බැඳුම්කර හොරකමට සම්බන්ධ එ.ජා.ප. ප්‍රබලයින් දෙදෙනෙකු ගැන සරත් ෆොන්සේකා හෙළිකරයි

(01.07.2020 – 08:21 +0530 – hirunews.lk/sinhala)

හොරු අල්ලනවා කියලා ඇවිත් අපේ මිනිස්සු මාස දෙකෙන් හොරකම් කළ බව සමගි ජන බලවේගයේ අපේක්ෂක සරත් ෆොන්සේකා පැවසුවා.

ඔහු ඒ බව පැවසුවේ ඊයේ (30) පැවති ජන හමුවකට එක්වෙමින්.

එ.ජා.ප.යේ නායක රනිල් වික්‍රමසිංහ හා උප නායක රවී කරුණානායක බැඳුම්කර හොරකමට ඍජුවම සම්බන්ධ බව සමගි ජන බලවේගයේ අපේක්ෂක සරත් ෆොන්සේකා එහිදී පැවසුවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ හිටපු මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහගේ ඉතාම කිට්ටු සමීපතයෙක් බවයි.

මේ අතර, ඒ.ජා.පෙ. වේදිකාවේ හිටපු කිහිපදෙනෙක් බෞද්ධ භික්ෂූණ් වනසේට ගරහපු නිසා 2019 ජනාධිපතිවරණය පරාජය වුණු බව සමගි ජන බලවේගයේ අපේක්ෂක සරත් ෆොන්සේකා පැවසුවා.

එහිදී ඔහු කියා සිටියේ ගම්බද භික්ෂූණ් වහන්සේ එම නිසා ආණ්ඩුවට විරුද්ධව නිහඩව යටින් ව්‍යාපාරයක් ගෙනගිය බවයි.

එම නිසා භික්ෂූණ් වහන්සේලා පන්සල්වල පොහොට්ටු බෙදාදීමට පවා කටයුතු කළ බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

***************************************

ගගනගේ මත්කුඩු ජාවාරමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

(01.07.2020 – 08:02 +0530 – hirunews.lk/sinhala)

පාතාල කල්ලි සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරකගේ අනුගාමිකයෙකු වන ගගන නැමති පුද්ගලයාගේ මත්කුඩු ජාවාරමට සහය දැක්වූ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු මහරගම – ඇරැව්වල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (30) රාත්‍රියේ සිදුකළ වැටලීමකදී මොවුන් සන්තකයේ තිබී රජයේ උසස් නිලධාරින්ගේ සහ විවිධ ආයතනවලට අනුකූලව ව්‍යාජ ලෙස සකස් කරන ලද නිළ මුද්‍රා 21 ක්, විවිධ මුද්‍රාවන් තැබූ ලිපි කට්ටල 5 ක් සහ කේරළ ගංජා ග්‍රෑම් දෙකක් (2) මෙන්ම ජංගම දුරකථනයක් ද සොයා ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙකු යුද හමුදාවෙන් පැන ආ සෙබලෙකු බවටයි වාර්තා වන්නේ ෴

***************************************

ව්‍යාපාර ණය යෝජනා ක්‍රමය අද (01) සිට

(01.07.2020 – 08:34 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් කඩා වැටුණු ව්‍යාපාර යළි නගාසිටුවීම සඳහා සහන පොලී යටතේ ලබාදෙන ණය යෝජනා ක්‍රමය අද (01) සිට ආරම්භ වනවා.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ කුඩා ණය වෙනුවෙන් සියයට 80 ක සහ විශාල ණය සඳහා සියයට 50 ක ණය ඇප ආවරණයක් අදාළ බැංකු වෙත ලබාදෙනු ඇති.

ඒ අනුව සියයට 4 ක් වැනි අවම පොලියක් යටතේ මෙලෙස ණය ලබාදීමට කටයුතු කරන බවටයි මහබැංකුව ප්‍රකාශ කළේ ෴

***************************************

ඉංගිරියේ වෙළඳසැලක් කොල්ලකයි

(01.07.2020 – 10:44 +0530 – hirunews.lk/sinhala)

ඉංගිරිය – බටුගම්පළ දකුණ – හඳපාන්ගොඩ ප්‍රදේශයේ වෙළඳසැලකට ආයුධ සන්නද්ධව යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කොල්ලකා පලාගොස් තිබෙනවා.

ඊයේ (30) රාත්‍රියේ ෆුල්ෆේස් හෙල්මට් පැළඳ මොවුන් අදාළ වෙළඳසැලට ඇතුළු වී ඇති අතර, ගල්කටස් වර්ගයේ ගිනි අවියක් පෙන්වා එම වෙළඳසැලේ මුදල් අයකැමිගේ රන් මාල දෙකක් සහ ඔහු සන්තකයේ තිබූ රුපියල් 20,000 ක් මෙලෙස කොල්ල කා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කොල්ල කෑම සිදුකර පළා යාමේදී වෙඩි තැබීම සිදුකර ඇති අතර, සැකකරුවන් සොයා පොලීසිය මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා ෴

***************************************

නීතිවිරෝධීව විදුලිය ගත් 1937 දෙනෙකුට දඩ

(01.07.2020 – 11:04 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ආකාරයෙන් විදුලිය ලබා ගත් පුද්ගලයින් 1937 දෙනෙකුට නඩු පවරා දඩ මුදල් වශයෙන් රුපියල් මිලියන 59 ක මුදලක් අය කරගෙන තිබෙනවා.

පසුගිය වසරේ මැයි මාසයේ සිට මෙම වසරේ මැයි මාසය දක්වා කාල සීමාව තුළ මෙම වැටලීම් සිදුකර ඇති අතර, මෙලෙස නීතිවිරෝධී ආකාරයෙන් විදුලිය ලබා ගැනීම නිසා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 100 ක පමණ පාඩුවක් සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා ෴

***************************************

අළුතින් ඇරෙන පාසල් වලට එන දරුවන් ඉලක්ක කර විකිණීමට මත්වන පැණි පුවක් විශේෂයක් මාතලේ කඩ රැසක – මව්පියන්ගෙන් චෝදනා

(01.07.2020 – 11:50 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සමයේ මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් අතර ඉතා වේගයෙන් පැතිර ගිය ‘පැණි පුවක් විශේෂයක්’ නැවත පාසල් ආරම්භ කිරිමෙන් පසු පාසල් දරුවන්ට විකිණීමේ අරමුණින් කඩ රැසක ගබඩා කර ඇති බවට දෙමව්පියන් චෝදනා කරනවා.

නිසි අනුමැතියක් යටතේ යැයි සඳහන් කරමින් අළෙවි වන මෙම පැණි පුවක් විශේෂයේ එක් පැකැට්ටුවක් රුපියල් දහයක් වන බවත් දරුවන් මුදල් වැයකරමින් මේවා රැගෙන යන බවයි දෙමාපියන් වැඩිදුරටත් පවසන්නේ.

පාසල් දරුවන් ඇබ්බැහි වී ඇති මෙම පැණි පුවක් වි‍ශේෂය නාඋල නගරයේ පමණක් දිනකට පැකට් පන්දහසක් (5000) පමණ අළෙවි වන බව අනාවරණයවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු පැණි පුවක් අළෙවි කරන නාඋල වෙළඳසැල් හිමියෙකු කියා සිටියේ සතියකට මෙම පැණි පුවක් පැකට් තමන්ගේ වෙළඳසැලේ පමණක් 3000-3500 පමණ අළෙවි වන බවයි.

කුමන ආකාරයේ ලියාපදිංචියකට යටත් වුවද වසංගතයක් බවට පත්වෙමින් යන මෙම පැණි පුවක් සම්බන්ධයෙන් නිසි පරිදි නීතියක් ක්‍රියාත්මක වන්නේ නම් ඕනෑම මොහොතක පැණි පුවක් පැකට් අළෙවියෙන් ඉවත්වීමට තමන් සූදානම් බවද එම ව්‍යාපාරිකයා පවසනවා.

මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් රැසක් ආසන්නයේ පිහිටි වෙළඳසැල් තුළ පවතින මෙම පැණි පුවක් විශේෂ සොයා එන පාසල් දරැවන්ගේ සංඛ්‍යාව පසුගිය සමයේ දිනෙන් දින ඉහළ ගිය බවයි නාඋල සෙසු ව්‍යාපාරිකයන්ද පවසන්නේ.

මේ සම්බන්ධයෙන් රජය මැදිහත් වී කඩිනමින් පාසල් දරුවන් සඳහා ලබාදීමට සුදානම් කර ඇති පැණි පුවක් විශේෂය සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ දෙමව්පියන් වග කිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා ෴

***************************************

අතුරුදන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ, පොලිස් පරීක්ෂකවරයාට විදෙස් ගමන් තහනම්

(01.07.2020 – 12:47 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් ජාවාරමට ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වී ඇති දැනට අතුරුදන් බවට පැවසෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයාට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අදාළ උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගන්නා ලෙස සියලුම අංශ වෙත දැනුම්දීම් සිදුකිරීමට ද කටයුතු කර ඇති බව සඳහන්.

දැනට හෙරොයින් ජාවාරමට සම්බන්ධ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරමින් සිටිනවා.

කෙසේ වෙතත්, ඔවුන් 4 දෙනාට අමතරව චෝදනා එල්ල වී ඇති පොලිස් පරීක්ෂකවරයායි මේ වන විට අතුරුදන් වී ඇත්තේ.

ඔහු සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් දිවයින පුරා විශේෂ සෝදිසි මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා.

සැකකාර පොලිස් පරීක්ෂකවරයාට අයත් බවට පැවසූ රුපියල් ලක්ෂ 10 ක මුදලක් සහ ගිනි අවියක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (30) සොයා ගනු ලැබුවා.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් විශාල ප්‍රමාණයක් නැවත ජාවාරම්කරුවන් වෙත විකිණූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම පොලිස් නිලධාරීන් 4 දෙනා, අතුරුදන් වී ඇති බවට පැවසෙන පොලිස් පරීක්ෂකවරයාගේ මෙහෙයවීම යටතේ වැටලීම්වලින් ලබා ගත් හෙරොයින් ගාල්ල බලපිටිය ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී ඇසුරුම් කර ඇති බවට ද වාර්තා වනවා.

එමෙන්ම, හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට එල්ල වන මෙම චෝදනාව හේතුවෙන් එම කාර්යාංශය විසින් සිදුකරන වැටලීම් සහ අනෙකුත් ක්‍රියාකාරකම්වලට ද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

එහි උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සුළුතර නිලධාරීන් පිරිසකට එල්ල වන මෙම චෝදනා හේතුවෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අනෙකුත් නිලධාරීන් ද දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.

මේ අතර, වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින කුඩු චාමර නමැත්තාට අයත් රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා මත්කුඩු ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අද (01) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, එම කොට්ඨාශයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වාට ලද තොරතුරකට අනුවයි.

බොරැල්ල – සර්පන්ටයින් මාර්ගයේදී මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ 32 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු වන අතර, ඔහු සන්තකයේ තිබී සොයා ගැණුනු හෙරොයින් මත්කුඩු ප්‍රමාණය ග්‍රෑම් 505 යි මිලිග්‍රෑම් 600 ක්.

මෙම සැකකරුට එරෙහිව මේ වනවිට මත්කුඩු ළඟ තබා ගැනීමේ චෝදනාවක් මත කොළඹ මහාධිකරණයේ නඩුවක් ද විභාග වනවා.

***************************************

වවුනියාව සෙට්ටිකුලමේදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

(01.07.2020 – 12:03 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව, සෙට්ටිකුලම, තුඩරිකුලම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙක් අද (01) උදෑසන ජීවිතක්ෂයට පත්වී ඇති බව සෙට්ටිකුලම පොලීසිය පවසනවා.

පොලීසිය වැඩිදුරටත් පවසන්නේ මන්නාරම සිට කොළඹ බලා ධාවනය වු උදෑසන දුම්රියේ ත්‍රිරෝද රථය ගැටී 58 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

දුමිරිය ගේට්ටු නොමැති දුම්රිය හරස් මාර්ගයකදී අනතුර සිදුව ඇති අතර, අනතුරින් ජිවිතක්ෂයට පත්වු පුද්ගලයාගේ මළ සිරුර සෙට්ටිකුලම රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් සෙට්ටිකුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

***************************************

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගෙන් පැය දෙකහමාරකට ආසන්න ප්‍රකාශයක්

(01.07.2020 – 12:37 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයට අද (01) පෙරවරුවේ පැමිණියා.

එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ මොහු පෙරවරු 10:15 ට පමණ මෙම ඒකකයට පැමිණි බවයි.

2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරඟයේදී තරඟ පාවාදීමක් සිදු වූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි මොහු කැඳවා ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා ඊයේ (30) පස්වරුවේ එම ඒකකයට පැමිණි අතර එහිදී ඔහුගෙන් පැය පහ හමාරක ප්‍රකාශයක් ලබා ගත්තා.

මීට පෙර හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුගමගේ මහතා ගෙන්ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා ෴

***************************************

වේදිකා සහ රංග ශාලා ලබන 15 වනදා සිට විවෘත කෙරේ

(01.07.2020 – 12:55 +0530 – hirunews.lk/sinhala)

සීමාවන්ට යටත්ව ලබන 15 වනදා සිට වේදිකා සහ රංග ශාලා නැවත විවෘත කිරීමට අවසර ලබාදී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ ආසන ධාරිතාවයෙන් සියයට 50 ක් සඳහා වන ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් පමණක් දර්ශන වාරයකට සහභාගි කරවීමට පියවර ගත යුතු බවයි ෴

***************************************

වසා දැමූ සීගිරිය සංචාරකයින්ට විවෘත වේ

(01.07.2020 – 13:06 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් මාස තුනකට කාලයක් වසා දැමුණු සීගිරිය අද (01) සංචාරකයින් සඳහා විවෘත වුණා.

කෙසේ වෙතත්, අද (01) දිනයේ එය නැරඹීම සඳහා පැමිණ සිටියේ සීමිත සංචාරකයින් පිරිසක් බවයි දඹුල්ල හිරු වාර්තාකරු කාංචන කුමාර කියා සිටියේ.

එසේම පුරාවිද්‍යා නැරඹුම් ස්ථාන හා ස්මාරක මෙන්ම ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් සියලු කෞතුකාගාර ද අද (01) විවෘත වුණා.

මේ අතර, කොරෝනා ආසාදනය වී සිටි නාවික හමුදාවේ තවත් සාමාජිකයින් 6 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමඟ මේ වනවිට එහි සුවය ලැබු මුළු නාවික හමුදා සමාජිකයින් සංඛ්‍යාව 842 දක්වා ඉහළ ගියා.

තවදුරටත් නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වු 62 නෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානයනය අවසන් කළ නාවික හමුදා සාමාජිකයින් 27 දෙනෙකුද අද (01) පිටව ගොස් තිබෙනවා.

මේ වනවිට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2047 ක් වන අතර, ඉන් 1711 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 325 ක්.

එසේම, බස්නාහිර පළාත තුළ මුඛ ආවරණ පැළඳ නොසිටි පුද්ගලයින් 162 නෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. ඊයේ (30) පෙරවරු 6 සිට අද (01) උදෑසන 5 දක්වා මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.

මේ අතර, කොළඹ වරායේ නැංගුරම්ලා ඇති විදේශීය රටකට අයත් නෞකාවක සේවය කිරීම සඳහා ඉතාලියේ සිට රෝම අගනුවර සිට විදේශීය නාවිකයින් 155 දෙනෙකු අද (01) දිවයිනට පැමිණියා.

මත්තල ගුවන්තොටුපල වෙත පැමිණි ඔවුන් එහිදී පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිත අතර, එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබීමෙන් පසු ඔවුන් මත්තල ගුවන්තොටුපල අවට පිහිටි තාවකාලික නවාතැන් කිහිපයක රඳවා තැබීමට නියමිතයි.

මේ අතර, පසුගිය මාර්තු 9 වනදා සිට මැයි මස 31 වනදා දක්වා විදේශ ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය අවසන් කළ ශ්‍රි ලංකිකයන්ට ලබන 6 වනදා සිට තිරු බදු රහිතව භාණ්ඩ මීළදී ගැනිමට හැකි බව ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ නියෝජ්‍ය සභාපති රජිව් සූරියආරච්චි මහතා පවසනවා.

ඒ සඳහා ගුවන් ගමන් බලපත්‍රය, නිරෝධයන සහතිකය සහ ස්වයං නිරෝධායනය වු මහජන සෞඛ්‍ය පරික්ෂක සහතිකය රැගෙන පැමිණිය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, සිය දිමනා ලබා නොදීම ඇතුළු ගැටලු 6 ක් මුල් කරගනිමින් වයඹ පළාතේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *