එක රටක් – එක නීතියක් යටතේ නව ව්‍යවස්ථාවක් – ජනපති නව පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් කියයි

එක රටක් – එක නීතියක් යටතේ නව ව්‍යවස්ථාවක් – ජනපති නව පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් කියයි

පාර්ලිමේන්තුව දින 03 ක් රැස්වේ – රජයේ අතුරු සම්මත ගිණුම හෙට (21) පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට

යන-එන මග අහිමිව පීඩා විඳින හාලිඇළ ප්‍රදේශවාසීන්

රාජිතට අල්ලස් කොමිසමෙන් නඩු – ශානිට එරෙහිව විරෝධතාවයක්

*********************************************

එක රටක් – එක නීතියක් යටතේ නව ව්‍යවස්ථාවක් – ජනපති නව පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් කියයි

(20.08.2020 – 15:48 +0530 – hirunews.lk/sinhala)

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර, ‘එක රටක් – එක නීතියක්’ යන සංකල්පය යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරියේදී ගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

09 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ කිසියම් අමාත්‍යාංශයක් ඉලක්ක සපුරා ගැනීමට අසමත් වන්නේ නම්, රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෙනස්කම් කිරීමට තමා කිසිවිටෙකත් පසුබට නොවන බවයි.

අභිනව පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (20) පස්වරුවේ ආරම්භ වූ අතර, උත්සවය සාම්ප්‍රදායට මුල්තැන දෙමින් චාම් ලෙස සංවිධාන කර තිබුණා.

ආචාර පෙළපාලි, අශ්වාරෝහක සංදර්ශන වැනි අංග ඊට එක්කර නොතිබීම විශේෂත්වයක්. කතානායකවරයා සහ අග්‍රාමාත්‍යවරයා පැමිණීමෙන් අනතුරුවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයට පිවිසුණේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ජනාධිපතිවරයා පිළිගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ප්‍රධාන දොරටුව අසලදී ජනාධිපතිවරයා වෙනුවෙන් පාසල් සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කරනු ලැබුවා.

ඉන් අනතුරුව වේත්‍රධාරීයා පෙරටු කර ගනිමින් ජනාධිපතිවරයා සභා ගර්භයට ඇතුළු වූ අතර, මුලසුනේ සිටයි ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබුවේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී සියලු දෙනාගේ සහය ලබා ගන්නා බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

එසේම, නව ව්‍යවස්ථාවෙන් මැතිවරණ ක්‍රමයේද වෙනසක් සිදුකළ යුතු බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

ජනතාව දුන් ජන වරම අර්ථකථනය කරගැනීම වැදගත් බව කී ජනපති, රටේ සෑම ප්‍රදේශයකටම පානීය ජලය ලබාදෙන බවද සඳහන් කළා.

කටු පොල් වගාව සම්පූර්ණයෙන් නතර කරන බවද ඔහු මෙහිදී සඳහන් කළා.

එමෙන්ම රබර් ආශ්‍රිත කර්මාන්තකරුවන් උනන්දු කරවන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

රබර්වලට නිසි මිලක් ලබාදීම සඳහා මෙරට නිශ්පාදනය කෙරෙන රබර් භාවිත කිරීමට රබර් ආශ්‍රිත කර්මාන්තකරුවන් උනන්දු කරවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

ගම්මිරිස්, කුරුඳූ වැනි අපනයන භෝග නිශ්පාදනය දිරිමත් කරවන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

කෘෂි නිශ්පාදනවලට අගය එකතු කර අපනයනය කිරීම හරහා ගොවියාට ස්ථාවර මිලක් ලබාදෙන අතර විශාල විදේශ විනිමයක් ලබාගැනීමට කටයුතු කරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙරට කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන් කාබනික පොහොරවලට යොමු කිරීමට පියවර ගන්නා බව ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සඳහන් කළා.

ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම අරඹමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ පාස්කු ප්‍රහාරය හේතුවෙන් රජය භාරගන්නා විට ජනතාව අතර ආරක්ෂාව පිළිබඳ විශ්වාසය බිඳවැටී තිබු බවයි.

නව රජයේ මූලික ප්‍රතිපත්තිය වන ආරක්ෂක සහ බුද්ධි අංශ ප්‍රතිව්‍යුහගත කර ආරක්ෂාව යළි සුරක්ෂිත කිරීමට කටයුතු කර ඇති බව ඔහු මෙහිදී සඳහන් කළා.

ඕනෑම පුරවැසියෙකුට ආරක්ෂාව පිළිබඳ බිය නොවී නිදහසේ ජීවත්වීමට වටපිටාවක් යළි ලබාදී ඇති අතර සාමාන්‍ය ජන ජීවීතයට බාධාවක්ව තිබු පාතාලය මත්ද්‍රව්‍ය උවදුර වැනි ව්‍යසනයන්ගෙන් ජනතාව ගලවා ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් තිබීම ජනතා විශ්වාසය ඉහළ යාමට හේතුවක් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

මේ හේතුවෙන් ගුණකරුග නීතිගුරු සමාජයක් ගොඩනැගී ඇතැයි ද ඔහු පෙන්වා දෙනවා.

තමා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු රාජ්‍ය ආයතනවල පත්කිරීම් සඳහා පැවති සම්ප්‍රදායන් වෙනස් කරමින් විද්වත් මණ්ඩලයක් හරහා පත්වීම් සිදු කරන ක්‍රමයක් ඇති කළ බව ද ජනාධිපතිවරයා කියාසිටියා.

නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කළ අතර වී ගොවීන්ට සහතික මිලක් ලබාදුන් බව ද ජනාධිපතිවරයා සිහිපත් කළා.

දේශීය ගොවීන් ආරක්ෂා කිරීමට කටයුතු කළ අතර අත්හැඅර දමා තිබු වගා ඉඩම් අස්වැද්දීමට කටයුතු කළ බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා කියාසිටියේ.

උසස් පෙළ සමත් සියල්ලන්ට සරසවි වරම් හිමිවන ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කරන බවද ජනාධිපතිවරයා කියා සිටියා.

මෙම මැතිවරණයේදී ජනතාව සහය ලබාදුන්නේ රජය සම්බන්ධයෙන් ගොඩනැගී තිබු විශ්වාසයට වන අතර එම විශ්වාසය තහවුරු වන ආකාරයෙන් අඛණ්ඩව සේවය කරන බව ද ජනාධිපතිවරයා කියාසිටියා.

අගමැතිවරයා ඇතුලු නව රජයේ නියෝජිතයන් කෙරෙහි ජනතාව තැබු විශ්වාසයට ගරු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ. ජනතාව මෙවැනි ජන වරමක් ලබාදුන්නේ කුමන අපේප්ක්ෂාවන් පෙරදැරිව ද යන්න අවබෝධයක් ඇති අතර කුමන හේතුවක් මත හෝ එම අපේක්ෂාවන් බිඳවැටෙන ආකාරයට කටයුතු නොකරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

ඔහු මෙහිදී කියාසිටියේ සියලු ජනතා නියෝජතියන්ගේ වගකීම ජනතාවට සේවය කිරීම බව මතක තබාගත යුතු බවයි.

නිසි අයිතියක් නොමැතිව රජයේ ඉඩම් වල ජිවත් වන ජනතාව සඳහා ඉඩම් ඔප්පු ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

පානීය ජල ගැටලුවටද තිරසාර විසඳුමක් ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් කියා සිටියා.

දීර්ඝ කාලීනව වගා කටයුතු කරමින් සිටි ජනතාව එම ඉඩම්වලින් ඉවත් නොකරන බව ද ජනාධිපතිවරයා කියාසිටියා.

එමෙන්ම වන අලි ගැටලුවට විසඳුම් සෙවීමට විද්වත් මණ්ඩලයක් පත්කර ඇති අතර පානීය ජල ගැටළුව ඇතුලු මානුෂීය ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නා බවයි ඔහු සඳහන් කළේ.

ඉදිරි වසර කිහිපය තුල රටේ සෑම ප්‍රදේශයකටම පානීය ජලය ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් කියාසිටියා.

කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන්ගේ ඉල්ලීම් ඉටු කළ යුත වන අතර ඉන් ප්‍රධාන ඉල්ලීමක් වන වගාවන්ට ජලය ලබාදීම වෙනුවෙන් රට පුරා පවතින වැව් ප්‍රතිසංස්කරණයට පුලුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ද ඔහු පෙන්වා දුන්නා.

රැකියා වියුක්තිය විසඳීම සඳහා කරුණු රැසක් සාකච්ඡා කර ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේවන විට දුප්පත් පවුල්වලට රැකියා ලබාදීමට වැඩසටසහක් සකස් කර ඇති අතර උපාධිධාරීන් හැට දහසකට (60,000) රැකියා ලබාදීමට මෙන්ම පුහුණුවක් ලබාදීමට කටයුතු යොදා තිබෙන බව ප්‍රකාශ කෙරුණා.

රජයේ රැකියා ලබාදීමේදී දුප්පත්ම පවුල්වලට ප්‍රමුඛතාව දීමට පියවර ගන්නා බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ.

රැකියා ලබාදීමේදී සෑම පළාතකටම සම අවස්ථා ලැබෙන පරිදි එය ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු සඳහන් කළා.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++++++++

පාර්ලිමේන්තුව දින 03 ක් රැස්වේ – රජයේ අතුරු සම්මත ගිණුම හෙට (21) පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට

(20.08.2020 – 17:55 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව හෙට (21) ලබන 27 සහ 28 යන දිනවල පැවැත්වීමට අද (20) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේ දීයි.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මන්ත්‍රී යෝජනාවක් ලෙස හෙට (21) විවාදයට ගැනීමට නියමිතයි.

මේ අතර ලබන සැප්තැම්බර් මස පළමුවනදා (01) සිට 2020 වසරට අදාළ අයවැය සම්මත වන තෙක් කාලය සඳහා වියදම් දැරීමට රජය විසින් ඉදිරිපත් කරනු ලබන අතුරු සම්මත ගිණුම ස්ථාවර නියෝග 27 අනුව න්‍යාය පුස්තකය මගින් මන්ත්‍රීවරුන්ට දැනුම්දීමටයි පක්ෂ නායකයන් තීරණය කර ඇත්තේ.

අනතුරුව ලබන 27 සහ 28 දෙදින පෙරවරු 09:30 සිට පස්වරු 06:30 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට සහ එම දින දෙක (2) තුළදී දිවා ආහාර විවේකයෙන් තොරව පාර්ලිමේන්තු රැස්වීම් පවත්වාගෙන යාමට ද අද රැස්වූ පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා.

මේ අතර ස්ථාවර නියෝග (27)2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙට (21) පාර්ලිමේන්තුවේදී රැකියා විරහිත උපාධිධාරීන් පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට ද නියමිතයි.

පක්ෂ නායක රැස්වීමට සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, නිමල් සිරිපාල ද සිල්වා, උදය ගම්මන්පිළ, තිස්ස විතාරණ, රාවුෆ් හකීම්, ගයන්ත කරුණාතිලක, මනෝ ගනේෂන්, ඩග්ලස් දේවානානන්ද, රංජිත් මද්දුමබණ්ඩාර, එම්.ඒ සුමන්තිරන් සහ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යන මහත්වරුන් සහභාගී වී තිබෙනවා.

මේ අතර 09 වන පාර්මේන්තුවේ මංගල සභාවාරය අද (20) පෙරවරු 09:30 ට ආරම්භ වුණා.

පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ දැනුම්දීමෙන් කතානායකවරයා තෝරා පත් කර ගැනීම පළමුව සිදුවූ අතර, එහිදී නව කථානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා නිතරගයෙන් තේරී පත්වුණා.

යෝජනාව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ අතර එය ස්ථිර කළේ සමගි ජනබලවේගය නියෝජනය කරන එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් වීම විශේෂත්වයක්.

පසුව කතානායකවරයා පාර්ලිමේන්තුව ඉදිරියේ දිවුරුම් දුන්නා. කථානායකවරයා දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුවට තේරීපත්වු මන්ත්‍රීවරුන් කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන් අතර, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ පක්ෂ නායකයන් නව කථානායකවරයා වෙත සුභ පැතුම් එක්කළේ ඉන් අනතුරුවයි.

නව කතානායකවරයාට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද සුබ පැතුම් එක් කළා.

අනතුරුව, නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.එම් අතාවුල්ලා, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ, ජාතික හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල, තමිල් මක්කල් තේසීය කූට්ටනි පක්ෂයේ නායක සී.වී.විග්නේෂ්වරන්, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර සහ තමිල් මක්කල් විදුතලෙයි පුලිගල් පක්ෂයේ නායක සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් කතානායකවරයාට සුබ පැතුම් එක් කළා.

ඉන් අනතුරුවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාව ඇමතුවේ.

නවක මන්ත්‍රීවරුන් 81 දෙනෙකුගෙන් සමන්විත මෙවර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සදහා පාර්ලිමේන්තු රංජිත් සියඹලාපිටිය මහතා තේරී පත්වුණේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාගේ යෝජනා ස්ථිරත්වයෙන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් යාපනය දිස්ත්‍රිකයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වු අංගජන් රාමනාදන් මන්ත්‍රීවරයා 09 වන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිධුරයට තේරී පත්වුනා.

විපක්ෂ නායකවරයා ලෙස සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පිළිගන්නා බව කථානායකවරයා සභාවට දන්වා සිටියා.

පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භයට පෙර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සභානායක ධුරයේ සහ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයේ රාජකාරි ඇරඹුවා.

කෙසේ වෙතත්, මෙවර මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ මේ වනවිට මරණ දඬුවමට ලක්ව සිටින ප්‍රේමලාල් ජයසේකර බන්ධනාගාර නිලධාරින් විසින් අද (20) පාර්ලිමේන්තුවට රැගෙනවිත් තිබුණේ නැහැ.

අප කළ විමසීමකදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ අධිකරණයෙන් ඒ සඳහා අවසරයක් ලැබී නොමැති බවයි.

වසර 73 කට පසු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු නොමැතිව පාර්ලිමේන්තුව රැස්වූ පළමු අවස්ථාව ද මෙය වන අතර, නව පක්ෂ දෙකක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පාලක පක්ෂය සහ ප්‍රධාන විපක්ෂය ලෙස කටයුතු කිරීම ද විශේෂත්වයක් ෴

+++++++++++++++++++++++++++++++++++

**************************************************

යන-එන මග අහිමිව පීඩා විඳින හාලිඇළ ප්‍රදේශවාසීන්

(20.08.2020 – 14:20 +0530 – hirunews.lk/sinhala)

ජන ජීවිතය කාර්යක්ෂමවීමට නම් මාර්ග පහසුකම් අත්‍යවශ්‍ය සාධකයක්.

නමුත් අවම මාර්ග පහසුකම් යටතේ එදිනෙදා ජීවිතය ගතකරන ගම්මාන කිහිපයක ජනතාව පිළිබඳ මේ පුවත අපට වාර්තාවුණේ බදුල්ල හාලිඇළ ප්‍රදේශයෙන්.

හාලිඇළ මහවත්තේගම සහ හපුවත්ත අතර දුම්රිය මාර්ගයේ සිට අලුබෝගොල්ල – මුදුන්පිට ඇතුළු ගම්මාන 8 ක පමණ ජනතාවට ගමන් කිරීමට ඇති මාර්ගයයි.

මෙම මාර්ගය පිළිසකර කිරීමට මුලපුරා වසර 7 ක් පමණ ගත වී ඇතත් එය අතරමඟ නවතා දැමීම හේතුවෙන් මාර්ගය තිබූ තත්ත්වයටත් වඩා අබලන් තත්ත්වයකට පත්ව තිබෙනවා.

මෙම ගම්මානවල ජීවත්වන පිරිස් අසනීප තත්ත්වයකදී රෝහල් වෙත රැගෙන යාමට සිදුව ඇත්තේ දැඩි දුෂ්කරතා මධ්‍යයේයි.

මාර්ගය කඩිනමින් සකස් කර දෙන ලෙසට බලධාරීන්ගෙන් කොතෙකුත් ඉල්ලීම් කළද ඊට නිසි පිළියමක් නොලැබුණු බවට ප්‍රදේශවාසීන් චෝදනා නඟනවා.

**********************************************

රාජිතට අල්ලස් කොමිසමෙන් නඩු – ශානිට එරෙහිව විරෝධතාවයක්

(20.08.2020 – 14:29 +0530 – hirunews.lk/sinhala)

2014 වසරේදී මෝදර ධීවර වරාය අඩු වටිනාකමකට බදු පදනමක් යටතේ පෞද්ගලික සමාගමක් වෙත පැවරීම තුළින් රජයට පාඩු කළ බවට වන චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඇතුළු තුන්දෙනෙකුට (3) එරෙහිව අල්ලස් කොමිසම අද (20) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකළා.

මන්ත්‍රීවරයාට අමතරව, අධි චෝදනා ගොනුකළේ ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි කළමනාකරණ අධ්‍යක්ෂ නීල් රවීන්ද්‍ර මුණසිංහටයි.

මේ අතර, ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුව ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක රෝහණ මෙන්ඩිස් සැප්තැම්බර් මස 3 වන දා දක්වා අද (20) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එමෙන්ම, ශානි අබේසේකර අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අසලදී පිරිසක් ඔහුට එරෙහිව විරෝධතාවක නිරත වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

එසේම, රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ රියදුරු දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති, සුදත් අස්මඩල අද (20) අධිචෝදනා භාර දීමෙන් පසු ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *