පාස්කු ප්‍රහාරය ගැන පූජිත් බැරෑරුම් ලෙස නොසැලකූ බව හිටපු බුද්ධි අධ්‍යක්ෂ නිලත්ත කියයි

පාස්කු ප්‍රහාරය ගැන පූජිත් බැරෑරුම් ලෙස නොසැලකූ බව හිටපු බුද්ධි අධ්‍යක්ෂ නිලත්ත කියයි

වී කුරුලු ආක්‍රමණයක් හේතුවෙන් පිඩාවට පත්වූ එලුවන්කුලමේ ගොවියෝ

නවගමුව කුඩා පාලම අසලින් ජීව උණ්ඩ මතුවෙයි

ජෛව විවිධත්වයට දැඩි බලපෑම් එල්ලකළ අක්‍රමත් කසළ බැහැරකිරීම

ඕස්ට්‍රේලියානු අගමැතිගෙන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ඇමතුමක්

10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් පැවැත්වෙන කාලය සැප්තැම්බර් දෙවනදා (02) සිට සංශෝධනය වෙයි

හෙට (22) පැය 5 ක් අම්බලන්ගොඩ සහ බලපිටිය අවට ජල කප්පාදුවක්

ඇමති නාමල් ටොරිංටන්හි ක්‍රීඩක නේවාසිකාගාරයේ හදිසි නිරීක්ෂණයක

ජනපති ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය, ඡන්ද විමසීමකින් තොරව සම්මත වේ

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අක්‍රමිකතා සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක්

මන්දකට හසුවී මියගිය කළු කොටියාගේ සංරක්ෂණය කළ සිරුර වනජීවී ඇමතිවරයාගේ නිරීක්ෂණයට

වේයන්ගොඩ හැට්ටයා රිමාන්ඩ්

*********************************************

පාස්කු ප්‍රහාරය ගැන පූජිත් බැරෑරුම් ලෙස නොසැලකූ බව හිටපු බුද්ධි අධ්‍යක්ෂ නිලත්ත කියයි

(21.08.2020 – 14:00 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමට පෙර දින, පසුදා අදාළ ප්‍රහාරය එල්ල වන බව තමන් එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දැනුවත් කල අවස්ථාවේ ඔහු එය බැරෑරුම් ලෙස නොසැළකූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලත්ත ජයවර්ධන මහතා සඳහන් කළා.

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඊයේ (20), 15 වන දිනටත් සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව හෙළි කළා.

*********************************************

වී කුරුලු ආක්‍රමණයක් හේතුවෙන් පිඩාවට පත්වූ එලුවන්කුලමේ ගොවියෝ

(21.08.2020 – 14:15 +0530 – hirunews.lk/sinhala)

වී කුරුලු ආක්‍රමණයක් හේතුවෙන් පිඩාවට පත්ව සිටින ගොවීන් පිරිසක් පිළිබදව අපට එළුවන්කුලම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

එලුවන්කුලම පුත්තල්අඩිය ප්‍රදේශයේ ගොවි ජනතාව තම අස්වැන්න රැකගැනීම වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් දරනවා.

දිනපතා සවස් කාලයේ රංචු පිටින් පැමිණෙන වී කුරුල්ලන් කිරිවදින ගොයම තම සින්නක්කරයට ගන්නා අතර මේ හේතුවෙන් වී කුරුල්ලන්ගෙන් තම අස්වැන්නන රැකගන්නට ප්‍රදේශයේ ගොවි ජනතාව නොගන්නා උත්සාහයක් නැහැ.

*********************************************

නවගමුව කුඩා පාලම අසලින් ජීව උණ්ඩ මතුවෙයි

(21.08.2020 – 14:16 +0530 – hirunews.lk/sinhala)

නවගමුව – මාපිටිගම කුඩා පාලම අසල තිබී ජීව උණ්ඩ තොගයක් සොයා ගෙන තිබෙනවා.

නවගමුව පොලීසිය සඳහන් කළේ ධීවර රැකියාවක නිරත වූ පුද්ගලයෙකු විසින් ලබා දුන් තොරතුරකට අනුව මෙම උණ්ඩ තොගය සොයා ගත් බවයි.

එහි තිබී විවිධ වර්ගයේ උණ්ඩ 73 ක් මේ වනවිට සොයා ගෙන තිබෙනවා.

ඒ අතරට මිලිමීටර් 2.2 වර්ගයේ උණ්ඩ 54 ක්, මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල සඳහා භාවිත කරන උණ්ඩ 15 ක් සහ බෝර 12 ගිනි අවි සඳහා යොදන උණ්ඩ 4 ක් සොයා ගෙන තිබෙනවා.

අද (21)පස්වරුවේ කිමිඳුම්කරුවන් යොදා මාපිටිගම කුඩා පාලම අසලින් ගලා බසින කැළණි ගගෙහි සෝදිසි මෙහෙයුමක් සිදුකළ බව ද නවගමුව පොලීසිය සඳහන් කළා.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ වෙනත් ප්‍රදේශයකින් පැමිණි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් අද (21) උදෑසන මෙම ජීව උණ්ඩ මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවට සැක කරන බවයි ෴

*********************************************

ජෛව විවිධත්වයට දැඩි බලපෑම් එල්ලකළ අක්‍රමත් කසළ බැහැරකිරීම

(21.08.2020 – 14:24 +0530 – hirunews.lk/sinhala)

කල්පිටිය ප්‍රාදේශිය සභාවට අයත් පුත්තලම, මදුරන්කුලිය සිට තොඩුවාව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය දෙපසට අක්‍රමත් ලෙස කසළ බැහැර කිරීම හේතුවෙන් පාරිසරික ගැටළු රැසක් උද්ගතව ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

එමෙන්ම හැමිල්ටන් ඇළ ලෙස හැදින්වෙන රමණිය ඇළ මාර්ගයද මේ වන විට දැඩි සේ අපවිත්‍ර වී තිබෙන්නේ ඉවක් බවක් නොමැතිව පරිසරයට මුදා හැර ඇති නොදිරන ද්‍රව්‍ය,රසායනික ද්‍රව්‍ය අඩංගු කොටස් සහ සත්ත්ව කොටස් හේතුවෙන්.

මේ අක්‍රමවත් කසළ බැහැර කිරීම හේතුවෙන් ප්‍රදේශයේ ජෛව විවිධත්වට එල්ලවී ඇති බලපෑම සුළුපටු නැහැ.

සුන්දරවූ කඩොලාන සම්පත මෙන්ම කඩොලාන ආශ්‍රිතව සිදුවන ජලජ ජීවීන්ගේ අභිජනන ක්‍රියාවලියටද මේ වන විට දැඩි ලෙස බලපෑම් එල්වී ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

එය හැමිල්ටන් ඇළ ආශ්‍රිතව සාම්ප්‍රධායික ධීවර කර්මාන්තයේ නියැලෙන්නගේ ආර්ථිකයටද සෘජු බලපෑම් එල්ල කර අවසන්.

*********************************************

ඕස්ට්‍රේලියානු අගමැතිගෙන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ඇමතුමක්

(21.08.2020 – 15:08 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා පැවති මහමැතිවරණයෙන් ලද දැවැන්ත ජයග්‍රහණයට සුබ පැතීම සඳහා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද (21) උදෑසන දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.

නායකයන් දෙදෙනා එහිදී විවිධ ක්ෂේත්‍රයන්හි අනෝන්‍ය සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, ශ්‍රී ලංකාව – ඕස්ට්‍රේලියානු සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

ආසියා පැසිෆික් කලාපයේ වර්ධනයන් පිළිබඳව මෙහිදී අදහස් පළ කළ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා ප්‍රකාශ කර ඇත්තේ අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නව රජය සමග සමීපව කටයුතු කිරීමට අදහස් කරන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ද සුබ පැතූ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාට කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කළ පසු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආරාධනා කර තිබෙනවා.

එම ආරාධනාව පිලිගත් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා නුදුරේදීම මෙරට සංචාරය කිරීමට බලාරොත්තු වන බව සඳහන් කර ඇත්තේ මීට පෙර ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයේ අත්දැකීම් ද සිහිපත් කරමින් ෴

*********************************************

10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් පැවැත්වෙන කාලය සැප්තැම්බර් දෙවනදා (02) සිට සංශෝධනය වෙයි

(21.08.2020 – 16:01 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ නිවාඩු ලබාදී යළිත් ආරම්භ කරන ලද රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පංති කිහිපයක් පැවැත්වෙන කාලසීමාව සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව 10, 11, 12, 13 ශ්‍රේණිවල පාසල් කාලය ලබන සැප්තැම්බර් මස දෙවනදා (02) සිට උදෑසන 07:30 සිට පස්වරු 01:30 දක්වා පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් පාලන සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන් සහ සියලු පාසල්වල විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණි සඳහා අගෝස්තු මාසය අවසන් වන තෙක් පමණක් පෙරවරු 07:30 සිට පස්වරු 03:30 දක්වා අධ්‍යයන කටයුතු සිදු කෙරෙනු ඇති ෴

*********************************************

හෙට (22) පැය 5 ක් අම්බලන්ගොඩ සහ බලපිටිය අවට ජල කප්පාදුවක්

(21.08.2020 – 16:22 +0530 – hirunews.lk/sinhala)

හෙට (22) පෙරවරු 10 සිට පස්වරු 3 දක්වා පැය 5ක කාලයක් අම්බලන්ගොඩ සහ බලපිටිය අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

බද්දේගම ජල පවිත්‍රාගාරයට සපයන විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කෙරෙන බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ.

ඒ අනුව අම්බලන්ගොඩ, හික්කඩුව, බලපිටිය, බෙන්තොට, ඇල්පිටිය, බටපොල, ගෝනපීනුවල සහ බද්දේගම ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති ෴

*********************************************

ඇමති නාමල් ටොරිංටන්හි ක්‍රීඩක නේවාසිකාගාරයේ හදිසි නිරීක්ෂණයක

(21.08.2020 – 16:41 +0530 – hirunews.lk/sinhala)

ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන කොළඹ ටොරිංටන්හි පිහිටි ක්‍රීඩක නේවාසිකාගාරවල පවතින අඩුපාඩු සොයා බැලීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (21) උදෑසන එක්වී තිබෙනවා.

හදිසියේම අමාත්‍යවරයා නේවාසිකාගාර නිරීක්ෂණයට පැමිණි බවයි ක්‍රීඩා අමාත්‍යංශය කියාසිටියේ.

එහිදී ක්‍රීඩක නේවාසිකාගාරවල පැවති අඩුපාඩු නිරීක්ෂණය කළ අමාත්‍යවරයා ඒවා කඩිනමින් සකස් කරන ලෙසට අමාත්‍යංශ නිලධාරීන්ට දැනුම්දී තිබෙනවා.

ක්‍රීඩකයන් පුහුණුවීම් සිදු කර වෙහෙස වී පැමිණ නිදාගැනීමට භාවිත කරන ඇඳන් දැඩි අබලන් තත්වයක පැවති අතර අනෙක් පහසුකම්වල ද තත්වය එලෙස බවයි හෙළිවී ඇත්තේ.

මෙවැනි අඩුපාඩු සකස් කර ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ඉහළට ගෙන ඒම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

රට වෙනුවෙන් ක්‍රීඩා කරන මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මව්බිම වෙනුවෙන් තම අනාගතයම කැප කරන අතර ඔවුන් රැක බලා ගැනීම ජාතියක් ලෙස වගකීම බවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙන්වාදී ඇත්තේ.

*********************************************

ජනපති ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය, ඡන්ද විමසීමකින් තොරව සම්මත වේ

(21.08.2020 – 16:45 +0530 – hirunews.lk/sinhala)

09 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අරඹමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන යෝජනාව ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී අද (21) සම්මත වුණා.

ඊට අදාළ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන ආර්. රණවක මහතා විසින් ඉදිරිපත් කළ අතර, එය ස්ථිර කරනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විසින්.

ඒ අනුව පාර්ලිමේන්තුව ලබන 27 වනදා පෙරවරු 09:30 දක්වා කල් තැබුණා.

පාර්ලිමේන්තුව අද (21) පෙරවරු 09:30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණු අතර, ස්ථාවර නියෝග යටතේ ප්‍රශ්න යොමු කිරීමෙන් අනතුරුව ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන විවාදය ආරම්භ වුණා.

මේ අතර, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා මහතා සහ ජයන්ත කැටගොඩ මහතා පත් කර තිබෙනවා.

ඊට අමතරව, ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් පුෂ්පකුමාර, මොහොමඩ් මුසම්මිල් සහ අසංක නවරත්න යන මහත්වරු පත් කර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

*********************************************

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අක්‍රමිකතා සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක්

(21.08.2020 – 17:16 +0530 – hirunews.lk/sinhala)

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අක්‍රමිකතා සොයා බැලීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම කමිටුව පත් කර ඇති බවයි.

එමෙන්ම, භූ විද්‍යා හා පතල් කාර්යාංශය හොර ගුහාවක් යැයි සඳහන් කරමින් එම ආයතනයේ සභාපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පූර්ණ අවධානයක් යොමුකර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් මූලික විමර්ශන වාර්තාවක් සකස් කර ඇති අතර, එය අද පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් අමාත්‍යවරයා වෙත භාර දුන් බවයි පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ෴

*********************************************

මන්දකට හසුවී මියගිය කළු කොටියාගේ සංරක්ෂණය කළ සිරුර වනජීවී ඇමතිවරයාගේ නිරීක්ෂණයට

(21.08.2020 – 17:29 +0530 – hirunews.lk/sinhala)

ලක්ෂපාන වාලමලෙයි ප්‍රදේශයේදී මන්දකට හසුවීමෙන් මියගිය කළු කොටියාගේ සංරක්ෂණය කරන ලද සිරුර අද (21) වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ නිරීක්ෂණයට ලක්වුනා.

කොළඹ ජාතික කෞතුකාගාරයේයි කළු කොටියාගේ සිරුර මහජන ප්‍රදර්ශණය සඳහා සංරක්ෂණය කර තබා ඇත්තේ.

වාලමලෙයි ප්‍රදේශයේ එළවළු වගා ගොවිපලක සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබු මන්දකට හසුවීමෙන් තුවාල ලබා සිටි කළු කොටියා වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩවලව පශු වෛද්‍ය රෝහල වෙත ගෙන ගොස් සිටියදී මරණයට පත්වුනා.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් අධිකරණයට කළ කරුණු දැක්වීම අනුව අධිකරණය නියෝග කර තිබුනේ කොටියාගේ සිරුර සංරක්ෂණය කරන ලෙසටයි.

*********************************************

වේයන්ගොඩ හැට්ටයා රිමාන්ඩ්

(21.08.2020 – 17:58 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම හා අපරාධ රැසක් සම්බන්ධයෙන් ‘වේයන්ගොඩ හැට්ටයා’ නොහොත් ‘වන්නිආරච්චි කංකානම්ලගේ ප්‍රියන්ත රණවීර’ ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරු අද (21) මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

‘හැට්ටයා’ නම් සැකකරු පසුගිය 15 වනදා මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

වේයන්ගොඩ හැට්ටයා නොහොත් වන්නිආරච්චි කංකානම්ලගේ ප්‍රියන්ත රණවීර 41 හැවිරිදි මොහු වේයන්ගොඩ – හීන්කෙන්ද ප්‍රදේශයේ පදිංචි අයෙක්.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් අනූඅට (98) ලක්ෂයක චෙක්පත් සහ හෙරොයින් ග්‍රෑම් 5 ක් හමුවු වු බවයි පොලිසිය ප්‍රකාශ කලේ.

වැඩිදුර සිදුකල විමර්ශණවලදි සැකකරුට අයත් අධි සුඛෝපභෝගි නිවාස 02 ක් සහ ඔහුට අයත් බැංකු ගිණුම් වල රුපියල් හත්කෝටි විසිතුන් ලක්ෂයකට (7,23,00,000) අධික මුදලක් සහ ලක්ෂ 80 කට පමණ වටිනා වාහනයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම සැකකරුගේ අනියම් බිරින්දෑවරුන් හයදෙනෙකු (6) පොලිස් භාරයට ගෙන පරීක්ෂණ සිදුකරන බව මිනුවන්ගොඩ පොලීසිය සඳහන් කළා.

කෑගල්ල, වීරගුල, වේයන්ගොඩ, කලගෙඩිහේන සහ නිට්ටඹුව ප්‍රදේශවල පදිංචි එම කාන්තාවන්ට, හැට්ටයා හෙරොයින් ජාවාරමෙන් උපයාගත් මුදල් වැයකර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

සැකකරු වසර 10 කට ආසන්න කාලයක් හෙරොයින් ජාවාරමේ නිරතව ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර, ඔහුගේ සහ බිරිඳගේ මෙන්ම දරුවන් දෙදෙනාගේද (2) බැංකු ගිණුම් අත්හිටුවීම සඳහා පොලීසිය අධිකරණයෙන් නියෝග ලබාගෙන තිබෙනවා.

එසේම අනියම් බිරින්දෑවරුන්ගේද බැංකු ගිණුම් අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *