රජයේ උපදෙස් ක්‍රියාත්මක නොකරන බැංකු නිලධාරීන් ඉවත්කිරීමට පසුබට වන්නේ නෑ – ජනපති

(11.06.2020 – 18:44 +0530 – hirunews.lk/sinhala)

අපනයන ක්ෂේත්‍රයේ ගැටළු සහ බාධක නිවැරදිව හඳුනාගෙන ඒවා නිරාකරණයට පූර්ණ සහාය දීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

රට යථා තත්වයට පත්වෙමින් තිබියදී ආර්ථික පුනර්ජීවනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ පැහැදිළි කිරීමත්, අපනයන ව්‍යාපාර මුහුණදෙන ප්‍රශ්න හා ගැටළු හඳුනාගැනීමත් සඳහා ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සමග අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවේදීයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

ඉතා කුඩා පරාසයක ඇති අපනයන ක්ෂේත්‍රය අන්තර්ජාතික වෙළෙඳපොළ ඉලක්ක කෙට පුළුල් පරාසයකට රැගෙන ගොස් ප්‍රතිඵල පෙන්වීම අපනයකරුවන් ඉදිරියේ ඇති අභියෝගය බවයි ජනපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා ප්‍රකාශ කළේ මහ බැංකුවේ හෝ රජයේ බැංකුවල නිලධාරීන් රජය දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරන්නේ නම් ඔවුන් ඉවත්කර වැඩකරන පිරිසක් සමඟ රටේ අවශ්‍යතාව ඉටු කිරීමට පසුබට නොවන බවයි.

***************************************

ETI සමාගම ආරම්භයේ සිටම විධිමත් ලෙස ක්‍රියා කර නෑ – ETI අක්‍රමිකතා විමර්ශන කමිටුව ජනපතිට දැනුම්දෙයි

(11.06.2020 – 20:24 +0530 – hirunews.lk/sinhala)

ETI සමාගම ආරම්භයේ සිටම විධිමත් ලෙස ක්‍රියා කර නැති බව ETI මූල්‍ය ආයතනයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා විමර්ශනය සඳහා පත්කෙරුණු කමිටුව ජනාධිපතිවරයාට දන්වා තිබෙනවා.

ඒ අද (11) පස්වරුවේ එම කමිටු සාමාජිකයන් ජනපති හමුවූ අවස්ථාවේදීයි.

සමාගමේ වත්කම් වෙනත් ආයතනවල ආයෝජනය කර ඇති අතර ඒවා මහ බැංකුවේ නිසි අධීක්ෂණයට ලක්වී නැති බවයි කමිටුව සඳහන් කරන්නේ.

අක්‍රමිකතා පිළිබඳව තවදුරටත් සොයා බලන්නැයි එහිදී කමිටුවට උපදෙස් දුන් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශකළේ ජනතාවගේ තැන්පතු මුදල් කඩිනමින් ආපසු ගෙවීමට වැඩි අවධානය යොමු කරන ලෙසයි.

සිදුව ඇති ක්‍රියාවලිය පිළිබඳ වගකීමෙන් නිදහස් වීමට මහ බැංකුවට නොහැකි බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

මූල්‍ය ආයතනයක යම් අක්‍රමිකතාවක් සිදු වන්නේ නම් තැන්පත්කරුවන් ආරක්ෂා කිරීමට මහ බැංකුව බැඳී සිටින අතර එය මහ බැංකුවෙන් ඉටුවී නොමැති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා මෙම ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිත්වය දරණ අතර විශ්‍රාමික සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් සහ ජ්‍යෙෂ්ඨ බැංකුකරුවෙකු වන ඩී.එම්. ගුණසේකර මහත්වරු සෙසු සාමාජිකයෝ වනවා.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

***************************************

මොරටුව වෙඩි තැබීම මෙහෙය වූ අංජුගේ රුපියල් ලක්ෂ 4900 ක් හුවමාරු වූ ගිණුමක් ගැන තොරතුරු හෙළි වේ

(11.06.2020 – 19:48 +0530 – hirunews.lk/sinhala)

මොරටුව – සොයිසාපුර ආපනශාලාවට වෙඩි තැබීමේ සිද්ධිය මෙහෙය වූ කුඩු අංජු නැමැත්තා මත්කුඩු ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 4,900 ක් හුවමාරු වූ ගිණුමක් සම්බන්ධයෙන් තොරතුරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ, මැයි මස 22 වැනිදා එම කොට්ඨාශයේ ස්ථානාධිපති ජයන්ත පෙරේරා ඇතුළු නිලධාරීන් පිරිසක් රත්මලාන – ජයසුමනාරාම මාවත ප්‍රදේශයේදී මත්කුඩු තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදීයි.

ගිණුම් අංකයක් ලබාදී එම පුද්ගලයා පොලිසියට සඳහන් කර ඇත්තේ කුඩු අංජුගේ මත්කුඩු ජාවාරම ඩුබායි හි සිට මෙහෙය වන ධර්මසිරි පෙරේරා නැමැත්තා ලබාදෙන මත්කුඩු අලෙවි කර උපයා ගන්නා මුදල් මෙම ගිණුමේ තැන්පත් කරන බවයි.

ඒ අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව බෝකුන්දර පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යන මෙම ගිණුම පොලිසිය පරීක්ෂා කර තිබෙනවා.

එහිදී හෙලි වී ඇත්තේ 2018 වසරේ දෙසැම්බර් මස සිට පසුගිය ජූනි 01 වැනිදා දක්වා මෙම ගිණුමෙන් රුපියල් ලක්ෂ 4900 ක මුදලක් හුවමාරු වී ඇති බවයි.

කෙසේ වෙතත්, මත්කුඩු සමඟ පුද්ගලයෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමත් සමඟ එම ගිණුම වසා දමා ඇත්තේ අවසන් වරට එහි ඉතිරිව තිබූ රුපියල් හත් ලක්ෂයකට (7,00,000) ආසන්න මුදලද ලබාගනිමින්.

මෙම ගිණුමේ හිමිකරු සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වී ඇති අතර, එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර, අදාළ වෙඩි තැබීමේ සිද්ධියට යොදාගත් බවට සැක කෙරෙන ටී-56 වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 35 ක් ඇතුළත් මැගසින් දෙකක් පිලියන්දල – සුවාරපොල ප්‍රදේශයේ නිවසක් පිටුපස කැලයේ සඟවා තිබියදී පොලිසිය අද සොයාගනු ලැබුවා.

ඒ, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් මාලඹේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරුවලට අනුවයි.

උඩගේ ආරච්චිගේ ප්‍රියන්ත නැමැති මොහු ධර්මසිරි පෙරේරා මෙහෙයවන කුඩු ජාවාරමෙන් උපයා ගන්නා මුදල් එකතු කරන්නෙකු බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණා.

ඔහු පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව ධර්මසිරි නැමැත්තා රත්මලාන ප්‍රදේශයට ගොස් පුද්ගලයෙකු හමුවන ලෙස තමන්ට දැනුම් දුන් බවයි.

එහිදී අදාළ පුද්ගලයා විසින් මෙම ගිනි අවිය සහ උණ්ඩ ඇතුළත් මැගසින් බහා තිබූ උරය ඔහුට ලබාදී තිබෙනවා.

පසුව එය තමන් රැඳී සිටින පිලියන්දල – සුවාරිපොල නවාතැන්පොල පිටුපස කැලයේ සැඟවූ බවයි ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

මෙම පුද්ගලයා වෙඩි තැබීමට පෙර අදාළ ආපනශාලාවට පහරදීම සඳහා පිරිස ගමන්ගත් වෑන් රථයේ රියදුරා ලෙසද කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

පසුගිය මස 29 වැනිදා අලූයම මෝටර් රථයකින් පැමිණි පිරිසක් අදාළ ආපනශාලාවට මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණේ, එහි හිමිකරු විසින් ධර්මසිරි පෙරේරා නැමැත්තාට කප්පම් මුදල් නොගෙවීමේ සිද්ධියක් මුල්කරගනිමින් ෴

***************************************

ජපුරේ ටයර් අනතුරට ලක්වූ පසිඳු හිරුශාන්ගේ පියා සහ අක්කා මුල්වරට හෙළිකළ කතාව

(12.06.2020 – 12:41 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවති සාදයක් අතරතුර ටයරයක් වැදී අවාසනාවන්ත අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ පසිඳු හිරුෂාන් සිසුවා සුවය ලබා ඊයේ (11) යළි සිය නිවසට පැමිණියා.

එහිදී ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් පසිඳු යළි නිවසට පිළිගත්තේ ඉමහත් ප්‍රීතියකින්.

අනතුරෙන් ඔහුගේ හිසට බරපතල තුවාල සිදුව තිබූ අතර, අනතුර සිදුවූ දිනයේ සිට මාස ගණනක කාලයක් ප්‍රතිකාර ලැබුවේ දැඩි සත්කාර ඒකකයේයී.

පසුගිය මාර්තු මස 6 වැනිදා විශ්වවිද්‍යාලයේ සාදයක් අතරතුරදී ටයරයක් වැදී ඔහු අනතුරට ලක්ව තිබුණා.

කෙසේ වෙතත්, පසුව අනතුර සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වූයේ මෙම සිදුවීම නවක වදය හා සම්බන්ධ සිද්ධියක් බවටයි.

එමෙන්ම, සිසුන් හය දෙනෙකු (06) අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද පියවර ගෙන තිබුණා.

තම පුතුගේ යළි ආගමනයත් සමඟ වඩාත් ප්‍රීතියට පත් වූ ඔහුගේ පියා සහ වැඩිමහල් සොහොයුරිය අපට පැවසුවේ මෙවැන්නක්.

***************************************

ඉරිදා (14) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

(12.06.2020 – 11:03 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන ඉරිදා (14) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ අනුව කොළඹ කලාප අංක 02, 03, 07, 08 සහ 10 ප්‍රදේශවලට පෙරවරු 9 සිට රාත්‍රී 12 දක්වා පැය 15 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

මීට අමතරව කොළඹ කොටුව ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවයි ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

***************************************

මෝටර් රථය බොල්ගොඩ ගඟට පෙරළී කාන්තාවක් මරුට – පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට

(12.06.2020 – 09:38 +0530 – hirunews.lk/sinhala)

පානදුර හිරණ ප්‍රදේශයේදී බොල්ගොඩ ගඟට මෝටර් රථයක් ඇද වැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම කාන්තාව තවත් පුද්ගලයෙකු සමඟ මෝටර් රථයේ ගතකරමින් සිටින අතරතුර එක්වරම එය ගඟට වැටී ඇති බවටයි වාර්තාවන්නේ.

ඊයේ (11) රාත්‍රී 07:30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවටයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

***************************************

ප්‍රමාණවත් ලෙස බකිණිගස්දෝව වැවේ ජලය ඉල්ලන ගොවීන්ගේ චෝදනාව

(12.06.2020 – 14:55 +0530 – hirunews.lk/sinhala)

මොණරාගල දිස්ත්‍රිකක්යේ මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බකිණිගස්දෝව වැවේ ජලය යොදා ගනිමින් කුඹුරු අක්කර 50 ක පමණ වගා කටයුතු සිදු කිරීමට හැකි නමුත් ඉන් ලැබෙන ජලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මේ වන විට වගා කටයුතු කුඹුරු අක්කර 4 කට පමණක් සීමා වී තිබෙනවා.

2008 වර්ෂයේ දී එක්කෝටි 36 ලක්ෂයක් වැය කරමින් මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීම සිදු කළ ද ඉන් කිසිදු පළක් වී නැහැ.

අවස්ථා ගණනාවකදී මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද ඔවුන් නෑසූ කන්ව සිටින බව ගොවීන් චෝදනා කරනවා.

***************************************

මහ මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස්

(12.06.2020 – 14:41 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් කිහිපයක් පහතින්.

***************************************

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ ජනාධිපති කාර්යාලයේ ඔම්බුඩ්ස්මන්වරයා ලෙස පත් කරයි

(12.06.2020 – 14:34 +0530 – hirunews.lk/sinhala)

මහජන පැමිණිලි සහ දුක්ගැනවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැළසීම පිණිස ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙකු පත්කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ඒ සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ පත් කර ඇති බවයි.

පරිපාලන බලතල ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය නිලධාරීන් වෙතින් වගකීම් පැහැර හැරීමක් හෝ සීමා ඉක්මවා ක්‍රියා කිරීමක් සිදුවී ඇත්නම් සහ ඉන් මහ ජනතාවට අපහසුතාවක් හෝ පීඩාවක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳ සොයාබලා විසඳුම් ලබාදීම මෙම කාර්යාලයේ අරමුණ වනවා.

කොළඹ – ජනාධිපති මාවතේ පැරණි චාර්ටඩ් බැංකු ගොඩනැගිල්ලේ තුන්වන මහලේ මෙම කාර්යාලය ස්ථාපිත කර ඇති අතර, ලිපි මගින් හෝ 011 233 8073 අංකයට ඇමතීමෙන් ගැටළු ඉදිරිපත් කළ හැකියි.

ඊට අමතරව ombudsman@presidentsoffice.lk යන විද්‍යුත් තැපෑල ඔස්සේද ලිපි යොමුකළ හැකි බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

පිලිපීනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු 223 දෙනෙකු දිවයිනට

(12.06.2020 – 14:00 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයන් 35 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ සම්පූර්ණයෙන්ම සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 657 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නාවික හමුදා සාමාජිකයින් අටසිය අසූ දෙදෙනෙකුට (882) වෛරසය ආසාදනය වී ඇති අතර, ඒ අනුව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන නාවික සෙබළුන් සංඛ්‍යාව 225 ක්.

ආසාදිතයින් 1877 දෙනෙකු දිවයිනෙන් වාර්තා වන අතර, ඉන් සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,196 ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 670 ක්.

වෛරසය ආසාදනය වූවන්ගෙන් 642 ක් විදේශගතව සිට දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයන් වන අතර, නාවික හමුදා සාමාජිකයින්ට අමතරව මෙරටදී වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 313 ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය කියා සිටියේ.

මේ අතර, කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ දිවයිනට පැමිණීමට නොහැකිව පිලිපීනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු 223 දෙනෙකු ඊයේ (11) රාත්‍රියේ මෙරටට පැමිණියා.

එසේම, නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වූ 271 දෙනෙකු අද (12) යලි නිවෙස් වෙත පිටත් කර යැවීමට නියමිත බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා කියා සිටියේ.

මේ අතර, පාසල් පැවැත්වෙන වේලාව වෙනස් කිරීම හේතුවෙන් තමන් ගැටළු රැසකට මුහුණදෙන බවයි සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය සඳහන් කළේ.

එමෙන්ම, වීසා දීර්ඝ කිරීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර www.immigration.gov.lk යන වෙබ් අඩවියට පිවිස වේලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්ය වන බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

***************************************

ආගමික කටයුතුවලට අවසර ලැබීමත් සමඟ, දිවයිනේ සිද්ධස්ථාන වෙත වන්දනාකරුවන්

(12.06.2020 – 13:47 +0530 – hirunews.lk/sinhala)

උපරිම පුද්ගලයින් 50 ක සීමාවක් යටතේ අද සිට ආගමික කටයුතු වෙනුවෙන් ආගමික සිද්ධස්ථාන විවෘත කිරීමට අවසර හිමිවීමත් සමඟ දිවයින පුරා පිහිටි ප්‍රධාන ආගමික ස්ථාන වෙත බැතිමතුන්ගේ පැමිණීමක් දක්නට ලැබෙනවා.

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාව, අනුරාධපුර – ජයශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලිසෑය ඇතුළු අටමස්ථාන වෙත මෙන්ම කතරගම – කිරිවෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලය වෙත බැතිමතුන් පැමිණීම වැඩි වශයෙන් දක්නට ලැබුණු බවයි එම ප්‍රදේශවල හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

අනුරාධපුර – ඓතිහාසික ජයශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලිසෑය ඇතුළු අටමස්ථාන වෙත ද උදෑසන සිට බැතිමතුන් පැමිණෙන අතර, ඔවුන් සෞඛ්‍ය නියාමනයන්ට අනුව සිද්ධස්ථාන වලට ඇතුළු කර ගන්නා බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු කේ.කේ. චිත්‍රාරත්න කළුආරච්චි මහතා සඳහන් කළේ.

කෙසේ වෙතත්, ආගමික ස්ථාන වෙත පැමිණීම සඳහා අවසරය ලබාදී ඇත්තේ කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වයි.

ඒ අනුව ඕනෑම ආගමික පූජ්‍යස්ථානයකට අයත් ගොඩනැගිලි හා එලිමහන් ස්ථාන ඇතුළුව රැස්විය හැකි උපරිම සංඛ්‍යාව 50 කට සීමා වනවා.

එහෙත් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් පුද්ගලයින් 50 දෙනෙකුට හෝ රැඳී සිටීමට ඉඩ පහසුකම් නොමැති ආගමික ස්ථානයන් හි, භූමියේ රැඳී සිටිය හැකි සංඛ්‍යාවෙන් අඩකට පමණක් එක් අවස්ථාවකදී රැඳී සිටිය හැකි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, කිතුණු බැතිමතුන් වෙනුවෙන් ලබන ඉරිදා සිට සුපුරුදු පරිදි සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව දේව මෙහෙයන් සිදුකිරීමට නියමිත බව කොළඹ රදගුරු නිවස ප්‍රකාශ කළා.

මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ද පල්ලි නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකා වකුෆ් සභාවේ නියාමනයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ පල්ලි විවෘත කිරීමට පෙර භාරකරුවන් විසින් පල්ලිය සහ අවට ප්‍රදේශය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෝ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ දැඩි අධීක්ෂණයට යටත්ව විෂබීජහරණය කළ යුතු බවයි.

සෞඛ්‍ය නියාමයන්ට අනුකූලව දිවයිනේ මුස්ලිම් දේවස්ථානවල ආගමික කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් වකුෆ් සභාවේ රැස්වීමක් ද ඊයේ (11) පවත්වා තිබෙනවා.

එහිදී තීරණය වී ඇත්තේ අදාළ නියාමනයන්ට අනුකූලව අද (12) සිට මුස්ලිම් දේවස්ථානවල ද ආගමික කටයුතු සිදුකිරීමටයි.

එහිදී එක් වතාවකදී පුද්ගලයින් 50 දෙනෙකු පමණක් දේවස්ථානය තුළට ඇතුළු කර ගන්නා අතර, ඒ සඳහා ඉඩකඩ ප්‍රමාණවත් නොමැති අවස්ථාවකදී පරිශ්‍රයේ ධාරිතාවයෙන් අඩක් පමණක් වන තුරු බැතිමතුන් ඇතුළු කර ගැනෙනු ඇති.

කෙසේ නමුත්, දිනකට 5 වතාවක් සාමූහිකව එක්රැස් වී සිදුකරන ජුම්මා යාඥා මෙහෙයන් සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් මෙතෙක් අනුමැතිය ලබාදී නොමැති බැවින් එවැනි සාමුහික මෙහෙයන් සඳහා නැවත දැනුම් දෙන තුරු අවසර නොමැති බවයි ශ්‍රී ලංකා වකුෆ් සභාව නිවේදනය කළේ.

මේ අතර, දහම් පාසල් යළි ආරම්භ කිරිම සඳහා අදාළ සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් යෝජනාව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත යොමු කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා ප්‍රකාශ කළා.

ඊයේ (11) දිනයේදි එම යෝජනා අමාත්‍යංශය වෙත යොමු කර ඇති අතර ඒ සඳහා අනුමැතිය ලැබුනහොත් සියලූම දහම් පාසල් විවෘත කර හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් යෝජනාවේ සඳහන් වන්නේ ලබන මස 12 වන ඉරිදා සිට අදියර 03 ක් යටතේ දහම් පාසල් විවෘත කිරිමටයි.

පළමු අදියර ලෙස දහම් අවසාන සහ ධර්මාචාර්ය විභාග ශ්‍රේණි ආරම්භ කිරිමට සැලසුම් කෙරෙන අතර, දෙවන අදියර ලෙස 3 වන ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා සිසුන්ගේ පන්ති ආරම්භ කිරීමට යෝජනා කෙරෙනවා.

තුන් වන අදියර යටතේ පළමු සහ දෙවන ශ්‍රේණිවල සිසුන්ගේ පන්ති ආරම්භ කිරීමට යෝජනා කර ඇති බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.

***************************************

දියාරු ලිපියක් ගැන ජනපති කොමිසමේදී හෙළිදරව්වක්

(12.06.2020 – 18:44 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට පෙර දින එවැනි ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට නිශ්චිත තොරතුරු ලැබී තිබුණු බව ඒ පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වුණා.

ඒ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ඊයේ (11) ලබාදුන් සාක්ෂි අනුවයි.

ඔහු එහිදී සඳහන් කළේ පසුගිය වසරේ අප්‍රේල් මස 20 වැනිදා පස්වරු 05:47 ට පමණ එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගෙන් ඇමතුමක් ලැබුණු අතර, එහිදී හෙට දිනයේ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බැවින් දේවස්ථානවල ආරක්ෂාව තර කරන ලෙස දැනුම් දුන් බවයි.

එමෙන්ම පසුව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන එදින පස්වරුවේ තමා අමතමින් මීට පෙර ලැබුණු බුද්ධි තොරතුරුවලට අනුව දේවස්ථානවලට සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ලවිය හැකි බැවින් අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙසට ඉල්ලා සිටි බව ඔහු එහිදී කියා සිටියා.

ඒ පිළිබඳව එවක පොලිස්පති පූජිත් ජයසුන්දර දැනුවත් කර ඇති බවද රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කළ බවද සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

ඒ අනුව තමා යටතේ සිටින නියෝජ්‍ය පොලිස්පතිවරුන් හතරදෙනා අදාළ තත්වය සම්බන්ධයෙන් දැනුවත් කළ බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ කියා සිටියේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් දැනුවත් කිරීමට නොහැකිවූ බව ඔහු කොමිසම සිදුකළ ප්‍රශ්න කිරීමකදී සඳහන් කළා.

21 වැනිදා උදෑසන ප්‍රහාරය සිදුවීමට පෙරත් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂවරයා අවස්ථා කිහිපයකදී තමන් අමතා කොල්ලුපිටිය මෙතෝදිස්ත පල්ලියට සහ කොටහේන ග්‍රෑන්ඩ්පාස්හි පිහිටි දේවස්ථාන දෙකකට ප්‍රහාර එල්ලවිය හැකි බැවින් කඩිනමින් ඒවාට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙස සඳහන් කළ බව සාක්ෂිකරු පැවසුවා.

ඒ අනුව දේව මෙහෙයන් පැවැත්වීම වැළැක්වීමට කටයුතු නොකළේ ඇයිදැයි කොමිසම ඔහුගෙන් විමසා සිටියා.

එහිදි ඔහු කියා සිටියේ එසේ ක්‍රියාත්මක වීමට කටයුතු කළ යුතුව තිබූ බවට තමන්ට දැන් වැටහෙන බවයි.

නමුත් එදින ප්‍රහාරයක් එල්ල නොවූයේ නම් පාස්කු දේව මෙහෙය කඩාකප්පල්කළ බවට චෝදනා එල්ලවීමට ඉඩ තිබූ අතර, එම තීරණය තමන්ට ගැනීමට නොහැකි වූ බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ප්‍රකාශ කළා.

අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ එවකට රථවාහන හා මාර්ග ආරක්ෂාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණයි.

ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ යොමුකර තිබූ ලිපිය තමන්ද නිරීක්ෂණය කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ එහිදී සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ රාජ්‍ය බුද්ධි සේවයෙන් ලැබුණු තොරතුරක් දෝෂ සහිතව තමන් මීට පෙර දැක නොතිබූ බවයි.

එම ලිපිය දියාරු ලිපියක් බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා. ලිපියේ පහළ මෙතෙක් නිශ්චිතව අනාවරණ නොමැති බැවින් සහ තවදුරටත් රහසිගතව පරීක්ෂණ කරන්න යන වාක්‍ය හරහා එහි නිශ්චිත භාවය දියාරු වී ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.

පොලිස්පතිවරයා විසින් ‘ෆෝ නෙසසරි ඇක්ෂන්’ යන වචනය යෙදීමෙන් පවා තොරතුරේ වටිනාකම දියාරු වුණු බව ඔහු මෙහිදී ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

අදාළ තොරතුරේ වටිනාකම පොලිස්පතිවරයාට පෙනී ගියේ නම් ඔහු කළ යුතුව තිබුණේ ත්‍රස්තවාදය පිළිබඳව විමර්ශනය කිරීමට විශේෂයෙන් පිහිටවූ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට මෙය යොමුකිරීම බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

නාවික හමුදාවෙන් මුහුදු මහා විහාරයේ රුක්රෝපණ වැඩසටහනක්

(12.06.2020 – 16:33 +0530 – hirunews.lk/sinhala)

පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ‍‍ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාර භූමියේ රුක්රෝපණ වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරම්භ කර තිබෙනවා.

‍‍ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාරය සහ එම භූමිය ආරක්‍ෂා කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ නියෝගයක් මත නාවික හමුදා අනුඛණ්ඩයක් ස්ථාපිත කිරීමට ද පසුගියදා කටයුතු කෙරුණා.

එලෙස ස්ථාපිත නාවික අණුඛණ්ඩයේ නාවික සාමාජිකයින්ගේ දායකත්වයෙනුයි මෙම රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක වුණේ.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක නීල හරිත පාරිසරික සංග්‍රාමයේ තවත් එක් වැඩසටහනක් වශයෙන් ක්‍රියාත්මක කරන ලද මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා ගිණිකොන නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය මහතා සහ එම නාවික විධානයේ සාමාජිකයින් ද සහභාගිවී තිබෙනවා.

මිට අමතරව නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය යටතේ මුහුදු මහා විහාරයේ ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක්ද මේ වනවිට ස්ථාපිත කර ඇති බව සඳහන්.

+++++++++++++++

[ Photos from news.navy.lk ]

***************************************

පෙරහර නරඹන්න මෙවර ජනතාවට අවසර නැහැ – ජනපතිගෙන් උපදෙස්

(12.06.2020 – 16:22 +0530 – hirunews.lk/sinhala)

සාම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රධාන පූජ්‍යස්ථානවල හා දේවාලවල මෙවර පෙරහර සංවිධාන කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිළමේවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මහනුවර දළදා මාළිගාව සහ කතරගම, දෙවිනුවර, සබරගමුව ඇතුළු දේවාල මුල්කර ගනිමින් පැවැත්වෙන පෙරහර කොවිඩ් මර්දනයට සහාය වෙමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදුවිය යුතු බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

වාර්ෂික පෙරහර මෙවර සංවිධාන කළයුතු ආකාරය පිළිබඳව කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සහභාගීත්වයෙන් අද (12) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දී තිබෙනවා.

මෙවර කිසියම් සිද්ධස්ථානයක පෙරහරට සහභාගීවීමට සහ එය නැරඹීමට මහජනතාවට අවසර නොලැබෙන අතර යාපනයේ නල්ලූර්, ත්‍රිකුණාමලය සහ නැගෙනහිර සෙසු ප්‍රදේශවල සිට පාද යාත්‍රාවෙන් කතරගම පෙරහරට පැමිණෙන පිරිසට ද මෙවර අවසරයක් හිමිවන්නේ නැහැ.

සියලු පෙරහර අඩුම කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් සිදු කිරීමේ අවශ්‍යතාව කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අවධාරණය කර තිබෙනවා.

විවිධ ප්‍රදේශවලින් පෙරහරට සහභාගීවන කලාකරුවන් අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් වාර්තාවක් ලබාගත යුතු බවට ද තීරණය කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

දිය කැපීමේ උත්සව ද අවම සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් කළ යුතු වනවා.

දළදා පෙරහරේ කුඹල් සහ රන්දෝලි පෙරහර වීථි සංචාරය කරන දින 10 ම සජීවිව රූපවාහිනියෙන් විකාශය කිරීමට සැලසුම් කර ඇති බවයි මෙහිදී සඳහන් කෙරුණේ.

මේ අතර පුද්ගලයින් 50 දෙනෙකුගේ උපරිම සීමාව යටතේ ආගමික සිද්ධස්ථාන අද (12) සිට විවෘත කිරීමට රජය අවසර ලබාදුන්නා.

එමෙන්ම කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් සිදුකරන ආකාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද (12) පස්වරුවේ පැවැත්වුණා.

***************************************

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව 22 වනදා සිට

(12.06.2020 – 15:31 +0530 – hirunews.lk/sinhala)

තාවකාලිකව අත්හිටවනු ලැබූ හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව, ජූනි 22 වනදා සඳුදා සිට යළි ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා ප්‍රකාශ කළා.

පළමු අදියර යටතේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ දිනකට සේවාලාභීන් 250 කට සහ ගාල්ලේ කාර්යාලය මගින් දිනකට සේවාලාභීන් 50 කටද, ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු කෙරෙනු ඇති.

එහිදී සේවාලාභීන් පළමුව තම අයදුම්පත ග්‍රාම නිලධාරීන් මගින් සහතික කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කළ යුතුයි.

එම කාර්යාලයෙන් පැමිණිය හැකි පහසු දිනයක් හා වේලාවක් සඳහා වෙන්කළ අංකයක් ලබාගත යුතු අතර, අදාළ වේලාවට දෙපාර්තමේන්තුව වෙත පැමිණ හැඳුනුම්පත ලබාගත යුතු බවයි කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ.

උණ, සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය වැනි රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් හැඳුනුම්පත් නිකුත්කිරීමේ එක්දින සේවාව වෙත පැමිණීමෙන් වළකින ලෙසද ඔහු ඉල්ලා සිටියා ෴

***************************************

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1878 ක් දක්වා ඉහළට

(12.06.2020 – 20:37 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1878 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ වෛරසය ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයෙකු (01) වාර්තාවීමත් සමගයි.

මේවන විට මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 671 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ 1196 ක් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 11 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *