ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගනවා – ජනපති

(03.08.2020 – 07:35 +0530 – hirunews.lk/sinhala)

ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමි වන ප්‍රතිපත්තියක් මත පදනම්ව ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

රටේ සම්පත් සහ ආර්ථික මධ්‍යස්ථාන විදේශයන් සතු කිරීම වෙනුවට දේශීය ව්‍යවසායකයා ශක්තිමත් කරන ජාතික ආර්ථිකයක් අනාගතයට උරුම කරදීම රජයේ ප්‍රතිපත්ති බව ජනාධිපතිවරයා කියා සිටියා.

ජීවන වියදම පිළිබඳ බොරු පොරොන්දු දීමට වඩා වැදගත් වන්නේ කොවිඩ් වසංගතයත් සමඟ ඇති වූ කටුක යථාර්ථය තේරුම් ගෙන ජනතාව ශක්තිමත්ව නගා සිටුවීම බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ චාරිකාවකට එක්වෙමින් ඊයේ (02) සඳහන් කළේ.

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා ඊයේ (02) දිනය පුරා ජනාධිපතිවරයා හම්බන්තොට දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වුණා.

මිද්දෙනිය – මහින්ද රාජපක්ෂ වෙළද සංකීර්ණය අසළ සංවිධාන කළ ජන හමුවකට එක්වෙමින් එම ප්‍රදේශයේ ජනතාවගේ අඩුපාඩු පිළිබදව ජනාධිපතිවරයා සොයා බැලුවා.

මිද්දෙනිය රෝහලේ සහ මිද්දෙනිය මහා විද්‍යාලයේ පවතින අඩුපාඩු පිළිබදව ද එහිදී ජනාධිපතිවරයාගේ අවධානයට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මීට අමතරව බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව අසළ සංවිධාන කළ ජන හමුවට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (02) එක්වූ අතර එහිදී ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් ද හිමි වුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ මැතිවරණය වෙනුවෙන් දිවයින පුරා චාරිකා කළ අතර, ජනාධිපතිවරයා සහභාගි වූ අවසන් ජන හමු මාලාව ද මෙය වනවා.

මේ අතර, එම චාරිකාව අතරතුර ජනාධිපතිවරයා ඊයේ (02) පස්වරුවේ මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම ද සිදුකළා ෴

***************************************

ඉදිරියේදී රට තුළ වාහන හිඟයක් ?

(03.08.2020 – 07:49 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී රට තුළ වාහන හිඟයක් ඇතිවිය හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා කියා සිටියේ කොරෝනා වසංගතයත් සමඟ ආනයනය සීමා කිරීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වැඩි ඉල්ලුමක් සහිත ඇතැම් වාහන සංචිත මේ වනවිටත් රට තුළ නොමැති බවයි ෴

***************************************

කිතුල් රා විෂ වී පාසල් සිසුවෙක් රෝහලේ

(03.08.2020 – 09:07 +0530 – hirunews.lk/sinhala)

මිතුරෙකු විසින් ලබාදුන් කිතුල් රා විෂ වීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් පාසල් සිසුවෙක් අද (03) උදෑසන මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ වියළුව ගම්බද ප්‍රදේශයක පිහිටි පාසලක අධ්‍යාපනය ලබන වයස අවුරුදු 17 ක ශිෂ්‍යයෙක්.

මිතුරා ලබාදුන් කිතුල් රා පානය කිරීමෙන් පසුව ඇතිවූ ලේ වමනය සහිත රෝගී තත්ත්වයක් උත්සන්න වීම හේතුවෙනුයි මොහු රෝහල් ගත කර තිබෙන්නේ ෴

***************************************

‘අංගොඩ ලොක්කා’ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය තහවුරු කරයි

(03.08.2020 – 10:11 +0530 – hirunews.lk/sinhala)

මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘ලසන්ත චන්දන පෙරේරා’ නොහොත් ‘අංගොඩ ලොක්කා’ ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව සනාථ වී ඇති බව එරට ප්‍රධාන පුවත් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කරනවා.

‘ද නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්’ සහ ‘ද හින්දු’ යන පුවත් වෙබ් අඩවි ‘අංගොඩ ලොක්කා’ගේ මරණය පිළිබඳව මෙලෙස වාර්තාකර තිබුණා.

‘අංගොඩ ලොක්කා’ පසුගිය මස 03 වනදා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඔහුගේ අවසන් කටයුතු මේ වනවිට සිදුකර ඇති බවයි එම පුවත් වෙබ් අඩවි වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කොයිම්බතුර් පොලිසිය විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ‘අංගොඩ ලොක්කා’ ඉන්දියාවේ ජීවත්ව ඇත්තේ ‘ආර්. ප්‍රදීප් සිං’ යන ව්‍යාජ නමකින් බවයි.

‘අංගොඩ ලොක්කා’ගේ මරණය සහ ඔහුට ව්‍යාජ ඉන්දීය හැඳුනුම් පතක් සකසාදීම යන සිද්ධීන්ට අදාලව ශ්‍රී ලාංකික කාන්තාවන් ඇතුළු තිදෙනෙකු (3) එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය පුවත් වෙබ් අඩවි වැඩිදුරටත් පවසනවා.

මේ අතර කිසියම් විෂක් ශරීර ගතකර ‘අංගොඩ ලොක්කා’ ඝාතනය කර ඇති බවටද පසු ගියදා වාර්තා පලවුණා.

කෙසේ වෙතත් මොහුගේ මරණයට හේතු තවමත් අනාවරණය වී නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

+++++++++

https://www.newindianexpress.com/states/tamil-nadu/2020/aug/02/after-two-years-in-hiding-sri-lankan-underworld-kingpin-angoda-lokka-dies-in-coimbatore-2178216.html

+++++++++

https://www.indiatoday.in/india/story/sri-lankan-gangster-angoda-lokka-dies-tamil-nadu-coimbatore-over-years-hiding-3-arrested-1707348-2020-08-03

+++++++++++++++++++++

‘අංගොඩ ලොක්කා’ගේ පශ්චාත් මරණ පරික්ෂණය සඳහා ලබාගත් සාම්පල් වැඩිදුර පරීක්ෂණ සඳහා !

(03.08.2020 – 13:14 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා’ හෙවත් ‘අංගොඩ ලොක්කා’ ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවට සනාථ වී ඇතැයි කොයිම්බතූර් පොලිසිය අනාවරණය කරගෙන ඇති බව ‘ඉන්දියන් එක්ස්ප්‍රස්’ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

සිද්ධියට අදාළව මදුරෙයි ප්‍රදේශයේදී ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුලු තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇති බවයි එම වෙබ් අඩවිය ප්‍රකාශ කළේ.

අංගොඩ ලොක්කා ඉන්දියාවේ ජීවත්ව ඇත්තේ ‘ආර්. ප්‍රදීප් සිං’ යන ව්‍යාජ නමකින් බවයි කොයිම්බතූර් පොලිසිය සිදුකළ විමර්ශණයේදී අනාවරණය වී ඇත්තේ.

ඉකුත් ජූලි මස 03 වනදා මොහු කොයිම්බතූර් වෛද්‍ය විද්‍යාලෙය් රෝහලට ඇතුලත් කොට ඇත්තේ හෘදයාබාධයක් ඇති වී නිවසේදී එක්වරම සිහිමුර්ජා වී ඇද වැටණු බව පවසමින්.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ද ව්‍යාජ තොරතුරු හා ලේඛන ඉදිරිපත් කර ඇති අතර, බලධාරීන් එම ලේඛන නිසිලෙස පරීක්ෂා නොකළ බවට පොලීසිය චෝදනා කරනවා.

බුද්ධි වාර්තා පදනම් කරගනිමින් ‘අංගොඩ ලොක්කා’ කොයිම්බතූර් හිදි ඝාතනය කර වළදමා ඇති බවට ලැබුණු තොරතුරක් සම්බන්ධව ශ්‍රී ලංකා පොලීසිය කළ විමසීමක් අනුව කොයිම්බතූර් පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව වයස අවුරුදු 35 ක් ලෙස දක්වා, ‘ප්‍රදීප් සිං’ යන නමින් ‘අංගොඩ ලොක්කා’ පෙනී සිට ඇති බවත් ඒ සඳහා ව්‍යාජ ලිපිලේඛන හා හැඳුනුම්පත් සකස් කර ඇති බවත් පොලීසිය සිදුකළ විමර්ශනවලදි අනාවරණ වී තිබෙනවා.

මදුරෙයි ප්‍රදේශයේදි ඔහුගේ දේහය ආදාහනය කර ඇති බව ද කොයිම්බතූර් පොලීසිය තවදුරටත් අනාවරණය කළා.

කෙසේ වෙතත් පශ්චාත් මරණ පරික්ෂණය සඳහා ලබාගත් සාම්පල් මේ වනවිට වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර, ඒ අනුව ඔහු ඝාතනයට ලක්වූවාද, නැතහොත් හෘදයාබාධයකින් මියගියේද යන්න තහවුරු කරගත හැකි බව පොලීසිය ප්‍රකාශ කළ බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

පොලීසිය සිදුකළ මුලික විමර්ශන අනුව අංගොඩ ලොක්කා මීට වසර 03 කට පමණ පෙර කොයිම්බතූර් වෙත පැමිණ ඇති බවත්, චෙරාන් මානගර් ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන ‘අමානි තන්ජි’ නැමති ඔහුගේ පෙම්වතිය සමඟ ජීවත්වූ බවත් හෙළි වී තිබෙනවා.

ඔහු ආහාර සැපයීමේ ව්‍යාපාරයක් සිදුකරමින් කොයිම්බතූර් හි ජීවත්ව සිට ඇති බවද විමර්ශනවලදී අනාවරණ වුණා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘අංගොඩ ලොක්කා’ කොයිම්බතූර් හි දී ජීවත්වූ බව කියන ඔහුගේ පෙම්වතිය වන ‘අමානි තන්ජි’ නම් ශ්‍රී ලාංකික කාන්තාව සහ ව්‍යාජ ලිපිලේඛන සකස් කිරීමට ආධාර අනුබලදුන් බව පැවසෙන පුද්ගලයෙකු ඇතුලු තුන්දෙනෙකු (3) බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

+++++++++++++++++++++

අංගොඩ ලොක්කා මිය ගිය බවට ඉන්දියාවෙන් නිළ වාර්තා නැහැ

(03.08.2020 – 19:29 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කළ ද, එරට රජයේ අදාළ ආයතන මගින් ඒ පිළිබද මෙතෙක් නිළ වශයෙන් තහවුරු කර නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරනවා.

කෙසේ නමුත්, ‘මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා’ හෙවත් ‘අංගොඩ ලොක්කා’, පසුගිය ජුලි 3 වන දා කොයිම්බතූර් හිදී මිය ගොස් ඇති බව එහි පොලීසිය ඊයේ (02) සනාථ කළේ යැයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කළා.

එහෙත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ එවැනි සිද්ධියක් මේ වන තෙක් වාර්තා වී නොමැති බවයි ෴

අංගොඩ ලොක්කා විෂ ශරීරගත කිරීමකින් මිය ගිය බවට පළ වන වාර්තා පිළිබඳව ද ඉන්දීය මාධ්‍ය සිහිපත් කර තිබුණා.

එමෙන්ම, පශ්චාත් මරණ පරික්ෂණය සඳහා ලබාගත් සාම්පල් මේ වනවිට වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර, ඒ අනුව ඔහු ඝාතනයට ලක්වූවාද, නැතහොත් හෘදයාබාධයකින් මියගියේද යන්න තහවුරු කරගත හැකි බව පොලීසිය ප්‍රකාශ කළ බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

මේ අතර, අංගොඩ ලොක්කාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ අපරාධ අංශයට යොමු කරන ලෙස ඉන්දියාවේ කොයිම්බතූර් නාගරික පොලීසිය තමිල්නාඩු පොලිස් අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

***************************************

මහවැලි ගඟේ දියනෑමට ගිය තරුණිය ජීවිතක්ෂයට, තරුණයා දැඩිසත්කාර ඒකකයේ

(03.08.2020 – 10:35 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල සිට මහියංගණය දක්වා විනෝද චාරිකාවක පැමිණි තරුණයෙක් හා තරුණියක් මහවැලි ගඟේ දියනෑමට ගොස් ඊයේ (02) පසවරුවේ දියේ ගිලීමෙන් තරුණිය ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තරුණයා මහියංගණ මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි මහියංගණය පොලීසිය පවසන්නේ.

මෙලෙස දියේ ගිලී ඇත්තේ වයස 18 ක් වු කුරුණෑගල, කටුපොත හා තිරගම පදිංචි ඥාති තරුණයෙක් හා තරුණියක්.

අනතුර සිදුවන අවස්ථාවේ සිද්ධිය දුටු පිරිස් සහ මහියංගණ පොලිසියේ නිළධාරින් එක්ව දියේ ගිලී සිටි දෙදෙනා බේරා ගැනිමට දැඩි පරිශ්‍රමයක් දරා තිබෙනවා.

පොලීසිය පවසන්නේ දියනෑමට සුදුසු නොවන, ස්ථානයක දිය නෑමට යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණ පොලීසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවනවා.

***************************************

ගලේවෙල දරුවා ඝාතනය කළ සැකකරු රිමාන්ඩ්

(03.08.2020 – 11:41 +0530 – hirunews.lk/sinhala)

ගලේවෙල ප්‍රදේශයේ අටහැවිරිදි (8) කුඩා පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කර ඝාතනය කළ ප්‍රධාන සැකකරු හෙට (04) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරු ඊයේ (02) දඹුල්ල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා හමුවට ඔහු ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

මොහු මානසික වෛද්‍යවරයෙකු හමුවට යොමුකර වාර්තාවක් ලබාගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙලෙස බන්ධනාගාර ගත කරනු ලැබූ සැකකරු ගලේවෙල – පත්කොලගොල්ල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක් ෴

***************************************

කාදිනල් හිමිපාණන්ගෙන් ඡන්දදායකයන් වෙත ඉල්ලීමක්

(03.08.2020 – 12:51 +0530 – hirunews.lk/sinhala)

රටේ ඉදිරි අනාගතය තීරණය කරන පාර්ලිමේන්තු ඡන්ද විමසීම සඳහා ඡන්ද පොළ වෙත ගොස් ඡන්දය ලබාදීමට ඇති පුරවැසි වගකීම ඉටුකරන්නැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

උන්වහන්සේ මාධ්‍ය වෙත අද (03) විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනුයි මෙම ඉල්ලීම කරනු ලැබුවේ.

***************************************

මහ මැතිවරණයට සියල්ල සූදානම් – ඡන්ද නීති කඩන්නන් සොයා අද (03) සිට ජංගම සංචාර

(03.08.2020 – 13:00 +0530 – hirunews.lk/sinhala)

අනිද්දා (05) පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් කර අවසන් බව මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළා.

ඡන්ද විමසීම අනිද්දා (05) පෙරවරු හතට (07:00) ආරම්භවීමට නියමිත අතර, මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ විස්සකින් (20) මෙන්ම ස්වාධීන කණ්ඩායම් 34 කින් අපේක්ෂකයන් 7,452 කු ඡන්ද සටනට එක්ව සිටිනවා.

ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 1,62,63,885 ක්.

දිවයින පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 12,984 ක් වනවා.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව මෙවර මහ මැතිවරණය පැවැත්වීම විශේෂත්වයක්.

ඒ අනුව ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමේ කටයුතු අද (03) දිනයේදීත් සිදු කෙරෙනවා.

එසේම ඡන්ද පෙට්ටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන්ට නිකුත් කිරීමට නියමිතව ඇත්තේ හෙට (04) දිනයේදියි.

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට පස්දුන් රට අධ්‍යාපන විද්‍යා පීඨය දක්වා ඡන්ද පෙට්ටි රැගෙන යාම අද (03) පෙරවරුවේ ආරම්භ වුණා.

එසේම මහ මැතිවරණයට කාලගුණයෙන් බාධා මතුවුවහොත් ඊට මුහුණදීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි කළුතර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී යූ.ඩී.සී. ජයලාල් මහතා සඳහන් කළේ.

එමෙන්ම මැතිවරණ කටයුතු සඳහා තෝරාගෙන සිටි ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් දසදෙනෙකු (10) මැතිවරණ රාජකාරි කටයුතු වලින් ඉවත් කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා පියවර ගෙන තිබෙනවා.

ඔවුන් කිසියම් දේශපාලන පක්ෂයක රැස්වීම් වලට සහභාගිවී ඇති බවට ලද පැමිණිලි මත මෙම පියවර ගත් බවයි තේරීම්භාර නිලධාරි රෝහණ පුෂ්පකුමාර මහතා කියා සිටියේ.

මේ අතර මහමැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු ඊයේ (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

පොලිස් මූලස්ථානයේ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ මැතිවරණ නීති කඩකරන්නන් සොයා අද (03) පස්වරුවේ සිට ජංගම මුර සංචාර ක්‍රියාත්මක කරන බවයි.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධි 264 ක් මේ වනවිට පොලීසියට වාර්තා වී ඇති අතර එම සිද්ධීන්වලට අදාලව අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 440 ක්.

මොවුන් අතර අපේක්ෂකයින් 07 දෙනෙකු ද වනවා.

***************************************

සම්පායෝගෙන් CID ය ප්‍රකාශ ගනී – නීතිවිරෝධී ලෙස දේපළ අත්පත් කරගත්තේදැයි සොයා පරික්ෂණ

(03.08.2020 – 13:04 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාවට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගත් මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ අද (03) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මොහු වැඩිදුර විමර්ශණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (02) භාර දුන් අතර, ඔහුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගනිමින් සිටිනවා.

වරෙන්තු ලැබ සිටි 52 හැවිරිදි මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ බුද්ධි තොරතුරකට අනුව කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය අසළ දී ඊයේ (02) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, වරෙන්තු නිකුත් කර දින 11 කට පසුවයි.

මේ අතර මොහු ඇතුලු චෝදනා එල්ලවී සිටින සෙසු බන්ධනාගාර නිලධාරීන් තුන්දෙනා (3) මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පවත්වා එමඟින් අයථා මුදල් සහ වත්කම් උපයාගෙන ඇත්ද යන්න පිළිබඳවද පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පොලිස් මූලස්ථානයේ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

+++++++++++++++++++++

(03.08.2020 – 13:34 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් තිබෙනවා.

හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ අද (03) දහවල් ඔහු මෙලෙස රැගෙන ගිය බවයි.

අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගනු ලැබුවේ බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මතයි ෴

+++++++++++++++++++++

අනුරුද්ධ සම්පායෝ හෙට (04) දක්වා රිමාන්ඩ්

(03.08.2020 – 15:28 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ හෙට (04) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, මීගමුව වැඩබලන නිළ නොලත් මහේස්ත්‍රාත් කේ.ජී. ගුණදාස මහතාගේ නියෝගයකට අනුවයි.

අනුරුද්ධ සම්පායෝ ඊයේ (02) කුරුණෑගල දී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ලැබුවා.

අනතුරුව ඔහු අද (03) දිනයේ මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදුන්නේ.

***************************************

කොරෝනා හේතුවෙන් අවදානමට ලක්වූ සංචාරක කර්මාන්තය

(03.08.2020 – 13:29 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හමුවේ බලපෑමට ලක්ව ඇති ක්ෂේත්‍ර අතර ප්‍රධාන තැනක් සංචාරක කර්මාන්තයට හිමි වනවා.

මාර්තු, අප්‍රේල්, මැයි විදෙස් සංචාරකයින් බහුලව මෙරටට පැමිණෙන කාලසීමාවක් වුවද කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා ලොව පුරා රටවල් සංචාරක සීමා පැනවීම හේතුවෙනුයි එම කර්මාන්තය අවදානමකට ලක්ව ඇත්තේ.

සංචාරක කර්මාන්තයේ නියැලුනු පිරිස් සහ සංචාරක ජීප් රථ රියදුරන් ප්‍රකාශ කළේ සංචාරකයින් නොමැතිවීම හේතුවෙන් තමන් දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට ලක්ව ඇති බවයි.

***************************************

ප්‍රජාතන්ත්‍රවාදයත් සෞඛ්‍යයත් එකවර රකින හැටි

(03.08.2020 – 14:04 +0530 – hirunews.lk/sinhala)

අනිද්දා (05) පැවැත්වෙන මහමැතිවරණය වෙනත් වසරවල්වලට වඩා අපට සුවිශේෂී වනවා. ඒ මෙවර ප්‍රජාතන්ත්‍රවාදයත් සමඟ සෞඛ්‍යයත් රකින්නට සිදුවී ඇති නිසා. අප ඒ කාර්යය ඉටු කළ යුත්තේ කෙසේද? මේ ඒ පිළිබඳ විමසා බැලීමක්.

***************************************

මාංශපේෂී දියවීමේ රෝගයක් නිසා දුක් විඳින, සරණක් අවැසි පාසල් සිසුවා

(03.08.2020 – 14:12 +0530 – hirunews.lk/sinhala)

දෙමාපියන්ට මෙළොව ඇති උතුම්ම සම්පත දරුවන්.

දරුවෙකුගේ රෝගාබාධයක් දෙමාපියන්ට ගෙන දෙන්නේ අප්‍රමාණ වේදනාවක්.

මාංශපේෂී දියවීමේ රෝගයකින් පීඩා විදින දරුවෙකු නිසා එවන් වේදනාවක් උරුම කරගත් ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි මාපිය යුවළක් පිළිබඳයි මේ පුවත.

ගිනිගත්හේන ලක්ෂපාන නීලවත්ත ප්‍රදේශයේ පදිංචි කීර්ති චන්ද්‍රසිරි සිසුවාට මේ වනවිට වයස අවුරුදු 16 ක්.

‘පැතිකුද රෝගය’ නැතහොත් ‘මාංශපේෂී දියවීමේ රෝගයක්’ හේතුවෙන් ඔහුට අද අත්ව ඇති ඉරණමයි මේ.

වසර 13 ක් සාමාන්‍ය ක්‍රියාකාරකම්වල නිරතවෙමින් නිරෝගීව සිටි ඔහුට මීට වසර 04 ක පමණ සිට ක්‍රම ක්‍රමයෙන් මෙම රෝග තත්ත්වය හටගෙන තිබෙනවා.

***************************************

වයසට නොගැළපෙන, උපන්දින සැමරුම

(03.08.2020 – 14:32 +0530 – hirunews.lk/sinhala)

ළමා වයසට නොගැලපෙන ආකාරයෙන් කෲරත්වය විදහා දැක්වෙන ආකාරයෙන් සිදුකළ උපන්දින සැමරුමක් පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍යයන්හි වීඩියෝවක් හුවමාරුවෙමින් තිබෙනවා.

මෙම සිදුවීම පවුලේ ඥාතීන් විසින් සිදු කර ඇති බවට වාර්තා වන අතර මේ සම්බන්ධයෙන් ජාතික ළමා රක්ෂණ අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

***************************************

හෙරොයින් සමඟ පුද්ගලයෙකු අහුන්ගල්ලේ දී අත්අඩංගුවට

(03.08.2020 – 15:08 +0530 – hirunews.lk/sinhala)

අහුන්ගල්ල – පාවැලිකන්ද ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 04 යි මිලිග්‍රෑම් 430 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් 6,97,600 ක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

එමෙන්ම, නිවසේ සඟවා තිබූ යුද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් කිහිපයක් ද සොයා ගෙන තිබෙනවා.

සැකකරු අහුන්ගල්ල – බෝගහපිටිය – පාවැලිකන්ද ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක් ෴

+++++++++++++++++++++

***************************************

ස්වයං නිරෝධායනයට ලක්වන්නන් ඡන්දය දෙන්න පැමිණිය යුතු වෙලාව මෙන්න

(03.08.2020 – 16:59 +0530 – hirunews.lk/sinhala)

ස්වයං නිරෝධායනයට ලක්වන්නන්ට ඡන්දය දෙන්න පැයක්.

නිරෝධායන මධ්‍යස්ථාන තුළ දින 14 ක් නිරෝධායනයට ලක්වී, තවදුරටත් නිවෙස් තුළ දින 14 ක ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයන් සඳහා මෙවර මහ මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් හිමි වනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ ඔවුන්ට පස්වරු 4 සිට පස්වරු 5 දක්වා පැයක පමණ කාලයක් ඒ සඳහා අවස්ථාව හිමි වන බවයි.

කෙසේ නමුත්, නිරෝධායන මධ්‍යස්ථානවලදී ඡන්දය ප්‍රකාශ කිරීමක් සිදුනොවන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *