පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසමේදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගෙන් තවත් හෙළිදරව්වක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසමේදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගෙන් තවත් හෙළිදරව්වක් (විඩියෝ)

• බෝම්බ තුවාලකරුවකු නිකම්ම රෝහලකට ඇතුළු වූයේ කෙසේද?

• අර්ජුන මහේන්ද්‍රන්ගේ අලුත් නම, නීතිපති අධිකරණයට දන්වයි (විඩියෝ)

• දිවා සුරැකුම් මධ්‍යස්ථාන, ජුලි 1 වන දා සිට විවෘතයි – පෙර පාසල් මැතිවරණයෙන් පසු

• මහමැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සඳහා දින නියම කෙරේ

• ‘වට්ස්ඇප්’ හරහා මුදල් ගෙවීමේ නව ක්‍රමවේදය බ්‍රසීලයෙන් ඇරඹෙයි

• වැටුණු ආර්ථිකය ගොඩනැගීමේ වගකීම පැහැර හරින්න එපා, නිවැරදි උපාය කුමක්දැයි මට කියන්න – ජනපති මහබැංකු ප්‍රධානීන්ට කියයි (විඩියෝ)

• ගිනි නිවීමේ රථයක් අනතුරට ලක්වී එක් අයෙකු මියගොස් දෙදෙනෙකුට තුවාල

• පාලිත තෙවරප්පෙරුම හදිසියේම රෝහල්ගත කෙරේ

• තඹ ආශ්‍රීත නිශ්පාදන වැඩි මිලට මෙරටට ආනයනය කිරීමේ ජාවාරමක් (විඩියෝ)

• ‘රතු මිනිත්තුව’ : අභාවයට යන සියඹලාගස්වැව මහ වැව (විඩියෝ)

• ETI අධ්‍යක්ෂවරුන් වන ජීවක, නාලක, අසංක, දීපා එදිරිසිංහ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

• චෝදනා වලට ආරක්ෂක ලේකම්ගෙන් පිළිතුරු (විඩියෝ)

• උසස් පෙළ විභාගය පැවැත්වීම ගැන අවසන් තීරණය පාසල් ආරම්භ කිරීමෙන් පසු එළඹෙන පළමු සති අන්තයේ දී

• කොරෝනා ආසාදිතයන් සුවකළ සුව විරුවන් 1000 කට හිමිවන සුපිරි අවස්ථාව මෙන්න

• කොරෝනා මරණ අඩු කළ හැකි ඖෂධයක්

• බූස්සේ අධි ආරක්ෂිත බන්ධනාගාරයක් (විඩියෝ)

• ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කළොත් දැනුම් දීමට දුරකථන අංකයක්

+++++++++++++++++++++++++++++++++++

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසමේදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගෙන් තවත් හෙළිදරව්වක්

(16.06.2020 – 13:47 +0530 – hirunews.lk/sinhala)

2015 පසු බලයට පැමිණි යහපාලන රජය ඉස්ලාම් අන්තවාදය පිළිබඳ තමන් පැවසු කරුණු කෙරෙහි අවධානය යොමු නොකළ බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

උන්වහන්සේ මෙම කරුණු අනාවරණ කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (15) රාත්‍රියේ දෙවන දිනටත් සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීයි.

සාක්ෂි ලබාදෙමින් පූජ්‍ය ඥානසාර හිමියන් සඳහන් කළේ කුරාණයේ ඉගැන්වීම් වලින් ඔබ්බට ගිය හදීස් හි සඳහන් දේ තුළ වහබ් වාදයේ සහ අන්තවාදයේ ව්‍යාප්තිය සිදුවන බවයි.

පහළ ශ්‍රේණි වල රජයේ ඉස්ලාම් පෙළපොත්වල “හදීස් හදාරා යහගුණ ඇත්තෝ වෙමු” යනුවෙන් සදහන් කර තිබුණද, එම හදීස් ඉගැන්වීම සිදුවන උසස් පෙළ නිර්දේශිත පොත් වල සදහන් වන්නේ “අන්‍යාගමිකයන් මරාදමන්න” යන්න බව උන්වහන්වහන්සේ පෙන්වා දුන්නා.

මුළු මහත් සමාජයම අවනත විය යුත්තේ එකම දෙවියන් වන අල්ලාට පමණක් බවද, කිසියම් තැනැත්තෙක් ඉස්ලාම් ආගම අතහැර ගොස් දින තුනක් තුළ ඒ පිළිබද පසුතැවී නැවත හැරි නොඑන්නේ නම් ඔවුන් මරාදමන ලෙස මෙම හදීස් වල සදහන්ව ඇතැයිද පූජ්‍ය ඥානසාර හිමියන් පැහැදිලි කළා.

මෙරට තුළ ක්‍රියාත්මක තවත් අන්තවාදි සංවිධාන කිහිපයක් පිළිබද තොරතුරු ඊයේ (15) දිනයේත් උන්වහන්සේ කොමිසමට අනාවරණ කළා.

වාමි හෙවත් ලෝක මුස්ලිම් තරුණ සංවිධානයේ ක්‍රියාකාරිත්වය මෙරට තුළද පැහැදිලිව දක්නට ලැබෙන බව පෙන්වා දුන් උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ එහි ප්‍රධාන කාර්යාලය දෙමටගොඩ, මහවිල උද්‍යානයේ පිහිටා ඇති බවයි.

අයි.එස්. සංවිධානයේ අන්තවාදි ක්‍රියාකාරකම් හා සම්බන්ධ වී මියගිය මෙරට පළමු පුද්ගලයා වන නිලාම් නැමැත්තාද මෙම වාමි සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු බව උන්වහන්සේ පෙන්වා දුන්නා.

නිලාම් නැමැත්තාගේ බාල සහෝදරයෙකු මේ වන විට අයි.එස්. සංවිධානයේ අධ්‍යාපන අංශය තුළ කටයුතු කරන අතර නිලාම්ගේ මස්සිනාවරු දෙදෙනෙකු වන තාකිර් සහ තාවුෂි යන දෙදෙනා අයි.එස්. සංවිධානයේ දුරකථන දෙපාර්තමේන්තුව තුළ සේවය කර ඇති බවත්, ඔවුන්ද මේ වන විට මියගොස් ඇති බව උන්වහන්සේ අනාවරණ කළා.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කලේ තාකිර් නැමැත්තාගේ බෑනා වන සුහේර් නැමැත්තා අයි.එස්. සංවිධානයේ භෞත චිකිත්සකවරයෙකු ලෙස ක්‍රියාකර ඇති බවයි.

හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගේ පුත්‍රයාගේ නමට ලියාපදිංචිව පවත්වාගෙන යන හිරා පදනමද අන්තවාදි මතවාදයක් වන ජමාතේ ඉස්ලාම් මතවාදය අනුව යන්නක් බව සදහන් කළ පූජ්‍ය ඥානසාර හිමියන් වැඩිදුරටත් පැවසුවේ හිස්බුල්ලාද ජමාතේ මතවාදය දරන්නෙකු බවට තමන් අනුමාන කරන බවයි.

මෙහිදි ජනාධිපති කොමිසම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින්, තවුහිද් මත වාදය පිටුපස සිටින බවට පූජ්‍ය ඥානසාර හිමියන් විසින් මීට පෙර කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.

එහිදි උන්වහන්සේ සඳහන් කළේ වරක් මැතිවරණ අවස්ථාවක රිෂාඩ් බදියුදින් හිටපු අමාත්‍යවරයා විසින් ඔහුගේ බිරිද ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කැඳවාගෙන පැමිණියේ සම්පුර්ණයෙන්ම මුහුණු ආවරණය කර ඇස් පමණක් පෙනෙන පරිදි බවයි.

එසේම මඩකලපුව, වව්නියාව, පුත්තලම, අම්පාර වැනි ප්‍රදේශ වල රිෂාඞ් බදියුදින්ට ඇති වත්කම් පදනම් කරගෙන ඔහු විශාල ආධිපත්‍යයක් පතුරුවාගෙන සිටින බවද ඔහුගේ සහෝදරයෙකු වර්තමානය වන විට අත්අඩංගුවට පත්ව තිබීම තුළ රිෂාඩ් බදියුදින්ද වහබ්වාදි මතදරන්නෙකු බව තහවුරු වන බවද පූජ්‍ය ඥානසාර හිමියන් ජනාධිපති කොමිසමට පැහැදිලි කළා.

මෙහිදි ජනාධිපති කොමිසම උන්වහන්සේගෙන් විමසා සිටියේ මෙරට තුළ ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදි සංවිධානවල ව්‍යාප්තිය පිළිබඳ මුල්වරට රජය දැනුවත් කළේ කුමන කාලයේද යන්නයි.

එයට පිළිතුරු දෙමින් පූජ්‍ය ඥානසාර හිමියන් සදහන් කළේ 2014 වර්ෂයේ එවකට පැවති රජය විසින් තමන් ආරක්ෂක අමාත්‍යාංශයේ රැස්වීමකට කැදවා තිබුණු අතර එහිදි තවුහිද් ජමාත් මතධාරින් සම්බන්ධයෙන් මෙන්ම මද්‍රසා පාසල්හි සිදුකරන අන්තවාදි දේශන වැනි කරුණු 25 ක් පිළිබදව තමන් දැනුවත් කළ බවයි.

අදාළ රැස්වීමට එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ, බුද්ධි නිලධාරින් වන බ්‍රිගේඩියර් හෙන්ද විතාරණ සහ සුරේෂ් සලේ යන මහත්වරුද සහභාගි වු බව පූජ්‍ය ඥානසාර හිමියන් පැවසුවා.

මෙම රැස්වීමෙන් පසුවද විටින් විට මෙවැනි සාකච්ඡා පැවති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉස්ලාම් අන්තවාදය පිළිබඩ් සොයා බැලීමට වෙනම බුද්ධි ජාලයක් යෙදවීමට එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ බව උන්වහන්සේ ජනාධිපති කොමිසම හමුවේ සදහන් කළා.

කෙසේ වෙතත් 2015 නව ආණ්ඩුවක් බලයට පැමිණීමත් සමග අන්තවාදය පිළිබද තමන් ලබාදුන් තොරතුරු පිළිබද කිසිදු සොයාබැලීමක් සිදු නොකළ බව පෙන්වාදුන් පූජ්‍ය ඥානසාර හිමියන් වැඩිදුරටත් සදහන් කළේ අවම වශයෙන් තමන් කළ පැමිණිළි පවා පොලිසිය විභාග නොකළ බවයි.

+++++++++++++++++++++

(16.06.2020 – 13:32 +0530 – sinhala.adaderana.lk)

මෙහිදි ජනාධිපති කොමිසම උන්වහන්සේගෙන් විමසා සිටියේ මෙරට තුළ ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදි සංවිධානවල ව්‍යාප්තිය පිළිබද මුල්වරට රජය දැනුවත් කළේ කුමන කාලයේද යන්නයි.

2014 වර්ෂයේ එවකට පැවති ආණ්ඩුව විසින් තමන් ආරක්ෂක අමාත්‍යාංශයේ රැස්වීමකට කැඳවා තිබුණු බවත්එහිදි තමා තවුහීද් ජමාත් මතධාරි මෙරට තුළ රැදි සිටින විදේශිකයන් පිටුවහල් කිරීම, මද්‍රසා පාසල්හි සිදුකරන අන්තවාදි දේශන වැනි කරුණු 25 ක් පිළිබඳ ව දැනුවත් කළ බව ඥානාසර හිමියන් පැවසුවේය.

එම ආණ්ඩුව ඉන් පසු යම් යම් පියවර ගත්තත් 2015 නව ආණ්ඩුවක් බලයට පැමිණීමත් සමග අන්තවාදය පිළිබඳ තමන් ලබාදුන් තොරතුරු ගැන කිසිදු සොයාබැලීමක් සිදු නොකළ බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

එසේම දේශපාලකයින් තම පැවැත්ම සඳහා ආගම්වාදි ප්‍රශ්න නිර්මාණය කළ බවත්, තෙල්දෙණිය සහ දිගන වැනි සිද්ධි එකි අරමුණේ ප්‍රතිඵල බවත් උන්වහන්සේ ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියහ ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

ලාංකික තරුණයන් අයි.එස්. සංවිධානයට බඳවාගන්න කඳවුරු ගණනාවක්

(16.06.2020 – 12:33 +0530 – lankadeepa.lk)

අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ අධ්‍යාපන කටයුතු බාරව සිටින ඉෂාක් නැමැත්තා ජමාතේ ඉස්ලාම් මතවාදය දැරූ වාමි සංවිධානයේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අංශය බාරව සිටි පුද්ගලයා බවත් ඔහු තරුණයන් අයි එස් සංවිධානයට බඳවා ගැනීම සඳහා මෙරට කඳවුරු ගණනාවක් පවත්වා ඇති බවත්, බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (15 වැනිදා) සාක්ෂි ලබාදෙමින් පැවසූහ.

ලෝක මුස්ලිම් තරුණ සංවිධානය (WAMY) හෙවත් වාමි සංවිධානයේ සභාපති සූඩාන ජාතික ඕමාන් එදිරි සල්දාද් නැමැත්තා විකිලීස් වෙබ් අඩවියට අනුව ලෝක ත්‍රස්තවාදියකු බවද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සිය සාක්ෂිය දෙවැනිවරට කොමිසම හමුවේ ලබාදෙමින් ඊයේ (15) පැවසූහ.

මෙම (WAMY) වාමි සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව පිහිටා ඇත්තේ අංක 658/3/1/1 මහවිල උද්‍යානය කොළඹ 09 නැමැති ස්ථානයේ බවත්, එය 1997 නොවැම්බර් 12 වැනිදා අංක AN43 යටතේ ලියාපදිංචි කර ඇති බවත් පූජ්‍ය ඥාණසාර හිමියෝ සිය සාක්ෂියෙන් සඳහන් කළහ.

වාමි සංවිධානයේ මෙරට ශාඛාවේ අධ්‍යාපන අංශය බාරව කටයුතු කළ ඉෂාක් නැමැත්තා, අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ සිටියදී සිරියාවේදී මියගිය පළමු ශ්‍රීලාංකිකයා වන නිලාම් නැමැත්තාගේ බාල සහෝදරයා වන බවද පූජ්‍ය ඥානසාර හිමියෝ සිය සාක්ෂියෙන් පැවසූහ.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා (සභාපති විනිසුරු) අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර සහ අමාත්‍යංශ ලේකම් (විශ්‍රාමික) එම්.එම්. අධිකාරි යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම සාක්ෂි විමසීම සිදුවිය.

මෙහිදී වැඩිදුරටත් සාක්ෂි ලබාදුන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේද පැවැසූහ :

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය – ශ්‍රී ලංකාව තුළ මතවාද සංවිධාන වශයෙන් ගොඩනැගී ඇති බවට ඔබවහන්සේ සාක්ෂි ලබාදී තිබුණා. ජමාතේ ඉස්ලම්, තබ්ලක් ජමාද්, තවුහිද් ජමාද්, ඉහ්වාන් මුස්ලිම්, වශයෙන් මතවාද 04 ක් ඇතුළත්ව තිබෙනවා කියලා ඔබවහන්සේ කිව්වා.

පූජ්‍ය ඥානසාර හිමි – තබ්ලික් ජමාද් සංවිධානය ශ්‍රී ලංකාවට ඇතුළුවීමට පෙර මූලාරම්භය ඇතිවුණේ ඉන්දියාවේ. තබ්ලික් කියන්නේ ‘ඉස්ලාමය පතුරවා හැරීමයි’. ගෙයින් ගෙට ගිහිල්ලා ඉස්ලාමයට කැඳවීම තමයි ඒ අයගේ අරමුණ. මේක ලංකාවේ විශාල ප්‍රදේශවල පැතිරිලා ගිහිල්ලා තියෙනවා. මහනුවර තිබුණා සුෆී ධර්මය ඇදහූ පල්ලිය අද තබ්ලික් අය පාවිච්චි කරනවා. ජමෙයිකුල් උලමා සංවිධානයේ බාගෙට බාගයක් තබ්ලික් ජමාද් අය. බොහොම අහිංසක විදිහට ලංකාව තුළ ආගම අදහන අය රැඩිකල් කරන්නේ මේ තබ්ලික් ජමාද් අයයි. තබ්ලික් ජමාද් එකේ මෙරට නායකයා වගේ ඉන්නේ රිස්ෆි මුක්ති නමැත්තායි. රටේ මුස්ලිම් ප්‍රශ්නයක් තියෙනවා කියලා දොරටු විවර වුණේම රිස්ෆි මුක්තිගේ ඇතැම් ක්‍රියා නිසා. එයා හලාල් ක්‍රමය ඇතිකිරීම නිසා තමයි සමාජ බෙදුම්වාදය ඇතිවුණේ. එයා මේ මතවාදය ඇති කළා විතරක් නොවෙයි, සාමකාමී මුස්ලිම් සමාජය බෙදුම්වාදයට පත්කිරීමට පළමු පියවර තැබුවා.

ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය – උලමා සභාවේ තබ්ලික් ජමාද් නියෝජනය වෙන්නේ කොහොමද?

පූජ්‍ය ඥාණසාර හිමි – උලමා සංවිධානයේ සාමාජිකයන් වශයෙන් 40 ක් විතර ඉන්නවා කියලා අපි දැනගෙන හිටියා. අද තියෙන එක නෙවෙයි හෙට තියෙන්නේ. මුලින්ම අපිත් එක්ක සාකච්ඡාවට ආ පිරිස කිව්වේ මහසම්ප්‍රදායට අනුව හිටපු සුෆී මුස්ලිම් අයට කිසිම ඉඩක් නෑ එහි කියලා.

ඊටත් උඩින් තමයි සුෆී සභා පිහිටුවා ගත්තේ. මේ උලමාවරුන්ගේ ආගමනය වුණේ 1980 අගභාගයේදී. සවුදි තානාපති කාර්යාලය බිහි වුණාට පස්සේ ‘වහාබ් සලෆි’ මතවාද මෙන්ම සල්ලිත් අරගෙන තමයි මේ අය ආවේ. 1990 දවටගහ පල්ලියේ පිටු 4 ක ලේඛනයක් තිබ්බා. එය අවුරුදු 80 ක මවුලවිවරයකු ලියපු එකක් ‘මම දැන් වයසයි. මට තවත් මැද පෙරදිග සිට එන අය දෙන අන්තවාදී අදහස් දරාගන්න බෑ’ කියලා ඔහු ලිපිය ලියලා ගිහින් තියෙනවා. සාම්ප්‍රදායික මුස්ලිම් සහෝදරයෝ තව ලේඛනයක් මට බාර දුන්නා. කාත්තංකුඩියේ සොහොනක් සම්බන්ධයෙන් වූ එකක්. සාම්ප්‍රදායික ‘සුෆි’ මුස්ලිම්වරුන්ට ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට වර්තමාන උලමා සභාව ඉඩදීලා නැහැ කියලා ඒ ලිපියේ සඳහන් වෙනවා.

තබ්ලික් ජමාද් මතවාදය ආරම්භ වුණේ ඉන්දියාවේ. එහි නිර්මාතෘ වන්නේ ‘ඉල්ලියාස්’ කියලා කෙනෙක්. එය ලෝකේ පුරා විහිදුවා ඇත්තේ ‘තලෙයිබාන්’ කියන සංවිධානය. මේ ‘තලෙයිබාන්’ අය බාමියන් බුදු පිළිම පවා විනාශ කළා. මේ සංවිධානයේ මෙරට ශාඛාව ‘මර්කස්’ නමින් කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස්වල පිහිටුවා තිබෙනවා. ‘නීඩා’, ‘සම් සම් ෆවුන්ඩේෂන්’ ආදි සංවිධාන තමයි මේ අයගේ යටතේ තියෙන්නේ. මේ ඔක්කෝම එකම වැඩ පිළිවෙළක ඉන්න අය.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය – අන්‍යාගමිකයන් ඔවුන්ගේ ආගමට හරවා ගන්නේ කොහොමද?

පූජ්‍ය ඥානසාර හිමි – ඔව්. මුස්ලිම් වර්ලීගයේත් ඒක සඳහන් වෙනවා. මේකට කියන්නේ ‘දවා’ කිරීම කියලයි. පබ්ලික් ජමාද් අය තමයි මේ දේ කරන්නේ. ගස්තු ආගමික ප්‍රචාරය තමයි මොවුන් කරන්නේ. ගෙයින් ගෙට ගිහින් ආරාධනා කිරීම.

මුස්ලිම් ආගමට හරවා ගත් 8000 ක පිරිසක් සම්බන්ධයෙන් අපට තොරතුරු ලැබිලා තියෙනවා. පසුගිය වසර 05 ක කාලය තුළ තමයි මේ ආකාරයට නම් වෙනස් කරපු අය ගැන අපට තොරතුරු අනාවරණය වුණේ. නම් වෙනස් කළාම ඒවා පත්තරවල පළ කරන්න ඕනැ නේ. අපි ඒක දැක්කේ පත්තරවලින්. සිංහල පත්තරවල නම් වෙනස් කිරීමේ ඒවා දාපු එකට අපි දැඩි ලෙස විරුද්ධ වුණා. ඊට පස්සේ මේ අය එම දැන්වීම් දෙමළ පත්තරවල දාන්න පටන් ගත්තා.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා රචනා කළ ‘අල්ජිහාඩ් අල්කයිඩා ග්‍රන්ථය’ වගේම ‘අඩසඳ කළුවර’ කියන ග්‍රන්ථයෙනුත් මේ අන්‍යාගමිකරණය හඳුනා ගන්න පුළුවන්. මැද පෙරදිග සේවයට ගිය බොහෝ පිරිසක් අපට කතා කරලා තියෙනවා. යම් අවස්ථාවකදී වරදක් කරලා අහුවුණොත් – ඒ කියන්නේ සුළු වැරැදි – විශේෂයෙන්ම වෙසක් කාඩ් එකක් ළඟ තබා ගත්තත් ඒ රටවල හැටියට වරදක් නේ – එහි පොලිසිය වගේ ඉන්න ‘මුල්ලවරු’ අපේ මිනිසුන්ට කියන්නේ ‘උඹලාට මේකෙන් බේරෙන්න ඕනෑ නම් ඉස්ලාමික් වෙයල්ලා’ කියලා. ඉතින් අපේ මිනිස්සු බහුතරය මේකට යටවෙලා. තබ්ලික් ජමාද් මතවාදය කියන්නේ සාම්ප්‍රදායික මුස්ලිම් අයට විරුද්ධ අයයි. සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් බුදු පිළිම කැඩුවේ නැහැ. ප්‍රශ්න ආවත් සාකච්ඡා කරලා ඒවා විසඳාගත්තා. සලෆි, තබ්ලික් ජමාද්, තවුහිද් ජමාද් යන අය පිළිම වන්දනා කරන්නේ නෑ. ‘සුෆී’ මුස්ලිම් මිනිස්සු ඒක කළා. ‘දර්ගා’ කියන්නේ සොහොන්. සුෆී මුස්ලිම් අය ඒක ඇදහුවා. බේරුවල වැලිගම සහිරා විද්‍යාලයේ විශාරද ආචාර්ය එම්. ආර්. මොහොමඩ් කියන අධ්‍යාපනවේදියා අපට ලියුමක් එවනවා. වර්ෂය 2020 පෙබරවා 07 දි. ඔහු එහි ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. ‘සාහිඩ් සුහයිර්’ නමැත්තා පාසලට ගෙන්වලා ‘වහාබ් වාදය’ ව්‍යාප්ත කිරීමේ දේශනා පවත්වා තිබෙනවා. මේ සම්බන්ධයෙන් සියලු ආයතනවලට රාජ්‍ය ආයතනවලට ආදිය දැනුම්දීලාත් තියෙනවා.

‘වාසිල්, මුන්සිල්’ යන අන්තවාදී අදහස් තියෙන දෙන්නාට පාසල තුළ නිදහසේ හැසිරෙන්න දීලා කියලත් ඒ ලිපියේ වැඩි දුරටත් සඳහන් වෙනවා.

මුස්ලිම්වරයකු හඳුනා ගන්නේ කොහොමද? යුධ සමයේ අපි දැක්කේ නෑ මුස්ලිම් කාන්තාවෝ මුළු ඇඟම වහන ඇඳුම් බුර්කාව වැනි ඒවා අඳිනවා. බහුතරය පිරිමි රැවුල වැවුවා දිගට මේක තමයි ‘වහාබ්’ ක්‍රමය. මේ පුංචි රට රැක ගන්න නම් අපි මේ පිළිබඳව වෙනමම කොමිසමක් පත් කරන්න ඕනෑ. සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සු භාවනා කරනවා. සොහොන්වලට යනවා. ඒත් අපි කතා කරන මේ සංවිධානවලට අදාළ අයගේ මතය ඒක නෙමෙයි. ‘මේක ලබාගන්න සටන් කරන්න. එතකොට තමයි කන්‍යාවියෝ ලබන්න පුළුවන්’ මේ ඔවුන්ගේ මතය.

යුද ජයග්‍රහණයෙන් පස්සේ යුද අපරාධ සම්බන්ධයෙන් අපට සහායට හිටියේ තබ්ලික් නිකාය පාලනය කරනු ලබන මැදපෙරදිග රටවල්. මෙරට එක්කරා නායකයෙක් උලමා සභාවට දැනුම් දෙනවා අපට ආගමික සහායක් ඕනෑ කියලා. අන්න හොඳ අවස්ථාවක් කරගත්තා දේශපාලන හයිය යටතේ මේකට එන්න. ගලේවෙල, කලාවැව, ආදී ප්‍රදේශවල සාම්ප්‍රදායික මුස්ලිම් පල්ලි අපි දැකලා තියෙනවා.

මේ ඔක්කෝම එකතු කරගන්න එක තමයි තබ්ලික් ජමාද් කළේ.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ – ඔබ වහන්සේ සඳහන් කළ මෙරට දේශපාලන නායකත්වය කවුරුන්ද?

පූජ්‍ය පූජ්‍ය ඥානසාර හිමි – ඔහු තමයි විල්පත්තුව කැපුවේ නම හෙළි කරන්න බෑ. ඕනෑනම් මම නම ලියලා දෙන්නම්. නැතිනම් මට ආයෙත් හිරේ යන්න වෙයි.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය – මුස්ලිම් පල්ලි තුළ මේ මතවාදය ප්‍රචාරය කරන යම් යම් වැඩසටහන් ගැන ඔබ වහන්සේ දැනගෙන හිටියාද?

පූජ්‍ය ඥනසාර හිමි – දුප්පත් අයට උදව් උපකාර කිරීම, ලේ දන්දීම් ආදී සමාජ සේවා වැඩසටහන් මගින් මොවුන් තබ්ලික් ජමාත් මතවාදය ක්‍රියාත්මක කිරීමට පල්ලි හරහා පියවරගෙන තිබෙනවා.

කිංස්බරි හෝටලයට බෝම්බ තිබ්බෙත් ඒ වගේ කෙනෙක්. මේ අය සෑම බ්‍රහස්පතින්දාවකම ‘මර්කස්’ කියන දේශන පවත්වනවා.

(ලේ දන් දීමේ ක්‍රියාවෙහි යෙදෙන ඡායාරූපයක් කොමිසමට ඉදිරිපත් කරයි.)

කාත්තංකුඩි ප්‍රදේශයේ ලේ දන්දීමේ ව්‍යාපාරයක ඡායාරූප 2016 වර්ෂයේ ගත්ත එකක්. එහි සිටින්නේ ‘සහ්රාන්’ හලාල් සිද්ධිය වෙලාවේ ‘ලේ දන්දීමේ’ ක්‍රියාව ගැන ප්‍රශ්නයක් ඇති වුණා. ඒ අය කිව්වා ‘අපි ලේ දෙන්නේ නැහැ’ කියලා. කොහොම හරි එතැනදී මම ‘අල්ටකියාව’ කියන වචනය කිව්වා කියලා මට නඩු දැම්මා. අල්ටකියාව කියන්නේ රැවටීම, බොරුකීම, වැනි දේවල්. ඔවුන් සාමන්‍යයෙන් ලේ දන් දෙන්නේ නෑ. අපි ප්‍රශ්න කළාට පස්සේ ඔවුන් ‘ලේ දන් දෙන්න’ ගත්තා. එයාලා ලේ දෙන්නේ නැනේ.

අපි හලාල් සිද්ධිය කාලේ දී මේක ප්‍රශ්න කරද්දි තමයි මේ සහ්රාන් ‘ලේ දෙන්න’ ගත්තේ.‘අන්තවාදී’ කියන මතය අතුගා දමා සාමාන්‍ය ජනතාව අතරට යෑමට තමයි ඔවුන් මේ සමාජ ක්‍රියාකාරකම් කළේ.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – තවුහිද් ජමාද් මතවාදය සම්බන්ධ වන්නේ තුමන මතවාදයට ද?

පූජ්‍ය ඥානසාර හිමි – ‘තවුහිද් ජමාද්’ හි නිර්මාතෘ ‘අබ්දුල් වහාබ්’. ඒක සවුදියේ නිර්මාණය වුණේ. එයින් නිර්මාණය වූ ත්‍රස්ත සංවිධානය අල් කයිඩා. “අල්ලා මුළු මහත් සමාජයේම මුලින් සිටිය යුතුයි. අල්ලා හැර අන් කිසිවකු නැමදුම් නොලැබිය යුතුය” මේ තවුහිද් ජමාද් කියන එකේ තේරුමයි.

ලංකාවේ තවුහිද් ජමාද් සංවිධානය කොච්චර රැඩිකල්ද කියලා කියනවා නම් මේ අය නබී තුමාටවත් ගෞරව කරන්නේ නෑ. එකම දෙවි අල්ලාහ් පමණයි. මේ තමයි තවුහිද් ජමාද් කියන්නේ. කෙටියෙන්ම කිව්වොත් ‘ඒක දේව වාදය’ යනු තවුහිද් ජමාද් තේමාවයි.

මේ අන්තවාදයට එරෙහිවන අයට කරන්නේ දින තුනක් දීලා ඔහුට පාපොච්ඡාරණය කරන්න කියනවා. නැවත ආගමට ආවේ නැත්තම් ‘ඔහු මරා දැමිය යුතුය’ මෙහෙම කියලා තියෙන්නේ (අ.පො.ස) උසස් පෙළ ‘සැමට ඉස්ලාම්’ කියන ග්‍රන්ථයේ, තවුහිද් හඳුන්වා තියෙන්නේ එහෙමයි. (මවුලවියා එම් සුහාරා යන අය ලියා තිබෙන එම ග්‍රන්ථය කොමිසම වෙත ඉදිරිපත් කරයි.

‘හදීස් හදාරා යහගුණ ඇත්තෝ වෙමු’ කියලා ඉස්ලාම් ධර්මය (අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ රජයේ 2011 පෙළපොත) 7 ශ්‍රේණියේ පොතේ තියෙනවා. හදීස් කියන්නේ ‘ගහපන්, මරපන්, කොටපන්, පිළිම විනාශ කරපන්’ කියලා, එතකොට කොහොමද ‘හදීස්’ හදාරා යහගුණ ඇත්තෝ වෙන්නේ?

2016 නොවැම්බර් 16 ඉරිදා ලංකාදීප පුවත්පතේ අබ්දුල් රාසික් කියන පුද්ගලයාගේ සාකච්ඡාවක් දාලා තියෙනවා. එකේදි කියනවා ශාඛා 90 ක් ඉන්නවා. ලියාපදිංචි අය දහදාහක් ලියාපදිංචි නොවන සාමාජිකයන් 50,000 ක් විතර ඉන්නවා කියලා කියනවා.

ඔහු තමයි ප්‍රසිද්ධියේ එහෙම ප්‍රකාශ කළේ. ඔහු තමයි සහ්රාන් එක්ක කාත්තංකුඩියට ගිහින් තවුහිද් ජමාත් පිහිටෙව්වේ. අදටත් මේ අබ්දුල් රාසික් නිදැල්ලේ ඉන්නවා.

පුලස්තති මහේන්ද්‍රන් ව ‘මොහොමදු හස්තුන් සාරා’ නමින් ආගමට ගත්තා. එයාගේ අම්මා පැමිණිලි ගණනාවක් කරලා තියෙනවා පොලිසිවලට. කටුවාපිටිය මරාගෙන මැරුණු හස්තූන් එක්ක ‘සාරා’ විවාහ කරලා දුන්නේ අබ්දුල් රසික් කියන තැනැත්තා.

‘මුස්ලිම් විවාහ නීතිය’ සංශෝධනය කළා. ඒකට මේ අය විතරක් විරුද්ධ වුණා. රට පුරා උද්ඝෝෂණ තිබ්බා. අඩුවයස් ගැහැනු දරුවන් විවාහ කර ගැනීමේ නීතිය විශේෂයෙන්ම විශ්ව දේව නීතිය ප්‍රචලිත කිරීමෙන්ම අයිතිය ඉල්ලමින්.

(ශ්‍රී ලංකා තවුහිද් ජමාද් කියන ටීෂර්ට් හැඳි මාලිගාවත්ත ප්‍රදේශයේදී 2016 වර්ෂයේ පැවැත්වූ උද්ඝෝෂණයක් පිළිබඳ වීඩියෝවක් කොමිසම හමුවේ ඉදිරිපත් කරයි.)

ශ්‍රී ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් තමයි මේ වීඩියෝවේ ඉන්නේ. දැන් සිලෝන් තවුහිද් ජමාද් සංවිධානයේ. ඔවුන් කියන්නෙ පවතින නීති වැඩක් නෑ. අවුරුදු හතකින් හරි ගැහැනු දරුවෙක් මල්වර වුණාද එයා විවාහයට සුදුසුයි කියලා. ඒ අය ඉල්ලන්නේ ‘ශරියා නීතිය’.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ – වහාබ් මතවාදය ඇතුළත් සිවිල් සංවිධාන ගැන ඔබ වහන්සේට කියන්න පුළුවන්ද?

ජේ.ඒ.එස්.එම්. පරගහදෙණිය, RAS, JASM, IIRO, A, MUS, වාමි, NIJ, JSN, SLTJ, UTJ, CTJ, IRO, ‘මුස්ලිම් ඒඩ්’ ආදී විශාල සංවිධාන ගොඩක් තියෙනවා.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ – මෙහි JASM සංවිධානය ගැන ඔබ වහන්සේට කියන්න පුළුවන්ද?

පූජ්‍ය ඥානසාර හිමි – මුළු ලංකාවෙන්ම ගත්තොත් ‘පල්ලිය ඉදිරියේ නිශ්ශබ්ද වෙනු’ මෙය නියෝගයක්, මාවතගම, පරගහදෙණිය තියෙන පල්ලියේ විශාල පුවරුවක් සවිකරලා තියෙනවා.

කුරුණෑගල පරගහදෙණිය ප්‍රදේශයේ සිංහල ගම්මානයක් මුස්ලිම් කරලා තියෙනවා. 1947 සුෆී මුස්ලිම් අභිබවලා ‘වහාබ් වාදය’ ඉස්මතු වුණා කියලා ‘සරාන්ඩිබ්’ කියන පොතේ සටහන් වෙලා තියෙනවා. මෙය ඇසිෆ්හුසේන් නැමැත්තකු විසින් 2011 වර්ෂයේදී රචනා කරලා තියෙනවා. ජමාද් අන්සාරියා සුන්නත් මොහමදියා කියන සංවිධානය තමයි මේ JASM කියන්නේ. සහ්රාන් හෂීම් ගේ පාස්කු ප්‍රහාරය අහඹුවක් නොවෙයි. මේක ටික ටික ව්‍යාප්ත වුණ දෙයක්.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ – ඔබ වහන්සේ හැඳුන්වනවා ටී.ජේ. කියලා සංවිධාන 16 ක් ගැන. ඒ මොනවාද?

පූජ්‍ය ඥානසාර හිමියෝ – ටී.ජේ. කියන්නේ තවුහිද් ජමාද්. එස්එල්ටීජේ එක හදාගත්තේ අබ්දුල් රාසික් සහ සහ්රාන් හෂීම්. එන්ටීජේ එක හඳාගත්තේ සහ්රාන්. සීටීජේ කියලා දැන් අබ්දුල් රාසික් හදාගෙන ඉන්නවා.

අයිඅයිආර්ඕ කියන්නේ ජාත්‍යන්තර ඉස්ලාමීය සහනාධාර සංවිධානය. මෙය නො. 658/91 මහවිල උද්‍යානය කොළඹ 09 පිහිටුවා තිබෙන්නේ. මෙරට ඒක බාරව ඉන්නේ නවුෆර් මවුලවි. 1994 අප්‍රේල් 20 වැනිදා මෙය ලියාපදිංචි කරලා තියෙන්නේ 21431 අංකය යටතේ. ඔහු ජෛමතුල් උලමා සභාවේ ප්‍රබල සාමාජිකයෙක්. මෙහි ප්‍රධාන කාර්යාලය සවුදි අරාබියේ ජෙදා වල පිහිටා තිබෙනව. මෙම සංවිධානයේ නිකාය තවුහිද් ජමාද්. මෙහි ශාඛාවක් තමයි මෙරට තියෙන්නෙ.

ඒඑම්වයිඑෆ් කියන්නේ අල්සබාබ් කියන සංවිධානයක්. එය මාලිගාකන්ද ප්‍රදේශයේ පිහිටා තිබෙන්නේ. මේ නමින් ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක් තියෙනවා සෝමාලියාවේ. මෙහි මෙරට නායකයා වන්නේ තාසිම් මවුලවි. ඔහුද ජමෙතුල් උලමා සභාවේ ප්‍රබල සාමාජිකයෙක්. මම, මේ තැනැත්තා සමග කතා කරලා තියෙනවා. හලාල් සිද්ධිය සම්බන්ධයෙන් රැස්වීමකට මේ අයත් ආවා. අපිත් ගියා. එතැනදි මම කතා කරලා තියෙනවා. ඒත් හඳුනාගන්න අමාරුයි. ඒ අය එකම විදිහටනේ අඳින්නේ.

වාමි කියන සංවිධානය එනම් ලෝක මුස්ලිම් තරුණ සංවිධානයේ මෙරට ශාඛාව. අංක 658/3/1 මහවිල උද්‍යානය කොළඹ 09 ලියාපදිංචි කරලා තියෙන්නේ අංක ඒඑන් 143 යටතේ. ඉකුත් 1997 දෙසැම්බර් 12 වැනිදා එය ලියාපදිංචි කරලා තියෙන්නේ. මෙහි සභාපති සුඩාන ජාතික ඕමාන් එදිරි සද්දාද්. මොහු ජමාතේ ඉස්ලාම් මතවාද දරන කෙනෙක්. සවුදි හි රියාද් නගරයේ තමයි මෙහි මූලස්ථානය. විකිලීස් එකට අනුව ඕමාන් එදිරි සල්දාද් නැමැත්තා ත්‍රස්තවාදියෙක්.

‘වාමි’ එකේ ඉගෙන ගත්තු ළමයින් තමයි අපිට ඇවිල්ල කීවේ හාමුදුරුවනේ මේක හොඳ දෙයක් නොවේ කියලා. වහාම මේක නතර කරන්න කියලා. මෙම ‘වාමි’ නැමැති සංවිධානයේ ‘ඉෂාක්’ කියලා කියන තැනැත්තකු තමයි. එහි ‘අධ්‍යාපයන අංශය’ භාරව හිටියේ. එයා අයි.එස්. එකේ අධ්‍යාපන අංශය බාරව ඉන්නේ. ඔහු අයි.එස්. එකට තරුණයන් යොමු කිරීම සඳහා මෙරට කඳවුරු ලංකාව වටෙ පවත්වලා තියෙනවා. ඇතැම් පාසල් දරුවන්ද මේකට ගොදුරු වුණා.

ඉෂාක්ගේ අයියා ‘නිලාම්’ ඔහු සිරියාවේදී ‘අවුල්කි’ සේනාංකයට බැඳිලා මිය යනවා. ඔහු තමයි සිරියාවේදී මියගිය අසි.එස්.අයි.එස්. සංවිධානයේ පළමු ශ්‍රී ලාංකිකයා. ඔහු ගලේවෙල ප්‍රදේශයේ කරාටේ ගුරුවරයකු ලෙසයි සිටියේ.

‘නිලාම්’ගේ මස්සිනාලා දෙන්නෙක් ඉන්වා තවුෆික් සහ තාකීර් කියලා. මොවුන් දෙදෙනාද සිරියාවේදී මියගියා කියලා තොරතුරු මාධ්‍යවලින් දැක්කා. මේ ‘තවුෆික්’ නමැත්තා අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දුරකතන පාලක ලෙසින් එම අංශයට අනියුක්තවත් තාකීර් කියන පුද්ගලයා එම සංවිධානයේ භෞතචිකිත්සකවරයා ලෙසත් කටයුතු කරලා තියෙනවා කියලා තොරතුරු ලැබිලා තියෙනවා. මේ ‘නිලාම්’ නමැත්තා අයි.එස්. සංවිධානය හඳුන්වා තිබුණේ ‘අබු හුරෙයියා සෛලානි’ නමින්.

අපට ලැබෙන හැම තොරතුරක්ම වගේ අපි බුද්ධි අංශ වෙත ලබාදුන්නා. 2014/07/14 දින ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ රැස්වීමට මම ගියා. එවකට රටේ බෞද්ධ සංවිධානවලට මතු කරමින් තිබෙන ගැටලු ගැන සාකච්ඡා කළා. එයින් පළමු එක තමයි තවුහිද් ජමාත් සංවිධානය මුල් කරගෙන මෙරටට පැමිණෙන විදේශිකයන් පිටුවහල් කිරීම ආදි දේවල් අපි කිව්වා අපි ජමෙතුල් උලමා සංවිධානයෙන් පරිස්සම් වෙන්න කියලා කිව්වා. මේ කාල වකවානුවේ ආරක්ෂක ලේකම් වශයෙන් හිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා. රැස්වීම් පහකට පමණ එතුමා සහභාගි වූණා. හෙන්දෙවිතාරණ මහතා පවා එම රැස්වීම්වල හිටියා.
2014 ජූලි මාසේ වනවිට මා රැස්කර ගෙන තිබු සියලු තොරතුරු එනම් ‘ඉස්ලාම් ආන්තවාදය’ ගැන මා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති රැස්වීමේදී කිව්වා.

ජමාත් ඉස්ලාමික් කියන සංවිධානයේ මුලාරම්භය පකිස්ථානයේ ආරම්භ වනේනේ. එහි නායකයා මවුලදි කියලා සඳහන් වෙන්නේ. 1954 වර්ෂයේදී ජමාතේ ඉස්ලාම් ව්‍යාපාරය ආරම්භ කරන්නේ පාකිස්තානයේ දේශපාලන සංවිධානයක මුලාශ්‍ර කරගෙන. පාකිස්ථානය තමයි මරාගෙන මැරෙන පුද්ගලයෝ ඇති කරලා රට රටවලට යවන්නේ. 1994 වර්ෂයේ ජනරල් සර්වේෂ් මුෂාරෆ් මහතා ඇවිල්ලා මද්‍රසා 20,000 ක් වැහුවා. මේ රටටත් පාකිස්තානයෙන් ආපු අය තමයි වඳ පෙති, අවි ජාවාරම්, මත්කුඩු ව්‍යාපාර ආදි දේ ගෙනැත් තියෙන්නේ. ආහාර රස කාරක ගෙනල්ලා මිගමුවේදිත් අහුවුණා. එම්.එෆ්.සී.ඩී. කියලා පදනමක් මේ අය පිහිටුවා තිබෙනවා. බණ්ඩාරනායක මාවත කොළඹ 12 ලිපිනය එහි ඇතුළත්. මෙය විදේශාධාර ලබන සංවිධානක්. සංස්කෘතික කටයුතු සංවර්ධනය කිරීම කියලා තමයි මේ පදනම යොදාගෙන තියෙන්නේ. මේක නිසා හරිම පහසුයි රට රටවලට වීසා ලබා ගන්න.

ශ්‍රී ලංකා ඉස්ලාමිය ශිෂ්‍ය සංවිධානය කියලා එකේ තියෙනවා. එහි ක්‍රියාකාරී සාමාජිකයෙක් තමයි පිලිමතලාව ප්‍රදේශයේ බුදු පිළිම කඩන්නේ. එම සංවිධානය සහ්රාන් හෂිම්ගේ සංවිධානය සමග බද්ධ වෙලා කටයුතු කළා. හිරා පදනම කියන්නෙත් මෙහි එක් සංවිධානයක්.

(නිමන්ති රණසිංහ)

+++++++++++++++++++++++++++++++++++

බෝම්බ තුවාලකරුවකු නිකම්ම රෝහලකට ඇතුළු වූයේ කෙසේද?

(16.06.2020 – 11:32 +0530 – lankadeepa.lk කතුවැකිය)

පාස්කු ඉරිදා ප්‍රහාරයේ සහ්රාන් කල්ලියේ බෝම්බ නිෂ්පාදනකරු වූ රිල්වාන් හෂිම් නැමැත්තා බෝම්බයක් අත්හදා බැලීමකදී සිදු වූ පිපිරීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ සති තුනක් ප්‍රතිකාර ලබමින් සිට ඇති බවට පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වූ බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය ඉතිහාසයට එක්වන්නේ ආගමික අන්තවාදයෙන් සිහි විකල් කරගත් ම්ලේච්ඡයන්ගේ දුෂ්ට ප්‍රහාරයක් වශයෙන් පමණක් නොව ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් විය යුතු වගකීම ශත පහකට ගණන් නොගත් බලධාරි පොකුරකගේ නග්න බව ප්‍රදර්ශනය කළ ප්‍රහාරයක් ලෙසය. තවුහිද් ජමාත් සංවිධානයේ නායක, මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ මොහමඩ් සහ්රාන් හෂීම් නැමැත්තාගේ සොහොයුරාද වන, එම කල්ලියේ බෝම්බ මොළකරු වූ රිල්වාන් හෂීම් නැමැත්තා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වූ කරුණුවලින්ද ඒ බව මනාව ඔප්පු වේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය සිද්ධ වන්නේ 2019 වසරේ අප්‍රේල් 21 වැනිදාය. බෝම්බ පිපිරී රිල්වාන් නැමැත්තා බරපතළ තුවාල ලබන්නේ 2018 වසරේ අගෝස්තු 27 වැනිදාය. බෝම්බයක් පිපිරීමෙන් ඇතිවන තුවාල සහ වෙනත් තුවාල අතර වෙනසක් හඳුනා ගත නොහැකි පිරිස් සෞඛ්‍ය කේෂ්ත්‍රයේ හෝ පොලිස් සේවයේ සිටිය නොහැකිය. එහෙත් එය එසේ සිදුවී තිබේ. යම් හෙයකින් රිල්වාන් නැමැති ත්‍රස්තවාදියාගේ තුවාල සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කළේ නම් එය බෝම්බ පිපිරීමකින් සිදු වූ තුවාල බව හඳුනා ගත හැකිවනු ඇත. ඒ ඔස්සේ නිසිලෙස පරීක්ෂණ සිදු කළේනම් සහ්රාන් කල්ලිය සම්බන්ධ තොරතුරු අනාවරණය කරගත හැකිව තිබිණි. එය එසේ වූයේ නම් පාස්කු ඉරුදින ප්‍රහාරය නමින් සිදුවීමක් ඉතිහාසයට එක් නොවන්නට බොහෝ සෙයින් ඉඩ තිබිණි. එය එසේ වූයේ නම් තුන්සියයකට අධික මිනිසුන්ට මිය යාමටත් පන්සියයකට අධික පිරිසක් සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වීමටත් සිදු නොවේ.

තුවාල වී යම් පුද්ගලයකු රෝහලට ඇතුළු කිරී​මේදී එම පුද්ගලයාට ප්‍රතිකාර කිරීම පළමුව සිදුවන්නකි. එයට ප්‍රමුඛතාව දිය යුතුමය. අනතුරුව එම තුවාලවීම සම්බන්ධයෙන් තුවාලකරු හෝ බාරකරු සිදු කරන ප්‍රකාශ කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එම තුවාල වැටීමකින්, රිය අනතුරකින් හෝ පහරදීමකින් සිදු වූවක්ද යන්න පරීක්ෂා කළ යුතුය. සාමාන්‍යයෙන් ප්‍රධාන රෝහල්වල රෝහල් පොලිස් ඒකකයක් ස්ථාපිත කර තිබේ. එවැනි රෝහල් පොලිස් ඒකකයක් ස්ථාපිත කර නොමැතිනම් පොලිස් නිලධාරින් කැඳවා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුතුය. ඇතැම්විට රහස් ලෙස සදාකාලිකව කාලයේ වැලි තලාවෙන් යටවී යාමට ඉඩ ඇති බොහෝ සිදුවීම් එබඳු විමර්ශනවලින් අනාවරණය වූ අවස්ථාද ​බොහෝය.

සහ්රාන් කල්ලියේ බෝම්බ මොළකරු සම්බන්ධයෙන් මෙම වගකීම් සහගත ක්‍රියාවලිය සිදු වූයේ නම් කොතරම් බරපතළ ජාතික අපරාධයක් වළක්වා ගැනීමට හැකියාව තිබුණේද යන්න ඉතා පැහැදිලිය. පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ දී අනාවරණය වූයේ බෝම්බ පිපිරීමෙන් තුවාල ලැබූ රිල්වාන් රෝහලට ඇතුළත් කර තිබෙන්නේ එම්.අයි. ශාහීඩ් නමැති ව්‍යාජ නමකින් හා මාවනැල්ලේ බවට ව්‍යාජ ලිපිනයකින් බවත්ය. ගෑස් සිලින්ඩරයක් පිපිරීම හේතුවෙන් තුවාල ලැබූ බවට රෝහලට තොරතුරු ඉදිරිපත් කර රෝගියා ඇතුළුකර තිබේ.

මෙම ජනාධිපති කොමිසමේදී අනාවරණය වූ වැදගත්ම කාරණයක් වූයේ මෙම රෝගියා රෝහලට ඇතුළත් කිරීමේ දී පොලිස් පරීක්ෂණයක් අවශ්‍ය බවට වෛද්‍යවරුන් අනුමාන කර සටහන් තබා තිබියදීත් අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් නොකර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බවට දෙමළ භාෂාවෙන් අත්සන් කොට ඇත්තේද රිල්වාන්ගේ බාරකරු ලෙස පෙනී සිටිය එම්.ඒ. සාදික් නැමැත්තාය.

රිල්වාන් තුවාල ලබා ඇත්තේ නැගෙනහිර පළාතේදීය එහි සිට සාමාන්‍ය වාහනයකින් තුවාලකරු කොළඹට රැගෙනවිත් තිබේ. ඒ සඳහා අවම වශයෙන් පැය හතක කාලයක් හෝ ගත වී ඇතැයි අනුමාන කෙරී ඇත. එයින්ද පැහැදිලි වන්නේ මහ මාර්ගයේ ආරක්ෂාවය. ලේ ගලන තුවාලකරුවකු මහ මඟ මෙසේ රැගෙන ආ හැකිනම් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති සහතිකය කුමක්ද යන්න විමසිය යුතුය.

ජනාධිපති කොමිසමේ දී සාක්ෂිදුන් එවකට කොළඹ ජාතික රෝහලේ පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මෙම රෝගියාගේ ඇඳ ඉහපත අදාළ ලේඛනයේ රෝගියා පිළිබඳව කිසිදු විමර්ශනයක් කර නොමැති බවත් විමර්ශනයක් අවශ්‍ය නොවන බවට සඳහනක් ඇති බවත්ය. පොලිස් විමර්ශනයක් අවශ්‍ය නොමැත. බවට සඳහනක් යොදා තිබීම හේතුවෙන් විමර්ශනයක් නොකළ බවත්ය.

අවසානයේදී පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවිය. දෙවැනි ප්‍රහාරයට සැලසුම් සකස් කරමින් සිටි රිල්වාන් ඇතුළු පිරිසක් ඊට දින කිහිපයකට පසු සයින්දමරදු ප්‍රදේශයේදී දිවි නසා ගත්හ. පුංචි උල්පතකින් නික්මෙන දිය බින්දුවක් මහා ගංගාවක් බවට පත්වී ගලායාම සාමාන්‍ය තත්ත්වයකි. පාස්කු ප්‍රහාරය ද වළක්වා ගත හැකිව තිබූ ප්‍රහාරයක් බව ඉතා පැහැදිලිය වගකීම් විරහිත බව ඛේදවාචක නිර්මාණය කරන බවට තවත් සාක්ෂි අවශ්‍ය නැත ෴

***************************************

අර්ජුන මහේන්ද්‍රන්ගේ අලුත් නම, නීතිපති අධිකරණයට දන්වයි

(16.06.2020 – 10:21 +0530 – hirunews.lk/sinhala)

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව ගොනුකර ඇති නඩුවේ පළමු විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඔහුගේ නම ‘හර්ජාන් ඇලෙක්සැන්ඩර්’ යනුවෙන් වෙනස් කර ගෙන තිබෙන බවට ජාත්‍යන්තර පොලිසිය දැනුම් දී ඇතැයි නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දුන්නා.

ඒ, මෙම නඩුව සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එහිදී නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මේ හේතුවෙන් අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ආරම්භ කර තිබෙන උදර්පණ නීති ක්‍රියාදාමය සංශෝධනයක් කිරීමට අවශ්‍ය දැයි නීතිපතිවරයා සිංගප්පූරු නීතිපතිවරයාගෙන් විමසීමක් කළ බවයි.

එවැනි සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවට සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක් ලැබී ඇතැයි ද ඔහු කියා සිටියා.

ඊට අදාළව මෙම නඩුව තුළ ද සංශෝධනයක් කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව ඉදිරියේදී කරුණු දැක්වීමට අපේක්ෂා කරන බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දැනුම් දුන්නා.

වැඩිදුරටත් කරුණු දැක්වූ ඔහු කියා සිටියේ මෙම නඩුවේ 10 වන විත්තිකරු ලෙස නම් කර සිටින අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තා මේ වනවිට සිංගප්පූරුවේ වාසය කරන බවත් ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නැවත සිතාසි නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටින බවයි.

මේ අනුව එම විත්තිකරු වෙත යළි සිතාසි නිකුත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නඩුව නැවත නොවැම්බර් 17 කැඳවීමට නියෝග කළා.

***************************************

දිවා සුරැකුම් මධ්‍යස්ථාන, ජුලි 1 වන දා සිට විවෘතයි – පෙර පාසල් මැතිවරණයෙන් පසු

(16.06.2020 – 09:10 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියළුම දිවා සුරැකුම් මධ්‍යස්ථාන ජුලි මස 1 වන දා සිට යලි ආරම්භ කරන බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් මෙලෙස දිවා සුරැකුම් මධ්‍යස්ථාන විවෘත කිරීමට නියමිත බවයි.

කෙසේ වෙතත්, පෙර පාසල් විවෘත කිරීම සිදුවන්නේ මැතිවරණයෙන් පසුව බව ද ඔහු කියා සිටියා.

එමෙන්ම, කොරෝනා වෛරසයෙන් පසු පාසල් යළි විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණයත් සමඟ පාසල් සිසුන් ප්‍රවාහනය සේවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අද (16) පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි ෴

***************************************

මහමැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සඳහා දින නියම කෙරේ

(16.06.2020 – 17:26 +0530 – hirunews.lk/sinhala)

අගෝස්තු 5 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා මැතිවරණ කොමිසන් සභාව දින හයක් (06) වෙන් කර තිබෙනවා.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශ හැර රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සළකුණු කිරීම ජූලි මස 14 සහ 15 වනදා සිදුකිරීමට නියමිතයි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශවල තැපැල් ඡන්ද සළකුණු කිරීම ජූලි මස 16 සහ 17 වනදා සිදු කරන බව මැතිවරණ කොමිසම නිවේදනය කළා.

එම දිනවලදී තැපැල් ඡන්දය සළකුණු කිරීමට අවස්ථාව නොලැබෙන තැපැල් ඡන්ද හිමියන්ට ජූලි මස 20 සහ 21 යන දිනවලදී සිය ඡන්දය භාවිත කළ හැකියි.

එසේම පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම ජූලි මස 11, 12 සහ 13 යන දිනවලදී සිදු කෙරෙනවා ෴

***************************************

‘වට්ස්ඇප්’ හරහා මුදල් ගෙවීමේ නව ක්‍රමවේදය බ්‍රසීලයෙන් ඇරඹෙයි

(16.06.2020 – 17:04 +0530 – hirunews.lk/sinhala)

ලොවපුරා සිටින බොහෝ ව්‍යාපාරිකයන්ට ‘වට්ස්ඇප්’ ගිණුම භාවිත කරමින් මුදල් ගණුදෙනු කිරීමේ අවස්ථාව ඉදිරියේදී හිමිවනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

ඒ ෆේස්බුක් සමාගම විසින් වට්සැප් ගිණුම් හරහා මුදල් හුවමාරු කරගැනීමට අවස්ථාව සලසාදීම හේතුවෙන්.

එහි ප්‍රථම පියවර ලෙස මේ වනවිට ඔවුන් බ්‍රසීලයට මෙම නව මුදල් හුවමාරු ක්‍රමය හඳුන්වා දී තිබෙනවා.

ෆේස්බුක් සමාගම පවසන්නේ යාවත්කාලීන කරන ලද නව වට්සැප් ගිණුම් හරහා මෙලෙස මුදල් ගනුදෙනු සිදුකළ හැකි බවයි.

ඉන්දියාවට පසුව මේ වනවිට වැඩිම වට්ස්ඇප් පරිශීලකයන් ප්‍රමාණයක් සිටින්නේ බ්‍රසීලය තුලයි.

කෙසේ වෙතත් ඉදිරියේදී මෙම ක්‍රමවේදය අනුගමනය කරමින් ලොවපුරා පවතින විවිධ සමාජ ජාල හරහා මුදල් හුවමාරු කිරීම ආරම්භ විය හැකි බවද ඔවුන් පවසනවා.

එය ගනුදෙනු කරුවන්ගේ ආරක්‍ෂිත භාවය වැඩිදුරටත් සුරක්ෂිත කෙරෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙලෙස බ්‍රසීලය තුළ වට්ස්ඇප් ගිණුම ඔස්සේ මුදල් හුවමාරු කිරීමේ නව ක්‍රමවේදය හඳුන්වාදීමේ මූලික අරමුණ වන්නේ එරට වෙසෙන මිලියන 10 කට අධික කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අතර මෙම ක්‍රමවේදය ප්‍රචලිත කරවීමයි.

මෙම නව ක්‍රමවේදය භාවිත කරමින් තනි පුද්ගලයන් සඳහා නොමිලේ මුදල් හුවමාරු කළ හැකි අතර ව්‍යාපාරිකයන් සඳහා යම් මුදල් ගෙවීමකින් පසුව එම ගණුදෙනු සිදුකිරීමට හැකියාව පවතිනවා.

එහිදී ඇඟිලි සලකුණු ක්‍රමවේදය සහ කේත අංක භාවිත කරමින් මෙම ගණුදෙනුවල ආරක්‍ෂිත බව තවත් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා ෴

***************************************

වැටුණු ආර්ථිකය ගොඩනැගීමේ වගකීම පැහැර හරින්න එපා, නිවැරදි උපාය කුමක්දැයි මට කියන්න – ජනපති මහබැංකු ප්‍රධානීන්ට කියයි

(16.06.2020 – 16:42 +0530 – hirunews.lk/sinhala)

වැටුණු ආර්ථිකය ගොඩනැගීමේ වගකීම පැහැර නොහැර නිවැරදි උපාය කුමක්දැයි තමන්ට දැනුම්දෙන ලෙස ජනපති මහබැංකු ප්‍රධානීන්ට ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහබැංකු අධිපති ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අවවාදාත්මක ප්‍රකාශය සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින් :

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

ගිනි නිවීමේ රථයක් අනතුරට ලක්වී එක් අයෙකු මියගොස් දෙදෙනෙකුට තුවාල

(16.06.2020 – 16:24 +0530 – hirunews.lk/sinhala)

යාපනය – මහ නගර සභාවේ ගිනි නිවීමේ රථය අනතුරට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කලේ අද (16) දහවල් යාපනය – නිර්වේලි ප්‍රදේශයේදී ගිනි නිවීමේ රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් එම රථයට බරපතල හානි සිදුව ඇති බවද පොලීසිය සඳහන් කළා.

අනතුර සම්බන්ධයෙන් කෝපායි පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භකර තිබෙනවා.

***************************************

පාලිත තෙවරප්පෙරුම හදිසියේම රෝහල්ගත කෙරේ

(16.06.2020 – 15:27 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා මේ වනවිට නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තාවනවා.

හදිසි හෘද සැත්කමක් සඳහා ඔහු මෙලෙස රෝහල්ගතකර ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.

***************************************

තඹ ආශ්‍රීත නිශ්පාදන වැඩි මිලට මෙරටට ආනයනය කිරීමේ ජාවාරමක්

(16.06.2020 – 15:24 +0530 – hirunews.lk/sinhala)

දශක ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ තඹ කර්මාන්තයට මහර සහ මහනුවර ප්‍රදේශ නිතැතින්ම ප්‍රසිද්ධියක් උසුලනවා.

නමුත් දේශීය තඹ කර්මාන්තකරුවන් මේ වනවිට දැඩි අපහසුතාවට පත්ව ඇති බව හිරු ප්‍රවෘත්ති කළ සොයා බැලීමකදී අනාවරණ වුණා.

තඹ කර්මාන්තය ආශ්‍රීතව සිය ජීවිකාව ගෙන යන සේවකයින් ද පවතින තත්ත්වය හේතුවෙන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.

කර්මාන්තකරුවන් චෝදනා කරන්නේ පැවති රජය තඹ , පිත්තල, ආශ්‍රීත නිර්මාණ මෙරටට ආනයනය කිරීම සහ අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගැනීමට පවතින ගැටළු හේතුවෙන් කර්මාන්තය අවදානමට ලක්ව ඇති බවයි.

තඹ කර්මාන්තයට යොදා ගන්නා අමුද්‍රව්‍ය සහ අබලි ද්‍රව්‍ය කිසිදු විදේශ විනිමයකින් තොරව ඉන්දියාව වැනි රටවල් සඳහා අපනයනය කිරීමෙන් පසු නැවත එම රටවල් වලින් තඹ ආශ්‍රීත නිශ්පාදන සිදු කර වැඩි මිලට මෙරටට ආනයනය කිරීමේ ජාවාරමක් ද සිදු වන බවද කර්මාන්තකරුවන් පෙන්වා දෙනවා.

තඹ කර්මාන්තය ආශ්‍රීත ව්‍යාපාරිකයින් ද සඳහන් කරන්නේ දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට කාලය එළැඹ ඇති බවයි.

***************************************

‘රතු මිනිත්තුව’ : අභාවයට යන සියඹලාගස්වැව මහ වැව

(16.06.2020 – 15:07 +0530 – hirunews.lk/sinhala)

රටටම බත සැපයීමට දායක වන ආනමඩුව – මහකුඹුක්කඩවල ගොවි මහතුන් විශාල පිරිසක් සිය ජීවිකාව සරි කර ගන්නේ වී ගොවිතැනින්.

ඔවුන්ගේ ගොවිතැන් සඳහා වෙන්කර ඇති කුඹුරු අක්කර 75 ක් පමණ පෝෂණය වන්නේ මේ මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි සියඹලාගස්වැව මහවැවෙන්.

කුඩා වැව් 30 කින් පමණ වාන් දමන ජලය මහවැවට ගලාවිත් ඉන්පසුව මහවැව වාන් දැමිමත් සමඟ කොට්ටුකච්චිය හා කච්චිමඩුව ජලාශ ද මින් පෝෂණ වනවා.

ඒ දහස් සංඛ්‍යාත ගොවි ජනතාවගේ කෘෂි කාර්මික ජීවන රටාවට විශාල ශක්තියක්වෙමින්.

නමුත් දශක ගණනකින් මෙම වැව ප්‍රතිසංස්කරණය නොකිරීමෙන් වැවෙහි භූමි ප්‍රමාණයෙන් අඩකටත් වඩා ගොඩ වෙමින් පවතින අතර අවස්ථා ගණනාවකදී වැවෙහි වෑ කන්ද කැඩී යාමෙන් තමන් දැඩි අපහසුතාවකට පත්වූ බව ගොවීන් ‘රතු මිනිත්තුව’ට සඳහන් කළා.

පසුගිය කාලය පුරාම වැව් සංවර්ධනය කරන බව පවසා විවිධ ව්‍යාපෘති මාධ්‍ය ඔස්සේ කරළියට පැමිණියත් මෙවැනි සියලු ව්‍යාපෘති වලින්ද මෙම වැව මඟහැර ඇති පසුබිමක මෙම වැව පිළිබඳව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

ETI අධ්‍යක්ෂවරුන් වන ජීවක, නාලක, අසංක, දීපා එදිරිසිංහ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

(16.06.2020 – 14:48 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (16) වරෙන්තු නිකුත් කළා.

ඒ, ඊ.ටී.අයි. තැන්පතුකරුවන් තුන්දෙනෙකු විසින් පවරා තිබූ නඩු අද (16) විභාගයට ගත් අවස්ථාවේදී අදාළ සැකකරුවන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

තැන්පතුකරුවන් තුන්දෙනා (03) වෙන් වෙන් වශයෙන් මෙම නඩු පවරා තිබුණා.

කෙසේ වෙතත් සැකකරුවන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන ඊ.ටී.අයි. සමාගමේ අධ්‍යක්‍ෂවරුන් ඊට අදාළව අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

කරුණු සළකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කළ අතර, නඩුව යළි ඔක්තෝම්බර් 08 වනදා කැඳවීමටද නියෝග කළා ෴

***************************************

චෝදනා වලට ආරක්ෂක ලේකම්ගෙන් පිළිතුරු

(16.06.2020 – 13:54 +0530 – hirunews.lk/sinhala)

සුරක්ෂිත, විනයගරුක, ගුණගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් රාජ්‍ය නිලධාරීන් තමන් යටතට පත් කර ඇති බවට පළ වන වාර්තා පදනම් විරහිත බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ආරක්ෂක අමාත්‍යාංශයේ අද (16) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

***************************************

උසස් පෙළ විභාගය පැවැත්වීම ගැන අවසන් තීරණය පාසල් ආරම්භ කිරීමෙන් පසු එළඹෙන පළමු සති අන්තයේ දී

(16.06.2020 – 19:22 +0530 – hirunews.lk/sinhala)

මෙවර උසස් පෙළ විභාගය පවත්වන දින පිළිබඳ අවසන් තීරණය පාසල් ආරම්භ කිරීමෙන් පසු එළඹෙන පළමු සති අන්තයේ දී ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.

පාසල් ආරම්භ වූ පසු, අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ, එම පන්තිවල ඉගැන්වීම් සිදුකරනු ලබන ගුරු භවතුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ අදහස් හා යෝජනා පුළුල් වශයෙන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගැනීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ෴

***************************************

කොරෝනා ආසාදිතයන් සුවකළ සුව විරුවන් 1000 කට හිමිවන සුපිරි අවස්ථාව මෙන්න

(16.06.2020 – 18:52 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයන් සුවකළ සුව විරුවන් 1000කට නිවාඩු පැකේජයක්

කොවිඩ් 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේදී වගකීමෙන් සහ කැපවීමෙන් කටයුතු කළ සුව සේවා විරුවන්ට උපහාර පිණිස Cinnamon Hotels & Resorts වෙතින් නොමිලේ නිවාඩු පැකේජයක් පිරිනමා තිබෙනවා.

“Cinnamon සුවවිරු ප්‍රණාම” ලෙස නම් කර ඇති පැකේජය පිළිබඳ ප්‍රකාශය John Keells Holdings සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර මහතා විසින් අද (16) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වූවා.

කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කළ රෝහල්වල කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නම් කිරීම මත පැ‍කේජ 1000 ක් පිරිනමා තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට Cinnamon Hotels & Resorts යටතේ ඇති හෝටල් 09 න් එකක සියලු පහසුකම් සහිතව රාත්‍රී දෙකක් නොමිලේ තම නිවාඩුව ගත කිරීමට අවස්ථාව හිමි වනු ඇති.

මෙම පැකේජය 2020 ජූලි 1 වැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා වලංගුව පවතින අතර Cinnamon Grand Colombo, Cinnamon Lakeside Colombo, Cinnamon Red Colombo, Cinnamon Bey Beruwala, Cinnamon Wild Yala, Cinnamon Lodge Habarana, Cinnamon Citadel Kandy, Habarana Village by Cinnamon සහ Trinco Blu by Cinnamon යන හෝටල් නවයෙන් එකක් ඒ සඳහා ඔවුන්ට තෝරා ගැනීමට හැකියාව පවතිනවා ෴

***************************************

කොරෝනා මරණ අඩු කළ හැකි ඖෂධයක්

(16.06.2020 – 19:47 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය වැළඳී අසාදිතව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ලබා දිය හැකි අඩු මිලැති වෙළෙඳපොළේ බහුලව ඇති ඖෂධයක් පිළිබඳ ව තොරතුරු වාර්තා වේ.

“Dexamethasone” එම ඖෂධය, මාරාන්තික කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කළ හැකි බව එක්සත් රාජධානියේ විශේඥයින් පවසති.

එම ඖෂධය මේ වන විටත් කොරෝනා වෛරසයට ප්‍රතිකාර ලෙස අත්හදාබැලීම් සඳහා යොදාගෙන තිබේ.

එම ඖෂධය නිසා ස්වසන උපකරණ පිහිටෙන් සිටින රෝගීන්ගේ මරණ තුනෙන් එකක ප්‍රමාණයකින් සහ ඔක්ෂිජන් ලබා දෙමින් සිටින රෝගීන්ගේ මරණ 20% න් පමණ අඩු වන බව පෙනී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි ෴

Coronavirus : Dexamethasone proves first life-saving drug

***************************************

බූස්සේ අධි ආරක්ෂිත බන්ධනාගාරයක්

(16.06.2020 – 16:27 +0530 – sinhala.adaderana.lk)

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නම් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

අද (16) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

අවධානම් සහගත සැකකරුවන් සියලු දෙනා ඉදිරියේ දී බූස්ස බන්ධනාගාරයේ රැඳ වීමට කටයුතු කරන බවද බන්ධනාගාර කොමසාරිස්වරයා මෙහිදී පැවසීය.

මේ අතර , සිරකරුවන් 120 දෙනෙකුට රැකියා අවස්ථාවක් ලබා දීමට ඉදිරියෙදි කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවසයි.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සමාගමක් සමඟ එකතුව මෙය සිදු කිරීමට නියමිත අතර මොවුන්ට වැටුපක් ලැබෙන බවත් එම මුදල් ඔවුන්ගේ පවුලේ සුබසිද්ධිය සඳහා යෙදවීමට කටයුතු කරයි.

මෙම සිරකරුවන් 120 ම වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් වන අතර මෙම පිරිස 250 දෙනෙකුගෙන් තොරාගත් පිරිසක් බව ඒ මහතා පැවසීය.

මෙම පිරිස වසර 7 ක් දක්වා සිර දඬුවම් නියම වු පිරිසක් බවද ඔහු එහිදි පැවසීය.

+++++++++++++++++++++++++++++++++++

***************************************

ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කළොත් දැනුම් දීමට දුරකථන අංකයක්

(16.06.2020 – 12:48 +0530 – sinhala.adaderana.lk)

ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ පිළිබඳ පැමිණිලි කළ හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට ඒ පිළිබඳ පැමිණිලි කළ හැකි බවය.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් බස්රථවල මගී ප්‍රවාහනය ආසන ගණනට පමණක් සීමා කරන ලෙස උපදෙස් ලබාදී තිබුණ ද ඇතැම් පුද්ගලික බස් රථවල ආසන සංඛ්‍යාව ඉක්මවා මගින් ප්‍රවහනය කරන බවට තොරතුරු වාර්තා වි ඇති බව නිලාන් මිරැන්ඩා මහතා පැවසීය.

මේ අතර පාසල් යළි විවෘත කළ පසු පාසල් සිසුන් ප්‍රවාහන සේවා යළි ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් වන විශේෂ සාක්ච්ඡාවක් ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර හා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (16) පැවැත්වීමට නියමිතව තිබේ.

සෞඛ්‍ය අංශ ලබා දි ඇති සෞඛ්‍යාරක්ෂිත උපදෙස්වලට අනුකුලව පාසල් සිසු ප්‍රවාහන සේවා යළි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමුවන බව මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍යංශය සඳහන් කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *