මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට

(02.08.2020 – 15:51 +0530 – hirunews.lk/sinhala)

දැනට වරෙන්තු ලබා සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ දින 11 කට පසු කුරුණෑගල නගරයේදී මීගමුවේ පොලීසියේ විමර්ශන කණ්ඩායමකට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට පහසුකම් සැපයීම මොහුට විරුද්ධව එල්ල වී ඇති චෝදනාවයි.

ඔහු ඇතුලු හතරදෙනෙකු (4) අත්අඩංගුවට ගැනීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ පසුගිය මස 22 වන දිනයි.

ඒ අනුව වරෙන්තු ලැබූ නිලධාරීන් තුන්දෙනෙකු (3) මීට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබුණා.

ඔවුන් දැනට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි.

මීගමුව මූලස්ථාන පොලිසියේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් දැනට වරෙන්තු ලබා සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් තිබෙනවා ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

අත්අඩංගුවට ගත් සම්පායෝ සී.අයි.ඩී.යට

(02.08.2020 – 17:05 +0530 – hirunews.lk/sinhala)

වරෙන්තු ලැබ සිටින මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය අසළ දී අද (02) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, වරෙන්තු නිකුත් කර දින 11 කට පසුවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ ලද බුද්ධි තොරතුරකට අනුව මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇතුළු කණ්ඩායමක් විසින් 52 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු මේ වනවිට මීගමුව පොලිස් ස්ථානය වෙත රැගෙන විත් ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ අනුරුද්ධ සම්පායෝ වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිත බවයි.

මීගමුව බන්ධනාගාරයේ රැදවියෙකුට ශීතකරණයක් ඇතුළු පහසුකම් ලබාදීමේ චෝදනා මත මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ තවත් නිලධාරීන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය 21 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබුණා.

ඒ අනුව මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා නියෝගයක් නිකුත් කරනු ලැබුවේ පසුගිය 22 වනදායි.

ඒ අනුව ජේලර්වරුන් වන සරත් බණ්ඩාර, නිශාන්ත සේනාරත්න සහ දෙවන පෙළ ජේලර් කාලිංග කළුඅග්ගල පොලීසියට භාරවීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කර මේ මස 4 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මීගමුව බන්ධනාගාරයේ රැදවියෙකුට ශීතකරණයක් ඇතුළු පහසුකම් ලබාදීම සහ කූඨ ලේඛන සකස් කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ දැනට වැඩ තහනමකට ලක්ව සිටිනවා.

එමෙන්ම, තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා, අනුරුද්ධ සම්පායෝ පෙත්සමක් ගොනු කර ඇති අතර, එය මේ මස 5 වන දා අභියාචනාධිකරණයේදී යළි සලකා බැලීමට නියමිතයි.

මේ අතර, මීගමුව බන්ධනාගාරයේ ජේලර්වරුන්ගේ නිළ නිවස පිටුපස උණ පඳුරක් අසල සඟවා තිබියදී ටී-56 ජීව උණ්ඩ 13 ක් ද අද (02) සොයා ගත්තා.

එමෙන්ම, කළුතර බන්ධනාගාරයෙන් පළා ගිය රැඳවියන් 3 දෙනාගෙන් එක් අයෙකු (1) කළුතර – උතුර – ගල්පාත ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටි රැඳවියන් තුන්දෙනෙකු (3) අද (02) අලුයම කළුතර බන්ධනාගාරයේ තාප්පයෙන් පැන ගොස් තිබුණා.

අදාළ රැඳවියන් තුන්දෙනා 24, 23 සහ 32 යන වයස්වල පසුවන බේරුවල සහ කළුතර ප්‍රදේශවල පදිංචිකරුවන්.

ගල්කිස්ස – ඉඳිගහදෙණිය ප්‍රදේශයේ ඇළ මාර්ගයකට යාබද කැලෑ ප්‍රදේශයක දමා ගොස් තිබියදී පිස්තෝල හතරක් (4) සහ මැගසින් අටක් (8) කොළඹ අපරාධ කොට්ඨාසය අද (02) සොයා ගත්තා.

රෙදිකඩකින් ඔතා දමා තිබූ මෙම නවීන පන්නයේ පිස්තෝල 4 විදෙස් රටක නිෂ්පාදිත ඒවා බවට පොලීසිය සැක පළ කරනවා ෴

+++++++++++++++++++++

සම්පායෝ අත්අඩංගුවට

(02.08.2020 – 16:57 +0530 – lankadeepa.lk)

අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර තිබූ වැඩ තහනමට ලක්ව සිටින මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා අද (2) මීගමුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් වෙත බාර වීමෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබීය.

අධිකරණ නියෝගයට අනුව තමන් පොලීසියට බාර වන බවට සම්පායෝ මහතා මීගමුව ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරියෙකුට දැනුම් දීමෙන් පසුව මීගමුවෙන් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (02) පස්වරු 03:45 ට පමණ කුරුණෑගල ශාන්ත ආනා විදුහල අසලදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ඇතුළු පිරිසක් සමඟ සම්පායෝ මහතා පොලීසියට බාර වීමට පැමිණ සිටියේය.

ඔහු එම ව්‍යාපාරිකයාගේ නිවසේ පොලීසිය මඟ හරිමින් සැඟවී සිටි බව පැවසේ.

හිටපු බන්ධනාගාර අධිකාරිවරයා පොලීසියට බාර වීමෙන් පසුව කියා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් තමන් සඟවාගෙන සිටින බවට එල්ල කරනු ලබන අසත්‍ය චෝදනා හේතුවෙන් මෙසේ පොලීසියට බාර වීමට තීරණය කළ බවය.

මීගමුව බන්ධනාගාර අධිකාරිවරයා වශයෙන් සේවය කරමින් සිටියදී එම බන්ධනාගාරය තුළ සිර දඬුවම් විඳිමින් සිටි ප්‍රබල අපරාධකරුවන් පිරිසකට සුවිශේෂ පහසුකම් සැපයීමේ චෝදනාව මත සම්පායෝ මහතා සේවයෙන් පහ කර ඔහුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබුණී.

එම විමර්ශනයෙන් අනාවරණය වූ කරුණු වලට අනුව ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබුණි.

ඒ අනුව සැකකාර හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු ඊට සම්බන්ධ මීගමුව බන්ධනාගාරයේ සේවය කළ තවත් නිලධාරීන් පිරිසක්ද අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර සතියක කාලයක් ගතවී තිබුණද සම්පායෝ මහතා අධිකරණයට බාර නොවී කට්ටි පනිමින් සිටියේය.

මේ තත්ත්වය මත ඔහුව අත්අඩංගුවට නොගැනීමට හේතු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සඳහන් කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පොලීසිය දැඩි ලෙස විවේචනයට ලක් කළේය.

එම මාධ්‍ය හමුව නීතිපති දොපාර්තමේන්තුවේ විසින් පවත්වන ලද ප්‍රථම මාධ්‍ය හමුව ලෙසද ඉතිහාසයට එක් විය.

සැකකාර සම්පායෝ මහතා කුරුණෑගල උයන්දන ප්‍රදේශයේ පදිංචිකරවෙකි ෴

+++++++++++++++++++++

(02.08.2020 – 20:50 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගත් මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.

ඔහු අද දිනයේදී මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට ද නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ ෴

***************************************

හෙරොයින් තොගයක් සමඟ යුවළක් බෙල්ලන්විල දී අත්අඩංගුවට

(02.08.2020 – 16:41 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ යුවළක් බෙල්ලන්විල ප්‍රදේශයේදී අද (02) අත්අඩංගුවට ගත්තා.

හෙරොයින් ග්‍රෑම් 500 ක පමණ ප්‍රමාණයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී එම යුවළ අත්අඩංගුවට ගෙන තිබුණේ බොරලැස්ගමුව පොලීසිය මගින්.

පසුව එම යුවළට අයත් නිවස පරීක්ෂා කිරීමේදී තවත් හෙරොයින් ග්‍රෑම් 500 කට අධික ප්‍රමාණයක් පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා’ හෙවත් ‘අංගොඩ ලොක්කා’ගේ සමීපතම සාමාජිකයෙකු අද (02) හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ හෙරොයින් ග්‍රෑම් 8 යි මිලිග්‍රෑම් 60 ක් සමඟ මුල්ලේරියාව – රණබිම මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මොහු 48 හැවිරිදි වියේ පසුවන බවයි.

මේ අතර, හෙරොයින් බවට සැක කෙරෙන නීතිවිරෝධී මත්කුඩු ග්‍රෑම් 796 යි මිලිග්‍රෑම් 430 ක් සහ රුපියල් 6,50,000 ක මුදලක් සමගින් කාන්තාවක් මහියංගනය – හසලක ප්‍රදේශයේදී අද (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හසලක පොලීසියට ලද තොරතුරක් මත නිවසක් පරීක්ෂා කිරීමේදී දර මඩුවක වහලයේ සඟවා තිබී මෙම මත්කුඩු සහ මුදල් සොයා ගනු ලැබුවා.

සැකකාරිය මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයට අද (02) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා ෴

+++++++++++++++++++++

***************************************

සුනඛයන්ගේ ග්‍රහණයට හසුවූ තිත් මුව පැටවා බේරාගත් හැටි මෙන්න

(02.08.2020 – 17:55 +0530 – hirunews.lk/sinhala)

සුනඛයන් විසින් සපා කෑමට ලක්කළ මුව පැටවෙකු බේරාගැනීමට ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ පුද්ගලයෙකු සමත්ව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම මුව පැටවා සුනඛයන් විසින් බරපතල ලෙස සපා කෑමට ලක්කර ඇති බවයි ගල්කිරියාගම වනජීවී කාර්යාල නිලධාරීන් ප්‍රකාශ කළේ.

මුව පැටවාගේ වයස මාස 03 ක් පමණ වන බවයි වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළේ.

වනසත්ව සහ වෘක්ෂලතා ආඥා පනතට අනුව මෙම තිත් මුව පැටවා සැලකෙන්නේ දැඩි ආරක්‍ෂිත ක්ෂීරපායි සත්වයෙකු ලෙසයි.

අදාළ පුද්ගලයාගේ දැනුම්දීමට අනුව ගල්කිරියාගම වනජීවී නිලධාරීන් විසින් මෙම පැටවා වයඹ වනජීවී කලාප නිකවැරටිය පශු වෛද්‍ය ඒකකය වෙත භාරදී තිබෙනවා.

***************************************

ප්‍රචාරක කටයුතු මැදියම් රැයෙන් අවසන් – ඇහැලියගොඩ දී පෙලපාලි ගිය වාහන 03 ක් පොලිස් භාරයට

(02.08.2020 – 18:53 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මහමැතිවරණයට අදාල ප්‍රචාරණ කටයුතු අද (02) මධ්‍යම රාත්‍රී දොලහෙන් (12) අවසන් වීමෙන් පසු සියලු මැතිවරණ නීති බලාත්මක බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව කිසිදු ආකාරයේ ප්‍රචාරක රැස්වීමක් පැවැත්වීම, ඡන්ද ආයාචනය කිරීම සඳහා ගෙයින් ගෙට යාම, අත්පත්‍රිකා බෙදීම, ශාඛා කාර්යාල වල ප්‍රචාරක පුවරු ප්‍රදර්ශණය කිරීම, පෝස්ටර් – දැන්වීම්- බැනර් ප්‍රදර්ශනය යන කිසිදු මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවක නිරත වීමෙන් වැළකී සිටිය යුතු බවයි එම කොමිසම කියා සිටියේ.

මේ අතර රාජාංගණ ප්‍රදේශයේ නිවෙස්වලට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අදින් අවසන් වුණා.

එමෙන්ම, පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දින (05) රාත්‍රියේ ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව සහතික කිරීම සඳහා සෑම මැතිවරණ බල ප්‍රදේශයකට දෙදෙනෙකු (2) බැගින් ගණන් කිරීමේ මධ්‍යස්ථාන පරිශ්‍රයේ සිය නියෝජිතයන් රඳවා තැබීමට ඕනෑම දේශපාලන පක්ෂයකටම අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කලේ මහමැතිවරණය සඳහා ඡන්දදායකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව උපරිමව තහවුරු කර ඇති බවයි.

මේ අතර, ඇහැලියගොඩ – කිරිඇල්ල මාර්ගයේ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ගමන් ගත් වාහන 3 ක් සමඟ ආධාරකරුවන් 4 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක හසිත මුහන්දිරම්ට අයත් රථ වාහනයි.

ඔහු විසින් අද (02) දහවල් මැතිවරණ නිතී උල්ලංඝණය කරමින් වාහන පෙළපාලියක නිරත වී ඇති අතර, පොලීසිය එය නතර කරන ලෙස දැනුම් දී ඇතත්, එම උපදෙස් නොතකමින් ඔවුන් ගමන් කර ඇති බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කලේ.

කෙසේ වෙතත්, පොලිසිය එම ස්ථානයට පැමිණිමත් සමග එහි රැඳී සිටි ආධාරකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා ෴

+++++++++++++++++++++

ඡන්ද පෙට්ටිවල ආරක්ෂාවට විශේෂ ක්‍රියාමාර්ග රැසක්

(02.08.2020 – 18:38 +0530 – lankadeepa.lk)

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර ඡන්ද ගණන් කිරීම මැතිවරණ දිනට පසුදින ආරම්භ වන නිසා ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

විශේෂයෙන්ම මෙවර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට මැතිවරණයට තරඟ කරන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නියොජිතයින් දෙදෙනකු (2) බැගින් යෙදවිය හැකි අතර ඔවුන්ට රාත්‍රී කාලයේ එම මධ්‍යස්ථානයේ රැඳී සිටිය හැකි බවත්, ගණන් කිරීමේ මධ්‍යස්ථාන පිටතට නොපෙනන පරිදි වෙනදා මෙන් මෙවර කළු කඩදාසිවලින් ආවරණය නොකරන බවත් මහින්ද දේශප්‍රිය මහතා කීවේය.

එබැවින් දේශපාලන පක්‍ෂ නියෝජිතයින්ට එහි ඇතුළත දිස්වන බැවින් කිසිඳු සැකයක් ඇතිවන්නේ නැතැයි ද සභාපතිවරයා සඳහන් කළේය.

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාවලට ගෙන ගොස් ගණන් කිරීමේ නිලධාරියාට භාර දුන් පසු මෙවර රාත්‍රියේම ගණන් නොකරන නිසා එම ඡන්ද පෙට්ටි තව විශාල පෙට්ටියකට ඇතුළු කර සීල් තැබීම ද සිදුකරන බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ගෙන යන කුඩා ඡන්ද පෙට්ටිමත මෙන්ම ඒවා ඇතුළු කරන විශාල ප්‍රමාණයේ පෙට්ටියෙහි ද තම පක්‍ෂයට අනන්‍ය කුමන හෝ ස්ටිකරයක්, නැතිනම් අත්සන යෙදූ සුදු කඩදාසියක් ඇලවීමේ අවස්ථාව පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජිතයින්ට හිමිවන බව හෙතෙම කීවේය.

රාත්‍රියේ අලවන එම ස්ටිකරය හෝ සලකුණ පසුදින උදෑසනත් එහි ඇත්ද යන්න ඔවුන්ට පරීක්‍ෂා කළ හැකි බව ඔහු පැවසීය.
මෙම ස්ටිකර්වල දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම්වල ලාංඡන, පක්‍ෂ නියෝජිතයන්ගේ ඡායාරූප ආදිය නොතිබිය යුතු බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම ඡන්ද පොලේදී පත්‍රිකා ඇතුළු කිරීමට පෙර ඡන්ද පෙට්ටිය හිස් බව තහවුරු කිරීමෙන් අනතුරුව එයට ඉබි යතුරු දමා ලොක් කිරීම මෙන්ම ඡන්ද පෙට්ටියේ ඇති සිදුරුවලින් රතු පැහැ පටි දමා ගැටගැසීම සිදුකරන බව කී මහින්ද දේශප්‍රිය මහතා ඡන්ද පත්‍රිකා දමා අවසන් වූ පසු ඉබි යතුරු දැමූ ස්ථානය ද ආවරණය වන පරිදි එම පෙට්ටි විශාල ප්‍රමාණයේ මැතිවරණ කොමිසන් සභාවේ සීල් සහිත ටේප් පටියකින් සීල් තැබීම සිදුවන බව ද කීවේය.

ඉන්පසු ඡන්ද මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයාගේ හා සෙසු නිලධාරීන්ගේත්, දේශපාලන පක්‍ෂ නියෝජිතයින්ගේත් අත්සන් සහිත පත්‍රිකාවක් ඉබි යතුරු යෙදූ ස්ථානය ආවරණය වන අයුරින් අලවා ඡන්ද පෙට්ටිය පොලිතීන් කවරයක දමා අංකයක් සහිත ප්ලාස්ටික් ටැග් එකකින් යළිත් සීල් තබන බැවින් ඒවා කිසිසේත් මාරු කළ නොහැකි බව හෙතෙම පැවසීය.

ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ආරක්‍ෂාවට මැතිවරණ කොමිෂන් සභා නිලධාරීන් හා පොලිස් නිලධාරීන් ද යොදවා ඇතැයි කී සභාපතිවරයා එම ස්ථානයට ගිනිපෙට්ටි, දුම්වැටි, මත්පැන්, වෙනත් මත්ද්‍රව්‍ය ගෙනඒම තහනම් බව ද කීවේය.
රාත්‍රී කාලයේ දී ඡන්ද පෙට්ටි තුළට වෙනත් ඡන්ද පත්‍රිකා ඇතුළු කළ හැකි බවට, ඡන්ද පත්‍රිකා මාරු කළ හැකි බවට ජනතාව අතර මතයත් ගොඩනැගී ඇති නමුත් එය කෙසේවත් කළ නොහැකි බව ද මැතිවරණ කොමිසන් සභා සභාපතිවරයා කීවේය ෴

***************************************

‘සිව් මහ වාණිජ නගර’ අතරට හම්බන්තොටත්

(02.08.2020 – 18:58 +0530 – hirunews.lk/sinhala)

අන්තර් ජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධන කිරීමට අපේක්ෂිත සිව් (4) මහ වාණිජ නගර අතරට හම්බන්තොට දිස්ත්‍රික්කය එක් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

කොළඹ, යාපනය සහ ත්‍රිකුණාමලය මෙලෙස සිව් (4) මහා වාණිජ නගර අතරට එක් කෙරෙන සෙසු දිස්ත්‍රික්කයි.

සිව් (4) මහ නගරවල වරාය සහ ගුවන් තොටුපළ කේන්ද්‍ර කර සී-හැඩය ගන්නා ආර්ථික කොරිඩෝව නිර්මාණය කර ජාත්‍යන්තර වෙළඳපොළ හා තරඟ කරන රටක් ගොඩනගන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ.

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ චාරිකාවලට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

තිස්සමහාරාම බස් නැවතුම්පොළ අසළ සංවිධාන කළ ජන හමුවෙන් ජනාධිපතිවරයා සිය චාරිකාව ආරම්භ කළා.

පානීය ජල ගැටළුවට සහ වන අලි තර්ජනයට විසදුම් ලෙස විධිමත් මෙන්ම ක්‍රමවත් වැඩපිලිවෙලක් සකස් කරන බවයි ලුණුගම්වෙහෙර බස් නැවතුම්පොළ භූමියේ පැවති ජන හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ.

මත්උවදුර තුරන් කර දෙන ලෙස සූරියවැව නගරයේ සංවිධාන කර තිබූ හමුවේදී ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

මීට අමතරව හම්බන්තොට – වෙරළ උද්‍යානයේ සහ අම්බලන්තොට ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවලට ද ජනාධිපතිවරයා එක්වුණා ෴

***************************************

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට හදිසි ආපදා තත්ත්වයක්

(02.08.2020 – 13:44 +0530 – sinhala.adaderana.lk)

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට සංචරණ සීමා පනවා ඇති අතර සති 6 ක් යනතුරු රාත්‍රි කාලයට ඇඳිරි නීතිය පැනවීමට ද එරට රජය තීරණය කර තිබේ.

ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා සහ හදිසි ප්‍රතිකාර සේවාවලට හැර සෑම දිනකම රාත්‍රී 8 සිට පසු දා පෙරවරු 5 දක්වා මෙල්බර්න් නගරයට ඇඳිරි නීතිය බලාත්මක වේ.

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට නිවසින් බැහැරව යා හැකිවන්නේ එක් නිවසකින් එක් අයෙකුට පමණක් වන අතර ඒ සඳහා දහවල් කාලයේ දී පමණක් යා යුතු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම එළඹෙන බදාදා (05) දින සිට මෙල්බර්න් නුවර වෙසෙන පාසල් සිසුන් සිය අධ්‍යාපන කටයුතු නිවසේ සිට පමණක් සිදුකළ යුතු බවද වාර්තා වේ.

කෙසේවෙතත් සිය රැකියා සඳහා වාර්තා කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ඔස්ට්‍රේලියා රජය විසින් ජනතාවට ලබා දී ඇත.

***************************************

වාලච්චේන කඩදාසි කම්හලේ පළමු කඩදාසි තොගය වෙළඳපොළට නිකුත් කෙරේ

(02.08.2020 – 19:10 +0530 – lankadeepa.lk)

වාලච්චේන කඩදාසි කම්හලේ පළමු කඩදාසි තොගය වෙළඳපොළට මුදාහැරීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග සහ අග්‍රමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී අද (02) පස්වරුවේ සිදුකෙරිණ.

වසරකට රුපියල් බිලියන සියයක් පමණ මින් ඉතිරි කරගැනීමට හැකි වෙතැයි ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ මහතා පැවසීය.

මෙම අවස්ථාව සඳහා කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ , අමාත්‍යංශ ලේකම් ජේ.ඒ. රංජිත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

වාලච්චේන කඩදාසි කම්හලේ පළමු කඩදාසි තොගය කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ මහතා විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන්ට පිළිගැන්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

***************************************

ලංකාපුර ප්‍රා.ලේකම් කාර්යාලයේ සිටි සිවිල් ආරක්‍ෂක භටයෙකුට කොරෝනා

(02.08.2020 – 18:31 +0530 – lankadeepa.lk)

පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරී කළ සිවිල් ආරක්‍ෂක භටයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතිබව පී.සී.ආර්. පරීක්‍ෂණවලින් තහවුරුවී ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා අද (02) ප්‍රකාශ කළේය.

ලංකාපුර කොරෝනා රෝගියා හමුවීමෙන් පසුව ඔහුගේ ආශ්‍රීතයින් හඳුනාගෙන ඒ අතුරින් 980 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්‍ෂණ මේ වනවිට සිදුකර ඇතිබව ඒ මහතා කීය.

අලුතින් හමු වූ කොරෝනා ආසාදිත පුද්ගලයා සහ ඔහුගේ සමීපතමයින් ආගිය තැන් සෞඛ්‍ය අංශ විසින් හඳුනාගෙන ඒ පිරිස් වෙන්කර තැබීමට සහ අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියාමාර්ග මේවන විට ගනිමින් තිබෙන බවද වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා පැවැසීය.

කන්දකාඩුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ පුනරුත්ථාපන කඳවුරෙන් කොරෝනා පොකුරු හමුවීමෙන් පසුව ලංකාපුර ප්‍රාදේශීය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් පමණක් මේ වනවිට කොරෝනා රෝගීන් 11 දෙනෙකු හමුවී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය කියයි ෴

***************************************

තුන්වැනි (3) මහලේ බිත්තිය සැඩ සුළඟින් අසල නිවෙසක වහලය මතට

(02.08.2020 – 12:29 +0530 – lankadeepa.lk)

මොරටුව ලුනාව ප්‍රදේශයෙන් හමාගිය දැඩි සුළං තත්ත්වයෙන් ඉදිකරමින් තිබූ තුන් (3) මහල් ගොඩනැගිල්ලක උඩුමහලේ බිත්තිය අසළ නිවසක වහලය මතට කඩා වැටී ගැබිනි මවක් ඇතුලු දෙදෙනෙකු (2) තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව මොරටුව පොලිසිය පවසයි.

අද (02) අලුයම මෙම සිද්ධිය වන අවස්ථාවේ ගැබිනි මව සිය සැමියා සහ සත් (7) අවුරුදු පුතු සමඟ නිදන කාමරයේ නිදා සිට ඇති අතර ඔවුන් නිදාසිටි ඇඳ මතට එම බිත්තිය කඩා වැටී ඇති අයුරු දැකගත හැකිවිය.

පැවැති වැසි සහිත කාලගුණික තත්ත්වය සමඟ මෙය සිදු වී තිබේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ ලුනාව 8 වෙනි පටුමගේ ධීවර නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි එකම පවුලේ තිදෙනෙකි (3).

සැප්තැම්බර් මාසයේ ඇය දරු ප්‍රසුතියට දින ලබා සිටි මවකි.

මේ සම්බන්ධයෙන් මොරටුව මුලස්ථාන පොලිස් පරීක්ෂක ‍නිශාන්ත ලොකුගේ මහතා ගෙන් අප විමසා සිටිය අතර ඒ මහතා පැවසූයේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

තුවාලකරුවන් සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතාගෙන් විමසා සිටි අතර ඒ මහතා පවසා සිටියේ සත් (7) අවුරුදු දරුවාගේ ප්‍ර‍ධාන උකුල් ඇටයට හානි සිදුවී ඇති බවත් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරු කර යැවීමට පියවර ගන්නා බවත්ය.

ගැබිනි මවද මෘතෘ වාට්ටුවකට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් ඇයගේ සෞඛ්‍ය තත්වය ගැන වෛද්‍යවරු පරික්ෂණ අරඹා ඇති බවත පියාගේ තත්වය හොඳ මට්ටමේ පවතින බවත් පැවසීය.

***************************************

තුනෙන් දෙකක් අත්‍යවශ්‍ය ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදුකිරීමටයි

(02.08.2020 – 21:24 +0530 – hirunews.lk/sinhala)

මෙරටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදුකිරීමට තුනෙන් දෙකක බලයක් අත්‍යවශ්‍ය බව පොදුජන පෙරමුණේ මැතිවරණ අපේක්ෂක ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා.

තම ආණ්ඩුවට 19 වන සංශෝදනය සම්මත කරගැනීමට හැකිවූයේ විපක්ෂය එයට සහයෝගය ලබාදුන් නිසා බව ප්‍රකාශ කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින්.

කොළඹට ඇවිත් සජිත් පක්ෂයක නායකත්වය සිදුකරද්දී ඔහුගේ ඇතුලේ මුකුත් නැතිබව ජනතාව දැනගත් බව ප්‍රකාශ කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස විසින්.

මේ වනවිට UNP යෙන් එළියට ගොස් ඇත්තේ පක්ෂය අන්ත පරාජයකට ලක්කළ පිරිසක් බව ප්‍රකාශ කලේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින්.

අලියා වටේ සිටි බොහෝ පිරිසක් දැන් තමන් සමඟ බව ප්‍රකාශ කළේ හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ විසින්.

අසූචි ගා ගත් පිරිස සෝදා පිරිසිදු කර ගත්ත ද ඔවුන් වැලඳගැනීමට නොයන බව ප්‍රකාශ කළේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින්.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

***************************************

කොරෝනා වසංගතය පාලනය කිරීමට ක්‍රියා කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරුපැදි

(02.08.2020 – 22:16 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ක්‍රියා කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරුපැදි ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පවසනවා.

මේ මස 20 වන දා වන විට මෙලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත යතුරුපැදි ලබාදීම සිදුකරන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ෴

***************************************

නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි (03)

(03.08.2020 – 06:33 +0530 – hirunews.lk/sinhala)

සම්බුදු ශාසනයේ සුරක්ෂිතභාවය උදෙසා වැදගත් පියවරකට යොමුවූ සුපින්වත් දිනයක් ලෙස නිකිණි පුර පසළොස්වක පොහොය ලෝකවාසී බෞද්ධ ජනතාවට වැදගත්වනවා.

ශාසනික ප්‍රතිපත්තිවලට අනුව භික්ෂූන් වහන්සේලා පසුවස් එළඹෙන්නේ නිකිණි පොහොය දින බව සදහන්.

වස්සාන කාලයේදී භික්ෂූන් වහන්සේලා පෙර වස් හෝ පසු වස් සමාදන්වීම අනිවාර්යෙන්ම කළ යුතු බුද්ධ නියමයක්.

කඨින චීවරයක් ලබා ගැනීමට අයිතිය ඇත්තේ පෙර වස් විසූ මහා පවාරණයන් පවාරණය කරන ලද භික්ෂූන් වහන්සේලාට පමණක් බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා.

බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ දිනයේ සුභද්‍ර භික්ෂුව පැවසු අභද්‍ර වචන හේතුවෙන් බුදු දහමේ චිරස්ථිතිය උදෙසා මහා කාශ්‍යප මහා රහතන් වන්සේගේ මුලිකත්වයෙන් 500 ක් රහතන් වහන්සේලා විසින් ප්‍රථම ධර්ම සංඝායනාව රජගහ නුවර සප්තපන්නි ගල් ගුහාව අසල ආරම්භ කළේද අදවන් දිනකයි.

ඒ සඳහා අජාසත්ත රජු රාජ අනුග්‍රහය සැපයුව බව සදහන්.

පන්චසතිකා නමින් හැඳින්වෙන මෙම සංඝායනාවේදී ත්‍රිපිටකය වෙන වෙනම මුඛ පරමපරාගතව රැක ගැනීම සඳහා ප්‍රධාන භික්ෂුන් වහන්සේලාට පවරනු ලැබුවා.

එමෙන්ම බුදුරජානන් වහන්සේගේ අග්‍ර උපස්ථාදායකයාවූ ආනන්ද තෙරුන් රහත්බව ලැබුයේ අදවන් දිනකයි.

මේ අතර මහනුවර අවසන් රන්දෝලි පෙරහැර සහ කතරගම අවසන් පෙරහැර ද අද විදී සංචාරය කිරීමට නියමිතයි ෴

මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (03) වීථි සංචාරය කරනවා.

දළදා මාළිගාව අභියසින් දකුණු දිශාභිමුඛව රාත්‍රී 07:15 ට පිටත්වන පෙරහර දළඳා වීථිය, යටිනුවර වීථිය, කන්දේ වීථිය, ඩී.එස්. සේනානායක වීථිය ඔස්සේ ගමන් ගෙන රජවීථියෙන් ඉහළට විත් ගෙවදීමට නියමිතයි.

මේ අතර ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ අවසන් ඇසළ මහ පෙරහර ද අද (03) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඊයේ (02) සහ අද (03) දිනයේ පෙරහර මංගල්‍යය ජනතාවට නැරඹීමට අවස්ථාව ලබාදී ඇති බවයි කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා සඳහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *