මිලින්ද මොරගොඩගේ ඔත්තු සේවාවක් ජනපති වටා.. රට කරන හැටි උපදෙස් දෙනවා.. – විමල් වීරවංශ

(29.06.2020 – 03:25 +0530 – lankacnews.com)

තාක්ෂණික දැනුමින් සන්නද්ධ, ජාතිකවාදී හදවතකින් යුත් නූතන තරුණ පුරපුරකට අද රට හමුවේ වන කේන්ද්‍රීය ප්‍රශ්නය වන ‘පශ්චාත් කොවිඩ් – 19 නැගිටීම’ සඳහා පෙරමුණ ගත හැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා එසේ පැවසුවේ “69 ලක්‍ෂයේ අපේක්ෂාව ඉටු කරන – ජනපතිඳුන්ගේ අධිෂ්ඨානය සඵල කරන ‘හරි මඟ’ පශ්චාත් කොවිඩ් – 19 නැඟිටීම සඳහා දොළොස් වැදෑරුම් උපාය මාර්ගික ප්‍රවේශය” කෘතිය එළිදැක්වීම සඳහා සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී ජාතික නිදහස් පෙරමුණ කැඳවා තිබූ විශේෂ නියෝජිත සමුළුව අමතමිනි.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය :

“අද අපි ඉන්නේ කොරෝනාවලට කලින් පැවතුණ ලෝකයේ නොවෙයි. එදා බටහිර බලවතුන් විශේෂයෙන්ම ඇමරිකාව තමන් කේන්ද්‍රකරගත් ඒකධ්‍රැවීය ලෝකයක් පවත්වාගෙන යන්න උත්සාහ කළා. චීනය එය ද්වීධ්‍රැවීය ලෝකයක් බවට පත්කරමින් සිටියා. අද මේ සියල්ල කණපිට පෙරළිලා. එදා සමත් රාජ්‍යයන් ලෙස ඉදිරියෙන්ම සිටි ඇමරිකාව ප්‍රමුඛ රටවල් පහළට ඇද වැටිලා. ඔවුන් කොරෝනාවලින් අසමත්. එත් අසමත් රාජ්‍යයන් ලෙස පැවති ලංකාව වැනි රටවල් කොරෝනාවලින් සමත් වුණා.

ලෝකයට ලොක්කා වෙන්න හදන ඇමරිකාවට ෆෙඩරල් පාලනය නිසා නිව්යෝර්ක්වත් වහගන්න බැරි වුණා. චීනය මධ්‍යගත රාජ්‍යයක් නිසා වූහාන් වහලා කොරෝනාවලට මුහුණ දුන්නා. නිව්යෝර්ක්වත් වහගන්න බැරිවුණු අමරිකාවේ ජනාධිපති චීනය එක්ක පැටලුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය සමග පැටලුණා. දැන් කළු ජාතිකයන් සමග පැටලිලා. හැමදේම නූල් බෝලයක් වගේ පටලාගෙනයි ඉන්නේ.

ජනපති ගෝඨාභය තීන්දු ගත් හැටි

විද්‍යාවෙන් තාක්ෂණයෙන් ඉදිරියෙන් ඉන්න රටවල, හොඳම සෞඛ්‍ය සේවය තිබෙනවා කියන රටවල කොරෝනා මර්දනය කරගන්න බැරි වුණා. කොරෝනා හැදුනට පස්සේ ගෙදර ඉන්න අමාරුම නම් විතරක් රෝහල්වලට එන්න කියලා සමහර රටවලින් ජනතාවට කිව්වා. මොකද ඒ? ඒ රටවල් නිදහස් සෞඛ්‍ය සේවයක් නැහැ. ලාභමත පදනම් වූ සෞඛ්‍ය සේවාවක් තමයි තිබෙන්නේ. පෞද්ගලික රෝහල් සූදානම් නැහැ දුප්පත් මිනිස්සුන්ට නොමිලේ බෙහෙත් කරන්න. ඒත් නිදහස් සෞඛ්‍ය සේවාවක් පවතින අපේ රටේ විදේශිකයන්ටත් නොමිලේ ප්‍රතිකාර කරලා යැව්වා. මේ රටේ හැම දේශීය, විදේශීය පුද්ගලයෙක්ම හමුදාවෙන් නිරෝධායනය කළේ නොමිලේ තුන්වේලටම කන්න දීලා, සියලු පහසුකම් සපයලා. ඒ නිසා විදේශිකයෝ ලංකාවෙන් ගියේ අපේ රටට ලකුණු දාලා. ඒ ලකුණු ලෝකයේ හැම තැනම අද තියෙනවා. බලවතුන් කතා නොකළාට අද අපේ රටේ ගුණාංගයන්, අපේ සත්කාරයන් ගැන සාකච්ඡා වෙනවා. විවිධ හේතු නිසා වෙන රටවල ජීවත් වුණු අපේ ජනතාව අපි ලංකාවට ගෙන්වා ගෙන ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර දුන්නා. ජනාධිපතිවරයා හැම විටම තීන්දු ගත්තේ ආර්ථික ලාභය පදනම් කරගෙන නොවෙයි. ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගැනීම ප්‍රමුඛ ප්‍රශ්නය ලෙස දැකලයි ජනාධිපතිතුමන් වැඩ කළේ.

කොරෝනා එනකොට මේ රටේ ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වෙලා තිබුණා. ඔහු තනිවම තීන්දු ගත්තේ නැහැ. මේ සම්බන්ධයෙන් උපදෙස් ගත හැකි අය, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් මේ සියලුදෙනා එකතු කරගෙන සාකච්ඡා කරලා තමයි තීන්දු ගත්තේ. අපේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වුණත්, පසුගිය කාලයේ පමණක් නෙවෙයි අදටත් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් රටේ තීන්දු ගන්නේ කවුද? සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්. තීන්දුව ගන්නේ ජනාධිපති වුණත් එය පදනම් වෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ මගපෙන්වීම, උපදෙස් හා නිර්දේශ මතයි. මේ වසංගතයකින් රට වෙළාගෙන ඇති වෙලාවක සෞඛ්‍ය බලධාරින්ට තමයි හොඳම අදහස තිබෙන්නේ කරන්න ඕන මොනවාද, කියලා. එහෙම තමයි වැඩ කරන්න ඕනෙ. ඒ නිසා තමයි අපි ජය ගත්තේ.

අද බ්‍රසීලය – ඇමරිකාව වැනි රටවල වළ දමන්නේ මිනී නොවෙයි

කොරෝනා නිසා අපි කලින් අත්ඇරලා තිබුණ ආහාර රටාවට නැවත ගියා. අපේ රටේ නිෂ්පාදනවලට මුල්තැන දුන්නා. දේශීය වෛද්‍ය ක්‍රමයට කෝචොක් කර කර හිටපු අයට මේ වෙලාවේ දේශීය බෙහෙත්වලට යොමු වෙන්න සිදු වුණා. ඒවා හොඳයි කියලා කියන්න සිදුවුණා. දැන් ලෝකයේ වෙනත් රටවල් පවා අතීතයේ අපේ ශක්තිය වඩවන ලද ඇතැම් ආහාර වර්ග ඉල්ලන්න පටන් අරන්. වෙළඳපොළ තර්කනය මත පවතින රටවල් අද නිර්මාණය කරන්නේ නරුමයන් වැනි පිරිසක්. ඒ නිසා අද ඇමරිකාව වැනි රටවල ‘හෝම්ලස්’ මිනිසුන් වැඩි වෙලා. අද බ්‍රසීලය, ඇමරිකාව වැනි රටවල මිනී නොවෙයි අර වළ දමන්නේ, නව ලිබරල්වාදී ආර්ථිකයයි.

පාත්ෆයින්ඩර් – ඔත්තු සේවා සංවිධානයක්

මේ ජනවරමේ කොටස්කරුවන් නොවන ‘පාත්ෆයින්ඩර්’ වැනි සංවිධාන දැන් රජයට උපදෙස් දෙනවා ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය ගැන. මිලින්ද මොරගොඩගේ පාත්ෆයින්ඩර් කියන්නේ ඔත්තු සේවා සංවිධානයක්. එම සංවිධානයේ මිලින්ද මොරගොඩ, ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ආදීන් ජනාධිපතිතුමන්ට වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා පශ්චාත් කොවිඩ් 19 ට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන්. එහි කියනවා, ‘රට හදන්න දර්ශනයක් අවශ්‍ය නැහැ’ කියලා. ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන විදිහට වැඩ කරන්නලු. ඔවුන්ට ඕනෙ හැටියට නොවෙයි, මේ රට හදන්න ඕනෙ මහා සංඝරත්නයේ උපදෙස් මතයි, ජාතික බලවේගවල මගපෙන්වීම මතයි.

අපිට ආපහු කොවිඩ්වලට කලින් තිබුණ රටට යන්න බැහැ. යන්න අවශ්‍යත් නැහැ. අපේ රටේ පවතින කෘෂිකාර්මික පරිසරයෙන් තරම් නව නිෂ්පාදන කරන්න පුලුවන් රටක් තවත් නැහැ. කාර්මික නිෂ්පාදනත් ඒ වගේ තමයි. අපේ රටෙන් තමයි ලෝකයේ පළමු රෝහලේ නටඹුන් හමුවුණේ. අපේ රටේ ඉතිහාසයේ පැවති තාක්ෂණය, විද්‍යාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

අද අපිට අවශ්‍ය කරන්නේ පශ්චාත් කොවිඩ් අභියෝගයට මුහුණ දෙන්න පුලුවන් තාක්ෂණික දැනුම සහිත නව පරපුරක්. අපේ නිෂ්පාදනය මුල්කරගත් ආර්ථික රටාවක්. එයට නායකත්වය දිය හැකි බලවේගයක්. ඒ බලය පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරවීමේ හැකියාව තිබෙන්නේ මේ රටේ ජනතාවටයි.”

එහිදී අනුශාසනාවක් කළ පැපිලියාන ශ්‍රී සුනේත්‍රාදේවි මහා පරිවේණාධිපති, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙසේ පැවසූහ :

“2020 ජනාධිපතිවරණයෙන් පස්සේ මේ රට මුහුණ පා තිබුණ අර්බුදයෙන් ගොඩගන්න වැඩපිළවෙළක් ක්‍රියාත්මක කරන්න පුලුවන් වෙයි කියලා හිතුවා. රට ඉදිරියට ගෙගන යන්න පුලුවන් කියලා හිතුවා. ඒත් කෙරොනා වෛරස් තත්ත්වය නිසා අපට ඒක එලෙසම කරන්න බැරි වුණා.

2015 න් පස්සේ මේ රටේ බලයට ආවේ ‘එම්සීසී’ වගේ රටට අහිතකර ගිවිසුම් අත්සන් කරන ආණ්ඩුවක්. දැන් ඇමරිකාව උත්සාහ කරන්නේ උපාය මාර්ගිකව ගිවිසුම අත්සන් කිරීමටයි. එහෙත් අපේ රටේ ජාතික බලවේග එයට ඉඩ දෙන එකක් නැහැ, කියලා මම විශ්වාස කරනවා. සම්බන්ධන්ලා දැන් දන්නවා තිස් වසරක යුද්ධයෙන් දිනාගන්න හදපු වෙනම රාජ්‍යය දැන් ඒ ක්‍රමයට දිනාගන්න බැහැ කියලා. ඒ නිසා ඔවුන් ව්‍යාවස්ථා සංශෝධනයකින් එය කරගන්නයි උත්සාහ කරන්නේ. අපිට නව ව්‍යවස්ථාවක් ඕනෙ තමයි. ඒක සම්බන්ධන්ලා ඉල්ලන එක නොවෙයි. ඒක මේ රට තවත් ශක්තිමත් කරන ව්‍යවස්ථාවක්. ඒක කරන්න නම් මේ මහමැතිවරණයේදි රටට ආදරය කරන පිරිසක් පාර්ලිමේන්තු යැවිය යුතුයි.

කරුණා අම්මාන් කළ ප්‍රකාශයක් ගැන දැන් කතා වෙනවා. මේ කතාව දැන් අහන්න දෙන්න ඕනෙ අර ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට. ඔවුන් අපේ ත්‍රිවිද හමුදාවට චෝදනා කළා යුද සමයේදී උතුරේ දෙමළ වැසියන් ඝාතනය කළා, කියලා. මෙන්න දැන් කරුණා අම්මාන් කියනවා, තමන් හමුදාවේ පොලිසියේ තුන්දහසක් පමණ ඝාතනය කළා කියලා. දැන් අර මානව හිමිකම් කවුන්සිලයට මේවා ඇහෙන්නේ – පෙනෙන්නේ නැද්ද? දැන් වැදගත් වන්නේ කරුණා ඉන්නේ කොහෙද? කා ළඟද යන්න නොවෙයි, ඔහු කියන කතාවේ ඇත්ත නැත්තයි. කුළල් කා ගන්නා දේශපාලනය අතුගා දමා, මතුවන දුෂ්කරතාවලදී ජාතියක් ලෙස එකට නැගී සිටිය හැකි, රටට – ජාතියට – ආගමට ආදරය කරන පිරිසක් පාර්ලිමේන්තු යැවීමට හැකිවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.”

එහිදී අදහස් දැක්වු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මෙසේ පැවසීය :

“මේක ලාංකීය දේශපාලනයේ තීරණාත්මක අවස්ථාවක්. මේ රටේ ජාතික බලවේග ගෙන ගිය සටනේ ප්‍රතිඵලය තමයි දැන් අපි භුක්ති විඳින්නේ. අපේ රටේ ඉතිහාසය පුරාම බලයට පත්වුණු ආණ්ඩු ජාතික බලවේග යොදාගත්තේ රම්පේ කරපිංචා වගේ හොද්ද රස කරන රසකාරක ලෙසයි. බලයට ආවාට පස්සේ ඒවා පැත්තකට විසි කරනවා. ඒත් දැන් ජාතික නිදහස් පෙරමුණ වැනි දේශපාලන ව්‍යාපාර කටයුතු කරන ආකාරය අනුව අපිට එහෙම අත්දැකීමකට මේ ආණ්ඩු කාලයේ මූණ දෙන්න වෙන එකක් නැහැ, කියලා හිතෙනවා.

කොරෝනා වෛරසය මම දකින්නේ අපිට ලැබුණු වෙස්වළාගත් ආශිර්වාදයක් කියලයි. මේක තමයි ජාතික ආර්ථිකය ගොඩනගන්න අපිට ලැබුණු හොඳම අවස්ථාව. අපේ කෘෂිකර්මාන්තය ගොඩනගන්න ලැබුණු හොඳම අවස්ථාව. ඒ ගැන දැන් අවධානය යොමු වී තිබෙන බව පෙනෙනවා.”

එහි දී මෙවර මහ මැතිවරණයට තරඟ වදින ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයෝ 12 දෙනා මීට පෙර මහා සංඝරත්නය ඉදිරිපිට දණ නමා විමල් වීරවංශයන් ලබාදුන් ‘එකුන්විසි ප්‍රතිඥාව හෙවත් හෘද සාක්ෂිය සමාජ සම්මුතිය’ට තමන් ද එකඟ වන බවට ප්‍රතිඥා ලබා දුන්හ. මෙම අවස්ථාවේ දී වේදිකාවේ අසුන් ගෙන සිටි කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විමල් වීරවංශ, කළුතර දිස්ත්‍රික් අපේක්ෂක ජයන්ත සමරවීර, ගම්පහ දිස්ත්‍රික් දිස්ත්‍රික් අපේක්ෂක ලලන්ත ගුණසේකර, හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක ජයන්ත වන්නිආරච්චි, බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක රෝහිත තිලකරත්න, රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක ගාමිණී වලේබොඩ, පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂක ජගත් ප්‍රියංකර, වන්නි දිස්ත්‍රික් අපේක්ෂක කර්නල් රත්නප්‍රිය බන්දු, මොනරාගල දිස්ත්‍රික් අපේක්ෂක උදයශාන්ත ගුණසේකර, අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක උද්දික ප්‍රේමජයන්ත, මාතර දිස්ත්‍රික් අපේක්ෂක නිරෝෂන් ප්‍රේමරත්න යන මහත්වරු නැගී සිට දෑත් ඔසවා එම ප්‍රතිඥාව කියවා, ඊට එකඟ බව සපථ කළහ.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

‘එකුන් විසි ප්‍රතිඥාව’ හෙවත් ‘හෘද සාක්ෂියේ සමාජ සම්මුතිය’ ප්‍රතිඥාවේ සදහන් කරුණු 19

+++++++++++++++++++++

විමල් වීරවංශයන්ගේ ”එකුන් විසි ප්‍රතිඥාව” හෙවත් “හෘද සාක්ෂියේ සමාජ සම්මුතිය” ජුනි 19 වැනිදා බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේදී මහා සංඝරත්නය අභිමුව සමාජගත කිරීමේ අවස්ථාව…

***************************************

මැතිවරණයෙන් පසු ශ‍්‍රීලනිපය අගමැතිකම ඉල්ලයි..? ශ‍්‍රීලනිපයට ඇමතිකමක්වත් දෙන්න පොරොන්දු වී නෑ..

(29.06.2020 – 12:00 +0530 – lankacnews.com)

ආණ්ඩු බලය ලබාගත් විට ශ්‍රිලනිපයට ඇමතිධූර ලබා දෙන බවට කිසිඳු එකගතාවයක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

තම පක්ෂය ගිවිසුමකට එළඹ ඇත්තේ ශ්‍රිලනිපය සමග මිස එහි සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග නොවන බව ද රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිටින කණ්ඩායම ඉදිරි මහ මැතිවරණයෙන් පසු කුමනාකාරයෙන් කටයුතු කරාවිදැයි සැලකිලිමත් විය යුතු බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශත පහකටවත් විශ්වාස කළ නොහැකි බවත් පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා මහින්ද හැර යන කිසිවෙකු පාර්ලිමේන්තුවට නොඑන තරමට රට සුරක්ෂිත බව අවධාරණය කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දොම්පෙ ආසන බල මණ්ඩලයට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. දොම්පෙ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු සංවිධායක මිලාන් ජයතිලක මහතා සංවිධානය කර තිබුණි. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය :

“ජනාධිපතිවරණය වෙලවේ දී එක තැනක දී කථා වුණා මෛත්‍රීපාලව ජනාධිපති අපේක්ෂකයා කරන්න. මහින්ද මහත්තයාට ජනාධිපතිවරණයට ඉල්ලන්න බැරි නිසා මෛත්‍රීව ජනාධිපතිවරණයට දාලා මහින්ද මහතත්යාව පූර්ණ බලතල සහිත අගමැති කරන්නයැයි උකුස්සෝ ටික යෝජනා කළේ. හැබැයි මම එතන දී කිව්වා මෛත්‍රීපාලව ශතපහකට විශ්වාස කරන්න බෑ කියලා. මම ඒකට එකඟ වුණේ නෑ. මේක මම විහිලුවට නෙමෙයි කියන්නේ. ආප්පයක් කාලා කරඩුව ඔළුවේ තියන් ගිහිල්ලා කරඩුව පූජා කරලා පහුවදා ගිහින් මහින්ද මහත්තයාගේ පිටට පිහියෙන් ඇන්නා. ඒකයි අපි කිව්වේ පොහොට්ටුවෙන් මිසක් ජනාධිපතිවරණය තරඟ කරන්න බෑ කියලා. දැන් මෛත්‍රීගේ මිනිස්සු ටිකක් ලංකාව පුරා තරඟ කරනවා. බැරිවෙලාවත් මේ අය පාර්ලිමේන්තුවට ආවොත් මොන මොන විදිහේ බලපෑම් කරයි ද දන්නේ නෑ. ඇමතිකම් ඉල්ලයි. සමහරවිට අගමැතිකමත් ඉල්ලයි. අපි ශ්‍රීලනිපයත් සමග ඇති කරගත් ගිවිසුමේ කොහෙවත් ඒ අයට ඇමතිකම් දෙන්න එකඟතාවයක් නෑ. ඒත් ඒ අය අපට කොන්දේසි දාන්න ඉඩ තියෙනවා. ඒ නිසයි අපි කියන්නේ මෛත්‍රීට ගෑවුණු කාටවත් ඡන්දය දෙන්න එපා කියලා. මොකද ඒ තරමට මෛත්‍රී අපිට අවිශ්වාසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක නෙමෙයි අපිට ප්‍රශ්නෙ තියෙන්නේ. අපිට ප්‍රශ්නෙ තියෙන්නේ මෛත්‍රීත් එක්කයි.

එක්සත් ජාතික පක්ෂයයි, සමගි ජන බලවේගයයි අද එකිනෙකා කා කොටා ගන්නවා. ‘එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්’ කියන්න වගේ මේ දෙගොල්ලෝ කෙළ ගන්නකොට තමයි ඇත්ත එළියට එන්නේ. සජිත් කියනවා රනිල් හොරා කියලා. රනිල් කියනවා සජිත් හොරා කියලා. රට ම දන්නවා මේ දෙන්නම හොරු කියලා. මහ බැංකුව මහා දවාලේ මංකොල්ලකාපු හොරු. මම දැක්කා සජිත් ප්‍රේමදාස මහත්තයා තමන්ගේ පක්ෂයේ ලාංඡනය වෙනුවට වෙන එකක් උස්සලා පෙන්නනවා. පක්ෂයේ ලාංඡනය මතක නැති කෙනා කොහොමද රටක් කරන්නේ. සජිත්ගේ ඔළුව දැන් මඤ්ඤං වෙලා තියෙන්නේ. කොරෝනා පිට දාලා මැතිවරණය කල් දාගන්න මාන බැලුවා. හැබැයි වැඩේ කෙරුණේ නෑ. දැන් මැතිවරණයට මූණ දීගන්න බැරැව විපක්ෂයේ මුඛ පූට්ටු වෙලා. ආණ්ඩුව ගැන අල්ලෙ පැළවෙන බොරු කියලා ජනතාව රවටලා ඡන්දය ගන්නයි විපක්ෂය හදන්නේ. 2015 දී මේ අය කළෙත් ඒක.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනතාවාදී ගමන එතනින් නතර කරන්න තමයි විපක්ෂය මේ දඟලන්නේ. රට නැවත ගොඩගන්න නම් ස්ථාවර ආණ්ඩුවක් බිහි විය යුතුයි. යහපාලන ආණ්ඩුව කාලයේ සිද්ධ වුණේ ජනපති හා අගමැති රට දෙපැත්තට අදින එකයි. මේ තත්ත්වය නැවත ඇතිවෙන්න ඉඩ නොදිය යුතුයි. ඒ සදහා අප ස්ථාවර ආණ්ඩුවක් බලයට පත් කළ ගත යුතුයි. අපි හදන ආණ්ඩුවක අන්තවාදීන්ට ඉඩ නෑ. හොරුන්ට දූෂිතයන්ට ඉඩ නෑ. මත්කුඩු ජාවාරම්කරුවන්ට, කප්පම්කරුවන්ට ඉඩ නෑ. අපි හදන්නේ මේ රට අපේ අනාගත පරපුරට සුරක්ෂිත රටක් කරන්නයි. ඒ වෙනුවෙන් සියලු දෙනා එක්ව පෙළ ගැසෙමු.”

මැතිවරණ අපේක්ෂක මිලාන් ජයතිලක, ඩුලිප් විජේසේකර යන මහත්වරුන් ද මෙහි දී කථා කළහ.

– ප්‍රදීප් අනුර කුමාර

***************************************

වරාය සේවකයෝ වර්ජනයකට සැරසෙති

(29.06.2020 – 16:50 +0530 – lankadeepa.lk)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවිකිරීම සඳහා ගෙන්වා ඇති ග්‍රැන්ටි දොඹකර තුන (3) ඉදිරි පැය විසිහතර (24) ඇතුළත සවිකිරීම් ආරම්භ නොකලහොත් ජුලි පළමුවැනිදා (01) සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව වරායේ වෘත්තිය සමිති කියයි.

වරාය අධිකාරිය එකී දොඹකර සවිකොට නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ආරම්භ නොකරන්නේ විදේශ බලපෑමක් මත බවත් වහා මෙහෙයුම් ආරම්භ කරන්නට කටයුතු නොකලහොත් පළමුවැනිදා (01) සිට වර්ජනය කරන්නට සියලු වෘත්තිය සමිති එක්ව තීරණය කළ බවත් ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ වරාය ශාඛාවේ සභාපති ප්‍රසන්න කලුතරගේ මහතා ලංකාදීපයට පැවැසීය.

ඉකුත් විසි වැනිදා ගෙන්වන ලද එම දොඹකර මේ වනතෙක් සවි කර නොමැති අතර දොඹකර සවිකරන තෙක් දිනපතා ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් ලක්ෂ 90 බැගින් ගෙවීමට වරාය අධිකාරියට සිදුවී තිබේ.

දොඹකර සවිකිරීම සඳහා ගෙන්වූ ග්‍රැන්ටි දොඹකර තුන (3) පර්යන්ත ගත කිරීම ප්‍රමාද කරමින් තිබෙන බව පෙන්වා දෙන එම සංගමය වහා මෙම ප්‍රශ්නය සඳහා මැදිහත්වීමක් සිදුකරන්නැයි ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලීමක් කළ බව කලුතරගේ මහතා කීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ගැඹුරින් වැඩි විශාල නෞකා මෙහෙයවිය හැකි එකම පර්යන්තය පුද්ගලීකරණයට පිඹුරුපත් සකස් කෙරුණේ පසුගිය රජය සමයේ බවත් මේ සම්බන්ධව මුල සිට වෘත්තිය සමිති විරෝධය පළ කළ බවත් පැවසූ සේවක සංගම් සභාපතිවරයා මේ වෙනුවෙන් තවදුරටත් පමා විය නොහැකි යැයි ද කියා සිටියේය.

යම් විසදුමකට පැමිණීමට දින දෙකක් (02) කල් දෙන ලෙස වරාය පාලනාධිකාරිය වෘත්තිය සමිතිවලින් ඉල්ලීමක් කර ඇති බැවින් කල් දී බැලූ බවත් ඉදිරි පැය විසිහතර (24) පමණක් මේ වෙනුවෙන් බලා සිටින්නට තම සාමාජිකත්වය බලකර සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

වෘත්තිය සමිති යම් ධනාත්මක විසඳුමක් බලාපොරොත්තුවෙන් සිටින බව පැවසූ ඔහු එසේ වුවත් කිසිදු විදේශ රටකට නැගෙනහිර පර්යන්තය පවරා දීමට වෘත්තිය සමිති ඉඩක් නොතබන බව ද සඳහන් කළේය.

නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු වරාය අධිකාරිය යටතේ ආරම්භ කරන මෙන් ඉල්ලා වරායේ සේවකයෝ ඉකුත් වසර පහ (5) තිස්සේ ම අරගල කරන බව ද ඔහු කියා සිටියේය ෴

+++++++++++++++++++++

යහපාලන ආණ්ඩුවේ පරස්පර තීන්දු දෙකක් නිසා වරාය අධිකාරියට බරපතල මූල්‍ය පාඩුවක් සහ රටට දේශපාලන මරඋගුලක්

(29.06.2020 – 11:07 +0530 – lankaleadnews.com)

පසුගිය යහපාලන රජයේ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි කිරීම සඳහා චිනයෙන් දොඹකර යන්ත්‍ර දෙකක් ඇනවුම් කොට තිබියදී පසුගිය යහපාලන රජයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම ජැටිය ඉන්දියාවට දිම සඳහා තුන් පාර්ශව සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීම නිසා වරාය අධිකාරිය මෙන්ම රට ද බරපතල මූල්‍ය සහ දේශපාලන අර්බුදයක පැටලී ඇති බව වාර්තා වේ.

එම තත්වය තුළ මේ වන විට වරාය වෙත පැමිණ ඇති දොඹකර රැගත් නෞකාවෙන් ඒවා ගොඩබෑම පිළිබඳ ඉන්දියාව විරෝධය දක්වා ඇති බැවින් දිනකට රු. මිලියන (01) බැගින් වන්දි ගෙවීමට රජයට සිදු වී ඇති බවත් මේ වන විට එම පාඩුව මිලියන 100 ක් ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අතර වරාය වෘතිය සමිති ඉල්ලා සිටින්නේ මිලදීගත් දොඹකරවල යම් ගැටළු ඇතත් ඒවා නැගෙනහිර පර්යන්තයේ සවි කළ යුතු බව සහ ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම අවලංගු කරන ලෙසයි.

නමුත් ඉන්දියාව ඊට විරුද්ධව ජාත්‍යන්තර බේරුම්කරණයක් අවශ්‍ය බවට තර්ජනය කරන තත්වයක් තුළ ආණ්ඩුව ‘පඹගාලක පැටලී’ ඇති අතර සියල්ලට වගකිව යුතු රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය කළමණාකරණය කරන ආකාරය ගැන රටට බණ දෙසන බව මහජනයා චෝදනා කරති ෴

***************************************

මුහුණු පොතෙන් නිවාස සිහින පෙන්නා කෝටි ගණන් ගැරූ හොරෙක් රක්ෂිතයට

(29.06.2020 – aruna.lk)

සමාජ මාධ්‍ය ජාලයේ මුහුණු පොත හරහා දැන්වීම් පළකරමින් නිවාස ඉදිකර දෙන බව පවසා රුපියල් හයකෝටි අසූ ලක්ෂයක (6,80,00,000) මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවකු ජූලි 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය සිකුරාදා (26 වැනිදා) නියම කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ලොයිඩ් කෝලිත මහලියන නමැති වැල්ලවත්ත ප්‍රදේශයේ අංක 27/59 පැරකුම් මාවතේ පදිංචිකරුවෙකි.

මෙම සැකකරු අංක 188, වේරහැර බොරලැස්ගමුව ප්‍රදේශයේ ‘ප්‍රිමියර් බිල්ඩර්ස් ඇන්ඩ් ඉන්ජිනියරින්’ නමින් ආයතනක් පිහිටුවා මුහුණු පොත හරහා දැන්වීම් පල කරමින් නිවාස සාදා දෙන බව දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව මුලා කර මෙම මුදල් ලබා ගැනීම සිදුකර තිබේ.

පසුගිය යහපාලන සමයේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අතින් සම්මාන ලබා ගන්නා ආකාරය සහිත ඡායාරූප පෙන්වමින් මෙම මුදල් වංචාව සිදු කර ඇත. මේ සම්බන්ධව පැමිණිලිකරුවන් විසින් ජනාධිපති අවධානය යොමු කරවීම සඳහා ජනාධිපති කාර්යාලයට ලිපියක් ද යොමු කර ඇත.

දර්ශාන් කානිල් – මොරටුව

+++++++++++++++++++++

[ http://premierbuilders88.com/ ]

++++++++++++++

+++++++++++++++

+++++++++++++++

++++++++++++++++

***************************************

දේවාලයට ගිහින් ගහපු පොල් ගෙඩිය වගෙයි එ.ජා.ප. ය – විමල් වීරවංශ කියයි

(29.06.2020 – 21:56 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂයේ කුණු ගෑවී ඇති සියල්ලන් සිටින්නේ UNP නායකයා ළඟ බව සුජීව සේනසිංහ ප්‍රකාශ කළා ඒ අද (29) පැවති හමුවකදී අදහස් පළකරමින්.

ඔවුන් සියලුදෙනාටම ඉදිරිමැතිවරණයේ දී විශ්‍රාම ලබාදීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් ප්‍රකාශ කළේ බැඳුම්කරය පිළිබඳව පොත් ලියූ ඇතැම් පිරිස් දැන් තමන් පිරිසිදු බව පෙන්වීමට උත්සාහ ගන්නා බවයි.

එසේම ඉදිරියේදී පොහොට්ටුව සමඟ රජයේ බලය ගැනීමට තමන් ඇතුළු UNP කණ්ඩායම බලාපොරොත්තු වන්නේ රටට සෙතක් කිරීමට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ප්‍රකාශ කළා.

පසුගිය කාළයේ රට විනාශ කළ පිරිස් දැන් වෙන වෙනම මැතිවරණයේදී ඡන්දයට මුහුණදෙන බව ප්‍රකාශ කළ මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේ අද පැවති හමුවකදී අදහස් දක්වමින්.

මෙවර මහමැතිවරණයෙන් පසුව නියත වශයෙන්ම ජාතික ආණ්ඩුවක් නිර්මාණය වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළා.

මේ අතර අද පැවති ජන හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා ප්‍රකාශ කළේ රණසිංහ ප්‍රේමදාස විසින් LTTE යට අවි ආයුද ලබාදුන් බවයි.

අනතුරුව LTTEය විසින් මඩකළපුව ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් 600 ක පිරිසක් ඝාතනය වූ බවද හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

වත්මන් ජනපති වැඩකාරයන් සහ බොරුකාරයන් පිළිබඳව හොඳින් දන්නා බව අද පැවති හමුවකදී අදහස් පළකරමින් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

තමන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන්ට නොව මෛත්‍රීගේ අයට ඡන්දය නොදෙන ලෙස බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේ අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කණ්ඩායමක් ලෙස ජයග්‍රහණය ලබාගත හැකි පිරිසක් තමන් ඇතුළු කණ්ඩායමේ සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ අද පැවති ජන හමුවක් අමතමින්.

2015 ට පෙර මෙන් රට යළිත් සංවර්ධනය අගෝස්තු 05 වනදායින් පසුව නැවත කළ හැකිබව අමාත්‍ය චමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුව පළමු මාස තුන තුළදීම වැඩකටයුතු අනාගෙන ඇතිබව ප්‍රකාශ කළේ ජනහමුවක් අමතමින්.

මේ වනවිට එක්සත් ජාතික පක්ෂය දේවාලයට ගොස් ගැසූ පොල්ගෙඩිය මෙන් කෑලි වලට කැඩී වෙන්වී ඇතිබව ප්‍රකාශ කළේ අමාත්‍ය විමල් වීරවංශ ජනහමුවක් අමතමින්.

මෙලෙස තුනට හතරට කැඩුණු එක්සත් ජාතික පක්ෂයට කිසිදු දෙයක් රටට කිරීමට නොහැකි බවයි දේශපාලන වේදිකාවේ අදහස් දක්වමින් අමත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

***************************************

තොරතුරු දැනගැනීමේ අයිතිය අත්හිටුවීමට මැතිවරණ කොමිසම පියවර ගනිමින් සිටිනවා

(29.06.2020 – 21:25 +0530 – hirunews.lk/sinhala)

ස්වාධීන කොමිෂන් සභාවලින් ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය ඉදිරියේ දී අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගනිමින් සිටින බවට මහජන යුතුකම කේන්ද්‍රයේ මහලේකම් පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් චෝදනා කරනවා.

උන්වහන්සේ මෙම චෝදනාව සිදුකළේ අද (29) පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදීයි.

සමගි ජනබලවේගයේ සාමාජිකයින් පිරිසක් පසුගිය දා ස්වාධීන කොමිෂන් සභාවල සාක්ෂි විමසීම ජනතාවට නිරාවරණය වීම මගින් වෙනත් පාර්ශවයකට මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී වාසි සහගත තත්වයක් උදා වන බව පවසමින් එම සාක්ෂි විමසීම් ජනමාධ්‍ය හරහා ප්‍රචාරය වීම වැලැක්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කළා.

මේ අතර කරුණා අම්මාන් පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ජාතික විද්වත් සංඝ සභාව අද (29) මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියා.

***************************************

ජාතික බුද්ධි ප්‍රධානියාගේ ලිපිය ගැන පූජිත් ජයසුන්දර සරල අපරාධයකදී මෙන් ක්‍රියාකරලා – පාස්කු කොමිසමේදී හෙළිවෙයි

(29.06.2020 – 21:20 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් එවා තිබූ පූර්ව දැනුම්වත් කිරීමේ ලිපිය කෙරෙහි එවක පොලිස්පති පූජිත් ජයසුන්දර ක්‍රියා කර ඇත්තේ සරල අපරාධයක දී මෙන් බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ කීර්ති ගජනායක මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළකළේ, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා අද කැඳවා තිබුණේ 2003 වසරේ සිට 2011 දක්වා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරය දැරූ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කීර්ති ගජනායක මහතායි.

මෙහිදී රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥවරයා විසින්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ නිලධාරීන් අතර හුවමාරු වී තිබූ පූර්ව දැනුම්වත් කිරීමේ ලේඛන සාක්ෂිකරුට පෙන්වා සිටියා.

එහිදී පළමුව පෙන්වා සිටියේ එවක ජාතික බුද්ධී ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් එවක පොලිස්පති පුජිත් ජයසුන්දර වෙත එවා තිබූ ලිපිය වන අතර, එහි ඇතුළත් වූ Eyes Only යන්නේන් කුමක් අදහස් වන්නේදැයි විමසා සිටියා.

ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු සදහන් කළේ අතිශය රහසිගත තොරතුරක් නිශ්චිතවම එක් පුද්ගලයකු වෙත යොමු කරන ලිපියක එලෙස Eyes Only ලෙස සලකුණු කරන බවයි.

එවැනි සටහනක් ඇතුළත් වූ ලිපියක් ලැබුනේ නම් එහි අන්තර්ගතය උපුටා දක්වමින් තවත් ලිපියක් සකස් කිරීම පමණක් සිදුකළ යුතු අතර, තමන්ට ලද ලිපිය එම අවස්ථාවේදීම විනාශ කළ යුතු බවද සාක්ෂිකරු වැඩිදුරටත් සදහන් කළා.

මෙහිදී රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥවරයා විසින් අදාළ ලිපියෙහිම එවක පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් යොදා තිබූ “FNA”හෙවත් For Necessary Action යන යෙදුම සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.

සාක්ෂිකරු එහිදී සදහන් කළේ, තම අත්දැකීම අනුව මෙවන් වටිනා බුද්ධි තොරතුරක් අන්තර්ගත වූ ලිපියෙහි For Necessary Action යන්න කිසිසේත් සදහන් කළ යුතු නොවන බවයි.

සාමාන්‍යයෙන් එම යෙදුම පොලිස් දෙපාර්තමේන්තුව තුළ අතිශය සුලබව භාවිත වන බවත්, සරල හා සුලු අපරාධවලදී මෙම යෙදුම වැඩි වශයෙන් භාවිත කරන බවත් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා සදහන් කළා.

සාක්ෂිකරු වැඩිදුරත් පෙන්වා දුන්නේ, FNA යන යෙදුම නිසා මෙවන් වටිනා සහ සංවේදී රහසිගත බුද්ධි තොරතුර අවතක්සේරුවට ලක්කර ඇති බවයි.

මෙවැනි තොරතුරක නිශ්චිත හෝ අවිනිශ්චිතබව සෙවීමට වඩා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු කිරීම පොලිස්පතිවරයාගේ වගකීම බවත්, පූජිත් ජයසුන්දර විසින් එවැන්නක් සිදුකිරීම හෝ නිශ්චිත තොරතුරක් ලබාදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවා සිදුකර නොතිබූ බවත් සාක්ෂිකරු සදහන් කළා.

කොමිසම මෙහිදී සාක්ෂිකරුගෙන් විමසුවේ පූර්ව තොරතුරු ඇතුළත් ලිපියෙහි “තවදුරටත් රහසිගතව පරීක්ෂණ කෙරෙමින් පවතී” ලෙස සදහන් වීමෙන් මුල් බුද්ධි තොරතුරට හානියක් වී ඇත්ද යන්නයි.

එහිදී සාක්ෂිකරු පැවසුවේ මෙම ලිපිය ලැබෙනවිටත් මාවනැල්ල බුදුපිළිමවලට හානිකිරීම, වනාතවිල්ලුවෙන් පුපුරණ ද්‍රව්‍ය තොග සොයාගැනීම ආදී කටයුතුවලට සහරාන් හෂීම් ප්‍රමුඛ ත්‍රස්තයන් සම්බන්ධ බවට තොරතුරු රාජ්‍ය බුද්ධි සේවය සතුව තිබී ඇතත් පූර්ව තොරතුරු ඇතුළත් ලිපියෙහි ඔහුගේ නම් පමණක් ඇතුළත් කර ඉහත කී සිද්ධීන් ගැන සදහන් කර නොතිබීමද මෙහි අඩුපාඩුවක් ලෙස හදුනගත හැකි බවයි.

එම තොරතුරු තර්කානුකූලව ගලපා සෙසු නිලධාරීන්ට යොමුකළ යුත්තේ රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් බවත් ඔහු එලෙස සිදුකර තිබුනේනම් පාස්කු ප්‍රහාරය වළක්වාගැනීමට හැකියාව පැවති බවත් සාක්ෂිකරු කොමිසමට පැවසුවා.

+++++++++++++++++++++++++++++++++++

***************************************

ගෝඨාභය ජනපති කිරීමට ජනතාව ගත් තීරණය නිවැරදි බව සජිත්ගේ ප්‍රකාශවලින් පිළිඹිබු වනවා – අගමැති

(29.06.2020 – 20:32 +0530 – hirunews.lk/sinhala)

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීමට ජනතාව ගත් තීරණය නිවැරදි එකක් බව සජිත් ප්‍රේමදාස මහතා සිදුකරන ප්‍රකාශවලින් මනාවට පිළිඹිබු වන බව මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා ඒ බව සදහන් කළේ අද (29) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුස්ලිම් සම්මේලනය අමතමින්.

***************************************

ඉදිරියේදී පත්වන ආණ්ඩුවෙන් මුදල් සූරා කන මූල්‍ය සමාගම්වල අවිධිමත් ක්‍රියා නතර කරනවා – ජී.එල්. පීරිස්

(29.06.2020 – 21:13 +0530 – hirunews.lk/sinhala)

රටේ ජනතාවගේ මුදල් සූරා කන මූල්‍ය සමාගම්වල අවිධිමත් ක්‍රියා නතර කිරීමට ඉදිරියේදී පත්වන ආණ්ඩුවෙන් කටයුතු කරන බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

***************************************

සේරඇල්ලට ඇද වැටී අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවේ

(29.06.2020 – 19:49 +0530 – hirunews.lk/sinhala)

විවාහ උත්සවයේ පෙරහුරු ඡායාරූප ගත කිරීමක් සඳහා ලග්ගල – ඉලුක්කුඹුර ප්‍රදේශයේ පිහිටි සේරඇල්ලට ගොස් ඉන් ඇද වැටී අතුරුදන් වූ තරුණයාගේ සිරුර අද (29) පස්වරුවේ සොයා ගැනුණා.

වයස අවුරුදු 27 ක් වූ ඔහු සිය 20 හැවිරිදි පෙම්වතිය සහ දෙමව්පියන් සමඟ කුරුණෑගල සිට ලග්ගල – සේරඇල්ල නැරඹීමට පැමිණියේ ඊයේ (28) පස්වරුවේයි.

කෙසේ වෙතත්, ඡායාරූප ගන්නා අවස්ථාවේදී ඔවුන් දෙදෙනාම පය ලිස්සා සේර ඇල්ලට ඇද වැටුණු අතර, එම ස්ථානයේ සිටි අයෙකු විසින් තරුණිය බේරා ගැනීමට කටයුතු කළත් තරුණයා බේරා ගැනීමට හැකිවූයේ නැහැ.

***************************************

8 ට ඇවිත් 4 ට යන්න විතරයි ඔවුන් දන්නේ – රජයේ සේවකයන් ගැන ජනතාව කියන කතා

(29.06.2020 – 19:00 +0530 – hirunews.lk/sinhala)

අකාර්යක්ෂම, දුෂිත, රාජ්‍ය සේවය නිසා බොහෝ අවස්ථාවල තමන් පීඩාවට පත්වන බව ජනතාව චෝදනා කරනවා .

අල්ලස් ගන්නට පුරුදු වී සිටින රාජ්‍ය සේවකින් නිසා දුප්පත් ජනතාවට බොහෝ අවස්ථාවල රස්තියාදු වීමට සිදුවන බවද ජනතාව පෙන්වා දෙනවා.

8 ඇවිත් 4 ට යන්න විතරයි ඔවුන් දන්නේ. අපි මාර දුකක් විදිනවා .

මෙරට රාජ්‍ය සේවය පිළිබඳ සතුටු විය හැකිද යන්න පිලිබඳ මහජන අදහස් දැනගැනිම සදහා හිරු මහමඟ කළ සංචාරයකදී ජනතාව මෙම අදහස් පැවැසුවා .

ඇතම් රාජ්‍ය ආයතනවල තමන් මුහුණ දුන් අත්දැකිම් ද ජනතාව මෙහිදී අපට පැවැසුවා.

***************************************

‘ද නිව්ස් පේපර්’ චිත්‍රපටයේ විශේෂ දර්ශනය නැරඹීමට ජනපති හා අගමැති එක්වෙයි

(29.06.2020 – 18:21 +0530 – hirunews.lk/sinhala)

‘ද නිව්ස් පේපර්’ චිත්‍රපටයේ විශේෂ දර්ශනවාරය නැරඹීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්වූවා.

කොළඹ සිනමාශාලාවකදී ඊයේ (28) පස්වරුවේ චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරුණා.

සරත් කොතලාවල මහතාගේ සහ කුමාර තිරිමාදුර මහතාගේ සම අධ්‍යක්ෂණයක් වූ ‘ද නිව්ස් පේපර්’ චිත්‍රපටයෙහි සම නිෂ්පාදකවරුන් වන්නේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ සහ එච්.ඩී. ප්‍රේමසිරි යන මහත්වරුයි.

ජුලි 02 වනදා සිට දිවයිනේ සියලුම සිනමා ශාලාවල‘ද නිව්ස් පේපර්’ චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන අතර එදින උදේ 10:30 ප්‍රථම දර්ශනය නොමිලේ නැරඹීමට ජනතාවට අවස්ථාව සලසා තිබේ.

කොවිඩ් මර්දනයට සහාය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට, ත්‍රිවිධ හමුදාවට, පොලීසියට සහ මාධ්‍යවේදීන්ට ද තම නිල හැඳුනුම්පත භාවිත කරමින් එක් වතාවක් සිනමා පටය නොමිලේ නැරඹීය හැකිය.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු ඇතුළු පිරිසක් විශේෂ දර්ශන වාරය නැරඹීමට එක්ව සිටියා.

මේ අතර මෙම චිත්‍රපටයේ විශේෂ දර්ශනවාරය නැරඹීම සඳහා ජනාධිපති ආර්යාව ද එක්ව සිටීම විශේෂත්වයක්.

***************************************

දිවා සුරැකුම් මධ්‍යස්ථාන ජුලි 06 සිට සම්පූර්ණයෙන් විවෘතයි

(29.06.2020 – 17:57 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වසා තැබුණු දිවාසුරැකුම් මධ්‍යස්ථාන ජුලි මස 06 වනදා සිට යළි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලබා දී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරන්නේ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් එම මධ්‍යස්ථාන යළි ඇරඹියයුතු බවයි.

මේ වනවිටත් දිවා සුරැකුම් මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසර හිමිව ඇති අතර ඒ සමස්ථ ධාරිතාවයෙන් සියයට 75 ක් වන ලෙසයි.

ඒ අනුව සියයට 100 ක් දක්වා ධාරිතාවය වැඩි කිරීමට එළඹෙන 06 වනදා සිට අවස්ථාව ලැබෙනු ඇති.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • I always thought that this guy moragoda was working for the US and not for the welfare of the country. He also tries to harness and corrupt some of our maha sangha to his ways through favours. We have to be careful of educated traitors that are in the pockets of foreing powers holding inlfuential positions in Sri Lanka government and NGOs, or even doing business privately or underground.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *