රිමාන්ඩ් කළ හිටපු බන්ධනාගාර අධිකාරී සම්පායෝ, මීගමුවේ සිට දුම්බරට – ඇප ඉල්ලීමටත් විරෝධය

(03.08.2020 – 19:46 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ හෙට (04) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ.ජී. ගුණදාස මහතාගේ නියෝගයකට අනුවයි.

වරෙන්තු නිකුත් කර දින 11 කට පසු අනුරුද්ධ සම්පායෝ ඊයේ (02) කුරුණෑගල දී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ලැබුවා.

අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර හිටපු බන්ධනාගාර අධිකාරීවරයා මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර වෛද්‍ය පරීක්ෂණයකට ද භාජනය කෙරුණා.

පසුව අද (03) පස්වරු 02:30 ට පමණ මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙහිදී අනුරුද්ධ සම්පායෝ වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා ඇප ඉල්ලීමක් සිදුකළ අතර, එය ප්‍රතික්ෂේප කරමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා දැඩි විරෝධයක් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ටයි කෝට් ඇඳ, එසේම ලංකා ඉතිහාසයේ පළමු වරට ද්විත්ව සැකකරුවෙකු පොලිස් ජීප් රථයක පසුපස සැප පහසු අසුනක හිඳගෙන මාධ්‍යයට ඉතා සැහැල්ලුවෙන් ප්‍රකාශ ඉදිරිපත් කළ බවයි.

සැකකරු අද (03) අධිකරණයට පැමිණියේ මුඛ ආවරණයක් හෝ නොමැතිව බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලීසිය කිලෝමීටර් 72 ක් ගොස් ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.

කෙසේ වෙතත්, සැකකරු අත්අඩංගුවට නොගත් බවත්, ඔහු භාර වූ බවත් පොලිස්පතිවරයා අද (03) ප්‍රකාශ කළ බවයි මෙහිදී අනුරුද්ධ සම්පායෝ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ.

විවිධ පුද්ගලයන්ගේ ප්‍රකාශ පිළිබද තමන් නොදන්නා අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වී ඇත්තේ අත්අඩංගුවට ගත් බවට යැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඊට ප්‍රතිචාර පළ කළා.

අධිකරණයට භාර වීම ප්‍රමාද වූයේ වරෙන්තුව නීතිවිරෝධී බවට තම පාර්ශවය අභියාචානාධිකරණයට ගිය නිසා බව ද විත්තියේ නීතිඥවරයා ප්‍රකාශ කර තිබෙනවා.

එහෙත් රජය අපහසුතාවට පත් නොකර භාර වන ලෙස ඉල්ලීමක් කළ බැවින් භාර වූ බවත්, විත්තියේ නීතිඥවරයා සඳහන් කළා.

එසේම, අද (03) පොහොය දිනයක් බැවින් රජයේ නිවාඩු දිනයක් වන නිසා අද වන් දිනෙක නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරන්නේ කෙසේදැයි අනුරුද්ධ සම්පායෝ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විමසා තිබෙනවා.

ඊට අවශ්‍ය විශේෂ වුවමනාව කුමක්දැයි ඔහු විමසා ඇති අතර, එම නිසා සැකකරුට එල්ල කර ඇති චෝදනා ඇප පනත අනුව ඇප දිය හැකි වරදක් බැවින් ඇප ලබාදෙන ලෙසටයි විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

කෙසේ වෙතත්, ඇප ඉල්ලීමට තමන් දැඩි ලෙස විරුද්ධ වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර තිබෙනවා.

එසේම මෙම නඩු කටයුත්තේ දී මාධ්‍යවේදීන්ට අධිකරණ පරිශ්‍රය තහනම් කිරීම පිළිබදව ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී අප්‍රසාදය පළ කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන තවමත් අවසන් වී නොමැති බැවින් සැකකරු හෙට (04) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මෙහිදී කරුණු සලකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

එහිදී අනුරුද්ධ සම්පායෝ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ බන්ධනාගාර ගත කරන්නේ නම්, මීගමුව බන්ධනාගාරය තුළ විත්තිකරුට මරණීය තර්ජන පවතින බැවින් එම බන්ධනාගාරය හැර කොළඹ හෝ වෙනත් තැනකට යොමු කරන ලෙසටයි.

කෙසේ වෙතත්, එය බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් තීරණය කළ යුතු බව මහේස්ත්‍රාත්වරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මේ අනුව සැකකරු දුම්බර බන්ධනාගාරය වෙත යොමු කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු කටයුත්ත හෙට (04) යළි මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවීමට නියමිතයි ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

දුම්බර යැවූ මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී සම්පායෝ, අද (04) යළිත් අධිකරණයට

(04.08.2020 – 07:17 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ අද (04) යළි මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

වරෙන්තු නිකුත් කර දින 11 කට පසු අනුරුද්ධ සම්පායෝ පෙරේදා (02) කුරුණෑගල දී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ.ජී. ගුණදාස මහතා හමුවට ඊයේ (03) ඉදිරිපත් කිරීමෙන් පසු අද (04) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඊයේ (03) නඩුව කැදවූ අවස්ථාවේදී අනුරුද්ධ සම්පායෝ වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා ඇප ඉල්ලීමක් සිදුකළ අතර, එය ප්‍රතික්ෂේප කරමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා දැඩි විරෝධයක් පළ කළා.

ඒ අනුව බන්ධනාගාර ගත කෙරුණු මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ දුම්බර බන්ධනාගාරය වෙත යොමු කිරීමටයි කටයුතු කර තිබුණේ.

එමෙන්ම, සිද්ධියට අදාළව චෝදනා එල්ල වී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සෙසු බන්ධනාගාර නිලධාරීන් තුන් දෙනා (3) ද අද (04) මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර, තම භාරයට ගත් මත්ද්‍රව්‍ය තොග යළිත් ජාවාරම්කරුවන්ටම අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 13 දෙනා අද (04) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය දා ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (04) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඇතුලු 21 දෙනෙකු රහස් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

+++++++++++++++++++++

සම්පායෝ ඇතුළු සිව්දෙනා (4) අගෝස්තු 18 දක්වා යළි රිමාන්ඩ්

(04.08.2020 – 16:21 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාවට අත්අඩංගුවට ගැනුනු මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු සිව්දෙනා මෙම මස 18 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කළා.

මීගමුව මූලස්ථාන පොලිසිය සිදු කල විශේෂ බුද්ධි මෙහෙයුමකදී ආදාල සැකකරු අත්අඩංගුවට ගත්තේ අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර දින 11 කට පසුවයි.

සැකකරු බන්ධනාගාර ගතව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් සහ බරපතල අපරාධකරුවන්ගෙන් වත්කම් උපයාගෙන ඇත්දැයි සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය සදහන් කළා.

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ පසුගියදා කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය ඉදිරිපිටදී අත්අඩංගුවට ගනු ලැබූවේ මීගමුව මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා ඇතුලු කණ්ඩායමක් විසින් ෴

***************************************

වැඩි මිලට අලෙවිකරන්න සැඟවූ මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙක් දැලේ

(03.08.2020 – 17:57 +0530 – hirunews.lk/sinhala)

හැටන් ප්‍රදේශයේ ළදු කැලෑවක සගවා තිබු මත්පැන් බෝතල් තොගයක් සමඟ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී මිලිලිටර් 750, 100 සහ180 මත්පැන් බෝතල් 750 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇතිබවයි වාර්තාවන්නේ.

මැතිවරණය හේතුවෙන් ඉදිරි දින දෙකක කාලයක් මත්පැන් අලෙවිසැල් වසා දැමීමෙන් අනතුරුව වැඩි මිලට අලෙවි කිරිම සඳහා මෙම මත්පැන් සඟවා තබා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්පැන් බෝතල් තොගය හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

හැටන් පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

***************************************

ඡන්ද මධ්‍යස්ථාන සියයට සියයක් සෞඛ්‍යාරක්ෂිතයි – මැතිවරණ කොමිසම කියයි

(03.08.2020 – 19:56 +0530 – hirunews.lk/sinhala)

එක්කෝටි හැට දෙලක්ෂයකට අධික ලියාපදිංචි ඡන්දායකයන් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසෙන පරිදි මහමැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා මහමැතිවරණය සම්බන්ධයෙන් පවතින සූදානම පිළිබඳ දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (03) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව ජන්ද මධ්‍යස්ථාන සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ කටයුතු හෙට (04) උදෑසන 08 සිට ආරම්භ කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එහිදි කියා සිටියේ.

එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ සෞඛ්‍ය නිර්දේශ උපරිම ලෙස පිළිපදිමින් ඡන්දදායකයන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව සලසා දී ඇති බවයි.

එබැවින් අනියත බියකින් තොරව ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ ඡන්දය ප්‍රකාශ කරන ලෙසට ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

එමෙන්ම, මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන තුළ දින 14 ක් නිරෝධායනයට ලක්වී, තවදුරටත් නිවෙස් තුළ දින 14 ක ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයන් සඳහා මෙවර මහ මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් හිමි වනවා.

අද (03) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ ඔවුන්ට පස්වරු 4 සිට පස්වරු 5 දක්වා පැයක (1) පමණ කාලයක් ඒ සඳහා අවස්ථාව හිමි වන බවයි.

මේ අතර, කිසියම් ඡන්ද මධ්‍යස්ථානයක කලබලකාරී ස්වභාවයක් ඇති වුවහොත් එහි ජන්දය ශූන්‍ය කරන බව ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.

ඡන්ද විමසීම අනිද්දා (05) පෙරවරු 7 ට ආරම්භ වීමට නියමිත අතර, මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 20 ක් සහ ස්වාධීන කණ්ඩායම් 34 කින් අපේක්ෂකයින් 7452 කු මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටිනවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

අගමැති දළදා සමිඳු වැඳපුදාගනී

(03.08.2020 – 20:09 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළඳා වහන්සේ වැදපුදාගනිමින් අශ්‍රර්වාද ලබාගත්තා.

දළදා වහන්සේ වැඩසිටින මහලේ අලුතෙන් සවිකළ ලී කැටයමි නිර්මාණ අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කිරිමද මෙහිදී සිදුවූ අතර භික්ෂුන් වහන්සේලා පනස් නමක් විෂයෙහි දානමය පින්කමක් එහිදි පැවැත්වුණා.

+++++++++++++++++++++++++++++++++++

***************************************

ජනපති සපුරා දුන් මැදිරිගිරියේ පාසල් සිසුවියගේ ඉල්ලීම

(03.08.2020 – 20:11 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා පසුගියදා මැදිරිගිරියේ කළ සංචාරය අතරතුරදී සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යාවක් කළ ඉල්ලීම අනුව එම පාසලට පුස්තකාලයක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කටයුතු කළා.

තට්ටු දෙකේ පැරණි බස් රථයක් අලුත්වැඩියාකර යෝග්‍ය පරිදි සකස් කර මෙම පුස්තකාලය නිමවා තිබීම විශේෂත්වයක්.

***************************************

සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය දැනුම්දෙයි

(03.08.2020 – 20:39 +0530 – hirunews.lk/sinhala)

ආචාර්ය දීපිකා උඩගම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරයෙන් සැප්තැම්බර් මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ව්‍යවස්ථාදායක සභාව වෙත දැනුම්දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඇය ව්‍යස්ථාදායක සභාවට දැනුම්දී ඇති බවයි අද රැස්වූ ව්‍යස්තාදායක සභාවට එහි සභාපති කරූ ජයසූරිය ප්‍රකාශ කළේ.

%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29

+++++++++++++++++++++

***************************************

නව පාර්ලිමේන්තුව ලබන 20 වනදා රැස්වෙයි

(04.08.2020 – 06:31 +0530 – hirunews.lk/sinhala)

හෙට (05) පැවැත්වෙන මහ මැතිවරණගෙන් පසු අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු මස 20 වැනිදා කැඳවනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ සඳහා වන අති විගේෂ ගැසට් නිවේදනය ඊයේ (03) රාත්‍රියේ ප්‍රකාශයට පත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් දැනුම් දෙන්නේ ෴

***************************************

දේශපාලන රැස්වීමකට සහභාගී වු ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 10 දෙනෙක් ඉවතට

(03.08.2020 – 15:20 +0530 – sinhala.adaderana.lk)

අනිද්දා (05) පැවැත්වෙන ඡන්ද විමසීමට අදාළව ජ්‍යෙෂ්ඨ ඡන්ද පොළ ස්ථානාධිපතිවරුන් ඇතුළු මැතිවරණ නිලධාරීන් අනුයුක්ත කිරීම සහ පුහුණු කිරීම මේ වන විට අවසන් අදියරේ පසුවන බව වාර්තා වේ.

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් ප්‍රකාශ කළේ ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ කටයුතු හෙට (04) ආරම්භ කරන බවය.

කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ප්‍රදීප් යසරත්න මහතා ප්‍රකාශ කළේ මෙවර ඡන්දය ගණන් කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 4 ක් ස්ථාපිත කර ඇති බවය.

‍හෙට (04) දහවල් 01:00 ට පෙර ඡන්ද මධ්‍යස්ථාන වෙත ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් යොමු කරන බව අනුරාධපුර තේරීම්භාර නිලධාරී ආර්.එම්. වන්නිනායක මහතා ප්‍රකාශ කළේය.

කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 3 කදී ඡන්ද ගණන් කිරීම සිදුකරන බව එම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී යූ.ඩී.සී ජයලාල් මහතා ප්‍රකාශ කළේය.

මේ අතර, මැතිවරණ රාජකාරී සඳහා තෝරාගෙන සිටි ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් 10 දෙනෙකු ඉවත් කර ඒ වෙනුවට වෙනත් පිරිසක් පත් කළ බව නුවරඑළිය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.

අදාළ පිරිස දේශපාලන පක්ෂ රැස්වීමකට සහභාගී වූ බවට ලැබුණු පැමිණිලි මත මෙම තීරණය ගෙන තිබේ ෴

***************************************

අපරාධ කළ බවට සැක කෙරෙන දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(03.08.2020 – 14:56 +0530 – sinhala.adaderana.lk)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුවන ‘අතුරුගිරියේ ලඩියා’ නමැත්තාගේ සමීපතමයින් දෙදෙනෙකු (2) හෝකන්දර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධාතාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එම සැකකරුවන් ‘ලඩියා’ නමැත්තාගේ සහයකයින් දෙදෙනෙකු වන ‘චානු’ සහ ‘බානු’ යන අයගේ සමීපතමයින් දෙදෙනෙකු (2) බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 20.5 ක් නිලධාරීන් සොයාගෙන තිබේ ෴

***************************************

දෘෂ්‍යාබාධිත ඡන්ද දායකයින්ට විශේෂ අවස්ථාවක්

(03.08.2020 – 11:08 +0530 – sinhala.adaderana.lk)

දෘෂ්‍යාබාධිත ඡන්ද දායකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විශේෂ ක්‍රමයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.

ඒ තම රහස්‍යභාවය රැකෙන ආකාරයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසට ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත සංගමය මැතිවරණ කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුවය.

එමෙන්ම, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් ලබාගෙන නොමැති ඡන්ද දායකයන්ට ඒවා ලබා ගැනීම සඳහා හෙට (04) සහ අනිද්දා (05) දිනයන්වල තැපැල් කාර්යාල විවෘතව පවතින බව තැපැල් දෙපාර්තමේන්තුව දන්වයි.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ තම ප්‍රදේශයේ තැපැල් කාර්යාල වෙත ගොස් සිය අනන්‍යතාවය තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගැනීමේ හැකියාව පවතින බවය.

***************************************

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද (04) උදෑසන සිට – ආරක්ෂාවට 65,000 ක්

(04.08.2020 – 07:21 +0530 – hirunews.lk/sinhala)

හෙට (05) පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ඡන්දපොළ වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද (04) උදෑසන 8 සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එක්කෝටි හැට දෙලක්ෂයකට (1,62,00,000) අධික ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාවක් සිටිනවා.

ජන්ද විමසීම හෙට (05) පෙරවරු 7 ට ආරම්භ වීමට නියමිත අතර, මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 20 ක් සහ ස්වාධීන කණ්ඩායම් 34 කින් අපේක්ෂකයින් 7452 කු මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

එහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තවදුරටත් සඳහන් කළේ වැඩි වශයෙන් මැතිවරණ නීති රීති උල්ලංගණය වූ ස්ථාන ලෙස හඳුනා ගත් ප්‍රදේශවලට පොලිස් විශේෂ කාර්යාල බලකායට අමතරව කැරළි මර්දන ඒකකය ද යොදවන ලෙස ඉල්ලා සිටි බවයි.

එමෙන්ම, මැතිවරණය සඳහා පොලීසිය මෙන්ම සිවිල් ආරක්ෂක නිලධාරීන් ද ඡන්ද මධ්‍යස්ථානවලට යොදවා ඇති බවයි මැතිවරණ කටයුතු සහ සංවිධානාත්මක අපරාධ කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා එම මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 65,000 ක් පමණ යොදවා ඇති බවද ඔහු කියා සිටියා ෴

***************************************

අංගොඩ ලොක්කා බලහත්කාරයෙන් අයිතිකරගත් ඉඩම් ගැන තොරතුරු හෙළිවෙයි

(02.08.2020 – 23:05 +0530 – lankadeepa.lk)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ‘චමින්ද පෙරේරා’ නොහොත් ‘අංගොඩ ලොක්කා’ අයිතිකරුවන් බිය ගන්වා බලහත්කාරයෙන් අත්පත් කරගත් කෝටි 50 කට අධික වටිනා ඉඩම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය මගින් සිදුකළ විමර්ශනයේ දී මෙම තොරතුරු අනාවරණය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු වූ ‘ලොකු නාඹුගල ආරච්චිගේ සමන්ත පුෂ්පකුමාර’ නොහොත් ‘සිම්බු සමන්’ නැමැත්තා අංගොඩ මුල්ලේරියාව රණබිම් මාවත ප්‍රදේශයේ දී හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 7 මිලිග්‍රෑම් 600 ක් සමඟ අත්අඩංගුවට ගෙන සිදු කළ මූලික විමර්ශනවල දී ‘අංගොඩ ලොක්කා’ මෙම පුද්ගලයාගේ නමට සහ තවත් පුද්ගලයන් රැසකගේ නම් වලට බලහත්කාරයෙන් ලබා ගත් ඉඩම් පවරා මෙම ජාවාරම බලහත්කාරයෙන් සිදු කරගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවට අයත් බැන්ඩියාවත්ත ප්‍රදේශයේ වගුරු ඉඩමක් ගොඩකර පර්චස් තුන (3) බැගින් වූ ඉඩම් කොටස් වල නිවාස ඉදිකර ලක්ෂ 43 බැගින් වූ මුදලකට නිවාස 60 ක් අලෙවි කර ඇති බව මේ වන විට සිදු කළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.

වෙනත් පුද්ගලයන්ට අයත් වගුරු බිම් සහ කුඹුරු යායවල් පස් සහ අබලි ද්‍රව්‍ය යොදා ගොඩ කර මෙම ජාවාරම කාලයක සිට කරගෙන ගොස් ඇති බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මේ වන විට අත්අඩංගුවට ගත් ‘සිම්බු සමන්’ නමැත්තා ‘අංගොඩ ලොක්කා’ට සිදුකළ බව කියන මුදල් වංචාවක් හේතුවෙන් මීට මාස 8 කට පමණ ඉහතදී පිරිසක් යොදවා ඔහුගේ අත් පා තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදු කළ බව පොලිසිය කියයි.

මේ ආකාරයෙන් මුල්ලේරියාව, අතුරුගිරිය, වැල්ලම්පිටිය පොලිස් වසම් වල පර්චස් 917 ක ආසන්න ප්‍රමාණයක් අංගොඩ ලොක්කා බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

මෙලෙස ලබාගත් සියලුම ඉඩම් මුදල් විශුද්ධිකරණ පනත යටතේ රාජ සන්තක කිරීමට හෝ සැබෑ හිමිකරුට ලබාදීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත බස්නාහිර දකුණ දිසාව භාර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා , මුල්ලේරියාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කළුවිතාරණ මහත්වරු පරීක්ෂණ පවත්වති ෴

***************************************

‘අනුරාධපුර රාජ්‍ය ආයතන සතු ඉඩම් දේශපාලනඥයින් බලෙන් අල්ලාගෙන’

(03.08.2020 – 13:33 +0530 – lankadeepa.lk)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රාජ්‍ය ආයතන සතු ඉඩම් විශාල ප්‍රමාණයක් මේවන විටත් දේශපාලඥයන්ගේ හිත මිතුරන් විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඇතැයි ‘අපි පුරවැසියෝ’ සංවිධානයේ සම කැඳවුම්කරු හා ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

අනුරාධපුර තුන්වන පියවරේ පිහිටි ඒ මහතාගේ නිවසේ අද (03) පැවති මාධ්‍ය හමුවකදි හෙතෙම මේ බව පැවසීය.එම මාධ්‍ය හමුවේදි ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේද පැවසීය.

“අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රාජ්‍ය ආයතන සතු ඉඩම් විශාල ප්‍රමාණයක් මේවන විට විවිධ පුද්ගලයන් විසින් අත්පත් කර ගෙන තිබෙනවා. එම ක්‍රියාවලිය තවදුරටත් සිදුවෙමින් පවතිනවා. මේ සඳහා අනුරාධපුරේ ප්‍රබල දේශපාලඥයන්ගේ අනුග්‍රහය සහ ආශිර්වාදය ලැබෙනවා.

අනුරාධපුර ශාන්ත ජෝශප් විදුහලට පිවිසෙන පිවිසුම් මාර්ගයත් මේවන විට පුද්ගලයෙක් විසින් බලහත් කාරයෙන් අත්පත්කර ගෙන තිබෙනවා. නොච්චියාගම විද්‍යාදර්ශි විද්‍යාලයේ ඉඩම් අත්පත්කර ගෙන තිබෙනවා. මැදවච්චිය ඉකිරිගොල්ලැව විද්‍යාලයේ ඉඩමක් අත්පත් කර ගෙන තිබෙනවා. පෙර කාලයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් රැසකට කුඹුරු ඉඩම් පවා තිබුනා. අද ඒ සියල්ලත් දේශපාලඥයන්ගේ හිතුවතුන් බලහත් කාරයෙන් අත්පත්කර ගෙන තිබෙනවා.

ඒ වාගේම දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති අනුරාධපුරේ පිහිටි ඉඩම් රැසක් බලහත්කාරයෙන් අත්පත්කර ගෙන. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නුවර වැවට අයිති රක්ෂිත ඉඩම් අල්ලා ගෙන. රජරට විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයට අයිති අනුරාධපුර නව නගරයේ පිහිටි ඉඩමත් සමහරුන් බලෙන් අල්ලා ගෙන නිවාස හදලා. මේ උදාහරණ කිහිපයක් පමණයි. මේවන විට රජයේ ඉඩම් වලින් 90% ක් පමණ බලහත්කාරයෙන් අත්පත්කරගෙන.

මෙම ඉඩම් බලහත් කාරයෙන් අත්පත්කර ගෙන පසුව ඒවා නීත්‍යානුකූල තත්වයට පත්කර ගන්නවා. මේ සඳහා දේශපාලඥයන්ගේ ආශිර්වාදයත් ලැබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රාජ්‍ය ආයතන සතු ඉඩකඩම් සහ ගොඩනැගිලි සදහා නීත්‍යනුකූල හිමිකම දැක්වෙන ඔප්පු නොමැතිකමත් මීට හේතුවක්.”

උතුරු මැද පළාතේ ප්‍රධාන ලේකම් එච්.එම්.පී.බණ්ඩාර මහතා මෙසේ පැවසීය :

“පාසල්වලට අයිති ඉඩම්, ගොඩනැගිලිවල අයිතිය තහවුරු කරගැනීම සදහා ඒවායේ මිණුම් කටයුතු සිදුකිරීමට අදාල ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන්ට පවරා තිබෙනවා. ඒ අනුව එම ඉඩම්වල මිණුම් කටයුතු අවසන් කරාම ඒ සදහා ඔප්පු ලබාදිමට පියවර ගන්නවා. අනවසර ඉදිකිරිම් වෙනුවෙන් සම්බන්ධ විම සදහා පළාත් සභාවට බලයක් නැහැ” ෴

***************************************

“මා එක්කලා අමනාපව වී දබර … දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර…” ගීතය පිළිබඳව ධම්මික බන්ඩාරයන්ගේ මේ හඳුන්වා දීමත් එක්ක කෙතරම් අපූරුද..

+++++++++++++++++++++++++++++++++++

පණ්ඩිත් අමරදේවයන් ගයන “ඈත කඳුකර හිමව් අරනේ සීත චන්දන ලපලු සෙවනේ…” සුන්දර ගීතයේ අරුත පැහැදිලි කරමින් ධම්මික බණ්ඩාරයන් ගෙනෙන මෙම වදන් පෙල හරිම අපූරුයි…ගීතය නියම ලෙස ඔබට විඳින්නට හැකි වේවි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *