්ල වීමට මිනිත්තු කිහිපයකට පෙර එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එය දැනුම් දීමට තමන් උත්සහ කළද ඒ වන විට පෞද්ගලික විදෙස් සංචාරයක නිරතව සිටි හිටපු ජනාධිපතිවරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) 16 වන දිනටත් ජනපති කොමිසමේ සාක්ෂි ලබාදෙමින්.

කොමිසමේ ප්‍රශ්න කිරීම් හමුවේ හඬා වැටෙමින් පිළිතුරු දුන් නිලන්ත ජයවර්ධන මහතා ප්‍රහාරයට පෙර ජාතික ආරක්ෂක කවුන්සිලය අවසන් වරට රැස්වූයේ පෙබරවාරි මාසයේ බවද අනාවරණය කළා.

+++++++++++++++++++++

***************************************

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ මැති ඇමතිවරුන් රැසක් ඊයේ (21) පස්වරුවේ වැල්ලවත්තේ සිනමාහලක තිරගතවන ‘ද නිව්ස් පේපර්’ චිත්‍රපටය නැරඹීමට එක්වුණා. (22.08.2020)
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *