(13.06.2020 – mawbima.lk)
රටේ ආරක්ෂක ක්ෂේත්‍රයේ පරිපාලන කටයුත්තේ ප්‍රධානතම තනතුර ඔබ වෙත පැවරිලා. කොහොමද මෙය දැනෙන්නේ ඔබට?
ඇත්තටම ඕනෑම රජයක තියෙනවා රාජ්‍ය යාන්ත්‍රණයක්. විධායකය, ව්‍යවස්ථාදායකය ආවම එහි අමාත්‍යාංශ තියෙනවා. ව්‍යවස්ථාදායකයේ උඩින්ම තියෙන යාන්ත්‍රණය තමයි අමාත්‍යාංශ. ඒ අමාත්‍යාංශවල ඉතාමත් වැදගත් එකක් ආරක්ෂක අමාත්‍යාංශය. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉහළින්ම තියෙන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම. හේතුව ජාතික ආරක්ෂාව තහවුරු නොකර රටක් දියුණු කරන්න බෑ. ඒ නිසා ආරක්ෂක අමාත්‍යාංශය වැදගත් වෙන්නේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානියා විදිහට හැමදාම අමාත්‍යාංශය භාරව හිටියේ හිටපු ජනාධිපතිවරුන්. ඒ නිසා ආරක්ෂක ලේකම්වරයා කෙළින්ම වගකියන්න ඕනෑ ජනාධිපතිතුමාට. මාවත් ආරක්ෂක ලේකම් ධුරයට පත්කළා. කෙනකුට හිතෙන්න පුළුවන් රටේ නිලධාරීන් ඉන්නවා. රටේ පරිපාලනය ගෙන යන්නේ ඒ නිලධාරීන්. නමුත් ජාතික ආරක්ෂාව කියන්නේ ඊට වඩා බොහොම සංකීර්ණ දෙයක්.
එය ඔබ පැහැදිලි කරන්නේ කොහොමද?
ආරක්ෂාව, හරි මිනිස්සු දාලා කළේ නැත්නම් ඒ කියන්නේ ඒ ගැන දැනුම තියෙන අත්දැකීම් තියෙන ඒ වගේ ඒ අංශයෙන් ගොඩක් හිතන්න පුළුවන්කමක් තියෙන කෙනෙක්ව දාලා ආරක්ෂක අමාත්‍යාංශය දිව්වෙ නැත්නම් වෙන්නේ විනාශයක්. ඊට හොඳම උදාහරණය පාස්කු ඉරිදා ප්‍රහාරය. මම ආරක්ෂක විශේෂඥයෙක් විදිහට කවදාවත් කියන්නේ නෑ ඔය පාස්කු ප්‍රහාරය ත්‍රස්තවාදීන්ගේ දක්ෂකමක් කියලා. ත්‍රස්තවාදීන්ගේ කිසිම දක්ෂකමක් නෑ. 97 පාරක් ඒ ගැන ඔත්තු ලැබිලා තියෙනවා. ඔත්තු ක්‍රියාවට නැංවූයේ නෑ. මෙය නොදැනුවත්කම නිසා කළ අතපසු කිරීමක්. ඒ වගේ දේවල් නොවෙන්න නම් ආරක්ෂාව ගැන දන්න, ආරක්ෂක විශේෂඥයෙක් ලේකම් විදිහට පත් කරන්න ඕනෑ. මම විශ්වාස කරනවා යුද්දෙ මුල සිට අග දක්වා ඉඳලා ඒ ගැන මට හසල දැනුමක් තියෙනවා ආරක්ෂාව ගැන. අපිට ගව් ගාණක් ඈත තියලා සුවඳ දැනෙනවා. මොකක්ද වෙන්න යන්නෙ කියලා දැනෙනවා. ඉතින් ඒ වගකීම බොහොම සද්භාවයෙන් මං භාරගෙන තියෙනවා. ඒ වගේම මගෙ උපරිම හැකියාව යොදලා මගේ කණ්ඩායම්, බුද්ධි අංශ ඒකරාශි කරගෙන ඒ වැඩපිළිවෙළ මං කරගෙන යනවා.
ඔබට අනුව රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ මේ මොහොතේ යම් තර්ජනයක් තිබෙනවද?
ජාතික ආරක්ෂාව කිව්ව ගමන් කෙනකුට හිතෙන්න පුළුවන්, ඒ ත්‍රස්තවාදීන්ගෙන් එන ප්‍රහාරයක් කියලා. වෙන රටකින් එන විදේශ ආක්‍රමණයක් ගැන කිව්වම ඒකට එරෙහිව ක්‍රියාකිරීම තමයි ජාතික ආරක්ෂාව. නමුත් රටට ස්වාභාවික විපතක් හරි මොකක් හරි වෙනවා නම් ඊට එරෙහිව රටේ මිනිසුන්ගේ ආරක්ෂාව සැපයීම ජාතික ආරක්ෂාව. ඒ වගේම තමයි රටේ වසංගතයක් පැතිරිලා රටේ මිනිස්සු බල්ලො, බළල්ලු, මැස්සො, මදුරුවෝ වගේ මැරිලා යනවා නම් එයට ඉඩ නොදී ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම. ඒකත් ජාතික ආරක්ෂාවට අයිතියි. ඉතින් මේ වෙලාවේ බැලුවමත් ජාතික ආරක්ෂාවට තර්ජනය තියෙනවා. එකක් බෙදුම්වාදය. අපි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය සහමුලින්ම නැති කළා. ඒ 2009 මැයි 19 උදේ 10:30 ට. නමුත් ත්‍රස්තවාදය නැති කළාට අපිට බෙදුම්වාදය නැති කරන්න බැරිවෙලා තියෙනවා.
නමුත් පසුගිය කාලය පුරාම අන්තවාදී කල්ලිවල නැඟිටීම් සමාජ මාධ්‍ය ජාලාවල දක්නට තිබුණා. දැන් ඒවා සමනය වෙලාද?
කවුද මේ අන්තවාදී කණ්ඩායම්. අන්තවාදී කණ්ඩායම් කියන්නේ තමන්ගේ ලාබයට තමන්ගේ හෙට දවස හදාගන්න, තමන්ගෙ බඩ වඩාගන්න නොයෙක් මාර්ග අනුගමනය කරන අය. ඒවා දේශපාලන හෝ ආගමික මාර්ග වෙන්න පුළුවන්. එහෙම නැතිනම් වෙනත් ආකාරයට මුදල් උපයන මාර්ග වෙන්න පුළුවන්. නමුත් අහිංසක ජනතාව බිල්ලට දීලා තමන්ගේ අභිමතාර්ථයන් ඉෂ්ට කරගන්න එකයි අන්තවාදය. අපේ රට අන්තවාදයට ගොදුරු වුණු පැති කිහිපයක් තිබෙනවා. බෙදුම්වාදය එකක්. එදා ජාත්‍යන්තර දෙමළ ඩයස්පෝරාවෙන් කොටසක් එදා ප්‍රභාකරන්ට සහාය දීපු අය අවියෙන් බෙදුම්වාදය පතුරවන්න උදවු කළ අය අද අවි නැති නිසා වෙනත් රටවල නායකයන්, ආණ්ඩු සම්බන්ධ කරගෙන වෙනත් මාර්ගයකින් බෙදුම්වාදය පෝෂණය කරනවා. ඒ වගේම ලොව ගරුකටයුතු ආගමක් වැරදි ලෙස පාවිච්චි කරලා තරුණයන් විනාශ කරලා ආගමික අන්තවාදයක් ඇති කරලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් තමයි පාස්කු ප්‍රහාරය. ඒක තවදුරටත් ඔඩුදුවන්න ඉඩ තියනවා.
මේ අන්තවාදයේ දේශපාලනයක් පැහැදිලිව ප්‍රබලව ගෑවී තිබෙනවා නේද?
ඔව්. විවිධ දේශපාලන හේතූන් මත නොයෙක් දේශපාලන සංවිධානවල අය රටේ මිනිසුන්ගේ යහපත තකන්නේ නැතුව තමන්ගේ පැවැත්ම හා සංවිධානයේ දියුණුව සඳහා නොයෙක් දේ කරනවා. නමුත් අපේ අඩුපාඩුවක් වෙලා තිබ්බ බුද්ධි අංශ ඒකරාශී කිරීම. ජනපතිතුමා මට දුන් ප්‍රධාන උපදෙස්වලින් එකක් තමයි බුද්ධි අංශ සියල්ල එක කුඩයක් යටට ඒකරාශී කිරීමය. ඉතින් මම බුද්ධි අංශ ඔක්කොම ඒකරාශී කරලා තියෙනවා. හැම සතියෙම අපි එකතු වෙලා බුද්ධි අංශ නායකයෝ හැම දෙයක් ගැනම අපි කතා කරනවා. ඔය අන්තවාදී සංවිධානවලින් කරන හැමදෙයක්ම අපේ බුද්ධි අංශවලින් මොනිටර් කරනවා. ඒ නිසා මට සෑහෙන විශ්වාසයක් තියෙනවා ඒ අන්තවාදයට අපි හිස ඔසවන්න දෙන්නෙ නෑ කියලා.
ඒ වගේම සහරාන්ලාගේ දෙවැනි ප්‍රහාර සැලැස්මක් ගැන පොලිසිය තොරතුරු අනාවරණය කළා. ආරක්‍ෂක ලේකම් වශයෙන් ජාතික ආරක්‍ෂාව ගැන ඔබට දියහැකි සහතිකය මොකක්ද?
ත්‍රස්තවාදීන් ත්‍රස්තවාදය පටන් ගත්තේ එක්කෝ ආගමක් මුල් කරගෙන, එක්කෝ බෙදුම්වාදයක් මුල් කරගෙන, එක්කෝ වෙනත් සමාජයේ ඇති නැති පරතරයක් හරි දුප්පත්කමක් හරි මුල් කරගෙන. ඉතින් එල්.ටී.ටී.ඊ. සංවිධානය පෙරට ආවේ බෙදුම්වාදය මුල්කරගෙන. සහරාන්ලා ආවේ ආගම වැරදි විදිහට භාවිත කරමින්. එතකොට වැරදි විදිහට මොනිටර් කරනවා. පොලඹවනවා. මොළ සේදීමක් කරනවා. අඳ භාවයට පත් වුණාම ඕනෑම විනාශයක් කරනවා. පළමු රැල්ලේදී මහා විනාශයක් වුණා. හමුදාව, පොලිසිය, විශේෂ කාර්ය බළකාය, බුද්ධි අංශ සියල්ල එක් කරලා අපි ඒක යළි නොවෙන තැනකට ගෙනත් තියෙනවා. දෙවැනි රැල්ලක් ගේන්න ඒගොල්ලන්ට සැලසුම් තියෙන්න ඇති. බලාපොරොත්තු තියෙන්න ඇති. නමුත් අපි දැනට කරගෙන යන වැඩපිළිවෙළට අනුව දෙවැනි රැල්ලක් ඇති වෙන්න අපි ඉඩ තියන්නේ නෑ. මම ඒ ගැන දැඩි විශ්වාසයෙන් කියන්නේ. ආරක්‍ෂක ලේකම් හැටියට දෙවැනි රැල්ලක් එන්න මම ඉඩ තියන්නේ නෑ.
සහරාන්ලාගේ බෝම්බ ප්‍රහාරවලට අදාළ පරීක්‍ෂණවල ප්‍රගතිය කොහොමද මේ වෙද්දී?
ඇත්තටම මේ ප්‍රහාරයේ පරීක්ෂණ බොහොම මන්දගාමීවෙලා තිබුණේ පසුගිය පැවැති රජය පැවැති කාලයේදී. යන්න ඕනෑ මාර්ගය ඉතා පැහැදිලිව පෙනෙන්න තියෙනකොට ඒ මාර්ගයේ යන්නෙ නැතිව වෙන මාර්ගයකට හැරිලා තියෙනවා. මමත් මේ තනතුරට ආවට පස්සේ ඒ සම්පූර්ණ ක්‍රියාවලිය හොඳට අධ්‍යයනය කරලා ඒකට අවශ්‍ය හොඳ, දක්‍ෂ නිලධාරීන් දාලා ඒ කියන්නේ මෙතැන සිදුවුණේ දේශපාලන හෝ වෙනත් පළිගැනීමක් නෙමේ. මේක අවශ්‍ය අර මැරුණු දෙසීය අනූ ගාණටයි තුවාල වුණු පන්සිය ගාණටයි යුක්තිය ඉෂ්ට කරන්න. ඒ අයගේ මවුපියන්ට, දරුවන්ට, බිරින්දෑවරුන්ට යුක්තිය ඉටු කරන්න. අපි යුක්තිය ඉටු කරන්න බැඳිලා ඉන්නවා.
ඔබ කියූ ආකාරයට ඒ අඩපණ වී තිබූ බුද්ධි අංශ දැන් සම්පූර්ණ සක්‍රිය වී තිබෙනවද?
මම මේ තනතුරට එනකොට බුද්ධි අංශ එකිනෙකා පස්සේ හඹා යන තත්ත්වයක් තිබුණා. සී.අයි.ඩී. එකෙන්, නැත්නම් ටී.අයි.ඩී. එකෙන් මිලිටරි ඉන්ටෙලිජන්ස් එක පස්සේ යනවා. අත්අඩංගුවට ගන්නවා. හිරේ දානවා. මේ හැමෝම එකට වැඩ කරපු අය. නමුත් අපි නැවත වතාවක් ආරක්‍ෂක අමාත්‍යාංශය කියන කුඩය යටට සෑම බුද්ධි අංශයක්ම එක්කර තිබෙනවා.
හැම ක්ෂේත්‍රයකම කාර්යයන් සඳහා බොහෝ විට හමුදාව මැදිහත් කරගැනීම, ඉහළ අධ්‍යක්‍ෂ ධුර, සභාපති ධුර පවා හිටපු හමුදා නිලධාරීන්ට ලබාදීම ගැන ප්‍රබල විවේචනයක් තිබෙනවා. ඇත්තටම මෙයින් රට මිලිටරිකරණයට පත් වීමක්ද යන ගැටලුවේ බහුතරයක් සිටින්නේ?
ඒ කතාවට මං එකඟ නැහැ. නොවැම්බර් 20 හෝ 21 ජනාධිපති දිවුරුම් දීලා ඊට පස්සේ අමාත්‍ය මණ්ඩලයක් පත් කළා. ඒ අමාත්‍ය මණ්ඩලයට ලේකම්වරු පත් කළා. මං හිතන්නේ රාජ්‍ය අමාත්‍යවරුන්ගෙ ලේකම්වරුන් එක්ක. 30 – 40 ක් අතර ගාණක් පත් කළා. එහි එකම ලේකම්වරයා මම හමුදා නිලධාරියෙක් ලෙස. ඊට අමතරව ජනාධිපතිතුමා අලුතින් තානාපතිවරුන් පත් කළා. එකම එක විශ්‍රාම ගිය හමුදා නිලධාරියයි තානාපති පදවියකට ගියේ. ඒ පාකිස්තානයේ තානාපති ලෙස ගිය අද්මිරාල් මොහාන් විජේවික්‍රම. පසුගිය රජය කාලයේ රටවල් හයකට තානාපතිවරු ඇරියා හිටපු හමුදා නිලධාරීන්. ජනාධිපති හමුදා නිලධාරියෙක් වෙලා එක තානාපතිවරයයි යැව්වේත්. ඒ යැව්වෙ එහෙන් ඉල්ලන්නේ විශ්‍රාමික හමුදා නිලධාරියෙක් නිසා. ඒ නිසා ඔය මිලිටරිකරණය කියන කතාව සම්පූර්ණ වැරදි නිර්වචනයක්. නමුත් මේ කොවිඩ් ප්‍රශ්නය ඔඩුදුවන් යනකොට මේක පාලනය කරගන්න හමුදාව යෙදෙව්වා.
හමුදාවයි, සෞඛ්‍ය අංශයි අතර ලොකු සංකලනයක්, අවබෝධයක් සහයෝගයක් තියෙන්න අවශ්‍ය වුණා. ඉතින් ඒක ප්‍රශ්න සහගත වෙනකොට ජනාධිපතිතුමා අපේ යුද හමුදාවේ හිටපු ලංකාවේ ඉන්න හොඳම විකිරණ විශේෂඥ වෙවද්‍යවරයා යුද හමුදාවේ හිටපු ජෙනරාල්වරයා හමුදාවෙන් ගලවලා අරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා බවට පත් කළා. ඒ හැර ජෙනරාල් සුමේධ පෙරේරාව දැන් සති දෙකකට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කළා. මොකද ඒ විෂය ගැන ඔහුට හසළ දැනුමක් තියෙන නිසා.
ඔබේ ප්‍රධානත්වයෙන් රටේ විනය, නීතිය හා යහපැවැත්ම හදන්න වෙනම කාර්ය සාධක බළකායක් ස්ථාපිත කළා. මෙහි හතර මායිම කොහොමද?
එහි අරමුණ මේ රට වෙළා ගන්න යක්කු ඉන්නවා. අපේ අනාගත පරම්පරාව නැති කරන්න ඇවිත් ඉන්න යක්කු ගැන මිස මම මේ මනුස්සයෝ ගැන නෙවේ කතා කරන්නේ. එකක් තමයි කුඩු යක්‍ෂයා. තවත් එකක් තමයි සංවිධානාත්මක අපරාධ යක්‍ෂයන්. තව එකක් තමයි කප්පම් ගැනීම. තව පාතාලය.
ඉතින් මේ සියල්ල මෙහෙයවන්නේ බන්ධනාගාර ඇතුළතින්මයි නේද?
ඔව්. ඉතින් අපි දන්නවා, මේවා කවුද මෙහෙයවන්නේ කියලා.
ඔබට සෘජුවම කිව හැකිද? කවුද මේ මෙහෙයවන්නෝ කියලා ප්‍රකාශ කිරීමට?
පාතාල නායකයෝ බන්ධනාගාර ඇතුළට යනවා මොකක් හරි වරදකට අහුවෙලා. මොකද බන්ධනාගාර ඇතුළට ගියාම ජීවිත ආරක්‍ෂාව තියෙනවා. කිසිම ප්‍රධාන අපරාධ කල්ලි සාමාජිකයකුට මා දන්න තරමින් ස්වාභාවික මරණයක් සිදුවෙලා නෑ. අග්ගොන චන්දරේද මරු සිරාද බැද්දගානේ සංජීවද වම්බොට්ටාද සමයංද ඔය කියන හැම කෙනාම තවත් පාතාල සාමාජිකයන්ගෙන් මැරුම් කන්නේ. පාතාල කල්ලි සාමාජිකයන්ට බියක් තියෙනවා එළියෙ ඉන්නකොට. ඒ නිසා ඒ අයගේ බිස්නස් ආරක්‍ෂාවක් ඇතුළත මෙහෙයවන්න තෝතැන්නක් වෙලා තියෙනවා අද බන්ධනාගාර. මොකද බන්ධනාගාරවල ඉන්න නිලධාරීන් බොහෝ දෙනෙක් දුෂිත නිලධාරීන්. මේ කාර්ය සාධක බළකාය ජනාධිපතිතුමා පත් කළේ රජයේ නිලධාරීන් පාලනය කරන්නවත් රජයේ නිලධාරීන් ක්‍රියා කරන හැටි බලන්නවත් නෙමේ. වැරදි අර්ථකථනයක් සමාජ මාධ්‍ය ජාලාවල යනවා. විශේෂයෙන්ම මේ රටේ යන අපරාධ රැල්ල, කුඩු රැල්ල, කප්පම් ගැනීමේ රැල්ල, සංවිධානාත්මක අපරාධ රැල්ල වගේම පාතාලය මර්දනය කිරීමට අවශ්‍ය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇතුළුව ඒ ක්‍රියාත්මක කරන්න ඕනෑ යාන්ත්‍රණය ක්‍රියා කරවීමට තමයි මේ කාර්ය සාධක බළකාය පත් කළේ.
අපේ රටේ කිසි දිනෙක පාතාලය සම්පූර්ණයෙන් මර්දනය කිරීමට රටට කුඩු ගෙන ඒම වළක්වන්න නොහැකි වෙලා තියෙනවා. නව බන්ධනාගාර කොමසාරිස්වරු හෝ නිලධාරීන් පත් කිරීම වැනි ඔළු ගෙඩි මාරු කිරීම හෝ ‘පාතාලයට බැස්ටිය දෙනවා’ වැනි සෘජු වචන පමණක් ප්‍රමාණවත් නෑ නේද ආරක්‍ෂක ලේකම්තුමා?
ඔළු ගෙඩි මාරුවෙන එක ඇත්ත. නමුත් ඔළු ගෙඩි මාරු වෙනකොට ඒ ඔළු ගෙඩි ඇතුළේ මොනවාද තියෙන්නේ කියලා බලලා මාරු කරන එක තවත් දෙයක්. ඔළු ගෙඩියට ඔළු ගෙඩියක් මාරු කරන්න පුළුවන්. නමුත් මේ ඔළු ගෙඩියට තව ඔළුගෙඩියක් මාරු කරන කොට ඒක රට ගැන දර්ශනයක්, රට ගැන දැක්මක්, දැනුමක් තියෙන නායකයෙක් කරන්නේ ඒ ඔළු ගෙඩි නිකම්ම නිකම් මාරු කරන්නේ නෑ. ඒ ඔළු ගෙඩි ඇතුළේ යම් කිසි හිතන්න පුළුවන්කමක්, පෙලඹවීමක් ඒ වගේම හැකියාවක්, පරිපාලනය ගැන දැනුමක් තියෙන අය තමයි දාන්නේ.
ඔබේ ඒ විනය, නීතිය යහපැවැත්ම පිළිබඳ කාර්ය සාධක බළකායට කිසිදු දේශපාලනඥයෙක් සම්බන්ධ කර නොගත්තේ අපේ දේශපාලනඥයන් විනයක් නැති නීති ගරුක භාවයක් හෝ යහ පැවැත්මක් නැති පිරිසක් බව තහවුරු කිරීමටද?
නෑ. මේ බළකායට භාරදී තිබෙන කාර්යභාරයට දේශපාලනඥයොයි ඔක්කොමයි දාගෙන කරන්න අමාරුයි. දේශපාලනඥයන්ට කරන්න වෙනම කාර්යභාරයක් තියෙනවා. දේශපාලනඥයෝ ඇවිත් බලයට පත් වුණාම ඒ අයට වෙනම වගකීම් භාර දෙනවා. මේ බළකායට භාර වෙලා තියෙන හැම කාර්යභාරයක්ම පැවැරී තිබෙන්නේ පොලිසියටයි, විශේෂ කාර්ය බළකායටයි, බුද්ධි අංශවලටයි, හමුදාවටයි. හැබැයි මේකට අරගෙන මේ කොන ඉඳලා අර කොනට ගහගෙන පලයන් ඉවර කරපන් කියන කටයුත්තක් නෙමේ. මේක ලොකු ගැඹුරක් තියෙන කාර්යභාර්යයක්. මේ කාර්යභාරයේ මම ඉන්නවා. මම යුද විශේෂඥයෙක්. ඊට පස්සේ අපේ ජාතික බුද්ධි ප්‍රධානි ඉන්නවා. එතුමත් විශේෂඥයෙක්. හමුදාපතිවරු තුන් දෙනා ඉන්නවා. ඒ අය විශේෂඥයෝ. එතකොට විශේෂ කාර්ය බළකායේ අධිපතිතුමා ඉන්නවා. බන්ධනාගාරයේ අධිපතිතුමා ඉන්නවා. සියල්ල විශේෂඥයන්. මේකට සම්බන්ධ කරලා තියෙන්නේ හොඳ සංකලනයක් මත.
ආණ්ඩුව පත් වෙලා මාස 6 ක් ගතවී තිබෙනවා. පොලිසිය බලන් ඉද්දී පාතාලකරුවෝ වෙඩි තියලා යනවා. රටේ ආරක්‍ෂක අංශවලට නේද පාතාල සාමාජිකයන් මේ කෝචෝක් එක දාන්නේ?
මෙහෙමයි. ඔබ බිත්තර සියයක බාස්කට් එකක් ගත්තම ඔය බිත්තර සියය තුළ කුණු බිත්තර දෙක තුනක් තියෙන්න පුළුවන්. මටත් ඒකම තමයි කියන්න තියෙන්නේ. මෙතැනදී කවුරුන් හෝ නිල ඇඳුමක් ඇන්ද පළියට, අවියක් අතට ගත්ත පළියට එයා සාමය ආරක්‍ෂා කරන්න නිර්භීතව ඉදිරිපත් වෙන කෙනෙක් කියලා හිතන්න බෑ. එ වගේම ඔය ඒක Negative උදාහරණයක් විතරයි පුතා මට දුන්නේ.
මොකද සමාජය හුරු වී තිබෙන්නේ ඒ Negative දේ පිළිබඳ කතා කිරීමට, විවේචනය කිරීමට. එහෙම නේද?
නෑ. මම දෙන්නම් positive එකක්. පසුගිය 9 දා ලොකු රොබරියක් වුණා මහ ඉස්පිරිතාලේ.
අපේ රාජ්‍ය බුද්ධි සේවාවේ අලුත් කොල්ලෝ දෙන්නෙක් එතැන හිටියා. මොකකට හරි ගිහිල්ලා. පිස්තෝලයක් පෙන්නලා සල්ලි අරන් ගිහින් තියෙන්නේ. ඒ අය දන්නවා. පිස්තෝලයක් පෙන්නලා තමයි සල්ලි අරන් ගිය බව. ඒ අය නිරායුධයි. ඒත් තව ත්‍රීවීලර් එක පස්සේ ගිහින් නිරායුධ කොල්ලෝ දෙන්නා අර මාතර පොලිස් නෝනා කෙනෙක් එක්ක එකතුවෙලා අර රොබරිය කරපු මනුස්සයා අල්ලාගෙන සල්ලි ටිකත් ගත්තා. ඒ නිසා අවි තියාගෙන බලාගෙන හිටියා කියලා විතරක් ගන්න එපා. අවි නැතිවත් පස්සෙන් එළවාගෙන ගිහින් මේ සල්ලියි පුද්ගලයාවයි අල්ලා ගත්තේ. ඒ අය ඒ වෙලාවේ යුනිෆෝම් එකේ බලය පෙන්නුවේ.
නමුත් ඔබ කියූ අතන අර නිලධාරීන් තුන් දෙනා ආයුධත් තිබිලා ඒකට ක්‍රියාත්මක වුණේ නැහැ කියන්නේ මට වෙන කියන්න කිසිම වචනයක් නෑ. ඒකට තමයි නෝන්ජල්කම කියන්නේ.
ඔබ ප්‍රකාශ කළා ඔළු ගෙඩි ඇතුළේ යමක් තිබෙන නිලධාරීන් මේ ආණ්ඩුවෙන් පත් කළ බව. ජනාධිපතිවරයා වෙනුවෙන් ආරක්‍ෂක ලේකම් හැටියට ඔබට සහතිකයක් දිය හැකිද එම නිලධාරීන්ට ස්වාධීනව කශේරුකාවක් සහිතව කටයුතු කිරීමට ඉදිරියේදී ඉඩ සැලසිය හැකි බව?
මේක රටක් පිළිබඳව ප්‍රශ්නයක්. ස්වාධීනව කටයුතු කරගෙන යන්න පුළුවන්. නමුත් මෙතැනදී මට තියෙන ක්‍රියාදාමය ජනාධිපතිතුමා මට කියලා තියෙනවා අපි ඒකට කියනවා ජනාධිපතිතුමාගේ අභිප්‍රාය එක කියලා. ඒ තමයි ජාතික ආරක්ෂාව තහවුරු කිරීම. ඊට පස්සේ එය කළ යුතු ආකාරය පිළිබඳව. එතකොට ජනාධිපතිතුමා හමුදාවේ ඉන්න කොට මම කණිෂ්ට නිලධාරියෙක්. ඉතින් මම දන්න දෙයක් තමයි එතුමාට වෙන්න ඕනෑ දේ. එතකොට අපි දැනගන්න ඕනෑ ප්‍රවීණ නිලධාරීන් හැටියට මොකක්ද වෙන්න ඕනෑ, මොකක්ද එතුමා බලාපොරොත්තු වෙන්නෙ කියලා. එතකොට මගේ ඔළුව පාවිච්චි කරලා මට වැඩ කරන්න අවස්ථාව එතුමා දෙනවා. නමුත් මම දැන ගන්න ඕනෑ එතුමාගේ අභිප්‍රායට අනුව මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න. එහිදී මොකක් හරි ප්‍රශ්නයක්, සැකයක් තියෙනවා නම් මම ජනාධිපතිතුමාට කතා කරලා එය විසඳාගන්න ඕනෑ.
තව කාරණයක් ලේකම්තුමා පාතාල මර්දනයේදී සුලබ දසුනක් බවට පත්වෙමින් තිබෙන මේ පොලිසියට අවි ආයුධ පෙන්වීමට යෑමේදී සිදුවන ඝාතන. බොහෝ විට සිද්ධියට හේතුව ලෙස නඟන්නේ පලා යෑමට තැත් කිරීම හෝ වෙඩි හුවමාරුවක් වැනි කාරණා. ඇත්තම තත්ත්වය මොකක්ද?
මෙහෙමයි. අපි කවදාවත් අවතක්සේරු කරන්න හොඳ නෑ අපේ රටේ අධිකරණ යාන්ත්‍රණය. පොලිසියෙන් වෙඩි තියලා මිනිහෙක් මැරුණම පොලිසියට ඕනෑ විධියට ඒක කරන්නත් බෑ. පොලිසිය වෙඩි තියලා මිනිහෙක් මැරුණාම එතැනට අධිකරණ වෛද්‍ය නිලධාරිතුමා එනවා. එහෙ ඉන්න මහෙස්ත්‍රාත්තුමා එනවා. ඒ අය ඇවිල්ලා බලලා තමයි නිශ්චය කරන්නේ මේක මොකද්ද කියලා. ඉතින් මම ඔය සිදුවූ එක සිදුවීමකදීවත් ළඟ ඉඳලා නෑ. නමුත් අපේ රටේ අධිකරණයට අපි ගරු කරනවා නම් අධිකරණයෙන් දෙන තීන්දුවටත් අපි ගරු කරන්න ඕනෑ. ඉතින් මං හිතන්නේ නෑ එහෙම අධිකරණයේ විනිශ්චයකරුවන් හැම කෙනෙක්ම පොලිසියෙන් එහෙම වෙඩි තිබ්බ පළියට සාධාරණීකරණය කරන්න වැඩ කරයි කියලා.
උදාහරණ විදිහට පසුගිය 9 දා මීගමුව බන්ධනාගාරයෙන් විතරක් ජංගම දුරකථන 61 ක් හසුවුණා. ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයන්, මත්කුඩු ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට හරි අපූරුවට ඔවුන්ගේ ව්‍යාපාර මෙහෙයවනවා. මේ ඛේදවාචකය ඔබ කොහොමද විසඳන්නේ. මොකද්ද දිය හැකි සහතිකය?
අපේ කාර්ය සාධක බළකාය පත් කරලා තව දවස් කිහිපයයි. අලුත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පත් වෙලා දවස් කිහිපයයි. එක දවසට ජංගම දුරකථන 80 ට වඩා හම්බ වුණා. අපි ඉල්ලුවා වංචනිකයෝ පත් කරන්න එපා කියලා. ඒ අනුව අපි ඉල්ලපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කළා. ඉතින් මීට කලින් බන්ධනාගාර ඇතුළේ ජංගම දුරකථන තිබ්බේ නැද්ද? හෙව්වේ නැද්ද? එතුමා වැඩ භාරගත්ත ගමන් කවුරු හරි පැකේජ් එකක් අරන් ගිහින් දුරකථන දුන්නද? නෑ ඒවා ඇතුළේ තිබුණ ඒවා. එහෙනම් ඒකට හොඳ උදාහරණයක් යාන්ත්‍රණය හරියට ක්‍රියාත්මක වෙනවා කියන්න. ඉතින් මට සෑහෙන ෂුවර් එකක් තියෙනවා මේ කාර්ය සාධක බළකාය අපි හැමෝම එකතුවෙලා ඉදිරිපත් කරන වැඩපිළිවෙළින් මේ රටේ අපරාධ රැල්ල අපට අඩු කරන්න පුළුවන් වෙන බව.
කොරෝනා වසංගතය සම්බන්ධව ආරක්ෂක අංශ සහ බුද්ධි අංශවල කාර්යභාරත්වය සමාජයේ පැහැදිලි ඇගැයීමකට ලක්වුණා. නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දෙවැනි රැල්ලක් ගැන සඳහන් කළා. දෙවැනි රැල්ලක් මතු වුණොත් කොහොමද ඊට ඔබේ බුද්ධි අංශවල සූදානම?
මම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විවේචනය කරන්නේ නෑ. මොකද එක අතකින් එතුමා මගේ මිත්‍රයා. මගේ එක පන්තියේ. ඒ වගේම අපිට හොඳ අවබෝධයක් තියෙනවා ආරක්ෂක අංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධව. නමුත් ඔය කොරෝනා දෙවැනි රැල්ලට මම එකඟ නෑ. මම වැරැදි වෙන්න පුළුවන්. මං සෞඛ්‍ය විශේෂඥයෙක් නෙවේ. නමුත් බුද්ධි අංශ මට හරියට මෙහෙයවන්න පුළුවන් සහ මම හමුදා අංශ හරියට මෙහෙයවනු ලැබූ විශේෂඥයෙක්. සිරිපාල හරිද, පෙරේරා හරිද එහෙනම් යමු කියලා කඩාගෙන ගහගෙන යන හමුදාවකට නෙවේ අපි කමාන්ඩ් කළේ. කමාන්ඩ් කළේ හරිදේ හරියට කරන හමුදාවකට. පුද්ගලයාගේ දක්ෂතාව මොකද්ද, මොකටද ඒ මිනිහා දක්ෂතාව දක්වන්නේ, එයා පුරුදු කරලා තියෙන්නේ මොන අංශයෙන්ද කියලා බලලා අපි ඉදිරිපත් කරන්නේ.
ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ තමයි වයිරස් එක රේස් එකක් දුවනවා. වයිරස් එක දුවගෙන යනවා, මිනිස්සු ලෙඩ්ඩු කරන්න. වයිරස් එක දුවන්නේ ටාගට් කරගෙන. අපිත් දිව්වේ රේස් එකක්. අපි වයිරස් එක දුවන්න පටන් ගත්තම අපි අපේ බුද්ධි අංශ මඟින් හොයාගන්නවා වයිරස් එක කොහොමද දුවන්නේ. මොකද්ද වයිරස් එකේ ටාගට් එක කියලා. වයිරස් එක එතැනට යන්න කලින් අපි යනවා එතැනට. එක්කෝ ගමම ලොක්ඩවුන් කරනවා. නැත්නම් නිරෝධායනය කරනවා. දැන් ඒ යාන්ත්‍රණය නිසි පරිදි ක්‍රියාත්මක වෙනවා.
එතකොට දැන් සමාජ තත්ත්වය ඉතා හොඳ බව ඔබ පෙන්වා දෙන්නේ?
පසුගිය අප්‍රේල් 30 න් පසු අද වෙනකම් දින 40 කට එක රෝගියෙක් සමාජයෙන් වාර්තා වෙලා නෑ. වාර්තා වූ ඔක්කොම වාර්තා වුණේ නාවික හමුදාවෙනුයි පිටරටින් ඇවිත් නිරෝධායනයට ලක්කළ අයයි පමණයි. අපිට මේක පාලනය කරන්න පුළුවන්.
දැනට කොරෝනා ආසාදිතයන් අඩකට වඩා සිටින්නේ නාවික හමුදා නිලධාරීන්. ආරක්ෂක ලේකම් ලෙස එහි වගකීම භාරගත යුත්තේ ඔබ නේද?
හරි ලේසියි වගකීම පවරන්න. නමුත් මම ආරක්ෂක ලේකම් ලෙස එහි වගකීම මම භාර ගන්නවා. නමුත් මෙතැනදී මහජනතාව නොදන්න පැත්තක් තියෙනවා. සුදුවැල්ලේ කුඩුකාරයෝ මේක සමාජයටම දෙන්න ලෑස්ති වෙනකොට මමයි නාවික හමුදාපතිවරයාට ගිහිල්ලා කිව්වේ ඉක්මනට ගිහින් මේ රැළ අල්ලලා නිරෝධායනයට දාන්න කියලා. එතැන තිස් ගණනක් පමණ හිටියා රෝගය ආසාදනය වූ කුඩුකාරයන්. ඔය කුඩුකාරයන් ටික තව දවස් කිහිපයක් ඉන්න ඇරියා නම් මෙය සීදුව, ජාඇළ, වත්තල මුළු පළාතම ඉවරයි. අපි ඒක වෙන්න දුන්නේ නෑ. සමහරු බලෙන් වාහනවලට නග්ගාගෙන එන්න වුණා. එතකොට මම කිව්වාම නාවික හමුදාවට යන්න කියලා, නාවික හමුදාවෙන් කවදාවත් කියන්නේ නෑ අපිට මාස්ක් නෑ, අපිට කිට් නෑ, මුහුණු ආවරණ නෑ, ඒ හින්දා අපිට යන්න බෑ කියලා කිව්වේ නෑ. කිව්ව පමණින් මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ ළමයි දුවගෙන ගියේ. ඒ ගිහින් මුළු ජන සමාජයම මුදා ගත්තා. නමුත් නාවික හමුදාවට පැතිරුණා. අපි කැමැති නෑ අපේ මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ මැරෙන්න දෙන්න. ත්‍රිවිධ හමුදාවේ සියල්ල අපි සේවයට වාර්තා කළා. නාවික හමුදාවේ රෝගය වැලඳුණු 98% ක්ම සිටියේ රෝග ලක්ෂණ නොපෙන්වන තැනක. අපේ අය අපිට බලාගන්න පුළුවන්. එහෙම නම් නාවික හමුදාවට ඒක බෝවීම ගැන, ඒ වැරැද්ද මට පටවනවා නම් මගේ හමුදාපතිවරුන්ට වැරැද්ද පටවනවා නම් ක්‍රෙඩිට් එක දෙන්න මටයි, මගේ හමුදාපතිවරුන්ටයි. මහජනතාව අතර පැතිරෙන්නෙ නැති වෙන්න අපේ ළමයි ටික අරන් ඇවිල්ලා කියා ගත්තා. මතක තියාගන්න හැමවෙලාවේම හමුදාවේ 1/4 ක් නිවාඩු ඉන්නේ. ඒ ඉන්නේ එකට එක ඇලිලා. සමාජ දුරස්ථභාවයක් නෑ. මුළු හමුදාවම ඇතුළට ආවම හිතන්න. අපිට අපේ කොල්ලො බලාගන්න පුළුවන්. රෝගය වැලඳුණු පන්සිය ගණනක් සුවවෙලා.
පසුගිය 9 දා සාමකාමී උද්ඝෝෂණයකට පොලිසිය පහර දුන්නා. එය පොලිසියේ බලය අයුතු ලෙස භාවිත කිරීමක්. ඔබ ඒ වගකීම භාරගන්නවද?
බලය අභිභවා කටයුතු කළේ නෑ. උසාවි නියෝගයක් අරගෙන තිබෙනවා. උද්ඝෝෂණයට එන්න එපා නිරෝධායන නීතිය යටතේ. එතකොට නිරෝධායන නීතිය යටතේ ඔහොම උද්ඝෝෂණ කරන්න පුළුවන්කමක් නෑ. උසාවියෙන් නීතියක් නියම කර තිබෙනවා මේ රටේ අධිකරණය ජනාධිපතිවරයාගේ පටන් මේ මොහොතේ ඉපදුණු ළදරුවා දක්වා ගරු කරන්න. උසාවි නියෝජිතයන් ඒ අයට කියලා තියෙද්දී ඒ අය ඇවිත් උද්ඝෝෂණය කරනවා කියන්නේ ඒක නීති විරෝධියි. නිරෝධායන නීතියට අනුවත් විරෝධීයි. උසාවියෙන් දීපු නියෝගයට අනුවත් නීති විරෝධියි. එහෙම නම් ඒ ඇවිත් උද්ඝෝෂණ කරන කොට හොඳින් ඇවිල්ලා කිව්වම යන්නෙ නැත්නම් මොකද කරන්නේ. මට කියන්න ඔයා පොලිස් නිලධාරිනියක් වුණා නම් මොකද කරන්නේ කියලා? හොඳින් බැරිනම් නරකින් ගෙනියන්න වෙනවා.
නමුත් පුරවැසියන්ට පොලිසිය පහරදීම අනුමත කළ හැක්කේ කොහොමද?
එතැන බැටන් ප්‍රහාර මොකුත් වුණේ නෑ. ඔයා දැක්කද? මං දැක්කා එක පොලිස් නිලධාරියෙක්, එක සිවිල් පුද්ගලයකුට ගහනවා වාහනේට දාන්න යද්දී. හැබැයි බලය පාවිච්චි කරලා අල්ලලා වාහනේට දැම්මා. වෙන මොකද කරන්නේ? නැත්නම් එතැනට හාමුදුරු නමක් ගෙනිහින් බණ ටිකක් කිව්වා නම් එහෙම නැත්නම් පූජකතුමෙක් එක්ක ගිහින් යාඥාවක් කළා නම් ඒ ගොල්ලෝ යයි කියලා. නෑ. ඒගොල්ලෝ ආවෙම එතැනට ප්‍රශ්නයක් ඇති කරන්න. කාගෙවත් ඔළු පළලා නෑ. පනස් ගාණක් උසාවි දැම්මා. ඒකත් නීති විරෝධියි කියලා ඔබ කියනවා නම් මම දන්නේ නෑ, මොන වගේ නීතියක්ද මේ රටට පාවිච්චි කරන්න පුළුවන් කියලා.
ප්‍රජාතන්ත්‍රවාදී රටක උද්ඝෝෂණ පැවැත්වීම අයිතියක් බව ඔබ පිළිගන්නෙ නැද්ද?
උද්ඝෝෂණ පැවැත්වීම අයිතියක්. නමුත් උද්ඝෝෂණ පවත්වන්න සුදුසු වාතාවරණයක් තියෙනවා. මෙතැනින් එළියට බැහැලා ඔබ වාහනෙන් යද්දී බලන්න උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථානය කියලා ලොකු බෝඩ් දෙකක් ගහලා තියෙනවා. ඉස්සර පසුගිය ආණ්ඩුව ඉන්න කාලේ අර ගෝල්ෆේස් වටරවුමේ, ලිප්ටන් වටරවුමෙන් එහාට එක උද්ඝෝෂණයකටවත් එන්න දුන්නේ නෑ. මෙතැන ජනාධිපති ලේකම් කාර්යාලය, මෙතැන ආරක්ෂක අමාත්‍යාංශය, අතන උද්ඝෝෂණ ස්ථානය. ඇයි එහෙම දීලා තියෙන්නේ. ඒ මේ ආණ්ඩුව කලින් ආණ්ඩුවට වඩා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නිසා. කෙනෙක් හිතන්න පුළුවන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ඉන්නේ පරණ ආමිකාරයෙක්. ජනාධිපතිතුමාත් පරණ හමුදා නිලධාරියෙක්. ඒ නිසා මේගොල්ලෝ දරදඬුයි. මේගොල්ලෝ යකඩ සපත්තුවලින් මිනිස්සු පාගලා පාලනය කරන්නේ කියලා. එහෙම නම් අපි උද්ඝෝෂණ ස්ථානයක් ඇති කරන්නෙ නෑ. මතක තියාගන්න ඔය කොයි කාලෙටත් වැඩිය ප්‍රජාතන්ත්‍රවාදයක් දැන් කාලේ පවතිනවා. ජනාධිපතිතුමා බලයට ආ පසු මේ දක්වා එක වතුර විදින යන්ත්‍රයක් භාවිතා කරලා නෑ. එක රබර් බුලට් එකක් පාවිච්චි කරලා නෑ. එක බැටන් ප්‍රහාරයක් එල්ල කරලා නෑ. නමුත් රටම බේරාගන්න අපේ කොල්ලො නිදි නැතුව කටයුතු කරනවා. මෙච්චර මහන්සි වෙද්දී අපි, මෙතැන විප්ලව කරන්න ආවම එය ඔබ කොහොමද සාධාරණීකරණය කරන්නේ.
ඔබේ ප්‍රධානත්වයෙන් නැඟෙනහිර පුරාවස්තු රැකීමට වෙනම කාර්ය සාධක බළකායක් ස්ථාපිත කළා. කොහොමද මුහුදු මහා විහාරයේ ගැටලු තත්ත්වය?
පුරාවස්තු සංරක්ෂණය කරනවා කිව්වම අපිට ජාතියක්, ආගමක් අදාළ නෑ. මොන ජාතියකට හෝ ආගමකට අයත් පුරාවස්තු තියෙනවද, අපි ඒවා ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. ඊට හේතුව මේවා අපේ මුතුන්මිත්තන් අපි වෙනුවෙන් හැදූ උරුමයන්. පුරාවස්තු කියන පැරැණි විහාරස්ථාන වගේ තැන්වල කොරවක්ගල්, මුරගල්, සඳකඩපහන් රෙදි අපුල්ලන්න ගලවාගෙන අරන් යනවා නම් මොකද කරන්නේ ? මුහුදු මහා විහාරය නැත්තටම නැති වෙන අවධියක තමයි මේ රජය ඊට මැදිහත් වුණේ. මේක මං හඳුන්වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා එවකට පැවැති රජය දක්වපු උදාසීන බව නිසා මේ තත්ත්වයට ඇති වුණා කියලයි.
(සංවාදය – අනුරාධා හේරත්)
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴