සහරාන්ගේ අනුගාමිකයින් දහසක් – තවදුරටත් අන්තවාදය පතුරුවන බවට පාස්කු කොමිසමේදී හෙලි වේ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• සහරාන්ගේ අනුගාමිකයින් දහසක් – තවදුරටත් අන්තවාදය පතුරුවන බවට පාස්කු කොමිසමේදී හෙලි වේ (විඩියෝ)

• කාත්තන්කුඩියේ තවමත් වහබ්වාදය ක්‍රියාත්මක වන බව පාස්කු කොමිසමේ දී හෙළිවෙයි (විඩියෝ)

• සහරාන්ගේ ළමා කඳවුරට සල්ලි දුන් පදනමේ බුද්ධි අංශ ලොක්කෙක්

• රිල්වාන් හෂීම් කොළඹ රෝහලට ආ හැටි හෙළිවේ (විඩියෝ)

• වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ‍ ආදායමට වුණ දේ (විඩියෝ)

• MCC ගිවිසුම ගැන රජයේ ස්ථාවරයේ වෙනසක් නෑ – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

• වාහන දෙකක් ගිනි ගත් අලව්වේ අනතුර (විඩියෝ)

• කැබිනට් මාධ්‍ය හමුව (විඩියෝ)

• ජනාධිපතිගේ වැඩ ගැන කියමින් අගමැතිගෙන් නිවේදනයක්..

• මැතිවරණ කාර්යාලවලත් අපේක්ෂක කටවුට් තහනම්

+++++++++++++++++++++++++++++++++++

සහරාන්ගේ අනුගාමිකයින් දහසක් – තවදුරටත් අන්තවාදය පතුරුවන බවට පාස්කු කොමිසමේදී හෙලි වේ

(18.06.2020 – 13:45 +0530 – hirunews.lk/sinhala)

සහරාන් හෂීම් මියගියද තවමත් කාත්තන්කුඩි ප්‍රදේශයේ ඔහුගේ අන්තවාදී කණ්ඩායම් සක්‍රීයව ක්‍රියාත්මක වෙමින් සිටින බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කෙරෙන ජනාධිපති කොමිසමේදී අනාවරණය වුණා.

ඒ, කාන්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරි ලෙස කටයුතු කරන කාන්තන්කුඩියේ සූෆි මුස්ලිම්වරුන් නියෝජනය කරන අබ්දුල් ජබාද් ආදි වලි උල්ලා භාරකාර පදනමේ ලේකම් මො‍හොමඩ් සාහිලන් මව්ලවි විසින් කොමිසම හමුවේ ඊයේ (17) සාක්ෂිදුන් අවස්ථාවේදීයි.

සහරාන් හෂීම් නායකත්වය ලබාදුන් ජාතික තවුහිත් ජමාත් සංවිධානය 2015 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී දේශපාලනික වශයෙන් සහය ලබාදුන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට බව මව්ලවිවරයා එහිදී කොමිසමට හෙළිකළා.

ජනාධිපතිවරණයෙන් පසු පැවැති මහ මැතිවරණයේදී සහරාන් ප්‍රමුඛ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සහයෝගය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අපේක්ෂකයන්ට බවයි ඔහු කියා සිටියේ.

මව්ලවිවරයා වැඩිදුරත් සදහන් කළේ, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් එම වසරේ පැවැති මහ මැතිවරණයට ඉදිරිපත්වු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ එම්.එස්.සාලි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සිබ්ලි ෆාරුක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, එක්සත් ජාතික පක්ෂයේ රූබි, යහපාලනය සදහා වූ ජාතික පෙරමුණේ අබ්දුල් රහුමාන් යන අපේක්ෂකයන් සමග ද සහරාන් ගිවිසුම්ගතව ඇති බවයි.

එම දේශපාලනඥයන් සමඟ සහරාන් හෂිම් අත්සන් කළ ගිවිසුම් කිහිපයක්ද මව්ලවිවරයා විසින් කොමිසමට ඉදිරිපත් කළ අතර එම ගිවිසුම් ගැන සහරාන් විසින් වෙනම පත්‍රිකාවක් මගින් කාත්තන්කුඩියේ ජනතාව දැනුවත් කිරීමටද පියවර ගත් බව ඔහු කොමිසම හමුවේ සදහන් කළා.

එම ගිවිසුම්වල අන්තර්ගතව ඇත්තේ සහරාන් නායකත්වය ලබාදුන් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රතිපත්ති අනුගමනය කරන බවට පෙන්වාදුන් මව්ලවිවරයා කොමිසම හමුවේ අනාවරණ කළේ, සහරාන් සහ හිස්බුල්ලා අතර ගිවිසුම 2015 වසරේ ජූලි 31 වනදා අත්සන් කර ඇති බවයි.

මැතිවරණයට ඉදිරිපත්වූ පක්ෂ රැසක අපේක්ෂකයන් කිහිපදෙනෙකු සමඟ සහරාන් ගිවිසුම්ගතවූවත් අවසානයේදී සහය ලබාදුන්නේ මුස්ලිම් කොංග්‍රසයට බවද සාක්ෂිකරු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

කොමිසම සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේ, සහරාන් හෂීම් බෝම්බ පුපුරවා ගැනීමෙන් පසු කාත්තන්කුඩි ප්‍රදේශයේ තවදුරටත් වහබ්වාදී අන්තවාදී ක්‍රියා පවතින්නේ ද යන්නයි.

තවදුරටත් වහබ් අන්තවාද තිබෙන බවත් ඔවුන් ප්‍රසිද්ධියේම එම කටයුතු කරන බවත් ‍මව්ලවිවරයා කොමිසමට පිළිතුරු දෙමින් සදහන් කළා.

මව්ලවිවරයා තවදුරටත් කොමිසමට අනාවරණ කළේ, සහරාන්ගේ අනුගාමිකයන් දහසක් පමණ එම ප්‍රදේශවල තවමත් ක්‍රියාකරමින් සිටින අතර ඔවුන් වහබ් වාදය පතුරුවමින් සිටින බවයි.

අබ්දුල් රාසික් නමැත්තා සහරාන් සමග පිහිට වූ ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානයේ කාත්තන්කුඩි ශාඛාවේ කටයුතු මේ වනවිට වෙනත් නම්වලින් තවදුරටත් සක්‍රීයව ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසුවා.

ඒ ‘දාරුල් අදර් අද්දාහ්වියා , ඉස්ලාමික් සෙන්ටර් , සෙන්ටර් ෆොර් ඉස්ලාමික් ගයිඩන්ස් හා කුබාමොස්ක්’‍ ආදී නම් වලින් බවද ඔහු කොමිසමට හෙළිකළා.

අනතුරුව කොමිසම විමසුවේ කාත්තන්කුඩි ප්‍රදේශයේ මද්‍රසා හා අරාබි පාසල්වල තවමත් වහබ් ඉගැන්වීම් සිදුකෙරෙන්නේ ද යන්නයි.

තමන් මීට පෙර සඳහන් කළ සංවිධාන හරහා ක්‍රියාත්මක වන සියලු සංවිධාන වලට අයත් මද්‍රසා හා අරාබි පාසල් මගින් වහබ් ඉගැන්වීම් සිදුවන බවද මව්ලවිවරයා කොමිසමට ප්‍රකාශ කළා.

පල්ලි අධිකව තිබුණද ඒවා ලියාපදිංචි කළ යුතු වුවද එලෙස සිදු නොවී ඇති බැවින් ඒවා අනිවාර්ය ලියාපංදිචි කළ යුතු බවයි මව්ලවිවරයා සදහන් කළේ.

සිරියාව, ඊජීප්තුව, ටියුනීසියාව, චෙච්නියාව, මලයාසියාව වැනි රටවල් වහබ් වාදය තහනම් කර ඇති බවද ඔහු කොමිසමට පෙන්වා දුන්නා.

එමෙන්ම, මෙරට තුළ ඇති මද්‍රසා පාසල්වල පාඨමාලා පරිශීලනය කර ඒවායේ වහබ් අන්තර්ගත පාඨමාලා තහනම් කළයුතු බවත් වහබ් වාදයට තුඩුදෙන විදෙස් ග්‍රන්ථද මෙරටට ගෙන්වීම තහනම් කල යුතු බවත් මව්ලවිවරයා පාස්කු ඉරිදා ජනපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් තවදුරටත් සඳහන් කළා.

+++++++++++++++++++++

කාත්තන්කුඩියේ තවමත් වහබ්වාදය ක්‍රියාත්මක වන බව පාස්කු කොමිසමේ දී හෙළිවෙයි

(18.06.2020 – 14:20 +0530 – sinhala.adaderana.lk)

සහරාන් හෂීම් මියගිය ද කාත්තන්කුඩියේ අන්තවාදී, වහබ් මතවාදය සහ එහි ක්‍රියාකාරකම් තවමත් ප්‍රබලව පවතින බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වුණි.

කාතන්කුඩිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු ඊයේ (17) කොමිසම හමුවේ සාක්ෂි දෙමින් මේ බව හෙළි කර තිබේ .

කාත්තන්කුඩිය ප්‍රදේශයේ සුෆි නොවන පල්ලි 45 ත් 50 ත් අතර ප්‍රමාණයක් පවතින බවත් ඒ අතුරින් වහබ් දර්ශනය අදහන පල්ලි 10 ක් 15 ක් පමණ ප්‍රමාණයක් පිහිටුවා ඇති බවත් ඔහු කොමිසමට පැවසීය.

අදාළ වහබ් පල්ලිවල පහළොස්දහසක (15,000) පමණ සාමාජික ප්‍රමාණයක් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්දියානු මව්ලවිවරු දේශන සඳහා කාත්තන්කුඩියට පැමිණ ඇති බවත් ඒ අතර තමිල්නාඩු තවුහීත් ජමාත් සංවිධානයේ නායකයා බව කියන ජෙයිනුලාබ්දීන් යන මවුලවිවරයාද සිට ඇති බව ඔහු කොමිසමට පැවසුවේය.

සාක්ෂිකරු පැවසුවේ අදාළ මවුලවිවරයා වහබ් වාදය ගැන දේශනා පැවැත්වු අතර සූෆි මුස්ලිම්වරුගේ පාරම්පරික වන්දනා ක්‍රමවලට එරෙහිව කථා කළ බවය.

ඔහු පැවසුවේ 2019 අප්‍රේල් 21 වැනිදා ජාතික තහවුද් ජමාත් සංවිධානය නැතිව ගියද ශ්‍රී ලංකා තවුහිද් ජමාත්, සිලෝන් තවුහිද් ජමාත් ඇතුළු සංවිධාන කාත්තන්කුඩියේ තවමත් ප්‍රසිද්ධියේ අන්තවාදි කටයුතු සිදුකරන බවය.

කාත්තන්කුඩියේ අරාබි හා මද්‍රසා පාසල් තුළ වහබ්වාදය ඉගැන්විම සිදුකරන බවත් වහබ්වාදි අන්තවාදි මුස්ලිම් පල්ලි තවමත් රට තුළ ක්‍රියාත්මක බවද සාක්ෂිකරු කොමිසමට පැවසුවේය.

ඒ අතර 2011 වසරේ සිට කාත්තන්කුඩියේ අරාබි නාම පුවරු ඉදිකිරීම නගර සභාව මගින් සිදුකරන බවත් එහි සභාපති ලෙස කටයුතු කරන වහබ්වාදි මතධාරියෙකු වන‘අස්වර්’ නැමැති පුද්ගලයා අද දක්වා එම ධුරයේ කටයුතු කරන බව සංවර්ධන නිලධාරියා ප්‍රකාශ කළේය.

එමෙන්ම කාත්තන්කුඩියේ දරුවන් 6 සහ 7 ශ්‍රේණියෙන් පසුව රජයේ පාසල් වෙත නොයන බවත් ඔවුන් මද්‍රාසා හා අරාබි පාසල්වල ඉගෙනුම ලබන බවද සාක්ෂිකරු කොමිසමට පැවසුවේය.

+++++++++++++++++++++++++++++++++++

සහරාන්ගේ ළමා කඳවුරට සල්ලි දුන් පදනමේ බුද්ධි අංශ ලොක්කෙක්

(18.06.2020 – 15:02 +0530 – lankadeepa.lk)

පාස්කු ඉරිදා ප්‍රහාරයේ බෝම්බකරුවකු සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා නියෝජනය කරන ‘සේව්ද පර්ල්’ රාජ්‍ය නොවන සංවිධානයේ ආරම්භක සාමාජිකයකු ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහීල් ඩූල් මහතා කටයුතු කරන බව ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ ඊයේ (17) සඳහන් කළේය.

‘සේව්ද පර්ල්’ නමැති රාජ්‍ය නොවන සංවිධානය ලියාපදිංචි කළ එකක් නොවන අතර එය ලියාපදිංචි කිරීමට අවශ්‍ය නොමැති බවත්, එහි ආරම්භක සාමාජිකයින් 20 දෙනෙකු පමණ සිටින බවත් ජනාධිපති නීතිඥවරයා විවෘත අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සංවිධානයේ ආරම්භක සාමාජිකයන් අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු වූ යුනූස් ලෙබ්බේ මොහොමඩ් නවවි මහතා ද සිටින බවත්, එම සංවිධානය අන්තවාදී සංවිධානයක් නොවන අතර එයින් දහම් පාසල් මෙන්ම පන්සල්වල පුණ්‍ය කටයුතු ද සිදුකර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට සඳහන් කළේය.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (17) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන් (37976) සුරංග නිලධාරියා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙහි සැකකරුවකු ලෙසට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන නීතිඥ හිජාස් ඕමාර් හිස්බුල්ලා මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා සමග නීතිඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව :

මෙම සිද්ධියට අදාළව හිජාස් ඕමාර් හිස්බුල්ලා යන අය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන මේ වන විට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබනවා. ඔහු, සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මරාගෙන මැරුණු ඉන්සාෆ් අහමඩ් නමැත්තා සමග සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වුණා. මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් විසින් පවත්වාගෙන යන සංවිධානයක් වන ‘සේව්ද පර්ල්’ නමැති සංවිධානය මගින් මුන්දලම මදුරන්කුලිය ප්‍රදේශයේ වෙනම ම ගොඩනැගිල්ලක ළමයින් පිරිසක් නේවාසිකව රඳවා ගෙන ඉගැන්වීම් කටයුතු කළ බවට අනාවරණය වුණා. ඒ බව එහි අධ්‍යාපනය හැදැරූ ළමයින් කිහිප දෙනකුගේ ප්‍රකාශ අනුව තහවුරු වුණා. එම පාසල මගින් අන්තවාදී අදහස් පැතිරවීමට ඉගැන්වීම් සිදුකරලා තිබෙන බවට අනාවරණය වුණා. එහි පරිපාලන නිලධාරි මොහොමඩ් සුල්තාන් යන අය අත්අඩංගුවට ගෙන මේ වන විට රැඳවුම් නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනවා. මෙහි තිබී ඔවුන් ළමයින්ට ඉගැන්වීම් කළ ග්‍රන්ථ 19 ක් අත්අඩංගුවට ගත්තා. මේ සඳහා ත්‍රස්ත මර්දන හා විමර්ශන ඒකකයේ නිලධාරීන්ගෙනුත් සහාය ගත්තා. ඒ අනුව අත්අඩංගුවට ගත් පොත් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළා. එහිදී ඒවා රචනා කළ මෙන්ම ඒවා ඉගැන්වීම් කළ ගුරුවරයා වන මොහොමඩ් ජසීම් මොහොමඩ් අහමඩ් නමැත්තා අත්අඩංගුවට ගෙන මේ වන විට ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටිනවා. එසේම මොහු රචනා කළ ප්‍රශ්න ගත ග්‍රන්ථය වන්නේ ‘නව රසම්’ නමැති ග්‍රන්ථයයි. එම ග්‍රන්ථය පිළිබඳව විමර්ශනයක් කළා. එහිදී සැකකටයුතු තොරතුරු රාශියක් අනාවරණය වුණා. මෙම ග්‍රන්ථයේ අන්තවාදී අදහස් සහිත වූ බවට සොයා ගත්තා. මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කළ යුතු වෙනවා. මේ පොත් ඉගෙන ගත් ළමයින්ගේ මනසට කුමන ආකාරයේ බලපෑමක් සිදුවෙලා ද කියලා සොයා බලන්න වෙනවා. ඒ අනුව මෙම ග්‍රන්ථය සහ එහි සිංහල මෙන්ම ඉංග්‍රීසි පරිවර්තනය සහිත පොත් තුනක් සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් කැඳවීම සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂකවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සිටිනවා. මේ ග්‍රන්ථ හැදෑරීමෙන් දරුවන්ගේ මනසට සිදුවූයේ කුමක්ද? දරුවන් සිය දිවි නසාගැනීමට පෙළඹීම් සිදුවී ඇත් ද යන්න සම්බන්ධයෙන් ද ළමා හා යෞවන මානසික වෛද්‍ය විශ්ලේෂකවරයකු ලවා මෙම වාර්තාව සකසා ගත යුතු වෙනවා. එසේම, මෙම සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරුණු බොම්බකරු වූ ඉබ්‍රහිම් මොහොමඩ් ඉන්සාෆ් අහමඩ් යන අයට අයත් ලැප්ටොප් පරිගණක යන්ත්‍රය සහ සී සී ටී වී පද්ධතියට අයත් ඩී වී ආර් යන්ත්‍රය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට ද ඉල්ලීමක් කරනවා. එසේම, මෙම සිද්ධියට අදාළව මෙතෙක් විමර්ශන අවසන් කර නොමැති බව ද සඳහන් කරමි.

අධිකරණය :

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන එහි 9 වන වගන්තිය යටතේ රැඳවුම් නියෝග මත රඳවා තබා සිටින මෙම හිජාස් හිස්බුල්ලා යන අය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ ඔහු සැකකරුවකු ලෙසයි. එහෙත් ඔහු සැකකරුවකු ලෙස අධිකරණයට ඉදිරිපත් කර නැත. එබැවින් ඔහු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවසර දෙමි.

මේ වන විට රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබන නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා :

මගේ සේවාදායකයා නීතිඥවරයකු වශයෙන් වසර 15 ක් තිස්සේ කටයුතු කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ප්‍රකාරව නීතිය සර්ව සාධාරණ විය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් කඩ කළ නොහැකියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු මේ රටේ පරම නීතියයි. මගේ සේවාදායකයාට අද වෙනකල් කිසිම චෝදනාවක් පැහැදිලිව ඉදිරිපත් කරලා නැහැ. වරින් වර මේ අධිකරණයට ඔහුට විරුද්ධව වාර්තා ගෙනෙනවා. ඒ වාර්තාවල තිබෙන කිසිම කරුණක අංශු මාත්‍රයක සාක්ෂියක් නැහැ.

ජනාධිපතිවරයා අත්සන් කරපු රැඳවුම් නියෝගයේ සඳහන් වන්නේ මගේ සේවාදායකයා මොහොමඩ් ඉබ්‍රහීම් අන්සාෆ් අහමඩ් නමැති ස්වයංඝාතකයාට ආධාර උපකාර කිරීම කියලා. බෝම්බය බැඳගෙන ගියානම්, බෝම්බකරු ඇරලුවා නම් කමක් නැහැ.

එහෙම මුකුත් නැහැ. ඒත් මේ අයත් එක්ක අපේ සම්බන්ධයක් තියෙනවා. ඉකුත් 2014-2015 කාලයේ දී ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් අපිට නඩු දෙකක් එවනවා. ඉඩම් දෙකක් සම්බන්ධ සිවිල් නඩු දෙකක්. ඒ නඩු දෙක මොහොමඩ් යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහීම් නමැත්තා ගේ නඩු දෙකක්. අපි දන්නේ නෑ අවුරුදු පහකට පස්සේ මේ අය බෝම්බ පුපුරවයි කියලා. සී අයි ඩී එක මගේ සේවාදායකයා අත්අඩංගුවට ගන්න ආපු වෙලාවේ මේ නඩු ගොනු දෙකම අරගෙන ගිහිල්ලා. දැන් බෝම්බ පැත්තකට දාලා පුත්තලම මද්‍රසා පාසල ගැන කියනවා. හිජාස් ගිහිල්ලා ඒ පාසලේ දේශන පවත්වලා තිබෙනවා කියලා ළමයින් වගයක් කියනවා. මේක අසත්‍යයක්. බෝම්බකරුවන් වෙච්චි පුතාලා දෙන්නටයි තාත්තටයි මගේ සේවාදායකයා කතා කරලා තිබෙනවා. ඒ ඉඩම් නඩු කටයුත්තට. ඔවුන් විශිෂ්ට ව්‍යාපාරිකයෝ. ‘සේව්ද පර්ල්’ කියන සංවිධානය රෙජිස්ටර් කරලා නැහැ. ඒක කරන්නත් ඕන නැහැ. ඒක සුබසාධන සංවිධානයක්. එහි ආරම්භක සාමාජිකයින් 20 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් මගේ සේවාදායකයා. රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහීල් ඩූල් නමැත්තා වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු වූ යුනුස් ලෙබ්බේ මොහොමඩ් නවාවි යන අයත් එහි ආරම්භක සාමාජිකයින් වශයෙන් කටයුතු කරනවා. මේ සංවිධානය පන්සල්වලට මෙන්ම දහම්පාසල්වලට ද යම් යම් සම්පාදනයක් කරලා තිබෙනවා. ඉකුත් 2019 ජුලි මස 20 වැනිදා ස්වාමින් වහන්සේ නමක් මේ සම්බන්ධයෙන් ස්තූති කරලා අපිට ලිපි එවලා තිබෙනවා. අපි අන්තවාදී සංවිධානයක් කියලා කියන්නේ කොහොමද? මගේ සේවාදායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුල්ම ප්‍රකාශය ලබා දුන්නේ ඉකුත් 2019 මැයි 16 වැනිදා. ඔහු අත්අඩංගුවට ගන්නේ වසරකට පස්සේ එනම් 2020 අප්‍රේල් මස 14 වැනිදා. අවුරුද්දක් ම සී අයි ඩී එක නිදාගෙන හිටියාද? ‘ප්‍රබල පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තේ නැහැ’ කියලා මාධ්‍යවල එක එක අය කිව්වා. ඒ නිසා මෙන්න අත්අඩංගුවට ගත්ත එක්කෙනා. කරත්තේ පිටුපස අශ්වයා බඳිනවා වගේ අත්අඩංගුවට අරගෙන තමයි සාක්ෂි සොයන්නේ මේ පොලීසිය. ඔහුගේ බැංකු ගිණුම් පරීක්ෂා කළා. දුරකතන වාර්තා ගත්තා. ‘සේව්ද පර්ල්’ කියන සංවිධානයෙන් ගණිකාවන්ගේ කුඩුකාරයින්ගේ ළමයින් අරගෙන ගිහිල්ලා මද්‍රසා පාසලට යවලා තිබෙන්නේ. ඒ ළමයි අවි පුහුණුවට යොමු කළා නම් බෝම්බ ප්‍රහාරයට මගේ සැකකරු ඇතුළත් කරන එක වැරදියි. මගේ සේවාදායකයා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සිටිනවා.

අධිකරණය :

1947 අංක 44 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව එවැනි රැඳවුම් නියෝග මත සිටින තැනැත්තකු අධිකරණයට ඉදිරිපත් කිරීමට ප්‍රතිපාදන නැහැ. 1(7) වගන්තිය ප්‍රකාරව එසේ අධිකරණයට ඉදිරිපත් කරන්නේ නම් එම තැනැත්තා රිමාන්ඩ් භාරයට පත්කරනවා විනා වෙන කිසිම නියෝගයක් කරන්න බැහැ. සැකකරුගේ නීතිඥවරයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් කළ යුතුයි.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා තිබූ ඉල්ලීම්වලට නියෝග නිකුත් කළ අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් කරන නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධ නියෝගය සඳහා ලබන ජුලි 01 වැනිදා තෙක් නඩුව කල් තැබීය ෴

(නිමන්ති රණසිංහ)

+++++++++++++++++++++++++++++++++++

රිල්වාන් හෂීම් කොළඹ රෝහලට ආ හැටි හෙළිවේ

(17.06.2020 – 20:18 +0530 – sinhala.adaderana.lk)

සහරාන් හෂීම්ගේ සහෝදරයා වන රිල්වාන් හෂීම් කාත්තන්කුඩියේ සිදුවු පිපිරුමකින් තුවාල ලබා සිටියදී ඔහුව කානත්කුඩියේ සිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට හා පිපිරුම් අවස්ථාවේදී රිල්වාන්ට ප්‍රථමාධාර ලබාදීමට උපදෙස් දී ඇත්තේ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ විකලාංග වෛද්‍යවරයෙක් බව හෙළි විය.

පසුව ඔහු ඊයේ (16) දිනයේ පාස්කු කොමිසම හමුවට කැඳවනු ලැබුවේය.

එහිදී සාක්ෂි දීම අරඹමින් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ 2018 අගෝස්තු 27 වැනි දින අළුයම 01:38 ට පමණ තම පාසල් කාලයේ මිතුරෙකු වු “මොහොමඩ් අල්ලියාර් රි” නමැත්තාගෙන් සෞදි අරාබියේ සිට ගත් දුරකථන ඇමතුමක් ලැබුණු බවයි.

තමාගේ මිතුරෙක් ගෑස් සිටින්ඩරයක් පිපිරීමකින් තුවාල ලබා ඇති බව පවසමින් ඔහු එවන් අවස්ථාවක ලබාදිය හැකි වෛද්‍ය ප්‍රථමාධාර ගැන විමසා සිටි බවත් මිතුරා තමාට දේශිය දුරකථන අංකයක් මඟින් වට්ස්ඇප් ඔස්සේ අදාළ තුවාලකරුවන්ගේ ඡායාරූප එවූ බවත් ඔහු සඳහන් කළේය.

ඡායාරූපයට අනුව අදාළ පුද්ගලයන්ගේ තුවාල බරපතළ බැවින් තුවාලකරුව මඩකලපුව, මහනුවර හෝ කොළඹ වැනි ජාතික රෝහලකට ඇතුළත් කරන ලෙස තමා උපදෙස් දුන්නේ යැයි සාක්ෂිකරු පැවසීය.

එම උපදෙස් මත රෝහල්ගත කෙරුණේ සහරාන්ගේ මල්ලි බව තමා ප්‍රහාරයෙන් පසුව දැනගත් බව එහිදී ඔහු ප්‍රකාශ කළේය.

එසේම රිලා නැමැත්තා තමාට සහරාන්ව හඳුන්වාදී තිබුණේ මව්ලවිවරයෙකු ලෙස බවද සාක්ෂිකරු පැවසීය.

+++++++++++++++++++++++++++++++++++

වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ‍ ආදායමට වුණ දේ

(17.06.2020 – 09:26 +0530 – sinhala.adaderana.lk)

ආන්දෝලනයට තුඩු දුන් වැල්ලම්පිටියේ තඹ කර්මාන්තශාලාවේ‍ ආදායම් පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළ සහරාන් ඇතුළු පිරිසගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා සෘජුවම ආයෝජනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව අද පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව අනාවරණ කළේය.

තහනම් කරනු ලැබු විදේශීය සංවිධාන හරහා ද ත්‍රස්තවාදී කටයුතු සඳහා ඉතා විශාල මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බවට අනාවරණය කරගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී පැවසීය.

***************************************

MCC ගිවිසුම ගැන රජයේ ස්ථාවරයේ වෙනසක් නෑ – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

(18.06.2020 – 16:31 +0530 – hirunews.lk/sinhala)

වත්මන් රජය MCC ගිවිසුම අත්සන් කිරීම සඳහා සූදානම්ව සිටින බවට පැතිරෙන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (18) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ රටේ නීතියට පරිබාහිර වන කිසිදු ගිවිසුමකට හෝ එකඟතාවකට පැමිණීමට වත්මන් රජය කටයුතු නොකරන බවය.

ගිවිසුම සම්බන්ධයෙන් රජයේ පෙර පැවති ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය ෴

***************************************

වාහන දෙකක් ගිනි ගත් අලව්වේ අනතුර

(18.06.2020 – 12:57 +0530 – sinhala.adaderana.lk)

අලව්වේ දී ටිපර් රථයක් හා යතුරු පැදියක් අනතුරට ලක්වීමෙන් පසුව සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී තිබේ.

ඊයේ (17) රාත්‍රී 08:30 ට පමණ මෙම අනතුර සිදුව ඇත.

අලව්ව සිට කුරුණෑගල දෙසට ධාවනය වු යතුරුපැදිය තවත් මෝටර් රථයක ගැටී පසුව අලව්ව දෙසට ධාවනය වෙමින් තිබු ටිපර් රථයේ ගැටී තිබේ.

ටිපර් රථය යටට විසි වී තිබු යතුරුපැදිය මුලින්ම ගිනි ගෙන තිබුණි. පසුව ටිපර් රථය ගිනි ගෙන ඇත.

මෙම අනතුරින් තුවාල ලැබු යතුරුපැදිකරු හා ටිපර් රථ රියදුරු අලව්ව හා කුරුණෑගල රෝහල්වලට ඇතුළත් කර තිබේ.

යතුරුපැදිකරු අලව්ව මහරව්චිමුල්ල ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණයෙකි.

අලව්ව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මේ අතර, මොනරාගල පොලිස් බල ප්‍රදේශයේ තෙනගල්ලන්ද ගම්මානයේ නිවසක ඉස්තෝප්පුවේ නවතා තිබූ තිරෝද රථයක් සහ යතුරු පැදියක් පෙරේදා (16) රාත්‍රි කාලයේ ගිනිගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් මොණරාගල පොලීසියට ලද පැමිණිල්ලක් අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇත.

කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් ගිනි තැබුවා ද එසේ නොමැති නම් වෙනත් අකාරයකින් ගිනි ගත්තේ ද යන්න පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂණයක් ආරම්භකර ඇති බව මොනරාගල පොලීසිය සඳහන් කරයි.

***************************************

කැබිනට් මාධ්‍ය හමුව

(18.06.2020 – 10:12 +0530 – sinhala.adaderana.lk)

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව මේ වනවිට ආරම්භ කර තිබේ.

ඒ කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා සහ සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙනි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත් වෙන මෙම මාධ්‍ය හමුවෙහි සජීව දර්ශන පහතින් දැක්වෙයි :

***************************************

ජනාධිපතිගේ වැඩ ගැන කියමින් අගමැතිගෙන් නිවේදනයක්..

(18.06.2020 – 16:45 +0530 – lankacnews.com)

(අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා 2020 ජුනි 18 වෙනි බ්‍රහස්පතින්දා කළ කතාවේ පිටපත.)

අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. සියලු ආගම්වල පූජකතුමනි, ගරු ඇමතිවරුනි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, මිත්‍රවරුනි,

2019 නොවැම්බර් 16 ජනාධිපතිවරණයෙන් පස්සෙ අපිට අලුත් පාර්ලිමේන්තුවක් පත්කරගන්න වෙන්නේ 2020 අගෝස්තු මාසයේ. 19 වෙනි සංශෝධනයෙන් අවුරුදු හතර හමාරක් යනකන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වලක්වලා තියෙන නිසාත්, කොවිඩ් –19 වසංගතය නිසාත්, සම්පූර්ණ මාස නවයක් තිස්සේ මුළු රටම සංක්‍රාන්ති සමයක හිරවෙලා. මෙහෙම දෙයක් අපේ දේශපාලන ඉතිහාසයේ කවදාවත් සිද්ධ වෙලා නෑ. පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ ඡන්දදායකයන් සිදු කළ වෙනස සම්පූර්ණ කරන්න මේ මහමැතිවරණය අත්‍යවශයයි.

මේ මහ මැතිවරණය අපි බොහොම අමාරුවෙන් ලබාගත්ත ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. යහපාලන දේශපාලන පක්‍ෂ පළාත් පාලන ආයතන අවුරුදු තුනකින් ප්‍රමාද කළා වගේ, පළාත් සභා ඡන්ද පවත්වන්නම බැරි විදියට වැඩ සැලැස්සුවා වගේ, උසාවියට ගිහිල්ලා මහමැතිවරණයත් කල්දාගන්න හැදුවට ශ්‍රේෂ්ඨාධිකරණය ඒකට ඉඩ දුන්නෙ නෑ. ඒ හින්ද දැන් තමන් කැමති ආණ්ඩුවක් පත්කර ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාවට ලැබිලා තියෙනවා.

ජනාධිපතිවරණයෙන් පස්සේ ගතවුණු මේ සංක්‍රාන්ති සමය තුළ එක දෙයක් ඔප්පු වුණා, ඒ තමයි, 2006-2014 කාලයේ මගේ ආණ්ඩුව වගේම, ගෝඨාභය ජනාධිපතිතුමා යටතේ පවතින මේ ආණ්ඩුවටත් ජයගත නොහැකි යැයි සැලකෙන අභියෝග ජය ගන්න පුලුවන් බව. කොවිඩ්-19 වසංගතය පාලනය කරපු විදියෙන් ඒක ඔප්පු වුණා. අපි වගේම සාර්ථකව මේ වසංගතය පාලනය කරපු වියට්නාමය, හොංකොං, තායිවානය වගේ ආසියානු රටවල් තියෙනවා. මේ රෝගයෙන් වියට්නාමයේ කවුරුවත් මිය ගිහිල්ලා නෑ. හොංකොං වල මිය ගිහිල්ලා තියෙන්නෙ හතර දෙනයි, තායිවානයේ හත්දෙනයි, අපේ රටේ එකොලොස් දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. නවසීලන්තයෙ කොවිඩ් මරණ 22 ක් සිදුවෙලා තියෙනවා.

නමුත්, වියට්නාමය, හොංකොං, තායිවානය වගේ රටවල් 2003 ඇතිවුණු සාර්ස් වසංගතයෙන් බැටකාලා ඉගෙනගත්ත පාඩම් වලින් තමයි, කොවිඩ් –19 පාලනය කරන හැටි ඉගෙන ගත්තෙ. සාර්ස්, මර්ස්, වගේ වෛරසයෙන් ඇතිවෙන ස්වසන රෝග වසංගත ගැන ලංකාවට ලොකු අත්දැකීමක් නැතුව තමයි මේ මට්ටමට කොවිඩ්–19 වසංගතය පාලනය කරල තියෙන්නේ. අපේ සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව ඇතුළු කොවිඩ්–19 මර්ධන ව්‍යාපාරයේ හිටපු හැමෝටම ඉහළම ලකුණු දෙන්න ඕන මේ වැඩේට. මේ හැකියාවන් මල්ඵල ගන්වන්න පුළුවන් වුනේ ජනාධිපතිවරයා ලබාදීපු නිවැරදි දේශපාලන නායකත්වය නිසයි.

ජනාධිපතිවරණය හා මහමැතිවරණය අතර සංක්‍රාන්ති කාලයේදීත්, ලෝක අවධානයට ලක්වෙන මේ වගේ සුවිශේෂ ජයග්‍රහණයක් ලබාගෙන තමයි අපි මේ ඡන්දයට යන්නේ. කොවිඩ්–19 වසංගතය ලංකාවට එනකොට යහපාලකයෝ බලයේ හිටියනම්, රට අද තියෙන්නේ කොහෙද කියලා ජනතාව දන්නවා.

ජනාධිපතිවරණය ජය ගත්තට පස්සේ, ආණ්ඩුවක් හැටියට අපිට ගත කරන්න වුණේ ඉතාමත්ම දුෂ්කර කාලයක්. ජනාධිපතිතුමා ලැබූ ජනවරමට පටහැනිව 2020 මාර්තු මුල වෙනකම් පාර්ලිමේන්තුවේ කෘතීම බහුතරයක් පවත්වාගෙන යන්න 19 වැනි සංශෝධනය නිසා පරාජිත පාර්ශවයට ඉඩ ලැබුණා. ඒ බහුතරය පාවිච්චි කරලා ඒගොල්ලො පුළුවන් හැම අවස්ථාවකදීම අලුත් ආණ්ඩුවේ වැඩ කඩාකප්පල් කළා. යහපාලන ආණ්ඩුවේම පොහොර, බෙහෙත් සැපයුම්කරුවන්ට මුදල් ගෙවන්න අපි අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ගෙනාවහම ඒක සම්මත කරන්න ඒගොල්ලො ඉඩ දුන්නේ නෑ. සැපයුම්කරුවන්ට මුදල් නොගෙවා හිටියම ඉබේම පොහොර, බෙහෙත් හිඟයක් රට තුළ ඇති වෙනවා. පරාජිත යහපාලකයෝ අලුතෙන් පත්වුණු ආණ්ඩුව ඉක්මණින්ම බිම දමාගන්න හැදුවේ ඒ විදියට.

2015 දී යහපාලන ආණ්ඩුව බිහි වුණේ තනිකරම දෙස් විදෙස් කුමන්ත්‍රණ තුළින්. 2019 ජනාධිපතිවරණයෙන් ඒගොල්ලො පැරදුනයි කියලා ඒක නම් නැවතුනේ නැහැ.

අලුත් ජනාධිපතිතුමා ධූරයේ දිවුරුම් දීලා ගතවුනු පළමු දවස් දෙක තුන ඇතුළත අපි දැක්කා අමුතු අමුතු මාධ්‍ය වාර්තා පළ වෙනවා. එයින් එකක කියවුනේ ලකුණු කරපු පදික මාරුවකින් මිස, අවිධිමත් විදිහට පාර හරස් කරන පදිකයින්ට පොලිසිය දඩ ගහන බවයි. තවත් පුවතකින් කිව්වා කොළඹ සියලුම යාචකයන් අත්අඩංගුවට අරගෙන කඳවුරු වලට දමනව, කෝච්චි ඇතුලේ හිඟා කන අය අත්අඩංගුවට ගන්නවයි කියලා. මේ ඔක්කොම බොරු ප්‍රචාර. ඒ වෙනකොට මේ වගේ ප්‍රමු‍ඛතාවයෙන් අඩු දේවල් ගැන අවධානය යොමු කරන්න අලුත් පාලන අධිකාරියට වෙලාවක් තිබුණෙත් නෑ. මේවායින් කුමන්ත්‍රණකාරයෝ බලාපොරොත්තු වුණේ ජනතාවට ‘සීරුවෙන්’ ඉන්න වෙන දැඩි පාලකයෙක් බලයට ඇවිල්ල තියෙන බව බොහොම සූක්ෂම විදියට හීන් නූල් ප්‍රචාර තුළින්, ජනතාවගේ සිත් තුළට දාන්න.

අලුත් ජනාධිපතිතුමා බලයට පත්වෙලා දවස් ගණනක් ඇතුළත බටහිර තානාපති කාර්යාලයක සේවිකාවක් පැහැරගෙන ගිහිල්ලා හිරිහැර කරලා ප්‍රශ්න කරයි කියලා නාටකයක් රඟ දැක්වුණා. ඒ ගැන ඉස්සෙල්ලම පුවත් පළ වුණේ පිටරට. ලංකාවේ මිනිස්සු දැනගත්තේ පස්සෙ. මේ ඔක්කොම කෙරුණේ අලුත් පාලනය ගැන එක්තරා ප්‍රතිරූපයක් ලංකාවේ ජනතාව අතරෙත්, ලෝක ප්‍රජාව අතරෙත් ගොඩනගන්න. නමුත් මේ සියලුම කුමන්ත්‍රණ අලුත් ජනාධිපතිවරයා බොහොම දක්ෂ විදියට ව්‍යර්ත කෙරුවා. තානාපති කාර්යාල සේවිකාව පැහැර ගැනීම බොරුවක් බව විමර්ශන තුළින් ජනතාවටත්, ලෝකයටත් පෙන්නලා දුන්නා.

හිටපු හමුදා නිලධාරියෙකු යටතේ දරදඬු පාලනයක් පටන් අරගෙනයි කියලා කරන්න හදපු ප්‍රචාරය බොරු කරමින් ජනාධිපති කාර්යාලය වට කරන්න එන සියලුම උද්ඝෝෂණකරුවන්ට ජනාධිපතිතුමා නිදහසේ එන්න දුන්නා. සියලු දෙනාටම සාකච්ඡා දුන්නා. සමහර අයට කෑම බීම සංග්‍රහත් ලැබුණා. මොන උද්ඝෝෂණයක්වත් කඳුලු ගෑස් ගහලා, ජල ප්‍රහාර දීලා නවත්තන්න හැදුවෙ නෑ. දරදඬු පාලනයක් ඇවිල්ලයි කියලා අරගෙන යන්න හදපු හීන් නූල් ප්‍රචාරය ඒකෙන්ම වාෂ්ප වෙලා ගියා.

කොවිඩ්-19 උවදුර පාලනය කරලා සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ කරපු ගමන්ම, එක පොඩි දේශපාලන කණ්ඩායමක් ඇමරිකාවේ සිද්ධියක් මුල්කරගෙන උසාවියේ වාරණ නියෝගයකුත් නොතකා ඇමරිකානු තානාපති කාර්යාලය ඉස්සරහ උද්ඝෝෂණයක් කරන්න හැදුවාම පොලිසිය ඒගොල්ලන්ව කුදලාගෙන ගිහිල්ලා උසාවියට ඉදිරිපත් කළා. මේ තනි සිද්දිය මුල්කරගෙන අර 2015 ජනාධිපතිවරණයේදී බොරු ප්‍රචාර කරපු පිරිස් ඔක්කොම, ආයෙමත් රොද බැඳගෙන රාජ්‍ය මර්ධනය ගැන ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන්න පටන් ගත්තා.

2014 දී පහරකෑමකට ලක් වු‍ණයි කියලා ලෙඩ ඇඳේ ඉන්න බොරු වීඩියෝ දර්ශන අධ්‍යක්ෂණය කරලා අතටම අහුවුණු නිලියොත්, රාජපක්ෂවරුන් පාලනය කරන රටක ඉන්නවට වඩා, තමන් ඉපදුන ගමන්ම කාණුවට විසි කළේ නැත්තේ ඇයි කියලා අහපු කොන්ඩ කාරයොත් ඔක්කොම අවුරුදු පහකට පස්සෙ ආයෙමත් කලඑළි බැහැලා ඉන්නවා අපි දැක්කා.

නමුත් මේ අය 2015 ඇති කළ යහපාලන ආණ්ඩුව 2019 වෙනකම්ම කළේ උද්ඝෝෂණකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර හා බැටන් පොලු ප්‍රහාර දෙන එක. ඒ කාලේ ජනාධිපති ලේකම් කාර්යාලය ගාව ලෝටස් පාර හැමදාම යුද පිටියක් වගේ. යහපාලන ආණ්ඩුව ලෝටස් පාරේ ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයකට දීපු බැටන් පොලු ප්‍රහාරයක් නිසා ආබාධිත රණවිරුවකුගේ ඇහැකුත් නැති වුන හැටි ඔබට මතක ඇති. පහුගියදා පොලීසියෙන් කුඳලාගෙන උසාවියට අරන්ගියේ, යහපාලන ආණ්ඩුව කාලේත් ලෝටස් පාරේ නිතරම ජල ප්‍රහාර, කදුළු ගෑස්, බැටන් පොදු ප්‍රහාර කාපු පිරිසක්මයි. යහපාලන අවුරුදු පහේදී උද්ඝෝෂණකරුවන්ට සලකපු විදිය ගැන වචනයක්වත් කියපු නැති අය, මේ ඇතිවුණු තනි, සුළු සිද්ධිය උලුප්පලා දක්වනවා.

ඒ ඇතිවුණු සිද්ධිය ගැන ආණ්ඩුවක් හැටියට අපේ පැහැදීමක් නෑ. අපි ඒක එළිපිට ප්‍රකාශ කරලා තියෙනවා. ඒකට මුල් වුණු කට්ටිය වෘත්තීමය උද්ඝෝෂණකාරයෝ. ඉතින් ඒගොල්ලන් හොඳට දන්නවා පොලීසිය ප්‍රකෝප කරන හැටි. උද්ඝෝෂණය තහනම් කරලා උසාවිය නිකුත් කරපු නියෝගය පොලිසිය කියෙවුවට පස්සේත් කියනවා, එහෙම දෙයක් අපිට පෙන්නුවෙ නෑ කියලා. ඉතින් පොලීසියත් ඔය උපක්‍රමවලට අහුවෙන්න හොඳ නෑ. මේගොල්ලන්ට ඕනේ පොලීසියත් එක්ක මහ පාරේ පොරබදින දර්ශන. එතකොට තමයි ඒගොල්ලන්ගෙ ජීවිකාව තහවුරු වෙන්නේ.

ඒ ඇතිවුණු සුළු සිද්ධිය හැරුණාම මර්ධනයක් කියලා මේගොල්ලන්ට පෙන්වන්න වෙන මොනවත් නෑ. කොළඹ උද්ඝෝෂණයට එක විදියටත්, තොන්ඩමන් මහතාගේ මරණයට ආපු පිරිස්වලට තව විදියකටත් සැලකුවයි කියලා ඒගොල්ලො චෝදනා කරනවා. ආරුමුගම් තොන්ඩමන් කියන්නේ උඩරට දෙමළ ජනතාවගේ අසහාය නායකයා. එවැන්නකුගේ මරණයෙන් ශෝකයට පත් වෙලා හිටපු ජනතාව එක්රැස් වීම පාලනය කරන්න අපි නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය ප්‍රකාශ කෙරුවාම ඒ ජනතාව ඒක පිළිපැද්දා. උසාවි නියෝග වලටත් පටහැනිව ලංකාවට කිසිම අදාලත්වයක් නැති පිටරට සිද්ධියක් මුල් කරගෙන පවත්වන උද්ඝෝෂණ කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්.

මේ ඡන්ද ව්‍යාපාරයේදී, යහපාලකයන් කියන්නේ මොනවද කියලා ජනතාව අවධානයෙන් ඉන්න ඕන. කොවිඩ්–19 පැතිරීම වලක්වන්න ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් රැකියාවට යන්න බැරි අයට අපි රුපියල් 5,000 ක දීමනාවක් දුන්නාම, ඒක මදි, එක පවුලකට රුපියල් 65,000 ක් දෙන්න කියලා යහපාලන ජනාධිපතිවරණ අපේක්ෂකයා කිව්වා. කවුරුහරි ඔහුට මෝඩ කතා කියන්න එපා කියල කිව්වට පස්සේ, ඒ ගාන රුපියල් 20,000 ට බැස්සුවා. දැන් මේ හැම පවුලකටම රුපියල් 65,000 ක් දෙන්න කියලා අපිට උපදෙස් දීපු අය බලයේ ඉන්නකොට කළේ මොනවද?

ඔබ කාටත් මතක ඇති, කොවිඩ්-19 වසංගතය එන්න කලින්, යහපාලන ආණ්ඩුව කාලයේ වගේම, ජනාධිපති ලේකම් කාර්යාලය ගාවට උද්ඝෝෂණකාරයෝ දිනපතාම වගේ ආවා. එයින් වැඩි පිරිසක් ආවේ යහපාලන ආණ්ඩුවෙන් ලැබුණු පත්වීම් ස්ථිර කරගන්න. ඒ අය මහ හඬින් බැන්නේ අපිට නොවෙයි, කලින් ආණ්ඩුවට. ඒ තරුණ පිරිස් කිව්වා ඒගොල්ලන්ට බොරු පත්වීම් දීපු යහපාලන ඇමතිවරයාට ආයෙමත් හම්බන්තොටට එන්න එපා කියලා. ඒ කිව්වා වගේම ඒ යහපාලන ඇමතිතුමා දැන් හම්බන්තොටින් පැනලා ගිහිල්ලා කොළඹින් මේ පාර තරග කරනවා.

ඉදිරියට එන මහ මැතිවරණය, අත්දුටු හැකියාවට මුල් තැන දීමටත්, යහපාලන බොරුව හා වංචාව පිටු දැකීමටත් සියලුම ඡන්ද දායකයන්ට මහඟු අවස්ථාවක් වන බව මගේ විශ්වාසයයි. කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමෙන් අපේ රට ලබාගත් ප්‍රගතිය රැක ගන්න සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, පරිසරයත් ආරක්‍ෂා කරගනිමින්, ආදර්ශමත් ලෙස මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන මෙන් මම සියලු අපේක්‍ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ස්තූතියි.
ඔබ සැමට තෙරුවන් සරණයි.
දෙවි පිහිටයි.

***************************************

මැතිවරණ කාර්යාලවලත් අපේක්ෂක කටවුට් තහනම්

(18.06.2020 – 15:02 +0530 – lankadeepa.lk)

මැතිවරණ කාර්යාලවල අපේක්ෂකයන්ගේ කටවුට් ප්‍රදර්ශනය කිරීමට මෙවර ඉඩ නොදෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට හා නියෝජිතයන්ට ඊයේ (17) දැනුම් දී ඇත.

මහින්ද දේශප්‍රිය මහතා

මැතිවරණ කාර්යාලයක කටවුට් ප්‍රදර්ශනය කළ හැක්කේ රැස්වීම් පැවැත්වෙන අවස්ථාවලදී පමණකැයිද සභාපතිවරයා පවසා ඇත.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ දැනුම් දීම කර ඇත්තේ මැතිවරණයට තරග වදින දේශපාලන පක්ෂවල ලේකම්වරුන් හා නියෝජිතයන් සමග මැතිවරණ කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (17) පැවැති සාකචඡාවකදීය.

මේ තීරණයට දේශපාලන පක්ෂ නියෝජිතයන් බොහෝ දෙනකු එහිදී දැඩි විරුද්ධත්වය පළ කර ඇතැයිද දැනගන්නට ඇත.

මැතිවරණ නීතිය අනුව එවැනි කටයුතුවලට ඉඩ දිය නොහැකි යැයිද මහින්ද දේශප්‍රිය මහතා ඒ අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත.

මේ සාකච්ඡාවට සෞඛ්‍ය අංශ ප්‍රධානීන් කිහිප දෙනකුද සහභාගිවී සිටි අතර මැතිවරණ කටයුතුවලදි අනුගමනය කළ යුතු සෞඛ්‍යමය ක්‍රමවේද පිළිබඳව ඔවුන් දේශපාලන පක්ෂ නියෝජිතයන් දැනුම්වත් කර ඇතැයිද දැන ගන්නට ඇත.

මේ අතර මැතිවරණ කාර්යාලවල සෞඛ්‍ය ක්‍රමවේදවලට යටත්ව ප්‍රචාරක රැස්වීම් පැවැත්වීමට ඉඩ ලබාදෙන බව මැතිවරණ කොමිසම පවසයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *