ගල්කිස්ස වෙරළට කසළ ගොඩගැසීම සංවිධානාත්මක ක්‍රියාවක ප්‍රතිඵලයක්

(08.06.2020 – 23:19 +0530 – sinhala.adaderana.lk)

කිසියම් පාර්ශ්වයක් නොගැඹුරු මුහුදට අපද්‍රව්‍ය බැහැර කිරීමේ සංවිධානාත්මක ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ගල්කිස්ස වෙරළට කසළ ගොඩගැසී ඇතැයි පැහැදිලිව පෙනී යන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

එම වෙරළ තීරයට අඛණ්ඩව පස් වන දිනටත් අද (08) කසළ ගොඩගැසී ඇති අයුරු දක්නට ලැබුණි.

ලෝක සාගර දිනය යෙදෙන අද (08) දිනයේ පොලිස් පරිසර ඒකක නිලධාරීන්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්, පරිසර සංවිධාන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් ගල්කිස්ස වෙරළ තීරයට රැස්වුණේ එහි එක්රැස් වූ අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහායි.

ඉකුත් ජුනි 04 වැනිදා පස්වරුවේ ඇරඹී ගල්කිස්ස වෙරළ තීරයට කසළ ගොඩගැසීම අද (08) දිනයේත් සිදුවන ආකාරය දක්නට ලැබුණි.

මේ අතර ‘අද දෙරණ 24 බිග් ෆෝකස්’ වැඩසටහනට එක්වෙමින් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේ කිසියම් පාර්ශ්වයක් නොගැඹුරු මුහුදට අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම කසළ ගොඩගැසීම සිදු වන බවයි.

+++++++++++++++++++++

***************************************

ඇමැරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය වළක්වමින් නියෝගයක්

(08.06.2020 – 14:58 +0530 – lankadeepa.lk)

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් හෙට (9) ඇමැරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට හෝ ඒ අසල පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ වලක්වමින් කොටුව මහේස්ත‍්‍රාත්වරයා විසින් අද (8)නියෝගයක් නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.

පෙරටුගාමී පක්ෂයේ ප‍්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක, ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව යන මහත්වරුන්ට, තවත් පිරිසට හා පොදුවේ මහජනතාවට මෙම නියෝගය නිකුත් කළ බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

කොවිඞ් 19 වයිරසයක් රටතුළ පවතින අවස්ථාවක ඇමැරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පුද්ගලයන් ඒක රාශි කරගෙන පෙරටුගාමී පක්ෂය උද්ඝෝෂණයක් පැවැත්වීමට සුදානමක් ඇති බවත් කෝවිඩ් 19 ව්‍යාප්ත වීම වැලැක්වීම සදහා එම උද්ඝෝෂණය පැවැත්වීම තහනම් කරන ලෙසට කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න මහතා කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට හමුවේ කළ ඉල්ලීමක් අනුව මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබිණි.

මෙම නියෝගය කඩ කරන පුද්ගලයන් ට දණ්ඩ නීති සංග‍්‍රහට යටතේ 185 වගන්තිය ප‍්‍රකාරව දඩුවම් ලැබිය හැකි වරදක් බවට අධිකරණ ආඥාවේ සදහන් වේ ෴

***************************************

ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ගෙන යන බස්වලට නීතිමය ක්‍රියාමාර්ග

(08.06.2020 – 22:21 +0530 – lankadeepa.lk)

බස් රථවල ආසන සංඛ්‍යාවට වඩා මගීන් ප්‍රවාහනය කළහොත් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පොදු ප්‍රවාහන සේවා අද (8) සිට සාමාන්‍ය පරිදි සෞඛ්‍යාරක්‍ෂික අන්දමින් ආරම්භ කෙරුණු බව කී අමාත්‍යවරයා එම වැඩපිළිවෙල සියයට 95 ක් සාර්ථක බව ද සඳහන් කළේය.

ඒ අනුව බොහෝ බස්රථවල මගීන් ආසන සංඛ්‍යාවට පමණක් රැගෙන ආ බව කී ඇමතිවරයා ඇතැම් ස්ථානවල ගැටලුකාරී තත්ත්වයන් ඇතිව තිබූ බව ද කීවේය.

දුම්රියවල ද ආසන ගණනට පමණක් මගීන් රැගෙන යන ලෙස නිර්දේශ කර ඇතත් එය ප්‍රායෝගිකව දුෂ්කර කටයුත්තක් බව කී ඇමති මහින්ද අමරවීර මහතා සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කර දුම්රියවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්‍ෂාව තහවුරු කරමින් වැඩි මගීන් ප්‍රමාණයක් ගෙන යා හැකි වැඩපිළිවෙලක් සකස් කරන බව ද ප්‍රකාශ කළේය.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ පිහිටි එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස ගණනක් ධාවනය නොකෙරුණු පෞද්ගලික බස්රථවල අලුත් වැඩියා කටයුතු සිදුකිරීම සඳහා සහන පොලී අනුපාතිකයක් යටතේ රුපියල් ලක්‍ෂ තුනක ණයක් ලබාදීමට රජය තීරණය කර තිබෙන බව ද අමාත්‍යවරයා කීවේය.

ජනාධිපතිවරයා සමඟ අද (8) පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බව කී අමාත්‍යවරයා එහිදී බස් රථ හිමියන් කළ ඉල්ලීම අනුව බස් රථයේ මාර්ග බලපත්‍රය ඇපයට තබාගෙන මෙම පහසුකම ලබාදීමට තීරණය කර ඇතැයි ද පැවසීය ෴

***************************************

ප්‍රමාණවත් ලෙස පොහොර නොමැතිව පීඩා විඳින ගොවීන්ගේ චෝදනාව

(08.06.2020 – 21:38 +0530 – hirunews.lk/sinhala)

වගාවන් සඳහා ප්‍රමාණවත් පොහොර නොමැතිකම හේතුවෙන් මේ දිනවල ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.

මිණිපේ ගොවි ජනපදයේ ගොවීන්ට තෙවන දිනටත් පොහොර නොලබා අද (08) නිවෙස් බලා යාමට සිදු වූ අතර දඹුල්ල ප්‍රදේශයේ ගොවීන්ද චෝදනා කළේ තමන්ට ප්‍රමාණවත් පරිදිපොහොර නොලැබුණු බවටයි.

මේ අතර පොහොර හිඟය පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයාගේ නියමයෙන් මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා දඹුල්ල පොහොර ගබඩාවේ නිරීක්ෂණයකට එක්වුණා.

***************************************

රාජිතගේ නීති විරෝධී මසුන් ඇල්ලීම හෙළිවෙයි

(08.06.2020 – 21:08 +0530 – hirunews.lk/sinhala)

ජී.එස්.පී. ප්ලස් සහනය ශ්‍රී ලංකාවට අහිමි වීමට ප්‍රධානතම හේතුව, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුද්ගලික ලේකම්වරයෙකු පවත්වාගෙන ගිය නීතිවිරෝධී මසුන් ඇල්ලීමේ ව්‍යාපාරයක් බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (08) සඳහන් කළා.

ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.

මේ අතර එම කොමිසම හමුවේ සාක්ෂි විමසීම සඳහා හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රන්ජන් ළමාහේවා මහතාද කැඳවා තිබුණා.

+++++++++++++++++++++

නිශ්ශංක සේනාධිපතිගෙන් රැකියා ඉල්ලූ අය ගැන හෙළිදරව්වක්

(08.06.2020 – 20:30 +0530 – sinhala.adaderana.lk)

සිය ආධාරකරුවන්ට ඇවන්ට්ගාඩ් සමාගමේ රැකියා ලබාදෙන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු පිරිසක් තමාට ලිපි යොමු කළ බව ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.

දේශපාලන පලිගැනීම් පිලිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු අද (08) මේ බව සඳහන් කළේය.

මේ අතර හිටපු බන්ධනාගාර අධිකාරිවරයෙකු වන එමිල් රංජන් ලමාහේවා මහතාද අදාළ කොමිසම හමුවේ අද (08) පෙරවරුවේ සාක්ෂි ලබාදුන්නේය.

දේශපාලන පලිගැනීම් පිලිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද (08) ප්‍රථමයෙන්ම පෙනී සිටියේ 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ගැටුම සිදුවන අවස්ථාවේදී මැගසීන් බන්ධනාගාරයේ අධිකාරීවරයා ලෙස කටයුතු කළ එමිල් රංජන් ලමාහේවා මහතායි.

ඔහු කොමිසමට පැවසුවේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සඳහන් කරමින් තමාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි.

බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන්, විමර්ශන සිදු කළ පාර්ශවයන් එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සිද්ධිය මෙහෙය වූ බවට මතයක් නිර්මාණය කිරීමට උත්සහ කළ බව ඔහු කොමිසම හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.

රක්ෂිත බන්ධනාගාරගත කිරීමේදී ඇති වූ රෝගී තත්ත්වයක් මත බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා මහතා පැමිණ තමා හමුවූ බව එමිල් රන්ජන් ළමාහේවා මහතා මෙහිදී අනාවරණ කළේය.

එහිදී මර්වින් සිල්වා මහතා රාජපක්ෂවරුන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් අධිකරණයට ගොස් මේ පිළිබඳ පාපොච්චාරණය කරන ලෙසත් , එසේ කළහොත් තමාට ඉක්මනින්ම නිදහස් වීමට හැකි බවත් මර්වින් සිල්වා මහතා පැවසුවේ යැයි ලමාහේවා මහතා පැවසුවේය.

මීට අමතර ව එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයෙක් වන අශෝක ජයතුංග නමැත්තා ද තමා හමු වීමට බන්ධනාගාර රෝහලට පැමිණ “අණ දුන්නේ කවුද කියලා අගමැතිතුමා අහගෙන එන්න කිව්වා, එතකොට ඔයාට එළියට යන්න පුළුවන්” යැයි ප්‍රකාශ කළ බවත් ඔහු කියා සිටියේය.

එමෙන්ම එවක අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය, බන්ධනාගාර අධිකාරීවරුන්ගේ සංගමයේ ලේකම්වරයා තමා වෙත එවා හරි දේ පවසන්නැයි බලපෑම් කල බව ලමාහේවා මහතා පැවසුවේය.

ඉන් අනතුරුව ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සිව් වන දිනටත් අද (08) කොමිසම හමුවේ පෙනී සිටියේය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද ඇවන්ට්ගාඩ් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනුවත්ව සිටි බවත් ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටින අවධියේ තමාට ලිපියක් යොමු කරමින් ඔහුගේ අධාරකරුවන් පිරිසකට සිය සමාගමෙන් රැකියා අවස්ථා ලබා දේනනැයි ඉල්ලා සිටි බවත් සේනාධිපති මහතා පැවසුවේය.

මීට අමතරව රාජිත සේනාරත්න, කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල සහ ජෝන් අමරතුංග වැනි දේශපාලනඥයින් ද ඔවුන්ගේ හිතවතුන්ට සිය සමාගම යටතේ රැකියා අවස්ථා ලබා දෙන ලෙස ලිඛිතව ඉල්ලා සිටි බව සේනාධිපති මහතා ප්‍රකාශ කළේය.

ඔහු තවදුරටත් අනාවරණ කළේ රාජිත සේනාරත්න මහතාගේ පෞද්ගලික ලේකම් වරයෙක් වන දොන් අනුරාධ සෙනෙවිරත්න මහතාට අයත් සමාගමක් විසින් මසුන් ඇල්ලීමේ ව්‍යාපෘතියක් සිදු කර ගෙන ගිය අතර ඊට අදාලව දියත් කෙරුණු නැව් අටක් (08) සඳහා ඇවන්ගාඩ් සමාගමේ මුහුදු ආරක්ෂණ සේවා ලබා දෙන්නැයි තමාගෙන් ඉල්ලා සිටි බවයි.

ඒ අනුව තමා එම නෞකා සඳහා මුහුදු ආරක්ෂණ සේවා ලබා දුන් අතර ඉන් මාස කිහිපයක් ගත වූ පසු අදාළ මසුන් ඇල්ලීමේ ව්‍යාපෘතිය නීති විරෝධී ව්‍යාපෘතියක් යැයි තමාට දැනගන්නට ලැබුණු බවද සේනාධිපති මහතා පැවසුවේය.

‘ජී එස් පී’ සහනය මෙරටට අහිමි වීමට ප්‍රධානම හේතුව බවට පත්වූයේ ද රාජිත සේනාරත්න මහතාගේ එම ක්‍රියාවලිය බවයි නිශ්ශංක සේනාධිපති මහතා පැවසුවේය.

අදාල ව්‍යාපෘතිය නීතිවිරෝධී බව දැනගත් පසු තමා එම සමාගමට මුහුදු ආරක්ෂණ සේවා ලබාදීම අත්හිටවූ අතර එම නිසා රාජිත සේනාරත්න මහතා තමා සමඟ වෛර බැඳ ගත් බව ඔහු කියා සිටියේය.

***************************************

අද (08) යළි ඇරඹුණු මාස දෙකකට වැඩි කලක් නතර කර තිබූ පොදු ප්‍රවාහනය

(08.06.2020 – 20:51 +0530 – hirunews.lk/sinhala)

මාස දෙකකට වැඩි කාලයක් නතර කර තිබූ පොදු ප්‍රවාහනය අද (08) සිට රටපුරා සාමාන්‍ය පරිදි ආරම්භ වුණා.

ඒ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක අතර මෙතෙක් පනවා තිබූ ඇඳිරි නීති සීමා ලිහිල් කිරීමත් සමගින්.

ඒ අනූව සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් පරිදි බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

***************************************

මිනුවන්ගොඩින් හමුවූ ටී 56 ගිනි අවිය පාතාල සාමාජිකයෙකුගේ බවට හෙළිවේ

(08.06.2020 – 19:52 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ – පත්අඬුවන ප්‍රදේශයේදී වෑන් රථයකින් දමා ගිය ටී-56 වර්ගයේ ගිනි අවිය සහ මැගසින් 4 දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාතාල සාමාජිකයෙකු වන මාකිලන්ගමුවේ – සංජීව නමැත්තාට අයත් බවට හෙළි වී තිබෙනවා.

පෙරේදා (06) උඩුගම්පොල – කොටුගොඩ මාර්ගයේ කෙහෙල්බද්දර මංසන්ධියේ රාජකාරියේ නිරතව සිටි යතුරුපැදියෙන් පැමිණි පොලිස් නිලධාරින් පිරිසක් මෙම වෑන් රථය පරික්ෂාවට ලක් කල අතර, එම අවස්ථාවේ එය පලාගොස් තිබෙනවා.

පසුව එහි රියදුරු මෙම ගිනි අවිය සහ මැගසින් තොගය පත්අඩුවන ප්‍රදේශයේ මාර්ගයක් අසල දමාගොස් තිබූ අතර, අද (08) එම රියදුරා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

ඔහු නාරාහේන්පිට – දාබරේ මාවතේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකු බවට අනාවරණ වී තිබෙනවා.

අදාළ ගිනි අවිය, මාකිලන්ගමුවේ සංජීව නමැත්තා වෙනත් පුද්ගලයෙකු හරහා වෑන් රථයේ රියදුරුට ලබාදී ඇති බවටයි පරික්ෂණවලදී හෙළි වී ඇත්තේ.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර රියදුරා පැය 24 ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අවසර ලබාදී තිබෙනවා.

මාකිලන්ගමුවේ සංජීව නමැත්තා ලබා දුන් කොන්ත්‍රාත්තුවකට අනුව, ජා-ඇල ඒකල – මහවත්ත ප්‍රදේශයේදී පාතාල සාමාජිකයෙකු වන නිශාන්ත අජිත් කුමාර හෙවත් කළු අජිත් ඝාතනය කර පෙරේදා දිනයට වසරක් ද ගතවුණා.

පොලිසිය සැක කරන්නේ ඔහුගේ වාර්ෂික දානමය පිංකමට පැමිණෙන විරුද්ධ පාතාල නායකයෙකු ඝාතනය කිරීම සඳහා මෙම ගිනි අවිය සහ මැගසින් හතර මිනුවන්ගොඩ ප්‍රදේශයට යවා ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය දීර්ඝ විමර්ශනයක් සිදුකරන අතර, දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින මාකිලන්ගමුවේ සංජීව නමැති පාතාල සාමාජිකයාට මුදල් ලැබෙන ආකාරය පිළිබඳව සහ ඔහු බන්ධනාගාරයේ සිට මෙහෙය වන ජාවාරම් සම්බන්ධයෙන් ද විමර්ශන නිලධාරින්ගේ අවධානය යොමුවී තිබෙනවා ෴

***************************************

ඡන්ද දිනය මේ සතියේ, මනාප අංක ගැසට් නිවේදනය හෙට (09)

(08.06.2020 – 16:33 +0530 – hirunews.lk/sinhala)

මහමැතිවරණය පැවැත්වෙන දිනය මේ සතිය ඇතුළත දී ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.

මැතිවරණ දිනය සහ ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් අද (08) පැවති සාකච්ඡාවෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ මැතිවරණ දිනය ඇතුළත් ගැසට් නිවේදනය ලබන 10 වන දා, 11 වන දා හෝ 12 වන දා නිකුත් කරන බවයි.

කෙසේ වෙතත්, අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය හෙට (09) දිනයේදී ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ එහි සාමාජිකයින් අතර පෙරවරු 11 ට පමණ ආරම්භ වූ මෙම සාකච්ඡාව පැය 5 ක පමණ කාලයක් පැවතුණා.

ඊට කොමිසමේ සාමාජිකයින්ට අමතරව අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පීරිස්, මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ.එල්. රත්නායක සහ එම කොමිසමේ ලේකම් එච්.එම්.ටී.ඩී. හේරත් යන මහත්වරුද එක්ව සිටියා.

පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසු මැතිවරණ කොමිසමේ සාමාජිකයින් රැස්වූ පළමු අවස්ථාව ද මෙයයි.

එමෙන්ම, සෞඛ්‍ය අංශ ලබාදී ඇති මාර්ගෝපදේශ අනුව ලබන සති අන්තයේ සියළුම දිස්ත්‍රික්කවල පෙරහුරු මැතිවරණ පැවැත්වීමට ද කටයුතු යොදා ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් කියා සිටියේ.

***************************************

වෙළඳපොළේ ජංගම දුරකථන හිඟවෙයි

(08.06.2020 – 13:02 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොළේ මේ වනවිට ජංගම දුරකථන වල හිඟයක් මතුව තිබෙනවා.

ජංගම දුරකථන ආනයනය කරන ප්‍රධාන පෙළේ සමාගම් පවසන්නේ කොවිඩ් 19 වසංගතය පැතිර යාමත් සමඟ රට තුල මතු වු තත්ත්වය මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි.

මේ නිසා ඇතැම් වෙළඳුන් දැනට වෙළඳපොළේ පවතින ජංගම දුරකථන වැඩි මිලට අළෙවි කිරීමට පෙළඹී ඇති බවටද හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් මෙරටට ජංගම දුරකථන ආනයනය කරන ප්‍රධාන පෙළේ සමාගමක් වන සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ජගත් පෙරේරා මහතාගෙන් අප විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ ස්මාට් වර්ගයේ ජංගම දුරකථන වලට මෙන්ම පරිගණක වලටද මේ වනවිට ඉහල ඉල්ලුමක් පවතින බවයි.

එසේම ජංගම දුරකථනය අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයක් ලෙස නම් කර ආනයනය සීමා කිරීමට තීරණය කිරීම ද හිඟයට හේතු වී ඇති බව අප කළ සොයා බැලීමේදී අනාවරණය වුණා.

විශේෂයෙන් ජංගම දුරකථනයක් ආනයනය කිරීමේදී මීට පෙර පැවති ක්‍රමය, මෑතකදී ආනයනය සහ අපනයන සඳහා සීමා පැනවීමේදී වෙනස් කෙරුණේ ණය පදනම මත ඒවා ආනයනය කිරීමේදී දින 180 ක් තුල මුදල් ගෙවීම අනිවාර්ය කරමින් ෴

***************************************

දැන්, කොවිඩ් පැතිරෙන්න පුලුවන් තැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හෙළිකරයි

(08.06.2020 – 11:59 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 පැතිරීම සම්බන්ධයෙන් මෙරට තුල ඇති දුර්වලම ස්ථානය පොදු ප්‍රවාහනය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

අද (08) සිට සාමාන්‍ය පරිදි දිවයිනේ සියළුම දිස්ත්‍රික්කවල මගී ප්‍රවාහන කටයුතු අරම්භ වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කළා.

+++++++++++++++++++++

ඊයේ (08) දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් විසි දෙදෙනෙකු (22) හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

කුවේට් රාජ්‍යයේ සිට පැමිණි 08 ක්, චෙන්නායි සිට පැමිණි 04 ක් සහ නාවික හමුදා සාමාජිකයින් 10 ක් ඒ අතර වනවා ෴

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *