බෞද්ධ විශ්වවිද්‍යාල 2 අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

බෞද්ධ විශ්වවිද්‍යාල 2 අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක් ගිනිගෙන විනාශ වෙයි

හිටපු අගමැති රනිල්ට නොතීසි

දින 5 කට පසු නොරොච්චෝලෙන් මෙගාවොට් 270 ක් ජාතික විදුලි පද්ධතියට – අද (21) රාත්‍රියේ සිට විදුලි කප්පාදුවක් නැහැ

19 වන සංශෝධනය හැකි ඉක්මනින් වෙනස් කළ යුතු බව පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් කියයි

මහ මග දමා ගිය දරු සෙනෙහස

ව්‍යාජ ලියකියවිලි සකස්කර වංචනික ජාවාරමක නියැලුන පුද්ගලයෙකු අත්අඩංගුවට

කොවිඩ් අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1567 දක්වා ඉහළට

ටිපර් රථයක් සහ මෝටර් රථයක් ගැටී පස්දෙනෙකු (5) මරුට

රුපියල් බිලියන 949.76 ක අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට

ලොව පුරා කොරෝනා මරණ අටලක්ෂය ඉක්මවයි – රුසියානු එන්නත ශ්‍රී ලංකාවටත් යොදාගැනීම ගැන අවධානය

*********************************************

බෞද්ධ විශ්වවිද්‍යාල 2 අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

(21.08.2020 – 21:33 +0530 – hirunews.lk/sinhala)

මහා සංඝරත්නයේ ඉල්ලීම මත ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

එම විශ්වවිද්‍යාල දෙක විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පත් කිරීමේ හැකියාව සොයා බැලීමට ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ඒවායේ අනන්‍යතාව සුරැකෙන පරිදි අධීක්ෂණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා යටතේ විධිමත්ව සිදුකරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ 05 වැනි සභා වාරයේ දීයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.

ජනාධිපති උපදේශක සභා වාර 04 කදී මහා සංඝරත්නය කළ යෝජනා සහ අනුශාසනා සම්බන්ධයෙන් රජය ගත් ක්‍රියාමාර්ග සහ ඒවායේ ප්‍රගතිය ඉදිරි සභාවේදි ඉදිරිපත් කරන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කිරීමේදී බෞද්ධ උපදේශන සභාවේ අනුශාසනා පාදක කරගත් බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වාදී තිබෙනවා.

රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී ඉදිරියටත් මහා සංඝරත්නයේ මගපෙන්වීම තමා අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

එමෙන්ම දහම්පාසල්, භික්ෂු අධ්‍යාපනය, පිරිවෙන් සහ බෞද්ධ විශ්වවිද්‍යාලවල උන්නතිය වෙනුවෙන් එක් රාජ්‍ය අමාත්‍යාංශයක ඝෘජු අධීක්ෂණයට පත් කළ බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

+++++++++++++++++++++

*********************************************

ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක් ගිනිගෙන විනාශ වෙයි

(21.08.2020 – 18:16 +0530 – hirunews.lk/sinhala)

හැටන් සිට බගවන්තලාව රොබ්ගිල් දක්වා ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක් ගිනිගෙන විනාශවී තිබෙනවා.

අද (21) පස්වරු 4 ට පමණ ත්‍රී රෝද රථය ගිනිගෙන ඇත්තේ වානකඩුව වත්ත ප්‍රදේශයේදීයි.

කුලී ගමනක් යමින් සිටියදී එය අනතුරට ලක්වී ඇති අතර රියදුරාට හෝ මගියාට හානියක් සිදුවී නැහැ.

කාර්මික දෝශයක් හේතුවෙන් ත්‍රී රෝද රථය ගිනිගන්නට ඇතැයි සැක කෙරෙනවා.

*********************************************

හිටපු අගමැති රනිල්ට නොතීසි

(21.08.2020 – 18:51 +0530 – hirunews.lk/sinhala)

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලබන මස 4 සහ 7 යන දෙදින තුල දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙසට අද (21) නොතීසි නිකුත් කළා.

ඒ, ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සහ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතා එම කොමිසමට කළ පැමිණිලිවලට අදාළවයි.

දිවිනැගුම දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමේදී ස්වේච්ඡාවෙන් ඉවත් වූ සේවකයින්ට වන්දි සහ පාරිතෝෂික දීමනා ලබාදීම මෙන්ම, ඉසුරුමත් නිවාස ව්‍යාපෘතිය යටතේ දිවිනැගුම සහනාධාරලාභීන්ට සහනාධාර මුදල් ලබාදීමේ සිද්ධීන් අදාළව තමා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීම දේශපාලන බලපෑම් මත සිදුකර ඇති බවටයි වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කොමිසමට පැමිණිලි කර ඇත්තේ.

සිද්ධියට අදාළව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, මලික් සමරවික්‍රම, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, එම්.ඒ. සුමන්තිරන් හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු පිරිසකට අද (21) දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබුණා.

ඒ අනුව මංගල සමරවීර, මලික් සමරවික්‍රම සහ එම්.ඒ. සුමන්දිරන් ඇතුළු පිරිසක් කොමිසම හමුවේ අද (21) පෙනී සිටි අතර, පාඨලී චම්පික රණවක සහ අනුර කුමාර දිසානායක වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරුන් කොමිසමට කරුණු ඉදිරිපත් කළා.

ඔවුන් සඳහන් කළේ පැමිණිලිවලට අදාළ ප්‍රකාශවල පිටපත් අධ්‍යයනය සඳහා කාලයක් අවශ්‍ය බවයි.

කෙසේ වෙතත්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රවුෆ් හකීම් සහ ආර්. සම්බන්ධන් හා දූෂණ විරෝධී කමිටුවේ ලේකම් ආනන්ද විජේපාල යන අය අද (21) දිනයේ කොමිසම හමුවේ පෙනී සිටියේ නැහැ.

ඒ අනුව, ලබන 9 හෝ 11 වනදින ඔවුන්ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට අද (21) යළි නොතීසි නිකුත් කිරීමට දේශපාලන පලිගැනීම් පිලිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව කටයුතු කළා.

එමෙන්ම, ලබන 10 වනදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්නට සහ පාඨලී චම්පික රණවකට ද නීතිඥවරයා මාර්ගයේ දැනුම්දීමක් සිදුකර ඇත්තේ රක්නාලංකා ආරක්ෂක සමාගමේ සභාපති වික්ටර් සමරවීර මහතා කළ පැමිණිල්ලකට අදාළවයි.

මේ අතර මෙම කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න වැරදීමකින් අද (21) එහි පැමිණ සිටි බවද අප වාර්තාකරු සඳහන් කළා.

පසුව ඔහු හරවා යැවීමටයි කොමිෂන් සභාවේ නිලධාරීන් කටයුතු කර ඇත්තේ.

*********************************************

දින 5 කට පසු නොරොච්චෝලෙන් මෙගාවොට් 270 ක් ජාතික විදුලි පද්ධතියට – අද (21) රාත්‍රියේ සිට විදුලි කප්පාදුවක් නැහැ

(21.08.2020 – 19:20 +0530 – hirunews.lk/sinhala)

අද (21) රාත්‍රියේ සිට විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ නොරොච්චෝල බලාගාරයේ විදුලි ජනන කටයුතු යථා තත්වයට පත්කිරීම හේතුවෙන්.

කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළේ ඇති වූ දෝෂය හේතුවෙන් අක්‍රිය වූ නොරෙච්චෝලේ ලක් විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අද (21) පස්වරුවේ ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කෙරුණා.

එයින් මෙගාවොට් 270 ක් මුදා හැරෙන අතර, සෙසු ජනන යන්ත්‍ර දෙක (2) ඉදිරියේදි සක්‍රිය කිරීමට නියමිතයි.

කෙරවලපිටිය විදුලි බලාගාරයේ නඩත්තු කටයුත්තකදි විදුලි අධිකාරිවරයෙකු අතින් සිදු වු අත්වැරදිමක් නිසා සමස්ත දිවයිනටම මෙලෙස විදුලිය විසන්ධි වූ බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්විම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු සංගමය අද (21) විදුලිබල අමාත්‍යංශයට පැමිණියා.

පසුගිය දිනවල විදුලි සැපයුම සීමා කිරිමේ තත්ත්වය මේ වනවිට ඉවත් කිරිමට හැකියාව ලැබී ඇති බවයි විදුලි බල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කෙසේ වෙතත්, මෙම සිදුවීම පිළිබඳ සොයා බැලීම සඳහා විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් පත්කළ කමිටුවේ වාර්තාව ලබන සඳුදා (24) භාරදීමට නියමිතයි.

එසේම, මහජන උපයෝගිතා කොමිසමේ නිළධාරින් පිරිසක් ද අද (21) කෙරවලපිටිය ග්‍රිඩ් උපපොලෙහි නිරික්ෂණ චාරිකාවක නිරත වු අතර, එම නිරික්ෂණ ඇතුළත් ස්වාධීන වාර්තාව ඉදිරියේදි නිකුත් කරන බව එම කොමිසම සඳහන් කළා.

මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ ඇතැම් නිළධාරින් හේතුවෙන් එය පාඩු ලබන ආයතනයක් බවට පත්ව ඇති බව මහජන අයිතින් සුරැකිමේ ජාතික ව්‍යාපාරය චෝදනා කළා.

*********************************************

19 වන සංශෝධනය හැකි ඉක්මනින් වෙනස් කළ යුතු බව පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් කියයි

(21.08.2020 – 20:12 +0530 – hirunews.lk/sinhala)

19 වන ව්‍යවස්ථා සංශෝධනය හැකි ඉක්මනින් වෙනස් කිරීමට කටයුතු කළ යුතු බව ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් පවසනවා.

මේ අතර, තවත් දේශපාලන නියෝජිතයින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අදහස් පළ කළා.

*********************************************

මහ මග දමා ගිය දරු සෙනෙහස

(21.08.2020 – 20:22 +0530 – hirunews.lk/sinhala)

කුරුඳුවත්ත පොලිසියට ලද තොරතුරක් මත, අද (21) පෙරවරුවේ ටොරිංටන් මාවත ‘හැටේ වත්ත’ ප්‍රදේශයේදි සිදු කල සෝදිසියකදි, මාර්ගය අසල දමා ගොස් සිටියදී හමු වූ අලුත උපන් බිළිදා රිජ්වේ ආර්යා ළමා රෝහලේ නව ජන්මානු ඒකකයේ ප්‍රතිකාර ලබන අතර රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය සඳහන් කලේ බිළිඳා මේ වන විට ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

*********************************************

ව්‍යාජ ලියකියවිලි සකස්කර වංචනික ජාවාරමක නියැලුන පුද්ගලයෙකු අත්අඩංගුවට

(21.08.2020 – 21:26 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ලියකියවිලි සකස්කරමින් වංචනික ජාවාරමක නියැලුන පුද්ගලයෙකු අද (21) බස්නාහිර පලාත් විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ද කාන්තාවන් කිහිපදෙනෙකුම අත්අඩංගුව ගැනිමට පොලිසිය කටයුතු කළා.

රුපියල් ලක්ෂ 22 ක් පමණ වටිනාකමකින් යුත් කුෂ් නැමති ගංජා තොගයක් අමෙරිකා එක්සත් ජනපදයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබියදි සොයා ගැණිමට ගුවන් තොටුපල බලධාරින් කටයුතු කළා.

පාර්සල් තුනක් (3) ලෙස සකස් කර බිස්කට් පැකට්ටුවක සහ විෂබීජහරණ උපකරණ සේ පෙනෙන අයුරින් මෙම ගංජා තොගය එවා තිබෙනවා.

අදාළ පාර්සල් භාර ගැනීම සඳහා මෙතෙක් කිසිදු පුද්ගලයෙකු ගුවන් තොටුපොළ වෙත පැමිණ නොමැති බවයි අනාවරණය වී ඇත්තේ.

*********************************************

කොවිඩ් අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1567 දක්වා ඉහළට

(22.08.2020 – 06:16 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1567 ඉක්මවා ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිල්කුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මෙම සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය මේ වනවිට රුපියල් 1,567,551,476.66 ක් බවයි.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ මෙම ගිණුමට දායක වී සිටින අතර චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www.itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකියි.

මේ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු දුරකථන අංක 076 070 0700 / 011 232 0880 / 011 235 4340 / 011 242 4012 ඇමතීමෙන් දැනගැනීමට හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් දැනුම් දෙන්නේ ෴

*********************************************

ටිපර් රථයක් සහ මෝටර් රථයක් ගැටී පස්දෙනෙකු (5) මරුට

(22.08.2020 – 06:19 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – කුරුණෑගල මාර්ගයේ අලව්ව – වළකුඹුර ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු (5) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අද අලුයම මෝටර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.

සිද්ධියෙන් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයින් පස්දෙනාම (5) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔවුන් වරකාපොල ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී නැවත කුරුණෑගල බලා පැමිණෙමින් සිටියදී මෙලෙස අනතුරට ලක්වී ඇති අතර, ජීවිතක්ෂයට පත්වූවන් පෞද්ගලික ඉදිකිරීම් සමාගමක සේවය කරන්නන් බවයි පොලීසිය සඳහන් කළේ.

*********************************************

රුපියල් බිලියන 949.76 ක අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට

(22.08.2020 – 06:41 +0530 – hirunews.lk/sinhala)

රජයේ ඉදිරි මාස හතරක වියදම් පියවා ගැනීම සඳහා රුපියල් බිලියන 949.76 ක අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

සැප්තැම්බර් මස 1 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුළ රජයේ වියදම් පියවා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති මෙම විසර්ජන පනත් කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයටද ඇතුළත් කර අවසන්.

මේ අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පවතින සාධණීය කරුණු රැකගෙන නව ව්‍යවස්ථා සංශෝධනය සිදුකිරීමට සූදානම් බව ආණ්ඩු පක්ෂය ප්‍රකාශ කළා ෴

*********************************************

ලොව පුරා කොරෝනා මරණ අටලක්ෂය ඉක්මවයි – රුසියානු එන්නත ශ්‍රී ලංකාවටත් යොදාගැනීම ගැන අවධානය

(22.08.2020 – 07:13 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයන් 23 දෙනෙකු ඊයේ (21) වාර්තාවීමත් සමඟ මෙරට ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,941 දක්වා ඉහළ ගියා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පැමිණි 18 දෙනෙකු, චෙන්නායි සිට පැමිණි දෙදෙනෙකු (2), තුර්කියේ සිට පැමිණි එක් අයෙකු (1), කුවේටයේ සිට පැමිණි එක් අයෙකු (1) සහ ඉන්දුනීසියාවේ සිට පැමිණි එක් අයෙකු (1) ඊයේ (21) මෙලෙස වාර්තාවූ බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

මේ අතර, කොරෝනා ආසාදනය වූ තවත් 24 දෙනෙකු ඊයේ (21) සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ මේ අනුව සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 2,789 දක්වා ඉහළ යන බවයි.

එසේම, කොරෝනා ආසාදනය වී තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයින් 141 දෙනෙකු පමණයි.

මේ අතර ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතේරි මහතා සහ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (21) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමුවුණා.

මෙහිදී කොරෝනා වෛරසය මර්දනය සඳහා රටක් ලෙස ශ්‍රී ලංකාව ගෙන ඇති සාර්ථක මර්දනය කිරීම පිළිබඳව ඔහු ප්‍රශංසාවට ලක් කර තිබෙනවා.

එමෙන්ම, රුසියාව විසින් නිපදවා ඇති කොරෝනා මර්දන නව එන්නත සම්බන්ධයෙන් ද තානාපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරිය දැනුවත් කළ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සහ අනුමැතිය ලැබුණු පසු එම එන්නත ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනය සහ ප්‍රතිකාර සදහා භාවිත කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරිය එහිදී රුසියානු තානාපති යූරි මතේරි මහතා වෙත ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 276 දෙනෙකු, ඉන්දියාවේ සහ ඇමරිකාවේ රැඳී සිටි 306 දෙනෙකු, චීන ජාතිකයින් 127 දෙනෙකු ඊයේ (21) සහ අද (22) අලුයම කටුනායක ගුවන්තොටුපලින් මෙරටට පැමිණියා.

මේ අතර, ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට අටලක්ෂය (8,00,000) ඉක්මවා තිබෙනවා.

කොරෝනා ආසාදිතයන් 2,30,96,000 ක් මේ වනවිට ලොව පුරා වාර්තාවන අතර, මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 8,02,318 ක් ලෙසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය වසර දෙකකට (2) අඩු කාලයක් තුළදී ලොවින් තුරන් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් මහතා ජිනීවා නුවර ඊයේ (21) පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ 1918 වසරේ ලොව පුරා පැතිරුණු ‘ස්පැනිෂ් ෆ්ලූ’ වසංගතය වසර දෙකකින් (2) නිමාවූ අතර, නූතන තාක්ෂණය හේතුවෙන් කොරෝනා වසංගතය ඊට අඩු කාලයකින් අවසන් කිරිමට හැකිවනු ඇති බවයි.

1918 වසරේ ‘ස්පැනිෂ් ෆ්ලූ’ වසංගතයෙන් ලොව පුරා මිලියන 50 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *