නවකයන් 5 දෙනෙකු ප්‍රථමයන් වෙයි

(07.08.2020 – 19:21 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග සුවිශේෂතා රැසක්ම, හදුනාගත හැකියි.

ඒ අනුව, නවකයෙකු ලෙස මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කල නිපුණ රණවක මහතා සියල්ලන් අභිභවා එම දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත්වෙමින් පාර්ලිමේන්තුවට තේරීම විශේෂත්වයක්.

එමෙන්ම, කොළඹින් පළමුවරට තරඟකරමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පැමිණියා.

එසේම ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් මුල්වරට තරග කල අචාර්ය නාලක ගොඩහේවා මහතා මුල්තැනට පත්වීමද විශේෂත්වයක් වනවා.

ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණෙන් මොණරාගල දිස්ත්‍රික්කයට තරඟ කල අතර ඔහුද එම දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස මුල්වරට පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටිනවා.

මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවර එළිය දිස්ත්‍රික්කය සදහා තරග කල හිටපු අමාත්‍ය ආරුමුගන් තොන්ඩමාන් මහතාගේ පුත් ජීවන් තොන්ඩමාන් මහතාද එම දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස මුල්වරට පාර්ලිමේන්තුවට තේරීපත්වුනා.

එසේම, මඩකලපුව දිස්ත්‍රික්කයට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය නියෝජනය කරමින් තරඟ කල රාහුල් රාජපුත්තිරන් මහතා නවකයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇත්තේ එම දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වෙමින්.

මේ අතර, මෙවර පාර්ලිමේන්තුවට සුදුසුකම් ලැබූවන් අතර පියපුතු යුවල කිහිපයක්ම හදුනාගත හැකි වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණැගලින් පාර්ලිමේන්තුවට තේරීපත්වු අතර ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට සුදුසුකම් ලැබුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයට තරඟ කරමින්.

ඔවුන් දෙදෙනාම අදාල දිස්ත්‍රික්කවල පියපුතුන් ලෙස පළමු තැනට පැමිණිම විශේෂත්වයක්.

ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙවර පාර්ලිමේන්තුවට පියපුතුන් ලෙස තේරීපත්වුයේ මාතලේ දිස්ත්‍රික්කයෙන් තරඟ කරමින්.

චමල් රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට තේරීපත් වද්දී ඔහුගේ පුත් ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු වරම් ලබාගත්තේ මොනරාගල දිස්ත්‍රික්කයෙන්.

තවත් පියපුතුන් දෙපලක් ලෙස මෙවර මහමැතිවරණයට රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න තරඟ කලද චතුර සේනාරත්නට මැතිසභයේ වරම් හිමිවුයේ නැහැ.

මේ අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගේ අභාවයෙන් පසු ව ඔහුගේ බිරිඳ මුදිතා ප්‍රෂාන්ති ද සිල්වා මහත්මිය මුල්වරට පාර්ලිමේන්තුවට තරඟ කල අතර ඇයට පාර්ලිමේන්තු වරම් හිමිවුනා.

කෙසේ වෙතත් , එක්සත් ජාතික පක්ෂයේ දයා ගමගේ කොළඹ දිස්ත්‍රික්කයෙන් හා ඔහුගේ බිරිඳ අනෝමා ගමගේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කල ද, ඔවුන් දෙදෙනාටම ජයග්‍රහණය කිරීමට හැකිවුයේ නැහැ.

මේ අතර, කලාකරුවන් වු උද්දික ප්‍රේමරත්න මහතා සහ ගීතා කුමාරසිංහ මහත්මිය අනුරාධපුර සහ ගාල්ල දිස්ත්‍රික්ක නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වු අතර මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කල සංජීව එදිරිමාන්න මහතාද මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වුයේ කළුතර දිස්ත්‍රික්කයෙන්.

+++++++++++++++++++++++++++++++++++

පරාජය වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්

(07.08.2020 – 20:00 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප ප්‍රතිඵල නිකුත් කිරීමත් සමඟ පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් රැසකට සිය ධුර අහිමි වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, උපනායක රවී කරුණානායක, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක නවීන් දිසානායක සහ භාණ්ඩාගාරික දයා ගමගේ යන හිටපු මන්ත්‍රීවරුන්ට මෙවර පාර්ලිමේන්තු අසුන් අහිමි වී තිබෙනවා.

සිය හතලිස් දෙවසරක (42) පාර්ලිමේන්තු දිවිය තුල පස්වරක් (5) අග්‍රාමාත්‍යධූරය හෙබවූ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු අසුන පරාජය වූ පළමු අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ලැයිස්තුවෙන් මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පරාජයට පත්වුණා.

සමගි ජන බලවේගයෙන් තරග කළ ඒ.එච්. එම්. ෆවුසි, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ සුජීව සේනසිංහ යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙවර පරාජයට පත්ව තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ දුලිප් විජේසේකරටත් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වූ රුවන් විජේවර්ධනට සහ අර්ජුන රණතුංගටත් මන්ත්‍රීධූරය අහිමිවුණා.

අජිත් මාන්නප්පෙරුම, විජිත් විජයමුණි සොයිසා, චතුර සේනාරත්න සහ එඩ්වඩ් ගුණසේකර සමගි ජන බලවේගයෙන් තරග කර සිය ආසන අහිමිවූවන් වනවා.

කළුතර දිස්ත්‍රික්කයට සමගි ජන බලවේගය යටතේ තරග කළ අජිත් පී. පෙරේරා එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කළ පාලිත තෙවරප්පෙරුම සහ ලක්ෂ්මන් විජේමාන්න මෙන්ම ජාතික ජන බලවේගය යටතේ තරග කළ නලින්ද ජයතිස්සට ද ආසන අහිමි වුණා.

ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරුන්වන එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන, සමගි ජන බලවේගයේ විජේපාල හෙට්ටිආරච්චි, බන්දුලාල් බන්ඩාරිගොඩ සහ ගීතා කුමාරසිංහ වෙනුවට පාර්ලිමේන්තුවට පිවිසුණු පියසේන ගමගේට මන්ත්‍රීධුර අහිමි වී තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ යටතේ තරග කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ නිරෝෂන් ප්‍රේමරත්න, හිටපු ජාතික ලැයිස්තු මන්ත්‍රී මනෝජ් සිරිසේන හා ජාතික ජන බලවේගයෙන් තරග කළ සුනිල් හඳුන්නෙත්තිටද මන්ත්‍රීධූර අහිමි වුණා.

හම්බන්තොට දිස්ත්‍රික්කයට ජාතික ජන බලවේගය යටතේ තරග කළ නිහාල් ගලප්පත්තිට ද මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමි වුණා.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කළ පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ තාරානාත් බස්නායක, ටී.බී. ඒකනායක සහ සමගි ජන බලවේගය යටතේ තරග කළ ඉන්දික බණ්ඩාරනායක පරාජයට පත්ව තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කළ පාලිත රංගේ බණ්ඩාර සහ සමගි ජන බලවේගයෙන් තරග කළ ශාන්ත අබේසේකර සහ පොදුජන පෙරමුණේ අශෝක ප්‍රියන්ත හිටපු මන්ත්‍රීවරයාත් මෙවර මැතිවරණයේදී පරාජයට පත්වුණා.

අනුරාධපුර දිස්ත්‍රික්කයට සමගි ජන බලවේගය යටතේ තරග කළ චන්ද්‍රාණි බණ්ඩාර, පී. හැරිසන්, චන්දිම ගමගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක සහ එස්.ඒ. මුතුකුමාරණට මන්ත්‍රීධුරය අහිමි වී තිබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රිවරුන්වන සමගි ජන බලවේගය යටතේ තරග කළ සිඩ්නි ජයරත්නට සහ එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කළ නාලක කොළොන්නත් මෙවර පාර්ලිමේන්තු වරම් හිමිකර ගත්තේ නැහැ.

බදුල්ල දිස්ත්‍රික්කයට සමගි ජන බලවේගය යටතේ තරග කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ලක්ෂ්මන් සෙනෙවිරත්නට හා රවී සමරවීරට සිය මන්ත්‍රීධුර අහිමි වුණා.

මොනරාගල දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ පද්ම උදයශාන්ත, සුමේධා ජී. ජයසේන මෙන්ම සමගි ජන බලවේගය යටතේ තරග කළ හිටපු කථානායක ආනන්ද කුමාරසිරිටත් මන්ත්‍රීධුර අහිමි වී තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ ආනන්ද අලුත්ගමගේ හා සමගි ජන බලවේගය යටතේ තරග කළ ලකී ජයවර්ධනද මෙවර පරාජයට පත්වුණා.

නුවරඑළිය දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කළ නවීන් දිසානායක, කේ.කේ. පියදාස මෙන්ම සමගි ජන බලවේගය යටතේ තරග කළ මයිල්වාගනම් තිලකරාජ්ට මන්ත්‍රීධුර අහිමි වුණා.

මාතලේ දිස්ත්‍රික්කයට සමගි ජන බලවේගය යටතේ තරග කළ වසන්ත අළුවිහාරේ සහ රංජිත් අළුවිහාරේ මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ ලක්ෂ්මන් වසන්ත පෙරේරා සිය මන්ත්‍රී ධුරයන් රැක ගැනීමට අසමත් වුණා.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කළ සංදිත් සමරසිංහ සහ සමගි ජන බලවේගය යටතේ තරග කළ තුසිතා විජේමාන්නට මන්ත්‍රීධුර අහිමි වී තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ දුනේෂ් ගන්කන්ද, සමගි ජන බලවේගය යටතේ තරග කළ කරුණාරත්න පරණවිතාන සහ ඒ. ඒ. විජේතුංගට මෙවර මන්ත්‍රීධුර අහිමි වුණා.

මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන එස්.යෝගේෂ්වරන්, ඥාණමුත්තු සිවනේෂ්වරන්, මුස්ලිම් කොංග්‍රසයේ අලි සහීර් මවුලානා, සමගි ජන බලවේගයේ අමීර් අලී පරාජයට පත්ව තිබෙනවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට පොදුජන පෙරමුණ යටතේ තරග කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත පුංචි නිලමේට සහ සමගි ජන බලවේගය යටතේ සමගි කළ අබ්දුල් මහරුෆ්ටත් මන්ත්‍රීධුර අහිමි වී තිබුණා.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයට තරගකළ අනෝමා ගමගේ පරාජයට පත් වූ අතර එම දිස්ත්‍රික්කයෙන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට ඉදිරිපත් වූ කවීන්ද්‍රන් කෝඩීස්වරන්ටද මන්ත්‍රීධූරය රැකගැනීමට හැකිවුණේ නැහැ.

මෙවර පරාජයට පත් වූ ශ්‍රියාණි විජේවික්‍රම මැතිවරණයට ඉදිරිපත් වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්.

යාපනය දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරුන් වන තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, ඊ. සරවනභවන් මෙන්ම එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කළ හිටපු මන්ත්‍රිනි විජේකලා මහේෂ්වරන්ට මන්ත්‍රීවරුන්ට මෙවර සිය ධුරයන් අහිමි වුණා.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

මහ මැතිවරණ ප්‍රතිඵල ගැන පක්ෂ විපක්ෂ අදහස්

(07.08.2020 – 18:16 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළකළා.

හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මෙය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව ලැබූ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් බවයි.

එය අන්තවාදීන් නොමැතිව රජයක් පිහිටුවීමට ලැබූ ජනවරමක් බව ද ඔහු සඳහන් කළා.

උදය ගම්මන්පිල මහතා ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කළා.

ඔහු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ පරාජය පිළිබඳ එහිදී කරුණු දැක්වුවා.

මේ අතර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කියාසිටියේ විපක්ෂයේ කාර්ය භාර්යය හොඳින් ඉටු කරන බවයි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ රට පුලුල් සංවර්ධනයක් කරා ඉදරියට ගෙන යාමට කටයුතු කරන බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියාසිටියේ.

+++++++++++++++++++++++++++++++++++

නව අගමැති දිවුරුම් දීම ඉරිදා කැළණියේදී

(07.08.2020 – 14:22 +0530 – hirunews.lk/sinhala)

නව රජයේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අනිද්දා (09) දිනයේදී යළි දිවුරුම් දීමට නියමිතයි.

කැළණිය රජමහා විහාරයේදී මෙම දිවුරුම් දීමේ උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නියම විජයග්‍රහණයන් උපදින්නේ අභියෝග මතින් බවයි.

එමෙන්ම, මෙම ජයග්‍රහණය මුළු රටේම විජයග්‍රහණයක් බවට පත්කිරීම සිය අධිෂ්ඨානය බව ද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවති මැතිවරණයෙන් අතිවිශිෂ්ඨ ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගැනීම සහ ඊට දායක වූ සියලුදෙනාට සිය පක්ෂයේ ප්‍රණාමය පුදකරන බව ද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

කොරෝනා වසංගතය හමුවේ ලොවම අකර්මන්‍ය වී තිබෙන කාලයකදී සියයට 70 කටත් වඩා පිරිසක් ඡන්දය පාවිච්චි කර තිබූ බව ද එහි සඳහන්.

කෙතරම් අසීරු තත්ත්වයක් වුවත්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කරන ජනතාව පිළිබඳ සතුටුවිය යුතු බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

+++++++++++++++++++++++++++++++++++

ජාතික ලැයිස්තු නාම ලේඛන 14 වන දාට පෙර ලබාදෙන්නැයි කොමිසමෙන් දැනුම්දීමක්

(08.08.2020 – 06:52 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණයෙන් ජයගත් සියලු පක්ෂවලට අදාළ ජාතික ලැයිස්තු නාම ලේඛනය ලබන 14 වන දාට පෙර ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ වෙත දැනුම් දී තිබේ.

එම ජාතික ලැයිස්තු නාම ලේඛන ලද පසු මෙවර මහ මැතිවරණයේ ජාතික ලැයිස්තුව ගැසට් කිරීමට කටයුතු කරන බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු නාම ලේඛනය ඊයේ (07) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු නාම ලේඛනය කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

එම ප්‍රකාශකයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැස්වී ඒ පිළිබඳ සාකච්ඡා කිරිමෙන් පසු එම නාම ලේඛනය කොමිෂන් සභාව වෙත භාරදීමට කටයුතු කරන බවය.

කෙසේවෙතත් මහ මැතිවරණයෙන් ජය ගත් ජාතික ජන බලවේගය, අපේ ජන බල පක්ෂය යන පක්ෂවල ජාතික ලැයිස්තු ඉදිරිපත් කිරීම සම්බනධයෙන් ‘අද දෙරණ’ කළ විමසීමක දී ඔවුන් සඳහන් කළේ ඒ පිළිබඳ මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවය ෴

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

නිදහස් පොදුජන සන්ධානය යටතේ තරග කළ ශ්‍රීලනිප අපේක්ෂකයින් 14 ක් මෙවර පාර්ලිමේන්තුවට

(08.08.2020 – 06:46 +0530 – sinhala.adaderana.lk)

මෙවර මහ මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ තරඟ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයින් 14 දෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ.

පොළොන්නරුව, කුරුණැගල, ගාල්ල, බදුල්ල, අනුරාධපුර, හම්බන්තොට, කෑගල්ල, මොණරාගල, ගම්පහ, යාපනය සහ වන්නි යන දිස්ත්‍රික්ක වලින් ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ යටතේ තරග කළ අපේක්ෂයින් මෙලෙස මන්ත්‍රීවරුන් ලෙස තේරීපත් වුණි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, දයාසිරි ජයසේකර, ශාන් විජේලාල්, ශාන්ත බණ්ඩාර, චාමර සම්පත් දසනායක, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර සහ රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන් මෙවර මහ මැතිවරණයෙන් තේරී පත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර වේ.

ඊට අමතරව ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න, සාරතී දුෂ්මන්ත, නිමල් සිරිපාල ද සිල්වා, අංගජන් රාමනාදන් සහ කාදර් මස්ථාන් යන මත්වරුන් ද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ තරග කර ජයගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර වන බව සඳහන්ය ෴

+++++++++++++++++++++++++++++++++++

පොදුජන පෙරමුණේ ජයග්‍රහණයට රටවල් රැසකින් සුබපැතුම්

(07.08.2020 – 20:21 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ලැබු විශිෂ්ට ජයග්‍රහණයට ඇමරිකාව, ඉන්දියාව, මාලදිවයින ඇතුළු රටවල් සුභාශිංසන එක් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා වෙත ට්විටර් පණිවිඩයක් යොමු කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළේ දෙරට අතර, සෑම ක්ෂේත්‍රයකම ද්විපාර්ශවීය සබඳතා ඉහළ නැංවීමට එක්ව කටයුතු කළ යුතු බවයි.

මේ අතර, කොවිඩ් වසංගතය හමුවේ එල්ල අභියෝග තිබියදි සමකාමී සහ ක්‍රමවත් අන්දමින් මැතිවරණයක් පැවැත්වීමට ගැන ශ්‍රි ලංකාවට සුබ පැතුම් එක්කරන බවයි කොළඹ ඇමරිකානු තනාපති කාර්යාලය නිවේදයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ශාහිඩ් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලද ජයග්‍රහණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කර තිබෙනවා.

එරට ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතාද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පොදුජන පෙරමුණ ලබාගත් ජයග්‍රහණයට සුභාශිංශන එක්කළා.

නේපාලයේ අග්‍රාමාත්‍ය කේ.පී. ශර්මා මහතාද දුරකථන ඇමතුමක් ලබාදෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කර තිබෙනවා.

මෙරට 9 වන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට පැවති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි කර ගත්තා.

ඒ අනුව සියයට 59.09 ක් එනම් ඡන්ද 68,53,690 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 145 ක්.

සියයට 23.9 ක් එනම් ඡන්ද 27,71,980 ක් ලබා ගනිමින් සමගි ජන බලවේගය මන්ත්‍රී ආසන සංඛ්‍යාව 54 ක් ලබා ගත්තා.

සියයට 3.84 ඡන්ද ප්‍රතිශතයක් එනම්, ඡන්ද 4,45,958 ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගයට හිමි වූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 03 ක්.

පසුගිය මහ මැතිවරණයේදී ඔවුන්ට මන්ත්‍රී ආසන 06 ක් හිමි වුණා.

සියයට 2.82 ක ඡන්ද ප්‍රතිශතයක් එනම් ඡන්ද 3,27,168 ක් ලබා ගත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට මෙවර හිමිව ඇති මන්ත්‍රී ආසන සංඛ්‍යාව 10 ක්.

2015 මහ මැතිවරණයේදී මොවුන්ට මන්ත්‍රී ධූර 16 ක් හිමිව තිබුණා.

එක්සත් ජාතික පක්ෂය මෙවර මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලයට අනුව සියයට 2.15 ක එනම්, ඡන්ද 2,49,435 ක් ලබාගනිමින් එක් (01) මන්ත්‍රී ආසනයකට පමණක් හිමිකම් කියනවා.

ඊ.පී.ඩි.පී. සංවිධානයට සහ අහිල ඉලංකෙයි ටැමිල් කොංග්‍රසයට මන්ත්‍රී ධූර දෙක (02) බැගින් හිමි වූ අතර, අපේ ජන බල පක්ෂයට, තමිල් මක්කල් විඩුදලෙයි පුලිගල් පක්ෂයට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, මුස්ලිම් ජාතික සන්ධානයට, තමිල් මක්කල් තේසීය කූට්ටනි, සමස්ත ලංකා මහජන කොංග්‍රසයට, ජාතික කොංග්‍රසයට සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට එක් (01) මන්ත්‍රී ධුරය බැගින් හිමිව තිබෙනවා.

මේ අතර, ඉතිහාසයේ වැඩිම මනාප හිමිකරගැනීමේ වාර්තාවක් තබමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගත්තා. ඒ, 5,27,364 ක්.

සමගි ජනබලවේගයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසන 4 ක් හිමිවූ අතර, එහි වැඩිම මනාප සංඛ්‍යාවක් හිමිකරගෙන ඇත්තේ ඇත්තේ නලින් බණ්ඩාරයි. ඒ, මනාප 75,631 ක්.

කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 12 ක් හිමි වූ අතර, සමගි ජනබලවේගයට හිමිව ඇති ආසන සංඛ්‍යව 6 ක්.

ජාතික ජන බලවේගය එක් (1) ආසනයක් හිමිකරගෙන තිබෙනවා.

ඒ අනුව එම දිස්ත්‍රික්කයේ වැඩිම මනාප හිමිකරගත්තේ පොදුජන පෙරමුණ නියෝජනය කරන සරත් වීරසේකර මහතායි.

ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 3,28,092 ක්.

ඡන්ද ප්‍රතිඵලවලට අනුව සමගි ජනබලවේගය කොළඹ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුර හයක් (6) හිමිකරගත්තා.

එහි නායක සජිත් ප්‍රේමදාස පළමු ස්ථානයට පැමිණි අතර, ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 3,05,744 ක්.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් ජාතික ජනබලවේගයට එක් (1) මන්ත්‍රි ධුරයක් හිමිව ඇති අතර, එය හිමිකරගනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකයි.

ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 49,814 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමිකරගෙන ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 13 ක්.

නාලක ගොඩහේවා මහතා මනාප 3,25,479 ක් ලබාගනිමින් මුල්තැනට පැමිණියා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගයට මන්ත්‍රී ධුර 4 ක් හිමිව තිබෙනවා.

ඒ අනුව එහි පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකායි.

ජාතික ජනබලවේගයටද එක් (1) මන්ත්‍රි ධුරයක් හිමිවූ අතර, එය ලබාගනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාට හිමිව තිබෙනවා. ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 1,47,958 ක්.

සමගි ජනබලවේගයෙන් වැඩිම මනාප ලබාගෙන ඇත්තේ රාජිත සේනාරත්නයි. ඔහු මනාප 77,476 ක් ලබාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව එහි පළමු ස්ථානය හිමිකර ගත්තේ මනාප 1,66,660 ලබාගත් නාමල් රාජපක්ෂ මහතායි.

සමගි ජන බලවේගයට හිමි වූ මන්ත්‍රී ධූරය දිනාගෙන ඇත්තේ මනාප 23,376 ක් ලබාගත් දිලිප් වෙදආරච්චියි.

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 6 ක් හිමි වනවා.

එහි පළමු තැන මනාප 1,31,010 ක් ලබා ගත් නවකයෙකු වූ නිපුන රණවක මහතා හිමිකර ගත්තා.

සමගි ජන බලවේගයට හිමිව ඇති එක් මන්ත්‍රී ධුරය සඳහා මනාප 44,839 ක් ලබා ගත් බුද්ධික පතිරණ තේරී පත්ව තිබෙනවා.

මනාප 2,05,814 ක් ලබා ගනිමින් වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මනාප ලැයිස්තුවේ පෙරමුණේ පසුවනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයට අනුව සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 2 ක් හිමි වූ අතර එය මනාප 50,097 ක් ලබා ගත් ගයන්ත කරුණාතිලක සහ මනාප 47,399 ක් ලබා ගත් මනූෂ නානායක්කාරට හිමිව තිබෙනවා.

මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩිම මනාප ලබාගෙන ඇත්තේ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතායි. ඒ, මනාප 1,39,368 ක්.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලෙස 1,11,137 ක් හිමිකර ගනිමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දිස්ත්‍රික්කයේ ප්‍රථමස්ථානය හිමි කරගෙන තිබෙනවා.

මේ අතර, සමගි ජන බලවේගයට ද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එක් ආසනයක් ලබාගෙන ඇති අතර එය හිමි කරගෙන ඇත්තේ කිංස් නෙල්සන් විසින්. ඔහු ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 22,392 ක්.

පුත්තලම දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගෙන ඇත්තේ ජයග්‍රාහී පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ සනත් නිශාන්ත පෙරේරා මහතායි.

ඔහු ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 80,002 ක්. ප්‍රියංකර ජයරත්න මහතා මනාප 74,425 ක්.

සමගි ජනබලවේගය නියෝජනය කරමින් හෙක්ටර් අප්පුහාමි මනාප 34,127 ක් හිමිකරගෙන ඇති අතර, නිරෝෂන් පෙරේරා ලබාගෙන ඇති මනාප 31,636 ක්.

මේ අතර, මනාප 1,28,592 ක් ලබා ගත් කනක හේරත් මහතා කෑගල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

ඊට අමතරව සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ කබීර් හෂීම් මනාප 58,716 ක් ලබාගත්තා.

මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගම මහතාට හිමිව තිබෙනවා.

ඒ, මනාප 1,71,758 ක් හිමිකරගනිමින්. එම දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර 4 ක් හිමි කර ගැනීමට සමගි ජන බලවේගය සමත්ව තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහමැතිවරණයට ඉදිරිපත් වූ අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතා වැඩිම මනාප ලබාගෙන තිබෙනවා.

ඔහු ලබා ගත් මනාප සංඛ්‍යාව 1,09,155 ක්. පලනි දිගම්බරන් මනාප 83,392 ක් ලබා ගනිමින් සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

එමෙන්ම, මොණරාගල දිස්ත්‍රික්කයේහි ප්‍රථම ස්ථානය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් හිමිකරගෙන තිබෙනවා.

ඔහු ලබා ගත් මනාප සංඛ්‍යාව එක්ලක්ෂ 1,04,729 ක්. මේ අතර, මොණරාගල දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයට හිමිව ඇත්තේ එක් (1) ආසනයක් පමණයි.

එය ධර්මසේන විජේසිංහ විසින් හිමිකරගෙන ඇත්තේ මනාප 20,662 ක් ලබා ගනිමින්.

බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ වැදුණු නිමල් සිරිපාල ද සිල්වා මහතා මනාප 1,41,901 ක් ලබා ගනිමින් මුල් තැනට තේරී පත්වී තිබෙනවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 2 ක් හිමි වන අතර, මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය ඡන්ද 43,759 ක් ලබා ගත් එම්.එස්. තව්ෆික්ට හිමිවුණා.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට ද එක් මන්ත්‍රී ධුරයක් හිමිව ඇති අතර, එය මනාප ඡන්ද 21,422 ක් ලබා ගත් ආර්. සම්බන්ධන්ට හිමි වුණා.

ඒ අනුව, අවුරුදු 86 ක් වයසැති ආර්. සම්බන්ධන් පාර්ලිමේන්තුවට තේරී පත්වන වයස්ගතම පුද්ගලයා වනවා.

මේ අතර, මඩකලපුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව තමිල් අරසු පක්ෂයේ රාහුල් රාජපුත්තිරන් මනාප 33,332 ක් සහ කෝවින්තන් කරුණාකරම් මනාප 26,382 ක් ලබාගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

යාපනය දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානයට හිමි වූ මන්ත්‍රී ධූර තුනෙන් (3) මනාප 35,884 ක් හිමිකරගත් එස්.ශ්‍රීධරන් එහි පළමු ස්ථානයට පත්වුණා.

එම්.ඒ. සුමන්දිරන් මනාප 27,834 ක් ලබා ගනිමින්. නිදහස් පක්ෂය යටතේ තරඟ කළ අංගජන් රාමනාදන් මනාප 36,365 ක්ද, ඊ.පී.ඩි.පී. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්දා මනාප 32,146 ක්ද ලබාගත් අතර, තමිල් මක්කල් තේසීය කූට්ටනි පක්ෂයට හිමි වූ මන්ත්‍රී ධූරය දිනාගත්තේ මනාප 21,554 ක් හිමිකරගත් උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන්.

වන්නි දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව දිස්ත්‍රික්කය ජයගත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ චාර්ල්ස් නිර්මලනාදන් මනාප 25,688 ක් හිමිකරගෙන ඇති අතර, ඒ.අඩෙක්කලනාදන් ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 18,563 ක්.

සමගි ජන බලවේගයෙන් තරඟ කළ රිෂාඩ් බදියුදීන්ද මනාප 28,203 ක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වැඩිම මනාප ලබාගෙන ඇත්තේ පවිත්‍රාදේවි වන්නිආරච්චිචි මහත්මියයි. ඇය මනාප 2,00,977 ක් ලබාගෙන ඇති අතර පසුගිය දා මරණ දඩුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකර මනාප 1,42,037 ත් ලබා ගනිමින් එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

එම දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයෙන් පෙරමුණ ගත්තේ මනාප 60,426 ක් ලබා ගත් හේෂා විතාරණයි.

මාතලේ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ ප්‍රථමස්ථානයට ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්ව තිබෙනවා.

ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 73,296 ක්. මාතලේ දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට එක් ආසනයක් හිමිව ඇති අතර, එය ඡන්ද 27,587 ක් ලබා ගත් රෝහිනී කවිරත්න හිමි කරගෙන තිබෙනවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ජපානයෙනුත් සුබපැතුම්

(08.08.2020 – 07:34 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබු විශිෂ්ට ජයග්‍රහණයට ජපානය ද සුබ පැතුම් එක් කළා.

ජපාන රජය වෙනුවෙන් කොළඹ ජපාන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ දිගු කාලීන ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය මෙම මැතිවරණයෙන් තවදුරටත් ශක්තිමත් වී ඇති බවයි.

සාමකාමී, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සාර්ථක අන්දමින් පැවැත්වීම පිළිබඳ සතුට පල කරන අතර, ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා, තවදුරටත් සහාය වීමට ජපානය සූදානම් බව ද එමගින් අවධාරණය කළා.

මේ අතර, ඇමරිකාව, ඉන්දියාව, නේපාලය සහ මාලදිවයින යන රටවල් ද, සුභාශිංසන එක් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා වෙත ට්විටර් පණිවිඩයක් යොමු කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළේ දෙරට අතර, සෑම ක්ෂේත්‍රයකම ද්විපාර්ශවීය සබඳතා ඉහළ නැංවීමට එක්ව කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම, කොවිඩ් වසංගතය හමුවේ එල්ල අභියෝග තිබියදි සමකාමී සහ ක්‍රමවත් අන්දමින් මැතිවරණයක් පැවැත්වීමට ගැන ශ්‍රි ලංකාවට සුබ පැතුම් එක්කරන බවයි කොළඹ ඇමරිකානු තනාපති කාර්යාලය නිවේදයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

සතියක් යනතුරු පෙළපාලි තහනම්

(08.08.2020 – 07:39 +0530 – hirunews.lk/sinhala)

මහමැතිවරණයේ අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වූ දින සිට සතියක් ගතවනතුරු මැතිවරණ පෙළපාලි යාම හෝ රැස්වීම් පැවැත්වීම තහනම් බව පොලීසිය පවසනවා.

පොලිස් නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර ප්‍රකාශ කළ් පශ්චාත් මැතිවරණ සමය තුළ ආරක්ෂාව සඳහා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය ද යොදවා ඇති බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 14 ක් – කාන්තාවන් 8 දෙනෙකුත් මෙවර මැතිසබයට

(08.08.2020 – 07:55 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් 14 දෙනෙකු මන්ත්‍රී ධුර සදහා සුදුසුකම් ලබා තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහලේකම් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, රංජිත් සියඹලාපිටිය සහ දුෂ්මන්ත මිත්‍රපාල ඒ අතර වනවා. මීට අමතරව, අංගජන් රාමනාදන්, කාදර් මස්තාන්, ලසන්ත අලගියවන්න මෙන්ම, චාමර සම්පත් දසනායක, ශාන් විජේලාන් ද සිල්වා, ශාන්ත බණ්ඩාර හා ජගත් පුෂ්පකුමාරට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මන්ත්‍රී ධුර හිමිවුණා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් කළ අපේක්ෂකයින් 5 දෙනෙකු සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.

එහි නායක විමල් වීරවංශ, ජාතික සංවිධායක ජයන්ත සමරවීර, දේශපාලන මණ්ඩල සභික නිමල් පියතිස්ස ඊට අයත් වනවා. එසේම, ගාමිණී වලේබොඩ, රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මැතිවරණයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

එමෙන්ම ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව මගින් පාර්ලිමේන්තුවට නම් කර තිබෙනවා.

මේ අතර, මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ඡන්දයෙන් තේරීපත් වූ කාන්තාවන් සංඛ්‍යාව 8 ක් වනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පවිත්‍රා වන්නිආරච්චි, මුදිතා ද සොයිසා, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ගීතා කුමාරසිංහ, රාජිකා වික්‍රමසිංහ හා කෝකිලා ගුණවර්ධන ඊට අයත්.

එසේම, සමගි ජනබලවේගයේ රෝහිණී කුමාරි කවිරත්න සහ තලතා අතුකෝරාල ද මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ කාන්තා නියෝජිතවරියන් ෴

***************************************

ගසක් කඩාවැටී කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගය ඇහැලියගොඩ – නාමල්පුරින් අවහිර වෙයි

(08.08.2020 – 09:33 +0530 – hirunews.lk/sinhala)

ගසක් කඩාවැටීම හේතුවෙන් කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය ඇහැලියගොඩ – නාමල්පුර ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.

ඒ නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ට දැනුම්දෙන්නේ.

අද (08) උදෑසන 08:50 ට පමණ විශාල ගසක් මාර්ගයට කඩාවැටී ඇති අතර, එය මේ වනවිට ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බව පොලීසිය සඳහන් කළා.

තවත් පැයක පමණ කාලයකින් මාර්ගය යථා තත්වයට පත් කිරීමට හැකිවනු ඇතැයි පොලීසිය සඳහන් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *