ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරය මහේල ජයවර්ධනට

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරය මහේල ජයවර්ධනට

මත්ස්‍ය වෙළඳාමේ ගොස් හෙරොයින් ජාවාරමේ නිරත වූ 03 ක් අත්අඩංගුවට

ඇති වූ දේශපාලන ස්ථාවරය ආර්ථික සංවර්ධනයට තීරණාත්මක සාධකයක් – මහ බැංකු අධිපති

“හදිසි විදුලි බිඳ වැටීම ගැන ජනතාවගෙන් සමාව අයැදීම විදුලිබල මණ්ඩලයේ මෙන්ම අමාත්‍යාංශයේ වගකීමක්” ඇමති ඩලස් කියයි

ජපන් රැකියා පෙන්වා කළ මුදල් වංචාවේ සුලමුල හෙළිවෙයි

රුපියල් ලක්ෂ 22 ක ‘කුෂ්’ තොගයක් කටුනායකදී රේගු භාරයට

මහජන උපයෝගීතා කොමිසම – කෙරවලපිටියට සහ නොරොච්චෝලේ නිරීක්ෂණය කරයි

දියණියගේ මංගල දිනයේ අවසන් ගමන් ගිය පියා

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කෙරේ

ලංකාගම ප්‍රදේශවාසීන්ගේ සංදේශය, අද (21) ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිට

විපක්ෂයට පාර්ලිමේන්තුවේ ලැබෙන කාලය ප්‍රශ්නයක් වෙයි

ප්‍රදේශ රැසක අදත් මත්ද්‍රව්‍ය වැටලීම්

*********************************************

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරය මහේල ජයවර්ධනට

(20.08.2020 – 18:25 +0530 – hirunews.lk/sinhala)

ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ තිබෙනවා.

හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, මෝටර් රථ ධාවන ශුර ඩිලන්ත මාලගමුව, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ පිහිණුම් ශුර ජුලියන් බෝලිං යන මහත්වරුද ඊට අයත්.

මෙරට ක්‍රීඩාවේ පවතින ගැටලු නිරාකරණය කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදීම සඳහායි සාමාජිකයින් 14 දෙනෙකුගෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව පත් කර තිබෙන්නේ.

රෝවේනා සමරසිංහ, සංජීව වික්‍රමනායක, යශ්වන්ත් මුත්තෙට්ටුවගම, සුපුන් වීරසිංහ, කස්තුරි විල්සන්, රුවන් කෑරගල, රාජිත අම්පෙමොහොට්ටි, රොහාන් ප්‍රනාන්දු සහ අමල් එදිරිසූරිය යන මහත්මමහත්මීන්ද කමිටු සාමාජිකයන් ලෙසට පත්කර තිබෙනවා.

ක්‍රීඩාවේ දියුණුව එහි ප්‍රතිපත්ති සහ ජාතියේ ක්‍රීඩා ප්‍රමිතිය මෙන්ම ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නගාසිටුවිය හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම ජාතික ක්‍රීඩා සභාවේ කාර්යභාර්යන් අතර වනවා.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියමය අනුව නව ක්‍රීඩා පනතක් සහ ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීම, ඉලක්කගත ජයග්‍රහණ සඳහා සැලසුම් සකස් කිරීම, ක්‍රීඩකයින් වෘත්තිමය තත්වයකට නංවාලීම උදෙසා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ද ජාතික ක්‍රීඩා සභාවේ වගකීම් අතර වනවා.

එමෙන්ම ජාතික සංචිත තේරීමේදී අමාත්‍යවරයා වෙත අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම, පාසල් ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව පාසල් ක්‍රීඩා නැංවීමේ සැලැස්මක් සකස් කිරීම, ක්‍රීඩාවේ පාරිශුද්ධභාවය සහ විනිවිදභාවය සුරැකෙන ආකාරයෙන් කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කිරීම, නව ප්‍රවණතාවන් හා ඊ ස්පෝර්ට්ස් වැනි නව අංශ හරහා ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු සම්පාදනය කිරීම යන කරුණු මූලික කරගත් විශේෂ වැඩසටහන් සඳහා මග පෙන්වීම ද ක්‍රීඩා සභාවේ වගකීම් අතර වනවා.

නාමිකව උපදෙස් පමණක් ලබාදෙන ක්‍රීඩා සභාවක් වෙනුවට වඩාත් ශක්තිමත් කාර්යශූර, ශ්‍රී ලංකාවට වඩාත් ඵලදායී ප්‍රතිපල හා ජයග්‍රහණයන් අත්කරදීම උදෙසා ක්‍රියාකාරී බලතල සහිත ජාතික ක්‍රීඩා සභාවක් ලෙස නව ක්‍රීඩා සභාවට කටයුතු කළ හැකි බවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙන්වාදී ඇත්තේ.

************************************************

මත්ස්‍ය වෙළඳාමේ ගොස් හෙරොයින් ජාවාරමේ නිරත වූ 03 ක් අත්අඩංගුවට

(20.08.2020 – 19:23 +0530 – hirunews.lk/sinhala)

යතුරුපැදියකින් ගොස් මත්ස්‍ය (මාලු) වෙළඳාමේ යෙදෙන මුවාවෙන් හෙරොයින් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් තුන්දෙනෙකු (3) රුපියල් ලක්ෂ 4 කට ආසන්න වටිනා මත්කුඩු සමගින් හංවැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසීය සඳහන් කළේ සැකකරුවන් සතුව තිබී මත්කුඩු ග්‍රෑම් 11 යි මිලිග්‍රෑම් 550 ක් ද සොයා ගත් බවයි.

මේ අතර ගතවූ මාස 2 ක කාලය තුළ සිදුකරන ලද විශේෂ වැටලීම්වලදී වරෙන්තුකරුවන් 26,121 දෙනෙකු ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් එක්ලක්ෂ 3,651 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා.

මේ අතර, ගෙවුණු පැය 24 තුළ දී ද දිවයිනේ ප්‍රදේශ කිහිපයකම මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කෙරුණා.

සුඛෝපභෝගී වාහනයක් තුළ සඟවාගෙන ප්‍රවාහනය කළ කංසා කිලෝ ග්‍රෑම් 10 ක් සමග සැකකරුවෙකු මට්ටක්කුලිය මංසන්ධිය අසළදී අත්අඩංගුවට ගැණුනා.

ජංගම දුරකථන බව පවසමින් අමෙරිකාවේ සිට මෙරටට එවා තිබූ ඇසුරුම් තොගයක තිබී ‘කුෂ්’ නැමැති කංසා මත්ද්‍රව්‍ය ග්රෑම් 222 ක් කටුනායක ගුවන් තොටුපල රේගුවේදී එම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි වටිනාකම රුපියල් මිලියන 2.2 ක්.

පසුගියදා පොලිස් භාරයට ගන්නා ලද රුපියල් මිලියන 200 ක වටිනාකමකින් යුත් ‘මැන්ඩි’ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාව අද (20) අම්බලන්ගොඩ වරායේදී දෙහිවල පොලීසිස් නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ප්‍රබල පාතාල කල්ලි නායකයෙකුගේ ඥාතියෙකුයැයි සඳහන් කරමින් පිටකොටුව ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසැළකින් රුපියල් ලක්ෂ 5 ක කප්පම් මුදලකින් අත්තිකාරම් ලෙස රුපියල් 5000 ක මුදලක් ලබාගත් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර පොලීසිය සඳහන් කළේ පුද්ගලයෙකු සිය බැංකු ගිණුමකින් රුපියල් 5,50,000 ක මුදලක් රැගෙන යමින් සිටියදී දොඩංගස්ලන්ද කහහේන ප්‍රදේශයේදී විශ්‍රාමික හමුදා සෙබළෙකු එම මුදල කොල්ල කා පලා ගොස් ඇති අතර සැකකරු රිදීගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

තලාතුඔය පොලිස් වසමේ උඩුවෙල ජනපදයේ නිවසක් පිටුපස එළවළු වගා භූමියක් පවත්වාගෙන යන මුවාවෙන් පොලිතීන් බෑග් තුළ වගාකර තිබූ රුපියල් ලක්ෂ තුනක (3) පමණ වටිනාකමකින් යුත් කංසා පැළෑටි සමග සැකකරුවෙකු තලවතුගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

************************************************

ඇති වූ දේශපාලන ස්ථාවරය ආර්ථික සංවර්ධනයට තීරණාත්මක සාධකයක් – මහ බැංකු අධිපති

(20.08.2020 – 19:49 +0530 – hirunews.lk/sinhala)

මහමැතිවරණයේදී ඇතිවූ දේශපාලන ස්ථාවරය ආර්ථික සංවර්ධනයට අතිශය තීරණාත්මක සාධකයක් වන බව මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පවසනවා.

එමෙන්ම, කොරෝනා ව්‍යාප්තියත් සමග අනෙකුත් රටවලට සමගාමීව රටේ ආර්ථික සංවර්ධනය සහ ස්ථාවරභාවය සාධනීය තත්ත්වයක් පෙන්නුම් කරන බවයි මහබැංකුවේ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා සඳහන් කළේ.

මේ වනවිට රට තුළ අපනයනය ද යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ද ඔහු එහිදී ප්‍රකාශ කර සිටියා.

මේ අතර, ණය පත් මත අයකරනු ලබන උපරිම පොලී අනුපාතය සහ උකස් පහසුකම් මත අය කරනු ලබන පොලී අනුපාතය ද මහබැංකුව විසින් පහත දැමීමටයි ඊයේ (19) රැස්වූ මුදල් මණ්ඩලය විසින් තීරණය කර ඇත්තේ.

**********************************************

“හදිසි විදුලි බිඳ වැටීම ගැන ජනතාවගෙන් සමාව අයැදීම විදුලිබල මණ්ඩලයේ මෙන්ම අමාත්‍යාංශයේ වගකීමක්” ඇමති ඩලස් කියයි

(20.08.2020 – 20:28 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා සිදු වූ හදිසි විදුලි බිදවැටීම හේතුවෙන් අපහසුතාවයට පත් වූ ජනතාවගෙන් සමාව අයැදීම විදුලිබල මණ්ඩලයේ මෙන්ම අමාත්‍යාංශයේ වගකීමක් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

විදුලිබල ක්ෂේත්‍රයේ සුරක්ෂිතභාවය හා ස්ථායිත්වය සුරැකීමට ගතයුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ අද (20) පැවති විශේෂ සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ.

සමස්ත දිවයිනේ හදිසියේ ඇතිවූ විදුලි බිදවැටීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කළ සත් පුද්ගල කමිටු වාර්ථාව තමා වෙත ලැබීමෙන් අනතුරුව ඊට අදාළව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළා.

පෞද්ගලික අතපසුවීම් තුළින් ජාතික ආර්ථිකයට සහ ජන ජීවිතයට බරපතල හානියක් සිදු වීම වගකීම් විරහිත වීමක් වන අතර එවැනි අතපසුවීම් සිදුනොවීම විදුලිබල මණ්ඩලයේ අත්හල නොහැකි වගකීමක් බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග කිසිදු පැකිලීමකින් තොරව ක්‍රියාත්මක කිරීමට තමන් සහ රාජ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තු වන බව ද අමාත්‍ය ඩලස් අලහප්පෙපෙරුම මහතා කියාසිටියා.

නොයෙක් හේතූන් මත මෙතෙක් ක්‍රියාත්මක කිරීමට නොහැකිව ඇති විදුලි ව්‍යාපෘති ඉතා කෙටි කාලයක් තුල ක්‍රියාත්මක තලයට ගෙන ඒමට කටයුතු කරන ලෙස සහ එලෙස කිරීමට යම් බාධාවක් ඇත්නම් ඒවා නිරාකරණය කරදීමට වහාම තමාට දැනුම්දෙන ලෙසට ද විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා ෴

**********************************************

ජපන් රැකියා පෙන්වා කළ මුදල් වංචාවේ සුලමුල හෙළිවෙයි

(20.08.2020 – 20:31 +0530 – hirunews.lk/sinhala)

‘හිරු සී.අයි.ඒ.’ හරහා ඊයේ (19) අප හෙළි කළේ මෙරට තරුණ, තරුණියන්ට ජපානයේ අධ්‍යාපන හා රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කරන ජාවාරමක් පිළිබඳවයි.

දඹුල්ල රෝහල ඉදිරිපිට කුලී පදනම මත ලබාගත් නිවසක වියපත් ජපන් යුවළක් ද යොදා ගනිමින් මෙම ජාවාරම කලක පටන් සිදුකර තිබුණා.

‘හිරු සී.අයි.ඒ.’ කළ දැනුම්දීම අනුව දඹුල්ල නගරාධිපති, නාගරික කොමසාරිස්වරයා හා පොලිසිය අදාළ නිවස වෙත පැමිණියේ මෙහි සිදුවන ක්‍රියාකාරකම් සොයා බැලීම සඳහායි.

නගරාධිපතිවරයා හා නාගරික කොමසාරිස්වරයා එම ලියවිලි පරීක්ෂා කළ අතර එහිදී හෙළිවුයේ එම ලියවිලි ද ව්‍යාජව සකසා ඇති බවයි.

බොහෝ පිරිසක් මොවුන්ගේ මෙම ජපන් යැවීමේ වංචාවට හසුවී මේ වනවිටත් මුදල් අහිමි කර ගෙන අවසන්.

දඹුල්ල පොලිසිය මෙම වංචාව පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මෙම වංචාව හසුවු තවත් අය වෙතොත් ඒ පිළිබඳව දඹුල්ල පොලිසියට පැමිණිලි ඉදිරිපත් කරන ලෙසයි පොලිසියේ උසස් නිලධාරියෙකු මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.

**************************************************

රුපියල් ලක්ෂ 22 ක ‘කුෂ්’ තොගයක් කටුනායකදී රේගු භාරයට

(21.08.2020 – 06:54 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 22 ක් පමණ වටිනා කුෂ් නැමැති ගංජා තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම ගංජා තොගය ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට කටුනායක ගුවන් පාර්සල් මුදා ගැනීමේ මධ්‍යස්ථානය වෙත එවා තිබූ බවයි අනාවරණ වී ඇත්තේ.

ඒවා බිස්කට් පැකැට්ටුවක සහ ජංගම දුරකථන හැඩයෙන් යුතු විශබීජහරණ උපකරණ සේ පෙනෙන අයුරින් සකස්කර තිබූ බවයි වාර්තාවන්නේ.

පසුගිය සති කිහිපය තුළ රේගුව විසින් ලබාගත් කළ බුද්ධි තොරතුරු මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී ඇති බවයි සඳහන් වන්නේ.

***************************************************

මහජන උපයෝගීතා කොමිසම – කෙරවලපිටියට සහ නොරොච්චෝලේ නිරීක්ෂණය කරයි

(21.08.2020 – 07:46 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සඳුඳා (17) දිවයින පුරා විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් සොයා බැලීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ කණ්ඩායමක් අද (21) කෙරවලපිටිය ග්‍රිඩ් උපපොල සහ නොරොච්චෝලේ බලාගාරය වෙත යන බව එහි සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් ප්‍රකාශ කළා.

අදාළ විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් මේ වනවිටත් මහජන උපයෝගීතා කොමිසම මගින් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, අදින් (21) පසු විදුලි කප්පාදු කිරීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (20) ප්‍රකාශ කළා.

කෙරවළපිටිය ග්‍රිඩ් උපපොලේ ඇති වූ බිඳ වැටීමත් සමඟ නොරොච්චෝලේ බලාගාරය ද අක්‍රිය වීම හේතුවෙන් මේ වනවිට පස්වරු 6 සිට රාත්‍රී 10 දක්වා දිවයින පුරා පැය බැගින් කලාප 4 ක් යටතේ විදුලි කප්පාදුවක් සිදුකෙරෙනවා.

කෙසේ වෙතත්, අද (21) දිනයේ නොරොච්චෝලේ බලාගාරයෙන් ජනනය කෙරෙන විදුලිය ජාතික විදුලිබල පද්ධතියට මුදාහැරීමට අපේක්ෂා කරන බැවින් හෙට (22) සිට කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට හැකිවනු ඇති බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

කෙසේ වෙතත් මුළු දිවයිනටම සිදුවූ විදුලිය බිඳ වැටීම අත්වැරදීමක් නිසා සිදුවූවක් බව විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පසුගිය බදාදා (19) ප්‍රකාශ කළා.

ඒ, හැටන් – පොල්පිටිය විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

මේ අතර, විදුලිබල ක්ෂේත්‍රයේ සුරක්ෂිතභාවය හා ස්ථායිතාවය සුරැකීමට ගත යුතු ක්‍රියාමාර්ග සහ ඒවාට පවතින බාධා හඳුනාගෙන විසඳුම් සෙවීම සඳහා ගත යුතු පියවර තීරණය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (20) පැවැත්වුණා.

ඒ, ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදීයි.

ඊට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා ෴

********************************************

දියණියගේ මංගල දිනයේ අවසන් ගමන් ගිය පියා

(21.08.2020 – 09:23 +0530 – hirunews.lk/sinhala)

තම දියණියගේ මංගල දිනයේ ලොරි රථයක ගැටී අලුයම සිදුවූ මාරක අනතුරකින් පියෙකු මියගිය අවාසනාවන්ත පුවතක් දුම්මලසූරිය ප්‍රදේශයෙන් වාර්තාවනවා.

අනතුර සිදුව ඇත්තේ දුම්මලසූරිය බිබිලදෙණිය ප්‍රදෙශයෙදීයි.

මෙලෙස මියගොස් ඇත්තේ 70 හැවිරිදි වියේ පසුවූ එම ප්‍රදේශයේම පදිංචි අයෙකු බවයි වාර්තාවන්නේ.

අදාළ පුද්ගලයා සිය දියණිය සමඟ ගොස් ඇය රූපලාවන්‍යාගාරයට ඇරලවා පැමිණෙමින් සිටියදීයි මෙලෙස අවාසනාවන්ත ලෙස අනතුරට ලක්ව ඇත්තේ.

ඥාතීන් ප්‍රකාශ කර ඇත්තේ සිය දියණියගේ විවාහය වෙනුවෙන් දැඩි උද්යෝගයකින් කටයුතු කරමින් සිටි ඔහු හැඩවූ සිය දියණිය රැගෙන ඒමට නොඉවසිල්ලෙන් බලා සිටි බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

දුම්මලසූරිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

*************************************************

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කෙරේ

(21.08.2020 – 11:45 +0530 – hirunews.lk/sinhala)

නව වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරයේ සේවය කිරීම සඳහා, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතුව සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කර තිබෙනවා.

ඒ අනුව අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ සහ ප්‍රසන්න රණතුංග යන මහත්වරු එහි සාමාජිකත්වය දරණවා.

ඊට අමතරව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, විජිත හේරත් සහ සෙල්වම් අඩෙක්කලනාදන්ද මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා පත්කර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ෴

**********************************************

ලංකාගම ප්‍රදේශවාසීන්ගේ සංදේශය, අද (21) ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිට

(21.08.2020 – 13:05 +0530 – hirunews.lk/sinhala)

ලෝක උරුම සිංහරාජ රක්ෂිත මායිමේ මාර්ග සංවර්ධන කටයුතු යළි ආරම්භ කරන ලෙස ලංකාගම ප්‍රදේශවාසීන් ඊයේ (20) ලබාදුන් සන්දේශය ජනාධිපතිවරයාට භාරදීම සඳහා ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා වෙත අද (21) භාරදෙන බව නෙළුව ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.අයි.ජී. සුනිල් මහතා ප්‍රකාශ කළා.

ගාල්ල – නෙළුව සිට ලංකාගම දක්වා දිවෙන කිලෝමීටර් 18 ක මාර්ගය සැලසුම් කර ඇති පරිදි සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලමිනුයි නෙළුව – ලංකාගම ප්‍රදේශවාසීන් ඊයේ (20) විරෝධතාවක නිරත වුණේ.

ලංකාගම ප්‍රදේශවාසීන් විරෝධතාව අතරතුර පෙන්වාදුන්නේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක අවශ්‍යතාව මත මාර්ගය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකෙරෙන බවයි.

මෙම මාර්ග ව්‍යාපෘතිය හේතුවෙන් සිංහරාජ වනාන්තරයට හානි සිදුවන බව පවසමින් සමාජ මාධ්‍ය ජාලාවල පසුගියදා විවිධ ප්‍රචාර පළ වූ අතර, මහාමාර්ග අමාත්‍යාංශය පසුව නිවේදනය කළේ මාර්ගයේ සංවේදී පරිසර කලාපය තුළ පිහිටි කිලෝමීටර් 1.1 ක කොටසේ කිසිදු ඉදිකිරීමක් සිදුකර නොමැති බවයි.

එසේම, එවැනි කටයුත්තක් ඉදිරියේදී හෝ සිදු නොකරන බවද මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කළා.

කෙසේ වෙතත් ගම්වාසීන් කරන ලද ඉල්ලීම පරිදි මෙම මාර්ගය සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇති බවත්, පරිසරයට හානිවන පරිදි මෙම මාර්ගය තැනීම සිදු නොකරන ලෙසට ජනාධිපතිවරයා වනජීවි හා වනසම්පත් අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ඇති බවත් මහාමාර්ග අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වුණා.

*********************************************

විපක්ෂයට පාර්ලිමේන්තුවේ ලැබෙන කාලය ප්‍රශ්නයක් වෙයි

(21.08.2020 – 13:07 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ වාද විවාදවලදී ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට වෙන්කර ඇති කාලවේලාවන් සම්බන්ධයෙන් විපක්ෂය අද (21) කතානායකවරයාගේ අවධානයට යොමු කළා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වීමෙන් අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ පාර්ලිමේන්තුවේ වාද විවාද සඳහා විපක්ෂයට වෙන් කෙරෙන වේලාව 60% දක්වා ඉහළ නැංවිය යුතු බවයි.

එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් ඊයේ (20) පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

අද (21) දිනයේදී ස්ථාවර නියෝග 27/2 යටතේ උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහන සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට ගැටළුවක්ද යොමු කළා.

මේ අතර, 09 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අරඹමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

එය ආරම්භ කරමින් ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන ආර්. රණවක මහතා විසින්.

එසේම, නව වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය සඳහා, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතුව සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද (21) ප්‍රකාශයට පත් කෙරුණා ෴

*********************************************

ප්‍රදේශ රැසක අදත් මත්ද්‍රව්‍ය වැටලීම්

(21.08.2020 – 13:09 +0530 – hirunews.lk/sinhala)

ප්‍රදේශ රැසක සිදුකළ මෙහෙයුම්වලදි මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වු පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොරැල්ල සහ නුගේගොඩ ඇතුලු ප්‍රදේශ රැසක කළක සිට හෙරොයින් ජාවාරමේ නිරතවූ කාන්තාවක් පොලීසිය ඊයේ (20) අත්අඩංගුවට ගනු ලැබුවේ රාජගිරිය – කලපළුවාව ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදියි.

බොරැල්ලේ පදිංචි 31 හැවිරිදි මෙම කාන්තාව සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 100 කට වැඩි ප්‍රමාණයක් සහ හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් රුපියල් 30,000 ක මුදලක්ද පොලිසිය සිය භාරයට ගනු ලැබුවා.

මාරවිල සහ හලාවත ප්‍රදේශයේදිද හෙරොයින් සමග පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම ඊයේ (20) රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාසය ග්‍රෑන්ඩ්පාස් – තොටලග ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී හෙරොයින් සමඟ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ 40 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කොටවිල කඹුරුගමුව ප්‍රදේශයේදි ද රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 3 ආසන්න ප්‍රමාණයක් සමග පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර කිලිනොචිචිය ප්‍රදේශයේදි ගංජා කිලෝග්‍රෑම් 50 ආසන්න ප්‍රමාණයක් සමග 29 හැවිරිදි කාන්තාවක් පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (20) සිදුකළ විශේෂ මෙහෙයුමකදියි.

ඇය කලක සිට මෙම ජාවාරම සිදු කර ගොස් ඇති බවයි සිදු කළ මුලික විමර්ශණයේදී අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම ගංජා සමග 29 හැවිරිදි තවත් සැකකරුවෙකු අම්පාර – ඉගිණියාගල ප්‍රදේශයේදී පොලිසිය ඊයේ (20) අත්අඩංගුවට ගත්තා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *