සාෆිගේ නඩුවට අදාළව පිටු 41 ක වාර්තාවක් අධිකරණයට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

01 • සාෆිගේ නඩුවට අදාළව පිටු 41 ක වාර්තාවක් අධිකරණයට

02 • සියලු පිරිවෙන්, විද්‍යායතන සහ සීල මාතා අධ්‍යාපන ආයතන යළි ආරම්භ කිරීමත් ජුනි 29 සිට

03 • පසුගිය රජය සමයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් විවිධ හිරිහැරවලට ලක්වූවා (විඩියෝ)

04 • පෞද්ගලික උපකාරක පන්ති සඳහා 500 ක සිසුන් පිරිසක් සහභාගි කරවා ගැනීමට අවසර

05 • ඉදිකිරීම් පරිශ්‍රවල සියයට 75 ක් පමණ ඩෙංගු කීටයන්

06 • කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18 ක් ජල සැපයුම අත්හිටුවයි

07 • සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළ CID පරීක්ෂණ අවසන්, 1 හා 2 සැකකරුවන්ට වරෙන්තු (විඩියෝ)

08 • පාසල් සිසුවෙකුගේ කනට පහරදී බරපතල හානි සිදුකළ විදුහල්පතිට සිර දඬුවම්

09 • වෙලේ සුදා, කංජිපානි ඉම්රාන් ඇතුළු පිරිසක් ආහාර වර්ජනයේ (විඩියෝ)

10 • පිටකොටුවේ එළවළු ලොරිවලින් කප්පම් ගත් පිරිස අත්අඩංගුවට

11 • නව ව්‍යවස්ථාව කෙටුම්පත් කරනවානම් එය කළ යුත්තේ ජනපතිතුමා මිස පාර්ලිමේන්තුව නොවේ (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

(01) සාෆිගේ නඩුවට අදාළව පිටු 41 ක වාර්තාවක් අධිකරණයට

(26.06.2020 – 15:06 +0530 – hirunews.lk/sinhala)

වන්ද්‍යකරණ සැත්කම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහබ්දීන්ට එරෙහි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව ලබන අගෝස්තු මස 26 වනදා දක්වා කල් දමා තිබෙනවා.

නඩුව ඊයේ (25) විභාගයට ගත් අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළව සාක්ෂි සටහන් කළ පිටු 41 කින් යුත් වාර්තාවක් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් වෙත ඉදිරිපත් කර තිබෙනවා ෴

***************************************

(02) සියලු පිරිවෙන්, විද්‍යායතන සහ සීල මාතා අධ්‍යාපන ආයතන යළි ආරම්භ කිරීමත් ජුනි 29 සිට

(26.06.2020 – 14:35 +0530 – hirunews.lk/sinhala)

පාසල් ආරම්භ කිරීමට සමගාමීව සියලු පිරිවෙන්, විද්‍යායතන සහ සීල මාතා අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසා තැබූ දිවයිනේ සියලු පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතන පාසල් ආරම්භයට සමඟාමීව අදියර 04 ක් යටතේ ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පළමු අදියර යටතේ ජුනි මස 29 වන දින සිට ජුලි මස 03 වනදා දක්වා සියලු පිරිවෙන් ගුරුවරුන් සේවයට වාර්තා කළ යුතු අතර, අදාල ග්‍රාම සේවා වසමේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිර්දේශ සහිතව ආයතන පරිශ්‍රයන් තුළ විෂබීජ හරණ කටයුතු සිදුකර, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අවශ්‍ය ඉදිරි කටයුතු සැලසුම් කර ගතයුතු බවටයි උපදෙස් ලබා දී ඇත්තේ.

දෙවැනි අදියර තුළ, ශිෂ්‍ය සංඛ්‍යාව 100 ට අඩු මූලික පිරිවෙන් මහා පිරිවෙන් සහ සීල මාතා අධ්‍යාපන ආයතනයන් හි ජුලි මස 06 වන දින සිට ඉගෙනුම් කටයුතු ආරම්භ කෙරෙනවා.

ශිෂ්‍ය සංඛ්‍යාව 100 ට වඩා වැඩි මූලික පිරිවෙන් වල 04 සහ 05 වසර, මහා පිරිවෙන්වල 05 වසර, ප්‍රාචීන ප්‍රාරම්භ, ප්‍රාචීන මධ්‍යම, ප්‍රාචීන අවසාන ශ්‍රේණි සහ 13 වසර සඳහාත්, විද්‍යායතන පිරිවෙන් තුළ 11 වසර සහ 13 වසර සඳහාත් ජුලි මස 06 වෙනි දින සිට ඉගෙනුම් කටයුතු ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

තෙවැනි අදියර යටතේ ශිෂ්‍ය සංඛ්‍යාව 100 ට වැඩි මූලික පිරිවෙන් වල 1, 2, 3 වසර, මහා පිරිවෙන් වල 1, 2, 3 වසර සහ 12 ශ්‍රේණිය, විද්‍යායතන පිරිවෙන් වල 10 සහ 12 ශ්‍රේණිය ජුලි මස 20 වනදා සිට ආරම්භ කෙරෙනවා.

සිව්වැනි අදියරේ දී ශිෂ්‍ය සංඛ්‍යාව 100 ට වැඩි විද්‍යායතන පිරිවෙන් වල 6, 7, 8, 9 ශ්‍රේණි වල ජුලි මස 27 වෙනි දින සිට ඉගෙනුම් කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පිරිවෙන්, විද්‍යායතන සහ සීල මාතා අධ්‍යාපන ආයතන වෙත මීට අදාළ චක්‍රලේඛ සහ උපදෙස් මේ වන විටත් යොමුකර ඇති අතර, දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නිසියාකාරව අනුගමනය කරමින් අදියරෙන්, අදියර අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස එම අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරනවා ෴

+++++++++++++++++++++

කොරෝනා වසංගතය පැතිර යාමත් සමඟ මහජන ආරක්ෂාකාරී පියවරක් ලෙස වසා දැමුණු දිවයිනේ පවතින පුරා විද්‍යාත්මක ස්ථාන, ස්මාරක සහ පරිශ්‍ර, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කෞතුකාගාර, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ මහජන ගැලරි ඒකකය, දේශීය සංචාරකයන් සඳහා ජූලි 01 සිට යළි විවෘත කරන බව, බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍යංශය පවසනවා.

බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව හා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් එලෙස පැමිණෙන සංචාරකයන් සඳහා විශේෂ සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක් මේ වන විටත් සකස් කර ඇති බවයි ෴

***************************************

(03) පසුගිය රජය සමයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් විවිධ හිරිහැරවලට ලක්වූවා

(26.06.2020 – 14:01 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජය සමයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් විවිධ හිරිහැරවලට ලක්වූ බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා ප්‍රකාශ කළා.

වව්නියාව ප්‍රදේශයේ ඊයේ (25) පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ එවක එක්තරා චරිතයක් අලලා ප්‍රශ්න කිරීමට තමන් තුන් වතාවක් ජනාධිපති කොමිසම හමුවට කැඳවූ බවයි.

***************************************

(04) පෞද්ගලික උපකාරක පන්ති සඳහා 500 ක සිසුන් පිරිසක් සහභාගි කරවා ගැනීමට අවසර

(26.06.2020 – 13:23 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික උපකාරක පන්ති සඳහා 500 ක සිසුන් පිරිසක් සහභාගි කරවා ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවසර ලබාදී තිබෙනවා.

සමාජ දුරස්ථභාවය අනුව ආසන පනවමින් විෂබීජානුහරණ නියමයන්ට යටත්වයි මෙම අවසරය ලබාදී ඇත්තේ.

ඒ අනුව එළඹෙන 29 වනදා සඳුදා සිට පෞද්ගලික උපකාරක පන්ති විවෘත කරන බව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රධානී තිරංජය ගම්ලත් මහතා ප්‍රකාශ කළා.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ පැනවූ සීමාවන් හා ඇඳිරි නීතිය හේතුවෙන් රජයේ සේවකයන්ට සේවයට වාර්තා කිරීමට ලබාදී තිබූ සහන කාලය යළි සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ ඉදිරි සතියේදී ඒ පිළිබද නිළ දැනුම්දීමක් සිදුකරන බවයි.

කොරෝනා වෛරස් වසංගතයත් සමඟ රාජ්‍ය ආයතනවල සේවයට වාර්තා කිරීමේ වේලාව සංශෝධනය කිරීමට මීට පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කළා.

මේ අතර, කොරෝනා වෛරසය හේතුකොටගෙන ඇති වූ තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ නිලධාරීන්ට සහන සැලසීම සඳහා ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පියවර ගනු ලැබුවා.

ඒ අනුව රජයේ නිලධාරීන්ට අත්තිකාරම් යන ශීර්ෂය යටතේ ලබාදුන් ණය වෙනුවට ඔවුන්ගේ වැටුපෙන් අය විය යුතු ණය වාරික හා ණය පොලී අය කිරීම අත්හිටුවීමටයි එම අමාත්‍යාංශය කටයුතු කළේ.

කෙසේ වෙතත්, මෙම මස වැටුපේ සිට අදාළ ණය වාරික හා ණය පොලී යළි අය කරන බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් මේ වන විට චක්‍රලේඛයක් ද නිකුත් කර තිබෙනවා.

මේ අතර, කොරෝනා ආසාදිත තවත් නාවික හමුදා සාමාජිකයින් 9 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ඒ අනුව පුර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 820 දෙනෙකු බවයි.

නාවික හමුදා සාමාජිකයින් 907 කට කොරෝනා වෛරසය ආසාදනය වූ අතර ඉන් තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 97 ක්.

සමාජ දුරස්ථභාවය පිළිබඳ අවධානය අඩුවීම හේතුවෙන් ඇමරිකාව සහ යුරෝපීය රටවල යළි කොරෝනා ව්‍යාප්තිය වේගවත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව පවතින තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා සමාජ දුරස්ථභාවය සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් යළි දැනුම් දෙන තුරු අඛණ්ඩව අනුගමනය කළ යුතු බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ ෴

***************************************

(05) ඉදිකිරීම් පරිශ්‍රවල සියයට 75 ක් පමණ ඩෙංගු කීටයන්

(26.06.2020 – 12:50 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු කීටයන් වැඩි වශයෙන් බෝවන ස්ථාන අතර ඉදිකිරීම් පරිශ්‍ර කැපිපෙනෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් වසරක් තුල ඉදිකිරීම් පරිශ්‍ර ආශ්‍රිතව සිදුකර ඇති කීට විද්‍යා සමීක්ෂණ වලට අනුව තහවුරු වී ඇත්තේ ඉදිකිරීම් පරිශ්‍රවල සියයට 75 ක් පමණ ඩෙංගු කීටයන් සිටින බවයි.

මේ හේතුවෙන් එම පරිශ්‍රවල සේවයේ නිරත පුද්ගලයන්ට සහ ඒ අවට පදිංචිකරුවන්ටද ඩෙංගු රෝගය බෝවීමේ අවදානම වැඩි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.

මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන්ද ඩෙංගු රෝගය පැතිරීමේ අවදානම වැඩි බව එම ඒකකය සඳහන් කරනවා.

ඩෙංගු වසංගතය පැතිරීමේ අවදානම පාලනය සඳහා ඩෙංගු මර්දන ඒකකය, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සමඟ එක්ව අවදානම් සහිත ප්‍රදේශවල විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ මහ නගර සභාව, කොලඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර සහ නුවර යන දිස්‌ත්‍රික්ක තුල පිහිටි ඉදිකිරීම් පරිශ්‍ර පරික්ෂාකරණ බව එම ඒකකය පවසනවා.

මෙම 25 දා ආරම්භකර ඇති එම වැඩ සටහන එළබෙන ජූලි 01 දා තෙක් අදියර 2 ක් යටතේ ක්‍රියත්මක කරණ බවද එම ඒකකය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා ෴

***************************************

(06) කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18 ක් ජල සැපයුම අත්හිටුවයි

(26.06.2020 – 12:19 +0530 – hirunews.lk/sinhala)

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (27) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව හෙට රාත්‍රී 10 සිට පසුදින පස්වරු 04 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලටයි.

මීට අමතරව කොළඹ 1, 11 සහ 12 යන ප්‍රදේශ වලට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය සඳහන් කළා ෴

***************************************

(07) සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළ CID පරීක්ෂණ අවසන්, 1 හා 2 සැකකරුවන්ට වරෙන්තු

(26.06.2020 – 10:53 +0530 – hirunews.lk/sinhala)

ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන ලද විමර්ශන අවසන් වී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අද (26) අධිකරණයට දැනුම් දුන්නා.

ඊට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනවල උධෘත නීතිපති දෙපාර්තමේන්තුවට ලබාදී ඇති බවයි.

මෙම නඩුවේ පළමු හා දෙවන සැකකරුවන් වන සරත් කුමාර සහ අතුල සංජීව මදනායක අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කිරීමටද මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණයට කියා සිටියේ එම විත්තිකරුවන් දෙදෙනා වෙනත් මංකොල්ලයක් සඳහා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වන බවයි.

එහෙත්, ඒ බව තහවුරු කිරීමට විත්තිකරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු පෙනී නොසිටීම හේතුවෙනුයි මෙලෙස ඔවුන්ට වරෙන්තු නිකුත් කෙරුණේ.

නඩුවට පෙනී සිටීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අධිකරණයට පැමිණ සිටි අතර, නඩුව සැප්තැම්බර් මස 25 වැනිදා දක්වා කල් තැබීමටයි අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

මේ අතර, තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන අතුරුදන් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ඇතුළු 14 දෙනෙකුට නීතිපතිවරයා පවරා ඇති නඩුව විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබුවා.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා සහ විත්තිකරුවන්ගේ නීතිඥවරුන් කරුණු දක්වමින් කියා සිටියේ වසන්ත කරන්නාගොඩ සම්බන්ධයෙන් නඩු කටයුත්ත ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවයි.

කෙසේ වෙතත්, එම නියෝගය ලිඛිතව ලැබී නොමැති බැවින්, රෙජිස්ට්‍රාර්වරයා මගින් එම නියෝගයේ සහතික පිටපතක් කැඳවීමට විනිසුරු මඩුල්ල තීරණය කළා. මෙම නඩුව ලබන මස 24 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

+++++++++++++++++++++

***************************************

(08) පාසල් සිසුවෙකුගේ කනට පහරදී බරපතල හානි සිදුකළ විදුහල්පතිට සිර දඬුවම්

(26.06.2020 – 10:46 +0530 – hirunews.lk/sinhala)

තමා සේවය කළ පාසලේ ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙකුගේ කනට පහරදී බරපතල හානි සිදුකළ විදුහල්පතිවරයෙකුට බරපතල වැඩ සහිත වසරක (01) සිරදඬුවමක් අනුරාධපුර මහාධිකරණය නියම කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුවේ විභාගය ඊයේ (25) මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර හමුවේ කැඳවු අවස්ථාවේදියි.

එම සිරදඬුවම වසර 05 කට අත්හිටවු මහාධිකරණ විනිසුරුවරයා එහිදී නියෝග කළේ, පැමිණිලිකාර පාසල් සිසුවාට මුදලින් රුපියල් ලක්ෂයක වන්දියක්ද නොගෙවන්නේ නම් විත්තිකරුට තවත් මාස හයක (06) බරපතල වැඩ සහිත සිරදඬුවම් ලබා ලබාදීමටයි.

විත්තිකාර විදුහල්පතිවරයාගේ රැකියාවට හානියක් ඇති නොවන අයුරින් මෙම දඬුවම නියම කිරීමටද අධිකරණය ඊයේ (25) පියවර ගෙන තිබෙනවා.

මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ එප්පාවල – හූරිගස්වැව පදිංචි විදුහල්පතිවරයෙක්.

2015 වසරේ මාර්තු මස 18 වැනි දින හෝ ඊට ආසන්න දිනයක එප්පාවල – මාවතවැව විද්‍යාලයේදී මෙම දරුවාට පහරදී ඇති බවට අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුණා ෴

***************************************

(09) වෙලේ සුදා, කංජිපානි ඉම්රාන් ඇතුළු පිරිසක් ආහාර වර්ජනයේ

(26.06.2020 – 20:03 +0530 – sinhala.adaderana.lk)

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවන් පිරිසක් ආහාර ගැනීම වර්ජනය කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, ඒ අතර කංජිපානි ඉම්රාන් සහ වෙලේ සුදා ද සිටින බවය.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල කල්ලි නායකයන් මෙන්ම හෙරොයින් ජාවාරම්කරුවන් පිරිසක් ඊයේ (25) උදෑසන සිට ආහාර ගැනීම වර්ජනය කර තිබෙන බව අප වාර්තාකරු පැවසීය.

ඒ අතර කංජිපානි ඉම්රාන්, වෙලේ සුදා සහ මොහොමඩ් සියාම් ඇතුළු බන්ධනාගාර රැඳවූවන් 15 දෙනෙක් පමණ පිරිසක් සිටින බව වාර්තා වේ.

මේ අතර මැගසින් හා වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් වෙත නීති විරෝධී කටයුතුවල යෙදීම සඳහා භාවිත කිරීමට ජංගම දුරකථන, සිම්පත්, චාජර් ඇතුළු උපාංග විවිධ ක්‍රම මගින් බන්ධනාගාරය තුළට යැවීමට උත්සහ කළ සැකකරුවන් 04 දෙනෙකු බොරැල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන්ගේ නිවෙස් පරීක්ෂා කිරීමේදී එසේ සූක්ෂම ලෙස රැඳවියන් අතට පත්කිරීමට සූදානම් කර තිබූ භාණ්ඩ කිහිපයක් ද සොයාගැණුනි.

***************************************

(10) පිටකොටුවේ එළවළු ලොරිවලින් කප්පම් ගත් පිරිස අත්අඩංගුවට

(26.06.2020 – 07:38 +0530 – sinhala.adaderana.lk)

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පිටකොටුවේ කප්පම් ලබා ගත් පුද්ගලයින් පස් දෙනෙකු (05) අත්අඩංගුවට ගෙන තිබේ.

පිටකොටුව මැනින් වෙළෙඳපොළ පිටුපස බැස්ටියන් මාවතේ හා ඕල්කට් මාවත කැලෑපොල අසළ නවතා තිබු එළවළු ලොරිවලින් මෙම පිරිස කප්පම් ලබා ගෙන ඇත.

ඊයේ (25) උදෑසන 08:30 ට පමණ මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24, 36, 38, 55, 60 යන වයස්වල පසුවෙන ග්‍රෑස්ඩ්පාස් වැල්ලම්පිටිය හා කහවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද (26) දින අලුත්කඩේ අංක 02, මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි ෴

***************************************

නව ව්‍යවස්ථාව කෙටුම්පත් කරනවානම් එය කළ යුත්තේ ජනපතිතුමා මිස පාර්ලිමේන්තුව නොවේ

(26.06.2020 – 16:29 +0530 – lankaleadnews.com)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු හැට නව ලක්ෂයක ජනවරමට අනුව නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනවානම් එය කළ යුත්තේ ජනපතිතුමා මිස පාර්ලිමේන්තුව නොවන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

ඊයේ (25) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ පවසා සිටියේ බෙදුම්වාදී බලවේග පරාජය කරමින් ජාතික බලවේග විසින් ගොඩ නැගූ ජනවරම රැක ගැනීම මෙවර පාර්ලිමේන්තුවට යාමට සූදානම් වන ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රී වරුන්ගේ වගකීම මෙන්ම යුතුකම වන බවය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *