නීතියට පිටින් සිනමන්ග්‍රෑන්ඩ් බෝම්බකරුට, තඹ දුන් හැටි හෙළිවේ

(01.07.2020 – 13:00 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉන්ෂාෆ් අහමඩ්ට අයත් ව තිබූ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලවට, රිෂාඩ් බදියුදීන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යධුරය දරණ සමයේ දී කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා නියමිත ක්‍රමවේදය ඉක්මවමින් අබලි ද්‍රව්‍ය නිකුත් කර ඇති බව අනාවරණය වුණා.

ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ හිටපු අලෙවි අධ්‍යක්ෂ සරත් උදයසිරි ඊයේ (30) රාත්‍රියේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීයී.

‘කොලෝසස්’ නම් පුද්ගලික සමාගමක් අබලි ලෝහ මිලදී ගැනීම සදහා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි වි තිබුණේදැයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවා.

2017 අගෝස්තු 9 වනදා එම්. අයි. ඉන්ෂාෆ් අහමඩ් නමින් කොලෝසස් නම් ආයතනය ලියාපදිංචිය සඳහා අයදුම් කර තිබූ බව සාක්ෂිකරු සදහන් කළා.

අදාළ ආයතනය වැල්ලම්පිටියේ පිහිටා තිබුණද අංක 27, මුවර් වීදිය, කොළඹ 12 ලෙස යොදා එම ආයතනය ලියාපදිංචි කර ඇති බව ඔහු පැවසුවා.

එම ආයතන ඉල්ලා ඇති අබලි ද්‍රව්‍ය මොනවාදැයි කොමිසම කළ විමසීමට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ තඹ, පිත්තල හා සින්ක් ඉල්ලු‍ම් කර තිබූ බවයි.

2017 සැප්තැම්බර් 29 දින පළමු වරට පිත්තල කිලෝග්‍රෑම් 50 ක් රුපියල් 21,250 යි ශත 17 ක මුදලකට කොලෝසස් වෙත අලෙවි කර ඇති බවත් එම වර්ෂය තුළ පිත්තල කිලෝග්‍රෑම් 16,856 ක් අදාළ සමාගමට කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් නිකුත් කර ඇති බවත් සාක්ෂිකරු කොමිසමට අනාවරණය කළා.

ඊට අමතරව ට්‍රාන්ස්ෆෝර්මර්ස් 328 ක්ද එම සමාගමට ලබාදී තිබූ බව ඔහු සදහන් කළා.

මෙහිදී කොලෝසස් ආයතනය ලියාපදිංචි කිරීමේ පත්‍රය පරීක්ෂා කර බැලූ ජනාධිපති කොමිසම විමසුවේ පිත්තල හා සින්ක් නිකුත් කිරීමට අනුමැතියක් නොලැබී ඇති බැවින් ඉතා විශාල පිත්තල තොග කොලෝසස් සමාගම වෙත නිකුත් වූයේ කෙසේද යන්නයි.

නිවැරිදි ක්‍රමය අනුව එලෙස සිදුකිරීමට හැකියාවක් නැති නමුත් මෙවැන්නක් කෙසේ සිදුකරාදැයි තමන් නොදන්නා බවත් සාක්ෂිකරු පිළිතුරු දුන්නා.

එමෙන්ම 2018 වසරේ වාර්තා අනුව මාසිකව, තඹ මෙට්‍රික් ටොන් 150 ක් ද, පිත්තල මෙට්‍රික් ටොන් 100 ක් ද, ඇලු‍මිනියම් මෙට්‍රික් ටොන් 50 ක් ද කොලෝසස් ආයතය වෙත නිකුත් වී ඇති බව සාක්ෂිකරු පෙන්වා දුන්නා.

සාක්ෂිකරු පැවසුවේ වාර්ෂික පිරිවැටුම ගණණය කිරීමේදී රුපියල් මිලියන 600 සීමාව ඉක්මවා යන නිසා කොලෝසස් ආයතනය මහා පරිමාණ කර්මාන්තයක් ලෙස හදුනාගැනීමට හැකි බවයි.

ඒ අනුව අදාල ආයතනය වෙත අබලි ලෝහ නිකුත් කිරීමට කාර්මික සංවර්ධන මණ්ඩලයට හැකියාවක් නොමැති බවද ඔහු කොමිසමට පෙන්වා දුන්නා.

කාර්මික සංවර්ධන මණ්ඩලය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයට අයත් වන බවත් මෙම ගණුදෙනුවට අදාල කාලයේදී විෂය භාර අමාත්‍යවරයා ලෙස රිෂාඞ් බදියුදීන් මහතා කටයුතු කරමින් සිටි බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියා.

***************************************

පතොරම්, අත්බෝම්බ, උණ්ඩ සමඟ වෙඩිනොවදින කබා 2 ක් පිටිපන නිවසකින් සොයාගනී

(01.07.2020 – 15:45 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම – පිටිපන – සිල්වර්ස්ටන් වත්තේ නිවසක රහස් කුටියක සඟවා තිබූ අවි ආයුධ තොගයක් රාජ්‍ය බුද්ධි නිලධාරීන් ලබාදුන් තොරතුරකට අනුව සොයාගැනීමට හෝමාගම පොලීසිය අද (01) සමත් වුණා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අත්බෝම්බ 7 ක්, පතොරම් තුවක්කුවක් (1), එම උණ්ඩ හතරක් (4), වෙඩි නොවදින ඇඳුම් කට්ටල දෙකක් (2) සහ මිලිමීටර 9 වර්ගයේ උණ්ඩ 77 ක් මෙන්ම හඳුනා නොගත් උණ්ඩ 4 ක්ද මෙහිදී සොයාගෙන ඇති බවයි.

මෙම නිවස පසුගියදා ගිනි අවි 12 ක් සොයාගත් හෝමාගම – පිටිපන ප්‍රදේශයේ වෙළඳසැලේ හිමිකරුගේ අනියම් බිරිඳට අයත් බවයි පොලීසිය සඳහන් කළේ.

එම කාන්තාවද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

***************************************

මහා සංඝරත්නයෙන් සජිත්ට චෝදනාවක්

(01.07.2020 – 14:26 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය සමයේ සජිත් ප්‍රේමදාස මහතා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතා කළ බවට මහා සංඝරත්නය කරුණු අනාවරණය කළා.

ඒ මාතර, තෙලිජ්ජවිල, ඇල්ගිරිය, කහවිල්ගොඩ පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

***************************************

පාලමක් නිසා දුක් විදින වැල්ලවාය – සාදින්නාවල ජනතාව

(01.07.2020 – 14:28 +0530 – hirunews.lk/sinhala)

පසුගිය කාලය පුරාම මාර්ග සංවර්ධනය වෙනුවෙන් විවිධ නම්වලින් ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවුනා.

නමුත් වැල්ලවාය – සාදින්නාවල ජනතාවගේ ගමන් පහසුව තවමත් සීමාවී ඇත්තේ දේශපාලන පොරොන්දුවලටම පමණයි.

මොණරාගල – වැල්ලවාය – සාදින්නාවල ගම්මානයේ පවුල් 40 ක පමණ පිරිසක් ජීවත් වනවා.

ඔවුන්ට ආසන්නතම නගරය වන වැල්ලවාය සහ අවට ප්‍රදේශවලට ප්‍රවේශ වීමට ඇති මාර්ගයේ තත්ත්වයයි මේ.

වාහන ගමනාගමනය කෙසේ වෙතත් පයින් යාමට පවා අසීරු තත්ත්වයකට මෙම මාර්ගය පත්ව තිබෙනවා.

මේ හේතුවෙන් කිලෝ මීටර් 5 ක පමණ දුරක් මේ මාර්ගයේ ගම්වාසීන්ට ගමන් කිරීමට සිදුව ඇත්තේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ.

මාර්ගය පිළිසකර කර පාලම ඉදිකරන බවට මේ ජනතාවට ලැබුණු පොරොන්දු කප්පරක් තරම්.

දිගින් දිගටම බලධාරීන්ගේ නෙත නොගැටෙන මාර්ගය අවසානයේ පිළිසකර කරගැනීමට සිදුවුණේ මේ ජනතාවටයි.

***************************************

හොර ඔප්පුවක් මගින් ඉඩමක් විකිණූ පස්දෙනෙකුට වසර 67ක් දක්වා සිර දඬුවම්

(01.07.2020 – 14:33 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර වෙනත් පාර්ශවයකට අලෙවි කිරීමේ සිද්ධියකට වරදකරු වූ එකම පවුලේ සිව්දෙනෙකු (4) ඇතුලු විත්තිකරුවන් පස්දෙනෙකුට (5) වසර 67 ක් දක්වා බරපතල වැඩසහිත සිරදඬුවම් නියම කෙරුණා.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින්.

පළමු විත්තිකරුට වසර 25 ක්, දෙවන සහ තුන්වන සහ පස්වන විත්තිකරුවන්ට වසර 10 බැගින් වසර 30 ක් සහ හතරවන විත්තිකරුට වසර 12 ක් වශයෙන් මෙහිදි සිර දඬුවම් නියම කර තිබෙනවා.

එසේම ඔවුන්ට වෙන් වෙන් වශයෙන් දඩ සහ පැමිණිලි පාර්ශවයට වන්දි ගෙවන ලෙසද කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා ෴

***************************************

රාවණා ඇල්ල අභය භූමියට මුදාහැරී අහිංසකයා

(01.07.2020 – 14:39 +0530 – hirunews.lk/sinhala)

සුනඛයින්ගේ ග්‍රහණයෙන් මිදී බදුල්ල – කයිලගොඩ ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණි මුවෙකු වනජීවි නිළදාරීන් විසින් මහත් පරිශ්‍රමයකින් පසු අල්ලා ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව රාවණා ඇල්ල අභය භූමියට මුදා හැරුණා.

***************************************

රෝහලක සිදු වූ අභිරහස් මරණය – ඥාතීන්ට ඇති වූ සැකය

(01.07.2020 – 15:10 +0530 – hirunews.lk/sinhala)

රෝගී තත්ත්වයක් හේතුවෙන් තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කෙරුණු රෝගියෙකුගේ මෘත ශරීරය එහි ඉදි කෙරමින් පැවති ගොඩනැගිල්ලක් තුළ තිබී සොයාගෙන තිබෙනවා.

රෝහල් බලධාරීන් පවසන්නේ අදාළ පුද්ගලයා රෝහලින් පළා යාමට උත්සාහ කිරීමේදී මෙම මරණය සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් අදාළ මරණය සැක සහිත බවට රෝගියාගේ ඥාතීන් පවසනවා.

අනුරාධපුර කටියාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කටියාව රෝහලට ඇතුළත් කරන්නේ පසුගිය සඳුදා දිනයේදීයි.

තත්ත්වය අසාධ්‍ය හේතුවෙන් එදින පස්වරුවේ ඔහු තඹුත්තේගම මූලික රෝහලට මාරු කර යැවීමට බලධාරීන් පියවර ගෙන තිබුණා.

එම රෝගී පුද්ගලයා වාට්ටුවේ වැසිකිළියේ ජනේලයකින් පැන ගොස් ඉදි කෙරෙමින් පවතින ගොඩනැගිල්ලක් මතින් යාමට උත්සාහ කිරීමේදී රෝහලේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ඔහු සිය ග්‍රහණයට ගැනීමට උත්සාහ කර තිබෙනවා.

නමුත් ඔවුන්ගෙන් මිදී රෝගියා පළා යාමට උත්සාහ කර තිබෙන්නේ එම ස්ථානයේ තිබූ වීදුරුවලින් ආරක්ෂක නිලධාරීන්ට පහර දෙමින්.

එහිදී තුවාල ලැබූ එක් ආරක්ෂක නිලධාරියෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඊයේ (30) උදැසන රෝගියාගේ සිරුර ඉදි කෙරෙමින් පැවති ගොඩනැගිල්ලේ තිබී සොයාගෙන තිබෙනවා.

තඹුත්තේගම මූලික රෝහල වයස අවුරුදු 54 ක් වන රෝගී පුද්ගලයා තිදරු පියෙකු වන අතර ඔහුගේ ඥාතීන් පවසන්නේ අදාළ මරණය සැක සහිත බවයි.

***************************************

නීතීඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

(01.07.2020 – 16:28 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ආධාර අනුබල දුන් බවට සැකපිට රදවාගෙන ප්‍රශ්න කෙරෙන නීතීඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඔහුගේ නීතීඥයින් කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා පසුගිය 17 වනදා අධිකරණයෙන් ඉල්ලා සිටියේ දැනට රඳවාගෙන ප්‍රශ්න කෙරෙන නීතීඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි.

ඒ අනුව ඊට අදාළ නඩුව අද (01) කොළඹ – කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ කැඳවූ අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ නීතීඥ හිජාස් හිස්බුල්ලා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කෙරෙන බැවින් ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොමැති බවයි ෴

***************************************

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පනී – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය නානුඔය සිට කොළඹට

(01.07.2020 – 16:51 +0530 – hirunews.lk/sinhala)

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් අඹේවෙල සහ පට්ටිපොල අතරදී පීලි පැනීමට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට ද බාධා මතුවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මෙම දුම්රියේ ඩීසල් ගැලුම් 5800 ක් ප්‍රවාහනය කරමින් තිබූ ටැංකියක් මෙලෙස පීලි පැනීමට ලක්වී ඇති අතර ඒ හේතුවෙන් දුම්රිය මාර්ගයට මෙන්ම ටැංකියට ද දැඩි අලාභ හානි සිදුවී තිබෙනවා.

අනතුර හේතුවෙන් බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රියන් සහ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රියන් පීලි පැන ඇති දුම්රිය ඇති ස්ථානයට ගමන් කර අනතුරුව මගීන් දුම්රිය අතර මාරු කරවා ගමනාන්තයන්ට යැවීමට පියවර ගෙන තිබෙනවා.

පීලි පැනීමට ලක්වූ ඉන්ධන ටැංකියේ ඇති ඩීසල් වෙනත් ටැංකියකට මාරු කර දුම්රිය පීලිගත කිරීමට නියමිතයි.

එමෙන්ම අද (01) රාත්‍රී බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන තැපැල් දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කරන බව මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරී නන්ද කරුණාරත්න මහතා සඳහන් කර තිබෙනවා.

++++++++++++++++

උඩරට දුම්රිය මාර්ගයේ අඹේවෙල සහ පට්ටිපොළ අතර දුම්රියක් පීළිපැනීම හේතුවෙන් අද රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ කොළඹ-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර නාවලපිටිය සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා භාණ්ඩ ප්‍රවාහනය කළ දුම්රියක් හැටන් දුම්රිය ස්ථානය අසලදී පීලි පැනීමට ලක්ව තිබෙනවා.

අද පස්වරු 5.30ට පමණ මෙම දුම්රිය පීලි පැනීමට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුව සෙසු මැදිරි පීලි පැන ඇති මැදිරියෙන් ගලවා ඉවත් කර හැටන් දුම්රිය ස්ථානය දක්වා ධාවනය කර තිබෙනවා.

අද උදෑසන ද මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ඉන්ධන ප්‍රවාහන ටැංකියක් අඹේවෙල සහ පට්ටිපොල දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීමකට ලක්වුනා.

මෙම දුම්රිය දෙකම කඩිනමින් පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කර ඇත්තේ ෴

+++++++++++++++++++++++++++++++++++

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන වේලාවන් කිහිපයක් වෙනස්වෙයි

(01.07.2020 – 17:18 +0530 – hirunews.lk/sinhala)

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කිහිපයක ධාවන වේලාව සංශෝධනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අද (01) සිට සති දෙකක කාලයක් සඳහා අත්හදාබැලීමේ පදනමින් උදෑසන සහ සවස ධාවනය වන සාගරිකා සහ සමුද්‍රදේවි ඇතුලු කාර්යාල දුම්රිය කිහිපයක ධාවන වේලාව මෙලෙස සංශෝධනය කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් අඹේවෙල සහ පට්ටිපොල අතරදී පීලි පැනීමට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට ද බාධා මතුවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එමෙන්ම අද (01) රාත්‍රී බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන තැපැල් දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කරන බව මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරී නන්ද කරුණාරත්න මහතා සඳහන් කර තිබෙනවා ෴

***************************************

පාසල්වල එක (1) සහ දෙක (2) ශ්‍රේණි සහ පෙර පාසල් ආරම්භ කිරීම අගෝස්තු 10 වනදා

(01.07.2020 – 16:48 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියලු පාසල්වල එක සහ දෙක ශ්‍රේණි මෙන්ම පෙර පාසල් ලබන අගෝස්තු 10 වනදා සඳුදා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ මීට අමතරව සෑම පාසලකම විෂබීජ හරණ කටයුතු පිළිබඳව ඉතා සැළකිල්ලෙන් සොයාබලන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි.

එසේම සියලුම ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල දෙවන වසර ශික්ෂණලාභීන් සඳහා නේවාසික අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම ලබන 7 වනදා සිට 31 වනදා දක්වා සිදු කෙරෙනවා.

සියලු ගුරු විද්‍යා පීඨවල පළමු හා දෙවන වසර ගුරු සිසුන් සඳහා මෙලෙස අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ෴

***************************************

මත්ද්‍රව්‍ය ජාවාරමට සහය දුන් නිලධාරීන් ගැන සොයන්න රහස් පොලිස් කණ්ඩායම් තුනක් (3)

(01.07.2020 – 19:06 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් ජාවාරමට සම්බන්ධව අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් හතරදෙනා (4) ඇතුලු පුද්ගලයින් හයදෙනා (6) සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කණ්ඩායම් තුනක් (3) පත් කර තිබෙනවා.

පොලිස් මූලස්ථානයේ අද (01) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ සැකකරුවන්ගේ බැංකු ගිණුම් 3 ක්ද මේ වනවිට තහනම් කර ඇති බවයි.

මේ අතර හෙරොයින් ජාවාරමට ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වී ඇති දැනට අතුරුදන් බවට පැවසෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයාට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අදාළ උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගන්නා ලෙස සියලුම අංශ වෙත දැනුම්දීම් සිදුකිරීමට ද කටයුතු කර ඇති බව සඳහන්.

එමෙන්ම අද (01) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ අදාළ පොලිස් පරීක්ෂකවරයා මේ වනතෙක් විදෙස් ගත වී නොමැති බවට වාර්තාවන බවයි.

***************************************

සිංහල හා දමිල භාෂා ද්විත්වයෙන්ම අධ්‍යාපනය ලබාදෙන නැගෙනහිර පළමු පිරිවෙන විවෘත වෙයි

(01.07.2020 – 19:19 +0530 – hirunews.lk/sinhala)

වාලච්චේන කල්කුඩා ප්‍රදේශයේ ඉදිවූ සිරි සිලාලංකාර මූලික පිරිවෙන අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහා නායක පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ආනුරාධා යහම්පත් මහත්මියගේ සහභාගීත්වයෙන් අද (01) පෙරවරුවේ විවෘත කෙරුනා.

සිංහල හා දමිල ජනතාව සදහා භාෂා ද්විත්වයෙන්ම දහම් අවබෝධය ලබාදිමේ අරමුණින් නැගෙනහිර පලාතේ ඉදිවූ ප්‍රථම පිරිවෙන මෙය වීම විශේෂත්වයක්.

මඩකලපුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සහ දිඹුලාගල බුද්ධශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරි පූජ්‍ය දේවගල දේවාලංකාර නාහිමිපාණන් වහන්සේගේ අරමුණකට අනුව ඉදි වු මෙම නේවාසිකාගාර පිරිවෙනෙහි පුස්තකාල ගොඩ නැගිල්ල නේවාසිකාගාර පිරිවෙන් ශාලාව මෙන්ම ගොඩ නැගිලි තුනකින් සමන්විතයි.

පිරිවෙන සදහා ගිහි සහ පැවිදි සිසුන් ලියාපදිංචි කිරිමද අද (01) එම පරිශ්‍රයේදී සිදුකෙරුණා.

මෙම අවස්ථාට ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

***************************************

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීම ගැන මෙතෙක් අවසන් තීරණයක් ගෙන නෑ – අගමැති

(01.07.2020 – 19:19 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දෙමළ මාධ්‍යවේදීන් සමඟ අද (01) අරලියගහ මන්දිරයේ පැවති හමුවකට එක්වෙමින්.

මේ උතුර, දකුණ මෙන්ම රටේ සමස්ත ජනතාවගේ ආරක්ෂාව ආණ්ඩුව සතු වගකීමක් බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසුවේ.

ඇතැම් පුද්ගලයින් සැකපිට අත්අඩංගුවට ගැනීමට අයිතියක් පවතින බවත්, එසේ සිදුකරන්නේ ජනතාවගේ ආරක්ෂාවට මිස ආණ්ඩුවට ඇති අවශ්‍යතාවකට නොවන බවයි අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

රටේ සංවර්ධනයට සහ ජනජීවිතය ගොඩනැංවීමට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී උතුර සහ දකුණට කිසිදු වෙනසක් නොමැති බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

කොරෝනා වසංගත තත්වය පාලනය කිරීමට හැකිවූයේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය මැදිහත්වීමෙන් බවද පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ දකුණේ ජනතාව මෙන්ම උතුරේ ජනතාවද ඊට කැපවීමෙන් ක්‍රියාකළ බවයි.

සමාජයේ ආන්දෝලනයට තුඩුදුන් කරුණා අම්මාන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන්ද දෙමළ මාධ්‍යවේදීන් අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියා.

එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එය වැරදි ප්‍රකාශයක් බවයි.

ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

***************************************

සාකච්ඡා අසාර්ථකයි – වරාය සේවකයන් තුන්දෙනෙකු (3) දොඹකරයක් මත තවමත් විරෝධතාවයේ

(01.07.2020 – 19:56 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ සවි කිරීම සඳහා චීනයෙන් ගෙන්වූ ග්‍රැන්ටි දොඹකර, කඩිනමින් එහි ස්ථාපිත කරන ලෙස ඉල්ලා වරාය වෘත්තීය සමිති නායකයින් තුන්දෙනෙකු (3) අඩි 187 කින් යුත් එම දොඹකරයක නැගී අද (01) විරෝධතාවක් ආරම්භ කරනු ලැබුවා.

අද (01) දහවල් 12 ට ඔවුන් එම දොඹකරයක් මත නැගී ගැටළුවට විසඳුම් ලබාදීම සඳහා රජයට පැය 24 ක කාලයක් ලබා දුන්නා.

එසේ නොවුනහොත් මාරාන්තික උපවාසයක් දක්වා එය ක්‍රියාත්මක කරන බවයි කොළඹ වරායේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

විරෝධතාවය සඳහා එක්ව සිටින වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති සංජය කුමාර වැලිගම මහතා එම ග්‍රැන්ටි දොඹකරය මත සිට අප වෙත අදහස් පළ කළා.

කෙසේ වෙතත්, වරාය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා සහ අමාත්‍යාංශ ලේකම් සමඟ වරාය වෘත්තිය සමිති පැය තුනකට (3) ආසන්න කාලයක් අද (01) පස්වරුවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා.

එම සාකච්ඡා අසාර්ථක වූ බවයි වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා වැඩිදුරටත් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ සංවර්ධන කටයුතු සහ මෙහෙයුම් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් ඇණවුම් කළ ග්‍රැන්ටි දොඹකර තුනක් ZPMC නෞකාව මගින් මෙරටට රැගෙනවිත් තිබුණේ පසුගිය 20 වැනිදායි.

ඒ සඳහා වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 25.5 ක්. මෙම දොඹකර තුන (3) මෙතෙක් වරායට ගොඩ නොබෑම හේතුවෙන් නෞකා ගාස්තුව ලෙස රුපියල් ලක්ෂ 900 ක් ගෙවීමට සිදුව ඇති බවයි වරාය අධිකාරියේ වෘත්තීය සමිති සඳහන් කළේ.

කෙසේ වෙතත්, අප මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා කියා සිටියේ මෙම දොඹකර තුන (3) ඉදිරි දින කිහිපය තුළ වරායට ගොඩබෑමට බලපොරොත්තු වන බවයි.

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *